රාවය

අධ්‍යාපනඥයනි අයිස්ටයින් දෙසට හැරෙන්න.

අධ්‍යාපනඥයනි අයිස්ටයින් දෙසට හැරෙන්න.

මහේෂ් විජේසේකර

ඇල්බට් අයින්ස්ටයින් යනු 20 වැනි සියවසේ දී ලොව පහළ වූ විශිෂ්ටතම විද්‍යාඥයින් අතර විශිෂ්ටතමයාය. ඔහුගේ කීර්තියවිද්‍යාඥයින්ගේ පරාසය ඉක්මවා පොදු ජනතාව අතරට පතල වූයේ ඔහු ඉදිරිපත් කළ සාපේක්ෂතාවාදය ජනතාව තේරුම් ගත් නිසා නොවේ. ඔහු විද්‍යාඥයෙක් මෙන්ම ජන මනසට ඇමතුූ මහා දාර්ශනිකයෙක් ද වූ බැවිනි. අප රටේ අධ්‍යාපනයේ අවුල ගැන කතා කරන්නට මා අයින්ස්ටයින් හවුල් කර ගත්තේ ඔහු විසින් කරන ලද එක් සුප්‍රකට ප්‍රකාශයක් තුළින් මෙම අර්බුදය විනිවිද දැකිය හැකි යැයි සිතූ බැවිනි. “Creativity is more important than knowledge” මෙම ප්‍රකාශය සරල සිංහලෙන් කියනවා නම් ‘නිර්මාණාත්මක චින්තනය විෂය දැනුමට වඩා වැදගත්ය.’

මා හඳුනනා එක්තරා ඉග්‍රීසි ගුරුවරයකු පාසලේ ප්‍රදර්ශනය කිරීමට මගෙන් ආදර්ශ පාඨ කිහිපයක් ඉල්ලා සිටි අවස්ථාවක තවත් වියත් වදන් කිහිපයක් සමඟ මම අයින්ස්ටයින්ගේ මෙම කියමන ද ඔහුට දුන්නෙමි. ඔහු එම පාඨ ප්‍රදර්ශනය කිරීමේ දී මෙම ප්‍රකාශය එහෙන් පිටින්ම අතහැර දමා තිබෙනු දුටු මට ඇති වූයේ දැඩි කලකිරීමකි. අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට නිර්මාණාත්මක චින්තනය වහකදුරුය. ඔවුන් වඳින්නේ පුදන්නේ දැනුමටය. දැනුම නිධානයක් මෙන් රැක ගත් යුගයක් අතීතයේ ද තිබිණ. එකල දැනුම සීමිත පිරිසකගේ ඒකාධිකාරයක් විය. ඈත අතීතයේ දී දැනුමේ ඒකාධිකාරය ලංකාව තුළ හිමිකරගෙන සිටියේ භික්ෂූන් විසිනි. ඉන්පසු එය ගුරුවරුන් අතට පත් විය. ඔවුහු දැනුම බෙදන ඒජන්තවරුන් පමණක් දැනුම නිසා වැඳුම් පිඳුම් ලබන්නන් බවට ද පත් වී සිටියහ. අද වන විට දැනුමට ඇත්තේ ඇඟිලිතුඩුවල දුර පමණි. පරිගණකයක් වත් අවශ්‍ය නැත. සුළු මුදලකට ගත හැකි ස්මාර්ට් ෆෝන් එකක් ඇත්නම් විශ්ව දැනුම ඔබ අතේය. ලෝකය සැබැවින්ම අතැඹුලක් වි ඇත. අද අන්තර්ජාලය තුළින් ආචාර්ය උපාධියක් වුව ලබා ගත හැක. මෙවන් යුගයක ජීවත් වන අපි තවමත් දැනුම පත අට එකට සිඳ ළමයින්ගේ ඔළුවට පුරවන්නට දඟලන්නෙමු.ඒ කාර්යය කරන ගුරුවරුන් ළමුන්ගේ වැඳුම් පිදුම් ලැබිය යුතු යැයි සිතන්නෙමු. දැන්වත් පරණ හන මිටිය බිම තැබිය යුතුය. දියුණු ලෝකයේ අභියෝගවලට මුහුණ දිය හැකි මිනිසුන් නිර්මාණය කළ යුතුය. නැතිනම් ලෝකය ඉදිරියට ඇදෙද්දී අප පමණක් රිවස් එකට යනු ඇත. මා සිතන අන්දමට පාසැලේ දී කළ යුත්තේ දැනුම ලබා දීම වෙනුවට දැනුම පිපාසයක් ඇති කිරීමය. පිපාසය ඇති වූ දරුවා නිරායාසයෙන්ම දැනුම සොයා යනු ඇත. ඒ සඳහා අපමණ මාර්ග ද විවර වී ඇත. මෙහි දී මගේ පාසැල් කාලය තුළ මා ලැබූ එක් අත්දැකීමක් මතකයට එයි. ඒ අට වැනි වසර විය හැක. පාඩම සිංහල පාඩමයි. අපට නියමිත පෙළපොතෙහි අපේ රටේ විශිෂ්ට ලේඛකයන් කිහිපදෙනකුගේ නිර්මාණවල කොටස් උපුටා දක්වා තිබිණි. එකක් ඩබ්. ඒ. සිල්වා සූරීන්ගේ ‘විජයබා කොල්ලය’ පොතේ කොටසකි. තවෙකක් මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ‘මඩොල් දූව’ පොතේ කජු කොල්ලය ගැන කියැවෙන කොටසයි. මෙම කොටස් කියවූ මට විජයබා කොල්ලයත්, මඩොල් දූවත් කියවන තුරු ඉස්පාසුවක් නොවීය. එදා ගැටවර වියට එළඹෙමින් සිටි මට එම නවකතාවලින් පළවූ කතා රසය සිත කුල්මත් කරන්නක් විය. මෑතකදී අධ්‍යාපනයට සම්බන්ධ එක්තරා සභාවකට මට ද නිරීක්ෂණ මට්ටමින් සහභාගී වන්නට අවස්ථාව ලැබිණි. එහිදී ඔවුන් කතා කළේ ගණිතය විෂය සම්බන්ධයෙන් ශිෂ්‍යයින්ගේ දුර්වලතාය. ඔවුන්ට අනුව අදාළ විභාගයේ ගණිතය විෂයෙන් සිසුන් 60% ක් පමණ සමත් වී තිබිණි. මෙය ප්‍රමාණවත් නොවන බවත් ඊළඟ වසරේ දී එය 70% විය යුතු බවත් ප්‍රකාශ විය. ගණිතය විෂය වැඩි වැඩියෙන් සමත් කරවීම සඳහා පියවර ගත යුතු බව සියලු දෙනාගේ මතය විය. මට කතා කිරීමට අයිතියක් නොවූ බැවින් මම කටවහගෙන සිටියෙමි. ඔවුනගේ මතයට අනුව සිසුන් 40% ක් ගණිතය අසමත් වීම මහා ඛේදවාචකයකි. මගේ මතය හැටියට නම් ගණිතය විෂයෙන් 50% ක් සමත් වුවත් ප්‍රමාණවත්ය. රටේ හැම ළමයෙක්ම ගණිතය සමත් විය යුතුද? පණ්ඩිත් අමරදේව, ප්‍රේමසිරි කේමදාස, මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර වැන්නවුන් දස්කම් පෑවේ ගණිතයෙන්ද? විවිධ ශක්‍යතාවන් ඇති සිසුන් අතර ඔවුන්ගේ හැකියාවන් හඳුනාගෙන ඒවා වර්ධනය කිරීම නොවෙයි ද කළ යුත්තේ? අපගේ අධ්‍යාපන ක්‍රමයෙන් උත්සාහ කරනුයේ බටු ගසින් අන්නාසි ලබා ගැනීමටය. ගණිතය විෂය බලෙන් පොවන්නට ගොස් විවිධ හැකියාවන් ඇති සිසුන් කීදෙනෙක් අප විසින් විනාශ කරන්නට ඇත්ද? ගණිතයට හැකියාවක් නැති සිසුන් ගණිතය වෙතට තල්ලු කිරීමට යාමෙන් සිදු වන්නේ ළමයින් වෙත අනවශ්‍ය පීඩනයක් එල්ල කිරීම පමණක් නොව ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වෙත ද අනවශ්‍ය බරක් පැටවීමයි. මෙවන් අධ්‍යාපන ක්‍රමයකින් සිදුවන්නේ අසහනය වර්ධනය කිරීම නොවේද? තවත් තැනකදී අධ්‍යාපන කෂේත්‍රයට සම්බන්ධ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේ ගණිතය සහ විiාව පමණක් ළමයින්ට ඉගැන්වීම ප්‍රමාණවත් බවය. මේ තුළින් අපට ලෝකය ජයගත හැකි යැයි ඔහු මහත් අභිමානයකින් ප්‍රකාශ කරනු ඇසූ මට ඇති වයේ දැඩි ආත්මානුකම්පාවකි. කලා රසඥතාවක් නොමැති යාන්ත්‍රික මිනිසුන් පිරිසක් බිහිකරවීමේ සාර්ථක මඟ එයයි. එක්තරා ජනප්‍රිය පාසලක පැවති ගුරු දෙගුරු හමුවකට සහභාගී වීමට වරෙක මට සිදු විය. එහිදී විදුහල්පතිතුමිය සිය කතාවෙන් පුන පුනා ප්‍රකාශ කළේ ජාතික මට්ටමේ ඉහළ ලකුණු ලබා ගැනීමේ අවශ්‍යතාවයි. ඊළඟට කතා කළ නියෝජ්‍ය විදුහල්පතිවරයා වැඩි ලකුණු ලබා ගැනීමේ උපක්‍රම පිළිබඳ දීර්ඝ වශයෙන් කතා කළේය. ඊළඟට පන්තිභාර ගුරුතුමිය හමු වීමට මට සිදු විය. ඇය ද ප්‍රකාශ කළේ කෙසේ හෝ වැඩි ලකුණු ලබා ඉහළින්ම විභාගය සමත් වීමේ අවශ්‍යතාවයි. මගේ සිතට නැඟුණු ගැටලුව වූයේ යහපත් පුරවැසියන් බිහි කිරීමේ කාර්යභාරය පාසල විසින් අත්හැර දමා ඇත්ද යන්නයි. අප රටේ අධ්‍යාපනය පිළිබඳ අර්බුදයට අධ්‍යාපනඥයෝ වැඩි වගකීමක් දැරිය යුත්තෝය. මට මෙහිදී මා මුහුණ දුන් තවත් අත්දැකීමක් සිහියට නැගේ. මාගේ දියණිය අ.පො.ස (සා.පෙළ) විභාගයට සූදානම් වෙමින් සිටියදී ඇයගේ එක පාඩමක් මගේ නෙත ගැටිනි. එයින් දැක්වූයේ බොලිබෝල් ක්‍රීඩාව පිළිබඳ විස්තරයකි. ක්‍රිඩාවේ යෙදෙන සංඛ්‍යාව, ක්‍රීඩා පිටියේ දිග, පළල, දැල් කණුවට උස, ලකුණු ලබා දෙන පිළිවෙළ ආදිය එහි විස්තරව දක්වා තිබිණි. මගේ දියණිය දැඩි ආයාසයකින් මේවා මතක තබා ගැනීමට දරන උත්සාහය දුටු මට දැඩි අනුකම්පාවක් ඇති විය. අපේ පරපුර වොලිබොල් ගැන ඉගෙන ගත්තේ ක්‍රීඩා පිටියේදීය. පාසලේ අවසරයක් ලැබූ හැම විටම ක්‍රීඩා පිටියට යන අපි ක්‍රීකට්, වොලිබෝල්, එල්ලේ වැනි ක්‍රීඩාවල නිරත වීමු. අපට ඒවා අශ්වාදයක් විනා පීඩාවක් නොවීය. අපේ දරුවන් අපි ක්‍රීඩා පිටියෙන් ඉවත් කර ඇත්තෙමු. ඔවුන්ට ක්‍රීඩාව උගන්වන්නේ පොත පතිනි. මහමෙරක් මෙන් බර වූ විෂය මාලාවට ක්‍රීඩාව තවත් බරක් වී ඇත. මෙවැනි විෂය මාලා සකස් කරන අයට සාමාන්‍ය බුද්ධියවත් ඇත්දැයි සැක සිතේ. එසේ නැත්නම් හිතාමතා ළමුන් නොමඟ යවන කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන්නේ දැයි සෙවිය යුතුය. මේ ලිපිය කියවන ඔබට මා කියන අයුරින් නිර්මාණාත්මක චින්තනයකින් යුතු සිසුන් බිහිකරන්නේ කෙසේ දැයි ප්‍රශ්නයක් පැන නගිනු ඇත. මම පුංචි උදාහරණයක් මෙහි සඳහන් කරමි. එක්තරා සර්කස් කරුවකු විය. ඔහු තමාගේ බල්ලාට නොයෙකුත් දස්කම් කිරීමට උගන්වා තිබිණි. බල්ලාගේ දස්කම් දැක පැහැදුණු එක් කාන්තාවක් සර්කස්කරු හමු වී බල්ලාට මෙවැනි දස්කම් කිරීමට ඉගැන්වූයේ කෙසේදැයි විමසා සිටියාය. කට කොනකට සිනාවක් නගාගත් ඔහු කියා සිටියේ “ඒකට නෝනා බල්ලට වඩා අපිට මොලේ තියෙන්න ඔනේ” යනුවෙනි. ඉතිං දරුවන් නිර්මාණාත්මක චින්තනයෙන් යුතු අය කරන්නට නම් ඊට කලින් ගුරුවරුන් තුළ නිර්මාණාත්මක චින්තනයක් ඇති අය විය යුතුය.