කවියෙක් රැඩිකල් වෙන්නේ පසුකාලීනව – කවි බස

දිමුතු ප්‍රදීප්

දිනී ජයසේකර

කවිය භාවිත විය යුත්තේ කවරාකාරවද?

මම පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි හැම නිර්මාණයක් ම රසවිඳීමෙන් පසුව පාඨකයා සමඟ යමක් ඉතුරු විය යුතුයි කියලා. ඒක කම්පනයක් වෙන්න පුළුවන්, අත්දැකීමක් වෙන්න පුලුවන්, වින්දනයක් සමඟ එන හැඟීමක් වෙන්න පුලුවන්. කවිය සම්බන්ධයෙන් වුණත් ඒක අදාළයි. ඒත් පාඨකයා කවිය කියවන්නේ වෙනත් හේතුවක් ඇතුව වෙන්න පුළුවන්. ඒක ලෝකය තේරුම් ගැනීම, තමා තේරුම් ගැනීම, සත්‍යය අවබෝධකොට ගැනීම, පවතින ක්‍රමයට විරුද්ධවීමක් වැනි ඕනෑ ම දෙයක් වෙන්න පුලුවන්.

කවියේ උපයුක්ත භාෂා රිද්මය සහෘද හදවත් ස්පර්ශ කළ යුක්තේ කෙසේද?

ඔබ මේ රිද්මය හැටියට හඳුන්වන දේ මුල් යුගයේදී ලීලාව, ලතාව, ලළනය නමින් හැඳින්වුණු දේ ම යි.
කවියේ අන්තර්ගතය විසින් රිද්මයක් ඉල්ලා සිටිනවා නම් ඒ ලබා දීමෙන් කවිය සාර්ථක කවියක් බවට පත්වෙනවා. සමහරක් කවි රිද්මයක් ඉල්ලා සිටින්නේ නැහැ, එවැනි වෙලාවක රිද්මයක් නැතිබව වුණත් රිද්මයක් වෙන්න පුලුවන්.
සිංහල භාෂාව ගීතවත් භාෂාවක්. භාෂාවේ මාත්‍රා සකස්වීම අනුව වචන පෙළගැස්වීමකින් රිද්මයක් ලබා ගන්න පුලුවන්. මේ රිද්මය කවියේ අර්ථ රසය තීව්‍ර කරන්න යොදා ගන්න පුලුවන්. සාම්ප්‍රදායික කවියක වගේ ම ලිහිල් කවියක වුණත් රිද්මයෙන් ප්‍රයෝජන ගන්න කවීන් ඕනෑතරම් ඉන්නවා.

කෝළඹ යුගයේ කවියත් නූතන කවියත් අතර ඇති වෙනස කුමක්ද?

කොළඹ යුගයේ කවිය විමසිය යුත්තේ ඒ යුගයේ සමාජ දේශපාලන වටපිටාව අනුව. ඒ නැතුව වෙනම ම කවි හැටියට නෙමෙයි. මේ යුගයේ කවිය ප්‍රථමයෙන් ඉෂ්ඨකරන්නේ ජාතික හැඟීම් ඇති කිරීමේ කාර්යභාරයක්.
ඊළඟට ගමෙන් නගරයට සංක්‍රමණය වුණ කවියන් කිහිපදෙනෙක් ගැමි සමාජයේ පුද්ගලයින් සහ සංසිද්ධීන් අනුභූති කරගෙන ගම ගැන ලියනවා. මේවා මානව දයාවෙන් වගේම රොමෑන්තික් බවෙනුත් පිරිපුන්. සමහරක් කවි ස්වභාවධර්මය වර්ණනා කරනවා. තවත් සමහරක් කවි ගැමි චර්යාව ස්පර්ශ කරන අතර ම ඒ සමාජ ප්‍රපංචයන් නිසා අගතියට පත්වී සිටින ගැමියා දෙසට මානුශීය ආලෝක ධාරා එල්ල කරනවා. මේ සමහරක් කවි තාමත් අපේ නූතන පරම්පරාවේ කවීන්ටත් නිර්මාණකරණයට උත්ප්‍රේරක සපයනවා.හැබැයි මේ කවි බොහොමයක් කරුණුමය ආකාරයෙන් ලියැවෙන කවි.
භාෂාව දෙසට නැඹුරුවුණු හෙළ හවුල ඊළඟ කණ්ඩායම හැටියට කොළඹ යුගයේ කවිය නියෝජනය කරනවා. පාඨකයා තමන්ගේ දැනුම මට්ටම නගාගෙන මේ කවිය රස විඳිය යුතුයි කියන මතයක තමා හෙළ හවුල හිටියේ. දෙස,බස,රැස සුරැකීමට කවිය අවියක් යැයි සැලැකීම හෙළ හවුලේ අරමුණ වුණා.හෙළ හවුලේ කවීන්ගේ සමහර කවි අති විශිෂ්ට නිර්මාණ. රැපියෙල් තෙන්නකෝන් කවියාගේ ”කුකුළු හැවිල්ල” මතකයට එන එක උදාහරණයක්.
කොළඹ යුගයේ නිසඳැස් කවි සමය ආරම්භවීමට පෙර සමයේ කවිය විරිත්, එළිවැට, එළිසමය ආදී සියලු දෙයින් සමන්විත විය යුතු වුණා. මේ සමග රිද්මය කවියේ අනිවාර්ය අංගයක්. කොළඹ යුගයේ අවසාන කාලයේ නිසඳැස ජනප්‍රිය වුණා. ඔබ මුලින් විමසූ රිද්මය මේ ගද්‍ය කාව්‍යවල දකින්න ලැබෙන්නේ නැහැ. බොහෝවිට බටහිර නිදහස් කවිවල ඌරුව මේ කවිවල පෙනෙන්න තිබුණා.තේමාත්මකව සමාජ ගැටලු කතා කිරීමට කවිය යොදා ගැනුණා.
මෙහිම දිගුවක් හැටියට නූතන කවිය පරිණාමයට පත්වෙනවා. දැන් බොහෝවිට රොමෑන්තික බව ගිලිහී ගිහින්. අද දිනයේ කවිය ගත්තම යම් මතවාදයක් ප්‍රකාශ කිරීමේ තැනින් ඉදිරියට ඇවිල්ලා කවිය කවියක් හැටියට ම පවතින්න ඉඩ ඇරපු බවක් පේනවා. මේක මම දකින විදිහට නම් ඉතාම හොඳ ප්‍රවනතාවක්.
ඒ අතර ම ආකෘතිමය රාමුවලට කොටු නොවී විවිධ අත්හදාබැලීම්වල යෙදෙන තරුණ පරපුරේ කවි කිවිඳියන් කිහිපදෙනෙකුත් අපට ඉන්නවා. භාෂාව මෙවලමක් කරගෙන අලුත් අලුත් යෙදුම් හදමින් මේ අය කවි ලියනවා.
කොළඹ යුගයේ සාම්ප්‍රදායික කවි ආකෘතිය තුළට හිර නොවී වුණත් රිද්මය බැහැර නොකර කවි ලියන අයත් ඕනෑ තරම් ඉන්නවා. කවි ගායනා කොට රසවිඳින මාධ්‍යයක් ඉඳන් කියවා රසවිඳින මාධ්‍යයක් බවට පරිවර්තනය වී ඇති බව නව පරපුර වටහා ගෙන තියෙන්නේ. අද කවියක ප්‍රධාන අංගය අර්ථ රසය, දෙවැනුව ශබ්ද රසය. කොළඹ යුගයේ මේකේ අනික් පැත්ත.

හැම වෙලේම අර්ථවත් කවි රචනා වෙන්නෙ වෙනවද?

නවක කවීන් අතින් වගේ ම ජ්‍යෙෂ්ඨ කවීන් අතින් පවා අර්ථවිරහිත කවි ලියැවෙනවා. මේ නිසයි නිර්මාණකරු අතහැර කවිය පමණක් රසවිඳිය යුත්තේ. මේ “අර්ථවිරහිත කවි” ගැන කතාව වැඩිවශයෙන් මතුවෙන්නේ සමාජජාල හරහා එලියට එන කවි නිසා. අතීතයේදී කවියක් පාඨකයා අතරට ආවේ යම් කිසි නියාමනයක් හරහා ගොස්. ඒත් දැන් තාක්ෂණික දියුණුව නිසා නිර්මාණයක් පාඨකයා අතරට වහා ම මුදාහැරීමේ හැකියාව තියෙනවා. මම නම් ඒ ගැටලුවක් හැටිය දකින්නේ නැහැ. කවියකුට තමන් ලියූ කවියක් පිළිබඳව වහාම ප්‍රතිචාර ලබා ගත හැකිවී තියෙනවා. මේ ක්‍රමයේ තියෙන එක ම ගැටලුව තමා කවියක ගුණ අගුණ වටහා ගැනීමේ දුෂ්කරතා ඇති අය අතරේ අවරගනයේ කවි සංසරණය වීමේ ප්‍රවනතාවක් ඇතිවීම.
රැඩිකල් කවියො කියන්නෙ මොනවගේ අයටද?
රැඩිකල් කවියෝ කියන්නේ අලුත් කාව්‍යමය ආකෘතීන් ගැන අත්හදාබැලීම් කරන අයට. මේ අත්හදාබැලීම් මගින් කවිය නවමගකට යොමුකරන අයට. හැබැයි කවියෙක් රැඩිකල් වෙන්නේ පසුකාලීනව. ඔහුගේ නිර්මාණවලින් ඔහු රැඩිකල් වෙනසක් ඇතිකළාට පසුව. අද මේ හැඳින්වීම ම ”රැඩිකල්” අදහස් ඉදිරිපත් කරන කවීන්ටත් යොදනවා.

ඔබත් රැඩිකල් කවියෙක්ද?

ඔව් සහ නැහැ. මම කවිය සමඟ පුංචි පුංචි අත්හදාබැලීම් කරමින් ඉන්නවා. ඒවා මහ විශාල දේවල් නෙමෙයි.ඒත් මේ දේවල් කවදා හෝ වෙනස්කමක් ඇති කිර්‍රීමේ ශක්‍යතාවක් නැති දේවල් නෙමෙයි. ඒ නිසා ඔව්.
මං තාමත් සාම්ප්‍රදායික කවිය අතහැරලා නැහැ. පාවිච්චිකරන්නේ පරණ මෙවලම් ම තමයි. මං වගේ ආධුනිකයකුට මට ම අනන්‍ය වෙච්ච ආකෘතියක් ගොඩනගා ගන්න තවම කල් මදි. මං ඒක හොයමින් ඉන්නවා. ඒ නිසා මං රැඩිකල් කවියෙක් නෙමෙයි.
ඒ කොහොම වුණත් මගේ රැඩිකල්බව තීරණය කළ යුත්තේ මම නෙමෙයි.