දයා නෙත්තසිංහ

ඔවුහු අලුයමින් පිබිදෙති. මුවකට සෝදා ගනිති. හිරු උදාවීමට පෙර උපවාස ශීලය ආරම්භ කොට හිරු බැස ගිය පසු ආහාරපාන පිළියෙළ කොට දවසේ එකම ආහාරය අනුභව කරති. මාසයක් පුරා පැවැත්වෙන රාමසාන් උපවාස සමය තුළ ඉතා වැදගත් ආගමික, ආචාර විද්‍යාත්මක දාර්ශනික සහ ප්‍රායෝගික අගයක් ඇතැයිද ඔවුහු විශ්වාස කරති. ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උත්සවය එක් එක් අවුරුද්දේ පැවැත්වෙන දිනය වෙනස් වෙයි. උත්සවයේ ආරම්භක සහ අවසාන දිනය තීරණය කෙරෙන්නේ ඉස්ලාමීය චන්ද්‍ර වර්ෂය සහ චන්ද්‍රයා  හෙවත් හඳේ දර්ශනය පාදක කරගෙනය. රාමසාන් උත්සවය කවර උස් පහත් භේදයකින් හෝ තොරව මුස්ලිම් ප්‍රජාව එකට බැඳ තබන ආගමික චාරිත්‍රයකි. අල්ලා දෙවිඳුගේ ආශිර්වාදය නිසා තමන් උපයා ගත් ධනය අන්‍යයන් සමග හවුලේ භුක්ති විඳීම රාමසාන් උත්සවය සමග බැඳුණු අගනා සංකල්පයක් බවද ඉස්ලාම් බැතිමතුන්ගේ පිළිගැනීමයි. සෑම ඉස්ලාම් භක්තිකයකු විසින්ම අනිවාර්යයෙන්ම එම ශීලය රකිනු ලබන නිසා එම ප්‍රජාව තුළ ඉතා ප්‍රබල සමාජීය හා සංස්කෘතික බැඳීමක් පවතී. අරාබි චන්ද්‍ර මාස ක්‍රමය අනුව නවවැනි මාසය රාමසාන් හෙවත් උපවාස මාසයයි. මේ උත්සවයේ නිමිත්ත නම් ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වූ අල්කුරාණයේ නියම කොට ඇති පරිදි උපවාස ශීලය (Fasting)  රැකීමයි.

සුහුර් සහ ඉෆ්තාර්

මෙම උපවාස ශීලය ‘අල්ලා’ නම් සර්වබලධාරී දෙවිඳු විසින් ජිබ්රිල් හෙවත් අලෙයි සලාම් නම් තම දූතයා මගින් මහමද්තුමාට කරන ලද එළිදරව්වෙහි ඇතුළත් වූවකි. එය ශුද්ධ වූ කුරාන් ග්‍රන්ථයෙහිද අන්තර්ගතවන අතර එම ග්‍රන්ථයේ අඩංගු ඉස්ලාම් ධර්මය උසුලා සිටින පංච ස්ථම්භයන්ගෙන්  (The Five Pillars of the Faith)  හි හතරවැන්නයි. මසක් පුරා උපවාස ශීලය රැකීමෙන් එය රකින අයට කුසගින්න යනු කුමක්දැයි හරිහැටි ප්‍රත්‍යක්ෂ වෙයි. අසරණ දිළිඳු හා රෝගී ජනයාට ධර්මයේ නියමිත පරිදි ‘සකාත්’ ප්‍රතිපත්තිය අනුව ආහාරපානාදිය හෝ ඒවා මිලට ගැනීම සඳහා මුදල් පරිත්‍යාග  කළ යුතු බවට උපවාස ශීලයෙන් කෙරෙන සිහිගැන්වීමද ඉතා වැදගත්ය. ශරීර යාන්ත්‍රණයට ඉස්පාසුවක් ලබාදීම ශරීරය නිරෝගීව තබා ගැනීමට හේතු වන බවත් උපවාස සමයේ නොගන්නා ආහාර වේල් දෙකක වියදම පරිත්‍යාග සඳහා ලබාදීමත් සිත දමනය කිරීම. පරිත්‍යාගශීලීත්වය කරා නැඹුරු කිරීම සහ ඉවසීම දරා ගැනීම ප්‍රායෝගිකව පුහුණු කිරීම රාමසාන් මාසය තුළ ප්‍රත්‍යක්ෂ කෙරෙන බවත් ඉස්ලාම් බැතිමතුන්ගේ පිළිගැනීමයි. මාසයක් පුරා උපවාස ශීලය රකින ඉස්ලාම් බැතිමත්හු චන්ද්‍රයාගේ දර්ශනය අනුව නියම කරගන්නා දිනයක සුපුරුදු පරිදි උදෑසන උපවාස ශීලයෙන් මිදෙති. ඉන්පසු තමන් ආගම අදහන දේවස්ථානයට ගොස් නැමදුම්වලදී නිවෙස් කරා පැමිණ අසල්වැසියන්ට විශේෂයෙන් තමන්ට වඩා වත් පොහොසත්කම් අඩු සහෝදර ජනතාවට ආහාර පාන, ඖෂධ, ඇඳුම් පැළඳුම් මුදල් හා විවිධ පරිත්‍යාගයන් කරති. අල්වැසියන්ට ලබාදෙන විශේෂ ආහාර වට්ටෝරුවක්ද තිබේ. ඒ නමින් කුර්බාන්ය. එසේම ඉස්ලාම් භක්තික ව්‍යාපාරිකයන් වසරක් පුරා ඉපැයූ ධනයෙන් 2 1/2% ‘සකාත්’ ලෙස පරිත්‍යාග කෙරෙන්නේද මේ දිනවලය. බෞද්ධ, හින්දු හා කතෝලික ආගමික අසල්වැසියන් මධ්‍යයේ ජීවත් වන ඉස්ලාම් භක්තික ජනයා ඔවුන්ට ආහාරපානවලින් සංග්‍රහ කිරීමේ ප්‍රවණතාවක්ද පුරාණයේ සිටම පැවතියේය. නෝබී හෙවත් උපවාස සමය තුළ සිදු කෙරෙන්නේ ආහාර නොගෙන සිටීම පමණක් නොවේ. ආධ්‍යාත්මික දියුණුව අපේක්ෂාවෙන් දුම්පානය, ලිංගික කටයුතු වෛරී සහ ඊර්ෂ්‍යාසහගත කතාබහ නිකරුණේ කාලය ගත කිරීම අත්හැරීමත් කුරාණය කියවීම යාඥා කිරීම මනස සැහැල්ලුවෙන් තබා ගැනීමත් ඊට ඇතුළත් වේ. ගැබිනි සහ කිරිදෙන මව්වරුන්, කුඩා දරුවන් ශාරීරිකව හෝ මානසිකව දුර්වල වූ තැනැත්තන් රෝගීන්, ආබාධිත පුද්ගලයන් අනිවාර්යයෙන් උපවාසයේ නිරතවිය යුතු යැයිද අදහස් කරන්නේ නැත. එවැනි පුද්ගලයන්ට ඉන් මිදී සිටීමට අවකාශය තිබේ. ඉස්ලාම් බැතිමත්හු අලුයම උපවාසය පටන් ගැනීමට පෙර ගන්නා ආහාරයට කියන්නේ ‘සුහුර්’ කියාය. හිරු අවරට ගිය පසුව උපවාසය අවසන් කරන ආහාරවේල හඳුන්වන්නේ ‘ඉෆ්තාර්’ කියාය.

පන්සලේ ඉෆ්තාර්

රාමසාන් මාසය තුළ දෛනිකව කෙරෙන ඉෆ්තාර් උත්සව පිළිබඳව අසන්නට ලැබේ. ඉස්ලාම් භක්තිකයන් ඉෆ්තාර් උත්සව පවත්වනු ලබන්නේ එක්කෝ පල්ලියේය. නැතිනම් නිවෙස්වලය. එසේත් නැතිනම් රාජ්‍ය ආයතන තුළ හෝ වෙනත් උත්සව ශාලාවකය. එහෙත් පන්සලේ පැවති ඉෆ්තාර් උත්සවයක් අසන්නට ලැබුණහොත් එය අතිශයින්ම දුලබය. ඉඳහිට හෝ අසන්නට දකින්නට ලැබෙන එවැනි තත්ත්වයන් මානව සමාජයේ නව මානයන් අපට පෙන්වා දෙයි. ජාතික සමඟිය අරමුණු කරගනිමින් පන්සලේ ඉෆ්තාර් උත්සවය සංවිධානය කරනු ලැබුවේ සමාජවාදී තරුණ සංගමය විසිනි. මාතර කොටුවේගොඩ ජයසුමනාරාමයේ සංවිධානය කෙරුණු මෙම ඉෆ්තාර් උත්සවය සඳහා මාතර නගරයේ සර්ව ආගමික නායකයන් සහභාගිවීමද විශේෂත්වයකි. ඉකුත් ජුනි මස හයවැනි දින හිරු අවරට යන මොහොතේ තරුණ සංගමය විසින් පන්සලේ සංවිධානය කළ මෙම ඉෆ්තාර් උත්සවයේ සෙසු සංවිධාන දායකත්වයෙහිලා ජාතික භික්ෂු පෙරමුණ, ජාතික විද්වත් වෘත්තිකයන්ගේ මාතර ශාඛාව, ක්‍රුිජැබඑ ්ිදජස්එසදබ සාරධර්ම තරුණ බෞද්ධ සමාජය, ීය්ාදඅ ්ිදජස්එසදබල ණදඑමඇටදා් ඵමිකසප ත්‍දරමප තරුණ මුස්ලිම් සංගමය, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය, අයිතීන් උදෙසා කාන්තාවෝ දුරුතු සහෘදයෝ යන සංවිධාන සුවිශේෂී මෙහෙවරක් ඉටු කළහ. කොටුවේගොඩ ජයසුමනාරාමය බෞද්ධ බැතිමතුන්ගේ මෙන්ම මුස්ලිම් බැතිමතුන්ගේද ආකර්ෂණයට හේතුවූ පුදබිමකි. ජයසුමනාරාමයේ සංඝාවාසයේ දෙවන මහල ප්‍රදේශවාසීන්ගෙ ්ද මූල්‍ය දායකත්වයෙන් ඉදිකර සඟ සතු කොට පූජාකර ඇත්තේ ඉස්ලාම් භක්තිකයකු වූ ව්‍යාපාරික නජීබ් ඩීන් මහතා විසිනි. තරුණ සංගමය සංවිධාන කළ ඉෆ්තාර් උත්සවයේ සියලු සම්බන්ධීකරණ කටයුතු හා මූල්‍ය දායකත්වය උසුලනු ලැබුවේ අශ්හර් හමීම් මහතා විසිනි. මාතර කොටුවේගෙ ාඩ ජයසුමනාරාමාධිපති ශාස්ත්‍රපති යටිගල සෝමතිලක මාහිමිපාණන් වහන්සේ පන්සලේ පැවති ඉෆ්තාර් උත්සවය පිළිබඳව තවත් හෙළිදරව්වක් කළහ. “මාතර කොටුවේගෙ ාඩ මුස්ලිම් ජනතාව කවදත් පන්සලේ කටයුතුවලදී පුදුමාකාර මැදිහත්වීමක් කරනවා. අපි අතර ඉතිහාසයේ ඉඳලම පුදුම සහසම්බන්ධයක් තිබුණා. ඔවුන් ඉස්ලාම් භක්තිකයන් වුවත් මම ඔවුන්ගේ මළගෙවල්වලට පවා වැඩම කරනවා. අපේ නායක හාමුදුරුවන්ගේ කාලෙත් එහෙමයි. අන්තවාදී නොවන සහජීවනයක් කවදත් අපි අතර තිබෙනවා. ඉෆ්තාර් උත්සවය පන්සලේ පවත්වන්නට ලැබීම නිසා අපේ සම්බන්ධකම්වලට අලුත් ආලෝකයක් ලැබුණා. තරුණ සංගමය මේ යෝජනාව ගෙනාවට පස්සේ දෙවරක් නොසිතා මම ඒ යෝජනාවට ඉත සිතින් කැමති වුණා. අපි ප්‍රාර්ථනා කරන්නෙත් මේ වගේ සංහිඳියාව, බැඳීම තියන රටක්. ඒ නිසා මේ උත්සවයට පැමිණි සහ සංවිධානය කළ සියලු පිරිසට මම ආශිර්වාද කරනවා. ඔවුන්ගේ සියලු කටයුතු සාර්ථක වේවා කියලා.” ඉෆ්තාර් උත්සවය සඳහා පැමිණ සිටි මාතර කොටුව ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිල්ලේ දෙව්මැදුරේ ගෞරවනීය ආචාර්ය පූජ්‍ය ජී.එස්.කේ. හේරත් පියතුමා මෙවැනි සඳහනක් කළහ. “මිනිසා යනු එකම පවුලක සාමාජිකයන්. සම්භවය, මැවීම හෝ කුමක් වුවත් අපි කවර ආගමක් දහමක් ඇදහූවත්, මේ රටේදී අපි ශ්‍රී ලාංකිකයන්. අපි සැම මිනිසුන්. අපි සමාජ ගතකළයුත්තේ එයයි. අද මට හරි සතුටුයි. සහෝදර මනුෂ්‍ය ප්‍රජාවකගේ අති උතුම් අවස්ථාවක් සමරන්නට එකතු වන්නට ලැබීම ගැන. මගේ පවුල තමයි මගේ රට. ජාතික ආගමික කොටස් මනුෂ්‍යකම කියන දහම මානව සමාජයට කියාදිය යුතුයි. බඩගින්න, වේදනාව, හුස්ම ගැනීම අපි හැමෝටම දැනෙන්නේ එක සමානව. ඒ නිසා අපි ශ්‍රී ලාංකිකයන් කියන දර්ශනය සමාජ ගත කළ යුතුයි. ඉදිරියට රැගෙන යා යුතුයි. මාතර කොටුව බින්නතුල් ෆාසියා අරාබි විද්‍යාලයේ ආචාර්ය එන්.එම්. ඉක්රාම් මව්ලවිතුමන් සිය අදහස් දක්වමින් පැවසුවේ, “මෙවැනි ඉෆ්තාර් උත්සවයක් මීට පෙර පන්සලක සංවිධානය නොකෙරුණු බවයි. අපගේ මනුෂ්‍යත්වයේ උතුම් බව මීට වඩා ප්‍රකට කෙරෙන අවස්ථාවක් තවත් තිබේද? රාමසාන් කියන්නේ අල්කුරාණය ලොවට පහළ වූ මාසය. අනුන්ගේ බඩගින්න විඳින මාසය. පරිත්‍යාගයේ මාසය. අල්ලා දෙවියන් අපට කියා ඇත්තේ සියලු ආගම් විහ්වාස කරන්න. ඉස්ලාම් ධර්මය අදහන්න කියලා. අපි අනිත් ආගම් විශ්වාස නොකරන්නේ නම් අපි මුසල්මානුවන් නොවේ කියා උන්වහන්සේ සඳහන් කර තිබෙනවා. රාමසාන් මාසය කියන්නේ ඉස්ලාම් බැතිමතුන් හැම අතින්ම හික්මවන මාසය. ශරීරය පාලනය කරන ශීලය තමයි උපවාසය. උපවාසය හෙවත් ශීලය විවිධ ආගම්වල විවිධාකාරයෙන් සඳහන් වෙනවා. සිත කය වචනය සංවර කරගැනීම පිළිබඳව බුදුදහමේත් පෙන්වා දී තියෙනවා. ඉතින් අපි කුමන ආගමක් ඇදහුවත් ඒ සියල්ලම මනුෂ්‍යත්වය මත පදනම් වෙනවා. මේ මාසයේ ඉස්ලාම් බැතිමතුන් ආත්මය පිරිසිදු කරගන්නවා. ශුද්ධ වූ ස්ථානයකදී ඉෆ්තාර් සමරනවා. අද අපි ඒ උත්සවය ජයසුමනාරාමයේදී පවත්වනවා. මේක මාතරින් රටට දීපු හොඳ පණිවුඩයක්. ආදර්ශයක්.” ඉෆ්තාර් උත්සවයේදී අදහස් දැක්වූ ආචාර්ය පූජ්‍ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමියන් පැවසුවේ ආගමික සංහිඳියාව, ජාතික සමඟිය අපට විශේෂයෙන් කතා කරන්න අවශ්‍ය නැති අතීතයක් තිබූ බවයි. “අපි ළඟ තිබුණු සමඟිය නැති කරපු නිසා තමයි අපිට මේ පිළිබඳව නැවත නැවත කතා කරන්න වෙන්නේ. අනුරාධපුර යුගයේ ඉඳලාම හොඳ ආගමික සංහිඳියාවක්, ජාතික සමඟියක් අපට තිබුණා. 1948 නිදහසෙන් පස්සේ දේශපාලනඥයෝ ඒ සමඟිය, සංහිඳියාව විනාශ කළා. ඒ නිසා මේ රටේ ජාතික සමඟිය සංහිඳියාව නැති කිරීමට දායක වුණේ දේශපාලනඥයෝ. අසමඟිය දේශපාලනඥයන්ගේ කැමැත්ත වුණා. ආගම, ජාතිකත්වය, මුල්කොට ගත්තු දේශපාලන පක්ෂ කීයක් තිබෙනවාද? අපිට අවශ්‍ය ආගම පිස්සුවක් කර නොගත්තු මිනිස්සු. මානව විරෝධී දේශනාවන් කිසිම ආගමික ශාස්තෘවරයකු දේශනා කර නැහැ. කුරාණයේ, ධම්ම පදයේ හෝ බයිබලයේ මානව විරෝධී කිසිවක් උගන්වන්නේ නැහැ. මානව සමාජයේ යහපත පිණිස මනුෂ්‍යත්වය පිණිස කරන ඉගැන්වීම් හැර වෙන කිසිවක් ඒ ග්‍රන්ථවල නැහැ. මහ පොළොව, ආලෝකය, වාතය, උෂ්ණත්වය මේවා බෙදන්න බැහැ. මානව සමාජය වුණත් එහෙමයි. කොහොම වුණත් අපිට දැන් ජාතික සමඟිය ආගමික සංහිඳියාව යළි ගොඩනගන්නට සිදුවී තිබෙනවා. පන්සලේ කරන මේ ඉෆ්තාර් උත්සවය ඒකට හොඳ පූර්වාදර්ශයක් වෙනවා. පන්සලේ ඉෆ්තාර් උත්සවය සංවිධානය කළ සමාජවාදී තරුණ සංගමයේ සංවිධායිකා නදීකා හේමමාලි මහත්මිය සඳහන් කළේ සියලු ආගමික නායකයන් එකම ස්ථානයකට කැඳවා මෙවැනි ඉෆ්තාර් උත්සවයක් පන්සලේදී කරන්නට ලැබීම මහත් භාග්‍යයක් වූ බවයි. ඉතා කෙටි කාලයක් තුළ තමයි අපි මේ ඉෆ්තාර් උත්සවය සංවිධානය කළේ. සංවිධාන ගණනාවක් අපේ හයියට හිටියා. ඉස්ලාම් භක්තිකයන් මෙන්ම බෞද්ධ ජනතාවත් මේ උත්සවය සංවිධානය කරන්න දායකත්වය දුන්නා. පන්සල, පල්ලිය, කෝවිල, දේවස්ථානය නියෝජනය කරමින් සර්ව ආගමික නියෝජිතයන් මේ අවස්ථාවට සම්බන්ධ වුණා. සියලු දෙනාටම තරුණ සංගමයේ ගෞරව පූර්වක ස්තූතිය පිරිනමනවා. පන්සලේ පැවති ඉෆ්තාර් උත්සව අවස්ථාවට මාතර ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන ක්‍රියාකාරීන් මෙන්ම මාතර තරුණ බෞද්ධ සමිතියේ සභාපති ධර්මසිරි කලතොට මහතා ඇතුළු බෞද්ධ, හින්දු, මුස්ලිම් බැතිමතුන් විශාල පිරිසක්ද එක්ව සිටියහ.