ක්‍රිකට් ළඳුන් හතරට වැටේ

රජිඳු කාශ්‍යප

7 වැනි ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය මෙවර ප්‍රථම වතාවට දිනාගැනීමට බංගලිදේශ කාන්තාවෝ සමත් වූ හ. අනු ශූරතාව දිනා ගත්තේ මෙතෙක් ශූරයන් වූ ඉන්දියාව ය. සිවු වතාවක් අනුශූරයන් වූ ශ්‍රී ලංකා කාන්තාවන්ට මෙවර හිමිවූයේ තරගාවලියේ සිවුවැනි ස්ථානයයි. තරගාවලියට සහභාගීවීමට පෙර නායිකා ශෂිකලා සිරිවර්ධන සේ ම හේමන්ත දේවප්‍රිය ද පැවැසුවේ අපේ කණ්ඩායමට තරගාවලියේ යම් සුවිශේෂී තැනක් ගත හැකි බවයි. එම ස්ථානය අපි සිතූ ලෙස ඉහළ අගයකින් යුත් එකක් නොව සිටියාටත් වඩා පහළ එකක් විණි. එසේ වූයේ කුමන හේතුවක් මත ද යන්න තරගාවලියට සහභාගී වූ කිසිවෙක් පැවසූ බවක ආරංචියක් නැත. එසේ වූවත් දැන් සියලු පරාජයන් ගෝනි මල්ලක බහා මුල්ලක තබා ඊළඟ තරගාවලියට සහභාගී වීමට සූදානම් වන බවක් නම් පැවසේ. ඒ පෙර තත්ත්වයේ සිටිමින් පෙර පරිදිම ය.
එසේ සහභාගී වීමේ පළක් තිබේ ද? ආසියානු කුසලාන තරගාවලියේ දී අපේ ක්‍රීඩිකාවෝ දක්ෂතාවක් දැක්වී නම් ඒ පළමු සහ දෙවැනි තරගයේ දී පමණි. පළමු තරගයේ දී බංගලිදේශයට එරෙහිව ද දෙවැනි තරගයේ දී සත්කාරක මැලේසියාවට එරෙහිව ද එම ජයග්‍රහණ දෙකයි. පිළිවෙළින් පාකිස්තානය, ඉන්දියාව සහ කෝඩුකාර තායිලන්තය ඉදිරියේ අපේ ක්‍රීඩිකාවෝ පරාජයන් ලැබූහ. මේ අතුරින් තායිලන්තය යනු තවමත් ක්‍රිකට් ක්‍රීඩාවේ බහතෝරන්නියන් සිටින කණ්ඩායමකි. එවන් වූ කණ්ඩායමකි තරගාවලියේ ඉදිරියට යෑමේ ශ්‍රී ලංකාවේ සියලු බලාපොරොත්තු බිඳ දමනු ලැබුවේ. ප්‍රබල ඉන්දියාව හමුවේ ලත් පරාජයත් පාකිස්තානය වෙතින් ලත් පරාජයත් ඔවුන් සැබැවින් ම දක්ෂ වීම හේතුවෙන් ලත් පරාජයන් යැයි සිතිය හැකිය. එහෙත් තායිලන්තය වෙතින් ලත් පරාජය ලඝු කළ හැක්කේ කොතැනට ද? ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවකැයි පැවසිය හැකි ය. එහෙත් මේ එවැන්නක පරාජයක් ද? අපේ ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා තරගාවලිය පුරා ම දැක ගැනීමට අප අපොහොසත් වීමූ. ඒ ඔවුන්ගෙ න් එවැන්නක් සිදු නොවූ නිසා ය. පිතිකාරිණියන් අතුරින් යම් තරමකින් හෝ දක්ෂතා අතර සිටියේ යසෝදා මෙන්ඩිස්, නිපුනි හංසිකා, හසිනි පෙරේරා සහ අනුශ්කා සංජීවනී පමණි. අනෙකුත් ක්‍රීඩිකාවෝ ලකුණු අතරට පිවිසියේ යලට මහට ය. පන්දු යැවීමේ දී ජයග්‍රාහී තරග දෙකේ දී සුගන්ධිකා කුමාරි සහ නිලක්ෂි ද සිල්වා දක්ෂතා දැක්වූවද අනෙකුත් තරගවල දී ඒ කිසිවක් නොදුටුවෙමු. තරගාවලිය පුරා කිසිදු දෙයක් නොකළ ක්‍රීඩිකාවෝ ද බොහෝ ය. ඔවුන් හරි අපූරු සංචාරකයෝ ය. ඉතිං එම කෙටියෙන් සඳහන් කළ කරුණුත් සමගින් තායිලන්තය වැනි කණ්ඩායමකට පරාජය වීමත් අහන්නට දෙයක් ද? කෙසේ වෙතත් මේ තරගාවලියේ ලැබූ ජයග්‍රහණයන් සේ ම පරාජයන් ද අපේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පෙන්වන කැඩපතක් වැනි යැයි සිතේ. අප තවමත් එක ම තැන ක්‍රීඩා කරද්දී බංග්ලාදේශය සේ ම තායිලන්තය ද අප පසුකර ගොස් හමාර ය. එසේ වී ඇත්තේ ඇයි යන්න අපේ ක්‍රිකට් බලධාරීන් කිසිවෙක් සොයා බැලු වේ ද? මේ ඛේදවාචකයෙන් ගැලවීමට මඟක් සෙව්වේ ද? පිළිතුරු කුමක් වූවත් අපට නම් හැඟෙනුයේ මේ කිසිවක් කිසිවෙක්ගේ අවධානයට යොමු වී නැති බවයි. අඩු ම තරමින් අපට හොඳ සටන්කාමී කණ්ඩායමක් නිර්මාණය කරගැනීමේ හැකියාවක් හෝ නොමැති බවයි. එසේ වී නම් අපි තායිලන්තය වැනි කණ්ඩායමකට පැරදෙන්නේ නැතිවාක් මෙන් ම ආසියානු කුසලාන තරගාවලියේ සිවු වැනි ස්ථානය දක්වා පහත බසින්නේ ද නැත. දැන් වෙද්දී මේ කිසිවක් මෙම තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩිකාවන් සේ ම බලධාරීන්ට ද අවැදගත් ය. හෙට දවසේ තවත් තරග සංචාරයක් තිබුණ ද කණ්ඩායම සංචිත ගතකිරීමේ සිට කණ්ඩායම තෝරා ගැනීම දක්වා ම සිදුවෙන්නේ එක ම ක්‍රියාකාරකම ය. එහි වෙනසක් නැත. ඊට උත්තේජකයක් ද නිමා වූ ආසියානු කාන්තා කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී, දී තිබේ. ඒ “මොනව නැතත් අපි ආසියානු කුසලානය දිනූ බංගලියෝ නම් පරාජය කළෙමු” යන හරි ආඩම්බරකාරී කතාව කීමට ඇති හැකියාවයි.