රාවය

වමට බරව, දකුණට ඇල වූ ‘මං කෙළින් මිනිහෙක්’

වමට බරව, දකුණට ඇල වූ ‘මං කෙළින් මිනිහෙක්’

සුදර්ශන සමරවීර

අසංක සායක්කාරගෙ අලුත් නාට්‍ය වන‘මං කෙළින් මිනිහෙක්’ හි මුල් දර්ශන වාර කිහිපයෙන් එකක් නරඹන්න පසුගිය දා අවස්ථාව ලැබුණා. මේ හදිසි සටහන ලියවෙන්නෙ ඒ නාට්‍යමය අත්දැකීම මගේ තථ්‍ය ජීවිතය සෙලවූ ආකාරය සැකෙවින් විස්තර කිරීමට.
මේ නාට්‍යයේ නමම අපේ රචනයේ අපබ්‍රංශමය සිරස්තලය තරමටම සංදිග්ධ සංඥාර්ථ හඟවන බව දැක ගන්නට නම් මේ නාට්‍යය බලන්නටම ඕන. ඒ ‘නාට්‍ය රසය’ නැතත් ඉන් ඇවිස්සූ තිත්ත රසෙහි අංශු මාත්‍රයක් හෝ කියාපාන්නයි මේ රචනයේ වෑයම. ඇත්තටම මෙවැනි නාට්‍යවල ඇත්තේ මොන රසයක්ද? ‘වැඩිහිටියන්ට පමණයි’ කෑලි ටිකකුත් තියෙන‘මං කෙළින් මිනිහෙක්’ කියන නාට්‍යයේ තියෙන්නෙ‘නාට්‍යාස්වාදනීය රසයක් නෙමෙයි’ කියා තේරෙන්නට වැඩි වෙලා නාට්‍ය දිහා බලා ඉන්නට නම් අවශ්‍ය නැත. මේ නාට්‍යයේ නම කියවන විට හමුවෙන හල්කිරීම් දෙකෙන් පළමු වැන්න ඉවත් කරල බැලුවාම එන්නෙ‘මං කෙළින මිනිහෙක්’. මේ නාට්‍ය පුරාම විහිදෙන්නේ ‘මං කෙළින් මිනිහෙක්’ කිය කියා‘අපිට කෙළින මිනිස්සුන්ගෙ’ දේශපාලනය. අපිට කෙළින මිනිස්සුන්ටත් අපෙන්ම කෙළවෙන හැටි ගැන කියන්නත් පුළුවන්. මේ සේරටම කලියෙන් අපි නාට්‍යයේ පසුබිම් කතාව නාට්‍යයේ කතා වින්‍යාසයේ පිළිවෙළින්ම සාරාංශකරණය කරගෙන ඉමු.
නාට්‍ය පුරාම ඉන්නෙ චරිත දෙකයි. කෙල්මන් නාගසිංහ සහ තක්ෂිලා. කෙල්මන් නාගසිංහ කියන්නෙ වමේ වෙසින් ඉන්න දකුණේ තන මත්තක් ගිලුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඒ නිසා මේ රචනයේ මුලදිම අවධාරණය කරන්න ඕන මේ නාට්‍ය ‘වමට ගහන’ නාට්‍යයක් නොව ‘වමට ගහන දකුණ’ ගැන යළි යළි කල්පනා කරන්නට බල කරන නාට්‍යයක් බව. තක්ෂිලා සරාගී තරුණියක්. ඇය නාගසිංහගෙ අනියම් ලිංගික සේවිකාව. වහලිය කියන්නත් පුළුවන්. එතකොට නාගසිංහ ඒ ලිංගික විෂයෙහිදී තවමත් වහල් යුගයේ වෙසෙන මාක්ස්වාදියෙක්. ඒ අර්ථයෙන් මෙවැන්නෝ වහල් යුගයේ සිට ධනවාදය දක්වා යුග විකාශනය තුළ මිනිසා සහ ගැහැනිය ළඟා කරගත් ඓතිහාසික ප්‍රගතිශීලිභාවයටවත් කිට්ටු නොවූ අය. ලංකාවේ ප්‍රගතිශීලි බහුතර පිරිමි තවමත් ලිංගික විෂයෙදි එහෙම තමයි. කොහොම වුණත් නාගසිංහලා ලංකාවේ දේශපාලනයේ දිශාව එහෙ මෙහෙ හැරවීමේ කාරක ශක්තියක් ඇති අය. නාගසිංහ ඉන්නෙ ආණ්ඩු පිළ තුළ. වමේ පක්ෂෙක ඉන්න ඔහුට අනෙක් මන්ත්‍රීවරුන්ට සාපේක්ෂව හිමි වෙන්නෙ බොහොම අඩු වරප්‍රසාද ප්‍රමාණයක්. ඒ නිසා ඔහු තමාගේ වාමාංශික දේශපාලනය බිල්ලට දීලා – රට හැදීම පැත්තකට දාලා – තමන්ගෙ බඩ වඩා ගන්නට විපක්ෂයට එකතු වෙන්නට තීරණය කරනවා. මේක නාට්‍යමය ප්‍රබන්ධයක් නෙමෙයි. අපේ දෛනික ලෝකයේ දේශපාලනයෙදි සුපුරුදු අත්දැකීමක්. නාගසිංහ විපක්ෂයට යන්න සූදානම් වෙන්නෙ විපක්ෂයෙන් තමාට ලැබීමට නියමිත කෝටි හතරක් වෙනුවෙන්. ඔහු ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යන අවස්ථාව ඉතා රහසිගතව සංවිධානය කෙරෙන්නක්. හදිසියේම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මුළු රටටම එළිදරව් කරමින් ආණ්ඩුව පෙරළා දමන්නටයි සූදානම. මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තියෙන්නෙ සුපිරි හෝටලයක පහළ මාලයේ. නාට්‍යයේ ක්‍රියාදාමයන් සිදු වෙන්නෙ ඒ හෝටලයේම ඉහළ මාළයේ කාමරයක.
මාධ්‍ය සාකච්ඡාවට කල්තියා ඉතා හොර රහසින් එම හෝටලයටම වී ආරක්ෂාකාරීව ඉන්නට නාගසිංහ තීරණය කරනව. ඔහු හෝටල් කාමරයක් වෙන් කරගන්නෙ තක්ෂිලා ලවා. ඇය නාගසිංහගේ ඇඳුම් සහ මාධ්‍ය සාකච්ඡාවට අවශ්‍ය කලමනා ආදිය රැගෙන විත් කාමරයේ සිටිද්දි වෙස් මාරු කරගත් නාගසිංහ කාමරයට ඇතුල් වෙනවා. නාට්‍ය ආරම්භ වෙන්නෙ මෙතැන් සිට. නාගසිංහට ලැබීමට නියමිත කෝටි හතරෙන් ලක්ෂ පහළොවක් තක්ෂිලාට ඇගේ මංගල උත්සවය ගැනීම වෙනුවෙන් දෙන්නැයි ඇය ඉල්ලනවා. නාගසිංහ එම ඉල්ලීමට නැමෙන්නේ නෑ. කෙසේවෙතත් නාගසිංහගේ ආණ්ඩු පෙරළි මාධ්‍ය සාකච්ඡාවට තව කාලය ඉතිරිව ඇති නිසා ඔහු තක්ෂිලා සමග ලිංගිකව හැසිරෙනව. තක්ෂිලා සුපුරුදු පරිදි නාගසිංහට ව්‍යාඝ්‍රා පෙති පොවනවා. එහෙත් ඇය අතින් පෙති මාත්‍රාව වැඩි වෙනවා(කරනවා). ඒ හේතුවෙන් නාගසිංහගේ ලිංග රාජයා සිංහ සෙයියාවෙන්ම ඉන්න ගන්නවා. එය ලිංගික උත්තේජනයට පත් වූ සෘජු ස්වභාවයෙන්ම දිගටම පවතිනවා. ඔහු කෙතරම් වෑයම් කළත් එය සාමාන්‍ය ස්වභාවයට පත් වෙන්නෙ නෑ. ඒ වෙනුවෙන් නාගසිංහ සහ තක්ෂිලා තෝරාගෙන අනුගමනය කරන ක්‍රියාමාර්ග ලංකාවේ වාමාංශික ව්‍යාපාර බොහොමයක අභ්‍යන්තරික ව්‍යාජ බව උත්ප්‍රාසවත්ව රූපණය කෙරෙනවා. තම ලිංගය මෙසේ ප්‍රාණවත්ව තිබෙද්දී නාගසිංහට තමා විපක්ෂයට එකතු වෙන මාධ්‍ය සාකච්ඡාව වෙත යන්නට බැහැ. ඔහු හද්ද අමාරුවක වැටෙනවා. කෝටි හතරේ වාසනාව තමාට අහිමි වෙතැයි නාගසිංහ ඉන්නෙ දැඩි බියෙන්. තමාට කළ හදිය ගැන තක්ෂිලා සමග නයි වෛරෙන් දැවෙමින්. හවස හතර වෙන්නට පෙර සිය ශිෂ්ණය සාමාන්‍ය තත්ත්වයට පත් කරගත යුතුයි. නැතිනම් අනාගත සියලු සැලසුම් කම්මුතුයි. ශිෂ්ණය අයිස් වතුරෙන් නෑවීම, ඉන් ලේ පයින්ටුවක් ගැනීමට උත්සාහ කිරීම, භාවනා කිරීම ආදී නොයෙක් ක්‍රම අත්හදා බැලුවත් නාට්‍යාවසානය දක්වාම එය ඉටු කර ගන්නට ලැබෙන්නේ නෑ. ඒ නිසා ආණ්ඩු පෙරළිය නවතිනවා. නාට්‍ය අවසානයෙදි එළි වෙන්නෙ තක්ෂිලා විසින් ඉල්ලූ රුපියල් ලක්ෂ පහළොව දෙන්නට නාගසිංහ අකමැති වූ නිසා ඇය විසින් මෙය හිතාමතාම සැලසුම් කොට ඇති බව. ඇය ආණ්ඩුවට නාගසිංහව පාවා දී තිබෙනවා. ලිංගික වහලිය සේ මෙතෙක් හැසිරුණු තක්ෂිලා මේ සියල්ල නාගසිංහ වෙත ඉතා ආවේගශීලි ලෙස එළිදරව් කරන්නෙ ඔහුට රතු කමිසය ඇන්දීමට කියා ව්‍යාජයක් පාමින් ඔහුගේ අත් ගැටගසා ඇඳටද බැඳ දැමීමෙන් අනතුරුවයි. ලිංගික ක්‍රියාවලදී ඔවුන් විසින් භාවිත කරන කෙළි බඩුවක්ද නාගසිංහගේ මුවේ ඔබනවා. නාගසිංහව පාවා දීම නිසා ඇය නාගසිංහගෙන් ඉල්ලූ ලක්ෂ පහළොව වෙනුවට ලක්ෂ විස්සක්ම ඇයට ආණ්ඩුවෙන් ලැබෙනවා. ඉන් සිය මංගල්ලය ජයටම කරන්නට ඇය පාරමී පුරනවා. ඒ අතරේ සියලු අපේක්ෂා සුන් කරගත් නාගසිංහ සමග ඇය සිය ජංගමයෙන් සෙල්ෆියක් ගහනවා. සයික්ලොරාමා බිත්තියේ රාමු කොට පෙන්වන ඒ සෙල්ෆියේ පින්තූරයත් සමග නාට්‍ය අවසන් වෙනවා. ශිෂ්ණයක් සහ ආණ්ඩුවක් අතර ඇති ව්‍යුහමය සම්බන්ධය ගැන කියවෙන මේ නාට්‍යය අපේ දේශපාලනයේ ධනවාදී ගෝස්තරකම් පිළිබඳ රූපකමය ගොඩනැංවීමක් සේ සංකීර්ණ ප්‍රවේශයකින් කියවන්නත් බැරි නැහැ.
අපි ඉතා හදිසියෙන් එහෙන් මෙහෙන් නාට්‍යයේ කතාව මෙසේ සාරාංශ කළත් එය නාට්‍යයේ රසවින්දනය බිඳ දමන්නක් බව මම පිළිගන්නවා. එය සාධාරණ ලෙස කරන්නත් බෑ. කෙසේවෙතත් මේ නාට්‍ය ඉතා කඨෝර රිද්මීය තානයකින් ගලායන්නක්. නාට්‍යයේ කතාව මෙන්ම දෙබස් සහ සංසිද්ධිමය ගොඩනැංවීම් ආදී සියල්ලත් එහෙමයි.
නාට්‍ය කියවීම සඳහා ප්‍රවේශයක් ලෙස මේ නාට්‍යයේ ‘වැඩිහිටියන්ට පමණයි’ යන ලේබලය සහ ‘පුංචි තියටර්’හි පෙන්වීම පවා භාවිත කළ හැකියි. පුංචි තියටරය ඉතා කුඩා නාට්‍යාගාරයක්. පාත්‍ර වර්ගයා සහ ප්‍රේක්ෂකයෝ අතර ඒ තරම් දුරස්ථභාවක් ඇති වෙන්නෙ නෑ. නාට්‍යයේ ශෛලියත් බෙහෙවින්ම තාත්වික නිසා අපිත් ඉන්නේ ඒ නාට්‍යයේ චරිත අතරේම බව දැනෙනවා. නාට්‍යයේ නිරූපණය වෙන්නෙත් අපේ දෛනික ලෝකයේ දේශපාලන යථාර්ථයේ පැතිකඩක් නිසා අපි ඉන්නෙත් ඒ යථාර්ථ තලයෙමයි. ඒ නිසා මේ නාට්‍යමය අත්දැකීම තුළ සිද්ධ වෙන්නෙ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගෙ රංග රීතියට පරස්පර දෙයක්. මේ අපි අතරෙම සිදු වන සජීවී සිදුවීමක් වගේ දැනෙනවා. අපේ සියලු ඉන්ද්‍රියයන් වෙත නාට්‍යමය අත්දැකීම සංජානනය වෙනවා. විටෙක අපි නාට්‍ය තුළ සිටින්නා සේද විටෙක නාට්‍යමය අත්දැකීම අපේ ලෝකයේම සිද්ධ වෙන්නා සේද හැඟෙනවා. ඇත්තටමත් මේ නාට්‍යයේ සිද්ධ වෙන්නේ අපි ඉන්න ලෝකයේ ඇත්තටම සිදු විය හැකි – සිදු වන දේවල් තමයි. ඒ නිසා මේ වගේ සෘජුවම අපේ දේශපාලන සංස්කෘතිය විචාරයට හසු කරගන්නා නාට්‍යයක් පෙන්වන්නට පුංචි තියටරය වැනි කුඩා ඉඩක් ඇති නාට්‍යාගාරයක් කදිමයි.
‘වැඩිහිටියන්ට පමණයි’ ලේබලයත් සහිතව අපේ ලෝකයේ සිදු වන දේ අපි ඉස්සරහදිම විශාලනය කර පෙන්වන ‘මං කෙළින් මිනිහෙක්’ නම් නාට්‍යය‘වමට බැට දෙන’ නාට්‍යයකැයි බොහෝ අය දැනටමත් සංවාදයක් ආරම්භ කරමින් තිබෙන බව සයිබරයේ රවුමක් ගියත් ආරංචි වෙනවා. ඒත් අපි නාට්‍යයට ඊට වඩා ටිකක් සංකීර්ණව එළඹෙන්නට අවශ්‍යයයි.
මේ නාට්‍යයේ අන්තර්ගත කතාව අපි දැනටමත් දන්නවා. ඒ කතාව ව්‍යුහනය වෙලා තියෙන්නෙ ප්‍රහසනයක් විදියට. චරිත මුහුණ දෙන අත්දැකීම් හාස්‍යය උපදවනවා. ප්‍රේක්ෂක මුවට සිනා නංවනවා. භාෂාවත් අවලම් මෙන්ම විහිළුකාරී බවකින්ද යුතුයි. බලධාරී කොටු දැමිය යුතු නැතත් ‘වැඩිහිටියන්ට පමණය’’ කෑලි ටිකක්ද අඩංගුයි. කතාවේ ප්‍රධාන චරිතය වගේ පේන නාගසිංහගෙ ඉරණම ඛේදජනකයි. ඒ ඛේදය නාගසිංහගෙ විතරක් නෙමෙයි සමස්ත සමාජයටම ගෙනෙන්නෙ ශෝකාන්තයක්. ඒ නිසා මේ නාට්‍යය ප්‍රහසනමය ශෝකාන්තයක්. ලිංගිකමය ප්‍රහසනයක්. දේශපාලනික ප්‍රහසනයක්. දේශපාලනික ශෝකාන්තයක්. මීට වෙනස්වත් මොන විදිහකින් හරි කෙනෙක් මේ නාට්‍ය හඳුන්වලා දුන්නට වරදක් නෑ. නාට්‍ය පිළිබඳ කතිකාව අපි එවැනි බහුවිධ ප්‍රවේශ වෙත විවර කරගත යුතුයි.
ආයෙමත් කියනව නම් මේ නාට්‍ය‘වමේ නෛසර්ගික අවුලක්’ ගැන කතිකාවක් නෙමෙයි. දක්ෂිණාංශ උපක්‍රමික දේශපාලනයේ ගොදුරක් වූ ‘වම’ ගැන කතිකාවක්. වම මෙවැනි ඉරණමකට තල්ලු කළ අපි මේ මොහොතේ ජීවත් වෙමින් සිටින ලංකාවේ දේශපාලන සංස්කෘතියේ සැකැස්ම පිළිබඳ ගැඹුරු සංවාදයකට අපිව ඇහැරවීම පිණිස කිති කවන්නක්.
රටක ආණ්ඩු පෙරළියක් යනු කාන්තාවක් හා පිරිමියෙක් ලිංගිකව එක්වීම වැනි යමක් නොවේ. මේ අඩවි දෙකක්. දේශපාලන ව්‍යාපාර තියෙන්නෙ ‘පවුල් පන්සල්’ වගේ ව්‍යුහවලට වඩා උත්තර නිර්මිත තලයක. දෙන්නෙක්ගෙ ලිංගික ක්‍රියාවලිය මිනිසාගේ පෞද්ගලික අඩවියට අයිති දෙයක්. (එය කුමන සංස්කෘතිකමය කොන්දේසි මතින් සුසැදී තිබුණත්.) එහෙත් රටක පාලන තන්ත්‍රය සමග සෘජුව සම්බන්ධ වෙන ආණ්ඩුවක කෙරුවාව ලිංගික අඩවියෙන් ස්වායත්ත සංසිද්ධියක්. එහෙත් මේ නාට්‍යයේ එළිදරව් වෙන්නෙ ලිංගික ගනුදෙනුව රාජ්‍යයක පාලන බලය හසුරුවන්නට දායක වන ආකාරය.
අපි කන බත් කටක සිට ඇඳේදී කරන දේවල් දක්වා සියල්ල වෙළෙඳපළ ලිබරල්වාදය විසින් ඉතා සූක්ෂ්ම ලෙස හසුරුවමින් තියෙන බව අපි අත්දකිනවා. නාගසිංහ ආණ්ඩුව පාවා දී එය පෙරළා දමන්නට හවුල් වෙන්නෙ රටේ දේශපාලනික වෙනසක් අපේක්ෂාවෙන් නෙමෙයි. ඉන් ලැබෙන ගතමනාවෙන් හොඳ ගෙයක් ගන්නට. වාහනයක් මිලට ගන්නට. ළමයින්ට රට යවා උගන්වන්නට. අපේ බොහෝ දේශපාලනඥයන් ‘දේශපාලනයේ’ නිරත වන්නේම මේ නව පාරිභෝජනවාදී ජීවිතයේ මිහිරියාව විඳින්නට වස්තුව රැස්කර ගන්නටයි. තක්ෂිලාගේ වෑයමද නව ලිබරල්වාදයේ ඉස්මත්තේ හමුවෙන සංසිද්ධියක් වන ‘විවාහ මංගල උත්සවය ගැනීම’ වෙනුවෙන් තම සිරුර ආයෝජනය කිරීමක් බව ඇඟවෙනවා. නව ලිබරල්වාදී ව්‍යාජ මඩ ගොහොරුවේ ස්වභාවය කදිමට මෙහි නිරූපණය වෙනවා. මාක්ස්වාදී දේශපාලනයේ සැබෑ අරමුණ මේ ව්‍යාජ පරිභෝජනවාදයෙන් ජනතාව මුදවා ගැනීම පිණිස සමාජයේ විඥානය ඇවිලවීම. ඒ ඇසුරින් සාධාරණ විකල්ප සමාජයක් ඇති කිරීම. මෙය ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති අනවරත අරගලයක්. අප ගතකරමින් ඉන්නා, අසාධාරණ ලෙස ඉතා සුළු පිරිසකගේ සුබ සිද්ධිය උදෙසා පමණක් ධනය බෙදෙන ක්‍රමයක් නඩත්තු කරන රාජ්‍ය ක්‍රමය පෙරළා දමා වඩාත් යහපත් ලෝකයක් තැනීමේ කාරක ශක්තිය තියෙන්නෙ වාමාංශික දේශපාලනයට බව ඉතිහාසය සාක්ෂි දරනවා. මේ එය පැහැදිලි කිරීම පිණිස මාක්ස්වාදී න්‍යාය විස්තර කරන්නට වෙලාවක් නොවේ. අඩුතරමින් මේ කාලකණ්ණි සමාජ ක්‍රමයට විකල්ප සමාජයක් ගොඩනැගීමේ අදහසක් හරි තියෙන්නෙ අප ‘වම’ කියා හඳුන්වන දේශපාලන ව්‍යාපාරවලට බව සැක නැතිව අපි දන්නවා. එම ව්‍යාපාරවලට අද අත්වන අවසානය එම ව්‍යාපාරවල ඉලක්කගත සමාජ ක්‍රමය ගොඩනැගීමක් නොව එහි පරස්පර ධනවාදයේම ගිලී යාම බව තේරුම් ගන්නට මෙවැනි නාට්‍යය අවශ්‍යයත් නැහැ. සමාජයේ වෙනස වෙනුවෙන් අරගල කරන වාම ව්‍යාපාරවල සාමාජිකයන්ගෙ ජීවිත ඉතා ශෝකජනක ලෙස නරුම ධනවාදී පරිභෝජනවාදය විසින් ඩැහැගන්නවා අපි ඇස්පනාපිට දකිනවා. මේක මාක්ස්ගේ, එංගලස්ගේ, ලෙනින්ගේ, චේ හෝ කැස්ත්‍රෝ ආදීන්ගේ අවුලක් හෝ කොමියුනිට් ප්‍රකාශනයේ අවුලක් නොවේ. අපේ දේශපාලන සංස්කෘතික තර්කණයේ අවුලක්. අප එය අවුලක්ය කීවාට එය, ලිබරල් ධනවාදයේ පැතුම සඵලවීමක්. මේ ධනවාදයේ ප්‍රාර්ථනා මුදුන්පත්ව දිනෙන් දින මල් පිපී එන්නේ එම ක්‍රමයේම ඇති සූක්ෂ්මතාව නිසා මිසක වාමාංශික අදහස්වල ඇති දෝෂ නිසා නොවේ. වම සමග දකුණේ අරගලය දැන් සමාජ ව්‍යුහයේ පොදු අවකාශයක නොව නිදන ඇඳේ පවා ක්‍රියාත්මක වන හැටි මේ නාට්‍යයෙන් පෙනෙනවා. ඒ නිසා වමේ ව්‍යාපාරය හුදු ‘ආර්ථිකය’ හැසිරවීම සම්බන්ධ අරගලයක් විතරක් නෙමෙයි. ආදරය කිරීම, ලිංගික සම්බන්ධතා ආදී වූ සංස්කෘතික සංසිද්ධි පවා අදාළ වන්නක්. ඒ නිසා දැන් වමේ අරගලයත් මේ සංස්කෘතික සංසිද්ධි ප්‍රතිව්‍යුහගතකරණය කරගත යුතුයි. ධනවාදයේ සූක්ෂ්ම උගුල් සේ මේ පවුල, ලිංගික සම්බන්ධතා ආදිය යොදාගත හැකිවෙලා තියෙන්නෙ නම් ‘වම’ එකී ව්‍යුහ මනුෂ්‍යයගේ ස්වභාවික ගොඩනැංවීම් ලෙසම සලකන නිසා. ඒ නිසා වමත් මේ සංස්කෘතික ප්‍රපංච යළි ගොඩනගන්නට ඕන.
පවුල, ආගම, ජනමාධ්‍ය, පාසැල් සහ විශ්වවිද්‍යාල, රාජ්‍ය ආයතනික ව්‍යුහය සහ කලාව ආදී නොයෙක් ව්‍යුහමය සංසිද්ධි මගින් පවතින මජර ක්‍රමය ප්‍රතිනිෂ්පාදනය කෙරෙන බව අපි දන්නවා. ලුවී අල්තූසර් වැනි පශ්චාත් මාක්ස්වාදී දාර්ශනිකයො ඒවට කිව්වෙ රාජ්‍යයක දෘෂ්ටිවාදීමය උපකරණ කියලා. තව හමුදාව, පොලීසිය, අධිකරණය වැනි මර්දනීය උපකරණත් තියෙනවා. සෘජුවම පවතින ක්‍රමය ආරක්ෂා කරන්නට කැපවුණ. ඒවට ඔවුන් කියන්නෙ මර්දනීය උපකරණ කියලා. ධනවාදය කියන්නෙ නිරන්තරයෙන් යාවත්කාලීන වන දෙයක්. බැලූ බැල්මටම අපිට පෙනෙනවා ‘ලිංගික සම්බන්ධයක්’ කියන්නෙ රාජ්‍ය ක්‍රමය ප්‍රතිනිෂ්පාදනය කිරීමේ උපකරණයක් නෙමෙයි කියලා. ලිංගික සම්බන්ධකම් ඕනෑම මනුෂ්‍යයකුට පොදුයි. හැබැයි පෞද්ගලිකයි. එය ඉතිහාසයේ ඉඳලම සාපේක්ෂව නිදහස් දෙයක්. නමුත් ඉතාම සියුම් ලෙස පවතින ක්‍රමය ප්‍රතිනිෂ්පාදනය කරන්නට ‘පවුල’ නම් පෞද්ගලික අඩවියටත් වඩා මනුෂ්‍යයගෙ ඇඟ අස්සටම යන්නට ධනවාදය සමත් වී ඇති ආකාරය මේ නාට්‍යයෙන් අපට පෙනෙනවා.
සිය ලිබරල් ගාමක ශක්තියට අභියෝග කරන්නට තරම් වමට බලයක් නැතැයි සිතෙන මෙවැනි යුගයක පවා ධනවාදය සිය අරගලය යාවත්කාලීන කරමින් ඉන්න බවයි මේ නාට්‍යයේ ඉතා පැහැදිලිව පෙන්වා දෙන්නෙ. මනුෂ්‍ය ලිංගේන්ද්‍රිය පවා ධනවාදයේ ගමන වෙනුවෙන් උපකරණයක් සේ භාවිත කිරීම ඉන් අදහස් වෙනව. අල්තූසර්ට අනුව යමින් සායක්කාරගේ ‘මං කෙළින් මිනිහෙක්’ නාට්‍ය ඇසුරින් අපට මෙවැනි තර්කයක් ගොඩ නගන්නට පුළුවන්; පවතින ධනපති රාජ්‍ය ක්‍රමය ප්‍රතිනිෂ්පාදනයේ උපකරණයක් සේ ලිංගේන්ද්‍රිය ක්‍රියා කරවන්නට එම ක්‍රමයට පුළුවන. එය රාජ්‍ය මර්දනීය උපකරණයක ඇති භෞතික මුහුණුවරින්ද දෘෂ්ටිවාදීමය උපකරණයක සේ අදෘෂ්‍යමාන මුහුණුවරකින්ද එකවර ක්‍රියා කරයි.
මේ නාට්‍ය ඇසුරින් අපට එළඹිය හැකි අවසාන නිගමනය ඒක නෙමෙයි. නාට්‍යයේ තේමාත්මක තලයෙදි අප මතු කරගත යුතු යුත්තෙ මේ ධනවාදයේ යාවත්කාලීන වන උපක්‍රමශීලීභාවයන් වෙත වම ඇහැරවමින් වමද යාවත්කාලීන විය යුතු බවට යෝජනා කිරීමයි. එය වම ප්‍රතික්ෂේප කිරීමක් හෝ වම අහෝසි කිරීමක් නෙමෙයි. වාම ව්‍යාපාර වඩාත් සබුද්ධික ලෙස මෙම ක්‍රමයේ අනතුරුවලට මුහුණ දෙමින් විප්ලවයට පසුබිම සකස් කරගැනීමයි. ඒ අර්ථයෙන් මේ නාට්‍ය වාමාංශික අරගලයේම ඉස්සරහට තබන පියවරක්. වම අභියෝගයට ලක් කරන නාට්‍යයක් ලෙස නොව වමට ඇති අභියෝග වෙත වමම ඇහැරවන නාට්‍යයක් ලෙස කියවාගත යුත්තක්. මෙය අපට මේ මොහොතෙදි අත්‍යවශයෙන්ම තිබිය යුතු සංවාදයක්.
මේ නාට්‍යයේදි සිද්ධ වෙන්නෙ නාගයෝ හෝ සිංහයෝ වාමාංශික කෙලමන්ලා බවට පත් වීමක් නෙමෙයි. වාමාංශික කෙලමන්ලා ධනවාදයේ ‘නාග’ සහ ‘සිංහ’ වෙස් ගැනීමක්. මේ නව ලිබරල් ධනවාදයේ මාරාන්තික උගුලක්.
‘ශිෂ්ණයක්’ සහ ‘ආණ්ඩුවක්’ අතර සම්බන්ධය ගැන කියවෙන මේ නාට්‍යය ලංකාවේ වාමාංශික ව්‍යාපාර වෙත දැඩි විරෝධය එල්ල කරන්නකැයි ප්‍රේක්ෂකයාට එක්වරම හැඟීයාම වරදක් නැහැ. නාට්‍යයේ ශෛලිය සහ ප්‍රහසන නාට්‍ය ශානරීය ලක්ෂණ නිසා එවැනි මතුපිටක් නාට්‍යයේ තියෙනවා. ඒ නිසා නාට්‍යයේ ඇතැම් තැන් වඩාත් සියුම් ලෙස පිරියම් කරන්නට සායක්කාර තව උත්සාහ කරන්නේ නම් හොඳයි. නාට්‍යයේ තාක්ෂණික මානයන් සහ තේමාත්මකය ගැන සවිස්තරාත්මක සාකච්ඡාවකට මේ රචනය තුළ ඉඩහසරක් නෑ.
කොහොම වුණත් මේ නාට්‍ය ගලායාමේ රිද්මීය තානය (ටෙම්පො එක කියමුකො) තව ටිකක් ලලිතවත් කළා නම් නාට්‍යමයත්වය තවත් තිව්‍ර වෙන්නටත් නාට්‍යයේ තේමාත්මක මානය වෙත ප්‍රේක්ෂක ළය තෙත් වන්නටත් හැකියි කියා හිතෙනවා. ඒ සඳහා ලිංගිකමය දර්ශන තව ටිකක් සුමටව – සුලලිතව – සංගීත්වත්ව ගොඩනැංවීම වගේම නාට්‍යයේ දෙබස් වෙත ‘මනුෂ්‍යත්වය’ කැවීම වගේ සියුම් උපක්‍රම පාවිච්චි කරන්නත් පුළුවන්. ‘භාෂාවට මනුෂ්‍යත්වය කැවීම’ කියන්නෙ දෙබස්වල වචනවල ඇති සැර බාල කිරීමක් නෙමෙයි. නාට්‍යමය සන්දර්භයට අදාළ වන සේ ඒ ඒ භාවාත්මක මොහොතවල් ජනනය වන ලෙස භාෂාව හැසිරවීමයි. සාමාන්‍යයෙන් නාට්‍යයේ භාෂාත්මක රිද්මය එකම තානයකිනුයි ගලා යන්නේ. අනිත් එක, කෙලමන් නාගසිංහ අවුරුදු 60 පැනපු චරිතයක් බව නාට්‍යයේ දෙබස් මගින් ගම්‍ය වෙනවා. කෙලමන්ගේ චරිතය රූපණය කෙරෙන ආකාරය ඊට සරිලන සේ තව ටිකක් මහලු කළා නම් නාට්‍යය තවත් ආකර්ෂණියද ප්‍රේක්ෂකයාව අවුළුවනසුළුද වෙන්නට පුළුවන්. කෙසේවෙතත් කැලුම් ගම්ලත්ගේ හා සමිත සුධීෂ්වරගේ රංගනය අගය කළ හැකියි.
අවසාන වශයෙන්, සායක්කාර අපව පුංචි තියටරයට කැඳවා අපට පෙන්නුවේ අපි එදිනෙදා දකින යථාර්ථයේ කෑල්ලක්ම වුවත් ඒ මායාකාර යථාර්ථය වෙනස් කරන්නට ‘වාම පරිකල්පනය’ අවුළුන පොහොසත් චින්තා වෙත අපව උසිගන්වනු ලැබූ බව කියන්න ඕන. වමට බරව, දකුණට ඇල වූ ‘මං කෙළින් මිනිහෙක්’ කියන්නෙ ව්‍යාකරණානුකූලවත් වැරදි යෙදුමක් තමයි. එහෙත් දැන් පවතින වමත් එසේ පැවතිය නොහැකි යමක් නේද? එය යළි සකසාගත යුත්තක්.