රාවය

සුපිරි ආනුභාවය ලත් ඩඩ්ලිගේ අරලිය බීච් කෙරුවාව.

සුපිරි ආනුභාවය ලත් ඩඩ්ලිගේ අරලිය බීච් කෙරුවාව.

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ උණවටුන යද්දෙහිමුල්ල හි ඉදිවෙමින් පවතින කාමර 250කින් යුතු අරලිය උණවටුන බීච් හෝටල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ‘හිරුගේ සෙවණැල්ලත් මුවා කළ ඩඞ්ලිගේ තවත් වෙට්ටුවක්’ නම් ශීර්ෂය යටතේ 2018.04.08 දින රාවය පුවත්පතේ පළවූ ලිපියට පසුගිය දිනක නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු එස්.එස්.පී. රත්නායක විසින් පිළිතුරු සපයමින් සඳහන් කර තිබුණේ උණවටුනේ ඉදිවන අරලිය උණවටුන බීච් හෝටල් ව්‍යාපෘතිය අනවසර හෝ බාධාකාරී ගොඩනැගිල්ලක් ලෙස සැලකිය නොහැකි, නීත්‍යනුකූල ගොඩනැගිල්ලක් ලෙස ඉදිවෙමින් පවතින බවයි. එය නීති විරෝධී ගොඩනැගිල්ලක් ලෙස ඉදි නොවන බව අප ද පිළිගන්නේ එම ව්‍යාපෘතිය වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අනෙකුත් ආයතන ගණනාවක අත්සන්, මුද්‍රා සහිත අනුමැතිය ලැබී ඇති බැවිනි. ඒවාට අනුකූලව නම් එය නීත්‍යනුකූලය. එහෙත් නාගරික සංවර්ධන අධිකාරියේ නීති රීතීන්ටම අනුව එවැනි ව්‍යාපෘතියකට අවසර ලබාදීම නීතියට පටහැනිය. පවතින නීති රෙගුලාසි අනුව එවැනි ව්‍යාපෘතියකට වෙනත් සාමාන්‍ය පුද්ගලයකුට නම් කිසිදු බලපෑමකින් තොරව අනුමැතිය ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත. සාමාන්‍ය පුද්ගලයකුට ක්‍රියාත්මක වන නීති රෙගුලාසි මෙම ව්‍යාපෘතිය සඳහා ක්‍රියාත්මක වී නොමැති බව පැහැදිලි නමුත් අනුමැතිය නම් ලැබී තිබෙන බව අපි ද පිළිගන්නෙමු. එමෙන්ම ඔහු එම ලිපියේ සදහන් කර තිබුණේ, “නාගරික සංවර්ධන අධිකාරිය ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් රූමස්සල සඳහා සකස් කර ඇති කලාපීයකරණ සැලැස්ම අනුව යෝජිත ව්‍යාපෘතිය විශේෂ මිශ්‍ර සංවර්ධන කලාප සස ට අයත් වන අතර 1986.03.10 අංක 392/9 දරන ගැසට් පත්‍රයේ සඳහන් සාමාන්‍ය රෙගුලාසි එකී කලාපය තුළ බලපවත්වනු ලබන බැවින් ඒ අනුව අනුමැතිය සලකා බලා ඇත” යනුවෙනි. එවැනි තවත් සලකා බැලීම් ගණනාවක් ගැන ඔහු විසින් එම ලිපියේ සඳහන් කර තිබිණි. නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන ගණනාවක් විසින් අදාළ නීති රීති ක්‍රියාත්මක කිරීම වෙනුවට මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අනුමැතිය ලබාදීමට සලකා බැලීම් රාශියක් කර ඇති බව අපට ද පැහැදිලිය. නාගරික සංවර්ධන අධිකාරියේ ඉහත සඳහන් කරන ලද ගැසට් පත්‍රයට අනුව අධි උස ගොඩනැගිල්ලක සැලැස්මක් සඳහා, “පළලින් මීටර් 12කට නොඅඩු වීථියකට යාබදව භූමි භාගය පිහිටා ඇත්තේ නම් මිස එවැනි සැලැස්මක් අනුමත නොකළ යුතුය” ලෙස පැහැදිලිව සඳහන් වේ. එහෙත් අනුමැතිය ලැබී ඉදිවෙමින් පවතින අරලිය බීච් හෝටල් ව්‍යාපෘතියට යාබද යද්දෙහිමුල්ල වැල්ලේදේවාල පාරෙහි පළල හබරාදුව ප්‍රාදේශීය සභාවේ 2009.08.28 දිනැති ගැසට් පත්‍රයට අනුව මීටර් 3.05කි. ඊට පිවිසිය හැකි තවත් මාර්ගයක් වන බොනවිස්ටා මාර්ගයේ පළල ද එම ගැසට් පත්‍රයට අනුව මීටර් 3.66කි. මීටර් 12කට නොඅඩු වීථියකට යාබදව භූමි භාගය පිහිටා ඇත්තේ නම් මිස අධි උස ගොඩනැගිලි සැලැස්මක් අනුමත නොකළ යුතු යයි ගැසට් පත්‍රයේ සඳහන් වෙද්දී මීටර් 4ක්වත් පළල නැති පාරකට යාබද භූමියක මෙම දැවැන්ත හෝටල් ව්‍යාපෘතියට අනුමැතිය ලබා දී තිබෙන්නේ එම ලිපියේ සඳහන් ලෙස විශේෂ සලකා බැලීම් සිදු කරමින් බව ඒ අනුව පැහැදිලි වේ. තවදුරටත් එහි සඳහන් කර තිබුණේ මෙම ව්‍යාපෘතියට පිවිසෙන මාර්ගයේ පළල නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසීන්ට නොග ැළපුණත් එම මාර්ගයට ගොඩනැගිලි සීමාවක් බලපැවැත්වෙන බැවින් ද, එක් දිශාවකට පමණක් ගමන්ග න්නා (ධබැ උ්හ) ප්‍රවේශයක් ලෙස සැලකීමත්, බර වාහන ඊට ඇතුළු නොකිරීමත් ආදී කරුණු සලකා බලා ප්‍රවේශ මාර්ගය පිළිබඳ අනුමැතිය ලබාදීමට සැලසුම් කමිටුව තීරණය කර ඇති බවකි. අනුමත නොකළ යුතු යැයි නීතියේ සඳහන් කරුණු වෙනුවට විවිධ ආදේශක සොයා දෙමින්, සලකා බැලීම් කරමින්, පහසුකම් සපයා දෙමින් මෙම ව්‍යාපෘතියට අනුමැතිය ලබා දීමට කටයුතු කර තිබෙන බව මේවා අනුව ඕනෑම අයකුට අවබෝධකර ගත හැකිය. මෙම සලකා බැලීම් එම ප්‍රදේශයේම වෙනත් ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබා ගැනීමට උත්සාහ කළ සාමාන්‍ය පුද්ගලයන්ට නම් ලැබී තිබුණේ නැත. ප්‍රදේශයේ අනෙක් සාමාන්‍ය ව්‍යාපාරිකයන්ගේ ගොඩනැගිලිවල උස බිම් මහල සහ පළමු මහල ලෙස, බිම් මහල සහ මහල් දෙකක් හෝ මහල් තුනක උපරිමය ලෙස විය යුතු බවට ගොඩනැගිලි සැලසුම්වල දී උපදෙස් ලැබෙන අතර අධි උස ගොඩනැගිලි සඳහා අවසර නොලැබේ. එවැනි රෙගුලාසි ක්‍රියාත්මක වෙද්දී මෙම ව්‍යාපෘතියට පමණක් දිගින් දිගටම සලකා බැලීම් සිදුකරමින් අනුමැති ලැබෙන්නේ විශේෂ වරප්‍රසාද ලෙස විය යුතුය. මාර්ගයේ පවතින ගොඩනැගිලි සීමාවක් පිළිබඳ හබරාදුව ප්‍රාදේශීය සභා ගැසට් පත්‍රයේ සඳහන් නොවේ. ගොඩනැගිලි සීමාවක් ලෙස හඳුන්වන්නේ යම් අවස්ථාවක අනාගත සංවර්ධන කටයුත්තකදී මාර්ගය දෙපස ඉඩම් හිමියන්ගෙ න් ලබාගන්නා සීමාවයි. එම සීමාව අයත් වන්නේ ඉඩම් හිමියන්ටය. එය නාගරික සංවර්ධන අධිකාරියට හෝ ප්‍රාදේශීය සභාවට අයත් නැත. යම් අවස්ථාවක පාර පළල් කිරීමක දී මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඉඩම් හිමියන්ට වන්දි ලබාදීමකින් පසු එය ලබා ගැනේ. එහෙත් එක් පුද්ගලයකුගේ පෞද්ගලික හෝටල් ව්‍යාපෘතියක් වෙනුවෙන් මාර්ගය දෙපස ගොඩනැගිලි සීමාවක් තිබේ යැයි කීම නීතිය නොසලකා හැරීමක් යයි කිව හැකිය. එමෙන්ම යද්දෙහිමුල්ල වැල්ලේදේවාල පාර දැනට ධබැ උ්හ පාරක් ද නොවේ. ඉහත සඳහන් කර ඇති ලෙස අනුමැතිය ලබාදීම වෙනුවෙන් සලකා බලා ඇති ආකාරයට ඉදිරියේ දී ඒවා සිදුවේ නම් එය එහි මෙතෙක් කලක් වාසය කරන ගම්වාසීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා ගන්නා ලද පළමු ක්‍රියාදාමය ලෙස සැලකිය හැකිය. මේ සම්බන්ධයෙන් යද්දෙහිමුල්ල ගම්වාසියකු අප හා පැවසුවේ මෙවන් කතාවකි. “මේතරම් දැවැන්ත හෝටල් ව්‍යාපෘතියකට මේ පාර වගේම උණවටුන ගමත් ගැළපෙන්නේ නෑ. සංචාරකයෝ මෙහේ එන්නේ තරු පන්තියේ හෝටලයක ඉන්න ඕනෑ නිසා නෙමෙයි, මේ ස්වභාවික පරිසරය විඳින්නයි. එක් අයෙක්ගේ ව්‍යාපාරයක් වෙනුවෙන් අනාගතයේ දී මේ පාර පළල් කරනවා නම් අනෙක් මිනිස්සුන්ගේ අයිතිවාසිකම්වලට මොකක්ද වෙන්නේ. පාර දෙපැත්තේ දිගටම ව්‍යාපාරික ස්ථාන, කුඩා පරිමාණ හෝටල්, නිවාස, මීගහ පන්සල වගේ ගොඩනැගිලි සෑහෙන ප්‍රමාණයක් තියනවා. ඒ වගේම පාර පළල්වෙලා නාගරික වෙනවාට ගම්වාසීන් වගේම සංචාරකයෝත් කැමති නෑ. මේක පුද්ගලික බලතල අනුව වන දෙයක් බව පෙනෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පාර වන් වේ පාරක් නෙමෙයි. එක් පුද්ගලයකුගේ අවශ්‍යතාවක් මත ඒක වන් වේ කරනවා නම් මෙතෙක් කලක් තිස්සේ මේ ගමේ ජීවත්වෙන මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන බලන්නේ කවුද” නාගරික සංවර්ධන අධිකාරිය පවසන ආකාරයට මෙම ව්‍යාපෘතිය සිදුවන්නේ උණවටුන විශේෂ මිශ්‍ර සංවර්ධන කලාප ෂෂ ට ය. එබැවින් එය හරිත කලාපයට අයත් නොවන බව ඔවුහු පවසති. ඔවුන්ගෙ ්ම නීති, ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු නොවිය යුතු ස්ථාන තීරණය කරන්නේ ද ඔවුන්මය. රූමස්සල හරිතමයභාවය ආරක්ෂා කිරීමට නම් රූමස්සල රක්ෂිතයටත් ඉහළින් අහස උසට නැගෙන, ගාලු කොටුවේ ප්‍රදීපාගාරය අසලටත් දිස්වන අධි උස ගොඩනැගිල්ලක් ඉදි කිරීමට අනුමැතිය දීම නිවැරදිද? එමෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා පාරිසරික තත්ත්ව බලපෑම ඇගයීමක් ද සිදු කරන බැවින් මෙය රූමස්සල හරිතමය කලාපයට අයත් නොමැති යැයි ද කිව නොහැකිය. අරලිය උණවටුන බීච් හෝටල් ව්‍යාපෘතියට සම්බන්ධ පාරිසරික බලපෑම් ඇගැයීමේ ක්‍රියාවලිය සිදුවන්නේ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙනි. එම හෝටලය පහළ බිම් මහල, බිම් මහල, අමුත්තන්ගේ කාමර සහිත මහල් 9ක්, වහලය මත වෙරළ සමාජ ශාලාවක්, පොදු විනෝදාස්වාදය සඳහා ප්‍රදේශයක්, එළිමහන් උත්සව භූමි, භූමි අලංකරණ කලාප සහ වෙනත් භූමි අලංකරණ ප්‍රදේශ, රථ ගාල්, කාර්ය මණ්ඩල නිල නිවාස, අපජල පිරිපහදු පද්ධතිය සහ ආරක්ෂක කුටිය යන කොටස්වලින් සමන්විත බව ඊට අදාළ වාර්තාවේ සඳහන් වේ. ව්‍යාපෘතිය සංවේදී පරිසරයක මායිම් තුළ ක්‍රියාත්මක කරන අතර සංවර්ධන කටයුත්ත සිදුකෙරෙන ව්‍යාපෘති ප්‍රදේශයේ පාරිසරික තත්ත්වය ආරක්ෂා කරගැනීමට උත්සාහයන් ගෙන ඇති බව ද එම පාරිසරික බලපෑම් ඇගැයීම් වාර්තාවේ සඳහන් වේ. එම වාර්තාවට අනුව මෙම ව්‍යාපෘතිය සංවේදී පරිසරයක මායිම් තුළ ක්‍රියාත්මක කරන සංවර්ධන කටයුත්තක් බව පිළිගෙන තිබේ. එමෙන්ම එය වැඩියෙන් මුදල් වියදම් කරන සංචාරක ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගත්තක් බව පෙන්වා දීමටත් ඉන් සුවිශේෂ පරිසර හානියක් නොවන බව හැඟවීමටත් උත්සාහ කර තිබෙන බව පෙනේ. එය ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට උපයෝගී වන බව ප්‍රතිලාභ ලෙස පෙන්වා දීමට උත්සාහ කර තිබේ. එහෙත් එම වාර්තාවෙන්ම මෙම ව්‍යාපෘතිය ඉදිවන අවධියේ මෙන්ම එය ක්‍රියාවේ යෙදවෙන අවධියේ දී පාරිසරික, සාමාජීය, සංස්කෘතික බලපෑම් ඇති කළ හැකි බවට පිළිගනිමින් එම බලපෑම් අවම කළ හැකි යෝජනා ද ඉදිරිපත් කර තිබේ. ව්‍යාපෘතිය මගින් ඇති විය හැකි අහිතකර බලපෑම් හඳුනා ගනිමින්ම ඊට විසඳුම් ද යෝජනා කිරීමට මෙම ඇගැයීම් කටයුතු කර තිබෙන බව පෙනේ. මෙම ව්‍යාපෘතිය ආශ්‍රිතව තිබෙන ඇළ මාර්ග අනවසර අපද්‍රව්‍ය බැහැරලීම හේතුවෙන් දූෂණය වී ද අවිධිමත් ඉදිකිරීම් හා නඩත්තු පුරුදු නිසා ජල ප්‍රවාහය සීමා වී ද ඇති බවත් සංවර්ධන කාර්යයේ කොටසක් ලෙස ප්‍රදේශයේ ආකර්ෂණීය ජලජ පරිසරයක් නිර්මාණය කිරීම ජල මාර්ගය පිරිසිදු කිරීම සහ රක්ෂිත නඩත්තු කිරීම සිදුකිරීමට යෝජිත බව ද එම පාරිසරික බලපෑම් ඇගැයීම් වාර්තාවේ සඳහන්ය. ඒ අනුව මෙම හෝටල් ව්‍යාපෘති සීමාවේ පවතින ඕලන්ද ඇළ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියක් ද මේ වන විට රජයේ මැදිහත්වීමෙන් සිදුවෙමින් තිබේ. එම ප්‍රදේශවාසියකු පැවසුවේ මෙවන් කතාවකි. “මෙතෙක් කිසිම දේශපාලනඥයකුටවත් ඕලන්ද ඇළ හදන්න බැරිවුණා. දැන් ඩඞ්ලි සිරිසේනගේ හෝටලය නිසා ඇළ හදන්න රජයත් මැදිහත් වෙනවා. වාරිමාර්ග එකෙන් ඇවිත් මැනීම් කටයුතු කළා. දවසක් ඇවිත් ඇළේ මෝය කට කඩලා ඇළ හාරලා ගියා. අපි ඇහුවාම ඒ නිලධාරීන් කීවේ ඩඞ්ලි මහත්තයාගේ හෝටලය නිසා ඇළ හරවනවා කියලයි. ඩඞ්ලි මහත්තයා හෝටලය හදන තැනට එන දවස්වලට ඉරිදා සෙනසුරාදා පෝය කියලා නෑ වෙරළ සංරක්ෂණ එකේ නිලධාරීන් එතැනට එනවා. සාකච්ඡා ඔක්කොම පවත්වන්නේත් ඒ ඉඩමේයි. ඒවාට ගමේ මිනිස්සු සම්බන්ධ කරගන්නේ නැහැ. පහුගිය දවසක ජනාධිපති මාධ්‍ය අංශයෙනුත් ආවා. දැන් ඇළ සංවර්ධනයට ජනාධිපතිතුමාත් මැදිහත්වෙන්න යනවා. ” පාරිසරික ඇගැයීම් වාර්තාවට අනුව ව්‍යාපෘතිය සහ සම්බන්ධ විනෝදාස්වාද ක්‍රියාකාරකම් අතර එකක් ලෙස වෙරළ සමාජශාලා සඳහන් වේ. හෝටල් ව්‍යාපෘතිය ඉදිරිපිට පවතින වෙරළ ආසන්නයේම පවතින්නේ උණවටුන ඓතිහාසික වැල්ලේ දේවාල පූජාභූමියයි. එය 2010.11.22 දිනැති අංක 1681/3 දරන ගැසට් පත්‍රයට අනුව පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. පූජා භූමියක සිට මීටර් 500ක සීමාවක් තුළ මත්පැන් ආදියට නීතියෙන් අවසර නැතත් මෙහිදී එම කරුණ පිළිබඳ ද සලකා බලා නැත. හෝටලය අරම්භ වූ පසු එහි ක්‍රියාකාරීත්වය සඳහා සේවකයන් 150ක් පමණ අවශ්‍ය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව පාරිසරික බලපෑම් ඇගැයීම් වාර්තාවේ සඳහන් වුව ද ප්‍රදේශවාසීන්ගෙන් බොහෝ දෙනෙක් අප සමග පැවසුවේ එම ප්‍රදේශයේ ජනතාව බහුතරය දැනටමත් නිරතව සිටින්නේ සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියාවල බැවින් මෙම ව්‍යාපෘතිය මගින් රැකියා උත්පාදනය වීම ඔවුන්ට ප්‍රතිලාභයක් නොවන බවයි. ඊට වැඩි හානියක් තමන් වාසය කරන ප්‍රදේශයට මේ මගින් සිදුවන බව ද ඔවුහු පැවසූහ. සති අන්ත, නිවාඩු දින, පාසල් නිවාඩු කාලය, වැල්ලේ දේවාලයේ ආගමික උත්සව දිනයන් හි වැඩි සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙන බැවින් රථවාහන හා පදිකයින් තදබදයක් ඇතිවීමේදී හෝටල් ව්‍යාපෘතිය සඳහා ඉදිකිරීම් ද්‍රව්‍ය ප්‍රවාහනයේ දී මාර්ගය භාවිත කරන්නන් හා ප්‍රදේශයේ ජනතාවට අවහිරයන් අවම කිරීම සඳහා සුදුසු රථවාහන කළමනාකරණ ක්‍රම ද එම වාර්තාව මගින්ම සපයා දී තිබේ. ජන ජීවිතයට හා පරිසරයට සිදුවන බලපෑම එම වාර්තාව මගින් දක්වන අතර ඊට විසඳුම් ද යෝජනා කර තිබේ. එහෙත් මේ වන විට ප්‍රදේශවාසීන් මෙන්ම විදේශිකයන් කිහිපදෙනකු ද අප සමග පැවසුවේ ඉදිකිරීම් සඳහා අමුද්‍රව්‍ය රැගෙන යන බර වාහන හේතුවෙන් ඔවුන් අපහසුතාවට පත්ව සිටින බවයි. ඒ සම්බන්ධව ඇතැම් අවස්ථාවල ගම්වාසීන් සමග ගැටුම් ද ඇති වූ බව ඔවුහු පැවසූහ. පාරිසරික තත්ත්ව බලපෑම් ඇගැයීම් වාර්තාවට අනුව ව්‍යාපෘතිය ඉදිකරන අවධියේ දී ජලය ඝන මීටර් 45ක් පමණ ද ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අවධියේ දී දිනකට ඝනමීටර් 215ක් පමණ ද අවශ්‍යවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. එමෙන්ම ඉදිකිරීම් අවධියේදී ඇතිවන ජල අවශ්‍යතාව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සපයන ජල සැපයුමෙන්, ව්‍යාපෘති භූමියේ හාරන ලද ළිඳකින් සහ අවශ්‍ය වුවහොත් ව්‍යාපෘති භූමිය වෙත බෙදාහරින බවුසර්වලින් ලබාගනු ඇතැයි ද එහි සඳහන්ය. මෙහෙයුම් අවධියේ දී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සපයන ජල සැපයුම ප්‍රධාන ජල ප්‍රභවය වන බව ද එම මණ්ඩලයේ එකඟතා ලිපියේ පිටපතක් අමුණා ඇති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කරයි. එහෙත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ සම්බන්ධව දක්වා ඇති ලිපියේ සඳහන් වන්නේ අමතර ජල ධාරිතාවක් අදාළ හෝටල් ව්‍යාපෘතිය පිහිටි ප්‍රදේශයට සැපයීම වෙනුවෙන් කෙටිකාලීන සහ දිගුකාලීන ව්‍යාපෘති ගෙන ඒමට සැලසුම් කර තිබෙන බවත් එම නව ව්‍යාපෘතීන් සම්පූර්ණ වූ පසු මෙම යෝජිත හෝටලයට ජලය සැපයීමට හැකිවුණු ඇති බවයි. දැනට උණවටුන ප්‍රදේශයේ දිවා කාලයේ ජල සැපයුම සිදුනොවේ. ඉන් දැනට පවතින සංචාරක කර්මාන්තයට ද බාධා සිදුවේ. එසේ තිබිය දී ඉදිරියේ දී ව්‍යාපෘතියක් ඇතිවේය යන පදනමින් මෙම ව්‍යාපෘතියට ජල සැපයුම ලැබේ යැයි උපකල්පනය කර තිබේ. වාර්තාවේ සඳහන් වන්නේ පිරිපහදු කළ අප ජලය ප්‍රධාන වශයෙන් භූමි අලංකරණය කළ ප්‍රදේශවල වාරි කටයුතු සඳහා යොදා ගැනෙන අතර ඊට අමතරව වැසිකිළි සෝදා හැරීම් හා ශීතකරණ කුලුනුවලට භාවිත කිරීමට ද යෝජිත බවයි. වර්ෂා කාලයේ දී අවශ්‍ය වුවහොත් වැඩිපුර ඇති පිරිපහදු කළ අපජලය ප්‍රමාණවත් තරම් තනුකකරණයක් සඳහා ඉහළ ජල ධාරාවක් ඇති ජල මාර්ගයට මුදා හැරීමට යෝජිත බව ද එහි සඳහන්ය. එවැනි ජලධාරාවක් ලෙස ඒ ආසන්නයේ පවතින්නේ උණවටුන බොක්කයි. එහි දෙස් විදෙස් සංචාරකයන් නිරන්තරයෙන් ස්නානය කරන ස්ථානයකි. එවැනි පරිසරයකට එම ජලය මුදා හරින්නේ නම් ඉන් සිදුවිය හැකි පාරිසරික හානිය පිළිබඳ අත්‍යවශයෙන්ම සලකා බැලිය යුතුය. උපරිම නේවාසිකයන් සිටින විට හෝටලයෙන් ජනනය වන මුළු ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය කි.ග්‍රෑ. 750ක් බවත් ඒ අතර 85%ක්ම දිරාපත් වන ඝන අපද්‍රව්‍යය බවටත් ඇස්තමේන්තු කර ඇති අතර ඒ අනුව දිනකට ජනනය වන කාබනික ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය කි.ග්‍රෑ. 683ක් සහ ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය කි.ග්‍රෑ. 112කි. මෙම අපද්‍රව්‍යය බැහැරලීමට යෝජිත ක්‍රමවේද එම වාර්තාවේම සඳහන් වන අතර ඒවායින් පසු අවසානයේ ඉදිරිවන ඝන අපද්‍රව්‍යය බැහැරලීම සඳහා ප්‍රාදේශීය සභාව සමග සම්මුතියකට එළැඹ ඇතැයි ද එහි සඳහන් කරයි. උණවටුන අරලිය බීච් හෝටලයේ ඝන අපද්‍රව්‍යය බැහැරකිරීම සම්බන්ධයෙන් හබරාදුව ප්‍රාදේශීය සභාව විසින් ඊමේල් මගින් දන්වා තිබුණේ එම ව්‍යාපෘතියේ ඝන අපද්‍රව්‍යය ඉවත්කිරීමේ කටයුතු හබරාදුව ප්‍රාදේශීය සභාව මගින් ඉටුකළ හැකි බව කාරුණිකව දන්වන බවයි. මේ වන විට උණවටුන ප්‍රදේශය සංචාරක ප්‍රදේශයක් වුවත් දැනට ද ප්‍රදේශයේ කසළ ඉවත් කිරීම හබරාදුව ප්‍රාදේශීය සභාවට ගැටලු වක් බවට පත්ව තිබෙන බව එහි කසළ උතුරා යමින් රැගෙන යන එකම රථයෙන් පැහැදිලි වේ. ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල දුගඳ හමමින් ගොඩගැසී තිබෙන අපද්‍රව්‍යයත්, උතුරා යන කුණු ට්‍රැක්ටරයත් එහි ගැවසෙන දෙස් විදෙස් සංචාරකයන්ට පමණක් නොව ප්‍රදේශවාසීන්ට ද දැනටමත් කරදර ගෙන දෙමින් තිබේ. එලෙස තිබිය දී එක් පුද්ගලයකුගේ ව්‍යාපෘතියක් වෙනුවෙන් එම ප්‍රාදේශීය සභාව එකඟත්වය පළ කර තිබෙන්නේ කුමන බලතලවලට යටත්ව දැයි යන ගැටලු ව ඇතිවේ. විදුලිබල අවශ්‍යතාව සම්බන්ධවද එසේය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක අවධියේ දී උපරිම විදුලිබල අවශ්‍යතාව 2000නඪ් ලබා දීමට විදුලිබල මණ්ඩලයට නොහැකි බවත් කෙසේ වෙතත් වෙනත් සැපයුම් ව්‍යාපෘතියක් සැලසුම් වෙමින් පවතින බැවින් එය ක්‍රියාත්මක වූ පසු ලබාදිය හැකිවනු ඇති බවත් විදුලිබල මණ්ඩලය ලිඛිතව දන්වා තිබේ. මේ ආකාරයට දැනට නොමැති පහසුකම් අනාගතයේ දී සැපයිය හැකිවනු ඇතැයි එකඟවීම් සලකා බලමින් මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දී තිබේ. මේ වන විට ද ඉදිකිරීම් භූමියට උණවටුන යද්දෙහිමුල්ල මාර්ගය මැදින් වයර් ගණනාවක් එල්ලමින් එම භූමියට විදුලිය සැපයේ. හෝටල් ව්‍යාපෘතිය මීටර් 54ක උපරිම උසක් දක්වා ගොඩනැගෙන බැවින් එමගින් වෙරළබඩ පරිසරයේ ස්වාභාවික දර්ශනය වෙනස් කරනු ඇතැයි ද ඒ නමුත් එම ගොඩනැගිලි සෞන්දර්යාත්මක අලංකාර දර්ශනයක් මතුවන ලෙස සැලසුම් කරනු ලබනු ඇති බවත් ඊට අමතරව සිත්කලු භූ දර්ශන සැකසුමක් ද ව්‍යාපෘති භූමියේ සකසනු ලබන බවත් පාරිසරික ඇගයීම් වාර්තාවේම සඳහන් වේ. ප්‍රදේශයේ හරිතමය කොටසට ඉහළින් ඉතා ඈතට වුව දිස්වන්නේ එම ගොඩනැගිල්ලයි. වෙරළට එන සංචාරකයන් නැරඹූ අලංකාරම දර්ශනයක් වූ හිරුගේ බැසීම ද දැන් හෝටලයට මුවාවී යයි. ඒ සියල්ල පාරිසරික බලපෑම් ඇගැයීම් වාර්තාවෙන්ම සාධාරණීකරණය කරයි. ව්‍යාපෘති භූමිය අවට ප්‍රදේශය මිශ්‍ර අර්ධ නාගරික/වාණිජමය සහ නේවාසික පරිසරයක් බැවින් යෝජිත ව්‍යාපෘතිය මගින් හිතකර මෙන්ම අහිතකර බලපෑම් ද සිදුවිය හැකි බව පාරිසරික බලපෑම් ඇගැයීම් වාර්තාවේ සඳහන්ය. ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කළ අහිතකර බලපෑම් පිළිබඳ ද එහි ඇතුළත් වන අතර ඒවා එසේ නොවන බවට හේතු සාධක ද වාර්තාවෙන්ම ඉදිරිපත් කර සාධාරණීකරණය කරයි. මෙම ව්‍යාපෘතිය සම්බන්ධව ප්‍රදේශවාසීන්ගේ විරෝධතා විමසූ අවස්ථාවේ ප්‍රදේශවාසීන් විසින් අත්සන් 74කින් යුතු විරෝධතා ලැයිස්තුවක් සහිත ලිපියක් ලබා දී තිබුණ ද ඒ සම්බන්ධව කිසිදු සාකාච්ඡාවක් හෝ කැඳවීමට කිසිවකු පියවර නොගත් බව ද ගම්වාසීහු අප සමග පැවසූහ. ඉදිකිරීම මගින් ජනනය විය හැකි ශබ්ද මට්ටම් පිළිබඳ ද පාරිසරික බලපෑම් ඇගැයීම් වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව ඉදිකිරීම් මගින් ජනනය විය හැකි ශබ්ද මට්ටම් සහ පනවා ඇති උපරිම ශබ්ද මට්ටම් සංසන්දනය කළ විට මෙම ඉදිකිරීම් සිදුකරන අවධියේදී ඒ අවට ප්‍රදේශයට දැනෙන ශබ්ද මට්ටම් මධ්‍යම පරිසර අධිකාරිය විසින් දක්වා ඇති උපරිම ශබ්ද මට්ටම් ඉක්මවා යන බව දක්නට ලැබේ යයි එයි සඳහන් කරයි. එයටම තවත් කොටසක් එක් කරමින් ඔවුන්ම පවසන්නේ කෙසේ නමුත් ඝෝෂා ඇති කරන ප්‍රභවයේ සිට ඇති දුර අනුව ඝෝෂා මට්ටම් හීනවන බවකි. ඇතිවිය හැකි කම්පන මගින් විය හැකි හානීන් පිළිබඳ ද එහි ම තවදුරටත් සඳහන් කරයි. මේ ආකාරයට මෙම දැවැන්ත ව්‍යාපෘතිය මගින් සිදුවිය හැකි බලපෑම් රාශියක් එම වාර්තාවෙන් පෙන්වා දෙන අතරම එම බලපෑම් අවම කිරීම සඳහා යෝජනා මාලාවන් ඉදිරිපත් කරයි. මේවා පිළිබද විමසා බලන විට පෙනීයන්නේ සාමාන්‍ය පුරවැසියකුට ලබාගත නොහැකි අනුමැතියක් මෙම ව්‍යාපෘතියට ලැබී ඇති බවය. බොහෝ සලකා බැලීම්, යෝජනා, පහසුකම් ද ඊට ඉදිරිපත් කරමින් සහයෝගය ලබාදීමට රජයේ ආයතන නිලධාරීන් ක්‍රියාකර ඇති බවය. ජනාධිපතිවරයගේ සහෝදරයාට හිමි වූ එම වරප්‍රසාද වෙනත් සාමාන්‍ය පුද්ගලයකුට හිමි නොවන බව අපගේ හැඟීමයි. ඩඞ්ලි සිරිසේන මහතාට අයත් උණවටුනේ ඉදිවෙමින් පවතින අරලිය උණවටුන බීච් හෝටල් ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් ඇගැයීම සිදුවූයේ ද ඔහුගේ සහෝදරයා වන ජනාධිපතිවරයා යටතේ තිබෙන ආයතනයක් වන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙනි. එසේ නම් එහි විනිවිදභාවය පිළිබඳ විශ්වාසය තැබිය හැක්කේ කෙසේද. ප්‍රදේශයේ ජනතාවගෙන් බොහෝ දෙනා ද මෙම ව්‍යාපෘතියෙන් සිදුවන හානිය සම්බන්ධව ලිඛිතව දැනුම් දී තිබුණත් ඊට වූ දෙයක් නැත. පුද්ගලික බලතලවලට යටත්ව සිදුවන මෙම ව්‍යාපෘතිය සම්බන්ධව ප්‍රදේශවාසීන්ගේ පවතින විරෝධය ඔවුන් තවම එළිපිට ප්‍රකාශ කිරීමට ද යම් පසුබට බවක් දක්වන්නේ එය අයත් පුද්ගලයාට එහි පවතින බලතල පිළිබඳ බියකින් නිසා බව ඔවුහු අප සමග පැවසූහ.