රාවය

පවුල් 60, අලි 80, බඹරහෙළ අස්වැන්නෙන් 3/4 ක් සතුන්ට

පවුල් 60, අලි 80, බඹරහෙළ අස්වැන්නෙන් 3/4 ක් සතුන්ට

රසික ගුණවර්ධන

දුහුවිල්ලට ද හිරුරැස්වලට ද තවදුරටත් ඔවුන්ව තෙහෙට්ටු කරන්නට බැරිය. ඒ වැස්ස ලැබුණු නිසා නොව, තෙහෙට්ටු නොවන තරමට ඔවුන් දුහුවිල්ලට ද අව්වට ද හුරුවී සිටි බැවිණි. බඹරහෙළ ප්‍රදේශයට ගියේ මීට සති කිහිපයකට පෙරදීය, ඒ වන සතුන් නිසා ඔවුන් විඳින දුක් ගැහැට ගැන සොයා බැලීමක් කිරීමටය.
මෙහි මිනිසුන් මුහුණ දෙන ප්‍රධානතම උවදුර නම් වන අලින් ගම් වැද ස්වකීය වගාවන්ට ද ජීවිත වලට ද හානි කිරීමයි. තිස්ස එස්. රත්නායක විසින් මීට දෙමාසයකට පමණ කලින් රාවයට ලියන ලද “වන සතුන්ගෙන් කෘෂිකර්මාන්තය බේරාගන්නේ කෙසේද? ” යන ලිපිය තුළ ඔහු අලි උවදුර කෙතරම් දුරට තීව්‍ර තත්ත්වයක ඇද්දැයි පැහැදිලි කරයි. ඔහු ගේ ගණනය කිරීම් වලට අනුව දැනට ලංකාවේ සිටින වන අලි ගහණය 6427 වේ. එය සුලු ප්‍රමාණයක් ලෙස පෙනුන ද ලංකාවේ වන ඝණත්වය සමඟ බලන විට එය ඉතාම ඉහළ තත්ත්වයකි. ලංකාවේ දැනට පවතින වනාන්තර ප්‍රමාණය 20% කි. එනම් 13,122 ණඵ2 කි.එය තව දුරටත් අඩු වෙමින් පවතී. ඒ අනුව එක් අලියකුට හිමි වන භූමි ප්‍රමාණය 2නප2 කි !. එහෙත් සාමාන්‍ය ගණනය කිරීම් වලට අනුව අලියකු දිනකට ඇවිදින දුර කිලෝමීටර 32 ත් 35 ත් අතර ප්‍රමාණයකි. එසේම වැඩුනු අලියකුගේ දිනක ආහාර අවශ්‍යතාවය ටොන් 4 කි.
බඹරහෙළට යාමට කහටගස්දිගිලියේ සිට කිලෝ මීටර දහයක් පහළොවක් ඇතුලට යා යුතුය. බාග විට එය කිලෝමීටර විස්සකට ආසන්න විය හැක. බඹරහෙල, එහි හමුවන අවසාන ගම්මානයයි. බඹරහෙලින් එහාට ඇත්තේ ඝන කැළෑවයි. බඹරහෙලට යන පාරට කාපට් දමා නැත. එය ගුරු පාරකි. පාරේ ටික දුරක් යන තැන වතුර සිඳීගිය වැවකි. එතැන් සිට තවත් ඇතුලට යන විට හමු වූයේ එක යායට විහිදී ගිය තල වගාවන් සමූහයකි. මඤ්ඤොක්කා ද කෙසෙල් ද පොල් ද අඩුවක් නැත. එහෙත්, පොල් පැල බහුතරයක කරටි නැත. කෙසෙල් කොටු වල පැල තැලී පොඩිවී ගොසින්ය. මඤ්ඤොක්කා වගාවක ගස් ඇත්තේ තැනින් තැනය. ඒ අනෙක්වා තැලී පොඩිවී ගොස් ඇති බැවිනි. කොටින්ම බඹරහෙලට ඇතුලු වූ තැන දැක ගත හැක්කේ නාෂ්ඨාවශේෂ වූ ගොවි ගම්මානයකි!.

පවුල් 60 යි, අලි 80 යි!.

බඹරහෙල ගමේ සිටින පවුල් ගණන හැටකි. බඹරහෙලට එන අලි රංචුවේ අලින් සංඛ්‍යාව අසූවකි. මේ ගම විනාශයට ලක් වූ ගොවි ගම්මානයක් බවට පත්වී ඇත්තේ මේ නිසාය. වගාකරන සෑම වගාවක්ම මේ අලි රංචුවට ගොදුරු වේ. බඹරහෙලට අලින් ඇතුලු වන්නේ ගමේ පිටුපස මායිම වන කැළෑවෙනි.
අනෝමා, ඇය බඹරහෙල කතාව අපට කීමට මුලින්ම එක් වූවාය. මේ ඇය බඹරහෙල ගම පිළිබඳව කී කතාවයි
”අලි කරදර තමා අපේ ගමට තියන එකම ප්‍රශ්නෙ. පහුගිය දවස් ටිකේ එක දිගටම හිටිය. දැන් දවස් හතරක් විතර සද්ද නෑ. එහා පැත්තෙ ගමක් තියනව ඒ ගමට තමයි මේ දවස් ටිකේ යන්නෙ. අපේ ගමේ කන්ඩ තියන ටික කාල ඒ ටික ඉවර වුණහම ඊළඟ ගමට යනව. කෙසෙල් ගස් ටික කනව. පොල් ගස් කනව. කනව විතරක් නෙවෙයි කාල සේරම විනාශ කරනව. අපි හැමදාම රෑට ඇහැරල හිටියොත් බේර ගත්තැහැකි. මොහොතක් නින්ද ගියොත් මුළු වත්තම කාල යනව. කැකිරි වැලක්, වට්ටක්ක වැලක් හැදෙන්ඩ නෑ. අඹ ගස් වල අඹ කනවා කොස් ගස් වල කොස් කනව. ගොවිතැන් කරන හැම බිමක්ම විනාශ කරනව.”
අලින් ගමට ඇතුලුවන කැලෑවේ මායිමේ පිහිටා ඇති නිවස රත්නායකගේය. මේ ඔහු කියන කතාවයි.
”මේ පිටිපස්සෙ කැළෙන් තමයි අලි ගමට එන්නෙ, උන් එන්නෙ මේ ගේ අයිනෙන්. මේ ඊයෙ පෙරේද ආපු පාර පොල් ගස්ටික පොඩිකරල දැම්මා, පීදුනා විතරයි. එහා පැත්තෙ මගෙ මඤ්ඤොක්ක වගාවක් තිබ්බ ඒකත් තලල දැම්ම. මේ වත්තෙ කිසිම ගෙඩියක් හැදෙන ගහක් හදන්ඩ බෑ. හැදුවොත් ඉවර කරල දානව. ” රත්නායකලාගේ ගෙයි පිටුපස බිත්තිය අයිනේ ”අලි අඩිය” දෙක තුනක් නොව නොගැණිය හැකි තරම් විශාල ගණනකි. එසේම වත්තේ අලි බෙටි වලින් ද අඩුවක් නැත.

අලි ගෙනත් දැමීම

ඔවුන් ඔවුන්ගේ කතා කියන අතරතුර අපි අනෝමාගෙන් ප්‍රශ්නයක් ඇසීමු.
අලි කරදර ඉස්සරත් තියෙන්න ඇතිනේ?
අලි කරදර ඉස්සරත් තිබ්බා, හැබැයි මෙච්චර දරුණුවට තිබ්බෙ නෑ. මේ ළඟකදි ඉඳල තමයි අලි කරදර වැඩිවෙන්ඩ පටන් ගත්තෙ. හබරන තමයි ඉස්සර මේ අලි ටික හිටියෙ. හබරන කැලේ ගහක විසක් පැතිරිල අලි ටික මැරෙන්ඩ යනව කියල හබරනින් අලි ටික ගෙනල්ල කනදරාවෙ කැළෑවට දැම්ම. කොටසක් කනදරාවෙ කැලේට දාල, තව කොටසක් මහදිවුල් වැවේ කැලේට දැම්ම. එහෙම ගෙනත් දාල එතන වැටක් ගැහුව. ඒ වැට ගහනකොට අලි කොටසක් ගම්මාන වලට පැන්න. ඒ පැනපු අලි ටික තමයි මේ ගම්මාන වලට එන්නෙ.”

බඹරහෙලට අලි වැටක් නැද්ද?

”ඉලුගොල්ලාකඩ පැත්තෙන් ඇවිල්ල කොහොඹගස්කඩ පංසලේ ගල් මායිමට අලි වැටක් ගහල තිබ්බ. දැන් ඒ අලි වැට කඩල දාල. දැනට ගම්මාන පහක විතර මිනිස්සු මරල තියනව. ගෙවල් කඩල තියනව. ළමයෙකුට උදේට ඉස්කෝලෙ යන්ඩ බෑ. මේ ළඟදි දවසක ළමයෙක් ඉස්කෝලෙ එන්ඩ එනකොට ළමය පාරෙන් අනික් පැත්තට පනිද්දි අලිය එහා පැත්තට පැනල තියෙන්නෙ. නූලට මඟහැරුනෙ. හවස හයෙන් පස්සෙ පාරෙ යන්ඩ බයයි. අපිට හැමදාම නිදි මරන්ඩ බෑ, හැමදාම හැමවෙලේම ළමයි රැක ගන්ඩ අමාරුයි. අපිට මරණ බයත් එක්ක ජීවත් වෙන්ඩ වෙලා තියෙන්නෙ.”
අපට සුසන්ත හමුවන්නේ ඔය අතරේදීය. දහඩිය වැගිරෙන ඔහුගේ නිරුවත් උඩුකය හිරු රැස් වැඩී දිලිසේ. එහෙත් ඒ දිස්නය ඇස් වලට වැටී නැත. සිනහව පිරුණේ මුහුනේ ඇස් මලානිකය. අත රතිඤ්ඤා කරල් කිහිපයකි. ඔහු ඉක්මන් ගමනින් කැළෑව දෙසට පිය නගන අතරතුර අප ඔහුව නවත්තා ගත්තේ ගමට එන අලි ගැන ඇසීමටය.
“පත්තරෙන් කීවහම අලි එන්නෙ නැතුව ඉන්නවද?”
ඔහුගේ ආරම්භය අපූරුය.
“වැඩක් නෑ, වනජීවී එකේ කට්ටිය ඇවිල්ල අලි එළවනව කියල කැරකිල යනව. එයාල ගිහිල්ල ටික දවසකින් අලි ටික ආපහු ගමේ. අපි මේ රතිඤ්ඤ කරල් ටිකක් අරගෙන හවස් වෙනකොට එලියට එනව. මේ පොල් පැල ටික බේරගෙන ඉන්නෙ බොහොම අමාරුවෙන්. පොඞ්ඩක් එහා මෙහා උනොත් ඉවරයි. මම වත්ත වටේට බෙලෙක් ටින් ටිකක් එල්ලල තියෙන්නෙ ඇතුල් වුණ ගමන් දැන ගන්ඩ.”
ඔහු රතිඤ්ඤා කරල් කිහිපය ද ගෙන නැවත කැලය දෙසට ගමන් කරයි. අපි ඔහු පසුකර දයාවතීගේ නිවස දෙසට පැමිණියෙමු. ” ආපෝ ඊයෙ රෑත් ආව. අඹ ගහම ඉවරයි. ඊයෙ තනිය ආවෙ. හය හමාර හත වෙද්දි එළියට බහින්ඩ බෑ. ඇවිල්ල ඔක්කොම තලල තලල දාල යනව. මේ වංගෙඩි අඹරල හැමතැනම”
මේ උපද්‍රවයන්ගෙන් බේරීම සඳහා බොහෝ ගැමියෝ විවිධ උපක්‍රම භාවිත කරති. ඒවායින් ඇතැම් ඒවා නීති විරෝධීය. එහෙත් නීතිය නොසලකා හැර ඒවා භාවිත කිරීමට මේ ගම්මාන වල මිනිසුන්ට සිදුවී ඇත. මුකිරියායේ දරුවන් පස්දෙනකු සමඟ මවක් තනිවන්නේ ද පියකු සිරබත් කන්නේද මේ උපක්‍රමයක් නිසාය. එනම්, නීතිය විසින් විරෝධී යැයි කියන ක්‍රියාවක් නිසාය.
මේ ගැමියා දුප්පත් ගැමියෙකි. ඔහුට ඇත්තේ කුඩා මැටි ගෙදරකි. ඔහු ඔහුගේ නිවස වටා විදුලි රැහැනක් අදින්නේ සිය නිවස අලින් කඩා දමාවි යැයි ඇති බිය නිසාය. ඔහු බඩඉරිඟු ගොවියෙකි. දිනක් අලියකු පැමිණ බඩඉරිඟු වගාවට කඩා වදින්නේ බඩඉරිඟු කා දැමීමටය. ඒ අතර නිවස වටා ඇද ඇති විදුලි රැහැනේ ගෑවී ඒ අලියා මියයයි. මේ නිසා දැන් ඔහුට මහ උලු ගෙදර කූරු ගණින්නට සිදුවී ඇත, දරුවන් පස්දෙනා සහ මවට කුඩා මැටි නිවසේ තනිවන්නට සිදු වී ඇත. එසේම මේ ගම්මාන වල බොහෝ පියවරුන් අලින් නිසා එළොව ගොසින්ය.

අලි පිට රටට විකුණමු !

අප කහටගස්දිහිලියේ රැඳී සිටින අතරතුර ගොවීන්ගේ සාකච්ඡාවකට සහභාගී වීමට හැකියාව ලැබුණි. එයට ගොවීන් අවම වශයෙන් පන්සීයක් පමණ සහභාගී වී සිටි අතර එය සංවිධානය කර තිබුණේ රාජ්‍ය නොවන සංවිධානයක් මගිනි. එහිදී ඔවුහු ගොවීන් සමඟ සත්ව හානි හා එයට විසඳුම් පිළිබඳව සාකච්ඡා කළහ. ඒ අතර අපූරු සිදුවීමක් සිදුවිය. ප්‍රධාන කථිකයා අලි ප්‍රශ්නය පිළිබඳව කතා කරන අතරතුර අලි උවදුර මැඩ පැවැත්වීම සඳහා යෝජනා ඉදිරිපත් කළේය. “අලින් පිටරටට විකුණා දැමීම” පිළිබඳව පිරිසගෙන් විමසූ අතර එහිදී සියලුම අත් ඉහළට එස වුණ් එම යෝජනාව අනුමත කරමිනි.! එසේම වගාවට හානි කරන ඌරන් , ඉත්තෑවන් , මොණරුන් මස් පිණිස යොදා ගැනීමට ඇති හැකියාව ද එහිදී සාකච්ඡාවට බඳුන් විය. අප නිරීක්ෂණය කළ ආකාරයට නිරර්ථක සත්ව අවිහිංසාවෙන් තොර එය අපූරු සාකච්ඡාවකි.
ගොවිතැන් කරන්නේ ගොවීන්ය. සතුන් හමුවන්නේ ද ඔවුන් සමඟ මිතුරු වන්නේ ද ඔවුන් සමඟ සතුරු වන්නේ ද ගොවීන්ය, නැතිනම් ගම්වල මිනිසුන්ය. ඒ නිසා මේ අලි ගම් වැදීම හා වගාවන්ට සිදුවන සත්ව හානිය පිළිබඳව කොළඹ සිට පිළිතුරු සෙවිය නොහැකිය. ඒ සඳහා හොඳම ප්‍රායෝගිකම විසඳුම් ඇත්තේ ගැමියන් සතුවය. කහටගස්දිගිලියේදී අලින් විකුණාදමන ලෙසට එසැවුණු අත් ගණන පන්සීයකි!. සාකච්ඡාවේදී මතු වූ අනෙක් කරුණ වූයේ වන සතුන් කොටු කිරීමට ප්‍රදේශයක් ඇති කිරීමේ වැදගත්කමයි. එනම් සත්වෝද්‍යානයක ස්වරූපයෙන් ය.
එහිදී හමුවූ කපුරුබංඩා අපට කීවේ මෙවැනි කතාවකි.” අපි ඉස්සර වල් ඌර, ඉත්තෑව මැරුව. මරල විසිකළේ නෑ, අපි කෑව. දැන් එහෙම කරන්ඩ බෑනෙ. වල් ඌර මැරුවත් පොලීසියට කුදලගෙන යනව. දැන් කවුරුත් උන්ව මරන්නැති හන්ද හැම කොටුවකටමයි, හැම හේනකටමයි මුන් පැනල විනාස කරල දානව, දැන් අපි වවනව උන් කනව. අපි කන්ඩ නැතුව හාමතේ ඉන්නව. ගහක කොස් ගෙඩියක් වත් හැදෙන්ඩ දෙන්නෑනෙ. අපේ ගොවිතැන් වලින් හතරෙන් තුනක් කන්නෙ සත්තු. දැන් අපි බඩඉරිඟු හිටෝනව කියමුකෝ බිම හදල ඇට දාපුවහම ඒව හාරල මොණරා කනව. ඒකෙන් ටිකක් හැදුන කියමුකෝ, පූදිනකොට, කරල හැදෙනකොට ගිරව කනව, ඒකෙත් ටිකක් හැදුන කියමුකො ටිකක් පැහෙනකොට අලිය කනව. ඉතින් අපට ඉතුරුවෙන්නෙ හතරෙන් එක පංගුවයි. ගොවිතැනින්නෙ අපි ජීවත් වෙන්නෙ. වෙන දෙයක් කරන්ඩ නැතුවට අපි මේක පස්සෙ යනව. අලියෙක් දැක්කෙ නැත්තන් දැන් නින්ද යන්නෙ නෑ. ටෝච් ගහගෙන අපි එළවනව උන් ආයෙ එනව, උන්ට ලැජ්ජත් නෑ අපිට ලැජ්ජත් නෑ. ”

තුවක්කු ටිකක් දුන්නොත් මොකද?
“තුවක්කු ටිකක් දුන්නොත්නන් ප්‍රශ්නෙන් සීයට අසූවක් විතර විසඳගත්තැහැකි. අපිට තුවක්කු දෙන්නෙ මිහින්තලේ පොලීසියෙන්නෙ. ඒව ගන්ඩත් දේශපාලන බලේ තියෙන්ඩ ඕනෙ. අන්තිමට බලද්දි තුවක්කු ටික හම්බවෙලා තියෙන්නෙ ගොවීන්ට නෙවේ දඩයක්කාරයන්ට. ඉස්සර හිටපු කෘෂි නිලධාරියො පුට් බයිසිකලේ පැදගෙන ආවේ. ඇට දාපු දවසෙ ඉඳන් අස්වැන්න කපනකන් ඒ ඈයො ආව, දැන් ඉන්න උන් අපි උන්නද මලාද බලන්ඩ එන්නෑ. දැන් ඉන්න ගොවි නියාමකල ඉන්නෙ කන්නෙකට ගොවි රැස්වීමක් තියන්ඩ. ඊට පස්සෙ එනව බදු අය කරන්ඩ. අපිට කන්න හතරකින් ගොවිතැන් නෑ. හැබැයි බදු අය කරන්ඩ එන. අපිට වගා නොකර රජයට බදු ගෙවන්ඩ වෙලා තියෙන්නෙ. අක්කරේට රුපියල් හතලිහක් ගන්නව.”
කහටගස්දිගිලියේ බඹරහෙළ දී අපට පැහැදිලි වූයේ වනසතුන් එනම් ප්‍රධාන වශයෙන් අලින්, ඌරන්, ඉත්තෑවන්, දඬුලේනන්, මොණරු, රිලවු ආදී සතුන්ගෙන් වගාවන්ට ඇති බලපෑම ගොවියා මුහුණ දෙන දුෂ්කරම ගැටලුවක් බවයි.
“අපිට රෑක ලෙඩෙක්වත් හදිස්සියෙ ඉස්පිරිතාලෙට ගෙනියගන්ඩ බෑ, එළිවෙනකන් ඉන්ඩ ඕනෙ. කවුරුහරි ගමෙන් එළියට ගිහිල්ල රෑ වුණොත් ආය එනව බොරු. ඊළග දවසෙ එළිවුණහම තමයි ආයෙ එන්ඩ වෙන්නෙ. අනේ අපිට අලි වෙඩි ටිකක් එවනවද” අප සමුගන්නට යන තැන දයාවතී එවැනි ඉල්ලීමක් කළාය.
දැන් මුග්ධ අවිහිංසාව අතහැර දැමිය යුතු කාලය එළඹෙමින් ඇත. කහටගස්දිගිලියේ ගොවීන් එයට සූදානම්ය. ඔවුන් එදා හමුවේදී අත් පන්සීයක් ඉහළට ඔසවා කීවේ ඒ කතාවයි. ගොවිතැන රැකගැනීමට පොහොර සහනාධාර දී නොහැකිවග තේරුම් ගත යුතුය. ඊට අවශ්‍යවන්නේ දිගුකාලීන වැඩපිළිවලක්, ක්‍රමවත් රාජ්‍ය ප්‍රතිපත්තීන් සහ ආකල්පමය පරිවර්තනයකි.