කැබිනට්ටුව අන්දවා පරිපාලන සේවයට අල්ලස් දීම

ටිරන් කුමාර බංගගමආරච්චි

ඉතාම සරලව කිවහැක්කේ මේ යහපාලන ආණ්ඩුවට අමු කැවිලා ඇති බවය. ඔවුන් කරන හැමදේම රටට විනාශකාරී විනා රටට යහපතක් නම් නොවන තරම්ය. ඊට එකතු වී ඇති අලුත්ම කැබිනට් පත්‍රිකාව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා ශ්‍රේණි අනුව විශේෂ දීමනාවක් ලබාදීමය. මෙය තවමත් ඉටුවී නැතත්, ඉටුවීම යනු රටම ආපස්සට ඇද දමන බවට නොරහසකි. වත්මන් ආණ්ඩුවේ ආදායමෙන් 50%ක්ම වෙන් වනුයේ ණය ගෙවන්නටය. 28%ක් ණය පොලී ගෙවන විට ඉතිරි 22% වාරික වෙනුවෙනි. ආණ්ඩුවම ආදායමෙන් 50%ක් ණය ගෙවනවායැයි කියනුයේ එලෙසය. මේ අප කියන දෑ නොව ආණ්ඩුවම ප්‍රකාශ කරන දෑය. ආණ්ඩුව සමස්ත ආදායමෙන් 50%ක් ණය ගෙවීමෙන් පසු ඉතිරි මුදලින් විශ්‍රාම වැටුප්වලට 8%ක්, වැටුප්වලට 18%ක්, රජයේ සේවකයන්ට ගෙවන බවත් ප්‍රකාශිතය. ඒ සියල්ලත් අයින් කළ කල රජයේ සේවකයන්ට, සමෘද්ධි, සෞඛ්‍ය ආදී සියල්ලටම ගෙවන්නට ඉතිරි වන්නේ ඉතාම සුළු මුදලකි. වත්මන් ආණ්ඩුවේ ඇත්ත තත්ත්වය එයයි. අගමැති කියන ආකාරයට මේ ඔවුන් ගෙවනුයේ අනුන්ගේ පව්ය. සැබැවින්ම මේ සියලු පව් ගෙවනුයේ ආණ්ඩුවද, රටේ ජනතාවද යන්න වෙනම ප්‍රශ්නයකි. එවන් වටාපිටාවක ඉහත දීමනා සඳහන් කැබිනට් පත්‍රිකාව ගෙන ඒම කාලෝචිතද?

සාධාරණීකරණය

මේ මොහොතේ පරිපාලන සේවයේ නිලධාරීන්ට විශේෂ දීමනාවක් ගෙන එනුයේ ඇයි? එයට කැබිනට් පත්‍රිකාව පෙන්වන සාධාරණීකරණය දෙසම බැලීම වටී. ඒ අනුව, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට පැවරෙන වගකීම් ව්‍යවස්ථාපිත, සංවර්ධනාත්මක, සුබ සාධන ආපදා කළමනාකරණ ආදී විවිධ ක්ෂේත්‍රයන්ට අයත් වේ. එමෙන්ම ස්ථාන මාරුවීම් නිසා හෝ උසස්වීම නිසා හෝ එක් තනතුරක කාර්යභාරයක සිට ඊට හාත්පසින්ම වෙනස් වූ කාර්යභාරයන්ට අනුගතව වර්තමාන සංකීර්ණ සමාජ හා නෛතික පරිසරය තුළ වගවීම හා නිරවද්‍යතාවද, කඩිනම් ක්‍රියාකාරීත්වයද සහිතව මූල්‍යමය සහ භෞතික අවදානම් දරමින් අභියෝගාත්මක තීරණ ගෙන කටයුතු කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට සිදුවේ. (උපුටා ගැනීම අවසන්) මේ අනුව බලන කල මේ නිලධාරීන්ට දීමනාවක් නොදීමෙන් ඉහත රාජකාරි ටික කිරීමට නොහැකි වන බව පැහැදිලිය. ඒවා ඒ තරමට සුළුපටු රාජකාරීන් නොවන බැවිනි. ඒවා කඩිනමින් කරන්නට නම් සුවිශේෂී දීමනාවක් දිය යුතුමය. මේ අර අඳිනුයේ ඒ දීමනාව නොමැති බැවින් ඔවුන් වැඩ නොකරන බැවින් රට බංකොළොත් වී ඇති බැවින් ඉන් වහාම ගොඩ එන්නටද?

දීමනාවේ ස්වභාවය

ඉහත නිලධාරින්ගේ ස්වභාවය මගහරවා ගැනීමට දෙන දීමනාව මෙපරිදිය. විශේෂ ශ්‍රේණියේ නම් රු. 50,000කි. පළමු ශ්‍රේණියේ නම් රු. 45,000කි. දෙවන ශ්‍රේණියේ නම් රු. 35,000කි. තුන්වන ශ්‍රේණියේ වසර තුනකට වැඩි නම් රු. 30,000කි. වසර තුනකට අඩු නම් රු. 15,000කි. වසරකට අඩු නම් දීමනාවක් නොමැතිය. මේ සඳහා යන වියදම
මෙය සුළු කොට තැකිය හැකි තත්ත්වයක් නොවේ. ශ්‍රී ලංකා පරිපාලන සේවය විශේෂ ශ්‍රේණිය ෂ, ෂෂ හා ෂෂෂ ශ්‍රේණීන්ගෙන් සමන්විත වන අතර මේ වනවිට එම ශ්‍රේණි අනුව නිලධාරීන් 2376 දෙනෙක් සේවයේ යෙදී සිටිති. ඒ මෙසේය. ත තත්ත්වයන් දෙස බලන කල අලුතින් උපාධිධාරීන් බඳවා ගෙන රු. 25,000ක් ලබා දුන්නද ඒ අනුව මේ අයට වසරකට වෙන් කරන බිලියනයක මුදලින් උපාධිධාරීන් 2941 දෙනෙක් අලුතින් බඳවා ගත හැකි බව පැහැදිලිය.

හේතු

මේ අයට මෙලෙස දීමනා ලබාදීමට දක්වන සාධාරණීකරණයත් අපි මුලින්ම කැබිනට් පත්‍රිකාවෙන් ගෙන උපුටා දැක්වූවෙමු. එයට වැඩිදුරටත් සලකා බැලීම වටිනුයේ මෙය මොනතරම් ප්‍රෝඩාවක්ද යන වග ඉන් මනාව හෙළිවන නිසාය. කැබිනට් පත්‍රිකාවේ කරුණු සරලව ගත් කල මොවුන් අවදානම් සහිත රාජකාරිහි නියැලෙනවා යැයි කියන කරුණ ගමු. හැම ආයතනයක්ම, අමාත්‍යාංශයක්ම, දෙපාර්තමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, නගර සභා, සුළු නගර සභා මේ සියල්ලම ගත් කල මේ සියල්ලෙහිම පිරිස් හා පාලන රාජකාරි සහ අමාත්‍යාංශයක් නම් අමාත්‍යාංශ අතිරේක ලේකම් ඔහු. එහි පාලන අංශයේ ප්‍රධානියාය. ඊට අමතරව අධ්‍යක්ෂ පාලක, ඊටත් අමතරව සහකාර අධ්‍යක්ෂවරු තිදෙනෙක්ද සිටිති. මේ අනුව බලන කල කැබිනට් අමාත්‍යාංශ 40කට වැඩිය. රාජ්‍ය අමාත්‍යාංශ 30ක් පමණ ඇති කොට මෙහි ඇති ප්‍රමාණය දෙතුන් සියයක් පමණ වේ. මේ පරිපාලන අය කරනුයේ බඳවා ගැනීම්, උසස්වීම්, විනය කටයුතු, නිවාඩු, පුහුණු වැනි දෑය. මේ අය කරනුයේ ඉහත ටිකය. මේ ටික කරනුයේ තම ආයතන අභ්‍යන්තරයේමය. මහජනතාව සමග පිටස්තරව කරන්නේ නම් පිහි පහරක් කෑමේ හෝ අවදානමක් ඇතැයි සිතිය හැකිය. මේ සීමිත අ භ ්‍ය න ් ත ර වැඩකි. මේ සඳහා චක්‍රලේඛ නිකුත් කර ඇත. එය සකස් කොට ඇත්තේ රාජ්‍ය පරිපාලනයෙන් හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් යන ආයතනවලිනි. ඒ අනුව නිලධාරීන් චක්‍රලේඛ අනුව වැඩ කළ යුතු වේ. එය අමාරු බරපතළ පීඩා ගෙන දෙන කටයුත්තක්ද? එයට දීමනාවක් දුන් පසු ඒ සියල්ල සමනය වේද? අමාත්‍යාංශ හැත්තෑවක් විතර ඇත. දෙපාර්තමේන්තු 90කට වැඩිය. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 450කට වැඩිය. දිස්ත්‍රික් ලේකම් කාර්යාල 23ක් පළාත් සභා 9යි. එක පළාත් සභාවට අමාත්‍යාංශ 5යි. එහෙව් තත්ත්වයක් යටතේ පරිපාලන සේවයේ ඔය 2376න් පරිපාලනය විතරක්ම රාජකාරිය ලෙස කරන ගණන 1500කට වැඩි නැතිය. එසේ නම් මේ අයට පරිපාලනය කරද්දී අමුතු පීඩනයක් කීම කුමන බේගලයක්ද? එයට රු. 50,000ක දීමනාවක් ලෙස ඉහළ සිට පහළට එල්ලීම උචිතද?

බොරු කීම

මේ මුදල් ලබාගැනීමට ඔවුන් මවන බොරු සුවිසල්ය. ආපදා කළමනාකරණ සංවර්ධන, සුබ සාධන කටයුතුවලට මොවුන් ඉතා මහන්සි වන බවත් මැතිවරණවලදී විශාල ලෙස කාර්යයන්හි නියැලෙන බවත් අදහසය. දැන් මේවායේ යෙදෙනුයේ නොමිලේද? ආපදා ආවද මල්ල පිරිය යුත්තේ මේ අයගේද? මැතිවරණයක් පවත්වනුයේ වසර 3-4කට සැරයකි. එයත් මේ අයගේ වාසියට හැරවිය යුතුද? ආපදා කළමනාකරණ වැනි අමාත්‍යාංශයකට වෙන් කරන මුදල් සියල්ලම පාහේ වෙන් කරනුයේ පළාත් සභාවලටය. එය පළාත් සභා විෂය පථයට අයත්ය. පශු සම්පත් අමාත්‍යාංශයට වෙන් කරන මුදල්ද එසේමය. එසේ නම් අමාත්‍යාංශය ඇතුළේ පරිපාලනමය රාජකාරිහී නියැලෙන අය කරනුයේ ලියුමක් ගැසීමට එහා වැඩක්ද? ලිඛිතව එය පවරන වැඩය නොවේද? එය එතරම් බරපතළද? ඊට මාස තුනකට පසු ප්‍රගතිය ඉල්ලා ලියුමක් යැවීම එම ප්‍රගතිය ලද විට එය මහා භාණ්ඩාගාරයට යැවීම බරපතළ රාජකාරියක්ද? එය අවදානමෙන් පිරුණු රාජකාරියක්ද? මේ රාජ්‍ය සේවය නිර්මාණය වී ඇත්තේම පහළම ඉන්න කාර්යල සේවකයාගේ සිට ඉහළටය. ඉහළම ඉන්නා කෙනාට පමණක් දීමනා දීමෙන් මේ චිත්‍රයම අවුල් නොවන්නේද? පහළ ඉන්න අය වැඩ කරනුයේ විනෝදයෙන්ද? සියලු පීඩන ඇත්තේ ඉහළ අයට පමණද? ජීවන වියදම දැනෙනුයේ ඉහළ අයට විතරද?

අල්ලසක්

මේ ආණ්ඩුව කරනුයේ අල්ලස් දීමකි. මහජනතාවගෙන් උපරිම බදු අයකර ගන්නා ආණ්ඩුව ඒ මුදල් තමන්ට පසු සිටින නිලධාරීන් ටිකකට අල්ලස් ලෙස ලබාදීමයි. මේ පිරිස කියනුයේ තමුන් පසුගිය කාලයේ ප්‍රතිපත්ති සම්පාදනය කළ බවය. එය එසේම යැයි කියමු. අද රටට සිදුවී ඇති විනාශය ඒ ප්‍රතිපත්තිම බල නොපා ඇද්ද? මේ දීමනා දෙනුයේ ඒ විනාශ මුඛයට ඇද දැමුවාටද?

නිවැරදිවීම

දැන් හෝ මේ ආණ්ඩුව මේ ගැන බරපතළ ලෙස සිතිය යුතුය. අඩුම තරමේ ආණ්ඩුව ඉදිරි දෙවසර ගෙවා ගන්නටවත් කල්පනා කළ යුතුය. මේ පිරිසට පමණක් දීමනා ලබා දුන් සැණින් සෙසු අංශද කුලප්පු වන බව මේ රජය කල්පනා කළ යුතුය. රටේ වෛද්‍යවරු 25,000ක් පමණ සිටිති. ඊට අමතරව ගණකාධිකාරීවරු, ක්‍රම සම්පාදන සහ අනික් ක්ෂේත්‍ර බලන කල එම පිරිස ලක්ෂ ගණනකි. මේ සියලු පිරිසට මේ කියන දීමනාවෙන් අ ඩ ක ් හෝ දීමට සිදුවනු නියතය. සැවොම නිහඬ මෙම පත්‍රිකාව අනුමත වූ සැණින් තම ඉල්ලීමට බැසීමටය. මේ තත්ත්වයෙන් ආණ්ඩුව ලොකු ජංජාලයක පැටලෙනවා නියතය.

අරමුණ

පරිපාලන නිලධාරීන් ඉල්ලූ සැණින් ආණ්ඩුව මේ දෙන්නට උත්සාහ කරනුයේ ඔවුන්ගේ යහපතටමද? නැත. මෙය ඒ දෙපිරිසගේම හිත හොඳ පිණිසය. ඔවුන් මේ දීමනා හරහා උත්සාහ කරනුයේ තමුන්ට හිතවත් නිලධාරීන් පිරිසක් නිර්මාණය කරගැනීමය. ඉන්පසු ඒ සැම සමග එකතුව රටේ මුදල් කොල්ලකෑමය. අද මේ කප්පරක් හේතු දක්වන පරිපාලන පිරිසම රාජපක්ෂ කාලයේද සේවය සැපයූ අයය. ඔවුන් කළේ කුමක්ද? ලලිත් වීරතුංග මිලියන 600ක සිල්රෙදි බෙදමින් රටේ මුදල් අවභාවිත කළේය. මහානාම හසුවූයේ කෝටි දෙකක අල්ලස් ගැනීමේදීය. අනුෂ පැල්පිට, ගාමිණී සෙනරත්ලා කළේ ඇතිපදම් හොරා කෑමය. එහෙව් පරිපාලන නිලධාරීන්ට දීමනා දෙනුයේ රටේ යහපතටද? දේශපාලකයන්ගේ ඕනෑඑපාකම් ඉටුකර ගැනීමටය. ආණ්ඩුවේ දේශපාලකයන්ගේ අරමුණ මෙය තම වාසියට හරවා ගැනීමටය.

විකල්ප

සමස්ත මහජනතාව ජීවත්වන්නේ බැරිකමිනි. එහෙව් කලක රජය කළයුත්තේ ඉතා සුළු පිරිසකට අල්ලස් දීම නොවේය. රටේ සමස්තය සමග බලන කල මෙය දශම ගණනක ප්‍රමාණයකි. එසේ නම් රජය කළ යුතුව ඇත්තේ සමස්ත රාජ්‍ය සේවකයාටම බලපාන ලෙස රාජ්‍ය සේවයටම බලපෑම් නොවන ලෙස ව්‍යුහයක් සැකසීමය. සහනයක් සැලසීමය. එසේ නොකර මේ සුළු පිරිසකට කප්පම් දීම හරහා සමස්ත රාජ්‍ය සේවයම කඩා වැටීමට ලක්වීම නොවැළැක්විය හැකිය. කඩිනමින්ම ආණ්ඩුව මෙය වටහාගත යුතුය. ආණ්ඩුව රාජ්‍ය සේවකයාට නොව පොදුවේ ජනතාවටම වැඩ කළ යුතුය. මහජනතාව මිරිකමින් බදු ගසමින් ඒ බදු දේශපාලකයන් සමග එකතුව හොරකම් කරන පළමු පැළැන්තිය වන පරිපාලන සේවයට කප්පම් දීමට යෙදවීම අනුමත කළ නොහැක්කකි.

වරප්‍රසාද

දැනටත් මේ ක්ෂේත්‍රයන් ලබන වරප්‍රසාද ඉහළය. මේ අයගේ වැටුප පළමු ශ්‍රේණිය රු. 90,000 ඉක්මවති. දෙවන පන්තියේ වැටුප රු. 80,000 ඉක්මවති. සෙසු අයද රු. 50,000 ඉහළටය. වැටුපට අමතරව මොවුන්ට නිල වාහනයක්, රියැදුරෙක් ලැබේ. එයට මාසිකව තෙල් ලීටර් 170ක් ලැබේ. එම වාහනය නිවසේ වැඩවලට යොදා ගන්නේ නම් මාසිකව ගෙවිය යුතු ගණන රු. 350කි. වාහනය නඩත්තු කරනුයේ ආණ්ඩුවෙනි. වාහනය නොගත්තේ නම් වාහන දීමනාව ලෙස මසකට රු. 50,000ක් සහ තෙල් ලීටර් 170ක් ලැබේ. මේ සියල්ලට අමතරව බොහෝ අය වැටුපට අමතරව දිරිගැන්වීමේ දීමනාද ලබති. මහා භාණ්ඩාගාරයේ පඩියට අමතරව දිරිගැන්වීම් දීමනා 30%කි. අග්‍රාමාත්‍ය කාර්යාලයේද එලෙසය.

වරප්‍රසාද දීමේ රහස

මේ පිරිස මේ තරම් රැකගැනීමේ දේශපාලන වුවමනාව කුමක්ද? ඒ මොවුන්ගෙන් මහා වැඩ කොටසක් වන නිසා නොව, හොරා කෑම එකම අභිලාෂය වූ දේශපාලකයාට එය කිරීමට ඇති බැමි මේවා නිසාය. රාජ්‍ය සේවයේ මූල්‍ය බලතල දේශපාලකයාට අහිමිය. චෙක් අත්සන් කිරීම, ටෙන්ඩර් කරන්නට බලයක් මේ සියල්ල මොවුන්ට අහිමිය. රාජ්‍ය සේවයේ ගනුදෙනු සඳහා බලය දීම, අනුමත කිරීම සහ සහතික කිරීම නිලධාරීන් සතු කාර්යයකි. එසේ නම් දේශපාලකයාට හොරා කෑමට මේ අය වුවමනාය. ඉතිහාසය පුරා මොවුන් කළේ හවුලේ කෑමය. දේශපාලකයා සේ ම මේ ඉහළ තනතුරු පැළැන්තියද මේ රටේ විනාශයට වගකිව යුතුය. මේ රට දේශපාලකයා සේ ම මොවුහුද විනාශ කළෝය. ඒ මානසික පීඩාව නවත්වන්නටත් තව දීමනාවක් දීම සාධාරණද? මේ අයට ඇති අමුතු පීඩාවක් නැත. ඒ අය බලනුයේ ඇමතිට යන කොටසින් තමන්ට එන කොටසේ ප්‍රමාණය සැලකිලිමත්ද යන්නය. එසේ නොමැතිව පරිපාලන සේවයේ ඇති බරපතළ පීඩාව කුමක්ද? රාජකාරි විධිවිධාන අනුව විධානයක් දීම පීඩනයක්ද? මේ අයට ඇති භෞතික අවදානම් මොනවාද? පරිපාලන වැඩ ෆයිල් කරන එකද? කාට හෝ දඬුවම් දීම චක්‍රලේඛන මගින් දැනුම් දෙන කල එය ක්‍රියාත්මක කිරීම අවදානම්ද? නිවැරදිව සහ ඉක්මනින් කාර්යය කිරීම නිසා දීමනාව ලබාදිය යුතු යැයි කීම විහිළුවකි. සැවොම වැඩ කළයුත්තේ නිවැරදිව සහ කඩිනමින් නොවේද?

අල්ලේ පැළ කිරීම

මේ අය මේ සියල්ලට අමතරව ගෙන එන අමුතුම බොරුව නම් විශේෂ සැලකිල්ලක් නැති නිසා පරිපාලනයට එන පිරිස නැත්තටම නැතිවී ඇති බවය. මෙය මොනතරම් කෙප්පයක්ද? ආණ්ඩුවේ කැබිනට් මහත්තුරු ටික මේ බේගලය එලෙසම ගිලින්නේ ඇයි? මොවුන්ට ඉතා පහසුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ තොරතුරු ලබාගත නොහැකිද? 2016 පරිපාලන සේවයේ විභාගයට බඳවාගෙන ඇත්තේ 200 ගණනකි. ඒ සඳහා විභාගයට පෙනී සිට ඇති උපාධිධාරීන් ගණන 18,000කි. රාජ්‍ය සේවය ඇතුළින් විභාගයට මුහුණ දී ඇති පිරිස 4000කි. විභාගයට පෙනී සිටි මුළු ගණන 22,000ක්ය. එසේ නම් පරිපාලනයට එන පිරිස අඩුවී ඇත්ද? 200ක බඳවා ගැනීමකට 22,000ක් ඉදිරිපත්වීම උනන්දුව හීනවීමක්ද? 2017දී දෙතුන් සියයක් බඳවා ගත් අතර ඊට උපාධිධාරීන් 14,500කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇත. සාමාන්‍ය පිරිස 3000ක්ය. ඒ අනුව එවර විභාග යට පෙනී සිටි ගණන 18,000 කිට්ටුය. එසේ නම් කැබිනට් එකේ අයට මොළයක් නැද්ද? මේවා ඇත්තද? නැත්තද? සොයා බලන්නට.

කළ යුතු දේ

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ වැටුප් සේවා කොමිෂන් සභාවේ ලේකම්වරු තිදෙනා එකතුව කැබිනට් එකට වාර්තාවක් ලබාදෙනුයේ දීප ව්‍යාප්ත සේවාවන්වල විසමතාවන් සහ ඒවා ගොනුකර පොදු ක්‍රමවේදයක් සකසන ලෙසය. කැබිනට් එක එය කිරීමේ බලය වැටුප් කොමිෂන් සභාවට පවරනුයේ ඉන් අනතුරුවය. වැටුප් කොමිසම ඒ අයගේ නිර්දේශ ලෙස 6-2006 චක්‍රලේඛය වසර 11ක් පැරණි බැවින් ඒ නිසා 6-2006 චක්‍රලේඛය සවිමත් කර දීප ව්‍යාප්ත සේවාවල ගැටලු නිරාකරණය කිරීමට පොදු ක්‍රමවේදයක් සකසන ලෙසය. 2017 ඔක්තෝබර් මාසයේ කැබිනට් එක එය අනුමත කරනවා. එහෙත් දැන් එම පොදු ක්‍රමවේදය අහකට දමා ඉදිරි කෙටි කාලය ගොඩයෑම සඳහා අවශ්‍ය පිරිස සතුටු කරන තැනට තල්ලු වී ඇත. මෙයින් විශාල අවැඩක් වන බව කල්තියාම කිව යුතුව ඇත. මෙය ක්‍රියාත්මක කළහොත් කැබිනට් මණ්ඩලය ගත් අනුවණම ක්‍රියාවක් වනු නියතය. එය ප්‍රශ්න පත්තරයකට හේතුවන බවද කල්තබාම කිව යුතුය. උපාධිධාරීන් තොගයක් රැකියා නොමැතිව මහමග සිටිද්දී ආණ්ඩුව වරප්‍රසාදිත ඉතාම සුළු පිරිසකට වසරක බිලියනයක දීමනා දීම උමතුවක් නොවේද? මේ යහපාලනයේ යමපාලනම වැඩය. දැන් මෙය සිදුකරනවාද නැද්ද යන්න ආණ්ඩුවට අයත් කරුණකි. කැබිනට් එකේ වැඩකි. සුළු පිරිසකට සැපදී විශාල පිරිසක් දුකට පමුණුවනවාද යන්න සිතීමට තවමත් ප්‍රමාද නැතිය.