රාවය

කිරි වෙහෙරේ ලේ තැවරීම.

කිරි වෙහෙරේ ලේ තැවරීම.

නිමල් අබේසිංහ

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට සහ තවත් හිමිනමකට නාඳුනන තුවක්කුකරුවකු වෙඩි තැබීම මේ වනවිට රටේ ආන්දෝලනයකට ලක්ව ඇත්තේය. වෙඩි තැබීම සිදුව ඇත්තේ ඉකුත් 12 වැන දින රාත්‍රියේය. කිරිවෙහෙර වැනි රටේ නමගිය පුදබිමක අධිපති හිමිනමකට වෙඩිතැබීමම බරපතළ ගැටලු මතුකරන්නකි. එසේ වන්නේ මෙවන් කාර්යයකට අත තබන්නට සුළුපටු පුද්ගලයකු ඉදිරිපත් නොවන බැවිනි. එක් අතකින් මේ සිදුවීම දෛවයේ සරදමක් ලෙසටද සැලකිය හැක්කකි. ඒ පසුගිය කාලය පුරාම මෙන්ම අදටත් මෙරට බෞද්ධ භික්ෂූන්ගෙන් වැඩි පිරිසක් යුද්ධය අනුදැන වදාළ බැවින් ඒ තුවක්කු එවන් භික්ෂුවක් වෙත එල්ලවීම හේතුවෙනි. වෙඩි තැබීමේ සිද්ධිය සලකන විට එයට කිරිවෙහෙර විහාරස්ථානයේ අතීත සිදුවීම් මෙන්ම මෑත කාලයේ සිදුවීම්ද එකිනෙක පටලවා සිද්ධියට ඈඳන්නට දැනටමත් විවිධ පිරිස් පෙරමුණ ගෙන ඇති බවක්ද පෙනෙයි. සමාජ මාධ්‍ය මෙහිදී පෙරමුණ ගෙන තිබේ. එහිදී ඔවුන් විවිධ පාර්ශ්වවලට ඇඟිල්ල දිගු කරනු පෙනෙයි. තවත් පිරිසක් එසේ ඇඟිල්ල දිගුවන්නන් ගලවා ගැනීමේ වෑයමක යෙදෙන බවද පෙනෙයි. ඒ සියල්ල මඳකට පසෙකින් තබමු. මහසෙන් දේවාලය
කිරිවෙහෙරේ මහසෙන් දේවාලය හා බැඳුණු කතාවක් වෙඩි තැබීම පිටුපස ඇත. කිරිවෙහෙරේ මහසෙන් දේවාලය ඉදිවෙන්නේද පසුගි ය ආණ්ඩු සමයේදීය. මේ
මහසෙන් දේවාලයේ කපුරාළද එකල රාජපක්ෂ ආණ්ඩුවේ හිතවතකු වන බවටද ආරංචි පැතිරෙයි. දේවාලය ඉදිවන්නේද එකල ආණ්ඩුවේ අනුග්‍රහයෙන් බවද කියවෙයි. එය එසේ නොවේ යැයි සිතන්නට ඉඩක් නොමැත්තේ හිටපු ජනපති මෙන්ම ඔහුගේ පවුලේ උදවියද දෙවියන් කෙරෙහි දැඩි භක්තිවන්ත පිරිසක් වනවා සේ ම අනුහස් ඇතැයි කියන දේවාල කරා මේ පිරිස නිරන්තරයෙන්ම බඩගානු දකිත හැකි බැවිනි. මහසෙන් දේවාලයේ අයිතිය පිළිබඳව දේවාල භාරකරුවා හා කොබවක ධම්මින්ද හිමියන් අතර අවිච්ඡින්න ගැටුමක් පැවතී ඇති අතර එය අවසන්ව ඇත්තේ අධිකරණය ඉදිරියට යෑමෙනි. අවසානයේ අධිකරණ තීන්දුව අනුව කොබවක ධම්මින්ද හිමියන්ට මහසෙන් දේවාලයේ හිමිකාරිත්වය ලැබී තිබේ. මෙයින් පසුව විවිධ අවස්ථාවන්හි ධම්මින්ද හිමියන් සහ දේවාලයේ කපුවා අතර ආරාවුල් සිදුවී ඇති අතර ඇතැම් අවස්ථාවලදි ධම්මින්ද හිමියන් පොලිසියේ පැමිණිලි කර ඇති බවද දැනගන්නට ඇත. දේවාලයේ සිදුවීමටත් පෙර එහිමියෝ කිරිවෙහෙර රජ මහා විහාරයේ අධිපතිත්වය සම්බන්ධයෙනුත් අධිකරණය හමුවට ගොස් ඇති බවට තොරතුරු තිබේ. ඒ ද පසුගිය ආණ්ඩු සමයේදීය. කිරිවෙහෙර රජමහා විහාරයේ එවකට සිටි අධිපති හිමියන්ගේ අපවත්වීමෙන් පසුව විහාරයේ අධිපතිත්වය පිළිබඳව ගැටුම් තිබී ඇත. හිටපු ජනපති මෙයට ඍජු මැදිහත්වීමක් කර ඇති බවත් කියැවෙයි. ඒ අනුව කිරිවෙහෙරේ අධිපතිකමට ඔවුන් විසින් වාචිස්සර නම් හිමිනමක කැඳවා ගෙනවුත් කිරිවෙහෙරේ රජමහා විහාරයේ නවතා සිටි බවටද තොරතුරු වාර්තා වේ. කෙසේ වුවත් විහාරස්ථානවල අධිපතිත්වය හිමිවෙන පිළිවෙළට අනුව විහාරාධිපති ධුරය හිමිවිය යුතුව තිබී ඇත්තේ කොබවක ධම්මින්ද හිමියන්ටය. ඒ ධම්මින්ද හිමියන් අපවත් වූ විහාරාධිපති හිමියන්ගේ ප්‍රධාන පැවිදි ගෝලයා වූ බැවින්ය. මෙම අර්බුදයේදී කිරිවෙහෙර රජමහා විහාරය අයත් පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක හිමියන් පවා ධම්මින්ද හිමියන්ට කිරිවෙහෙර අධිපති ධුරය ලබාදිය යුතු බවට හිටපු ජනපතිට උපදෙස් දුන් බවටද කතාවක් ඇත. එය නොසලකා හැර වෙනත් භික්ෂුවක කිරිවෙහෙර විහාරාධිපති ධුරයට ඔවුන් පත්කර ඇත්තේ වෙනකක් නිසා නොව එහි ඇති වැදගත්කම සලකමින් බව පෙනෙයි. කිරිවෙහෙර රජමහා විහාරය ඇසුරින් මතුවුණු මේ අර්බුදයද නිමාවී ඇත්තේ අධිකරණයට යෑමෙන් අනතුරුව වන අතර එහිදී කොබවක ධම්මින්ද හිමියන්ට කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති ධුරය හිමිවී ඇත. බලයට, මුදලට, නිලයට කෑදරවූවන්ට ඒ කෑදරකම් ලෙහෙසියෙන් අතහැරිය හැකි නොවේ. එනිසා තම අභිප්‍රායන් අරමුණු ඉටුකරගැනීමේ ආශාව ඔවුහු අත්නොහරිති. එම න්‍යාය අනුව සැලකුවහොත් එවැනි පිරිසකගේ මැදිහත්වීමෙන් වෙඩි තැබීම සිදුවූයේදැයි කෙනකුට සැක කළ හැකිය. තවත් අතකින් ගතහොත් මෙය කල දුටු කල වළ ඉහගැනීමක්ද විය හැකිය. මේ ලිපිය ලියා අවසන් කරන අවස්ථාව වනවිට කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තබා ඇත්තේ මහසෙන් දේවාලයේ හිටපු කපුරාළ වන අසේල බණ්ඩාර නමැත්තා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මාධ්‍යයට පවසා තිබුණි. සැකකාර කපුවාගේ නිවෙස පරීක්ෂා කිරීමේදී පතරොම් 10ක්ද, කිණිසි දෙකක්ද, කඩු දෙකක්ද සොයාගත් බවට මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබිණ. ඒ සමගම වෙඩි තැබීමට පැමිණි බව කියන මෝටර් රථයද වෙඩි තැබීමට සහාය වූ යුද හමුදාවේ හිටපු සෙබළෙක්ද අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ. වෙඩි තැබීමට යොදාගත් තුවක්කුවද කපුරාළගේ ගෙවත්තේ දරමඩුවක තිබී සොයාගෙන ඇති බවද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. එහෙත් ප්‍රධාන සැකකරු තවමත් අත්අඩංගුවට පත්ව නැති අතර ඔහු ප්‍රදේශයෙන් පැන ගොස් ඇති බවද කියැවේ. මේ සැකකරුවන් කවුරුන් විසින් හෝ නැටවූ රූකඩද, එසේ නම් ඒ රූකඩවල නූල් කෙළවර සිටියේ
කවුරුන්ද යන්න ගැනත් විමර්ශකයන් සොයා බැලිය යුතුය. නැතහොත් සිද්ධිය වැළලී යන්නට පුළුවන. මේ අතරම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ගේ චර්යාවන් පිළිබඳව තිබෙන්නේ අවලක්ෂණ සිත්තමක් බව කිව යුතුය. රටේ බොහෝ ප්‍රසිද්ධ විහාරස්ථානවල අධිපති හිමිවරුන් හා ගෑවෙන අයථා ස්ත්‍රී සබඳකම් ධම්මින්ද හිමියන්ටද තිබී ඇති බව පෙනේ. ගල්කිස්ස ප්‍රදේශයේ කාන්තාවක සමග තිබූ සම්බන්ධයක් ගැන ඈඳුණ සිද්ධියකට මේ වනවිටත් ඒ හිමියන්ට එරෙහිව අධිකරණයේ නඩුකරයක් පවතී. ඒවා මේ සිද්ධියට අදාළ වුණත් නැතත් වෙඩි තැබීම යට අපරාධකාරී මුලයක් තිබෙන බව පෙනේ. එය ඉක්මනින් හෙළිදරව් කර ගැනීම අදාළ අංශවල වගකීමකි.