පැණි සාගරයක වන් මිනිසකුගේ කිතුල් මුල් පුවත

දයා නෙත්තසිංහ

ලන්දේ, දෙනියේ, කැලෑවේ සෝමේ මාමා ඇවිද යනවිට කිතුල් ගස් භීතියෙන් වෙව්ලා යයි. පලා ගොස් සැඟවෙන්නට හැකියාවක් තිබුණේ නම් මේ ගමේ එක කිතුලක්වත් වාසය කරන්නේ නැත. එහෙත් මේ මිනිසා කිතුල් ගසක් යටින් ගියත් කිතුලකට හඬන්නට හේතු තිබුණේය. ඒ අතින් නම් මේ මිනිසා වෙනුවෙන් නොහඬා සිටි කිතුල් මණ්ඩියක් මේ ගම්තුලානේ නැත. සෝමේ මාමා කිතුලට නගින තුරු වෙරිමතෙන් මෙන් වැනි වැනී ඇඹරි ඇඹරී සිටි කිතුල් ගස් සෝමේ මාමා කිතුලෙන් බැස ගිය පසුව කෙළින් කටින් හිටගත්තා වැනිය. ඊට පසුව වැනෙන්නේ සෝමේ මාමාය. කිතුලේ වෙරිමත රා පොල් කටු දෙක තුනකින් තමන් සතු කරගත් හේ තෙලිදිය බිඳකුදු මගතොට නොසලා ගෙදර උන්දැට ගෙනැවිත් දුන්නේය. තෙලිදිය හෙවත් ‘තෙලිජ්ජ’ කිතුල් පැණි බවට පත් කළේ ඇයය. එහෙත් දැන් ඒ කාලය ගෙවී අවසන්ය. කිතුලෙන් උපයා ගත් සෑම පැණි කඳුළකටම සාධාරණය ඉටු කළ මේ මිනිසා දකින කිතුල් ගස් අතුසොලවන්නේ සුළඟ නිසා නොවේ. සෙන්පතියකුට සෙමෙර සලන්නා සේ ආචාර කිරීමට විය යුතුය. කිතුල් ගස් කොපමණ උස වුවත් ඒ සියල්ලම මේ මිනිසාට පැරදුණු ඒවාය. මේ මිනිසාගේ ධෛර්යය සම්පන්නභාවය ඉදිරියේ ඒවා බොහෝ සෙයින් කුඩාය.

මුණිපැල

ගං හේවගේ සෝමදාස හෙවත් සෝමේ මාමාගේ ගම් පළාත කටුවන ‘මැදකන්ද’ය. සුළං කපොල්ල පාමුල, ඔහුගේ නවාතැනය. කිතුල් මැදීමේ කලාවේ පරතෙර දන්නා මේ අප්පොච්චි දැන් නම් රස්සාව කරන්නේ නැත. මීට වසර හත අටකට පෙර දවසක කිතුල මුල මල් පිහිය තබා දණ ගසා වැඳ කිතුල් මැදීමේ රස්සාවට ආයුබෝවන් කීවේය. කිතුල් මල් තැලීම කලාවක්, කර්මාන්තයක් සේ ම ඒ හා බැඳුණු සංස්කෘතියක්ද තිබුණේය. සෝමේ මාමා කිතුල් මල් තැලීමේ කර්මාන්තයට සමුදුන්නේ ඊට ඇතිවූ අකමැත්තක් නිසා නම් නොවේ. කිතුල් ගස් නැගීමට ප්‍රමාණවත් තරම් ශක්තියක් නැති බවට ශරීර අභ්‍යන්තරයෙන් ලැබුණු පණිවුඩ නිසාය. එනමුදු කිතුල් කර්මාන්තය සමග බැඳුණු ‘බුදු කුස්සිය’, නිමවන්නා සෝමේ මාමාය. ජනප්‍රවාදයේ එන ‘බුදු කුස්සිය’ නම් තුන්තේරවිල්ලට අනුව බුදු නම් ‘මුනිය’ කුස්සිය නම් පැල ය. ‘මුනිපැල පද පෙරලූ විට ‘පැණි මුලය.’ පැණි මුල හෙවත් පැණි ගොට්ට ගැසීම රැකියාවක් ලෙස කරන එකම තැනැත්තා ඇතැම්විට සෝමේ මාමා විය හැකිය. මීට වසර දහයකට පහළොවකට පෙර නම් මැදකන්දේ පැණිගොටු ගැසිය හැකි පරම්පරාකාරයෝ හත්අටදෙනකු සිටියත්. අද ඒ කිසිවකු නැත. පැණි ගොටු ගැසීම රැකියාවක් ලෙස කරන අන්තිම පරම්පරාවේ අන්තිම පුරුක ඇතැම්විට සෝමේ මාමාද විය හැකිය.

කිතුලේ ආචාරය

පැණිගොටු හෙවත් පැණි මුල් නිමවීම රැකියාවක් ලෙස තෝරා ගැනීමට සෝමේ මාමාට සිදුවූයේ ඔහු එහිපරතෙර දන්නා නිසාම නොවේ. වෙනත් කිසිවකු ඒ රැකියාවෙහි නොයෙදෙන නිසාද නොවේ. ඊට පිළිතුරු සොයාගත යුත්තේ සෝමේ මාමාගේ ජීවිත කතාවට ඇහුම්කන්දීමෙනි.
“මගේ තාත්තා ගංහේවගේ අල්විස්. අම්මා බේබිහාමි. මට අවුරුදු හතේදී තාත්තා කිතුල් ගහකින් වැටිලා එකතැන් වුණා. තාත්තට සාත්තු සප්පායම් කරන්න ඕන නිසා මට ඉස්කෝලේ යන්න විදියක් තිබුණේ නෑ. අම්මට නංගි බලාගන්න සිද්ධ වුණා. මමයි, නංගියි විතරයි අපේ පවුලට හිටියේ. මට අවුරුදු 12දි විතර තාත්තා මැරුණා. තාත්තගේ පරම්පරාවේ කවුරුත් කිතුල් මැදීම තමයි රස්සාව විදියට කරලා තිබුණේ. තාත්තා මැරුණට පස්සේ මට ඒ රස්සාව කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ. තාත්තගෙන් දැනගත්ත දේවල් එක්ක මම කිතුල් මදින්න පටන් ගත්තා. ඒ අතරේ පට්ටලේ ලී ඉරන රස්සාවක් කළා. ඔය අතරේ තමයි කසාද බැන්දේ. ඊට පස්සේ ඉතිං වෙනදට වැඩිය මහන්සි වෙන්න සිද්ධ වුණා. දවල්ට ලී ඉරන්න ගියා. මැද්ද කිතුල්වල පැණි මුල් ගහලා පොළට ගෙනිච්චා. පැණි ගොටු ගහලා ඒවත් ගෙනිච්චා. අපිට දරුවෝ හයදෙනෙක් ඉන්නවා. දූලා හතරදෙනයි පුතාල දෙන්නයි. මේ කවුරුත් උස් මහත් කළේ, ඉස්කෝලේ පිටත් කළේ කිතුල් මැදලා ලී ඉරලා උපයගත්ත මුදල්වලින්. ඔය අතරවාරේ දෙපාරක් කිතුල් ගස්වලින් වැටුණා. වාසනාවකට වගේ කොන්ද අතපය කැඩුණේ නෑ. එකපාරක් වැටුණේ වගුරකට. තව පාරක් කොහිල ගාලකට වැටුණා. ඒ කාලේ හාමිනේ කුලී වැඩ කරලා තමයි ගෙදර අඩුපාඩු පිරිමහ ගත්තේ. වෙදකම්වලින් පස්සේ ආයිත් කිතුල් මදින්න පටන් ගත්තා. හාමිනේ නැතිවුණා. මම විතරක් වුණා. දරුවෝ කසාද බැඳලා පවුලෙන් වෙන් වුණා. තුන්දෙනෙක් මගේ ගෙවල් කිට්ටුව ඉන්නවා. අනිත් අය ඉන්නේ ටිකක් දුර පළාත්වල. කිතුල් මැදලා, පැණි ගොටු ගහලා, ලී ඉරලා දරුවන්ගේ කටයුතු කරලා දුන්නා. දැන් ඉතිං මම ඒ අයට බරක් නොවී තනියම ජීවත් වෙනවා. දැන් කිතුල් ගස් නගින්න බෑ. ඒක නිසා තමයි කොළපතෙන් පැණි ගොටු ගහන රස්සාව තෝර ගත්තේ. තුන්වැනි සැරේට කිතුල් ගහකින් වැටුණට පස්සේ තුනටියේ අමාරුවක් හැදුණා. ඊට ටික කාලෙකට පස්සේ තමයි කිතුල් මදින එක සම්පූර්ණයෙන්ම නැවැත්තුවේ.” එතැන් සිට මේ අදවන තුරුත් මැදකන්දේ පැණි ගොටු ගසන්නා සෝමේ මාමාය.
කිතුල් පැණිවල මිහිර සොයන කිසිවකුට මේ මී මැස්සන්ගේ කටුක සහ අමිහිරි අත්දැකීම් මුණගැසී තිබේද? කිතුල් ගස් තුනකින් බිමට පත බෑවුණු මේ මිනිසාගේ ඇද පලුදු සහිත අස්ථි පංජරය අපට කියාපාන්නේ වෘත්තිමය ජීවිතයේදී ලැබූ කටුක සහ දුෂ්කර අමිහිරි වේදනාවන්ය. අත්දැකීම්ය. මේ ඇද වැටීම් බිඳ වැටීම් නොසලකා කිතුල් මල් මදිනු දැක කිතුල් ගස් බිය නොවී සිටීද? පියකුගේ අප්‍රතිහත ධෛර්යය දැක කිතුල් මල වුව නාඬා සිටීද? මේ සියලු විලාපයන් දකින කිතුල් රැහැන් සිනා නොමවී සිටීද? කිතුල් අතු පතර සෙමෙර නොසලා සිටීද?

පැණිගොට්ටේ කතාව

පැණිගොට්ට හෙවත් පැණිමුල බඳින්නේ කොළපතෙනි. ඇතැම්හු පුවක්කොළය කියන්නේද ඊටය. වඩා නිවැරදි නම් ‘කොළපත’ යන්නය. සෝමේ මාමා කියන්නේ පුරාණයේ කොළපත ආහාර අනුභව කිරීම සඳහාද යොදාගත් බවයි. “කොළපතේ බත් කාලා පොල් කට්ටේ වතුර බීපු ඉතිහාසයක් අපට තිබුණා.” කොළපත බත්මුල් බඳින්නත්, ඇතැම් ආයුර්වේද ග්රිත සහ කල්ක වර්ග කල්තබා ගන්නටත් අතීතයේ භාවිත කර ඇත. අද පැණි ගොට්ට බොහෝවිට භාවිත කරන්නේ කිතුල් පැණි ගබඩා කර කල්තබා ගැනීමටය. කිතුල් සහ පුවක් යනු තාල වර්ගයට අයත් ගස්ය. තාල වර්ගයේම ගස් සෝමේ මාමාගේ තාලයට උදව් කිරීම එක් පැත්තකින් නම් පුදුමසහගතය.
කොළපතින් භාජන පිණිස ගසන ගොට්ටට කියන්නේ පලාගොට්ට කියාය. පලාගොට්ට කිතුල්මලේ තෙලිදිය වෑස්සීම සඳහා එල්ලා තබන එකකි. එය සාමාන්‍යයෙන් කුඩා බාස්කට් එකක් වැනිය. රා මැදීමේදී රා පැසවීම සඳහාද පලාගොට්ට යොදා ගනී. සෝමේ මාමා නම් කියන්නේ පලාගොට්ටේ පැසවා ගත් රා කදිම රසයකින් යුතු බවයි. දැන් නම් මැදකන්දේ රා මදින්නන් මෙන්ම කිතුල් මදින්නන්ද ඉතා දුලබය. එසේම කිතුල් පැණි, පැණි මුල්වල ගබඩා කිරීමද තිබෙන්නේ භාවිතයෙන් ඈත්වෙමින්ය. එනමුදු කිතුල් පැණි කර්මාන්තය කරන්නන් වෙනුවෙන් තවමත් පැණිගොට්ට හෙවත් පැණිමුල් නිපදවීම සෝමේ මාමා අත්හැරද නැත.
දුලබ මෙකී රැකියාවද, දරුවන්ට බරක් නොවී ජීවත්වීමට දරන වෙහෙසද වෙනුවෙන් තම ඇඳුම් ගලවා පරිත්‍යාග කරන්නාක් මෙන් මැදකන්දේ සෝමේ මාමාට කොළපතක් ලබා නොදුන් පුවත් ගසක් එම ගංතුලානේ නම් නැතිවා සේය. උදෑසන කාලයේ මැදකන්දේ පුවක් අරඹට වදින සෝමේ මාමා තියුණු සැතකින් පුවක් පිල්ලෙන් කොළපත වෙන්කර ගනී. කොළපත් සියයක් පමණ එකතු කරගත් පසුව මිටි බැඳ එයද රැගෙන යළි නිවසට පැමිණෙයි. ඒ එන්නේ ඇතැම්විට ඉර අවරට යන කාලහෝරාවේදීය. ඇතැම් දිනවල පෙරදා රැයේ ඉතිරි බත් එදින දහවල් ආහාරය වන්නේය. කොළපත් රැගෙන ඒමෙන් පසුව රාත්‍රී හය හත දක්වා කාලය නෑමට ඇඟපත සෝදා ගැනීමටය. ආහාර පිළියෙළ කොට ගැනීමටය. පෙරයම් මුරේ කටයුතු අවසන් වෙන්නේ රාත්‍රී ආහාර ගත් පසුවය.
‘යහන්මුරේ’ කියන්නේ රාත්‍රී කාලයේ කරන වැඩ කොටසය. රැගෙන ආ කොළපත් ලෙලි ගැසීම නැතිනම් ‘ඔයනවා’ කියන්නේ කොළපත් ගණත්වය අඩු කිරීමටය. පිටත ඇති රළු කොටස ඉවත් කිරීම ඉන් සිදුවෙයි. මධ්‍යම රාත්‍රිය වතුරුම සෝමේ මාමාට එය කරන්නට සිදුවෙයි. අලුයම පිබිදී අළුයං මුරේ වැඩ පටන් ගැනීම සිරිතයි. පැණි ගොට්ට තැනීම සඳහා ඉරටු සහ පට්ට අවශ්‍ය වන්නේය. පෙරදා සූදානම් කර තැබූ ඒවාද සමග ඊළඟට සූදානම්වන්නේ පැණිගොට්ට නිර්මාණය කිරීමටය. පැණිගොට්ට බැඳීම සඳහා නාව පට්ට, වල්ල පට්ට හෝ කල්වැල් පට්ට යොදා ගන්නා බව සෝමේ මාමා පෙන්වා දිනි.
එක් පැණි ගොට්ටක් ගෙතීම සඳහා ඉරටු දෙකක්ද අවශ්‍ය වෙයි. පැණිගොට්ට ගැසීමට අවශ්‍ය ප්‍රමාණයට මඳ පවනේ වියැළී ගිය කොළපත කපා ගැනීම අවශ්‍යය. පදම් කරගත් කොළපත දෙකට නමා දෙපසට අඹරවා සිව්මුල්ල ගැට ගැසීමෙන් පසුව පැණි පිරවීම සාමාන්‍ය විලාසයයි. පැණිගොට්ට හෙවත් පැණි මුලේ පැණි ගබඩා කිරීම සඳහා දෙදෙනකු සිටිය යුතුය. එක් අයකු පැණි වක්කරන විට අනෙක් කෙනා පැණිගොට්ට දෙපසට අදිමින් පැණි පිරවීමට අවශ්‍ය ඉඩ සකසා දිය යුතුය. පැණි පිරවූ පසුව නාව, වල්ල හෝ කළවැල් පට්ටයෙන් පැණිමුලේ ඉහළ කොටස ගැට ගසනු ලබයි. ඊට කියන්නේ කොණ්ඩුව බඳිනවා කියාය. මෙසේ ගබඩා කළ පැණි මුල් ඊළඟට යන්නේ දුමටය. දුම් වැදීමෙන් කොළපත පදම් වන අතර කෘමි හානි කිසිවක්ද සිදු නොවේ. නිසි ප්‍රමිතියට මෙලෙස ඇසුරුම් කළ පැණි මුලක් එය තිරුවානා ගලක් මෙන් ගල්වනතුරුම කල්තබා ගත හැකිය. ගල්වීම යනු පැණි මුලේ පැණි සියල්ලම වැලි හකුරු බවට පත්වීමය. සෝමේ මාමා ඊට තව රහසක්ද හෙළිකර සිටියේය. “මේ පැණි ගොට්ටට පැණි වක්කරද්දී හල්පොතු කෑල්ලක්, අංකෙන්ද පොතු කෑල්ලක් දැම්මම මිහිරි රසයකුත් ඉක්මනට වැලි හකුරුත් ලබාගන්න පුළුවන්.” “පැණි ගොට්ටේ සිදුරක් තිබිලා පැණි එළියට එනවා නම් බුලත්විටට කන හුණු සීනිත් එක්ක කළවම් කරලා ගෑවම සිදුර වැහෙනවා.”

අසිපතක් වූ කොළපත

සෝමේ මාමා පැණිගොට්ට හෙවත් පැණිමුල හදන්නේ පැණි පුරවා නොවේ. වැලි පුරවාය. වැලි පුරවා දණ්ඩකින් කොටා මේ පැසේ ඉඩ පිරවීමෙන් පසුව මේ වැලි මුල අව්වේ වේලා ගනී. අව්වේ වේලුණු පසුව කොළපත් ගොට්ටේ පිම්බුණු ස්වභාවය වෙනස් නොවී පවතී. වැලි ඉවත් කර සෝදා පිරිසිදු කිරීමෙන් පසුව මේ ගොට්ට දුමේ එල්ලා තැබේ. මෙවැනි ගොටු සියයක් පමණ තැනූ පසුව ඉල්ලුම්කරුවන් වෙත මේ හිස් පැණි ගොටු ලබාදීම සෝමේ මාමාගේ විලාසයයි. පැණි පුරවන්නන් මෙන්ම විසිතුරු භාණ්ඩ රැස්කරන්නන්ද සෝමේ මාමාගේ මේ නිමැවුම ප්‍රිය කරති. මේ කර්මාන්තයට ඔහුට ඇත්තේ එසේ මෙසේ ඉතිහාසයක් නොවේ. “මම මුලින්ම පැණිගොටු හදලා විකුණලා ගත්තේ ශත පනහයි. 1960 ගණන්වල මේ පැණි ගොට්ටක් හැදුවම මට ශත පනහක් හම්බ වුණා. අද මෙයින් එකකට මට ලැබෙන්නේ රුපියල් 15යි.” පැණිගොටු 100ක් හදලා විකුණුවම රුපියල් 1500ක් මට ලැබෙනවා. තනි මමනේ. ජීවත් වෙන්න ඒ ඇති. ඒ වුණත් සමහර දවස්වල දරුවො ඇවිත් හදිසියකට ඉල්ලුවත් ඒ මුදල දෙනවා. හාල් කාලක් ළිපේ තියාගත්තම මම තුන්වේලක් කනවා. කෙසෙල් මුවක්, පොල්සම්බෝලයක් හරි හාල්මැස්සෝ ටිකක් තෙල් දාගත්තම ඒක ඇති. එළවළු ගන්න කියල ලොකු ගාණක් යන්නෙත් නෑ. අලකොළ ටිකක්, කොස් ඇට ටිකක්, තිබ්බටු ටිකක්, මඤ්ඤොක්කා අලයක් වරදිනවා අඩුයි.” සෝමේ මාමා පුදුමාකාර සකසුරුවම්කාරයෙකි. පොල්කටු එකතු කර අඟුරු විකිණීමත්, පොල් ඉරටු විකිණීමත්, පැණි ගොටු ගැසීමට අමතරව ඔහු උපයන අමතර ආදායම්ය. “ඉස්සර වගේ රා කට්ටක් එහෙම පාවිච්චි කරනවාදැයි ඇසූ සැණකින් බුලත්විට කහට පදම් වූ දසන් පෙන්වා සිනාසී ඔහු කීවේ මෙවැනි කතාවකි. “අපි කරපු කෙරුං කරන්න දැන් ඉන්න අයට බැහැ. කිතුල් රා තියා පැණිත් දැන් අඩුයි. මඟුල් තුලාවකදී ඉඳලා හිටලා ලැබෙන පිං අඩියක් තමයි ඉතිං.” පැණිගොට්ට හෙවත් පැණිමුලේ ඇත්තේ පිරුණු බවකි. ඒ පිරුණු බව සෝමේ මාමා තුළ ඕනෑවටත් වඩා තිබේ. උපයා ගැනීමෙන් මිස ඉල්ලා ගැනීමෙන් ජීවත් වන්නට ඔහු ලැජ්ජය. පැණිමුල් ගෙතීමේ පරම්පරාවේ මේ කුලීකාරයාට දහිරිය දීමට කැමැත්තෙක් සිටී නම් ඒ සඳහා ඕනෑම අයකුට අවස්ථාව තිබේ. එනමුදු හැටපස් වියැති මේ මහලු මිනිසා අපේක්ෂා කරන්නේ තමන්ගේ නිපැයුමට යුක්තිසහගත මිලක් මිස පිං පඩියක් නොවේ.