රාවය

පළුද්දා

පළුද්දා

රජිඳු කාශ්‍යප

දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය තහනම් කිරීමටත් ඊට අමතරව තරග මුදලෙන් 100% දඩයක් ගැසීමටද අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගත්තේය.
විඩියෝ දර්ශන නැරඹීමේදී චන්දිමාල් තම වම් සාක්කුවෙන් ගත් යම් දෙයක් කටේ දමා හැපීමෙන් පසු ඛේටය ඇඟිලිවලට ගෙන පන්දුව පිරිමදින ආකාරයක් දැකගත හැකිය.
තරග තීරක ජවගාල් ශ්‍රීනාත් ද එකී දර්ශන නැරඹීමෙන් මෙම තත්ත්වය සනාථ කර තිබුණි. “චන්දිමාල් පන්දුව මත කෘත්‍රීම යමක් ආලේප කිරීම තහවුරු වුණා. ඔහු ඔහුගේ ඛේටය සමග ඔහුගේ මුවේ තිබූ යමක් ආලේප කළා.” තරග තීරකවරයා ප්‍රකාශ කර තිබුණි. එය ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ චර්යා ධර්ම සංග්‍රහයට අනුව වරදකි. චන්දිමාල් වෙත දඬුවම් පැමිණ වෙන්නේ ඒ අනුව ය.
මේ සම්බන්ධයෙන් පැවැති පරීක්ෂණයේ දී චන්දිමාල් ද එකී දර්ශනවලින් නිරූපිත දේ පිළිගෙන තිබේ. එහෙත් ශ්‍රී ලාංකික දේශපාලකයන් බහුතරයකට වැළඳෙන “මට මතක නැති” රෝගය චන්දිමාල්ටද වැළඳී තිබේ. ඒ තමන් විසින් කටේ රුවා ගත්තේ කුමක්දැයි ප්‍රශ්න කිරීමේ දී ය.
මෙවැනිම වූ චෝදනාවක් නිසා ඕස්ටේ්‍රලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලෝකය ඉදිරියේ නිරුවත් වූයේ මීට මාස කිහිපයකට ඉහත දී ය. පන්දුව පළුදු කරන්නට ගොස් දැන් චන්දිමාල් ද කොළේ ඉරාගෙන අවසන් ය. චන්දිමාල් යනු යොවුන් නායකයෙකි. ජවය, ගැම්ම සමගින් ඇම්ම ඇති නායකයෙකි. එපමණක් ම දැන් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රමාණවත් නොවේ. නායකයෙක් ලෙසින් සෑම කෙනෙක් ම මීට වඩා පරිණත විය යුතු ය. ක්‍රීඩාවේ පවතින නීතිමය තත්ත්වයන් සේ ම මේ වටා යෙදී ඇති තාක්ෂණයත් සමගින් තමන් හැසිරිය යුත්තේ කෙසේද යන්න සෑම ක්‍රීඩකයෙක්ට ම අවබෝධයක් තිබිය යුතුය. විශේෂයෙන් ම නායකයෙක් ඒ දේ හී නිපුණයෙක් විය යුතුය. නොමැති වුවහොත් ටොපිය තමන්ට ය.
ඒ ප්‍රශ්නය එසේ විසඳෙද්දී චන්දිමාල්ට තවත් ආරෝවක් පැටලී ඇත. ඒ නිමාවූ ටෙස්ට් තරගයේ පිටියේ විනිසුරුවරුන් වූ අලීම් ඩාර් හා ඉයන් ගෝල්ඞ් මෙන් ම තෙවැනි විනිසුරු වූ රිචඞ් කෙට්ල්බර්ග් විසින් චන්දිමාල් වෙත දමා ගැසු පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම පිළිබඳ චෝදනාවත් සමගින් නව පන්දුවක් ප්‍රතිවාදීන්ට ලබාදීමට එරෙහිව කළ අරගලයයි.
ප්‍රශ්නයට චන්දිමාල් පමණක් නොවේ කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සේ ම කළමනාකරු අසංග ගුරුසිංහ ද ඊට ඈඳී ඇත. මේ නම් ප්‍රශ්නය ජාමෙන් බේරා ගැනීමට තිබූ අවස්ථාවක් අනා ගැනීමකි.
චන්දිමාල්ගේ හැසිරීම පෙර කී සිද්ධියෙන් අභියෝගයට ලක්වුණි. නායකයෙක් ලෙසින් ඒ තබා ගත් කළු පැල්ලම ජීවිත කාලය පුරා ම පවතිනු ඇත. එහෙත් ගැටුම් අවම කරගැනීමේ පිළිවෙතකට ගියේ නම් මේ ප්‍රශ්නයේ පිළිවෙත මීට වඩා වෙනස් වෙන්නට ඉඩ තිබුණි. ඊට පෙරමුණ ගත යුතුව තිබුණේ සංචාරයට එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ය.
එහෙත් වූ සිදුවීම නිරාකරණය කරගැනීම් උදෙසා ඔවුන් කටයුතු කරන අයුරක් තරගය පුරාම අපි නොදුටුවෙමු. සංචාරයට එක්වෙන නිලධාරීන්ගේ ප්‍රමුඛ මෙහෙවර වියයුත්තේ මෙවැනි ගැටුම් නිරාකරණය කරගැනීම හෝ කළමනාකරණය කර ගැනීම ය.
ඊට හොඳම උදාහරණයක් මෙරට පැවැති නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අපි දුටුවෙමු. ඒ තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ ප්‍රීතිය බංග්ලාදේශ ක්‍රීඩකයෝ සැමරූ හැටිය. ඔවුන් එය සැමරුවේ ක්‍රීඩාංගණයේ දොර ජනෙල් පවා කුඩු කරමිනි. එය සාමාන්‍ය නීතිය යටතේ වූව ද සිවිල් නඩුවක් ගොනුකළ හැකි සිදුවීමකි. එහෙත් බංග්ලාදේශ ක්‍රීඩකයෝ අවසන් තරගය ද ක්‍රීඩා කර නිරුපද්‍රිතව තම රටට ද ගිය හ. අයිසීසී ය ද මේ ප්‍රශ්නයේ දී කළ කිසිදු දෙයක් නැත.
එය බංග්ලාදේශ නිලධාරීන්ගේ ගැටුම් නිරාකරණය කරගැනීමේ දක්ෂතාවය. තමන් වෙතින් වරදක් වී ඇතැයි හොඳාකාරව ම දැන දැනත් ඔවුන් කිසිදු උපද්‍රවයකින් තොරව ගැටුම නිරාකරණය කරගැනීමට දැක් වූ දක්ෂතාව ගැන අපේ බලධාරීන් කනගාටු විය යුතුය. ලැජ්ජා විය යුතු ය.
අනික් අතට බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ මූල්‍ය සපයන්නා වී ඇත්තේ අප ය. ඒ වාසියත් ගනිමින් මෙම ගැටුම ඉතා සාවධානව විසඳීමේ හැකියාව කොදෙව් ක්‍රිකට් ආයතනය සමග තිබුණි. අප එසේ කියනුයේ ක්‍රීඩකයන් ක්‍රීඩාංගණයට පිවිසීම වළක්වමින් චන්දිමාල් කළ දේ නිසාය. නොමැති ව චන්දිමාල් විසින් කරනු ලැබූ පන්දුව පළුඳු කිරීමේ කාරණයේ දී නම් නොවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් වහා වටහාගතයුත්තේ දැන් ක්‍රීඩා කළයුත්තේ තාක්ෂණයත් සමගින් බැව් ය. එසේ තිබිය දී කෙනෙක්ගේ දෑස් වැසූව ද තාක්ෂණයේ දෑස් වැසීම අපහසු ය. එහෙත් යම් ගැටුමක් නිරාකරණය කර ගැනීමේ හැකියාව නම් පවතී. මේ සිදුවීමේ දී චන්දිමාල්ගේ තීරණය වෙනස් කරමින් ක්‍රීඩකයන්ට ක්‍රීඩාංගණයට පිවිසෙන්නට යැයි පැවසුවේ නම් සහ එරට ක්‍රිකට් බලධාරීන් සමග මේ ප්‍රශ්නය සමතයකට ගෙන ඒමට කතා කළේ නම් අද මේ දේ හී දඬුවම මින් භාගයක් වීමට ද ඉඩ තිබුණි.
එතැනින් බේරීමට කරුණු කාරණා ගොනුකර ගත හැකිව තිබුණ ද පන්දුව පළුඳු කිරීමේ චෝදනාවෙන් නම් ගැලවීමේ මගක් නැත්තේ ය. ඒ සියලු සාක්ෂි රූප රාමු මත සටහන් ව ඇති නිසා ය. එබැවින් මට මතක නැතැයි කීමේ ශ්‍රී ලාංකික න්‍යාය මෙතැනට වලංගුවන්නේ නැත.