කවිය විචිත්‍ර චිත්ත සන්තානයක ප්‍රකාශනයක් – පාලිත අරවින්ද වීරක්කොඩි

දිනී ජයසේකර

ඔබ නවසිය අසූව දශකයේ සිට තම ප්‍රකාශන මාධ්‍ය ලෙස කවිය තෝරාගෙන තිබෙනවා. 1988 දී ‘ප්‍රභාතය’ ප්‍රථම කාව්‍ය සංග්‍රහය පළවීමෙන් පසු වසර විස්සකින් පමණ පසු 2009 දී ‘සැඳෑ’ පද්‍ය සංග්‍රහය පළ කරනවා. ඔබ ඔබේ ප්‍රකාශන මාධ්‍ය ලෙස කවිය තෝරා ගන්නේ ඇයි?

අපේ තරුණ විය ගෙවූ අවධිය ඉතා සංකීර්ණ යුගයක්. එකල තරුණයන්ට තම හෘදය සාක්‍ෂිය පළ කිරීම මරණය තමන් වෙත කැඳවා ගැනීමක් වුණා. විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටියත් මා වඩාත් ප්‍රිය කළේ සාහිත්‍ය කලා ආදියටයි. කියවීම ජීවිතයේ කොටසක් වී පැවති ඒ කාලයේ සාහිත්‍ය කරුවන් ලේඛකයන් කෙරේ තිබුණේ මහත් බැතියක්. පන්තිකාමරයේ දීඇතැම් විට ගුරුභවතුන්ගෙන් ලැබූ ඇගයීමත් යන සමස්තයේ ප්‍රතිඵල වූයේ මා දරන මතය පළ කරන්නට එය කවියකට නැගීමයි. තවමත් මා විශ්වාස කරන්නේ පුද්ගල චිත්ත සන්තානයේ ඉතාම විචිත්‍රවත්ව ප්‍රබලව හා සංයමයෙන් පළ කරන්නට කවිය තරම් උචිත මාධ්‍යක් නැති බවයි.

කාව්‍යයන් හි උපයුක්ත භාෂාව පිළිබඳ ඔබ සිතන්නේ කුමක්ද?

කවිය යනු භාෂා වික්‍රමයක් බව පොදුවේ පිළිගත් සත්‍යයක්. බස එහි ඇති සකලවිධ අර්ථ දැනවෙන ලෙස යොදා ගැනීමට දක්වන සමත් කම කවි කමයි. භාෂාවේ පද හා වැකි වලින් අර්ථ ප්‍රකාශ වෙනවා. කවියා එහි අරුතට අමතරව හැඟීම් ද තමාගේ ආකල්පය ද තමා විඳ ගත් ශෝක ප්‍රහර්ෂ වේදයිතයන් ද තම ප්‍රකාශනය තුළ පාඨකයාට දැනෙන්නට ඉඩ සලස්වනවා. ඒ සඳහා කවියා භාෂාව ඉතා සියුම් ලෙසත් ව්‍යක්ත ලෙසත් යොදා ගන්නවා. ඔහුට ඒ සඳහා පිටුවහල් වන්නේ මෙතෙක් කාලයක් කවිය විසින් චිරපරිචිත විවිධ කාව්‍ය ප්‍රයෝග, අලංකාර, ආදියයි. එහි උපමා,රූපක,දීපක, සමාසෝක්ති ඉන්ද්‍රීය රූප භාවිතය, ව්‍යංග ාර්ථ, පද සංඝටනය, හා ශබ්ද ධ්වනිය වගේ ධ්වනිතාර්ථ සුචනය ගත හැකියි. කවියට ප්‍රවේශ වන ඕනෑම නවකයකු තමන්ගේ පූර්වගාමීන් විසින් කාව්‍යයෙහිලා භාවිතයට ගැනුණු මේ භාෂාව ‘කවි බස’ තම කාව්‍ය සම්ප්‍රදාය ඇසුරු කිරීමෙන් දැනගන්නට අවශ්‍ය වෙනවා. මේ සියල්ලම කාව්‍යකරණයේ ශිල්ප ක්‍රම ලෙස සඳහන් කළ හැකියි.

වර්තමානයේ ලියවෙන කවිය තුළ භාවිත වන කාව්‍ය භාෂාව පිළිබඳ ඔබ සිතන්නේ කුමක් ද?

අද ලියවෙන විශාල කවි ප්‍රමාණය දුටු විට පෙනී යන්නේ විශාල පිරිසක් කවි සමඟ සමීප ඇසුරක් ඇති බවයි. සෑම පුවත් පතකම කවි පිටු තුළින් සමාජ ජාල හා බ්ලොග්ස් තුළින් විශාල පිරිසක් තම ප්‍රකාශන මාධ්‍යය ලෙස කවිය තෝරා ගැනීම පුදුමය දක්වන කරුණක්. සිංහලය තුළ නිසගයෙන් කවියට තිබූ කැමැත්ත හැකියාව ඊට හේතුවක් වන්නට ඇති. එහෙත් ඒ ලියන බොහෝ දේ කවිය යන නාමප්‍රඥප්තියට තරම් දැයි විමසා බැලිය යුතුයි. අර කලින් මා කී කාව්‍ය භාෂාව, කාව්‍යයෝපක්‍රම යොදා ගැනීමට ඔවුන්ගේ පෙළඹීම සතුටුදායක නැහැ. ඔවුන්ට ප්‍රකාශ කිරීමට ඉතාම ගැඹුරු ජීවන අත්දැකීම් තිබෙනවා. එහෙත් ඔවුන් ඒවා උචිත ලෙස තෝරා ගන්නට, උචිත කාව්‍ය ආකෘතියකින් හා ව්‍යක්ත බසකින් පළ කරන්නට දක්වන්නේ දුබලතාවක්. ඇතැම් කවියක් නවක කවියා අප වෙත ගෙන එන්නේ ඇස් නිලංකාර කරන ආලෝක ධාරාවක් ලෙසයි. එහෙත් එය ඉතා සියුම්ව විමසන විට එහි ගැඹුරු අරුතක් ගැබ්ව නැහැ. ඔවුන් පළ කරන අත්දැකීම් ඊටත් වඩා සහෘදයා සසල කිරීමටත් උසස් වින්දනයක් ගෙන දීමටත් හැකි වන්නේ මා පෙර කී කාව්‍යකරණයට අදාළ ශිල්ප ඥානය ප්‍රබල නිසා බව තේරුම් ගන්නට පුළුවන්. කවිය කියන්නේ ඉතා ප්‍රබල භාවවේගයකින් උපදින්නක්. එය ලිවිය යුත්තක් නොවේ. එහෙත් කවියා එකී භාවවේගය අප වෙත ගෙන එන්නේ සංයමයකින්. සන්සුන් බවකින්. කවිය ඉතාම ආදරයෙන් අපව අමතා අපගේ වින්දන ධාරිතාව ගැඹුරු කරනවා. නැණ නුවණ වඩවනවා. අපාක්‍ෂිත බවට පත් වී අපගේ ජීවන ධාරිතාව වැඩි කරනවා.

කවි ලිවීමේ යෙදෙන කෙනෙක් විදිහට ඔබ සිතනවද කවිය සමාජයට වැදගත් කලා මාධ්‍යයක් කියලා?

ඔව්.නැත්නම් අප එහි නියලෙන්නේ කුමකටද?අප ජීවත් වෙන්නේ මිනිසුන් ඉතා දුක් පීඩා විඳිමින් අසීරුවෙන් ජීවත් වන යුගයකයි. තම ආධ්‍යාත්මික දියුණුව හෝ රසාස්වාදය ගැන යොමු වන්නට පළමු ඔවුන් මනා කායික මානසික සෞඛ්‍යකින් යුක්ත වන්නට අවශ්‍යයි. අප වටපිටාවේ ඇති මේ දරිද්‍රතාව මිනිසුන්ගේ සංස්කෘතිය විෂයෙහි නම් ඉතාම ඛේදනීයයි. එවැනි සමාජ වටපිටාවක සිටින කෙනකුට සාහිත්‍ය කුමක්ද? භාෂාව ඉගෙනමෙහි වැදගත්කම කුමක්ද? කාව්‍යාදී කලාවන් හි ඇති ප්‍රයෝජනය කුමක්ද ලෙස විතර්ක ඇති වීම ස්වාභාවිකයි. අප තුළ පවතින ආධ්‍යාත්මික දුප්පත්කමේ තරම එයින් මනාව නිරූපණය වෙනවා. මිනිසුන් ඉවක් බවක් නැතිව භෞතික සැප සම්පත් ලුහු බැඳ යන්නේ හිස ගිනි ගත්තකු ලෙසයි. එහෙත් උසස් ආධ්‍යාත්මික ජිවිතයක් ගත කරන්නකුට සාහිත්‍ය කව්‍යාදිය ගිම්නිවාලන තෝතැන්නක්. කාව්‍ය රසාස්වාදයෙන් ඔවුන්ගේ ආධ්‍යාත්මය අඳුන් ගල්වා සුවපත් කරනවා. එයින් ඔවුන් ජීවන අභියෝග ඉදිරියේ ඊට මුහුණ දීම සඳහා ආත්ම ශක්තියෙන් ආඪ්‍ය කරනවා.

කාව්‍ය නිර්මාණයේදී කවියා තමන්ගේ අනන්‍යතාව හෝ දෘෂ්ටිය කවිය ඇතුළතින් හෙළි කළ යුතුද?

කවියකු ඊට පාදක වන අත්දැකීම් ලබන්නේ පෞද්ගලිකවමයි. කවියෙහි ඉදිරිපත්වන ප්‍රස්තූතයම සුවිශේෂි වූවක්. එහෙත් කවියා එය මුළුමහත් මානව සංහතියටම පොදු යථාර්ථයක් ලෙස ඉදිරිපත් කිරීමට උත්සුක වෙනවා. එවිට එකී අත්දැකීම ලොව ඕනෑම පුද්ගලයකුට ලද හැකි දෙයක් බවට ඒත්තු යනවා. ඒ නිසයි කවියා මවන ලෝකයට අපට පහසුවෙන් පිවිසිය හැක්කේ. කවිය ඇතුළත කවිය නිරූපණය නොවුණත් ඔහුගේ ආකල්පය, ඔහු විඳි සන්නිවේදනය හොඳින්ම දැනවිය හැකි නම් එය සාර්ථක කවියක් බවට පත් වෙනවා. තම ආස්ථානය හෝ දෘෂ්ටිය ඵල කිරීමට කවිය යොදා ගැනීමේ දී නම් ඊට උචිත මාධ්‍යය කවිය නොවේ. එයින් සිදු වන්නේ කවිය ප්‍රචාරකවාදයෙහි මෙවලමක් වීමත් එහි ගුණාත්මකභාවය පිරිහෙළීමත් පමණයි.