රාවය

ලංකාවේ ප්‍රහෙලිකාව

ලංකාවේ ප්‍රහෙලිකාව

වික්ටර් අයිවන්

දැන් ලංකාවේ ජනාධිපති ක්‍රමය තිබෙන්නේ හොඳටම කුණුවූ තත්ත්වයකය. පාර්ලිමේන්තු ක්‍රමයද තිබෙන්නේද ඒ සමාන කුණුවූ තත්ත්වයකය. රටේ අනෙකුත් සියලු ආයතන ක්‍රම තිබෙන්නේද කුණුවූ තත්ත්වයකය. පවතින යථාර්ථය එසේ වී තිබියදී රටේ උගතුන්ගේ ප්‍රධාන සිහිනය බවට පත්ව තිබෙන්නේ ජනාධිපතිවරණයක් ගැන හෝ ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය පවරා දෙන ක්‍රමයක් යටතේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයක් ගැනය. ඒ ජනාධිපති ක්‍රමය හා පාර්ලිමේන්තු ක්‍රමය තිබෙන්නේ හොඳටම කුණුවූ තත්ත්වයක නම් එම තත්ත්වයෙහි ගැඹුරු වෙනසක් ඇති නොකොට පවත්වන ජනාධිපතිවරණය හෝ ජනාධිපති ක්‍රමය අහෝසි කොට පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයකින් යහපත් පාලනයක් ඇතිවන්නේ කෙසේදැයි ඔවුන් කල්පනා කරන බවක් පෙනෙන්නට නැත. ක්‍රමය ගඳගහන තරමටම කුණුවී ඇතත් එම කුණුවූ ක්‍රමය තුළ ජීවත්වීමට හුරුවී සිටින උගත්තු එම ගඳ ගහන ක්‍රමය තුළම ජීවත්වීමට කල්පනා කරනවා මිස ඉන් නිදහස් වන්නේ කෙසේදැයි කල්පනා නොකරති.

ප්‍රජාතන්ත්‍රවාදී පාලකයකු ගැන සිහින දැකීම

ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමෙන් පසු ජනාධිපති ධුරයට පත් ජනාධිපතිවරු පිස්සු නැටූ බව සත්‍යයකි. ජනාධිපතිවරුන් පිස්සු නටන විට පාර්ලිමේන්තුව ඊට වෙනස්ව සිය යුතුකම් හා වගකීම් හරියාකාරව ඉටුකරන තත්ත්වයකින් ක්‍රියා කළේ නැත. පාර්ලිමේන්තුව කළේද උපරිම මට්ටමකින් පිස්සු නටන තත්ත්වයකින් ක්‍රියාකිරීමය. ජනාධිපති ක්‍රමය, පාර්ලිමේන්තු ක්‍රමය පමණක් නොව අධිකරණ හා සමස්ත ආයතන ක්‍රමයම තිබෙන්නේ හොඳටම කුණුවූ තත්ත්වයකය. එවැනි වටාපිටාවක් තුළ ජනාධිපතිවරණයෙන් තේරී පත්වන හොඳ ජනාධිපතිවරයකුට හෝ ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය පවරන ක්‍රමයක් තුළ පාර්ලිමේන්තු මැතිවරණයකින් බලයට පත්වන හොඳ අගමැතිවරයකුට හොඳටම කුණුවූ තත්ත්වයකට පත්ව තිබෙන රට එම තත්ත්වයෙන් බේරාගැනීමේ ඇත්ත හැකියාවක් තිබිය හැක්කේ කෙසේද? රාජ්‍යයේ ප්‍රධාන බලමණ්ඩල තුන ලෙස සැලකිය හැකි විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණයද ඒ ආශ්‍රිත සියලු ආයතනද තිබෙන්නේ දූෂණයෙන් කුණුවූ තත්ත්වයක නම් ජනාධිපතිවරණයකින් තේරී පත්වන ජනාධිපතිවරයකුට හෝ ජනාධිපති ක්‍රමය අහෝසි කරන ක්‍රමයක් තුළ පාර්ලිමේන්තු මැතිවරණයකින් බලයට පත්වන අගමැතිවරයකුට කුණුවූ තත්ත්වයක තිබෙන රට ගලවා ගැනීමේ හැකියාවක් තිබිය නොහැකිය. දූෂිත තත්ත්වය පවතින්නේ සාමාන්‍ය තත්ත්වයක නොවී ඉහවහා ගිය තත්ත්වයක නම් ජනාධිපති ක්‍රමය තබාගෙන තේරී පත්වන ජනාධිපතිවරයකුට හෝ ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තුළ තේරී පත්වන අගමැතිවරයකුට හෝ ලංකාව තිබෙන අවලස්සන තත්ත්වයෙන් ලංකාව ගලවා ගැනීමේ හැකියාවක්ද තිබිය නොහැකිය. ජනාධිපති කොතරම් බලවත් වුවත් ඔහුට පාර්ලිමේන්තුවේ සහාය නැතිව, නිලධරතන්ත්‍රයේ සහාය නැතුව හා අධිකරණයේ සහාය නැතිව පැවතිය නොහැකිය. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට මාරුවී ඒ මගින් බලයට පත්වන අගමැතිවරයකුට වුවද එම කොන්දේසිය ඊට සමාන ආකාරයකට බලපායි. ජනාධිපති ක්‍රමයක් යටතේ ජනාධිපතිවරයා හෝ පාර්ලිමේන්තු ක්‍රමයක් යටතේ අගමැතිවරයා රටේ තිබෙන කුණුවූ තත්ත්වයෙහි බරපතළ වෙනසක් ඇති කිරීමට ක්‍රියාකරන තැනකට ගියහොත් ඉන් බැට කන්නට නියමිත සියලුදෙනා එසේ ක්‍රියාකරන ජනාධිපති හෝ අගමැතිට එරෙහිව එකට එකතු වී බලවත් පවුරක් ලෙස ක්‍රියාකරන තැනකට යනු නොවැළැක්විය හැකිය.

ඒකාධිපති පාලකයකු ගැන සිහින දැකීම

දැන් ලංකාවට අවශ්‍ය වී තිබෙන්නේ රටට ආදරය කරන ඒකාධිපති පාලකයකු වේයැයි සිතන පිරිසක්ද රටේ උගතුන් අතර සිටිති. ලංකාව දැන් තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයකුට තබා ඒකාධිපති පාලකයකුටවත් එසේ ක්‍රියා කළ නොහැකි කුණුවූ තත්ත්වයකය. ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයකුට හෝ අගමැතිවරයකුට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවත්වා ගෙන යෑමට ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල සහාය අවශ්‍ය වන්නා සේ ඒකාධිපති පාලකයකුටද ආරක්ෂක හමුදාවල සහාය නැතිව ඒකාධිපති පාලනයක් පවත්වාගෙන යා නොහැකිය. ලංකාවේ බලයට පත්වන ඒකාධිපති පාලකයකුට පවා ඔහු රටේ ඇතිවී තිබෙන කුණුවීම හා ඒ හා බැඳී තිබෙන දූෂණය නැති කිරීමට බලවත් ලෙස ක්‍රියාකරයි නම් හා ඔහුගේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය දූෂණයෙන් කුණුවූ තත්ත්වයක තිබෙන ආරක්ෂක හමුදා කෙරෙහි බලවත් ලෙස බලපායි නම් ආරක්ෂක හමුදා එම ඒකාධිපති පාලකයාට එරෙහිව බලවත් ලෙස නැගී සිටින තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. ඒ නිසා ඒකාධිපති පාලකයා අන් දේවලට අතගසන්නට බිය නොවනු ඇතත් ඒකාධිපති පාලකයාගේ ශක්තියේ ප්‍රධාන ප්‍රභවය ලෙස සැලකිය හැකි ආරක්ෂක හමුදාවල ඇතිවී තිබෙන කුණුවීමට අතගැසීමට නිර්භීත නොවනු ඇත. එම ධර්මතාව ගෝඨාභය රාජපක්ෂගේ භාවිතය ආශ්‍රයෙන්ද හොඳින් තේරුම්ගත හැකිය. ගෝඨාභය ඔහුගේ ජනප්‍රියභාවයට බලපෑ බොහෝ දේවල් කරන ලද්දේ ඔහු යටතේ පැවති ආරක්ෂක හමුදාවල ශක්තියෙනි. ඔහු අන් සියලුදෙනා සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළද ආරක්ෂක හමුදා සම්බන්ධයෙන් පමණක් එවැනි දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නැත. ඔහු ආරක්ෂක ලේකම්ව සිටින කාලයේදී ආරක්ෂක හමුදා හා පොලිසිය භාරව ක්‍රියා කළ ප්‍රධානම පුද්ගලයා ලෙස සැලකිය හැකිය. ඒ කාලයේදී ආරක්ෂක හමුදාවල හා පොලිසියේ සමහර අය අතින් ඉතාමත් බරපතළ වැරදි සිදුවිය. ඉන් සමහරක් ඔහුගේ අනුදැනුම ඇතිව සිදුවූවා විය හැකි වුවත් සිදුවී තිබෙන බරපතළ සියලු වැරදි ඔහුගේ අනුදැනුම ඇතිව සිදුවූවා යැයි කිව නොහැකිය. ආරක්ෂක හමුදාවල සමහර අය හා පොලිසියේ සමහර අය අතින් සිදුවූ බරපතළ වැරදිවලදී ඔහු අහක බලාගෙන සිටින හෝ වැරදි කරන නිලධාරීන් ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්‍රියා කළා මිස ඔවුන් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නැත. හමුදාවේ ඇතැම් උසස් නිලධාරීන් කප්පම් ලබාග ැනීමේ අරමුණින් තරුණයන් පැහැරගෙන ගොස් සමහරවිට කප්පම් ලබාගෙන ඔවුන් ඝාතනය කළ අවස්ථා ගණනාවක් වාර්තා වේ. එක් නිලධාරියකු ඒ ආකාරයට ඝාතනය කර තිබෙන පුද්ගල සංඛ්‍යාව 18කි. එවැනි වැරදි අනුකම්පා නොකළ යුතු දැඩි දඬුවම් ලබාදිය යුතු වැරදි බව අමුතුවෙන් කිවයුතු නැත. එවැනි වැරදි කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පවා ගෝඨාභය රාජපක්ෂ දැඩි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකර තිබෙන බවක් පෙනෙන්නට නැත. ඉන් පෙනෙන්නේ ජනාධිපතිකමට ගෝඨාභය රාජපක්ෂ ගෙනාවද රටේ ඇතිවී තිබෙන කුණුවූ තත්ත්වය තුළ ඒ තත්ත්වයෙන් රට මුදාගැනීමේ ඇත්ත හැකියාවක් ඔහුටද නැති බවය. රටේ පවතින මෙම සුවිශේෂී තත්ත්වය තුළ කුණුවූ තත්ත්වයක තිබෙන ආරක්ෂක හමුදා මත බර තබා ක්‍රියාකරන පාලකයකු අතින් රටට විය හැකි විනාශය අතිවිශාලය.

මහජනයාගේ වගකීම

දැන් රට තිබෙන්නේ ක්‍රමය තුළින් බලයට පත්වන කවර පාලකයකුට වුවද කුණුවී තිබෙන රට එම තත්ත්වයෙන් මුදාගත නොහැකි සංකීර්ණ තත්ත්වයකය. එය මෙම ඓතිහාසික මොහොතේදී ලංකාවට අදාළව විසඳා ගත යුතුව තිබෙන දුෂ්කරම ප්‍රහේළිකාව ලෙස සැලකිය හැකිය. ලංකාව දැන් තිබෙන්නේ සමස්ත ක්‍රමය උපරිම මට්ටමකට කුණුවී තිබෙන තත්ත්වය තුළ එම තත්ත්වයෙහි ගැඹුරු වෙනසක් ඇති කිරීමෙන් තොරව එක අඩියක්වත් සාර්ථක ලෙස ඉදිරියට යා නොහැකි හිරවූ තත්ත්වයකය. එම විශේෂ ඓතිහාසික තත්ත්වයට අදාළ තවත් වැදගත් ලක්ෂණයක් වනුයේ ජනාධිපති ක්‍රමයට තේරී පත්වී සාම්ප්‍රදායික ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ක්‍රමයට බර තබා ක්‍රියාකරන පාලකයකුට හෝ ජනාධිපති ක්‍රමයෙන් තේරී පත්වී ආරක්ෂක හමුදාවන්ට බර තබා ක්‍රියාකරන ඒකාධිපති පන්නයේ පාලකයකුට හෝ ජනාධිපති ක්‍රමය අහෝසි කොට ඇති කරන පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් මගින් තේරී පත්වන පාලකයකුට හෝ ලංකාවේ ඇතිවී තිබෙන කුණුවූ තත්ත්වයෙහි කිසිදු ගැඹුරු වෙනසක් ඇති කළ හැකි තත්ත්වයක් නොතිබීමය. එය මෙම විශේෂ ඓතිහාසික මොහොතේ ලංකාව විසඳා ගත යුතුව තිබෙන ලොකුම හා දුෂ්කරම දේශපාලන ප්‍රහේළිකාව ලෙසද සැලකිය හැකිය. එය ක්‍රමයෙන් අභ්‍යන්තරයෙන් එන පාලකයකුට විසඳිය නොහැකි ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන ඓතිහාසික තත්ත්වය තුළ එම සංකීර්ණ ප්‍රශ්නය විප්ලවකාරී හා නිර්මාණශීලී ආකාරයට විසඳා ගැනීමේ ඓතිහාසික වගකීම පැවරෙන්නේ බැහැරින් සිටින මහජනයාටය. රාජ්‍යයේ පරමාධිපත්‍යය බලය තිබෙන්නේ මහජනයාටය. මහජනයා මෙතෙක් කළේ තමන්ට හිමි පරමාධිපත්‍යය බලය මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාලකයකුට පවරා ඒ මගින් තමන් පාලනය කරගැනීමය. එහෙත් දැන් තිබෙන්නේ ඒ ක්‍රමය උපරිම මට්ටමකට කුණුවීම තුළ සමස්ත ක්‍රමය පූර්ණ අර්බුදයට ගිය තත්ත්වයකය. එවැනි තත්ත්වයක් ඉදිරියේ මහජනයා දැන් කළ යුතුව තිබෙන්නේ තමන්ට තිබෙන පරමාධිපත්‍යය බලය අනියම් ලෙස අභ්‍යාස කරන තැනින් තාවකාලිකව ඉවත් වී එම බලය ඍජු ලෙස පාවිච්චි කරන තැනකට යමින් කුණුවූ තත්ත්වයට පත්ව තිබෙන රාජ්‍ය හා එහි ආයතන
ක්‍රමය ප්‍රතිනිර්මාණය කරන තැනකට යෑමය. රටේ මහජනයා එකට එකතු වූ තනි ඒකකයක් ලෙස ගත් කල රාජ්‍යයට හා වෙන් වෙන්ව ගත් කල රාජ්‍යයේ සියලු ආයතන ක්‍රමවලට වඩා බලවත්ය. ජනාධිපති භුක්ති විඳින බලය සේ ම අගමැතිවරයා, ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, අධිකරණයේ විනිශ්චයකාරවරුන්, රාජ්‍ය නිලධාරීන් හා පොලිසියේ හා ආරක්ෂක හමුදාවල නිලධාරීන් භුක්ති විඳින බලය ඔවුන්ට ලැබී තිබෙන්නේ මහජනයාගෙනි. මහජනයා සතු පරමාධිපත්‍යය බලයෙනි. දේශපාලන ක්‍රමයේ පූර්ණ කුණුවීමක් තිබේ නම් ඒ නිසා ක්‍රමය මුළුමනින් බිඳ වැටෙන තත්ත්වයකට පත්වී ඇත්නම් හා ඒ තත්ත්වයෙහි ගැඹුරු වෙනසක් ඇති කිරීමේ ඇත්ත හැකියාවක් දේශපාලන නායකයින්ටද, නැතිනම් විධිමත් ක්‍රමයක් ප්‍රතිනිර්මාණය කරගැනීමේ බලය සේ ම අයිතියද තිබෙන්නේ මහජනතාවටය.

කුණුවීමේ ඓතිහාසික පසුබිම

යටත්විජිත තත්ත්වයක තිබූ රටවල්වල නූතන ජාතිය හා නූතන රාජ්‍යය නිර්මාණය වූයේ මහජනයාගේ ක්‍රියාකාරී මැදිහත්වීමෙනි. යටත්විජිත ආධිපත්‍යයෙන් නිදහස්වීමට දරන බලවත් සමාජ උත්සාහය තුළ යටත්විජිත තත්ත්වයක තිබූ රටවලටද දේශපාලන නිදහස හිමිකර ගැනීමට හැකිවිය. එම ක්‍රියාවලිය නූතන ජාතීන් හා නූතන රාජ්‍යයන්ද බිහිකිරීමට හේතුවූ අතර එය රටවලට අවශ්‍ය පොදු ජාතික දෘෂ්ටියක්, දේශපාලන සම්ප්‍රදායක් හා පරිණත දේශපාලන නායකයන් ඇතිකර දුනි. නූතන ජාතිය හා නූතන රාජ්‍යයද බිහිවූ අතර රටට අවශ්‍ය පොදු ජාතික දෘෂ්ටියක් දේශපාලන සම්ප්‍රදායක් හා පරිණත නායකයන් බිහිවූයේ නිදහස දිනාගැනීම සඳහා දියත් වූ සමාජ ක්‍රියාදාමය හරහාය. එහෙත් ලංකාව නිදහස ලබාගත්තේ එවැනි බලවත් සාමූහික සමාජ උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් නොවේ. එය සැලකිය හැක්කේ තෑගි ලැබුණු නිදහසක් ලෙසය. ඒ නිසා නූතන ජාතිය ගොඩනගා ගැනීමත් හා එහි නූතන රාජ්‍ය ගොඩනගා ගැනීමක්වත් සිදු නොවීය. ඒ නිසා අපට පොදු ජාතික දෘෂ්ටියක් උරුම කරගැනීමට නොහැකි වූ අතර පරිණත නායකයෝද බිහි නොවූහ. රටේ ඇතිවූ ලේ වැගිරීම් කෙරෙහි සේ ම අවසාන විග්‍රහයේදී සමස්ත ක්‍රමය කුණුවීම කෙරෙහි බලපෑ ප්‍රධාන හේතු වැඩි ගණනක් ඇත්තේද එතැනය. ලංකාවේ වර්තමාන මිනිසුන් හෝ ඔවුන්ගේ දෙමාපියෝ යටත්විජිත ආධිපත්‍යයෙන් රට නිදහස් කරගැනීම සඳහා හෝ නූතන ජාතිය, නූතන රාජ්‍ය හෝ නූතන ආයතන ක්‍රම ගොඩනගා ගැනීම වෙනුවෙන් දායක නොවූහ. දායකවීමට ඔවුන්ට අවස්ථාවක්ද ලැබී නැත. රටේ ඇතිවී තිබෙන කුණුවීම එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකි අතර නැවත එම කුණුවීම විසින් ඇති කර තිබෙන අර්බුදය ඒ අඩුව බොහෝ ප්‍රමාද වී හෝ සම්පූර්ණ කරගැනීමට ඉතිහාසය විසින් මහජනයාට ලබාදී තිබෙන වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. තෝරාගත හැකි මාවත රටේ දේශපාලන නායකයන් හා දේශපාලන පක්ෂ තිබෙන්නේ රට උපරිම මට්ටමකට කුණුවීම ආශ්‍රයෙන් ඇතිවී තිබෙන ඓතිහාසික අර්බුදය ජයගැනීමට බැරි බංකොළොත් තත්ත්වයක නම් දැන් ඒ අවස්ථාව ලැබී ඇත්තේ පරමාධිපත්‍යය බලය හිමි මහජනතාවට නම් ඒ අභියෝගය ජයගත යුතුව තිබෙන්නේ කවර ආකාරයටද යන්න බැරෑරුම් ලෙස සලකා බලන තැනකට මහජන ක්‍රියාකාරීන් යොමුවිය යුතුය. රට මුහුණ දී තිබෙන අර්බුදය ජයගැනීමට අවශ්‍ය කරන විසඳුම් සොයා ගැනීමේ අරමුණ ඇතිව රටේ මහජන සංවිධාන (වෘත්තීයවේදී සංවිධාන, වෘත්තීය සමිති, ගොවි, ධීවර සමිති, ව්‍යාපාරික හා වෙළෙඳ සමිති, විශ්‍රාමිකයන්ගේ සමිති ඇතුළු විවිධ මහජන සංවිධාන) එකට එකතු වී අවශ්‍ය විසඳුම් සොයා ගැනීම සඳහා සාකච්ඡා හා සංවාද කරන තැනකට යෑම ඒ සඳහා යන ගමනක වැදගත් ආරම්භයක් බවට පත් කරගත හැකිය. එසේ ගොඩ නගන මහජන සංවිධානවල එකතුව කුඩා එකතුවක් නොවිය යුතු අතර විශාල එකතුවක් විය යුතුය. එම එකතුවට විධිමත් හා ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ව්‍යුහයක් හා කළමනාකරණ ක්‍රමයක් තිබිය යුතුය. ඒ එකතුවේ දොරටු ඊට එකතුවීමට කැමති ඕනෑම මහජන සංවිධානයකට විවෘතව තිබිය යුතුය. එයට මහා සභා ක්‍රමයක් සේ ම කාරක සභා ක්‍රමයක්ද තිබිය යුතුය. මහා සභා රැස්වීම් හා කාරක සභා රැස්වීම් කළමනාකරණය සඳහා සුදුසු ස්ථාවර නියෝග ක්‍රමයක් ඇති කරගත යුතුය. මෙම මහජන සංවිධානවල බලමණ්ඩලය ලංකාවේ අර්බුදයට අදාළ වර්ගය, කුලය, ආගම, සංස්කෘතිය, ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම් හා ඒ නිසා විපතට පත් ජනතාවට බලපා තිබෙන ප්‍රශ්නවල සිට ආණ්ඩු ක්‍රමය, රජයේ සේවය, රජයේ සේවක වැටුප් ක්‍රම, බදු ක්‍රමය, බදු එකතු කරන ආයතන ක්‍රම, සහනාධාර දූෂණය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමනය, ජනමාධ්‍ය, නිෂ්පාදන කර්මාන්ත, සුළු කර්මාන්ත, සංචාරක කර්මාන්තය, වෙළෙඳාම, ධීවර සත්ව පාලනය, ඇතුළු කෘෂිකර්මය, ඉඩම්, ජලය, බලශක්ති, පරිසරය, රටේ සිදුවන අපරාධ, වෘත්තීයවේදීන්, ආබාධිතයන්, තරුණ පරපුර, වියපත්වූවන් වැනි වැදගත් හැම අංශයක් ගැනම කරුණු සොයා බලන තැනකට යා යුතුය. සමහර විෂයයන් ගැන කරුණු සොයා බැලීම සඳහා මහජන කොමිෂන් සභා ක්‍රම ඇති කළ හැකිය. විවිධ විෂය ක්ෂේත්‍ර ගැන විශේෂ අදහස් ඇති උගතුන්ට හා විශේෂඥයන්ට ඒ ගැන ලියන පත්‍රිකා මගින් අදහස් පළකිරීමට ඉඩදිය හැකිය.

අඳුර දුරලීම

සමාජයේ බුද්ධිමය ප්‍රබෝධයක් ඇති කිරීමත් විශේෂ දුක්ගැනවිලි ඇති අයට ඒවා ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදෙමින් ඔවුන්ගේ හදවත්වල ඇති තුවාල සුව කිරීමත් වර්ග, කුල, ආගම් භේදවලට තිබෙන පිළිගැනීම දුර්වල කොට නූතන ජාතිය ගොඩනගා ගැනීමට හේතුවන ලෙස සමාජය ඒකාග්‍ර කිරීමත්, ඇතිවී තිබෙන කුණුවීම කෙරෙහි බලපා තිබෙන හේතු හඳුනා ගනිමින් යහපත් සමාජ ක්‍රමයක්, දේශපාලන ක්‍රමයක් ඇතිකර ගනිමින් නූතන රාජ්‍ය ප්‍රතිනිර්මාණය කිරීමත් එම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය යුතුය. මහජන සංවිධාන විශාල සංඛ්‍යාවක් එකට එකතු කරගනිමින් මහජන සංවිධානවල බලමණ්ඩලයක් ඇති කරගනිමින් ඒ ආකාරයෙන් කරන පුළුල් කරුණු සොයා බැලීමක නිරතවීමට එම මහජන සංවිධානවල බලමණ්ඩලය සමත් වේ නම් එම ව්‍යාපාරය සියලු තරා තිරම්වලට අයත් ජනයාගේ බලවත් අප්‍රසාදයට හේතුවී ඇති දේශපාලන පක්ෂවලට හා ඒවාහි නායකයන්ට තිබෙන බලය හා පිළිගැනීම තවදුරටත් දුර්වල කොට මහජන සංවිධානවල බලමණ්ඩලය රටේ ගමන් මග අධිනිශ්චය කරන ප්‍රධාන බලමධ්‍යස්ථානයක් බවට පත්කිරීමට හේතුවනු ඇත. රටේ රාජ්‍ය නායකයාද, ව්‍යවස්ථාදායකද, අධිකරණය හා නීතිය ක්‍රියාත්මක වෙන ආයතනද, රාජ්‍ය නිලධරතන්ත්‍රයද, ජනමාධ්‍යයද, ආරක්ෂක හමුදාද එම බලමණ්ඩලයට ගරු කරන ඊට ඇහුම්කන් දෙන තත්ත්වයක් ඇති කිරීමට හේතුවනු ඇත. මහජන සංවිධානවල එම බලමණ්ඩලය එක් අතකින් රටට නව උත්පත්තියක් ලබාදෙන දේශපාලන තිඹිරිගෙයක් ලෙසද, තවත් අතකට ලාංකික සමාජයට නූතන සමාජයක් බවට පරිවර්තනයවීමට අවශ්‍ය දැනුම ලබාදෙන, රටට අවශ්‍ය නව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් හා වර්ග, කුල, ආගම් භේදයෙන් තොර පරිණත නව දේශපාලන නායක පරපුරක් තනා ගැනීමට අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාදෙන ජාතික සිප්හලක් ලෙසද ක්‍රියාකරනු ඇත. අවසාන විග්‍රහයේදී එම ක්‍රමය රටේ ලොකු විප්ලවයක් ඇති කිරීමට හේතුවනු ඇතත්, එම විප්ලවය සිදුවනු ඇත්තේ ඉතාමත් සාමකාමී හා විනයගරුක ස්වරූපයකිනි. මනුෂ්‍ය ඝාතන හා දේපළ විනාශ කිරීම්වලින් තොරවය. එම ක්‍රියාදාමය සමාජයටද විනයගරුක පැවැත්මක් සඳහා අවශ්‍ය කරන ශික්ෂණය ලබාදීමට හේතුවනු ඇත.