රසික ගුණවර්ධන / වින්ද්‍යා ගමගේ

බස් ගාස්තු ඉහළ යාම පිළිබඳව පසුගි ය කාලයේ සමාජය තුළ විවිධ කතාබහ ඇති විය. මේ කතාබහ වෙත අවධානය යොමු කළ විට අපට දැකගත හැකිවූයේ බොහෝ දෙනකුගේ කතාබහ වැඩි වූ මුදලේ සාධාරණ අසාධාරණ බව වෙත ලඝු වී තිබූ බවයි. මේ කතා පසෙකින් තැබූ විට අපට පැහැදිලිවම මේ වැඩිවී ඇති ගාස්තු වල ප්‍රායෝගි ක දුෂ්කරතා ඇති බව අවබෝධ විය. එනම්, නව වැඩිවීමේ රටාව අනුව ඉතුරු මුදල් ලබාදීමේ හා ලබා ගැනීමේ ඇති ප්‍රායෝගික ගැටලු වයි. එය එසේ වී ඇත්තේ වැඩි වූ ගාස්තු ‘රවුම් ගණන්’ තුළ නොපැවතීමයි. මේ ගැටලු ව කොටස් කිහිපයක් යටතේ බෙදා දැක්විය හැකිය. එනම්, රුපියල් ඉතුරු නොලැබෙන ගාස්තු ලෙස, එහිදී වැඩිම අවධානයට යොමු වන්නේ රුපියල් 12 ටය. මෙහිදී රුපියල් දොළහම ලබා දේ නම් ගැටලු වක් නැත. එහෙත් එය එසේ වන්නේ බොහෝ කලාතුරකිනි. බොහෝ විට මේ ගාස්තු අවස්ථාව සඳහා බොහෝ දෙනකු ලබා දෙන්නේ රුපියල් විස්සේ නෝට්ටුවකි. එසේ නොමැතිනම් රුපියල් පහළොවකි. මෙහිදී රුපියල් විස්සක් ලබා දුනහොත් ඉතිරි ලැබෙන්නේ රුපියල් හතක මුදලකි. රුපියල් පහළොවක් ලබා දුනහොත් ඉතිරිය ලැබෙන්නේ රුපියල් දෙකක මුදලකි. ඒ නිසා බොහෝ අවස්ථා වල රුපියල් දොළහේ ගාස්තු මුදල යටතේ බොහෝ මගීන්ට රුපියලක පාඩුවක් විඳීමට සිදු වේ. මීට අමතරව මගීන්ට රුපියලක මුදලක් අහිමි වන බස් ගාස්තු තවදුරටත් මෙසේ පෙළ ගැස්විය හැකිය. එනම්, රුපියල් 19, රුපියල් 24, රුපියල් 57, රුපියල් 59, රුපියල් 62, රුපියල් 67, රුපියල් 72, රුපියල් 99, රුපියල් 102, රුපියල් 107, රුපියල් 112, රුපියල් 123, රුපියල් 139, රුපියල් 142, රුපියල් 152, රුපියල් 179, රුපියල් 189, රුපියල් 192, සාමාන්‍යයෙන් ලංකාවේ ‘බස් රථ රීතීන්ට’ අනුව රුපියල් 200 එහා ගාස්තු සදහා ඉතිරි මුදල් කොපමණ ප්‍රමාණයක් තිබුණද එහි ඉතිරි ලැබෙන්නේ රවුන් ගණනකිනි. උදාහරණයක් ලෙස රුපියල් 221 ක ගාස්තුවක් ඇත්නම් එයට ලබා ගන්නේ රුපියල් 220ක මුදලකි. එසේම රුපියල් 227ක ගාස්තුවක් ඇතැයි සිතන්න එවිට ලබා ගන්නා ගාස්තුව රුපියල් 230 කි. ඒ නිසා රුපියල් දෙසීයෙන් එහා ගාස්තු පොදු කුලකයක් තුළ කතා කිරීම ප්‍රායෝගිකව කළ හැක්කක් නොවේ. පොදුවේ මෙසේ පෙළ ගැස්සුවද රුපියල හැරුණු විට රුපියල් දෙක තුන, හතර පහද හිමි නොවන අවස්ථා බොහෝ පවතී. ජාතික ගමනාග මන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇති ගාස්තු අවස්ථා 350ටම අදාළව පුවත්පතේ පිටුවක් පුරා ගණනයක් සෑදීම කළ හැක්කක් නොවන බැවින් සාමාන්‍යයෙන් දිනකට නොලැබී යන මුදල රුපියලක් ලෙස සලකා බැලු වොත්,

ඔබේ ගමන ආරම්භ කළ තැනට නැවත පැමිණිය යුතු නිසා එක් දිනක් තුළ එක් ගමන් වාරයකට ඔබට අහිමි වන මුදල රුපියල් දෙකකි. සතියට දින පහක් යන්නේ නම් අහිමි වන මුදල රුපියල් දහයකි. මෙසේ ඔබ මාසයක කාලයක් යන්නේ නම් අහිමි වන මුදල රුපියල් හතළිහකි. ඔබ අවුරුද්දක් ගමන් ගන්නේ නම් අහිමි වන මුදල රුපියල් 480කි. කෙසේ වෙතත් සමස්තයක් ලෙස සැලකූ විට කිනම් හෝ මුදලක් ඉතුරු ලෙස නොලැබී යා හැකි යැයි අනුමාන කළ හැකි ගාස්තු අවස්ථාවන් සමස්ත ගාස්තු අවස්ථා 350 අතුරින් 265 ප්‍රමාණයකම පවතී. මෙහි අනෙක් පැත්ත ද මෙසේමය. එනම් කොන්දොස්තරවරුන්ට ද අහිමි වන රුපියලක මුදලක් පවතී. එසේ කොන්දොස්තරවරුන්ට රුපියලක මුදලක් අහිමි වන ගමන් ගාස්තු කිහිපයක් මෙසේය. එයද රුපියල් දෙසීයට මෙහායින් පෙළගස්වා ඇත. රුපියල් 51, රුපියල් 91, රුපියල් 131, රුපියල් 171, රුපියල් 181. මෙසේ ඉහත ගණනය කිරීම්වල ස්වරූපයටම අනුව ගණනය කළහොත් එක් ගණන් වාරයක් තුළදී ඔහු අහිමි කරගන්නා මුදල රුපියලක් ලෙස සැලකුවහොත් ඔහු දින පහක සතියකට එක් මගියකුගෙන් අහිමි කරගන්නා මුදල රුපියල් 5කි. මසකට රුපියල් 20කි. ඒ අනුව වසරකට රුපියල් 240කි. එහෙත් එක් බසයක ගමන් ගන්නේ එක් මගියකු නොව, ඒ නිසා එක් බසයක දහදෙනකුගෙ න් ඔහු දිනකදී රුපියල බැගින් අහිමි කරගන්නේ යැයි සැලකුවහොත් කොන්දොස්තරවරයකු වසරකදී අහිමි කරගන්නා මුදල රුපියල් 2400කි. කොන්දොස්තරවරයකුට ද අහිමි වන මුදල පොදුවේ මෙසේ පෙළ ගැසුව ද ඔහුටද රුපියල් දෙක තුන, හතර පහ අහිමි වන අවස්ථා විරල නොවේ. මේ පිළිබඳව සහ ලංකාවේ පොදු මගී බස් රථ සේවා ගාස්තු පිළිබඳව අප සොයා බැලීමක් සිදු කළෙමු. එහිදී අප බස් මගීන් මෙන්ම බස් කොන්දොස්තරවරුන් සහ බස් රථ රියදුරන්ගෙ ්ද අදහස් විමසූ අතර මෙහි දැක්වෙන්නේ ඔවුන් කී දෑය.

ෆ්ලැට් රේට් එකක් ඕනෑ

රනිල් රුවන්පතිරණ

අවම ගාස්තුව ගැන සලකද්දි අවම ගාස්තුව යටතේ මගියට යන්ඩ පුළු වන් දුර ගැන මීට වඩා විද්‍යාත්මක ක්‍රමයකට ආවනම් හොඳයි කියල හිතෙනවා. නගරයේදී එක ක්‍රමයක් නගරෙන් පිට එක ක්‍රමයක් වෙන්ඩ පුළුවන්, හැබැයි මම ගොඩක් රටවල දැකල තියනව එක ෆ්ලැට් රේට් එකක්. උදාරණයක් විදිහට අවම ගාස්තුව වැඩි වෙන්ඩ පුළුවන්, රුපියල් පහළොව කියමු. හැබැයි රුපියල් පහළොව පුරා අදාළ නගර සීමාව තුළ සංසරණය වෙන්ඩ පුළුවන් ඕනෙ ප්‍රමාණයක්. සිංග ප්පූරුව හොංකොං වගේ රටවලින් මේකට උදාහරණ ගන්ඩ පුළුවන්. ඔය විදිහට ෆ්ලැට් රේට් එකකට යන්ඩ පුළුවන් නම් මේ තියන ගැටුම් ගොඩක් අඩුවෙයි කියන එකයි මගේ අදහස.

මිල සූත්‍රයක් නැහැ

මොහාන් අභයවික්‍රම

ආණ්ඩුවට සම්බන්ධ විවිධ සංගම් ඉන්නව, විපක්ෂයට සම්බන්ධ සංගම් ඉන්නවා. මේ දෙගොල්ලන්ගෙන් කවුරු ඇත්ත කියනවද බොරු කියනවද කියල ජනතාව දන්නේ නෑ. ගාස්තු වෙනස් වෙනවනන් ඒ සම්බන්ධයෙන් කිසිම මිල සූත්‍රයක් නෑ, ඒවා කොහොමද වෙන්නේ කියල අපි දන්නෙ නෑ. එයාල සාකච්ඡා කරනවා. ආපහු සාකච්ඡා අසාර්ථක වෙනව කියනවා. අන්තිමට මේ හැමදේකින්ම බැට කන්නෙ රටේ සාමාන්‍ය ජනතාව.

ඉතුරු දෙන්නෙ ගහන්ඩ වගේ

වෆා

දහනමය ට විස්සක්ම ගන්නව. එක්කො විස්සක්ම කරන්ඩ ඕනෙ. දොළහෙ එක සමහර වෙලාවට පහළොවක් ගන්නව, තුනක් දෙන්නන් කියල. පනහක් දුන්නොත් තිස්පහක් දෙනව තුනක් දෙන්නන් කියල, හැබැයි ආයෙ තුනක් හම්බෙන්නේ නෑ. අන්තිමට අපට රණඩු වෙන්ඩ තමයි වෙන්නේ. ඉතුරු ඉල්ලපුවහම ගහන්ඩ වගේ ඉතුරු දෙන්නේ. සමහර වෙලාවට අපි ඉල්ලන්නේ නෑ. ඒ ගොල්ලො එක්ක තරග කරනවට වැඩිය අපිට කාලය වටිනවනෙ. රවුම් ගාණකට එන්න කාන්ති අපිටත් රුපියල් දෙක තුනකට කෑගහන්ඩ ලැජ්ජයිනෙ. මේක රවුම් ගාණකට ආවනන් හරි, මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙන එකක් නෑ.

අපහසුතාව මගියට

බස් කොන්දොස්තර රුවන්

බස් ගාස්තු වැඩි කරපු එකෙන් මගිය තමා අපහසුතාවට පත් වෙන්නේ බස් හිමියො නෙවෙයිනෙ. මඟියො අපහසුතාවට පත්වෙන හින්ද අපිත් අපහසුතාවට පත්වෙනවා. සමහරු රුපියල් දෙකක් වැඩිකළා කියල දන්නේ නෑ, දහයක් දෙන්නේ, මමනන් ගොඩක් වෙලාවට දහයක් ගන්නේ. නැත්තන් රුපියලක් හොයාගෙන කොහෙන් හරි දෙනවා. දැන් දහනවයේ එකටත් ගොඩක් දෙනෙක් රුපියලක් ඉල්ලනව , මම දෙනව. මොකද අපිට මිනිස්සු එක්ක රංඩු වෙන්ඩ බෑනෙ. අනික ඒ මනුස්සය වෙන බස් එකකත් යන්ඩ ඕනෙනෙ, නැත්තන් ඉස්කෝලෙ යන ළමයට දෙන්ඩ ඕනෙ. රුපියලක් මගෙ ළඟ නොතිබ්බොත් මම රුපියල් දෙකක්ම දෙනවා. මොකද මේ රස්සාව මිනිස්සු එක්ක රණ්ඩු වෙලා කරන්ඩ පුළුවන් රස්සා නෙවෙයිනෙ.

මාරු කාසි මවන්ඩයැ

කෙසේ වෙතත් සිය නම හෙළි කිරීමට අකමැති වූ මෙම බස් රථයේම රියදුරුවරයා පැවසුවේ මෙවැන්නකි. අපි ළඟ මාරු දෙන්ඩ හැම වෙලේම නෑ. සමහර මිනිස්සු නන් මාරු අරගෙන එනවා, ගොඩක් අය මාරු දෙන්නේ නෑ. අපිත් තිබ්බොත් තමයි දෙන්නේ, නැත්තන් මවන්ඩයැ. එක්කො පහෙන් පහට වැඩි වෙන්ඩ ඕනෙ. නැත්තන් මාරු දෙන්ඩ ඕනෙ.

දොළහ තමා ප්‍රශ්නෙ

බස් කොන්දොස්තර ශාන්ත

වැඩිකරල තියන විදිහට අපි දුවනවා. දොළහෙ ගාණ තමා ප්‍රශ්නෙකට තියෙන්නේ. ඉස්සර විසි එකේ ගාන තියෙද්දිත් මිනිස්සු විස්සක්නේ අපට දුන්නේ. අපි රුපියල ඉල්ලන්ඩ ගියේ නෑ. දැන් දහනවයේ ටිකට් එකට මිනිස්සු අපෙන් රුපියල ඉල්ලන්නෙත් නෑ. මගෙන්නන් ඉල්ලල නෑ, වෙන අයගෙන් ඉල්ලනවද දන්නෑ.

අවුලක් නැහැ

බස් රියදුරු සහ බස් හිමිකරු, පුෂ්පකුමාර

එහෙම අවුලක් නෑ. මිනිස්සු මාරු සල්ලි අරගෙන එනව. මිනිස්සු දන්නව මාරු සල්ලි නැතුව ගියොත් බස් එකේ යන්ඩ බැරි වෙනව කියල. ඒ හින්ද මාරු සල්ලි අරගෙන එනව. 19 මුදල 20 වගේ රවුම් ගානකට ආවොත් හොඳ නැද්ද? යම් ප්‍රමාණයකට බස් ගාස්තු වැඩි වුණානෙ. ඊට වැඩිය වැඩි කරල මිනිස්සුන්ව අමාරුවෙ දාන්ඩත් බෑ නෙ. මිනිස්සුන්ටත් දරාගන්ඩ පුළුවන් සීමාවක් තියනවනේ. ඊට වැඩිය අයකරන්ඩ බෑ.

දහය ලේසියි ඒත් පාඩුයි

බස් කොන්දොස්තර සාන්ත

දොළහ කරපු එකේ අවුලක් නෑ, රුපියල් දෙකක් දෙනවනන්. ගොඩක් අය විස්සක් දෙන්නෙ රුපියල් දෙකක් අතේ තියාගෙන, හැබැයි රුපියල් දෙකක් ඉල්ලු වහම නෑ කියනවා. අපි ළඟ මාරු නැතුව දහයක්ම ගනී කියල. අපිත් කැමති පරණ විදිහටම අවම ගාස්තුව රුපියල් දහයෙම තිබ්බනන්, ඒත් තෙල් වැඩි වුණ එකත් එක්ක අපිට දහයට ගියොත් පාඩුයි, හැබැයි දහය ලේසියි.

ප්‍රායෝගික සංශෝධන

නම සඳහන් කිරීමට අකමැති වූ අපට හමුවූ අයෙකු සඳහන් කළ කාරණාවක් ද මෙහිලා සටහන් කිරීම වටී. ඔහු සඳහන් කළේ ගමනාන්ත අතර අයකෙරෙන මුදලේ ඇති නොගැළපෙන ස්වභාවයයි. උදාහරණයක් නම්, කිරුලපන සිට තුන්මුල්ලට ඇති ගමන් ගාස්තුව කිරුලපන සිට ටවුන් හෝල් අසලට ඇති ගාස්තුව යන ගාස්තූන් දෙකම සමාන වීම සැලකිය හැක. මෙහිදී තුන්මුල්ලේ සිට ටවුන් හෝල් අසලට ඇති දුර කිලෝමීටර තුනකට ආසන්නය. එනිසා කිලෝ මීටර තුනක දුරක් ඇතුළත එකම ගාස්තු අවස්ථාවක් පැවතීම විසුලු වකි. ඉහළ යන සේවා ගාස්තු මත බස් ගාස්තු එක තැන රැඳිය නොහැකිය එය වෙනස් විය යුතු බව අපද විශ්වාස කරන කාරණාවකි. එහෙත් එය ප්‍රායෝගික තලයේ සිට වෙනස් විය යුතුය. කොටින්ම මහ පොළොවට බැස මිනිසුන්ට පහසු ලෙස වැඩි කළ යුතුය. පොතේ ගාණ හරි ගියාට ඒ පොතේ ගාණ කොතරම් ප්‍රායෝග ික වේදැයි විමසා බලා පොතටද පොකට්ටුවටද පහසු වන ලෙස බස් ගාස්තු සංශෝධනය විය යුතු යැයි අපි යෝජනා කර සිටිමු.