ගම්පොළ කැළඹ වූ මානසික අවුල

වින්ද්‍යා ගමගේ

ඒ රනිල්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට පෙර පාර්ලිමේන්තු විවාදයට ඉඩ වෙන් වූ අවස්ථාවයි. අදහස් දක්වමින් සිටි කථිකයා වූයේ දොස්තර රාජිත සේනාරත්නය. හිටි හැටියේ ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ඔහුගේ කතාවට බාධා කරමින් යමක් පැවසීමට උත්සාහ දැරුවේය. තමාට බාධා කළ මන්ත්‍රීවරයා ‘මානසික රෝගියකු’ යැයි කිසිදු පැකිලීමකින් තොරව බැණවැදුණු දොස්තර සේනාරත්න තම කතාව ඉදිරියටම ගෙන ගියේය.සුළඟින් පවා ඒඞ්ස් බෝ විය හැකි යැයි පිළිගන්නා අධ්‍යාපන ඇමති කෙනෙකු සිටින රටක, වෛද්‍යවරයෙකු මන්ත්‍රීවරයකුට මානසික රෝගියකු යැයි කීම මන්ත්‍රීට කෙසේ වෙතත් රෝගියාට අපහාස කිරීම කැයි අපට සිතේ. උගත් යැයි සම්මත දොස්තරවරුන් පමණක් නොව සාමාන්‍ය ජනයාත් අද සමාජයේ බහුල රෝගී තත්ත්වයක් වන මානසික ව්‍යාධීන් මෙතරම් ගර්හාවට ලක්කරන්නේ ඇයි දැයි සොයා බැලිය යුතු කරුණකි.
පසුගිය දිනක ගම්පොළ කහවත්ත ප්‍රාදේශීය රෝහලේ මානසික රෝගීන් පුනරුත්ථාපනය කිරීමේ ඒකකයක් විවෘත කර ඒ සඳහා මහනුවර රෝහලෙන් මානසික රෝගීන් සිව්දෙනකු කහවත්ත රෝහලට ඇතුළත් කෙරිණි. පසුව තවත් රෝගීන් කිහිපදෙනකු කහවත්ත රෝහලට ඇතුලත් කිරීමට ගෙන ආ අවස්ථාවේ ‘අපේ ගමේ රෝහල අංගොඩක් නොකරන්න’ යැයි කියමින් රෝගීන් ගෙන ආ ගිලන් රථය නැවත හරවා යැවීමට ගම්පොළ කහවත්ත ප්‍රදේශවාසීහු කටයුතු කළහ.
මේ සම්බන්ධයෙන් රාවයට අදහස් පළ කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ශාන්ති මෙසේ කිවාය.
ගම්පොළ කහවත්ත ප්‍රාදේශීය රෝහලේ මෙම නව මානසික රෝගීන් පුනරුත්ථපනය කිරීමේ වාට්ටුවට ඇතුළත් කර තිබෙන්නේ තීව්‍ර මානසික රෝගීන් නොවේ. යම් කිසි සුවතාවකට පත් වූ අයයි. කහවත්ත රෝහල අවට පේරාදෙණිය, ගම්පොළ, නාවලපිටිය, ආදී ප්‍රධාන රෝහල් කිහිපයක්ම තිබෙන නිසා මේ රෝහලට නේවාසික රෝගීන් පැමිණීම ඉතා අඩුයි. මෙතෙක් කල් මෙය ක්‍රියාත්මක වුණේ බාහිර රෝගී අංශයක් ලෙස පමණයි. සාමාන්‍යයෙන් දිනකට බාහිර රෝගීන් 100කට අඩු පිරිසක් තමයි මෙයින් සේවා ලබා ගන්නේ. බාහිර රෝගීන්ට පමණක් සේවා සැපයීමට වෛiවරයා, ඖෂධ සංයෝජක හා සුළු සේවකයා ලෙස අනුමත කරන්නේ කුඩා කාර්යමණ්ඩලයක්. ඒත් කහවත්ත ප්‍රාදේශීය රෝහලේ දැනට 11කිත් යුත් කාර්ය මණ්ඩලයක් සිටිනවා. රෝහලේ ඇඳ භාවිතය (Bed occupancy) අඩුයි. මෙවැනි රෝහල් නිසි ආකාරයට ප්‍රයෝජනයට ගන්නා ලෙස මීට අවුරුදු කීපයකට කලින් මුදල් කොමිසන් සභාවෙනුත්, රජයෙනුත්, සෞඛ්‍ය අමාත්‍යංශයෙනුත් දැනුම් දීමක් සිදු කර තිබුණා. ඒ අනුව ආඝාතය (Stroke) සඳහාත්, මානසික සෞඛ්‍ය ඒකක සඳහාත්, මෙසේ අඩු ඇඳ භාවිතාවක් ඇති රෝහල් භාවිත කරන්න අප කටයුතු කළා. උදාහරණයක් ලෙස නුවර එළියේ, වළපනේ සහ මල්දෙණියෙත්, මාතලේ දිස්ත්‍රික්කයේ මුවන්දෙණියෙත් මෙවැනි මානසික රෝගීන් පුනරුත්ථාපනය කිරීමේ ඒකක ආරම්භ කළා. මෙසේ අනෙක් දිස්ත්‍රික්ක වල එම ඒකක හොඳින් පවත්වාගෙන ගියත් මහනුවර දිස්ත්‍රික්කයේ පමණයි මෙවැනි ගැටලුවක් ඇති වී තිබෙන්නේ.

සේවාවන්

මෙම ඒකක තුළින් මානසික රෝගීන්ට විශාල සේවාවක් සිදුවෙනවා. රෝගීන් පුනරුත්ථාපනයේදී අපි ඔවුන්ට වෘත්තීය පුහුණුව ආදිය ලබා දීම මගින් ඔවුන්ට ආදායම් ඉපැයීමේ මාර්ගයක් සාදා දෙන්න කටයුතු කරනවා. ඒ තුළින් ඔවුන්ගේ ජීවිත වලට ගෞරවයක්, සතුටක් අනිවාර්යයෙන්ම ලැබෙනවා.
පුනරුත්ථාපනය අවශ්‍ය වන්නේ ඇයි?
සංඛ්‍යා ලේඛන අනුව, අපේ ජීවන රටාව නිසාම සමාජයේ මිනිසුන්ගෙන් විශාල පිරිසකට කිසියම් ආකාරයේ මානසික ගැටලුවක් හෝ රෝගී තත්ත්වයක් තිබෙනවා. එම තත්ත්ව මානසික ආතතියෙන් පටන්ගෙන බරපතල මානසික රෝග දක්වා පැතිරිය හැකියි. දැන් ශ්‍රී ලංකාව තුළ මානසික රෝගීන් සඳහා සිටින විශේෂඥ වෛiවරුන් සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. එනිසාම මානසික සෞඛය සායන ආදියට යොමුවන රෝගීන් ප්‍රමාණයත් වැඩි වෙලා තිබෙනවා. මේ රෝග තත්ත්ව වලට දීර්ඝ කාලීනව ප්‍රතිකාර ගැනීම අවශ්‍යයි. එහෙත් ප්‍රධාන රෝහල්වල ඇති තදබදය නිසා ඒවායේ දිගු කලක් රෝගීන් තබා ගැනීමේ අපහසුතාවක් තිබෙනවා. මන්ද එමඟින් අනෙක් රෝගීන්ට ඉඩ පහසුකම් මඳ වන නිසා. එනිසා පළාත් රෝහල්වල ඔවුන්ට ඉඩ පහසුකම් ලබා දෙන්නැයි රේඛීය අමාත්‍යාංශයෙන් නියෝගයක් ලැබිලා තිබෙනවා. ඒ අනුව තමයි මෙවැනි ප්‍රාදේශීය රෝහල්වල මානසික රෝගී පුනරුත්ථාපන ඒකක ආරම්භ කිරීමට ක්‍රියා කළේ. ඇත්තටම මෙවැනි පුනුරුත්ථාපන ඒකක වලට යොමු කරන්නේ විශේෂඥ වෛiවරයකුගේ අවධානය නිතර අවශ්‍ය නැතිව සාමාන්‍ය වෛද්‍යවරයකුට රෝගියාව බලා ගැනීමට හැකියාවක් ලැබූ පසුව පමණයි.

අනිසි බිය

රෝගියාට අදාළ ටිකට් (Ticket) එකේ ලියලා තියනවා. විශේෂඥ වෛද්‍යවරයා ඕනෑම වේලාවක මේ රෝගීන් පරීක්ෂා කිරීමට කැමති බවත්, එසේම සෑම සතියකට වරක්ම අනිවාර්යයෙන්ම මේ රෝගීන් පරීක්ෂාවට ලක් කරන බවත්, එනිසා අනෙකුත් රෝගීන් මෙම මානසික රෝගීන්ගෙන් තමන්ට කරදරයක් වේ යැයි කිසිදු බියක් ඇති කර ගත යුතු නැහැ. රෝගීන්ව බලා ගැනීමේ වගකීම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ඇති නිසා ප්‍රදේශවාසීන් හෝ අනෙකුත් රෝගීන් මේ සම්බන්ධව කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ. ඒ වගේම තවත් බයක් තියනවා මානසික රෝගීන්ට සේවා සැපයීම නිසා අනෙකුත් රෝගින්ට සැපයෙන පහසුකම් අඩුවෙන බවට. එය තනිකරම ප්‍රතික්ෂේප කරනවා. ඇත්තෙන්ම සිදුවන්නේ රේඛීය අමාත්‍යංශයේ අවධානය වැඩි වශයෙන් යොමුවීම නිසා වැඩිපුර කාර්යමණ්ඩලය, නව සේවා සැපයීම් ඒකක ආදිය ලබා ගැනීමේ හැකියාව වැඩිවීමයි. උදාහරණයක් වශයෙන් දැනට ශ්‍රී ලංකාවේ ආයු අපේක්ෂාව වැඩි වීම නිසා වැඩිහිටි ජනගහනය ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා මේ රෝහලේ වැඩිහිටි රෝගීන් සඳහා සේවා සැපයීමට දැනටමත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉදිරිපත් වෙලා තියනවා. එනිසා අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ.
දැනට මේ රෝහල සඳහා උපාධිධාරී වෛද්‍යවරුන් රේඛීය අමාත්‍යංශයෙන් ඉල්ලුම් කර තිබෙනවා. ඉදිරියේදී මේ සඳහා පත්වීම් ලැබේ යැයි බලාපොරොත්තු වෙනවා.මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂතුමිය මානසික රෝගීන් පුනරුත්ථාපනය පිළිබඳ දැඩි උනන්දුවක් දක්වනවා. එනිසාම මේ සඳහා විශාල සහයෝගයක් ලැබුණා.
රෝහලේ ගැටලුව සම්බන්ධව උනන්දුවක් දත්වන තවත් පාර්ශ්වයක් වන්නේ ඌව පළාතින් ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු වන ශාන්ත නවරත්නයි.
“කලින් සාමාන්‍ය රෝගීන් සඳහා භාවිත කළ රෝහලක් නිසා දැන් ගමේ මිනිස්සු මේ රෝහලේ නවතින්න බයයි. එනිසාම මානසික රෝගීන් මෙහි පුනරුත්ථාපනය කිරීමට ගම්මු විරුද්ධයි. මීට මාස 6කට පමණ පෙර මෙහි මානසික රෝගීන් එවීම නවත්වන්න කියලා ගම්මුන් 900 දෙනකුගේ අත්සන් සහිතව පළාත්සභා මන්ත්‍රී නිශ්ශංක හේරත්, නියෝජ්‍ය ඇමති අනුරාධ ජයරත්න යන අයගේ මැදිහත් වීමෙන් අපි පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කළා. ඒ වෙලාවේ මම කටයුතු කළේ නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නගේ පෞද්ගලික සහයක ලෙසයි. පළාත් සෞඛ්‍ය ලේකම් නිර්දේශයක් දීලා තිබුණා මේ පුනරුත්ථාපන රෝගීන් මාරු කරන ලෙසට. ඒත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ තීරණය අභියෝගයට ලක් කරලා කහවත්ත රෝහලට පුනරුත්ථාපනය සඳහා මානසික රෝගීන් එවලා තියනවා.”

මන්ත්‍රීගේ යෝජනා

අපේ ප්‍රදේශයේ රෝහලට, මෙහෙම මහනුවරින් එවන්නේ මානසික රෝගීන්. ඒකට අපිට විරුද්ධ වෙන්න බැහැ. මට මේ සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් ගමේ අයට ප්‍රශ්නයක් තිබෙනවා. මේක ගමක් ඇතුළේ තිබෙන කුඩා රෝහලක්. ගමේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න අමාරුයි. මේ පුනරුත්ථාපන ඒකකය පිහිටුවන්න කලින් ගම්මු දැනුවත් කිරීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කළේ නැහැ. ඒ නිසාම පොඩි දෙයක් වුණු ගමන්ම ගමේ මිනිස්සු ගණ්ඨාරේ ගහලා ගමේ පන්සලට එකතු වෙලා මේ ගැන විරෝධය පාන්න එකතු වුණා. අපිට ඒවාට මැදිහත් වෙන්න බැහැ.

පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂගේ ප්‍රතිචාරය

ඌව පළාතේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සඳහන් කරන ආකාරයට ගම්මුන්ගෙන් පෙත්සමක් ලැබී තිබුණත්, පළාත් සෞඛ්‍ය ලේකම්වරයාගෙන් පුනරුත්ථාපන ඒකකයේ කටයුතු නවත්වන්නැයි ලිපියක් නොලැබුණු බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛi ශාන්ති සමරසිංහ රාවයට පැවසුවාය. රෝගී පුනරුත්ථාපන ඒකක තුළින් එම රෝගීන්ටත්, ගමටත් සිදුවන යහපත පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට හැකියාවක් ඇති බවත්, ඒ සඳහා තමන් සතුව නිලධාරීන් සිටියත් ගම්මුන්ගේ විරෝධය නිසා ඔවුන් පසුබසින බවත් අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

පළාත් සෞඛ්‍ය සේවා නිලධාරියකුගේ හෙළිදරව්ව

ගම්පොළ කහවත්ත ප්‍රදේශීය රෝහලේ තත්ත්වය සම්බන්ධව විරා්ධය දක්වන්නට ගම්මුන් උසිගන්වා ඇත්තේ එහි කාර්යමණ්ඩලයේ සිටින පිරිසක් බව නම හෙළි කිරීමට අකමැති වූ මධ්‍යම පළාත් සෞඛ්‍ය නිලධාරියකු රාවයට පැවසීය.ඔහු පවසන ආකාරයට, බාහිර රෝගී අංශයක් ලෙස පමණක් රෝහල ක්‍රියාත්මක වූ අවධියේ කාර්යමණ්ඩලයට තිබූ රාජකාරි කටයුතු අවම වීම, මෙන්ම සවස 4 වෙද්දී රාජකාරී නිම කර නිවෙස් බලා යාමට හැකියාව ලැබී තිබුණා. ඒත් පුනරුත්ථාපන වාට්ටුව විවෘත කළ පසු සමහර අයට රෑ වැඩ මුරය කිරීමට සිදු වීමත්, ඉදිරියේදී වැඩිපුර රාජකාරි කටයුතු පැවරේ යැයි බියක් පවතිනවා. මෙය කාර්යමණ්ඩලය සේවයට කැපවීම සම්බන්ධ ගැටලුවක්.

රෝහල් ස්ථාන භාර නිළධාරියාගේ ප්‍රතිචාරය

රෝහලේ කාර්ය මණ්ඩලයට නැගෙන මේ බරපතළ චෝදනාව පිළිබඳව විමසීම සඳහා එහි ස්ථානභාර ලියාපදිංචි වෛද්‍යනිලධාරී මහත්මියගෙන් අප කරුණු විමසුවත්, රෝහල සම්බන්ධව ප්‍රදේශවාසීන්ගේ හෝ කිසිවකුගේ විරෝධතාවක් නොමැති බව පමණක් ඇය පැවසුවාය.

මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ චිත්‍රමාලි ද සිල්වාගේ මතය

ගම්පොළ කහවත්ත ප්‍රාදේශීය රෝහල දිගු කාලීන පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස ගොඩනගලා තිබෙනවා. යන්න තැනක් නැති, රැකබලා ගැනීමට කෙනෙක් නැති මානසික රෝගීන් පුනුරුත්තාපනය කර ඔවුන්ට දිගු කාලීනව සිටීමට ස්ථානයක් ලබා දීම තමයි මෙහි අරමුණ. සෞඛ්‍ය අමාත්‍යංශයේ මානසික සෞඛ්‍ය සඳහා ඇති ප්‍රතිපාදන යටතේ, පළාත් සභාව මඟින් පරණ වාට්ටු ප්‍රතිසංස්කරණය කළා. කහවත්ත රොහලේ වගේ තත්ත්වයක් කලින් කෑගල්ලේ දෙමටම්පිටිය රෝහලේ මානසික රෝගීන් පුනරුත්ථාපනය සඳහා වාට්ටුව ස්ථාපිත කිරීමේදී ඇති වුණා. මිනිසුන්ගේ බලවත් විරෝධයක් ආවා. ඒත් අද ඒ තත්ත්වය බොහෝ දුරට වෙනස් වෙලා තිබෙනවා. අද ඒ ගමේ

මිනිස්සු තමයි වාට්ටුවට වැඩිපුරම දාන දෙන්නේ.

ගමේ මිනිස්සුන්ගේ විරෝධයක් එල්ල වෙන්නේ කොන් කිරීම හා අපවාදය (Stigma) කියන තත්ත්වය මතයි. ඒවා තුරන් කරන්න අපි කරයුතු කරන්න ඕනේ. මානසික රෝග කියන්නෙත් දියවැඩියාව, අධික රුධිර පීඩනය වගේ රෝගයක්. සමහර මානසික රෝග සුව කළ හැකියි. අනෙක් ඒවා සුව වීමට කල් ගත වනවා. ප්‍රදේශවාසීන් මේ සම්බන්ධව ඇති අකමැත්ත තුරන් කිරීමට මේ සම්බන්ධව දැනුවත් කිරිමේ රෝහලේ මිනිසුන්ගේ පිළිගැනීම ලැබෙන ආකාරයේ වැඩසටහන් ආදිය ඇති කිරීම වැදගත් වෙනවා.