ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ සාමාන්‍යයෙන් භාණ්ඩ මිල ඉහළ යනවා මිස පහළ යන්නේ නැත. භාණ්ඩ හා සේවා මිල ඉහළ යන වේගයට සමාන වූ වේගයකින් ජනතාවගේ ආදායම/වැටුප ඉහළ නොගියහොත් මතුවන තත්ත්වය වන්නේ එම මුදල් වැටුපෙන් මිලට ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය, නැතහොත් මූර්ත වැටුප පහත වැටීමය. එහිදී සිදුවන්නේ ජීවන වියදම ඉහළ යාමේ හේතුව මත ජනතාව පෙරට වඩා දුප්පත් වීමය.

අප්‍රේල් රේඛාව

ශ්‍රී ලංකාවේ දුප්පත්කම ගණනය කරන්නේ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවයි. කොළඹ පාර්භෝගික මිල දර්ශකය ද පදනම් කරගෙන මාසිකව කරන එම ඉලක්කම් ගැළපීම හඳුන්වන්නේ දරීද්‍රතා රේඛාව යන නමිනි. ඒ අනුව 2018 අප්‍රේල් මාසයේ එහි අගය රුපියල් 4532 කි. මෙහි අදහස වන්නේ එක පුද්ගලයකු මාසයක් ජීවත් වීමට රු. 4532 ක ආදායමක්වත් නොලබන්නේ නම් එම පුද්ගලයා දුප්පතුන්ගේ ගොඩට එකතු වන බවය. ආදායම් මට්ටම අනුව පහළ ම සියයට හතළිහේ (40%) ආහාර හා ආහාර නොවන අවශ්‍යතා, දුප්පත්කමේ රේඛාව සැකසීම සඳහා පදනම් කරගනී. මෙම මාසික අගය 30 න් බෙදා දිනක අගය ගණනය කළහොත් ලැබෙන්නේ රු. 151 කි. එක් පුද්ගලයකු අඩු ගණනේ දිනකට රු. 151 ක් උපයන්නේ නැත්නම්(අවශ්‍යතා සඳහා එම මුදල වියදම් කළ නොහැකි නම්) එවැනි පුද්ගලයන් අයත් වන ජන කාණ්ඩය දුප්පතුන්ගේ ලෝකය වන බව එහි හරයයි. පවුලේ 4 දෙනකු සිටින බව උපකල්පනය කළහොත් පවුලේ උපරිම මාසික වියදම රු. 18,128 ක් නම් පමණක් ඒ පවුල දුප්පත්ය යන්න මෙහිදී කරන අනුමානය බව පැහැදිලිය.

දුප්පතුන්ගේ මුළු ගණන

රටේ සමස්ත ජනගහනයෙන් කොතරම් සංඛ්‍යාවක් දුප්පත් ද යන අගය ද (ජනගහන දරිද්‍රතා අනුපාතය්‍යැ්ා ක්‍දමබඑ ඍ්එසද) ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරයි. එහෙත් මාසිකව එවැන්නක් ගණනය නොකෙරෙන අතර අවසන් වරට ගණනය කෙරුනේ 2016 වසරේදී ය. 2016 දී එම අනුපාතිකය 4.1% ක් වූ අතර එයින් කියවෙන ජනගහනය 8,43 913 ක් වූහ. මාසිකව එක් එක් පුද්ගලයකුට සිය අවශ්‍යතා සඳහා රු. 4166 ක් වත් වැයවන අතර දුප්පතකු වන්නේ, එම මුදල උපයන්නේ නැති පුද්ගලයා පමණක් බව උපකල්පනය කරමින් එය දුප්පත්කමේ සීමාව ලෙස එහිදී ලකුණු කර තිබේ. මෙම සීමාව 10% කින් වැඩි කළහොත් රු. 4166, රු. 4582.60 ක් වී ශ්‍රී ලංකාවේ දුප්පත් ජනගහනය 4.1% සිට 6.1% දක්වා ඉහළ යන බව ද එහිදී පුරෝකථනය කර තිබිණි. එවිට දුප්පත් ජනගහනය ද 8 43,913 සිට 12 55 702 දක්වා ඉහළ යනු ඇත.

ප්‍රශ්න තුනක්

මේ ඉලක්කම් අනුව මතුවන ප්‍රශ්න කිහිපයක් ඇත. 2018 අප්‍රේල් මාසයේ ඉලක්කම අනුව දිනකට රු. 151 කට වඩා රුපියලක් හෝ සිය දෛනික අවශ්‍යතා සඳහා වියදම් කරන පුද්ගලයා දුප්පතකු නොවන්නේ ද? මාසිකව රුපියල් 4532 කට වඩා රුපියලක් හෝ වියදම් කළ හැකි පුද්ගලයා දුප්පත්කමේ සීමාවට අයත් නොවන්නේ ද? 4 දෙනකුගෙන් යුත් පවුලකට ආහාර හා ආහාර නොවන අවශ්‍යතා සඳහා මාසිකව රු. 18128 කට වඩා රුපියලක්
හෝ වියදම් කළ හැකිනම් ඔවුන් දුප්පතුන්ගේ ලෝකයට එක් නොවන්නේ ද?

මේ ප්‍රශ්න අනෙක් පැත්තට ද ඇසිය හැක.

දිනකට පුද්ගල යකුට රු.151 කින් ජීවත් විය හැකි ද? එක් අයකුට රු. 4532 කින් මාසයක් ජීවත් විය හැකි ද? 4 දෙනකුගෙන් යුත් පවුලකට රු. 18 128 කින් මාසයක් ජීවත් වීමට පුළුවන් ද? ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සකසන, මහ බැංකුව විසින් යොදා ගන්නා, දේශපාලන නායකයන් ඇතුළු රටේ ගමන් මග තීරණය කරන්නන් ප්‍රතිපත්ති සැකසීම සඳහා භාවිත කරන, ඉහත සංඛ්‍යා අනුව නම් පළමු ප්‍රශ්නවලට පිළිතුර ‘ඔව්, නොවේ’ යන්නය. දෙවන ප්‍රශ්නවලට පිළිතුර ‘ඔව්’ යන්නය. එහෙත් මේ ඉලක්කම් අතර තිබෙන්නේ රටේ දුප්පත්කමේ සැබෑ තත්ත්වය බව විශ්වාස කළ හැකි ද?

පරණ අවශ්‍යතා මල්ල

ඉතා වැදගත් කාරණය වන්නේ මේ සියලු ඉලක්කම් සකසා තිබෙන්නේ 2002 වර්ෂයේ පැවති මූලික අවශ්‍යතා මල්ල අනුව වීමයි. 2002 වසරේ පැවති මූලික අවශ්‍යතා කාණ්ඩය අනුව එක පුද්ගලයකුට දිනකට ආහාර අවශ්‍යතාව වන්නේ කිලෝ කැලරි 2030කි. ඒ අනුව ආහාර අවශ්‍යතා සඳහා මාසයකට වුවමනා මුදල රු. 973 කි. 2002 වර්ෂයේදී එක් පුද්ගලයකුගේ පාරිභෝජන වියදම රු. 1423 ට අඩුනම් ඔවුන් දරීද්‍රතාවයෙන් පෙළෙන්නන් ලෙස ලකුණු කර ඇති අතර රු. 1423 න් 973 ක් අඩු කළ විට එක් පුද්ගලයකුගේ මාසික ආහාර නොවන මූලික අවශ්‍යතාවල වියදම වන්නේ රු. 450 ක් පමණක් බවට උපකල්පනය කර තිබේ. එය නිවැරදි නම් ආහාර නොවන අවශ්‍යතා සඳහා දිනකට එක් පුද්ගලයකුට වුවමනා වන්නේ රු. 15 ක් පමණි.

මැජික් දර්ශකයක්

මේ ඉලක්කම් හරඹය අනුව පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ දුප්පත්කම දිගින් දිගට ම අඩුවෙමින් දුප්පතුන්ගෙන් තොර දේශයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටින බවය. 1990/91 දී 26.1% ක් වූ ජනගහන දරිද්‍රතා අනුපාතය 1995/96 දී 28.8% විය. 2002 දී එම අගය 22.7 කි. 2006/7 දී එම අගය 15.7% ක් වනවිට 2009/10 දී 8.9% ක් වූ අතර 2012/13 වසර වනවිට 6.7% වී 2016 දී එය 4.1% ක් දක්වා විශ්මයජනක ලෙස පහත වැටේ. ආශ්චර්යය කොතරම් ද යත් 2012/13 සිට 2016 වනවිට ශ්‍රී ලංකාවේ දුප්පත්කම 38.8% කින් පහත වැටී තිබේ. එහෙත් 2018 දුප්පත්කම සෙවීමට මීට වසර 16 කට පෙර පුද්ගලයකුගේ මූලික අවශ්‍යතා මල්ලක්, යොදාග ැනීම කුමන මිම්මක් යටතේ හෝ සාධාරණ වියහැකි ද? 2018 මූලික අවශ්‍යතා මල්ලක් ගෙන ඉලක්කම ගණනය කළහොත් දුප්පත්කමේ මට්ටම මීට වඩා බොහෝ විශාල, ඒ නිසා ම භයානක අගයක් ගන්නා බව අනුමාන කිරීම අපහසු කරුණක් නොවේ.

2002,2018 කිරීම

මෙහි නියම ඉලක්කම විද්‍යාත්මකව සොයා ගැනීමට නම් පළමුව කළ යුතුව තිබෙන්නේ 2002 දී පුද්ගලයකුගේ මූලික අවශ්‍යතා මල්ල, අදට ගැළපෙන සේ යාවත්කාලීන කිරීමය. මෙය 2006/7,2012/13 හා 2016 ආදායම්වියදම් සමීක්ෂණවල දී කළ යුතුව තිබිණි. එහෙත් එය එසේ නොකළේ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිද්‍රාශීලී බව නිසා ද? නැතහොත් එම නිලධාරීන්ව මෙහෙයවන දේශපාලන නායකයන්ගේ බලපෑම හේතුවෙන් ද? රටේ දුප්පත්කම නොනවත්වා ඉහළ යන බව අනාවරණ කිරීමට අකැමැති ම පිරිස එවකට රට පාලනය කරන දේශපාලනඥයන් බව සැඟ විය නොහැක. ඔවුන්ගේ තාවකාලික බලය රැක ගැනීම උදෙසා දුප්පත්කමේ සැබෑ සිතුවම වසන් කොට ව්‍යාජ සහ වැරදි සහගත ඉලක්කම මත සිට විවිධ ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමෙන් රට රැගෙන යන්නේ කෙුමන අනාගතයකට ද? වර්තමානයේ පවත්නා ජීවන වියදම අනුව රු.151 කින් පුද්ගලයකුට එක් දිනක ආහාර හා ආහාර නොවන අවශ්‍යතා සපුරාගත හැකි ද? සත්‍ය අගය ඊට බොහෝ ඈත නම් දුප්පත්කමේ මායිමේ රේඛාව එම නියම ස්ථානයේ සිටවිය යුතුය.

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මේ තත්ත්වය යම් පමණකට තේරුම් ගෙන ඇතිබව පසුගිය දා කර තිබූ ප්‍රකාශයකින් පැහැදිලි වේ. ඔහු කියා තිබුණේ පුද්ගලයකුට ජීවත් වීම සඳහා දිනකට රු. 400 ක් (ඩොලර් 2.5 ක්) වියදම් කිරීම දරිද්‍රතා රේඛාව ලෙස ගතහොත් රටේ අති බහුතරයක් ඒ කොටසට අයත් වන
බවය. එවිට රටේ බහුතරයක් ආර්ථික වශයෙන් අනාරක්ෂිත බව ඔහු දැක තිබිණි. අචාර්ය ඩබ්ලව්. ඒ විජේවර්ධන, ලොයිඞ් එෆ් යාපා වැනි ආර්ථික විශේෂඥයන් ද මේ පිළිබඳ පර්යේෂණ පත්‍රිකා පවා ඉදිරිපත් කර තිබේ.

සැඟවූ ගිනි කන්ද

මෙම යථාර්ථය පිළිගෙන, පුද්ගලයකුගේ ආහාර හා අහාර නොවන අවශ්‍යතා 2018 ට ගැළපෙන සේ සකස් කළහොත් හා නවීන ලොවට ගැළපෙන සේ දුප්පත්කම මැනීමේ තවත් ගැළපුම් සදු කළහොත්, මෙරට දුප්පත් ජනගහනය (ආදායම් මට්ටම අතර පහළම 40% අතර සිටින), 4.1% ක් නොව, 35%ට ද ආසන්න වියහැකි බව මේ පිළිබඳ පර්යේෂණ කරන විශේෂඥයන්ගේ මතය වේ. එසේ වුවහොත් 2 14 44 000 ක් වන ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 75 05 400 ක් පමණ ම දුප්පතුන්ගේ ලෝකයට එකතු වනු ඇත. රටේ අනාගතය උදෙසා ප්‍රතිපත්තිමය තීරණ ගත යුත්තේ, ඒ සැබෑ, නියම ඉලක්කම මත පිහිටාගෙනය. අසහනයෙන් තොර අනාගත ජන පරපුරක් උදෙසා එය අවශ්‍යයෙන්ම කළ යුත්තකි. එසේ නොවුනහොත් එය හෙළි නොකළ ඉලක්කමක් නොව, සඟවනු ලැබූ ගිනි කන්දක් වීම නොවැළක්විය හැකිය.