මිහිකත උණුසුම් වීමේ ඇබැද්දිය

ප්‍රභාස්වර

කාලගුණය පිළිබඳව අනාවැකි සහ විවිධ වාර්තා නිවැරදිව සපයන ඇමරිකානු සමාග මක් වන ‘එකියුවෙදර්’, ලොවේ විවිධ ස්ථාන මිලියන 3.5ක් ආවරණය කරමින් තම සේවාවන් සලසනු ලබයි. එහි සේවය කරන කීර්තිමත් කාලගුණ විද්‍යාඥයකු වන ඇන්තනි සැග්ලියානි 2015 ජූලි 31 වැනිදා, යූඑස්ඒ ටුඬේ පුවත්පතට මෙවැනි ප්‍රකාශයක් කළේය. “පර්සියානු බොක්කට යාබදින් පිහිටි, නගර වැසියන් ලක්ෂයක් පමණ වෙසෙන බණ්ඩාර් මෂාර් නම් ඉරාන නගරයෙහි තාප දර්ශකය ෆැරන්හයිට් අංශක 163 දක්වා අද ඉහළ ගියා. මෙය මෙතෙක් මා ලොව තුළ දුටු ඉහළම තාප අගය ලෙස හැඳින්විය හැකියි.” ජෛව විවිධත්වය විනාශවීම සහ අධික ජනගහන වර්ධනය, මිහිකත ඇදහිය නොහැකි ලෙස උණුසුම්වීම කෙරෙහි බලපා තිබෙන ප්‍රධාන සාධක ලෙස හැඳින්විය හැකිය. ලොව ලොකුම දූපත ලෙස සැලකෙන ග්‍රීන්ලන්තය ඒ අසල ඇති ඩිස්කෝ දූපත සමග වසර 2010 තෙක්ම යාවී තිබුණේ ඝන අයිස් තීරුවකිනි. සැතපුම් 40ක් දුරට විහිදුණු මෙකී අයිස් තීරුව මත, බල්ලන් සමූහයක් විසින් අදින කුඩා කරත්තවලින් එහා මෙහා යාමට ග්‍රීන්ලන්ත වැසියෝ පුරුදුව සිටියහ. එහෙත් ගෝලීය උණුසුම ඉහළ යෑම හේතුවෙන් 2010 වනවිට මෙම අයිස් තීරුව දියවී ගොස් ඩිස්කෝ දූපත ග්‍රීන්ලන්තයෙන් වෙන්ව යාම නොවැළැක්විය හැකිවිය. නාසා ආයතනයේ දත්තවලට අනුව, ග්‍රීන්ලන්තයෙන් වාර්ෂිකව දියවී යන අයිස් ප්‍රමාණය ටොන් බිලියන 287කි. ග්‍රීන්ලන්තයේ කඳු වළලු වටා තිබුණු හිම ග්ලැසියරය මෙන්ම එහි සුලබව දක්නට ලැබුණු පිනි මුවන්ද 2015 වනවිට අතුරුදන් විය. පෘථිවියේ ඉතිහාසය
පෘථිවිය ස්ථාපිත වූයේ මීට අවුරුදු බිලියන 4.6කට ඉහතදී වග සයන්ස්වීව්ස් ඩොට්කොම් නමැති වෙබ් අඩවිය පවසයි. පොසිල වාර්තාවලට අනුව, එතරම් සංකීර්ණ නොවන ජීවීන් වසර බිලියන 3.8කට පෙර බිහිවූ අතර වඩා සංකීර්ණ ජීවීන්ගේ ජනනය ඇරඹුණේ අවුරුදු මිලියන 600කට පමණ ඉහතදීය. වසර බිලියන 4.6ක් වන පෘථිවියේ ඉතිහාසය තුළ එහි කාලගුණය මිනිසුන්ට හිතකර වූයේ කලාතුරකින් පහළ වූ කෙටි කාල වකවානු ගණනාවක් තුළදී පමණක් බව ලොව ප්‍රමුඛ පෙළේ පෘථිවි විද්‍යාඥයෙක් වන ජොහැන් රොක්ස්ට්‍රොම් කියයි. පෘථිවිය බොහෝ විට අධි ශීත සහ දැඩි උණුසුම් යුගවලින් සමන්විත වී යැයි හෙතෙම අවධාරණය කරයි. එහෙත් ‘හොලෝසීන්’ යුගය හෙවත් ගතවුණු වසර 11,500 (පෘථිවිය) මිනිස් වාසයට බෙහෙවින් හිතකර එකක් විය. අයිස් යුගයේදී හා දැඩි උණුසුම් කාලවලදී ආදි මිනිසා කණ්ඩායම් හා ගෝත්‍ර වශයෙන් තැනින් තැන ඇවිදිමින් ගල්ගුහා සහ වනාන්තරවල සාමූහික ජීවිතයක් ගත කළේ, කාලගුණික විපර්යාස දරාගන්නට බැරිතරම් දරුණු වූ නිසාය. එහෙත් පසුගි ය වසර එකොළොස්දාහ තුළදී පෘථිවියේ හැසිරීම බෙහෙවින් සෞම්‍ය වූ හෙයින් පැලියෝලිතික/ පූර්වශීලා ගල්ගුහාවලින් එළියට පැමිණි අපේ මුතුන් මිත්තෝ මෝසම් වැසි මත පදනම් වෙමින් සිය කෘෂිකාර්මික දිවි පෙවෙත ආරම්භ කළහ. කැලෑ සතුන් හීලෑ කරගෙන ස්ථිර වාසස්ථානවලින් සමන්විත ගම් හා නගර ගොඩනැගීම, පුනරුද යුගයට අවතීර්ණ වී ඉන්පසුව කාර්මික විප්ලවය දියත් කිරීම යන තීරණාත්මක සන්ධිස්ථාන හරහා නවීන මානවයා ගොඩනැඟුණේ ‘හොලෝසීන් යුගය’ ඔහුගේ පැවැත්මට බෙහෙවින් හිතෛෂී වූ හෙයිනි. එහෙයින්, මනුෂ්‍ය ශිෂ්ටාචාරය බිහිවීමට ඇවැසි වැසි වනාන්තර, කොරල් පර, තණබිම්, අනෙක් ජෛව පද්ධතීන්, අයිස් ආවරණ, පිරිසිදු ජලය හා සරුපස, පෘථිවිය විසින් මේ යුගයේදී නොමඳව තිළිණ කරනු ලැබිණි.

රතු ඉර පැනීම

මනුෂ්‍ය ශරීරය හා අදාළව පැවතිය හැකි උපරිම උෂ්ණත්වය ෆැරන්හයිට් අංක 98.6කි. මෙය 108 දක්වා ඉහළ ගියහොත් සිරුරේ අවයව අක්‍රිය වී මනුෂ්‍යයා මරණයට පත්වේ. එමෙන්ම එය 70 තෙක් පහළ බැසීමද අතිභයානකය. පෘථිවි ගෝලයටද මෙකී ධර්මතාව එලෙසින්ම අදාළ වන බව පරිසර විද්‍යාඥයෝ පවසති. වායුගෝලයේ තිබිය යුතු උපරිම කාබන්ඩයොක්සයිඞ් ප්‍රමාණය 350ppm වුවද වත්මනෙහි එය 400ppm දක්වා වැඩිවී ඇත. වත්මනෙහි ලොව තුළ තිබෙන මෝටර් වාහන සංඛ්‍යාව බිලියන 1.2ක් වන අතර 2035 වනවිට මෙය බිලියන 02 ඉක්මවනු ඇත. සාමාන්‍ය මෝටර් රථයක් පෙට්‍රල් ගැලුමක් දහනය කිරීම හරහා කාබන්ඩයොක්සයිඞ් රාත්තල් 20ක් පමණ වායුගෝලයට මුදාහරින අතර වාර්ෂිකව එය co2 ටොන් 06ක් පමණ වේ. මෙකී co2 විමෝචනය නිසා අද මහී කාන්තාවට උණ ගැනී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ. පෘථිවියේ ජෛව විවිධත්වය රකින වගුරු බිම්, තණ බිම්, වනාන්තර, පැළෑටි හා සතුන්, ඉහළ යන ගෝලීය උණුසුම නිසා වඳවී යෑමේ තර්ජනයට බඳුන් වී ඇත. වාතලයෙන් පරාගණයද, පසෙන් ක්ෂුද්‍ර ජීවීන්ද තුරන් වුවහොත් සිදුවිය හැක්කේ කුමක්ද? කුරුල්ලන් සහ අනෙකුත් වන ජීවීන් තම වසුරු ඔස්සේ පොළොවට මුදාහරින බීජවලින් නව පැළෑටි බිහිවේ. වනාන්තර බෝවන්නේ ඉහත කී ජෛව විවිධත්වය නිසාය. කැලෑ විනාශය යනු කාබන් අවශෝෂණය කරගන්නා තුරු ලතා තුරන් වී යාමයි. කාබන් උරා ගැනීමට ගස් නොමැති වුවහොත් ඒවා වායුගෝලය වෙත විමෝචනය වී පෘථිවියේ උණුසුම වැඩි වෙයි. වාර්ෂිකව, සත්ව විශේෂයන් මිලියනයකින් ස්වාභාවිකව වඳවී යා හැක්කේ එක් සත්ව කොට්ඨාසයකට පමණි. පරිසර විද්‍යාඥයෝ මෙහි රතු ඉර හෙවත් උපරිම සීමාව ලෙස දක්වා ඇත්තේ මිලියනයකට සත්ව විශේෂ 10ක් ලෙසය. එහෙත් වත්මනෙහි වාර්ෂිකව සතුන් මිලියනයකින් 100ක් පමණ වඳවීමට පාත්‍රවන්නේ ලොව තුළ සිදුවන දැවැන්ත පරිසර විනාශයේ ප්‍රතිඵලයක් ලෙසිනි. පෘථිවියේ ආදි වනාන්තරවලින් අවම වශයෙන් 75%ක්වත් සංරක්ෂණය නොකළහොත් අපට හිතකර හෙලෝසීන් යුගය ඉතා ඉක්මනින් නිමාවට පත්වනු ඇත. එහෙත් අද ඒවායින් සුරක්ෂිතව ඇත්තේ 62%ක් පමණි. ජනගහන වර්ධනය
වර්ග කිලෝමීටර් දොළොස් ලක්ෂ හැටහත්දාහකින් සහ ලක්ෂ 206ක ජනගහනයකින් හෙබි, අප්‍රිකානු කලාපයේ සහරා කාන්තාරයට යාබදව පිහිටි දේශය ‘නයිජර්’ය. වර්ෂ 2015 වනවිටත් නයිජර් ජනගහනයෙන් 71.3% කටම අකුරු කියවීමට හෝ ලිවීමට බැරිය. කෘෂිකර්මයෙන් යැපෙන මේ රටේ බහුතරය නිතර හටගන්නා නියඟයන් මෙන්ම එහි ඇති නිසරු පසද හේතුවෙන් අන්ත දිළින්දන් බවට පත්ව තිබේ. ගොවිතැනින් හෙම්බත් වූ බොහොමයක් නයිජර් වැසියෝ රැ කියා අවස්ථා සොයමින් ලිබියාවට හා යුරෝපයට සංක්‍රමණයවීමට උත්සාහ දරති. 2016 අප්‍රේල් මාසයේදී එසේ ලිබියාව බලා හොරෙන් ගිය නයිජර් වැසියන්, ලිබියානු බලධාරීන් විසින් ආපසු
හරවා එවන ලදි. මොවුන්, අතේ සතේ නැතිව නැවත පැමිණ අතරමංව සිටියේ සහරා කාන්තාරය මධ්‍යයේ පිහිටි කුඩා නගරයක් වන ‘ස්ර්කු’ තුළය. සංක්‍රමණය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය මොවුන්ට එම අවස්ථාවේ පිහිට නොවූයේ නම් මේ සංක්‍රමණිකයන් හාමතේ මියයන්නට ඉඩ තිබුණි. එතැන සිටි නයිජර් වැසියකු වූ මාටි ඇල්මැණික් නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදී තෝමස් ෆ්‍රීඞ්මන් සමග දොඩමළු වූයේ මේ අයුරිනි. “ මට බිරින්දෑවරුන් තිදෙනෙක් හා දරුවන් 17ක් ඉන්නවා. ලිබියාව බලා යන්නට කලින් මේ අයට සති දෙකකට සෑහෙන ආහාර ප්‍රමාණයක් මං ගබඩා කළා. ඒත් දැන් මාස 02ක් ගතවෙලා තිබෙනවා සමහර ළමයින් දැන් නිරාහාරව මියගිහින් ඇතැයි මට හිතෙනවා.” ස්ර්කු නගරයේ අනාථව සිටි හැම නයිජර් වැසියකුටම දරුවන් 07ට වැඩියෙන් සිටින වග ඔවුන් තමා සමග පැවසී යැයි ෆ්‍රීඞ්මන් කියයි. ළමා විවාහ අතින් ලොව ප්‍රථම ස්ථානයේ සිටින්නේ ‘නයිජර්’ ය. වොෂින්ටන්හි පිහිටි ජනගහන ආයතනයේ සභාපති රොබට් වෝකර්ට අනුව, උපත් පාලනයට හා උසස් අධ්‍යාපනයට එරෙහිව කටයුතු කරන පුරුෂාධිපත්‍යයක් නයිජර්, ඊජිප්තුව හා පාකිස්තානය වැනි රටවල් තුළ ක්‍රියාත්මක වෙන හෙයින් ඒවායේ ජනගහන වර්ධන වේගය ඉතා ඉහළය. 1950දී මිලියන 2.5ක් වූ නයිජර් රටේ ජනගහනය අද වනවිට මිලියන 19 දක්වා ඉහළ ගොස් තිබෙන්නේ එ නිසාය. 2050දී ලෝක ජනගහනය බිලියන 9.7ක් බවට වර්ධනය වීම යනු ස්වාභාවික සම්පත් වෙත එල්ල වන දැවැන්ත පීඩනයකි. එම ජනගහන වර්ධනය හේතුවෙන්, මාර්ගවල යන එන මෝටර් රථ, නගරවල ඉදිවෙන මහල් නිවාස, පුද්ගලයන්ගේ විදුලි, ජල සහ ප්‍රෝටීන් පරිභෝජනය යන මේ සියල්ල දිගින් දිගටම වැඩිවීම නොවැළැක්විය හැකිය.

සමාජ අසහනය

අයිඑස්අයිඑස්, තලේබාන් වැනි ත්‍රස්ත සංවිධාන ලොව තුළ බිහිවීම හා අදාළව පසුබිම් සාධක බොහොමයක් ඇතත්, ඉන් ප්‍රධාන සාධකය, උතුරු අප්‍රිකානු හා මැදපෙරදිග රටවල ජනගහනය පසුගිය වසර පනහ ඇතුළත තුන් ගුණයකින් වැඩිවීම යැයි බි්‍රතාන්‍ය අර්ථ ශාස්ත්‍රඥ අඩෙයා ටර්නර් පවසයි. හොඳ අධ්‍යාපනයක් ලබාදී කාන්තාවන් සමාජආර්ථික වශයෙන් බලාත්මක කළහොත් ඔවුන් පවුල් සැලසුම්කරණය සඳහා යොමු කළ හැකි බව ටර්නර් දැඩිව විශ්වාස
කරයි. ලාභ නොලබන, යුරෝපීය හරිත සංවිධානයක් වන ෑ3ඨ හි සභාපතිවරයා වන ටොම් බර්ක්, බිලියන 07ක් වන වත්මන් ගෝලීය ජනගහනය 1, 1.5, 2.0 සහ 2.5 යනුවෙන් කොටස් 04කට බෙදා ඒ ගැන සිය අදහස් දක්වන්නේ මේ ආකාරයටය. “අද ලෝක ජනගහනයෙන් බිලියනයක් පමණ සුරක්ෂිත වත්කම් හා ආදායම් ඉපැයීම හරහා ඉහළ මධ්‍යම පාක්ෂිකයන් බවට පත්ව තිබෙනවා. ඊට පහළින් සිටින බිලියන 1.5, මීට වසර 15කට පමණ පෙර ගම්බිම්වල සිට නගරවලට සංක්‍රමණය වූ උදවියයි. මේ අයට ඉහළ මධ්‍යම පන්තියට තරම්ම වත්කම් හා ආදායම් නැතත් ඔවුන් රජයේ හා පෞද්ගලික අංශයේ වෘත්තිකයන් ලෙස සුව පහසු ජීවිතයක් ගත කරනවා. එහෙත් තම රැකියා රොබෝකරණය, නැනෝ තාක්ෂණය යනාදී නව ප්‍රවණතා හමුවේ නුදුරේදීම අහිමි වේ යැයි යන බියෙන් මොවුන් නිතර පෙළෙනවා. තුන්වනුව මා සඳහන් කරන බිලියන 02ක ජනයා, ඉතා මෑතකදී (ලෝකයේ විවිධ රටවල ඇති ගම්බිම්වල සිට ඒවායේ) නගර වෙත පැමිණි නුපුහුණු ශ්‍රමිකයන් සමූහයයි. මොවුන් සියල්ලම පාහේ පදික වෙළෙන්දන් හා සුළු රැකියා නියුක්තිකයන් ලෙස සේවය කරමින් එදා වේල සරිකර ගත්තත් ගමේ හිටියාට වඩා ස්ථාවරත්වයක් අත්පත් කරගෙන තිබෙනවා. අංක හතර ලෙස මා වර්ගීකරණය කළ ලෝවාසීන් බිලියන 2.5 නොදියුණු හා සාම්ප්‍රදායික කෘෂිකර්මයේ නියුතු ග්‍රාමීය දිළින්ඳන් පිරිසයි. මේ අය ගෝලීය වෙළෙඳ ආර්ථිකයට හෝ නවීන තාක්ෂණයට කිසිදු ආකාරයකින් සම්බන්ධ වී නැති අන්ත දුප්පතුන් ලෙස හැඳින්විය හැකියි. මැදපෙරදිග අරාබි වසන්තයට නායකත්වය දුන්නේ ආණ්ඩුකරණය ගැන සෑහීමකට පත් නොවු පළමු (බිලියන 1) හා දෙවන (බිලියන 1.5) කොට්ඨාසවලට අයත් වූ නාගරික ජනතාවයි. මේ ලෝවැසියන් කොටස් හතරේම අපේක්ෂා, ධන ජනනය, පරිසරය සුරැකීම හා ජනගහන පාලනය හරහා සාක්ෂාත් නොකළහොත් ලොව හැමතැනම විශාල අර්බුද හටගනු නියතයි.” පෘථිවියේ ‘හොලෝසීන්’ යුගය තවදුරටත් රැකගැනීමට නම් ලොව සැවොම එක්ව මේ අභියෝගවලට මුහුණදීමට සූදානම් විය යුතුය.