දෙමළ රත්නප්‍රියලාත් ඕනෑ

උතුරේ සහ දකුණේ දැන් තිබෙන්නේ දෙමළ හෝ සිංහල කවර පාර්ශ්වයකටවත් අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. දැන් දෙපැත්තටම තිබෙන්නේ පහුකරගෙන පැමිණි හා තව ගෙවා දැමීමට නියමිතව තිබෙන කටුක යථාර්ථයෙන් පිරුණු ඉතිහාසයට හා අනාගතයට නැවතීම තබන්නේ කෙසේද යන ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීමේ අභියෝගයයි. පරාජයේ වේදනාව වසර නවයකට පසුවවත් දෙමළ ජනයා සිතින් ඈත්කර දැමිය යුතුය. එසේම ජයග්‍රහණයේ සතුට වසර නවයකට පසුව සිංහල ජනයාත් ඇලීමෙන් තොරව අත්හළ යුතුය. එසේ ජය හා පරාජය පිළිබඳ අනාගතවාදී ගමන ලඝු කරන හැඟීම්වලට නූතන ලෝකයේ පළල් අර්ථයක් නැත. ගැඹුරක් නැත. සාධාරණ තර්කයක් නැත. උතුරේ හා දකුණේ නොවිසඳුණු ප්‍රශ්නයේ පැත්තෙන් කවර හෝ හරයක් නැත. දැන් තිබෙන්නේ ජය හෝ පරාජයට වඩා ලාංකීය ජාතිය ගොඩනැගීම පිළිබඳ අනාගතවාදී ප්‍රශ්නයකි. එය සටන් කළ හා දුරස්ව සිටින දෙපාර්ශ්වයේම වගකීමකි. පසුගිය 10 වැනිදා කිළිනොච්චියේ සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ අණදෙන නිලධාරියා වශයෙන් වසර පහමාරක් සේවය කළ රත්නප්‍රිය නමැති කර්නල්වරයාට මාරුවක් ලැබුණි. ඔහු යනවිට හිටපු එල්ටීටීඊ සාමාජිකයෝ හඬා වැටෙන අයුරු දක්නට ලැබුණි. කර්නල්වරයා සිවිල් ආරක්ෂක කඳවුරේ පුනරුත්ථාපන කටයුතු භාරව සිටි නිලධාරියාය. ඇත්තටම ඔහු එල්ටීටීඊයේ තරුණයන් කෙරෙහි මානුෂික ලෙස ක්‍රියා කරන්නට ඇත. පුනරුත්ථාපන කටයුතු ගෞරවනීය ලෙස මෙහෙයවන්නට ඇත. නැතහොත් ඔහු නික්ම යන දවසේ එවැනි ශෝකී තත්ත්වයක් උදාවන්නට විදිහක් නැත. ඇතැම් හමුදා නිලධාරීහු කොටි නොව දෙමළ ජනයා සම්බන්ධයෙන් ක්‍රියාකර ඇති ගූඪ ස්වභාවය හා සලකා බැලීමේදී රත්නප්‍රිය මහතා මිනිස් ගුණයෙන් සපිරි නිලධාරියකු බව ප්‍රත්‍යක්ෂ වෙයි. උක්ත සිදුවීම ගැන උතුරු පළාත් සභා මන්ත්‍රිවරයකු වන එම්.කේ. ශිවාජිලිංගම් කියා තිබුණේ කර්නල් ඉදිරියේ, හිටපු කොටි හඬා වැලපීම වැරදි වැඩක් බවය. එමෙන්ම එය ඊළම ඉල්ලූ කොටින්ට කළ ද්‍රෝහීකමක් බවය. උතුර මට්ටම් කිරීමෙන් පසු හමුදා නිලධාරියකුගෙන්ම විමුක්තිය අයැද සිටියා වැනි අදහසක්ද එහි ගැබ්වෙයි. එම අදහස පාර්ශ්වීය යථාර්ථයක් මිස නූතන ලෝකයේ දේශපාලන හා මානුෂික ප්‍රශ්න විෂයෙහි එම යටගියාවට පළල් අර්ථයක් නැත. පුනරුත්ථාපනය වූ තරුණයන් ශෝකවන්නට ඇත්තේ ආණ්ඩුව හෝ සමස්ත හමුදාව වෙනුවෙන් නොවන බවත් හුදෙක් රත්නප්‍රිය නම් වූ නිලධාරියාගේ ගති පැවතුම් වෙනුවෙන් බවත් දෙමළ සමාජයට කිව යුතුය. කර්නල් වෙනුවෙන් ශෝකවීම ඊළම ඉල්ලූ එල්ටීටීඊ සාමාජිකයන්ට කරන ලද අවමානයක් වන්නේ නැත. කර්නල් රත්නප්‍රියට හිටපු එල්ටීටීඊ සාමාජිකයන් දැක්වූ උපහාරය විග්නේෂ්වරන්ලාට කනේ පහරක් යැයි සරත් වීරසේකර විසින් කරන ලද ප්‍රකාශය මගින් නම් එම සිදුවීම අවමානයට ලක්වෙයි. මිනිසුන් සහ මිනිසුන් අතර හැඟීම්වලට අවලස්සන අර්ථකතනයක් දෙයි. ශිවාජිලිංගම් කොටි සාමාජිකයන්ගේ අරමුණු හා බැඳුණු අභිමානය උත්කර්ෂයට නංවනවාටත් වඩා සාහසික ආකාරයකට වීරසේකර කොටි, විග්නේෂ්වරන්ට හා ශිවාජිලිංගම්ට කනේ පාරක් දුන් බවට අන්තවාදී ප්‍රවාදයක් මතු කරයි. මේ වර්ගයේ සියලු අන්තවාදීහු ජාතික අර්බුදයට දේශපාලන විසඳුමක් ගෙන ඒමට බාධා කරති. උතුරේ හා දකුණේ මිනිසුන් ස්වයං සිද්ධව ඇතිකර ගන්නා සංහිඳියා තත්ත්වයක් අප අතර සියලුම කෘත්‍රිම සබඳතා ගොඩනැංවීම්වලට වඩා පිළිගත හැකිය. එසේ ඇතිවන සංහිඳියාවත් සාම ගිවිසුම් හෝ ව්‍යවස්ථා ලියවිල්ලකින් ඇතිවන ස්වභාවයේ එකඟතාවකට වඩා හෘදයාංගමය. විනිසුරු ඉලන්චේලියන් තම ආරක්ෂාවට සිටි සිංහල පොලිස් නිලධාරියාගේ මළගෙදර ගොස් දරුවකු සේ හඬා වැටුණේය. ඒ හෘදයාංගම බව තදකරගෙන සිටිය යුත්තේ ඇයි? වඩා උචිතම දේ හැඟීම් මුදාහැරීමය. ප්‍රශ්න උග්‍රවීමට මිනිසුන් හා මිනිසුන් අතර හැඟීම් මුදාහැරීමට මගක් නොමැතිවීමද හේතු වූයේය. අනෙක් අතට ප්‍රභාකරන් සිය සටන් සගයන්ට දේශපාලන ඥානය නුදුන්නා සේම හමුදා භටයන් තුළද මව්බිම යන සංකල්පයෙන් බැහැරව මේ ප්‍රශ්නයේදී ඥාන මීමංසාවක් නොවුණි. පුද්ගලිකව සංහිඳියාව පිළිබඳ අදහසක් වගා කර ගැනීමට කර්නල්ට හැකිවිය. කොටි සාමාජිකයන් අතරද රත්නප්‍රිය බඳු මිනිසුන් ඕනෑතරම් සිටින්නට ඇත. මේ ප්‍රශ්නය විසඳා ගැනීමට නම් අවශ්‍යවන්නේ වීරසේකරලා හා ශිවාජිලිංගම්ලා නොව සිංහල රත්නප්‍රියලා හා දෙමළ රත්නප්‍රියලා අතර පැන නගින හෘදය සංවාදය නොවේද?