රාවය

මට ඕනෑ හොඳ මැනේජර් කෙනෙක් වෙන්න – අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්

මට ඕනෑ හොඳ මැනේජර් කෙනෙක් වෙන්න – අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්

නිමල් අබේසිංහ
ඡායාරූප ටී. නඩරාසා

දියුණු ලෝක තත්ත්වයන් ගත්තහම ලංකාවේ අධ්‍යාපනය තවමත් පවතින්නේ බොහොම පසුගාමී තත්ත්වයකයි. ඔබ මොකද ඒ ගැන කියන්නේ?

නෑ. එහෙම කියන්න බෑ. මේ වෙනකොට අපි අවුරුදු තුනහමාරක් ඇතුළත ලෝක ප්‍රවණතාවන් හඳුනාගෙන ඒ වෙනස් කිරීම් කරන්න අවශ්‍ය පියවර අරන් තියනවා. එකක් තමයි වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය. සාමාන්‍ය පෙළින් හැලීමකට යන්නේ නෑ, එන අවුරුද්ද වෙද්දී. සියලුම සිසුන්ට වෘත්තීය විෂයයන් විසිහයක් හඳුන්වා දී ඒ ඔස්සේ ඔවුන් මෙහෙයවනවා. ගිය අවුරුද්දේ සිට නියාමන වැඩසටහන ආරම්භ කරලා තියෙනවා. ගිය අවුරුද්දේ එය අපි පාසල් 42ක පටන් ගත්තා. මේ අවුරුද්දේ 250ක පටන් ගත්තා. එන අවුරුද්දේ මේ හැලෙන සියලුම ළමයින්ට පාසලක් ලැබෙනවා. ඒ විෂයයන් එකක් තෝරාගෙන යන්න පුළුවන්.

තෘතීයික අධ්‍යාපනයට යොමුවිය යුතු ළමයි පාසල් තුළ රඳවා ගන්න කොට තෘතීයික අධ්‍යාපන ආයතනවලට මොකද වෙන්නේ?

තෘතීයික අධ්‍යාපනය ලබන්න කැමති අයට සහ ඒ මාර්ගවලින් යන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට මේ තියන විෂයමාලා ගොඩක් තෘතීයික අධ්‍යාපනයේ තියෙන විෂයයන් නොවෙයි. දැන් අලුත් විෂයයන් මේ තුළ තිබෙනවා. උදාහරණයක් විදියට සංචාරක ව්‍යාපාරය ආශ්‍රයෙන් ඇතිවෙන රැකියාවලට තවම ඔය කියන තැන්වලින් නිෂ්පාදන බිහිවෙන්නේ නෑ. ඒ අංශවල ශ්‍රම බලකායට අවශ්‍ය තරම් ශ්‍රමිකයන් බිහිවෙලා නෑ. ඒ වගේ පුහුණුවක් ලබාදෙන්නේ නෑ. අපි දැන් ඒ ගැන අවධානය යොමු කරලා තිබෙනවා. ඒ වගේම කෘෂිවිද්‍යා අංශවලින් නව විෂයයන් මතුකරගත යුතුයි. වැඩි ඵලදාවක් ගන්න භෝග නිෂ්පාදනය කිරීම වැනි දේවල් කෙරේ අවධානය යොමු කරලා තියනවා.
රටේ පාසල් අධ්‍යාපනයේ මර්මස්ථානය ජාතික අධ්‍යාපන ආයතනයයි. එහෙත් ජාතික අධ්‍යාපන ආයතනයේ ක්‍රියාකාරීත්වය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. උදාහරණයකට ගත්තොත් සුදුසුකම් රහිත අය තමයි විෂය භාරව ඉන්නේ. ළඟම උදාහරණය උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය.
ඒක සම්පූර්ණ අසත්‍යයක්. ඒක මම පිළිගන්නේ නෑ. සුදුසුකම් නැති අය අපි විෂයමාලා හදන්න දාල නෑ. අපි දාල තියෙන්නේ ලංකාවේ ඉහළම අය. මම මේ අමාත්‍යවරයා විදියට වැඩ භාර ගත්තහම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට කීවා, ලංකාවේ ඒ විෂයයන් අනුව ඉන්න හොඳම මහාචාර්යවරු කිසිම භේදයක් නැතිව ඒවාට පත් කරන්න කියලා. මේවයේ ගුරුකුල තියෙනවා. සමහර විෂයයන්වල අයිතිකාරයෝ ඉන්නවා. අතීතයේ මේක තිබුණා. අතීතයේ තමන්ට හිතවත් අයව දාගෙන පොත් ලියව ගත්තා. මේවා එකපාර වෙනස් කරන්න බැරිවෙයි. ඒත් මම උපදෙස් දීලා ගොඩක් අය වෙනස් වුණා. අපි කමිටු දැම්මා. හැම විෂයයකටම ලංකාවේ ඉන්න හොඳම ප්‍රවීණයෝ සමහරවිට රාජ්‍ය අංශය නෙවෙයි, පෞද්ගලික අංශයෙනුත් අරගෙන ඒ ප්‍රවීණයන්ගේ කමිටු දාලා ඒ කමිටු ආශ්‍රයෙන් වෙනස්වීම් කරනවා නම් කරන්න කියලා අපි උපදෙස් දීලා තියෙනවා. එතකොට ඔය ජනසන්නිවේදනය ගත්තත්, එතන මහාචාර්යවරුන්ගේ හැප්පීමකුත් තිබුණා. ඒත් අපි ඒ අය කැඳවලා, ප්‍රශ්න නිරාකරණය කළා. තිබුණු එක හොඳයි කියලා ඒකම ක්‍රියාත්මක විය යුතු නැහැ. ජනසන්නිවේදනයත් වෙනස් වෙනවා. ඊට පස්සේ අපි මේ දෙගොල්ලම මෙතනට කැඳෙව්වා. මට පැහැදිලිව පෙනුණා ඒගොල්ලන්ගේ වෙන වෙන ප්‍රශ්න තිබුණා කියලා. මම ඒක ප්‍රසිද්ධියේ කියන්න කැමති නෑ. ඒත් කළයුත්ත තමයි අපි කළේ. ඒ නිසා එක මහාචාර්යවරයෙක් හෝ එක ගුරුකුලයක් මාධ්‍යවලට ලියල ඉවර වෙලා ඒක මෙහෙමයි කීවට ඒක එහෙමම වෙන්නේ නෑ. අපි වෙනස්කම් කරන්න ඕනෑ තැන්වල වෙනස් කරනවා.
මම කියපු කාරණාව ඔබට පැහැදිලි වුණේ නැහැ. ජාතික අධ්‍යාපන ආයතනයේ විෂයභාර නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් කියලා දැන් පාවිච්චි කරන්නේ, මේ අයගෙන් වැඩිදෙනා අධ්‍යාපන ක්ෂේත්‍රයේ, ඒ කියන්නේ ඉගැන්වීම් ක්ෂේත්‍රයේ ගුරුවරයෙක් විදියට අත්දැකීම් ලබපු අය නෙවෙයි.
හැමෝම ගුරුවරයකු වශයෙන්ම අත්දැකීම් ලැබිය යුතු නැහැ. ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය සභාවල ඔය කියන ගුරුවරුන් ඉන්නවා. උගන්නන අයත් ඉන්නවා ඒ ඔක්කොම අය එකතුවෙලා තමයි මේක හදන්නේ. එතකොට මේ මහාචාර්යවරයාට විතරක් තනියම හදන්නත් බෑ.
කමිටුවේ හැමෝම හිටියට පළක් නෑ. මේ විෂයෙම ආචාර්ය උපාධියක් තියන හාමුදුරුනමක් ඉන්නවා. ඔය විෂය නිර්දේශය හදන්න සහභාගි වුණාය කියන එයාගෙන් මේ ගැන අහපුවහම කීවේ මම දන්නේ නෑ සම්බන්ධීකරණ වැඩ ටිකක් විතරයි කළේ කියල කීවා.
එහෙම කියනවා නම් ඉන්න මම චෙක් කරන්න ඒක. එහෙම කියන්න බැහැ කාටවත්. ඇපෙන් බේරෙන්න සමහරවිට ඕකට එකඟතාව පළකරලා එළියෙදි ඔහොම කීවද දන්නේ නැහැ. මම මේ සෙල්ලම දන්නවා. සමහර අය ඇඟ බේරගන්නත් මෙහෙම කියනවා.

එහෙම ඇඟ බේරගන්න වැඩ කරනවා නම් එතනම ප්‍රශ්නයක්නේ?

නෑ. මෙහෙමයි. සමහර වෙලාවට මිනිස්සු එක්කනේ ගනුදෙනු කරන්නේ අපි. මිනිස්සුන්ගේ හැසිරීම බොහෝ වෙලාවට විටින් විට වෙනස්. මම දන්නවා සමහර අය පොත් ලියනවා. එතකොට එයාගේ එකම තමයි මේවට ඇතුළු කරන්න හදන්නේ. මම ඒකට ලෑස්ති නෑ. ඒ නිසා ප්‍රොෆෙසර් මාම්පිටියටත් මං එන්න කියලා පැහැදිලිවම කීවා. මේකෙ වෙනස්වීම් ටික කරන්න. දැන් මට ඔබතුමා දුන්නොත් මේකෙ කොහෙ හරි මොකක්හරි වැරදිලා තියනවා කියලා. මට නම්, තරාතිරම වැඩක් නෑ. මට හරියටම ඔබ ඔප්පු කරල පෙන්නුවොත්, මේක වැරදියි කියලා මම පිළිගන්නවා. මෙතනදි කොටසකට ඕන වෙලා තියෙනවා එයාලම ඉන්න. අනික් කොටස කියනවා මේක දැන් වෙනස්වෙන්න ඕනේ. මේ කොටස් ඇතුළුවෙන්න ඕනේ කියලා. විෂය පිළිබඳ ප්‍රාමාණිකයෙක් නෙවෙයිනෙ මම. මම ඇමතිවරයා විදියට හොඳ මැනේජර් කෙනෙක් වෙන්න ඕන නේ. මට ප්‍රත්‍යක්ෂ වුණු දෙයක් තමයි ඒ වෙනස් කිරීම් කිරීමේ අසාධාරණයක් නැහැ කියන එක.

ජාතික අධ්‍යාපන ආයතනයේ ඇතැමුන් ගුරු අත්පොත සැකසීමත් සමගම ඊට අදාළව පොතකුත් ලියා ප්‍රසිද්ධ කරනවා. පොත් ලිවීම නරක දෙයක් නොවනමුත් මේ අය සදාචාර විරෝධී වැඩක් කරනවා. ඒ තමයි පොතේ පසුවදනට අදාළ විෂයේ උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර හදන කණ්ඩායමේ ප්‍රධානියා ලවා පසුවදනක් ලියවා ගැනීම. මෙයට හොඳම සාක්ෂිය ව්‍යාපාර අධ්‍යයන විෂයට ප්‍රකාශ කරල තිබෙන පොත. මොකද ඔබ මේ ගැන කියන්නේ?

මේ ගැන වහාම පරීක්ෂණයක් කර නිසි ක්‍රියාමාර්ග ගන්න ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්ට සහ විභාග කොමසාරිස්වරයාට නියෝග කරනවා. (එසේ කියූ ඇමතිවරයා ඒ දෙදෙනාට දුරකතනය ඔස්සේ උපදෙස් දුන්නේය.)
දේශපාලන පළිගැනීම් මුවාවෙන් ගුරුවරුන් ගණනාවකට විදුහල්පති සේවය සහ අධ්‍යාපන පරිපාලන සේවයේ උසස්වීම් ලබාදීමට අමාත්‍යාංශය නිර්දේශ කර තිබෙනවා. මේ අයගෙන් වැඩිදෙනා නුසුදුස්සන් කියන චෝදනාවක් තිබෙනවා.
චෝදනා කළාට දේශපාලන පළිගැනීම් ගැන කැබිනට් අනුමැතියකුත් ලැබුණා. 11,000කට දෙන්න කියලා මට ලිපිය ලැබුණා. එහෙම ආවට අතිරේක ලේකම්වරයෙක්ගෙන් සැදුම්ලත් කමිටුවක් දාල, ඒ අයගෙන් අනුමැතිය අරගෙන තමයි ඔය කියන අය තෝර ගත්තේ. අපට ලැබුණු ඉල්ලීම් අතර නුසුදුස්සෝ හිටිය නිසා තමයි එහෙම කමිටුවක් දාලා තෝරගත්තේ. මේ අය ඇත්තටම පළිගැනීමට ලක්වෙච්ච මිනිස්සු.

ඔබලා ආණ්ඩුව භාරගන්නා විටත් ජාතික පාසල් විශාල සංඛ්‍යාවක සිටියේ වැඩ බලන විදුහල්පතිවරු. අදටත් ඒ තත්ත්වය එසේමයි. ඒ ඇයි?

ඇත්තම කතාව ජාතික පාසල්වල සිටින හැම කෙනෙක්ම ශ්‍රේණිධාරීන්. ප්‍රශ්නෙ තියෙන්නේ පුළුවන් නම් අපට හොයල දෙන්න වැඩ කරන්න පුළුවන් අය. දැන් ගැසට් කරන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ අපි හොඳ විදුහල්පතිවරු තෝරනවා. හැබැයි ජ්‍යෙෂ්ඨත්වය මත නෙවෙයි. ඒ අයගේ ඉංග්‍රීසි දැනුම, පෞරුෂ්‍යත්වය, අයි.ටී. දැනුම බලන්න කියල තමයි මම උපදෙස් දීල තියෙන්නේ. නියම ක්‍රීම් එක දැන් එනව ඉස්සරහට. එතකොට මේ අලුතින් ගත්තු අධ්‍යාපන පරිපාලන සේවයේ අයටත් එන්න පුළුවන් වෙනවා. දැනටත් අපි සෑහීමකට පත්වෙන්නේ නෑ. සමහර ඉස්කෝලවල විදුහල්පතිවරු ගැන. ඉතින් දැන් මේක කරන්න දෙන්න. අකුල් හෙළන්න එපා කියලයි මම කියන්නේ.