රාවය

විස්සේ දර්ශනය

විස්සේ දර්ශනය

ආචාර්ය අතුලසිරි සමරකෝන්
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය.

2020 ඉලක්කකොට ගනිමින් සිය ජනාධිපති අපේක්ෂකයන් තේරීමේ උභතෝකෝටිකයේ ප්‍රධාන දේශපාලන පක්ෂ පැටලී සිටින විට ජනතා විමුක්ති පෙරමුණ ‘විස්සක්’ (20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය) පිළිබඳව කතා කරයි. ‘විස්ස’ යනු කුමක්ද? එය බළල් අතක්ද? පුස්සක්ද? රට බෙදන උගුළක්ද? ආදී නොයෙකුත් විප්‍රකාර ගැටලු ඒ අරබයා මතු කෙරෙමින් පවතී. ඒ අතරම සිවිල් සමාජය හා දේශපාලන පක්ෂ තුළ ද ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ උද්දීපනයක් ඇතිව තිබේ. නැතිනම් එම සංවිධාන විස්ස ගැන තීරණාත්මකව සිතන තැනකට තල්ලු කිරීමට ද විස්සට හැකි වී තිබේ. පසුගිය මාසයක එකහමාරක කාලයක සිටම සැලකිය යුතු ජන මාධ්‍ය ප්‍රතිචාරයක් ද එයට ලැබී තිබෙයි. මෙම තත්ත්වය තුළ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළකට ඇති දෙයක් ද යන්න පිළිබඳව සිතා බැලීමට යම් අවකාශයක් ලබා ගනිමු.
සාමාන්‍යයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය විය යුත්තේ ජනතාවගේ ඉල්ලීම්වලට අනුකූලවය. ජනරජයක් (Republic) පරිපූර්ණ වන්නේ ජනතාවගේ සක්‍රීය දායකත්වය නීති සෑදීමේ ක්‍රියාවලියට ද ලැබෙන විටය. එහෙත් ජනතාව වෙනුවෙන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ හැමදාම නීති හැදුවේ පාලකයන් නැතිනම් ජනතා නියෝජිත මණ්ඩලය විසිනි. මෙරට නිර්මාණය වූ දේශීය ව්‍යවස්ථාවන් දෙකෙන් එකකටවත් පූර්ණ ජනතා අනුමැතිය කිසිදාක නොලැබුණි. එම ව්‍යවස්ථාවන් ව්‍යවස්ථාදායකය තුළින් පමණක් අනුමත කොට ගෙන බලාත්මක කළ ඒවා වෙයි. එසේම, 1978 ව්‍යවස්ථාව දහනම වතාවක් සංශෝධනය වූයේ ද ජනතාවගේ පූර්ණ අනුමැතියකින් හෝ ජනතාව ම ඉල්ලා සිටි නිසා යැයි කිව නොහැක. ඒ සංශෝධන ද දේශපාලන බලය හොබවන කණ්ඩායම්වල හෝ යම් අවස්ථාවන්හිදී සිවිල් සමාජයේ (17 හා 19 ව්‍යවස්ථා සංශෝධන) පෙළඹවීම් හා අවශ්‍යතා මත සිදුවූ ඒවාය. සැබැවින්ම බහුතරයක් සංශෝධන පිටුපස සිටියේ විධායකය හොබවන සර්වබලධාරී ජනාධිපතිවරයා බවට කිසිදු සැකයක් නොමැත.
එහෙත් ‘විස්ස’ මේ සියල්ලටම වඩා වෙනස්ය. එය ගෙන එන්නේ බලයේ සිටින පක්ෂයක් විසින් නොවෙයි. එසේම එම පක්ෂයට ඇත්තේ සීමිත පාර්ලිමේන්තු බලයක් පමණි. අනෙක් අතට එය ගෙන එන සංදර්භය තුළ පවතින දේශපාලන ව්‍යාකූලතාව නිසාම එහි සැබෑ අවශ්‍යතාව කුමක්ද? එය කිසියම් අරාජිකත්වයට මඟපාදන හෝ පවතින දේශපාලන අස්ථාවරත්වය පුළුල් කරන්නක් විය හැකිද? ආදී බොහෝ අවංක සේම සමහරක් නිද්‍රාශීලි (Cynical) ගැටලු ද මතුවී තිබේ.
සැබැවින්ම කිසිම දේශපාලන පක්ෂයක සැබෑ අරමුණ යථාර්ථවාදී වශයෙන් වටහා ගන්නවා හැරෙන්නට ඒ පිළිබඳ නිවැරදි පිළිතුරු ගොනු කළ නොහැක. එහෙත් ‘විස්ස’ මඟින් මතුකරන ‘ප්‍රජාතන්ත්‍රවාදය’ පිළිබඳ ගැටලුව අප සියලු දෙනා ම අවිවාදිතව බොහෝ විට එකඟ වන දෙයකි. එසේම මෙරට පසුගිය ජනාධිපතිවරණවලදී සියලු දේශපාලන නායකයන් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් එකඟතාව පළ කළ ගැටලුවකි. එනම් මෙරට විධායකය හොබවන ‘ජනාධිපති අත්තනෝමතික හා ආඥාදායක බවට නැඹුරුවීමේ’ ගැටලුවයි.
ආචාර්ය ඇන්.ඇම් පෙරේරාගේ සිට අනුර කුමාර දිසානායක දක්වා ම සියලු වාමාංශික හා දේශපාලන නායකයන් සේම සිරිමාවෝ, චන්ද්‍රිකා, මහින්ද, සිරිසේන, රනිල්, ෆොන්සේකා ආදී සියලු පක්ෂ නායකයෝ ද විධායකය අහෝසි කිරීමේ කතිකාවට බොහෝ දායකත්වයක් ලබාදී තිබේ. ජනතාව බොහෝ විට ඔවුන්ගේ සටන් පාඨය පිළිබඳව අවධානය සිය ඡන්දය ප්‍රකාශ කිරීමේදී යොමුකර ඇත. එම නිසා විධායකය තුළ පවතින අත්තනෝමතික බලය තුළනය කිරීම නැතිනම් සමනය කිරීම පිළිබඳව ඇත්තේ ඵෙතිහාසික, දේශපාලනික හා සමාජීය අවශ්‍යතාවකි. එහෙත් පරහට හිටියේ මෙදා මෙය ගෙන එන්නේ පාර්ලිමේන්තුවේ කුඩා කණ්ඩායමක් වන ජවිපෙ නිසාය. ප්‍රධාන දේශපාලන බලවේග සියල්ලක්ම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පිළිබඳ සටන් පාඨය අමතක කරන විට ජවිපෙ ඒ පිළිබඳ සිතීම වැරදිද? සමහරවිට එය ඔවුන්ගේ දේශපාලන උපායශීලීත්වයේ වර්තමාන ප්‍රකාශනය විය හැකිය. එහෙත්, එම සටන් පාඨයේ හඬ වියැකී යා නොදී, එය ජනතාවට හා පාලක පන්තීන්ට නැවත නැවත මතක්කර දීම එක්තරා අන්දමකින් විධායක බලයට එරෙහිව සිදුකෙරෙන අභියෝගාත්මක දේශපාලනයේ අවශ්‍යතාවකි.
මේ සියලුම තත්ත්වයන් යටතේ විස්ස මගින් කතා කරන ප්‍රධාන තර්කනය නැතිනම් එහි දර්ශනය කුමක්ද? සියලුම ව්‍යවස්ථාවන් පසුපස විශාල දේශපාලන දර්ශනයක් පවතිනවා සේම විස්ස පසුපස ඇති දර්ශනය ද සරල කතා බහකින් හඳුනාගත නොහැකි එකකි. එය ප්‍රධාන වශයෙන් ම බද්ධ වන්නේ ‘ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවගේ පාලන ක්‍රමයක්ය’ යන මිථ්‍යා මතිකය සමගය. එය මිථ්‍යා මතිකයක් වන්නේ (Myth) තෙවන ලොව රටවල ජනතාව තවමත් රිපබ්ලිකන් (තිරන්තියානු) දර්ශනය පිළිබඳ අවබෝධ කොට නොගත් ජනතාවක් වන නිසාය. ඔවුන්ට අවැසි දරදඬු පාලකයන්ය. භීෂණය හා අත්තනෝමතිකභාවය යනු තෙවන ලොව ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින නෛසර්ගික (Immanent) චරිතලක්ෂණ වෙයි.
පාර්ලිමේන්තු ජ්‍රජාතන්ත්‍රවාදය මෙරට වැසියන්ට ලාමක වැඩිය. පාර්ලිමේන්තුව තුළ සිටින නියෝජිතයන් ද එම පාලන ක්‍රමයට එරෙහිව අදහස් දක්වයි. ඔවුන් සැමවිටම කතා කරන්නේ වඩාත් ‘ශක්තිමත්’, ‘සියල්ල පාලනය කළ හැකි,’ ‘ජනතාව අකුරට පාලනය කරන’, ‘අත්තනෝමතික පද්ධතීන් පිළිබඳවය’ එවැනි පාලනයක් ගෙන යා හැකි නායකත්වයක් පිළිබඳවය. එම නිසා විස්ස මගින් මෙරට ජනාධිපතිධුරය පර්ලිමේන්තු බලයට යටත් කරනවාට විරුද්ධව නැඟෙන අවලාද සේම අවංක බිය සැකයන් ද බොහෝ ය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට හා කැබිනට් මණ්ඩලයට අවනතව ක්‍රියා කිරීමේ වැරුද්දක් දැකිය හැකිද? නැතිනම් ජනාධිපතිවරයාට විධායකයේ ප්‍රධානියා, රාජ්‍යයේ ප්‍රධානියා හා සේනාධිනායක වීමේ බලතල පමණක් ප්‍රමාණවත් නැතිද? මේ ආදී ප්‍රශ්න වලට නැගෙන නින්දාසහගත ප්‍රතිචාර අපමණය. එම සියලු ප්‍රතිචාරවලින් හැඟවෙන්නේ, ටිකක් සැරට කීවොත්, මෙරට පාලක පන්තියේ සාම්ප්‍රදායික බලයට තර්ජනයක් වන කිසිම බලවේගයකට ඉඩදීමට මෙරට ප්‍රභූ මතවාදී කණ්ඩායම් සූදානම් නැති බවයි. ප්‍රජාතන්ත්‍රවාදය ‘ඉහළ සිට පහළට’ ගමන් කරන (Top Down)

ප්‍රතිමානයන් පද්ධතියක් බවට විශ්වාස කරන මෙරට ප්‍රභූ මතධාරී හා ජාතිකවාදී කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට අයත් දෙයක් වශයෙන් සලකන්නේ නැත. ජනතාව ද තමන්ට ප්‍රජාතන්ත්‍රවාදයට අයිතියක් තිබෙන බවට පිළිගන්නට සූදානමක් තිබෙන බවක් බොහෝ විට එළිපිට නොපෙන්වයි. එහෙත් ජනතාව සැමවිටම විධායකය අහෝසි කිරීමට පක්ෂව ඡන්දය භාවිත කළ බවට අපට තර්ක කළ හැක.
කෙසේ වෙතත් ‘විධායකය’ යනු සම්පූර්ණයෙන් ම අහෝසි කළ නොහැකි නමුත් අනිවාර්යෙන්ම තුලනයට ලක් කළ යුතු ආණ්ඩුවේ ප්‍රධාන කුලුනු තුනෙන් එකකි. මෙම කුලුනු තුන (විධායක/ ව්‍යවස්ථාදායක/ අධිකරණ) එක සමාන උසකින් පිහිටිය යුතුය. නැතිනම් ඒ මත නිවැරදි ගෘහයක් නිර්මාණය කරගත නොහැක. අද අපේ රටේ තත්ත්වය වන්නේ විධායකයේ බලය අහස උසට නැඟ තිබීමත්, ව්‍යවස්ථාදායකයේ බලය ඉතාමත් අවමවීමත්, අධිකරණය පවතිනවාය කියා කිසිවකුත් විශ්වාස නොකිරීමත් ය. එම නිසා මෙරට ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් පවතින යමක් නැත. මෙරට ඇත්තේ දූෂිත නිලධාරීතන්ත්‍රයකට හා දේශපාලනතන්ත්‍රයකට යටත්ව සරල ආකාරයෙන් දෛනිකව සිදුවන එදා වේල පිරිමසා ගැනීමේ ක්‍රමයකි.
එය දේශපාලන ක්‍රමයක් වශයෙන් විද්‍යාත්මක නොවූ එකකි. එය ජනතාවට, ව්‍යවස්ථාවට නැතිනම් මූලික නීතියට අවනත නොවූ එකකි. මේ තත්ත්වයන් තුළ අද මෙරට බිහි වී ඇති පද්ධතිය පිළිසකර කිරීමට අපට ‘විස්ස’ පමණක් ප්‍රමාණවත් ද? යන පැනයද නැඟෙයි. එහෙත් ‘විස්සේ දර්ශනය’ සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කුලුනු පිළිසකර කොට එම කුලුනු අතර පැවතිය යුතු දුර හා ඒවායේ ප්‍රමාණය විද්‍යාත්මකව සූත්‍රගත කිරීමයි.
ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇතිකර ගැනීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායක් පැවතීම අත්‍යවශ්‍ය වෙයි. එසේම ව්‍යවස්ථාදායක සභාවට බලපෑම් කළ හැකි ජනතාවක් ද රටට අවශ්‍යව ඇත. මෙම සියලු කාරණා සම්පූර්ණ වීම උගහට වුවත් ‘විස්ස තුළින්’ මතු කොට ගත හැකි ප්‍රජාතන්ත්‍රීය න්‍යාය හා දර්ශනය වෙනුවට වෙනත් අවලාද නැඟීම් යනු රට ඉතා නුදුරේදීම මිලිටරීකරණයට යටවීමට ඉඩ දී බලා සිටීමක් නොවිය හැකි ද?