රාවය

මුස්තාපාත් හරි

මුස්තාපාත් හරි

රජිඳු කාශ්‍යප

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ වෙද්දීත් නිසි බලධාරියා වී ඇත්තේ තිලංග සුමතිපාල බැව් තැන තැන කියැවේ. එහෙත් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා නම් සිතා සිටින්නේ තමන් විසින් පත් කරන ලද තමන්ගේ ලේකම්වරයා හරි අපූරුවට ක්‍රිකට් පාලනය ගෙන යන බවයි. කරුණු කාරණා වෙන ආකාරයට නම් එවැන්නක් නැත. ඇමති ෆයිසර් මුස්තාපා තවමත් තමන් කළ දේ නිවැරදි යැයි සිතන්නේ ය. ඒ අතුරු කමිටුවක් නොදමා නිසි බලධාරියෙක් පත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙනි. එහෙත් මේ අවස්ථාවේ බොහෝ දෙනෙක්ගේ විශ්වාසය වන්නේ අතුරු කමිටුවක් ය. එම කමිටුව ද දේශපාලනඥයන්ගෙන් සැදුම්ලත් එකක් නොවේ, ගෞරවාදරයට පත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත එකක් ය. තිලංග ඊට අකමැති ය. එනිසා අපට නම් හැඟෙන පරිදි ඇමති ෆයිසර් මුස්තාපා ද ඊට අකමැති ය. ඒ තිලංග අකමැති නිසා විය යුතු යැයි සිතමු. පසුගියදා ඩුබායි හි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ගිය ඇමති සහ පරිවාරක පිරිස එහි වගකිවයුතු කිසිවෙක් සමග මේ සම්බන්ධයෙන් කිසිවක් ම සාකච්ඡා කර නැති බවකුයි පැවැසෙන්නේ. එය එක් අතකට වරදකි. අනෙක් අතට මෙය කොළේ වසා ගැසීමේ උවමනාවෙන් ම කළ දෙයකැයි ද පැවැසිය හැකි ය. මේ ප්‍රශ්නය ඇසුවේ නම්, අතුරු කමිටුවක් පත් කිරීමේ කිසිදු වරදක් නැතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවැසී නම් එවැන්නක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු නොඅනුමාන ය. ඒ මෙරට බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම වී තිබෙන්නේ ද එය ම බැවිනි. කෙසේ වෙතත් තිලංග සුමතිපාල සභාපති තනතුරට තරග කිරීම වළකාලන ලෙස නිශාන්ත රණතුංග විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පෙත්සම සම්බන්ධයෙන් තීන්දු දීම මේ මස 14 වැනිදා ලැබීමට නියමිතව තිබුණි. මෙම සටහන තබනුයේ 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ වීම නිසා එහි තොරතුරක් නැත. කෙසේ වෙතත් ක්‍රිකට් ආරංචි මාර්ග නම් පවසනුයේ අතුරු කමිටුවකට යෑමේ ඉඩකඩ වඩා විවෘත බවයි. ඇතැම්විට තිලංගට ද එසේ සිතෙන්නට ඇත. එනිසාය තිලංග යන යකා කොරහත් බිඳගෙන යන තාලේ වැඩ දෙක තුනක් එක දිගට සිදු කරනුයේ. ඉන් පළමුවැන්න වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී සේ ම මෙහෙයුම් නිලධාරීගේ ද මාසික වේතනය සියයට 15කින් වැඩි කිරීමයි. මෙම වැටුප් වැඩි කිරීම පසුපස ඇත්තේ අල්ලස් දීම හෝ ගැනීම වැනි දෙයක් බැව් ඇතැමුන්ගේ මතයයි. සැබැවින් ම එය එසේ ම ද? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කරන සේවකයන් පිරිස අතරින් ඔවුන් දෙදෙනාට පමණක් වැටුප් වර්ධක ලබා දීම කෙතෙරම් නම් සදාචාරාත්මක ද? තිලංග කිසිදු හිරිකිතයකින් තොරව එම දේ කළේය. තිලංග එසේ කරන ලද්දේ මොවුන් දෙදෙනාගෙ න් සුවිශේෂී සේවයක් ක්‍රිකට් අරබයා සිදු වෙන නිසා ද? නැත. මේ පිටුපස ඇත්තේ තිලංගට අවශ්‍ය කාරණා කටයුතු කර ගැනීම වෙනුවෙන් දොළ පිදේනි පිදීම සඳහා එක ම සුදුස්සන් වන්නේ ඔවුන් ම වන නිසා ය. තිලංග වෙනුවෙන් සැට්ටැඹි වැඬේ හරියට ම සිදු කරනු ලබන්නේ ඔවුන් ම පමණක් වීම නිසා ය. කතාබහට ගත යුතු අනෙක් වැදගත් කරුණ වනුයේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් හෂාන් තිලකරත්න නම් කිරීම ය. දැනටමත් හෂාන් ගේ ඇඹේණිය ද ශ්‍රී ලංකා ක්‍රිකට් හී සේවිකාවකි. ඒ මීට ඉහත දී කරනු ලැබූ පත්කිරීමකි. හෂාන් තිලකරත්න සමග සිවුදෙනෙක් මෙකී තනතුර වෙනුවෙන් ඉල්ලීම් කර තිබූ බැව් පැවසේ. ඒ අතර යොවුන් වියේ පසුවෙන දැනටමත් පුහුණුකාර තනතුරේ කටයුතු කරන්නෝ ද සිටියහ. එහෙත් තනතුර හිමි වෙන්නේ හෂාන් තිලකරත්නට ය. ඒ හෂාන්, තිලංග සුමතිපාලගේ චොයිස් එක නිසා ය. එසේ නොමැතිව මේ තනතුරට ඉතා ම සුදුස්සා හෂාන් තිලකරත්න වීම නිසා නම් නොවේ. හෂාන් මීට ප්‍රථම තේරීම් කමිටු සාමාජිකයෙක් සේ ද කටයුතු කර ඇති අතර මීට කලකට ඉහත ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් තනතුරු නාමයක් වෙනුවෙන් අපේක්ෂකයෙක් ද වූ අයෙකි. මීට අමතර ව තවත් බොහෝ හැඳින්වීම් ඔහු කෙරෙහි ඇත. ඒ කිසිදු අවස්ථාවක හෂාන් තිලකරත්න තමන් වෙත පැවරූ කාර්යයන් නිසි ලෙසින් ඉටු කළ බවක් මේ දක්වා ආරංචියක් නම් නැත. වයස අවුරුදු 19න් පහළ තේරීම් කමිටුවේ සිටි අවධියේ ඔහු විසින් කරන ලද්දේ ෆිසිකල් ෆිට්නස් වෙනුවෙන් සීමාවෙන් පිටත ඇවිදීම පමණකැයි අප මීට පෙර ද වාර්තා කර තිබුණි. දැන් කාලයේ වුව ඊට කිසිදු වෙනසක් නැති බවකි අපට නම් කිව හැක්කේ. වයස අවුරුදු 19න් පහළ යනු මෙරට ක්‍රිකට් වංශකතාව ලියැවෙන තැන ය. එය අඩුපාඩුවක් නොමැතිව සකසා ගත යුතු ය. හෂාන් වැන්නෙක්ට එවැන්නක් කළ හැකි බවක් ඉතිහාසයේ හෝ පෙන්වා නැත. හෂාන් යනු තමන්ගේ පුතුන් ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු වෙද්දී තමන් තේරීම් කමිටුවේ ක්‍රියා කළ පුද්ගලයෙකි. එවැනි සදාචාරයක් හෝ නොමැති පුද්ගලයෙක්ට වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම බාරදීමට තරම් තිලංගට තිබූ හදිස්සිය කුමක් ද? මේ අතර අභියාචනාධිකරණයේ පැවැත්වෙන නඩු වෙනුවෙන් වූ නඩු ගාස්තු ගෙවීම ද යොමු කර ඇත්තේ ක්‍රිකට් ආයතනයට බැව් ය ආරංචිය. මේ මුදල රුපියල් මිලියන 19 ඉක්ම වූ අගයක් ගන්නා බවකි පැවසෙන්නේ. දැනගන්නට ඇති පරිදි මේ ගෙවිය යුතු නඩු ගාස්තු මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කීර්තිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වන ගෙවීමක් නොවේ. තිලංගගේ පාලනය හේතුවෙන් කඩාපාත් වූ හෙණගෙඩි ය. තිලංග සුමතිපාල මේ සියල්ල සිදුකරනුයේ නිලවරණයක් අභිමුවේ තබාගෙන ය. පැවැත්වීමට නියමිත ව තිබූ එම නිලවරණය මේ වනවිට අභියෝගයට ලක් ව අවසන් ය. එසේ නම් තිලංග විසින් මේ හිතුවක්කාර ලෙසින් කළ කී දේ ද වාරණය විය යුතු නොවේ ද? අප එසේ පවසනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් යනු තිලංග සුමතිපාල නොවන නිසා ය.