මධ්‍යම වම සහ දක්ෂිණාංශික ජාතිවාදය දෙකම එකයි.

විමලනාත් වීරරත්න

අන්තවාදය යනු අන්තවාදයම මිස සාපේක්ෂව හොඳ අන්තවාදයක් තිබිය නොහැකිය. ප්‍රකට දේශපාලන විශ්ලේෂකයකු වන ආචාර්ය දයාන් ජයතිලක පසුගිය ඉරිදා ලක්බිම පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කියා ඇත්තේ ගෝඨාභයගේ කල්ලියේ සිටින්නේ මහා ධන කුවේරයන් හා අන්තවාදී හමුදාකාරයන් බවත්, එනිසා මහින්ද රාජපක්ෂ තවදුරටත් ලංකාවේ තෝරාගැනීම විය යුතු බවත්ය. මහින්ද රාජපක්ෂ ප්‍රගතිශීලී මැද මාවතක වාම ප්‍රතිපත්ති ඇති නායකයකු බව පවසන දයාන්
වියත් මග ප්‍රාදේශීය සම්මන්ත්‍රණවලට පවා අන්ත ජාතිවාදීන් සහභාගිවීමෙන් ගෝඨාභය වැරදි පාරක යන බව පැහැදිලි වන බවද කියයි. ඔහු කියන්නේ සැබෑවක්ද? නැතහොත් තනිකරම මෙය ගෝඨාභයට එරෙහි මහින්දගේ කැරැල්ලේ ආරම්භයක්ද? මහින්ද සහ ගෝඨාභය අතර සංදර්භීය වෙනසක් තිබේද? තිබේ නම් ඒ කුමක්ද? එම වෙනස නිසා ලංකාව සාපේක්ෂව හොඳ අන්තවාදය යළි තෝරාගත යුතුද? මේ දෙදෙනා සසඳන ආන්තික ක්‍රමවේදය තුළින් දයාන්ගේ ප්‍රවාදයෙහි ඝොරතර බව මෙන්ම කෛරාටික ස්වරූපයද හඳුනාගත හැකිය.

මචං දේශපාලනය

මහින්ද රාජපක්ෂ එක්තරා ආකාරයකින් නළපාන ජාතකයේ එන රාක්ෂයා බඳු පුද්ගලයෙකි. ඔහු හමුවීමට යන බොහෝ දෙනකු ආපසු එන්නේ ඔහු අත්නොහරින මිතුරකු බවට පත්වය. ඉන්පසු අවස්ථාවලදී ඒ පුද්ගලයාගේ නම කියා මහ සෙනග‘ක් මැද වුව අමතන්නට මහින්ද උපක්‍රමශීලීය. මහින්ද රටේ ප්‍රකට පුද්ගලයන්ගේ උපන් දින ලැයිස්තුවක් නඩත්තු කරමින් ඔවුන්ට අන් කාටත් පෙර සුබ පැතුවේය. මහින්ද දිව විකා මිත්‍රත්වය පෙන්වා බඩට එකක් අනිනවාට මේ මිතුරු පිරිවර කැමතිය. ඒවා හැරුණු විට ඔහු වමේ පුදුමසහගත මිතුරෙකි. නැතිවෙමින් තිබුණු වම නැත්තටම නැතිකර දැමුවේ මහින්ද වුවත් ඔහු තවමත් වමේ මිතුරකු වීම ඇත්තටම විස්මයජනක තත්ත්වයකි. කොමියුනිස්ට්, සමසමාජ, ජේවීපී බිංදුවට දැමීමට මහින්ද වටේ සිටි දක්ෂිණාංශය මෙහෙයවූ මෙහෙයවිල්ලට හැකිවිය. ඊට ඩිව්ගේ සිට තිස්ස විතාරණ හරහා වීරවංස දක්වාම මුළුමනින් යටවූහ. දැන් ඔවුහු මහින්දගේ පරමාණු බවට පත්ව තිබේ. මිතුරු වේෂයෙන්ම වාසුදේවගේ අංගෝපාංග කපා දමා දේශපාලන පඹයකු බවට පත් කළේ මහින්ද රාජපක්ෂය. ඔහු හිතවතකු ලෙස ඇසුරු කිරීමට අපූරු පුද්ගලයෙක් විය හැකිය. ඔහු මිතුරන් වෙනුවෙන් කැපවෙන හා පරිත්‍යාගශීලී වන අතර ගමේ ගොඬේ ටවුමේ ඕනෑම පොදු වැඩකටද කරගැසීමට රිසි පුද්ගලයෙකි. ඒ ජනාධිපති වෙන්නට පෙර මහින්දය. කෙසේ වෙතත් එය පුද්ගලයකු සතු ප්‍රගතිශීලී ලක්ෂණයක් ලෙස හඳුනාගත හැකිය. දයාන් කියන මහින්දගේ ප්‍රගතිශීලීත්වය එය නම් එම හුදු පුද්ගල සාධකය පිළිගත හැකිය. එහෙත් එය රාජ්‍යතාන්ත්‍රිකත්වය නොවේ. මැද මාවත යන්න ශ්‍රීලනිපයේ උපන්ගෙයි දෝෂය වන බැවින් මහින්ද උපායෙන් උපක්‍රමයෙන් මේ සේරම එකතු කර ගැනීම නිවැරදිය. එහෙත් සේරම එකතු කරගෙන ඔහු ගියේ තමාට ඕනෑ ඒකාධිපති ගමනය. එවිට ඉහත මිත්‍රත්වයට හා ප්‍රගතිශීලීත්වයට අර්ථයක් නැතිවෙයි. 18 වැනි සංශෝධනය පමණක් දයාන්ට උදාහරණයකට දිය හැකිය. ඊළඟට දයාන් කියන මහින්දගේ වාම ප්‍රතිපත්තිය ගැන මේ මොහොතේ ඩිව් සහෝදරයාගෙන් ඇසුවා නම් ලුණු ඇඹුල් ඇතුව අසාගන්නට හැකිවනු ඇත. වාම ප්‍රතිපත්තිය යනු වම හතර ගාතෙන් යැවීමට සැලැස්වීමද යන ප්‍රශ්නය දයාන්ගෙන් ඇසිය යුතුද? මන්ද දයාන්ට වම ගැන නිසි අවබෝධයක් ඇතැයි අප කල්පනා කරන බැවිනි. දයාන් වමට සිදුවූයේ කුමක්ද යන්න දන්නා බැවින් හා ඔහුට මහින්ද ගැන ඇති අවබෝධයද තක්සේරු කර බැලූවිට දයාන් මේ රඟන්නේ මොණර භූමිකාවක් බව ප්‍රත්‍යක්ෂ වෙයි. ඔහු කියන පරිදි මහින්දට මධ්‍ය වාම ප්‍රතිපත්තියක් තිබුණා නම් බෙහෙතකට හෝ වමක් ඉතුරු විය යුතුය. ඩී.එස්., ඩඞ්ලි, ජෝන්, කොතලාවල වැනි දක්ෂිණාංශික නායකයන්ට නම් වම ගැන ප්‍රතිපත්තියක් තිබුණි. ඒ අඩුතරමින් වමේ වැඬේ වම්මුන්ට කර ගැනීමට ඉඩහැරීම නිසාය. සමස්ත සමාජයම ඒකාධිපති වාදයකට ඇදගෙන ගිය ව්‍යාජ මචං දේශපාලනයට ප්‍රගතිශීලී දේශපාලනයක් කියනවා නම් එය සමාජය මුලාකරනසුලු ප්‍රකාශයක් බව කිව යුතුය.

මධ්‍යම වමේ ව්‍යාජය

වාසුදේව නානායක්කාර දයාන්ට සමාන්තරව මේ මොහොතේ කළඑළි බැස සිටින මහින්ද පිලේ ඊළඟ ප්‍රකාශකයාය. ඔහු හදිසියේම කියා තිබුණේ පොදු ජන ගැටලු වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය ප්‍රමාණවත් මැදිහත්වීමක් මේ වකවානුවේ නොකරන බවකි. ඔහුගෙන් බළලා මල්ලෙන් එළියට පැන තිබුණේ අනතුරුවය. වාසු පවසා තිබුණේ මෙතැන් සිට මහින්ද අනුගමනය කරන්නේ මධ්‍යම වමද, දක්ෂිණාංශික ජාතිකවාදයද යන්න පිළිබඳව තීරණයක් ගත යුතු බවය. මෙය එක්තරා ආකාරයකින් අළු යට ගිනි මතුවීමකි. වාසුට ඕනෑ ගෝඨාභය දක්ෂිණාංශික ජාතිවදය අභ්‍යාස කරන නායකයකු බව කීමටය. ගෝඨාභය යනු ඊටත් වඩා ෆැසිස්ට් පන්නය අභ්‍යාස කිරීමට රිසි නායකයකු බව කීමට වාසු බය ඇයි? ඒ බව ඍජුව කියන්නට දයාන් බය ඇයි? වාසුට නම් මහින්ද උපදෙස් දී තිබෙන්නේ එකවරම එසේ නොකියන ලෙස විය හැකිය. ජනතාව දයාන්ලා, වාසුලා ගෙන එන ප්‍රවාදය මෙන්ම ගෝඨාභය වියත් මග නමැති සංවාද මාලාව ඔස්සේ ගෙන එන ප්‍රවාදය යන දෙකටම නොරැවටිය යුතුය. සමහරු මේ වනවිටත් ටිකක් කැළෑ නීතිය හෝ භාවිත කරන තද නායකයකු වුවමනා බව කියන්නේ ගෝඨාභය ගැන හිතේ තබාගෙන විය හැකිය. එම අදහසම මුළුමනින් මුග්ධ හා වැඩවසම් අදහසකි. ගෝඨාභයත් මේ වාද විවාද අස්සේ සිටින්නේ තුත්තිරි ගස් අල්ල අල්ලාය. මහ ගස් අල්ලන්නට තව කල් තිබෙන බව ඔහු දනී. දැන් ප්‍රගතිශීලී කොටස් කළයුත්තේ ගෝඨාභයගේ අත පොවන මානයේ ඇති තුත්තිරි ගස් හෙවත් ඔහුගේ මතවාදී ආක්‍රමණය පරාජය කිරීමට වැඩපිළිවෙළක් පදනම් කරගෙන ක්‍රියා කිරීමය.

ගෝඨාට ප්‍රහාරයක්

දයාන් උක්ත සංවාදයෙහි කියා තිබුණේ ගෝඨාභයගේ වියත් මගට එන්නේ මහා ධන කුවේරයන් හා හමුදාවේ අන්තවාදීන් බවය. වියත් මග සංවාද මණ්ඩපවල ඉදිරි පෙළම සිටියෝ මහින්ද රාජපක්ෂත් සමග වැඩ කළ පිරිසය. ව්‍යාපාරිකයන් නම්වලින් කිව හැකිය. ඇතැම්හු රාජපක්ෂ ආණ්ඩුවේ සිටි පාර්ලිමේන්තු නියෝජිතයෝය. මහින්දගේ මත නිෂ්පාදකයෝද එහි සිටියහ. ඒ හැර ගෝඨාභයගේ රැ ස්වීම්වලට දයාන් කියන ජාතියේ වෙන කවරදාවත් නොදුටු අමුතු පිරිසක් සහභාගි නොවෙති. ගෝඨාභය කොළඹ ලස්සන කරන්නට කොළඹ පැල්පත් සමතලා කරන කාලයේ මහින්ද සමග සිටියෝ දයාන් පතුරු හරින ඉහත ජාතිවාදීහුය. ඔහු සුදු වෑන් භීතිකාව පතුරුවා හරින විටත්, රතුපස්වලට දර්ගා නගරයට වගකියන විටත් රොද බැඳ සිටියෝ අදත් ගෝඨාභයගේ රැස්වීම්වල සිටිති. දයාන් කියන වර්ගයේ වෙනම අමුතු දක්ෂිණාංශික ජාතිවාදීන් පිරිසක් නොවේ. මේ ඉලක්ක කැරෙන්නේ මහින්ද පාලනයේම රූපාන්තරණයකි. දයාන් දැන දැනම පුද්ගලයන්ට වෙනම අනන්‍යතා දෙන්නට තැත් කිරීම දැනුම නරක වෘත්තියක යෙදවීමකි. ගෝඨාභය සුපිරි ලේකම්වරයකු ලෙස අමුතු බලයකින් වැඩ කළේය. එක් අතකින් ඔහු භාවිත කළේද සොහොයුරාගේ අනුදැනුම පරිදි ගත් විධායක බලයෙන් කොටසකි. ගෝඨාභයගේ අරමුණ මෙතැන් සිට සහෝදරාගේ වුවත් විධායක බලය ණයට නොගැනීම විය හැකිය. ගෝඨාභයට දක්ෂිණාංශික ජාතිවාදී ලේබලය අලවන්නේ සැබැවින්ම ගතහොත් මධ්‍යම වම්මු නොවෙති. මහින්දගේ ෆැසිස්ට් ධන ආරෝපණය තුළ වාලධිය කරකවා අධෝමුඛයේ ගසාගෙන සිටි පිරිස්ය. මහින්ද ව්‍යාජ වමෙකු වන්නේත් ගෝඨාභය ෆැසිස්ට් ආරෝපණයක් සහිත නායකයකු වන්නේත් මෙරට ලිබරල්වාදීන්ට අනුවය. මෛත්‍රී ජනාධිපති පුටුව මත ඔසවා තැබුවෝ ඔවුහුය. ඔවුහු මේ වනවිට මෛත්‍රීපාල ගැන කලකිරී සිටියත් තමා දැරූ ලිබරල් ආස්ථානය ගැන බිඳුවකින්වත් කලකිරී නැත. එබැවින් ඔවුන්ට අනුව මහින්දත් ගෝඨාභයත් යනු එකවල්ලේ පොල් මිස එකක් කුන්දිරා නොවේ. කුන්දිරා වන්නට නම් අහවල් වැඩ ටික කරපල්ලා, අහවල් ප්‍රශ්නවලට උත්තර දියල්ලා කියා ව්‍යාජ කොන්දේසි පනවන්නටද වුවමනාවක් නැත. මන්ද, මහින්දත් ගෝඨාභයත් වැඩ කරන හැටි පෙන්වා අවසන්ය. අයියණ්ඩිය බිය නොවන්න මරණ සැටි මම පෙන්වමි කියා ගෝඨාභයට අලුතින් පෙන්වන්නට දෙයක්ද නැත. මන්ද පෙන්වන්නට යන්නේ පරණ රැඟුමට වඩා වෙනස් දෙයක් නොවන බව කවුරුත් දනිති.

බිල්ලා

ලිබරල්වාදීන්ට දැන් මෙවැන්නක් කළ හැකිය. දයාන්ලා, වාසුලා සමග ගෝඨාභය බිල්ලෙක් කරන වැඩසටහනට තරමක් දුරට උරදීමය. එසේ කළයුත්තේ මහින්දගේ අන්තවාදයද පරාජය කරන වෑයම සිත්හි තබාගෙනය. මේ දෙකෙන්ම ජනතාවට අගතියක් මිස සුගතියක් අත්වන්නට විදියක් නැති බව දෙදෙනාම භාවිතයෙන්ම පෙන්වා දී හමාරය. එම අවබෝධය නොදී දයාන්ලා, වාසුලා කරන්නේ තරමක හොඳ රාක්ෂයකු ජලාශයෙහි වෙසෙයි. ඒකා සිටින විලට බැස පවස නිවාගනිල්ලා කියා පිපාසයෙන් පෙළෙන ජනයාට කීමය. නළපාන ජාතකයේදී මෙන් බෝසත් කෙනකු නැතත් රකුස් තෙද ඇති විල්වලට නොබැස පැන් පවස සංසිඳවා ගැනීමේ නියාව කවරේද යන්න ජනතාව මෙතැන් සිට කල්පනා කළ යුතුය.