රාවය

නීතිඥ පාපන්දු කණ්ඩායමේ ස්පාඤ්ඤ සංචාරය, නීතිඥ සංගමය දෙනු යෙහෙකිය පිළිතුරු

නීතිඥ පාපන්දු කණ්ඩායමේ ස්පාඤ්ඤ සංචාරය, නීතිඥ සංගමය දෙනු යෙහෙකිය පිළිතුරු

නිමල් අබේසිංහ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීත්‍යනුකූල අනුදැනුමකින් තොරව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් 20 දෙනකුගෙන් යුත් නීතිඥ කණ්ඩායමක් ස්පාක්‍ද්ක්‍දයේ පැවති ලෝක නීතිඥ සංගමය විසින් පවත්වන පාපන්දු තරගයකට සහභාගි වී ඇත. බැලු බැල්මට මෙය සාමාන්‍ය දෙයක් ලෙස පෙනී ගියත් මෙම 20 දෙනා එම තරඟයට සහභාගි වී ඇත්තේ කූඨ ලේඛන ඉදිරිපත් කිරීමෙන් ද යන්න බරපතළ සැකයක් පැන නගී. ඊට හේතුව වන්නේ මෙම පාපන්දු තරඟයට නීතිඥ සංගමයේ සාමාජිකයින් සහභාගි වන බව සංගමය කිසිදු ආකාරයකින් නොදැන සිටීමය. එවැන්නක් සිදු වේ නම් සංගමයේ මහ සභාව මෙන්ම විධායක සභාව දැනගෙන සිටීම අනිවාර්ය විය යුතුය. එනම් තරඟයට සහභාගී වන සාමාජිකයින් කවුරුන්ද යන්න දැනගෙන සිටිය යුතුය යන්නය. එය සංගමයේ පවතින නීතිය වේ.
නීතිමය තත්ත්වය එසේ වුවත් ඒ නීතියේ කණින් රිංගා නීතිඥ කණ්ඩායමක් 2018 මැයි 04 දින ස්පාඤ්ඤයේ පැවති ලෝක නීතිඥවරුන්ගේ පාපන්දු තරඟාවලියට සහභාගී වී ඇත. මේ පිරිස සහභාගී වූ තරඟ තුනේදීම එකම ගෝල් එකක්වත් ලබා ගන්නට ඔවුන් අසමත් වුවත් තරඟයට සහභාගි වන්නට පෙර ශ්‍රී ලංකාවේදී නම් ගෝල් විස්සක්ම ගසා ඇති බව නම් ඇත්තකි.
නීතිඥ සංගමයේ සාමාජිකයින් මෙම තරඟාවලියට සහභාගී වීමට නම් නීතිඥ සංගමයේ සාමාජිකයින් බව සනාථ කළ යුතු වේ. වීසා ලබා ගැනීම සඳහා මෙය අතිශයින් වැදගත් ද වේ. එනමුත් එවැනි ලිපි එකකුදු හෝ නීතිඥ සංගමයෙන් නිකුත් කර නැති බව ද හෙළි වී ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා විසින් සංගමයේ ලේකම්වරයාට කර තිබූ වාචික නියෝගයක් නිසාවෙනි. ඊට හේතුව වන්නේ 2017 වසරේදී වියට්නාමයේ දී පැවති ආසියානු නීතිඥ සංගමයේ පාපන්දු තරගාවලියට සහභාගී වූ නීතිඥවරුන් විසින් නීතිඥ සංගමයෙන් ලබා ගත් රුපියල් 700,000 ක ණය මුදල ගෙවීම ඔවුන් විසින් පැහැර හැර තිබීමය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පාපන්දු කණ්ඩායමේ නායක නිහාල් පෙරේරා විසින් එම ණය මුදල සංගමයෙන් ඉල්ලා ඇති බව ද තහවුරු වේ. එමෙන් ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් 2017,2018 වසර වෙනුවෙන් නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේද පාපන්දු කණ්ඩායම එවැනි ණය මුදලක් ලබාගෙන ඇති බව සඳහන්ය.
මේ වාතාවරණය තුළ සභාපතිවරයා සංගමයේ ලේකම්වරයාට උපදෙස් දී තිබි ඇත්තේ ණය මුදල ගෙවන තුරු කිසිදු හේතුවක් නිසා නීතිඥ සංගමයේ පාපන්දු කණ්ඩායමට විදෙස්ගත වීම සඳහා සංගමයෙන් ලිපි නිකුත් නොකරන ලෙසටය. එහෙත් සංගමයේ හිටපු ලේකම් අමල් රන්දෙණිය විසින් එක්තරා අවස්ථාවකදී සංගමයේ ලිපි ශීර්ෂ 20 ක් රැගෙන ගොස් ඇත. මේ ගැන රාවය ප්‍රවෘත්තියක් ද පළකළ අතර ඒ ගැන සභාපතිවරයාගෙන් විමසනු ලදුව ඔහු පැවසුවේ එය සත්‍යයක් බවය.කෙසේ නමුත් ස්පාඤ්ඤයේ පැවති ලෝක නීතිඥ සංගමයේ පාපන්දු තරඟාවලියට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පිරිසක් සහභාගී වී ඇති බවට තහවුරු කෙරෙන තොරතුරු හෙළි වී ඇත. ප්‍රධානම ගැටලුව වන්නේ මේ නීතිඥ කණ්ඩායම නියෝජනය කරමින් හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ හා රෝහිත රාජපක්ෂ ද සහභාගී වී තිබේ. නාමල් රාජපක්ෂ නීතිඥයකු වුවත් රෝහිත රාජපක්ෂ නීතිඥයකු බවට තොරතුරක් නැත.
නීතිඥ සංගමයේ වත්මන් ලේකම් කෞශල්‍ය නවරත්තගෙන් විමසු විට ඔහු මීට පෙරද කියා සිටියේ තමන්ට දිනකට ලිපි පනහකට හැටකට අත්සන් කරන්නට සිදු වන අතර මේ කියන ලිපිවලට අත්සන් කළා ද යන්න කිව නොහැකි බවය.මෙය නම් ප්‍රාථමික විහිළුවකි. ලිපිය කුමක්ද යන්න සොයා නොබලා අත්සන් කරන නීතිඥවරයකු සිටීනම් ඔහු තව දුරටත් නීතිඥ වෘත්තියේ නියැලීම කොතරම් අයෝග්‍යය ද? මේ ගැන ක්‍රියාත්මක විය යුත්තේ නීතිඥ සංගමයමය. එය ඔවුන් වෙත පැවරී ඇති මඟ නොහැරිය හැකි කාර්යයකි.
දැන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අභිමුව පිළිතුරු බැඳීමට ප්‍රශ්න පත්‍රයක් තිබේ. සත්‍යවශයෙන්ම නීතිඥ සංගමයේ පාපන්දු ක්‍රීඩකයින්ට විදේශගත වීමට අවශ්‍ය ලිපිවලට එහි වත්මන් ලේකම්වරයා අත්සන් කළේද? එසේ නොමැති නම් ඔහුගේ ව්‍යාජ අත්සන යොදා එම ලිපි ප්‍රංශ තානාපති කාර්යාලයට ලබා දී තිබේද? (ස්පාඤ්ඤයට විසා ලබා ගැනීම සඳහා වීසා අයදුම් කළයුත්තේ ප්‍රංශ තානාපති කාර්යාලයෙනි) රෝහිත රාජපක්ෂ නීතිඥයකු ලෙසට හඳුන්වමින් ඔහුටත් වීසා ලබා ගැනීමට නීතිඥ සංගමයෙන් ලිපියක් නිකුත් කළාද? හිටපු ලේකම් අමල් රන්දෙණිය රැගෙන ගිය ලිපි ශීර්ෂ මේ සඳහා භාවිත කර තිබේද? රෝහිත රාජපක්ෂ නීතිඥ සංගමයේ පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළා ද? මෙම ගමන සඳහා විධායක සභාවේ හා මහ සභාවේ අනුමැතිය ලැබී තිබේද? එසේ නම් ඒ කෙසේ ද? පාපන්දු කණ්ඩායමට ක්‍රිඩකයින් තෝරාගැනීමේ නිශ්චිත ක්‍රමවේදයක් තිබේද? මේ පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්න පත්‍රය වේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය තුළ සිදුව ඇති මෙම සිදුවීම කිසිසේත් ලඝුකොට සැලකිය යුත්තක් නොවේ. ඒ නීතිය ආරක්ෂා කිරීමට ඒ වෙනුවෙන් පෙනී සිටින සාමාජිකයින්ගේ ආයතනයක් තුළ මේ අපයෝජනය සිදුව ඇති බැවිණි. නීතිඥ ප්‍රජාවට නීතිඥ ක්ෂේත්‍රයෙන්ම දෝෂාරෝපණ එල්ල වී ඇති වකවානුවක මෙය බලගතු ලෙස ද සැලකිය හැකිය.
නීතිඥ සංගමයේ සභාපතිවරයාගෙන් විමසු විට ඔහු පැවසුවේ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවය. වත්මන් ලේකම් කෞශල්‍ය නවරත්න හා හිටපු ලේකම් අමල් රන්දෙණියගෙන් මේ ගැන දුරකතනය ඔස්සේ විමසීමට උත්සාහ කළත් එය අසාර්ථක විය.