රාවය

මැණික් ගඟ රක්ෂිතයේ ගෝඨාගේ බංගලාව

මැණික් ගඟ රක්ෂිතයේ ගෝඨාගේ බංගලාව

දයා නෙත්තසිංහ

තමන් අභිමත ලෙස තීන්දු ගත හැකි එම තීන්දු ක්‍රියාවට නැගිය හැකි බලසම්පන්න අමාත්‍යාංශ ලේකම්වරයෙක් මෙරට සිටියේ නම් හේ ගෝඨාභය රාජපක්ෂ මහතාය.ඉකුත් දිනවල මාධ්‍ය ක්ෂේත්‍රයේ කතාබහට ලක් වූයේ ඔහු විසින් කතරගම මැණික් ගඟ රක්ෂිතයේ ඉදිකළ සුපිරි බංගලාව පිළිබඳවය. මේ පුවත සමාජ ජාල වෙබ් අඩවියේ සංසරණය වීමත් සමඟ ගෝඨාගේ දේශපාලනය අනුමත කළ පිරිස් සහ ඊට එරෙහි පිරිස් තම තමන්ගේ මතය දක්වා තිබෙණුද දක්නට ලැබිණි. එහිදී නැගුණු ප්‍රධාන චෝදනාව වූයේ එදා මේ ගැන නොකියා අද මේ ගැන කියන්නේ 2020 ජනාධිපතිවරණයට ගෝඨා ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා කරනු ලබන අසත්‍ය මාධ්‍ය මෙහෙයුමක් යන්නය. ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයේ දී හැසිරෙන්නේ කවරාකාරයකටද යන්න ඔහුගේ ඉතිහාසය විසින් ඔප්පුකර තිබූ හෙයින් අදාළ චෝදනාව සාධාරණ නැත. මේ කාරණාව වඩාත් විමසුම් ඇසකින් තේරුම් ගැනීමට නම් 2018.05.27 දින මෙම පුවත්පතේ නවවැනි පිටුවේ පළවු “ගෝඨාගේ විප්ලවය” මැයෙන් වික්ටර් අයිවන් මහතා ලියූ ලිපිය නැවත වරක් කියවා ගැනීම යුක්ති සහගතය.

මැණික් ගඟේ හෙළිදරව්ව

ගෝඨාභය රාජපක්ෂ මැණික් ගඟ රක්ෂිතයේ අනවසරයෙන් සුපිරි බංගලාවක් ඉදිකිරීම ආරම්භ කරනු ලැබුවේ 2009 වසරේ මැද භාගයේදීය. එසමය යනු මෙරට ජනමාධ්‍ය බොහොමයක් නිළ හා නොනිළ මට්ටමින් රාජපක්ෂවරු සම්බන්ධයෙන් පුවත් වාරණයක් ක්‍රියාත්මක වීමය.මාධ්‍යවේදීන් ඝාතනය, අතුරුදන්වීම, පැහැරගෙනයාම, හා මාධ්‍ය ආයතන ගිනිතැබීම පිළිබඳ භීතියක් රට තුළ ඇති වූයේය. මේ සියල්ල යටපත් කෙරුණු තත්ත්වයක් මෙරට පැවති යුධ වාතාවරණය විසින්ද ඇති කරන ලැබීය. එබැවින් එදා මැණික් ගඟ රක්ෂිතයේ ඉදි කරනු ලැබූ ගෝඨාගේ සුපිරි බංගලාව පිළිබඳ හෙළිදරව් කිරීම පහසු කාර්යයක් නොවීය. එකී බැරැරුම් තත්ත්වය තේරුම් ගැනීම සඳහා මේ පිළිබඳ හෙළිදරව් කළ මාධ්‍ය ආයතනයකට එල්ල වූ තර්ජනය යළිත් වරක් සිහිකර දෙනු කැමැත්තෙමු.
එවක මැණික් ගඟ රක්ෂිතයේ ඉදිකැරෙමින් තිබුණු ගෝඨාභය රාජපක්ෂගේ සුපිරි බංගලාව පිළිබඳ මුල් වරට හෙළිදරව් කරණු ලැබුවේ ලංකා පුවත් පතේ මාධ්‍යවේදීන් විසිනි. ඒ 2010 ජනවාරි 26 වන දිනය. ඉන් දින හතරකට පසුව එනම් 2010 ජනවාරි 30 වන දින ලංකා පුවත්පත් කාර්යාලයට සීල් තබනු ලැබීය. මැණික් ගඟ රක්ෂිතයේ සුපිරි මාලිගය පිළිබඳ එම පුවත් පතින් හෙළිදරව් කරනු ලැබූ දිනට පසුදින තවත් පුදුම සහගත දෙයක් සිදු වූයේය. ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ පෞද්ගලික දුරකතනයෙන් ජනතා විමුක්ති පෙරමුණේ එවකට හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අමතනු ලැබීය. “ උඹලගේ ලංකා පත්තරේ මට මඩ ගහනවා. මං පත්තරේට ගිනි තියනවා.” යනුවෙන් තර්ජනය කිරීමක්ද සිදු කරනු ලැබීය. සෝමවංශ අමරසිංහ මහතා ජීවතුන් අතර නැතත් අද සිටින ජවිපෙ පක්ෂ නායකයා ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයන් ඊට සාක්ෂි දරනු ඇත. ජනවාරි 29 වන දින එවකට ලංකා පුවත්පතේ ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙවැනි වටපිටාවක කතරගම මැණික් ගඟ රක්ෂිතය නොව ගෝඨා පිළිබඳ වෙනත් ප්‍රවෘත්තියක් හෝ පළ කිරීම අනතුරුදායක බව මෙරට මාධ්‍යකරුවෝ වටහා ගත්හ. එබැවින් එදා නොකී කතා බොහෝමයක් ඊට පසු කියන්නට සිදුවීම අසාධාරණ නැත.

විධායකයේ ආනුභාවය

ගෝඨාභය රාජපක්ෂ මැණික් ගඟ රක්ෂිතයේ සුපිරි බංගලාව ඉදිකිරීම ආරම්භ කරනු ලැබුවේ සිය ඥාති පුත්‍රයා කතරගම දෙවාලයේ බස්නායක ධූරයට පත් වීමත් සමඟය. ඒ ශෂීන්ද්‍ර රාජපක්ෂ ය. බස්නායක ධූරයට පත්වීමෙන් අනතුරුව හෙතෙම ඌව පළාත් මහ ඇමතිවරයාද වූයේය. රටේ පැවති නීතිය අනුව නම් මේ තනතුරු දෙකම එක පුද්ගලයකුට දැරීමට නොහැකිය. එම තනතුරු දෙකම ශෂීන්ද්‍රට දැරීමට හැකි වන සේ එවකට ජනාධිපති බාප්පා විහාර දේවාලගම් පනත වෙනස් කළේය. විහාර දේවාලගම් පනතට අනුව රජයේ ආඥා තනතුරක් දරන අතරවාරයේ දේවාලයක නිළමේ තනතුරක් දැරීම නීති විරෝධි ක්‍රිියාවකි. ඒ බව විහාර දේවාලගම් ආඥා පනතේ 14 වන වගන්තියේ (ඇ) (ඈ) කොටසේ දැක්වේ. මහින්ද රාජපක්ෂ මහතා නොහොත් ශෂින්ද්‍රගේ බාප්පා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් විහාර දේවාලගම් ආඥා පනතේ තුන්වැනි වගන්තිය කතරගම බස්නායක නිලමේ ධූරයට පමණක් වලංගු වන සේ සංශෝධනය කළේය. එම කටයුත්ත සිදු කරනු ලැබුවේ විධායකයේ ආනූභාවයෙනි. අදාළ සංශෝධනයේ මෙසේ සඳහන් වේ.
විහාර දේවාලගම් ආඥා පනත,
3 වැනි වගන්තිය යටතේ,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වැනි ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 1992 අංක 3 දරන පනතින් සංශෝධිත (318 වැනි අධිකාරය වූ) විහාර දේවාලගම් ආඥා පනතේ තුන්වැනි වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ වන මම මේ නියමයෙන් රුහුණු මහ කතරගම දේවාලය එම ආඥා පනතේ 14 වැනි වගන්තියේ (අ ඈ) ඡේදයේ විධිවිධාන වලින් නිදහස් කරමි.
මහින්ද රාජපක්ෂ

ජනාධිපති.

ගැසට් නිවේදනයෙන් පසුව කතරගම දේවාලයේ ඉඩම් පමණක් නොව මුළු ඌව පළාතම තමන්ට අභිමත පරිදි තමන් යටතට ගැනීමට රාජපක්ෂවරු කල්පනා කළහ. එබැවින් එකී හැසිරීමට රජයේ නිළධාරීහු නිහඬ වූහ.මැණික් ගඟ රක්ෂිතයේ අනවසර සුපිරි බංගලාව තැනෙන්නේ මෙවන් වටපිටාවකය.

වන රජ පෙදෙස

මැණික් ගඟ රක්ෂිතයේ ගෝඨාභය රාජපක්ෂ සුපිරි බංගලාව ඉදිකරනු ලැබුවේ ඔහුගේ පෞද්ගලික ධනයෙන් නොවේ. ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් හත්කෝටි පහළොස් ලක්ෂ පනස්එක් දහස් පන්සිය අසූ හතරක මුදලක් වැය කර තිබිණි. ඉදිකිරීම් කටයුතු සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුකර තිබුණේ මාර්ග සංවර්ධන අධිකාරිය (මඟ නැගුම) ට අයත් 68-7384, 68-7464, 68-7461, 68-7363 යන ඉසුසු වර්ගයේ ටිපර් රථ වලිනි. මීට අමතරව ලේලන්ඞ් වර්ගයේ ටිපර් රථ LG 2395, LG 2403, LH 7250, LG 2410 ද යොදා ගෙන තිබිණි. සුපිරි බංගලාව පිහිටා ඇත්තේ නාවික හමුදා නිවාඩු නිකේතනයට යාබදවය. එම නිවාඩු නිකේතනය ඉදි කිරීමේ දී මැණික් ගඟට අත්හරින ලද රක්ෂිත කොටස ගෝඨාගේ බංගලාව ඉදි කිරීම සඳහා වෙන්කර ගෙන තිබිණි. සුපිරි නිවස ඇත්තේ වනරජ පෙදෙස, ඩිපෝව පාර, කතරගම යන ලිපිනයේය. මේ අනවසර ඉදිකිරිම සඳහා ජලය හා විදුලිය ලබා දී තිබූ අතර ඒවා නීත්‍යනූකූල ලෙස ලබා දුන්නේ කුමන පදනමකින්ද යන්න තේරුම් ගැනීමට එසමයෙහි රාජපක්ෂලාගේ හැසිරීම යළිත් කියවා ගැනීමෙන් වටහා ගත හැකිය.
සුපිරි බංගලාවේ බිල්පත් ලැබෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ නමටය. මාපක අංකය 0701014906 ලෙස එම බිල්පත්වල සටහන් වේ. චීන අවන්හලකට ඇතුල් වීමට ඇති සේ දොරටුවක් ඉදිරිපසින් ඇති අතර පසුපස මැණික් ගඟට බැස දිය නෑම සඳහා ඉදිකළ පඩිපෙළකි.

එදා සහ අද

2010 වසරේ සිට 2015 ජනවාරි දක්වා කාල සීමාව තුළ මේ සුපිරි බංගලාව නිරීක්ෂණය කිරීමම අනතුරුදායක තත්ත්වයක පැවතිනි. ඊට හේතුව වූයේ මේ නිවසේ ආරක්ෂාවට කමාන්ඩෝ භටයන් යොදා තිබීමයි. එසමයෙහි මේ නිවසේ ඡයාරුප ගැනීම එක්කෝ හිරේ යෑමට හේතූ වූයේය. නැත්නම් ත්‍රස්තවාදියකු ලෙස හංවඩු ගසා ත්‍රස්ත විමර්ශන ඒකකයේ ළගින්නට හේතුවක් වූයේය. බොහෝ මාධ්‍යවලට එදා මේ කතාව කියන්නට නොහැකි වූයේ ඒ නිසාය.දැන් කියන්නට සිදුවන්නේ ද එදා කියන්නට ඉඩක් නොතිබූ නිසාය. මේ සුපිරි බංගලාව ඉදි කිරීමට කිසිදු වගකිවයුතු ආයතනයක් එරෙහි නොවූයේ මන්ද යන්නට පිළිතුරක් දැන් සොයාගැනීමට අපහසු නැත. ඉකුත් දිනක අපි මේ සුපිරි බංගලාව නිරීක්ෂණය කිරීම සඳහා එහි ගියෙමු. එදා සහ අද වෙනස තේරුම් ගැනීමට එම නිරීක්ෂණය බෙහෙවින් ඉවහල් විය.
2010 මෙම නිවසේ හෝ ඒ අවට ඡායාරූප ගත්තේ නම් අත්වන ඉරණම යළිත් කියන්නේ නැත. එහෙත් 2018 මැයි මාසයේ අප එහි යන විට ගේට්ටු ඉබි යතුරුලා තිබිණි. නිවසේ රැඳී සිටියවුන් ජනෙල්වලින් එබී බැලුවා මිස එළියට ආවේ නැත. අනවසරයෙන් ඇතුල් වීම නීති විරෝධී බැවින් නිවසේ රැඳී සිටිය මහත්වරුන්ට එළියේ සිට කතා කළත් ඔවුන් ගේට්ටු හැරියේ ද නැත. ඔවුහු කැමරා වලින් බේරී සිටියෝය.

කොළඹ සහ කතරගම

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ පැල්පත් වාසින් වෙන් කළේ ඔවුන් අනවසර පදිංචිකරුවන් කියාය. පැල්පත් වාසීන්, පදික වෙළඳුන් ඉවත් කර ව්‍යායාම මංතීරූ ඉදිකර කොළඹ හැඩ කළේද ගෝඨාභය රාජපක්ෂ ය. ඇල මාර්ග මෙන්ම බේරේ වැව ද සුපිරි ලෙස පිරිසිදු කළේය. එහෙව් ගෝඨාභය කතරගම මැණික් ගංතෙර අනවසරයෙන් සුපිරි බංගලාවක් ඉදි කළේය. එය ද ඔහුගේ පුද්ගලික මුදල් වලින් නොවන බව පැහැදිලිය. 2010 නම් මේ ගොඩනැගිල්ල සහිත ඉඩමට ඔප්පුවක් තිබුණේ ද නැත. කොළඹ ඇළ මාර්ග පවිත්‍ර කළ ගෝඨා, බේරේ වැවේ ප්ලාස්ටික් පොලිතින් ඉවත් කළ ගෝඨා තමන්ගේ සුපිරි නිවසේ කසල මැණික් ගඟට මුසු කළේ ඇයි දැයි පිළිතුරු දිය යුතුය.
අපකළ නිරීක්ෂණයේදී පැහැදිලි වූයේ තවමත් කසළ කන්ද මැණික් ගඟට රූරා වැටෙන බවයි. සිවිල් ජනතාවට සහ රාජපක්ෂ පවුලට නීතිය ක්‍රියාත්මක වී ඇත්තේ කොළඹ සහ කතරගම වැනි අන්ත දෙකකිනි.සෙල්ල කතරගම ගෙරිකටු වැවේ ඇති හෝටලය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට අයත් එකකි. ඒ බව ප්‍රදේශයේ ගොවි මහත්වරු අපට කීහ. ඉදි කිරීම් සඳහා වැව හිස් කිරීමට වැව් බැම්ම කපා දැමුවේය. ඉදි කිරීම් අවසන් කර යළිත් වැව් බැම්ම ඉදිකළත් වැව අයිති වූයේ ජනතාවට නොවේ. මීට අමතරව තවත් රාජපක්ෂ මාලිගා දෙකක් චන්ද්‍රිකා වැව අසල ඇඹිලිපිටිය සහ මහවැලි ගඟ අසල මහියංගනය යන ස්ථනවලත් ඉදිකර තිබුණි. ඒවා නඩත්තුවට 2011 පෙබරවාරි වන විට නාගරික සංවර්ධන අධිකාරිය වැය කර තිබූ මුදල පහළොස් කෝටි අසූහත් ලක්ෂ දොළොස් දහස් හත්සිය දාහතරයි ශත හතලිස් එකකි. මැණික් ගඟබඩ ගෝඨාගේ සුපිරි බංගලාව අයත්වන්නේ 146/ඊ දෙටගමුව ග්‍රාමනිලධාරි කොට්ඨාසයටය.එනමුත් කතරගම රාජ්‍ය ආයතන නිලධාරීන් මේ නිවස පිළිබඳව එදත් අදත් කිසිවක් නොවිමසති. ඊට හේතුව ගෝඨා -බය නිසා විය හැකිය.

ගෝඨාභය පමණක්ද?

මැණික් ගඟ රක්ෂියේ අනවසර ඉදිකිරීම් කළේ ගෝඨාභය රාජපක්ෂ පමණක් නොවේ. අනවසර ඉදිකිරීම් ඇත්තේ ද මැණික් ගඟ දෙපස පමණක් නෙවේ. දෙටුගමුව වැව් රක්ෂිතයද අනවසර පදිංචිකරුවන්ගෙන් පිරී ගොසිනි. කෝටිපති ව්‍යාපාරිකයින් මෙන්ම දේශපාලන බලවතුන්, පූජකයින් මේ අනවසර ඉදිකිරීම්වල නියමුවෝ වෙති. අනවසර ඉදිකිරීම් පසුපස කතරගම යන පිරිස් අතරමං කරන කතාවක් ද තිබේ. ඒවා පසුව දක්වමි.එහෙත් ගෝඨාගේ සුපිරි බංගලාව නිසා ඔහුට හිතවත් පිරිස නගන ප්‍රධාන ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුය. මැණික් ගඟ රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් කළේ ගෝඨා පමණද? කිසිසේත්ම නැත. ඔහු ඊට නරක පූර්වාදර්ශයක් සපයා ඇති බව සත්‍යකි. ඒ නිසා තවත් පිරිස් දුප්පත් ජනතාවට ලක්ෂ ගණනින් මුදල් දී ඔවුන් පදිංචිව සිටි ඉඩම් මිලදී ගෙන ඒවායේ විවිධාකාරයේ ඉදිකිරීම් කරන්නට පටන් ගත්හ. ඔප්පු හෝ බලපත්‍ර නැති මේ ඉඩම් කතරගම දේවාලයට අයත් ඒවාය. මැණික් ගඟ රක්ෂිතය කපා බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් ඉදිකළ නීලකාරාමය නීලකාසාරාමයක් මිස නීත්‍යනුකූල එකක් නොවේ. කතරගම රාජ්‍ය ආයතන මේ රක්ෂිත කොටස හෙළි කිරීමට එරෙහි වූයේ වන සතුන් දිය බීමට පැමිණෙන බිම් තීරුවක් නිසාය. එහෙත් කොළඹ දේශපාලන බලධරයකුගේ අනුදැනුම මත වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා ගඟ රක්ෂිතය හෙළිකර නීලකාසාරාමය ඉදිකිරීම සඳහා අමිතානන්ද හිමියන්ට අවසර ලබා දී තිබිණි. දැන් එතැන වෙහෙරක් තැනීමට මුල් ගල් තබා ඇත. කතරගම පූජා භූමිය කිරිවෙහෙරින් ද සමන්විතය. එහි ඇති ඓතිහාසික පූජනීය සිද්ධස්ථාන මෙරට මෙන්ම විදෙස් පූජාවට ද ප්‍රමාණවත්ය. එහෙත් ග්‍රාමසේවා වසම් පහකට අලුතින් ඇති කළ භාවනා මධ්‍යස්ථාන පන්සල් හෝ ආගමික සිද්ධස්ථාන සංඛ්‍යාව 45 කි. මේවා කතරගමට එන බැතිමතුන්ගෙන් උපයා ගැනීමට දැමු කඩ අල්ලි මිස වෙන කුමක්වත් නොවේ. කතරගම සිදුවන මේ ඉඩම් කොල්ලය වත්මන් ආණ්ඩුවෙන් නැවතී නැත. මේ ආණ්ඩුවේ ප්‍රබලයින් රැසක් ද කතරගම අනවසර ඉදිකිරීම්වල ප්‍රබල භූමිකාවක නිරත වෙමින් සිටිති. අමාත්‍යංශ ලේකම්වරුන්, ආයතන සභාපතිවරුන්, ඉහළපෙලේ රාජ්‍ය නිලධාරීන්, ඇමති, මන්ත්‍රීවරුන්, ව්‍යාපාරිකයන්, ඒ අතර වේ. එබැවින් මැණික් ගඟ රක්ෂිතය සහ කතරගම ආක්‍රමණය කළේ රාජපක්ෂවරුන් පමණක් නොවේ. කොළඹ සිට ඉඩම් අල්ලා ගැනීමට කතරගම ගිය අනෙක් වන්දනා නඩය පිළිබඳ රාවය ඉදිරියේ දී හෙළිදරව් කරනු ඇත.

ගෝඨාගේ උත්තර

කතරගම මැණික් ගඟබඩ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කළ විමසීම සඳහා ලියුම්කරු 2018.05.06 දින ඔහුගේ පෞද්ගලික ජංගම දුරකතනයට අවස්ථා හතක් ඇමතුම් ලබා ගත්තේය. ප්‍රතිචාරයක් නැත. පසුව එදින පස්වරු 5.32 ට ගෝඨාභය රාජපක්ෂ මහතාම ලියුම්කරුගේ දුරකතනයට ඇමතුවේය. හඳුන්වාදීමෙන් පසු කෙළින්ම ප්‍රශ්නය ඔහුට යොමු කළෙමි. “මට ටිකක් පැහැදිලි නැ. වට්ස් ඇප්වලින් එන්න” යැයි ඔහු කාරුණිකව කිවේය. ඉන් පසුව වහාම අවස්ථා හයක් ඇමතුම් ගත්තත් ප්‍රතිචාර දැක්වූයේ නැත. අවසන් ඇමතුම ගත්තේ රාත්‍රී 7.53 ටය. දුරකථනය නාද වූ පසුව එය විසන්ධි කෙරිණි. මේ මඟහැර සිටීමට ඔහු පිළිතුරු දිය යුතුය. එම පිළිතුර රාවයේ පළ කිරීමට අපි බැඳී සිටිමු.