රාවය

මෛත්‍රී කුණාටුව

මෛත්‍රී කුණාටුව

ටිරන් කුමාර බංගගමආරච්චි

දේශපාලනයේදී පැත්තක් ගන්නේ නැහැ කියන්නේම තවත් ආකාරයට පැත්තක් ගන්නවා කියන එකයි. එසේ නම් මේ මොහොතේ ජනපති මෛත්‍රීපාල සිරිසේන සිටිනුයේ මොන පැත්තේද?
හිටිගමන් ජනපති ටිකක් සැරට කතා කරන එකත් දැන් පරණ සෙල්ලමක් වී ඇත. සෙල්ලම පරණ වුවත් ටික දිනක් උද්යෝගයෙන් එහි නියැලිය හැකිවී ඇත. ජනපති මෑතකදී සෝභිත හිමියන්ගේ 76 වැනි ජන්ම සැමරුම් අනුස්මරණ උත්සවයේදී කළ කතාවත් හොඳ කටගැස්මට අඩුම කුඩුම ඇතිව තිබූ එකකි. එබැවින් තවමත් සමහරු එය තලු මරති. ඒ කතාව හරහා මෛත්‍රී උඩ පැන පැන තැලුවේ රනිල් වික්‍රමසිංහට බව කාටවත් රහසක් නොවේ. මේ හවුල් පාර්ශ්ව දෙකේ එක් පාර්ශ්වයකි. මෛත්‍රීගේ සමස්ත කතාව දෙස බලන කල ඔහු එහිදී රාජපක්ෂලාටද බැණ වැදුණේ ඔවුන්ද රනිල් නිසා යහතින් සිටින බව නොකියා කියමිනි. එහි ඇත්තක් තිබිය හැකිය. වටහාගත යුත්තේ ඒ ඇත්තට වඩා මෛත්‍රීපාල සිරිසේන මහතා කියන්නට තටමන දෑය. එනම් මේ මොහොතේ සිටින එකම සුපිරිසිදු දේශපාලකයා තමන් පමණක් බවය. අනෙක් දේශපාලකයන් හිටු කියා පිස්සු කෙළින බවත්, මුකුත් නොදන්නා තමා ඒවා පසුව දැනගෙන කම්පා වන බවත් ජනපති සංවේගයෙන් දැනුම් දෙයි.

ඇරැයුම් නැත

ජනපතිවරයා සෝභිත හිමිගේ ජන්ම දින සැමරුමට යන්නේ ආරාධනා නැතිවය. අනාරාධිතවය. මෙම උත්සවයට ජනපතිවරයා ප්‍රධාන ආරාධිතයා ලෙස සඳහන් වී තිබුණත් සංවිධායකවරුන් කිසිවකු ජනපතිවරයාට එය දැනුම් දී නැත. මෙය අතපසුවීමක් බව ‘සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ’ සම කැඳවුම්කරු නීතිඥ රවි ජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණි. එහෙත් එවැනි අතපසුවීමක් ගැන සිතිය හැකිද? ජනපති ප්‍රධාන ආරාධිතයා ලෙස මුලදී යෝජනා කරගෙන ස්ථිර කරගෙන අවසානයේ ඔහුව මගහැරියේ ඇයි? එය හිතාමතාම සැලසුම්සහගතව කළ දෙයක් බව පැහැදිලිය. එමෙන්ම අනාරාධිතව කඩාපාත්වෙන ජනපතිද ආරාධනාවක් නැතිවම එනුයේ තමාට පිටකිරීමට ඇති ඇරියස් එක පිටකර ගැනීමටය. ඒ අතින් බලන කල දෙපැත්තම අණ්ඩපාලයෝය. මෛත්‍රීට එරෙහිව එජාපයත් ගහන්න ඇති හැම ගැහිල්ලම හීනියට ගසති. පසුගිය කාලයේ සිදුවූ බොහෝ දෑ ජනපතිවරයා නොදැන සිදුවූවාද විය හැකිය. රනිල් මලික් කණ්ඩායම කරන දේවල් දන්නේද ඔවුන්මය.

රොටී

තැටිය රත්වූ වෙලාවේ රොටිය පුච්චා ගත යුතු යැයි කීවේ සෝභිත හිමිය. ඒ මේ යහපාලන ආණ්ඩුව බලයට පත්වූ විගසමය. එහෙත් සෝභිත හිමි වටහා නොගත් දේ නම් බලය ලැබුණු සැණින් මොවුන් රොටි කෑම නතර කළ බවය. සෝභිත හිමිගේ ජන්ම දින උත්සවයදා වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක මුගුණුවටවන සිද්ධදත්ත සංඝනායක හිමියන් පැරණි කතාවක් සිහිකරමින් තමන් සෝභිත හිමියන්ව දුරකතනයෙන් අමතා රොටිය කරවී ඇතැයිද, විමසූ බවත් එවිට සෝභිත හිමි රොටිය දැන් ඇට්ටකුණා වී ඇතැයි ප්‍රකාශ කළ බවද අතීත කතාව ගෙනහැර පෑහ.
ජනපති පරලවී ආවේශවන්නේ මෙතැන් පටන්ය. ඔහු රොටියෙන් පටන් ගෙන ගෙවුණු වසර තුනහමාරක කාලය තුළ තමන් වටා සිටින ද්‍රෝහීන් හෙළි කළේ වටේටම නෙළමිනි. නම නොකීවද එහි ප්‍රධානියා රනිල් වික්‍රමසිංහ විය.

අසරණ වීම

ජනපතිගේ සමස්ත කතාවම හෙළිකරනුයේ ඔහුගේ අසරණ බවය. පොදු අපේක්ෂකයා යනු කවුද? ඔහු රැගෙන එන කණ්ඩායම්වල රූකඩයක්ද? දැනට පොදු අපේක්ෂකයා යන්න ප්‍රායෝගික වී ඇත්තේ එසේය. එබැවින් තවදුරටත් පොදු අපේක්ෂකයෝ කරළියට ගෙන ඒම ලේසි පහසු නොවනු ඇතිය. ඒ අත්හදා බැලීමත් මේ සමගින්ම හෑල්ලු වී ගියේය. මෛත්‍රීපාල ජනපතිවරයා බොහෝ දේ දන්නේ පසුවය. ඇතැම් දේ ඔහු දැනුවත් කර නැත. ඔහු සියල්ල දැනගනුයේ මාධ්‍ය හරහාය. සෝභිත හිමි මහ බැංකුව කොල්ල කන්න නොකී බව කියන ජනපති, සෝභිත හිමි නම දාගෙන කියනුයේ කුමක්ද? තමන්ද එයට විරුද්ධ බවය. එහෙත් විරුද්ධ ඔහු වසර තුනක් තිස්සේ කළේ කුමක්ද? බැඳුම්කර හොරු තබා මොන හොරෙක්වත් යහපාලන ආණ්ඩුව ඇල්ලුවේ නැත. අල්ලන්න බැරි තරමට ඔවුන්ගේද හොර හිත්ය.
දැන් නැවත ජනපතිගේ කතාව දෙස බලමු. ඔහු ජනපති පුටුවෙහි වාඩි කළ සැම එතැන් පටන් කීවේ ජනපති වැඩ කළ යුත්තේ තමන්ට අවැසි ලෙස බවය. එජාපය හිතුවේ එයය. සිවිල් සංවිධාන හිතුවෙත් එලෙසමය. එබැවින් අදත් මේ සැම දකිනුයේ ජනපති මෛත්‍රීගේ වැරදි පමණය. සැබැවින්ම මෛත්‍රී වැරදි නම් එයට සිය ගුණයක් වගකිවයුත්තේ ඔහු රැගෙන ආ අයමය. ඕනෑම කෙනකු ඕනෑවට වඩා කරබාගෙන සිටින්නේ නැත. සිවිල් සංවිධාන මෙන්ම විද්වත් යැයි කියාගන්නා බොහෝ අය උඩින් යටින් දෙකින්ම පහරදෙනුයේ ජනපතිටය. ඔවුන්ට රනිල් හොඳය. දේශපාලනයේ සියල්ල දන්නා ඔවුන් බැඳුම්කර මගඩිය ගැන නොදන්නේය. වැඩි කතා නොකරන්නේය. මේ යහපාලන ආණ්ඩුව පණ පිටින් අපාගත වූයේ නම් ඒ බැඳුම්කර සිද්ධිය නිසාය. මහින්දලා මොන හොරුන්ද යන්න ඒ මගින් රටේ ජනතාව තුළ ස්ථාපිත විය. මේ අයගෙන් නියම හොරු යන තැනට එය තල්ලු විය. එවන් වටපිටාවක එය ආරක්ෂා කරගනිමින් වුව අසරණව සිටි ජනපති මුලින් කීවේ මම කිව්වා අර්ජුන් මහේන්ද්‍රන්ව දෙවැනි පාර පත් කරන්න එපා කියලා. ඒත් ඇහැව්වේ නැහැ යන්නය. කොතරම් විධායක බලයක් තිබුණත් ජනපතිද මේ කාලය තුළ නොසෑහෙන්න ඉවසා ඇති බව අප පිළිගත යුතුය. ඒ ඉවසීමම ඔහු අසරණයකු කර ඇත. අද ඒ අසරණකමම ඔහු චණ්ඩ කර ඇති බවද වටහාගත යුතුය. ඔහු දැන් විධායක බලයසහිත ජනපති වන්නට හිතන විට සිහින දකින විට කාලය ගෙවී ගොස්ය. එබැවින් දැන් ඔහු වියරු වැටී ඇත. මේ වියරුව එතරම් සරල කරගත යුතු නැත්තේ ඔහුගේ හැසිරීම් දෙස බලද්දී. බොහෝ යක්කුන්ට වඩා මේ යකා ඕනෑවටත් වඩා දරුණු විය හැකි බැවිනි. කෙනකු අසරණ තත්ත්වයට ඇද දමා සෙල්ලම් කළ හැක්කේ සැබෑ අසරණයෙක් ඉදිරියේමය. එහෙත් මේ විධායක බලය සහිත ජනපති කෙනෙකි. බොහෝ අය තමන් ගෙනාවා යැයි කියා ඒ බව අමතක කොට ඇත. සමහරවිට පොදු අපේක්ෂක නාමයක් ආ නිසා බොහෝ අය විධායක බලය අමතක කොට ඇති සේය. ජනපති දැන් කෑමොර දෙනුයේ එය ටික ටික මතක් කිරීමට විය හැක. එය ඉදිරියේදී සෑහෙන දරුණු විය හැකිය.

එකතුවීම

මේ යන රටාව දෙස බලන කල දැන් නැවත ජනපති සහ අගමැතිට ගමනක් නැත. අගමැති ප්‍රමුඛ එජාපය සමග ගමනක් නැතිය. එය රනිල්ගෙන් ගැලවුණහොත් වෙනස් විය හැකිය. එහෙත් රනිල් මේ තනතුර කිසිවකුට නොදෙන බව සහතිකය. ඒ තරමට ඔහු දේශපාලන කෛරාටිකයෙකි. බොහෝ අය ඔහුට හසුවී ඇත. මෛත්‍රීට පමණක් නොව රනිල්ට වුව හෙට දවසේ කිසිදු හිරිකිතයකින් තොරව වැඩ කළ හැකි පුද්ගලයෙක් වේ නම් වැළඳ ගත හැකි චරිතයක් වේ නම් ඒ මහින්ද රාජපක්ෂය. ඒ ගැන කිසිදු විවාදයක් නැත. අගමැති කවදත් මහින්ද සමග හොඳය. ජනපතිට දැන් අවැසි දහසයේ කණ්ඩායම ලවා ඒ හොඳ හිත ඇතිකර ගන්නටය. හොඳ හිත ඇතිකර ගත්තද ඔහුට ඇති බාධාව බලයට තව විකල්ප පෙනීමය. එනම් තව පිරිසක් ගෝඨාභය පෙන්වීමය. දැන් ජනපති මෛත්‍රී සිතනවා ඇත්තේ මහින්ද රාජපක්ෂ එක්ක ගමනක් යනවාද? ගෝඨාභය ළං කරගෙන ගමනක් යනවාද යන්නය. වැඩි වාසිය තෝරා ගැනීම ඉන් සිදුවිය හැක. එහෙත් ගෝඨාගේ ගමන දෙස බලන කල ඔහුට අගමැතිවීමට අවැසි නැත. ඔහුට අවැසි ජනපතිවීමට බව පැහැදිලිය. මහින්දට මෛත්‍රී නැවත ජනපති කර අගමැතිවීමේ කිසිම අවුලක් නැත. එවිට ඔහුට අද රනිල්ගේ භූමිකාව කළ හැකිය. කාගේ යටතේ වුව මෛත්‍රී අසරණය. එහෙත් බලය ඇත්තේය. අසරණ වූ කල බලයෙන් කළහැක්කේ පිස්සු කෙළීම පමණය.

තේරීම

මේ ජනපතිගේ කතාව හරහා කියන සරල කතාවකි. නිකමට හෝ මේ යන ප්‍රවාහය දෙස බලද්දී හෙට දේශපාලනය කිරීමට සැමට රාජපක්ෂලා ඕනෑ වනු ඇත. රාජපක්ෂලා අතර වුව ගෝඨා කෙරෙහි ඇති අප්‍රසාදය වෙනම ආරාවුලක් ඇති කරනු ඇත. එවිට ජනපති මෛත්‍රී ගෝඨාභය තෝරා ගතහොත් එජාපය සහ ඔය බොහෝ සිවිල් සංවිධාන ගෝඨාට එරෙහිව කා සමග වුව කම් නැත කියා මහින්ද රාජපක්ෂව වුව වැළඳ ගත හැකිය. මේ සැම කරනුයේ සෙල්ලමකි. කාටවත් රට ගැන අවංක හැඟීමක් නැත්තේය. සැවොම තම සීමාසහිත බලය පවා රැකගැනීමට වලිකති.
ජනපතිගේ කතාවෙන් පැහැදිලිවන්නේ මේ අයට මෙතැන් සිට එකට ගමනක් නැති බවය. දැන් රටේ ඇත්තේ දේශපාලන කුණාටුවකි. එය බොහෝ විශාල ගස් පමණක් නොව තව බොහෝ දේ විනාශ කරනු නියතය. මෙම දේශපාලන තරගයේ නවකයා මෙන්ම දුර්වලතම තරගකරුවා මේ මොහොතේ ජනපති මෛත්‍රීය. එහෙත් ඔහු තරග වදින්නට ඉදිරිපත් වුවහොත් තරගයට නොසෑහෙන සූදානමක් වනු නියතය. එය නම් සුන්දර නොවනු ඇතිය. කතාවලින් එහාට බොහෝ දේ විය හැකිය. කාට කාටත් මේ මොහොතේ තරගය තරගකාරී වැඩිය. එබැවින් ජයග්‍රහණයට බොහෝ සූත්තර ඕනෑවනු ඇත.
කාගේ කාගේත් කතාවලට අත්පුඩි ගසනවාද? හූ තබනවාද? නැතිනම් ගල් ගසනවාද යන්න ජනතාවට වෙනම කල්පනා කළ හැකිය.