සෝමවීර හා සෝමවීරලා අහිමිවීම

විමලනාත් වීරරත්න

“අපේ සීයත් එක්ක සිල් ගන්න යනකොට මං පන්සිය පනස් ජාතක පොත ගෞරවය වැඩිකමට ඔළුව උඩ තියාගෙනයි යන්නේ. මං ඒ පොත ඔළුව උඩ තියාගෙන අත්දෙකෙන්ම අල්ලගෙන යනකොට සමහරදාට මගෙ සරම කඩාගෙන වැටෙනවා. ඒත් ඔළුව උඩ තියෙන්නේ ජාතක පොත නිසා මට සරම ඇඳගන්නවත්, පොත බිමින් තියන්න බයයි. ඉතිං පොත ඔළුවෙ තියාගෙන එහාට මෙහාට ඇඹරෙන කොට කොල්ලො හූ කියනවා. ඒ වෙලාවට කවුරුහරි ඇවිත් ජාතක පොත ගත්තහම තමයි මම සරම ඇඳගන්නේ. පන්සලේදී ජාතක පොත හඬ නගා කියවන්නේ මගේ සීයා. ටිකක් වෙලා යනකොට සීයට මහන්සි දැනිලා දැන් තෝ කියවපිය කියලා පොත මට දෙනවා. මම ඒක අරගෙන මුළු බණ මඩුවටම ඇහෙන්න කෑගහලා කියෝනවා. ඔය විදියට ජාතක පොත කටපාඩම් වනතුරුම කියෙව්වා. දවසක් සිය අතීතය මතක් කරමින් සෝමවීර සේනානායක එසේ කීවේය. එවැනි රසවත් අතීත කතා කියන්නට යළි සෝමවීරයෝ නොඑති. ඔහු ඉකුත් සෙනසුරාදා පෙරවරුවේ ඒ සියලු කතා ලතාවන්ට තිත තබා නික්ම ගියේය. සෝමවීර සේනානායක මහතා ලංකාවේ බිහිවූ කෘතහස්ත ලේඛකයෙකි. ගත් කතුවරයෙකි. පුවත්පත් කලාවේදියෙකි. දිගු කලක පටන් ඔහු ටෙලිනාට්‍ය පිටපත් රචකයකු ලෙසද කටයුතු කළේය. සෝමවීර උපන්නේ ගම්පහ වුවත් ඔහු සිය ගම හැටියට සලකන්නේ අවිස්සාවේල්ලේ ඇපලපිටිය ප්‍රදේශයයි. මීට වසර 75කට පමණ පෙර ඒ ගමට පාසලක් නොතිබිණි. කණු සිටුවා, පොල්අතු බැඳ, ගොම මැටි ගා දිගු ශාලාවක් ගොඩනැගුවෝ සෝමවීරගේ නෑදෑයෝය. ගමෙහි වැඩිහිටි ළමයි ශාලාවට පිරවූ විට එකේ පන්තියේ සිටි සෝමවීරලාට ඉඩ නැතිවෙයි. ඒ නිසා ඔවුන්ගේ එකේ පන්තිය පැවැත්වුණේ අඹ ගසක සෙවණ ලද ගල්තලාවක් මතය. පසුව හෙතෙම රුවන්වැල්ලේ රාජසිංහ මධ්‍යම මහා විද්‍යාලයට ගියේය. පියා වෙද මහත්මයකු නිසා සෝමවීරට කුඩා කල සිටම පොතපත කියවීමට පියා උනන්දු කර තිබුණි. සිල්ගන්න ගියවිට ශබ්ද නගා කියූ ජාතක කතා පොතේ සියලු කතා කටපාඩම් නිසා හෙතෙම පසුකලෙක පාරමිතා ටෙලිනාට්‍ය මාලාව ලියා තිබුණේ මතකයෙනි. සෝමවීර සේනානායකයෝ ඩී.එස්. සේනානායක පරම්පරාව සමග ඥාතිත්වය දැරූහ. සෝමවීරගේ මුත්තා සහ ඩී.එස්.ගේ පියා ඥාති සහෝදරයෝ වූහ. සිය මුත්තා ගැන සෝමවීර කියන්නේ මෙබඳු කතාවකි. “ඔය අපේ මුත්තා බෝතලේ වලව්වේ සිටි මහ එපා කරපු මිනිහෙක්. චණ්ඩියෙක්. මැරයෙක්. මේ නරක පැවැත්ම නිසා අන්තිමට ඥාතින් එයාව වලව්වෙන් පැන්නුවා. අපේ පරම්පරාව හැදෙන්නේ එහෙම පන්නපු මුත්තගෙන්. ඒත් අපේ සීයයි ඩී.එස්. සේනානායකයි අතරේ ලියුම්වලින් පවත්වපු යාළුකමකුත් තිබුණා. ඒ දෙන්නත් සහෝදරයොනෙ. සීයගෙ නම ලොරෙන්සු සේනානායක. එයා අගමැති ඩී.එස්.ට ලියුම් 10-15ක් යැව්වාම ඩී.එස්. තම අත්අකුරින්ම එක ලියුමක් සීයට එවනවා. ලියුම ආපු දවසට සීයා ඒක ගමේ ඔක්කොටම පෙන්න පෙන්නා ගමපුරා ඇවිදිනවා. එක වතාවත් සීයා ඔහොම ගමේම ඇවිද ඇවිද ලියුම පෙන්නුවා. ඊළඟට ගමටත් ගියා. ඊට අල්ලපු ගමටත් ගියා. ඔහොම ගිහින් රෑ වෙනකොට ගෙදර එන්න බැරිතරම් දුරක් ගිහින්. සීයා නැහැ. පහුවදා ගමේ මිනිස්සු එයාව හොයන්න යනකොටත් නවත්තපු තැන ඉඳන් සීයා ලියුම මිනිස්සුන්ට පෙන්වනවා. “මේං බලපල්ලා මහ සේනානායක උන්නැහේ එවලා තියන ලියුම” කියලා. හොයන්න ගිය අයටත් සීයා කියලා තියෙන්නේ උඹලා ආපහු පලයල්ලා. මං ලියුම පෙන්නලා එන්නං කියලයි.” විශ්වවිද්‍යාල ජීවිතයෙන් පසු සෝමවීර ලේක්හවුසියට සම්බන්ධ වූයේය. මුලින්ම නවයුගයට ලියන්නට පටන් ගත් ඔහුට කතුවරයා තවත් රාජකාරියක් පැවරුවේය. ඒ වනවිට ලිවීම නතර කර සිටි ප්‍රවීණ ලේඛකයන් හමුවී යළි ලිපි ලිවීමට පෙළඹවීම එම රාජකාරියයි. මේ වැඬේට සෝමවීර සමග ඒ.ඩී. රංජිත් කුමාරත් එක්වූහ. ඔවුහු සිරිල් සී. පෙරේරා, ඒ.පී. ගුණරත්න, මඩවල එස්. රත්නායක, දයානන්ද ගුණවර්ධන, සුගතපාල ද සිල්වා වැනි විද්වතුන් කරා ගොස් යළි ලියන ලෙස ඉල්ලා සිටියහ. ලේක්හවුසියේදී ඔහුට තවත් ඥාතියකු මුණගැසුණේය. ඒ ප්‍රවීණ ගත් කතුවර ජී.බී. සේනානායකයන්ය. සේනානායක ලේක්හවුසියට ආ දවසට සෝමවීර සමග දිවා ආහාරයට යයි. එහිදී ජී.බී. සෝමවීරගෙන් හැමදාම අසන ප්‍රශ්නයක් තිබුණි. “දැන් මිස්ටර් කවදද මේකෙන් අස්වෙන්නේ?” යන්න එම ප්‍රශ්නයයි. ජී.බී. එසේ කියා ඇත්තේ සෝමවීර තනිකරම පුවත්පත් කලාවට පමණක් කැපවුවහොත් ඔහු තුළ සිටින නිර්මාණශීලී මිනිසා ක්ෂය වී යා හැකිය යන කල්පනාව නිසාය. සෝමවීර 86දී ලේක්හවුසියෙන් ඉවත් වූයේය. සේකර සෝමවීරගේ ළබැඳි මිතුරෙකි. යශෝරාවය ටෙලි නාට්‍යයේ බලදේව නමැති ශික්ෂාකාමී මිනිසා ගොඩනැගුවේ සේකර තුළින් යැයි සෝමවීර වරක් කීවේය. ඔහුගේ සෑම කෘතියකම පාහේ අධික බලපොරයෙන් විතැන් උපේක්ෂාසහගත මිනිස් දිවිසැරියක් සලකුණු වී තිබුණි. සෝමවීරයන්ගේ ජීවිතය තුළත් ඒ සුලක්ෂණය නොනැසී පැවතුණි. කනගාටුවට කරුණ නම් එබඳු මිනිසුන් මේ සමාජයට කෙමෙන් අහිමිවී යෑමය.