රාවය

ක්‍රිකට් – මුරලි හා ලංකාවේ කුණුවීම

ක්‍රිකට් – මුරලි හා ලංකාවේ කුණුවීම

වික්ටර් අයිවන්

රටේ සියලු දේ නැතිභංගවෙමින් තිබියදීත් ලංකාවේ මිනිස්සුන්ට සතුටු වන්නට එක දෙයක් ඉතිරි වී තිබුණි. ඒ ක්‍රිකට්ය. අපි ක්‍රිකට්වලදී සිටියේ ක්‍රිකට් ලෝකයේ බැබලෙන තත්ත්වයකය. ලංකාවේ ක්‍රිකට්වල සාර්ථකත්වය කෙරෙහි බලපෑ වැදගත් සාධක අතර බොහෝ දෙනකුට නොපෙණුන සාධකයක් මයිකල් රොබට්ස් පෙන්වා දී තිබුණි. වර්ගය, කුලය හා ආගම යන සාධක ලංකාවේ අන්හැම දෙයක් කෙරෙහිම බලපෑවද ලංකාවේ ක්‍රිකට් දියුණු තත්ත්වයකට පත්වීමෙන් පසු එම සාධක ක්‍රිකට් කෙරෙහි බලනොපෑවේය. එහෙත් ඊට පෙර ක්‍රිකට්වලටද එම සාධකය බලපෑවේය. පනස් ගණන් වන විට ලංකාවේ ක්‍රිකට් ලෝක මට්ටමෙන් කැපී පෙනෙන තත්ත්වයක් හිමිකරගෙන නොසිටියද ක්‍රිකට් ක්‍රීඩකයන් අතර දෙමළ සහභාගිත්වය කැපී පෙනෙන තත්ත්වයක තිබුණි. භාෂාව පදනම් කොටගෙන වර්ධනය වූ සිංහල දෙමළ ගැටුම් එම නැඹුරුව නැත්තටම නැති කළේය.

මුරලිගේ හෙළිදරව්ව

ඉන්පසු ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ කැපී පෙනෙන තත්ත්වයක් හිමිකරගත් කාලයේදී වර්ගය, කුලය හා ආගම යන සාධක ක්‍රිකට් කෙරෙහි බරපතළ බලපෑමක් ඇති කළ බවක් පෙනෙන්නට නැත. ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්‍රිකට් පිටියේදී තම ආගමික විශ්වාසයන් ප්‍රදර්ශනය කිරීමට බිය නොවූහ. දමිළ ජනවර්ගය නියෝජනය කිරීමට මුරලි හැර අන් කෙනකු නොසිටියද වර්ග, ආගම් වශයෙන් පමණක් නොව කුල වශයෙන් ගත්තද ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම තුළ අපූරු මිශ්‍රණයක් පෙනෙන්නට තිබුණි. මුරලි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ සිටි බැබලෙනම මැණික වී යැයි කිව හැකිය. ඔහුගේ දෙමළ බව නොසලකා ඔහුට සිංහල මිනිස්සු ආදරය කළෝය. ඉන්පසු බැබලෙන දෙදෙනා බවට පත්වූයේ මහේල හා සංගක්කාරය. ඒ තිදෙනාම හොඳ ක්‍රිකට් තරු පමණක් නොවීය. ඔවුන්ට තමන් ජීවත් වන සමාජය පිළිබඳ හෘදය සාක්ෂියක්ද තිබුණි.
ඒ තිදෙනාම ක්‍රිකට්වලින් ලොකුවට සල්ලි හම්බ කළෝය. එසේ උපයාගත් සල්ලිවලින් ව්‍යාපාර පවත්වාගෙන ගියේය. එහෙත් උපයන සියලු ධනය පුද්ගලික යහපතට අතිරේකව පොදු යහපත පිණිසද යෙදවීය. එසේ කළේ අප්‍රසිද්ධියේය. බොහෝ අයට නොපෙනෙන ලෙසය. මා ඔවුන් කරන දේවල් දැනගත්තේ මයිකල් රොබට්ස්ගෙනි.
ඒ ගැන පළමුවරට මුරලි කතා කරනවා දැක්කේ ලංකාවේ ක්‍රිකට් මණ්ඩලය ඔහුට එරෙහිව නගන ලද චෝදනාවකට ඔහු දෙන පිළිතුර ඇතුළත් වීඩියෝ ක්ලිප් එකක් පසුගිය සිකුරාදා ලැබී එය බැලීමෙන් පසුවය. ඔහු රටේ පොදු යහපතට කරන ලද දේවල් කෙටියෙන් එහි සඳහන් කර තිබුණි. ඔහුගේ පදනම විසින් මිනිසුන්ට ගෙවල් 1000ක් හදාදී තිබේ. ඔහු එහි කියා තිබෙන ආකාරයට උදව් කර තිබෙන දුප්පතුන්ගේ සංඛ්‍යාව 50,000ක් පමණ වේ. දුප්පත් පාසල්වලට ඉදිකර දී තිබෙන ක්‍රිකට් පිච් සංඛ්‍යාව 45කි. සුනාමියට හසුවූ සීනිගම ප්‍රදේශයේ ගමක් සංවර්ධනය කර තිබේ. ඔහු ඒ විස්තරයෙන් පසුව ලංකාවේ ක්‍රිකට් කවුන්සිලයට නගන ප්‍රශ්නය ඉතා වැදගත්ය. ඔවුන් ඔවුන්ගේ මුදල්වලින් කර තිබෙන දේවලින් සියයට එකක්වත් ක්‍රිකට් මණ්ඩලය රටට කර තිබේදැයි ඔහු ප්‍රශ්න කරයි.
ලංකාවේ මිනිසුන්ට සතුටුවීමට ඉතිරි වී තිබුණු ක්‍රිකටුත් දැන් තිබෙන්නේ මුළුමනින් කඩා බිඳ වැටුණු තත්ත්වයකයි. රටේ අන් සියලු ආයතන ක්‍රම තිබෙන්නේද මුළුමනින් කඩා බිඳ වැටෙන තත්ත්වයකය.
අධිකරණය කිසියම් කාලයක් තිස්සේම තිබුණේ අර්බුදයෙන් අර්බුදයට යන තත්ත්වයකය. ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය අධිකරණ අර්බුදයට පිළියමක් වූයේ නැත. ජනමාධ්‍ය ඔස්සේ කරන ලොකු කතාබහක් නැතත්, දැන් අධිකරණයේ සමහර වැදගත් අංශ තිබෙන්නේ බොහෝදුරට ක්‍රියාකාරීත්වය බිඳ වැටුණු තත්ත්වයකය. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඇති සමහර නඩු ඇසීමෙන් වැළකී සිටින තත්ත්වයකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත්ව තිබෙන අතර අධිකරණ දූෂණයට අදාළව හිටපු අගවිනිසුරුවරුන් සිව්දෙනකුට හා ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කරන විනිසුරුවරුන් දෙදෙනකුට එරෙහිව චෝදනා එල්ල කෙරෙන නඩුවක් දිගින් දිගට විභාගයට ගැනීමෙන් වැළකී සිටින තත්ත්වයක් ඇතිවී තිබේ. උසස් අධිකරණයේ ඇතිවන පුරප්පාඩු පිරවීමේදී ජ්‍යෙෂ්ඨ මහාධිකරණ විනිසුරුවරුන් නොසලකා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැඩි බරක් තබා ක්‍රියාකිරීම මහාධිකරණ විනිසුරුවරුන් අතර බලවත් අසහනයක් ඇති කිරීමට හේතුවී තිබෙන බවද පෙනේ.
ගැටුම් නිරාකරණ න්‍යායේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන ජොහාන් ගල්ටූන් සුනාමි ඛේදවාචකය කාලයේදී ලංකාවට පැමිණි අවස්ථාවේදී ලංකාවේ අධිකරණයට අදාළව අපූරු කතාවක් මා සමග කීවේය. මීට කලකට පෙරද මා ඒ ගැන ලියූ බව මට මතකය. ඒ ගැන නොසලකා නැවත මා ඒ ගැන කියන්නේ ලංකාව තේරුම් ගැනීමට වැදගත් මානයක් ඔහුගේ එම කතාවට ඇතුළත් වන නිසාය. ඔහු මාගේ නොනිමි අරගලය නමැති පොතේ ඉංග්‍රීසි පරිවර්තනයෙන් භාගයක් පමණ කියවූ බවත් සාමාන්‍යයෙන් රටක සුප්‍රිම් උසාවිය තිබෙන්නේ රටේ තිබෙන උස්ම කඳු මුදුනක බවත්, ගංවතුරකට ලංකාවේ සුප්‍රිම් උසාවිය යටවී ඇත්නම් ඒ රටේ සියලුම ආයතන ගංවතුරට යටවී තිබෙන බව ඒ ආශ්‍රයෙන් තේරුම් ගැනීම අමාරු නොවන බව කියමින් ඔහුට පෙනෙන අන්දමට ලංකාව තිබෙන බව පෙනෙන්නේ ඉතාමත් නරක තත්ත්වයක බව ඔහු කීවේය. ගල්ටූන්ගේ නිරීක්ෂණය හරියටම හරිය. උසස් අධිකරණය තිබෙන්නේ ගංවතුරට යටවූ තත්ත්වයක නම් අන් සියලු ආයතන තිබිය හැක්කේ ගංවතුරට යටවූ තත්ත්වයකය.

කුණුවීම කෙරෙහි බලපා තිබෙන හේතු

රට ලොකු අරාජකත්වයකට රැගෙන යමින් තිබෙන ක්‍රියාදාමය මට පෙනෙනුයේ නිදහසේදී සම්පූර්ණ කරගත යුතුව තිබුණු ඓතිහාසික අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට අසමත්වීම නිසා ඇතිවී තිබෙන විශේෂ තත්ත්වයක් ලෙසය. ජාතිය ගොඩ නගා ගනිමින් නූතන සමාජය ඇතිකර ගැනීමට අසමත්වීම නිසා වර්ග, කුල හා ආගම් භේද මත ගැටුම් ඇතිවන තත්ත්වයක් ඇතිවී ඒවා මහා පරිමාණයෙන් සිදුවන දෙයක් බවට පත්වී ඒ නිසා රටේ ඇතිවන අශීලාචාර පසුබිම තුළ සමාජය හා එහි රාජ්‍යයද ආයතන ක්‍රමද කුණුවන තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය. දැන් ඇතිවී තිබෙන අර්බුදය එම ප්‍රචණ්ඩ ගැටුම් අවසන් කිරීමෙන් පසු රට ලොකු ප්‍රතිසංවිධානයකට ලක් නොකිරීම නිසා ඇතිවී තිබෙන නොවැළැක්විය හැකි ඓතිහාසික තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. රට අරාජකත්වයකට යොමු කිරීමට හේතුවන ඓතිහාසික ක්‍රියාදාමයකට රට අවතීර්ණවී තිබෙන බවත් එම තත්ත්වය පාලනය කිරීමේ හැකියාවක් රටේ තිබෙන දේශපාලන පක්ෂවලට හෝ දේශපාලන නායකයන්ට නැති බවත් එම තත්ත්වයට මුහුණදිය හැකිවනු ඇත්තේ ජාතිය ගොඩනැගීම හා රාජ්‍ය ප්‍රතිනිර්මාණය කිරීමේ අරමුණ ඇතිව ගොඩනගන බලවත් සමාජ ව්‍යාපාරයකට පමණක් යන අනාවැකිය මා පළකරන ලද්දේ 2011 වර්ෂයේදී මා ලියා පළ කරන ලද ‘ලංකාව ගලවා ගැනීම’ යන කෘතියෙනි. එය යුද්ධය ජයගැනීමෙන් පසු 2010 වසරේදී ලියන ලද පොතකි. එය ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ දිග පළල හා ඒ කෙරෙහි බලපා තිබෙන හේතු විග්‍රහ කරන එම අර්බුදය රට ගෙනයමින් තිබෙන දිසාව පැහැදිලි කරන රට ගලවා ගැනීමට සැබෑ සමාජ ව්‍යාපාරයක අවශ්‍යතාව පැහැදිලි කරන කෘතියක් ලෙස සැලකිය හැකිය.
මගේ පුරෝකථනය සැබෑවෙමින් තිබෙන බව මට පැහැදිලිව පෙනෙන්නට තිබුණි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමට සමත් වුවත් එක දිගට දීර්ඝ කාලයක් තිස්සේ පැවති ප්‍රචණ්ඩ අරගල හා ඒ නිසා ඇතිව තිබූ මහා පරිමාණයේ ලේ වැගිරීම් නිසා සමාජ දේශපාලන දේහයේ ඇතිවී තිබුණු තුවාලවලින් ඇතිවී තිබුණු කුණුවීම හා විකෘතිය ජයගැනීම සඳහා අවශ්‍ය කරන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනකට රට යොමුකිරීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට අසමත් විය.
අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමේ තැන සිට රටේ එතෙක් පැවති අර්බුදය අලුත් මුහුණුවරක් ගත්තේය. යුද්ධය පැවති කාලයේත් ආයතන ක්‍රමයේ මහා පරිහානියක් හා බිඳ වැටීමක් ඇතිවෙමින් තිබුණද මහජන අවධානය මුළුමනින් යුද්ධය වෙත යොමුවීම නිසා රාජ්‍යයේ හා එහි ආයතන ක්‍රමයේ ඇතිව තිබුණු පිරිහීම ඔවුන්ට පෙනුණේ නැත. ඒ තත්ත්වය මහජනයාට පෙනෙන්නට වූයේ අභ්‍යන්තර යුද්ධය අවසන්වීමෙන් පසුවය.
යුද්ධය පැවති කාලයේ ජනමාධ්‍යවල පූර්ණ අවධානය යොමුවී තිබුණේද යුද්ධය හා ඒ ආශ්‍රිත සිදුවීම් කෙරෙහිය. එහෙත් යුද්ධය අවසන්වීමෙන් පසු ජනමාධ්‍යවලට වාර්තා කරන්නට යුද පුවත් නොතිබුණු අතර, ඒ නිසාම ජනමාධ්‍යවලට ඉන්පසුව ඔවුන්ට තිබුණු ආයතන ක්‍රමයේ පිරිහීම හා කඩාවැටීමට අදාළ දේවල් වාර්තා කිරීමට සිදුවිය. නීතියේ පාලනයක් නැතිකම හා ආයතන ක්‍රමයේ පිරිහීමට අදාළ ප්‍රවෘත්ති නිතර නිතර දකින්නට ලැබීම තුළ මහජනයා යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කිරීම නිසා මහජනයා විසින් වීරත්වයකින් පුදනු ලැබූ තත්ත්වයක් හිමිකරගෙන සිටි රාජපක්ෂ පාලනය කෙරෙහි මහජනයා ලොකු කලකිරීමක් ඇතිකර ගත්තේය. සමස්ත ආයතන ක්‍රමය තිබුණේ ලොකු ප්‍රතිසංවිධානයකට ලක්කිරීමකින් තොරව පාලනය කළ නොහැකි අවුල්සහගත තත්ත්වයකය. ප්‍රතිසංවිධානයකට ලක් කිරීමකින් තොරව ඒවා පවත්වාගෙන යෑමට දරන උත්සාහය ආයතන ක්‍රමයේ ඇතිව තිබුණු අවුල් උග්‍රකිරීමට හේතුවිය. ඒ තත්ත්වය රටේ ආර්ථිකය හා ජන ජීවිතය කෙරෙහි විනාශකාරී ලෙස බලපෑවේය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ධුර කාලය අවසන්වීමට පෙර ජනාධිපතිවරණයකට යෑමට අවශ්‍ය වූයේ ධුර කාලය සම්පූර්ණ කිරීමෙන් පසු ජනාධිපතිවරණයකට ගියහොත් රටේ ආර්ථිකයේ ඇතිවන්නට නියමිත අර්බුදයේ උග්‍රවීම තුළ ජනාධිපතිවරණයෙන් පරාජය වනු ඇති බවට ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආර්ථික උපදේශකවරයා ලබාදී තිබුණු මගපෙන්වීම් නිසාය. එහෙත් ඉක්මන් ජනාධිපතිවරණයක් ජනාධිපතිවරයාගේ පරාජය වැළකීමට හැකිවූයේ නැත. ජයග්‍රාහකයාටද අර්බුදය පිළිබඳව ගැඹුරු අවබෝධයක් තිබුණේ නැත. ආණ්ඩු මාරුවක් ඇතිවීම නිසා තිබුණු අර්බුදයේ බර තාවකාලික ලෙස සැහැල්ලු කිරීමක් සිදුවුවද යහපාලන ආණ්ඩුව රට විධිමත් තත්ත්වයකට ගැනීමට අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඇති කිරීමට අසමත්වීම නිසා නැවත අර්බුදය විශාල ප්‍රමාණයකින් උග්‍රවී සමස්ත ආයතන ක්‍රමයම මහජනයාටද හොඳින් පෙනෙන ලෙස කඩා වැටෙන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ.

පාර්ලිමේන්තු කුණුවීම

විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය තිබෙන්නේ පාලනය කළ නොහැකි ලොකු අර්බුදයකට තල්ලු වී ගිය තත්ත්වයකය. පාර්ලිමේන්තුව ගෞරවය අහිමි කරගත් තත්ත්වයකට පත්වීම ආරම්භවන්නේ ජනාධිපති ක්‍රමයක් ඇතිවීමෙන් පසුවය. ඒ සමග පාර්ලිමේන්තුවට තිබූ උත්තරීතරභාවය අහිමිවී එය රාජ්‍යයේ සකලවිධ බලය හිමිකරගත් ජනාධිපතිවරයාගේ රබර් මුද්‍රාවක් බවට පත්වන්නේය. ජනාධිපතිවරයා කොතරම් බලවත් වුවත් ලංකාවේ ඇති කර තිබුණු ජනාධිපති ක්‍රමය අනුව පාර්ලිමේන්තුවේ සහාය නැතිව ජනාධිපතිවරයකුට පැවතිය නොහැකිවීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෘප්තිමත් තත්ත්වයක තැබීම සඳහා පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනිව මන්ත්‍රීකම මහා පරිමාණයෙන් වස්තුව උපයාගත හැකි ක්‍රමයක් බවට පත්කර දුන්නේය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රජයේ වටිනා ඉඩම් සුළු මුදලකට මිලදී ගැනීමේ හැකියාවද රජයේ කොන්ත්‍රාත්කරුවන් හා බලපත්‍රලාභීන් ලෙස ක්‍රියාකිරීමේ හැකියාව ලබාදෙන ලදි. ඊට පෙර ඒ සියල්ල සැලකුණේ මන්ත්‍රීවරුන් නොකළ යුතු මන්ත්‍රීකම් අහිමි කිරීමට හේතුවන තරම් බරපතළ වැරදි ලෙසය. එතැන් පටන් මන්ත්‍රීකම විකාශනය වූයේ අයථා ලෙස වස්තුව උපයා ගැනීමට යොදාගත හැකි ක්‍රමයක් ලෙසය. මහින්ද රාජපක්ෂ පාලන කාලය වනවිට මෙම නැඹුරුව උපරිම මට්ටමකට වර්ධනය වී තිබුණි.
මහ බැංකුවේ බැඳුම්කර වංචාව කරළියට එන්නට පෙර පරණ ආණ්ඩුවේ ලොකු පිරිසකට දූෂණ චෝදනා එල්ල වී තිබුණු අතර, දූෂණ චෝදනා එල්ලවිය යුතුව තිබුණු එහෙත් විවිධ හේතු නිසා දුෂණ චෝදනා එල්ල නොවූ සැලකියයුතු පිරිසක්ද සිටියහ. මහ බැංකුවේ බැඳුම්කර වංචාව පිළිබඳව කෙරෙන පරීක්ෂණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් කිසියම් විශාල පිරිසකට ලොකු වංචාවක් කළ සමාගමකින් මුදල් ලබාගැනීමේ චෝදනා එල්ල වන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ.
බැඳුම්කර කොමිසමේ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසු බැඳුම්කර වංචාව පිළිබඳව පාර්ලිමේන්තුව දින නියම කරගෙන තිබූ විවාදයක් නිසා බැඳුම්කර කොමිසමේ නිල වාර්තාවේ පිටපතක් පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත ලබාදීමට ජනාධිපති ලේකම්වරයාට සිදුවිය. එහෙත් පාර්ලිමේන්තුවට ලබාදෙන ලද එම කොමිෂන් වාර්තාවේ පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමෙන් කප්පම් වශයෙන් මුදල් ලබාගත් අයගේ විස්තර ඇතුළත් (350 ලේඛනය ඊට ඇතුළත් නොවන බව හෙළිදරව් වූයේ මීට ටික දිනකට ඉහතදීය. ඉතා වැදගත් දේ එම ලේඛනයට ඇතුළත් අය අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද කිසියම් විශාල පිරිසක් සිටීමය. එසේ මුදල් ලබාගත් මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව විශාල වන බව කියවෙතත් ඔවුන්ගේ නම් මොනවාද ඔවුන් ලබාගෙන ඇති මුදල් ප්‍රමාණයන් මොනවාද යන්න පැහැදිලි නැත.

ඇත්ත වසන් කිරීම

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා එම ඇමිණුම ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි විට ඔහු කියා ඇත්තේ එය පාර්ලිමේන්තුවට යවන බවත් එහි පිටපතක් පාර්ලිමේන්තුවෙන් ලබාගන්නා ලෙසත්ය. පසුදින කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා කතානායකවරයාගෙන් ඒ ගැන විමසූ විට කතානායකවරයා කියා තිබෙන්නේ ඒ කියන ඇමිණුම ජනාධිපති ලේකම්වරයා තමා වෙත එවා නැති බවය. නැවත ජනාධිපති ලේකම්වරයා අමතා කතා කොට ඒ ගැන කරුණු විමසූ විට ලබාදී තිබෙන පිළිතුර වී ඇත්තේ සියලු ඇමිණුම් සහිත කොමිෂන් සභා වාර්තාව රාජ්‍ය ලේඛනාගාරයට යවා ඇති බැවින් අවශ්‍ය ඇමිණුම රාජ්‍ය ලේඛනාගාරයෙන් ලබාගන්නා ලෙසය. එහිදී අසන්නට ලැබෙන පුදුමසහගත කතාව වනුයේ එම වාර්තාව රාජ්‍ය ලේඛනාගාරයට ලබාදී තිබෙන්නේ ඒ ගැන උනන්දුවක් දක්වන මහජනයාට දැනගැනීම පිණිස නොව කිසියම් පනතකට අනුව අවුරුදු 30ක් සම්පූර්ණ වන තෙක් කිසිකෙනකුට පරීක්ෂා කළ නොහැකි රහස්‍ය ලේඛනයක් ලෙස තබා ගැනීම පිණිසය.
ජනාධිපති ලේකම්වරයාගේ එම ක්‍රියාකලාපය මහජනයාගේ බලවත් සැකයකට හේතුවන බව අමුතුවෙන් කිවයුතු නැත. බැඳුම්කර වංචාව පිළිබඳව කරුණු සොයා බැලීම පිණිස ජනාධිපතිවරයා පරීක්ෂණ කොමිසමක් පත් කළේ බැඳුම්කර වංචාවක් සිදුවීද සිදුවී නම් ඊට වගකිවයුතු අය කවුද යන්න සොයා බැලීම සඳහාය. එය හොර රහසේ පවත්වාගෙන ගිය පරීක්ෂණයක් නොව ප්‍රසිද්ධියේ පවත්වාගෙන ගිය පරීක්ෂණයත්, පරීක්ෂණය අවසන් කිරීමෙන් පසු පරීක්ෂණ වාර්තාව මහජනයාගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කරන බවට වහසිබස් දෙඩීමක්ද සිදුවිය.
එහෙත් කොමිෂන් සභා පරීක්ෂණය නිමකිරීමෙන් පසු වාර්තාවේ පිටපතක් පාර්ලිමේන්තුවට ලබාදී ඇතත් ක්‍ 350 ලේඛනය හා කොමිෂන් සභා වාර්තාවට ඇතුළත් පිටු විශාල සංඛ්‍යාවක් එයට ඇතුළත් නැති බව හඳුනාගෙන තිබේ. මෙය ජනාධිපති කාර්යාලය අතින් සිදුවී තිබෙන බරපතළ වරදක් නොවන්නේද? කොමිෂන් සභා වාර්තාවට ඇතුළත් සමහර කාරණා පාර්ලිමේන්තුව දැන නොගත යුතුයි කියා ජනාධිපති ලේකම්වරයාට හෝ ජනාධිපතිවරයාට තීන්දු කළ හැකිද? එය සම්පූර්ණ වාර්තාවක් නොවේ නම් හා සමහර කාරණා ඇතුළත් පිටු පාර්ලිමේන්තුවට යවන පිටපත්වලින් ඉවත් කර ඇත්නම් ජනාධිපති ලේකම් කාර්යාලය ඒ බව කතානායකවරයාට ආරම්භයේදී දැනුම්දීමක් කළේද? එහිදී සමහර වැදගත් කාරණා දැනුම්දීමක් නොකළේ නම් එසේ කළේ ඇයි? සමහර කාරණා පාර්ලිමේන්තුවට වසන් කළේ ඇයි?
මේ සම්බන්ධයෙන් කතානායකවරයා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන්නේ ඇයි? කතානායකවරයාට ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවා ඒ ගැන කරුණු විමසීමක් කළ හැකිය. රාජ්‍ය ලේඛනාගාරයේ තිබෙන පිටපතෙන් සම්පූර්ණ පිටපතක් පාර්ලිමේන්තුවට ලබාදෙන ලෙස රාජ්‍ය ලේඛනාගාරයේ ප්‍රධානියාට නියෝග කළ හැකිය.
පරීක්ෂණ වාර්තාවේ ඇතැම් කොටස් පාර්ලිමේන්තුව හෝ මහජනයා දැනගත යුතු නැතැයි තීරණය කළේ කවුද? එය ජනාධිපති ලේකම්වරයා හිතුවක්කාරී ලෙස ගනු ලැබූ තීරණයක්ද? නැත්නම් ජනාධිපතිවරයාගේ උපදෙස්මත ගනු ලැබූ තීරණයක්ද?
මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියේදී දෝෂාරෝපණයට ලක්වූයේ අගමැතිවරයාය. එම වංචාව කළ සමාගමෙහි මුදල් ලබාගත් අය අතර සිටින්නේ එජාපයට සම්බන්ධ අය පමණක් නම් ජනාධිපති කාර්යාලය එම ලේඛනය වසන් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි සිතිය නොහැකිය. එම ලේඛනය වසන් කරනවා දකින්නට අගමැතිවරයා කැමති වනු ඇතත්, එම ලේඛනය වසන් කරන ප්‍රභවය ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ක්‍රියාකරයි නම් එය ඕනෑම කෙනකු තේරුම්ගනු ඇත්තේ ජනාධිපතිවරයාට සම්බන්ධ පිරිසක්ද එකී වංචාව කළ සමාගමෙන් මුදල් ලබාගැනීම නිසා එසේ කරන බවය.
මේ විවාදය දුරදිග යමින් තිබියදී නීතිපතිවරයාගෙන් අනුමැතිය ලබාගත්තේය කියන පදනම මත ක්‍-350 ලියවිල්ල හා තවත් ලියවිලි කීපයක් ජනාධිපති ලේකම්වරයා විසින් කතානායකවරයා වෙත යවා ඇති බව වාර්තා වෙතත්, ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව තවමත් පාර්ලිමේන්තුවට ලබාදී නැත. එහි අඩු පිටු සංඛ්‍යාව පිටු 4000කටත් වඩා වැඩි බව දැනගන්නට තිබේ. මේ ආශ්‍රයෙන් සිදුවිය හැකි වාද විවාද සහ හෙළිදරව්වීම් පාර්ලිමේන්තුවට මොනයම් හෝ පිළිගැනීමක් ඉතිරි වී තිබේ නම් එය මුළුමනින් වාෂ්ප කිරීමට හේතුවිය හැකිය.

ඇස් අන්ධවීම

ලංකාවේ රාජ්‍යයේ හා එහි ආයතන ක්‍රමයේ කුණුවීම හා කඩා වැටීම ඉතාමත් අසාමාන්‍ය දෙයක් වශයෙන් මිස සාමාන්‍ය දෙයක් ලෙස සැලකිය නොහැකිය. එහෙත් එම විශේෂ තත්ත්වය ග්‍රහණය කරගැනීමට දේශපාලන විචාරකයන් හෝ උගතුන් සමත් වී තිබෙන බවක් පෙනෙන්නට නැත. සාමාන්‍ය මිනිසුන් පමණක් නොව උගතුන් පවා කතා කිරීමට වැඩි කැමැත්තක් දක්වන්නේ ඉදිරියේ පැවැත්විය යුතුව තිබෙන ජනාධිපතිවරණය ගැනය. රටේ ආයතන ක්‍රමයේ ඇතිවී තිබෙන මහා කඩා වැටීම, ඒ කෙරෙහි බලපා තිබෙන හේතු එම කඩා වැටීම විසින් ඇති කරන්නට යන ප්‍රතිඵල ගැන කිසිම කතාබහක් ඇත්තේම නැති තරම්ය. ඇතිවෙමින් තිබෙන එම සිදුවීම් රටේ සාමාන්‍ය ගමන් මග වෙනස් කිරීමට හේතුවිය හැකි බව ඔවුන්ට පෙනෙන්නේ නැත. අඩුම වශයෙන් සාමාන්‍ය කාලවලදී කාලසටහනකට අනුව සිදුවන දේවල් අර්බුද කාලවලදී ඊට වෙනස් ලෙස විය හැකි බව ඔවුන් දන්නේ නැත.
පසුගිය දිනක පුවත්පත් මණ්ඩල ශාලාවේ නව පොතක් එළිදැක්වීමේ උත්සවයකදී ප්‍රධාන දේශනය පවත්වන ලද කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය අසන්තා අත්තනායක ලංකාවේ බුද්ධි මට්ටම ගැන කරන ලද අපූරු ප්‍රකාශයක් ජනමාධ්‍යවල පළවී තිබුණි.
ඇය එහි කියා තිබුණේ බුද්ධිය පිළිබඳ ජාත්‍යන්තර දර්ශක අනුව ලංකාව සිටින්නේ මන්දබුද්ධික සීමාවේ බවත්, තවත් පහළට වැටුණහොත් මන්දබුද්ධික මට්ටමට පවා වැටිය හැකි බවත්ය. බුද්ධි මට්ටම ඉහළ රටවල් අතර ඉදිරියෙන්ම සිටින්නේ දකුණු කොරියාව බවත්, ඉන්පසු ජපානයත්, යුරෝපීය රටවලුත් සිටින බවත්, ඉන්දියාව පවා සිටින්නේ ලංකාවට වඩා ඉදිරියෙන් බවත් ලංකාව සිටින්නේ 72ත් 82ත් අතර බුද්ධි මට්ටම් ස්ථරයක බවත් තවත් පහළට වැටුණොත් නතරවෙන්නේ මන්ද බුද්ධික ස්ථරයේ බවත් ඇය ප්‍රකාශ කර තිබුණි.
එම තිත්ත ඇත්ත රටේ බුද්ධිමතුන් තේරුම් ගනු ඇත්තේ කවදාද? රටේ පවතින ආයතන ක්‍රමය ඔවුන්ගේ හිස් මත කඩා වැටුණු දිනයකදීද?