රාවය

හැන්ද ඇති අය බෙදා ගැනීම

හැන්ද ඇති අය බෙදා ගැනීම

කාලිංගගේ දේශපාලන විග්‍රහය

දැන් ලංකාවේ දේවල් සිදුවෙමින් තිබෙනුයේ ඉතා විනාශකාරී හා විකටරූපී ස්වරූපයකිනි. ආණ්ඩුව අධිකරණ සේවයේ නිරත විනිසුරුවරුන්ගේ වැටුප් ඉතාමත් අසාමාන්‍ය ආකාරයකට වැඩි කළේය. එහි යටි අරමුණ ඒ මගින් ව්‍යවස්ථාදායකයේ සියලු නියෝජිතයන්ගේ වැටුප් ඊට අනුකූලව වැඩිකර ගැනීමය. ඒ නිසා ජනාධිපති අගමැති හා කැබිනට් ඇමතිවරුන්ගේ මාසික වැටුප රුපියල් 350,000 සිට 400,000 පමණ දක්වාද, මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප රුපියල් 300,000 පමණ දක්වාද වැඩිවනු ඇත. රට වෙනත් ආකාරවලට පමණක් නොව, මූල්‍යමය වශයෙන් ද තිබෙන්නේ ලොකු අර්බුදයකය. එය පාලකයන්ට වැදගත් නැත. හැන්ද තිබෙන්නේ ඔවුන් අත බැවින් උපරිම මට්ටමකින් මේ මොහොතේ තමන්ට බෙදා ගනිමින් තමන්ට ලැබෙන වැටුප හා අනාගතයේ ලැබෙන විශ්‍රාම වැටුප උපරිම මට්ටමකින් වැඩිකර ගැනීම ඒ සියලුදෙනාගේ කූට අරමුණ වී තිබෙන බව තේරුම් ගැනීම අපහසු නැත. ඉතා වැදගත් දේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර මොනතරම් පක්ෂ භේද තිබුණත්, ආත්මාර්ථය සඳහා ක්‍රියාත්මක කරන සටකපට වැඩසටහනේදී ඒකමතිකව ක්‍රියාකිරීමට ඔවුන්ට තිබෙන අපූරු හැකියාවය.
මීට පෙර කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා රුපියල් ලක්ෂයක දීමනාවක් මන්ත්‍රීවරුන්ට ලබාදෙන ලදි. ඒ මාසික දීමනාවෙන් ඒ මුදලට ගැළපෙන කාර්යාලයක් පවත්වාගෙන යෑම අනිවාර්ය නැත. රජයේ සේවයක් සඳහා කිසියම් අරමුණක් සඳහා ගෙවන දීමනාවක් ඒ අරමුණ සඳහා යොදා නොගන්නේ නම් සාමාන්‍යයෙන් එය සැලකෙන්නේ වංචාවක් හෝ රජයේ මුදල් අයථා ලෙස පරිහරණය කිරීමක් ලෙසය. එහෙත් මන්ත්‍රීවරුන්ට ඒ රීතියද බලපාන්නේ නැත. වාහන බලපත්‍රය විකිණීමෙන් උපයාගත හැකි ආදායම වැඩිකර ගැනීමට හැකිවන ලෙස වටිනාකම සඳහා පනවා තිබූ සීමාවද ඉහළ දමන ලද අතර වාහන බලපත්‍රය විකිණීමෙන් මුදල් ඉපැයීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සැලකෙන ක්‍රමයද මීට පෙර අහෝසි කළේය.
මීට අතිරේකව ආණ්ඩුව පරිපාලන සේවයේ නිලධාරීන් 2376කටද රුපියල් 50,000 සිට 30,000 දක්වා වන විශේෂ දීමනාවක් මාසිකව ගෙවන්නට සැලසුම් කර තිබෙන අතර, ඒ සඳහා යන වාර්ෂික වියදම රුපියල් මිලියන 1065ක් ලෙස ගණන් බලා තිබේ. ඒ අනුව විශේෂ ශ්‍රේණියට වැටෙන නිලධාරීන් 303 දෙනකුට මසකට රුපියල් 50,000ක මාසික දීමනාවක්ද, පළමු ශ්‍රේණියේ නිලධාරීන් 750කට රුපියල් 45,000ක මාසික දීමනාවක්ද, දෙවැනි ශ්‍රේණියේ නිලධාරීන් 76 දෙනකුට රුපියල් 35,000ක දීමනාවක්ද, තුන්වැනි ශ්‍රේණියේ නිලධාරීන් 1242කට රුපියල් 30,000ක මාසික දීමනාවක්ද ලබාදීමට තීරණය කර තිබේ.
මීට අතිරේකව රජයේ වෛද්‍ය නිලධාරීන් තෘප්තිමත් තත්ත්වයක තබා ගැනීම සඳහා මීට මාස කිහිපයකට පෙර ඔවුන්ට ගෙවනා අතිකාල දීමනාව වැඩි කළේය. එම දීමනාව වැඩි කිරීමෙන් පමණක් එක වෛද්‍යවරයකුට වැඩිවන මාසික දීමනාවේ සාමාන්‍ය රුපියල් 40,000ක් පමණ විය. දැන් වෛද්‍යවරුන් ඉල්ලා සිටි බදු රහිත වාහන බලපත්‍රය ලබාදීමට තීරණය කර තිබෙන අතර ඊට අතිරේකව Dat දීමනාව වශයෙන් ගෙවන ලද රුපියල් 35,000 දීමනාව රුපියල් 70,000 දක්වා දෙගුණයකින් වැඩි කිරීමට තීරණය කර තිබේ.
මූල්‍ය අර්ථයෙන්ද, ලංකාව තිබෙන්නේ ලොකු අර්බුදයක වුවද ඒ අර්බුදයට මුවාවී මහජනතාව පීඩාවට පත් කෙරෙන ආකාරයට පනවා තිබෙන අලුත් බදු මගින් රජයට ලැබෙන ආදාමෙන් කිසියම් ලොකු පංගුවක් රටේ දේශපාලන තන්ත්‍රය හා සුපිරි නිලධරතන්ත්‍රය තෘප්තිමත් තත්ත්වයක තබා ගැනීම සඳහා ඔවුන්ගෙල් වැටුප්, දීමනා, ලබාදෙන වරප්‍රසාද වැඩි කිරීම සඳහා යොදා ගනිමින් තිබෙන බව තේරුම් ගැනීම අමාරු නැත. මෙම නාස්තිකාර හා විනාශකාරී ප්‍රතිපත්තිය රටේ ඇතිවී තිබෙන කඩා වැටීම වර්ධනය කිරීමටද මෙම ක්‍රමය කෙරෙහි වන මහජන විරෝධය උග්‍ර කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය.
රටේ සාමාන්‍ය මහජනයා සේ ම විශේෂ වශයෙන් ග්‍රාමීය ජනයා ජීවත්වෙන්නේ ඉතාමත් පීඩාකාරී ආර්ථික වටාපිටාවකය. ස්වාභාවික විපත්ද, වෙළෙඳපොළ බලවේගයන්ද, වන සතුන්ද, නිලධාරීන්ද ඔවුන් පීඩාවට පත් කරන බලවේග ලෙස ක්‍රියා කරති. ග්‍රාමීය කෘෂිකර්මය සඳහා දැවැන්ත නිලධරතන්ත්‍රයක් ඇතත්, ග්‍රාමීය ජන ජීවිතය යහපත් කිරීම සඳහා එම නිලධරතන්ත්‍රයෙන් ඉටුවන වැදගත් කාර්යභාරයක් ඇත්තේම නැති තරම්ය. රජයේ ආරක්ෂාව ලැබී ඇත්තේ කෘෂිකර්මයට හානි කරන වන සතුන්ට මිස ගොවීන්ට නොවන නිසා වන සතුන් කරන හානි ඉදිරියේ අසරණව බලා සිටින්නට ගොවීන්ට සිදුවී තිබේ. ගොවියන්ට ඇප නැතිව අධික පොලියට ණය දෙන මයික්‍රො ක්‍රෙඩිට් ආයතන දැනටමත් ග්‍රාමීය ගොවි ජනතාවට කර තිබෙන විනාශය අතිවිශාලය. ඔවුන්ගේ ක්‍රියාකලාප ග්‍රාමීය ගොවි ජනතාව ණය බරෙන් මිරිකී සිටින ප්‍රජාවක් බවට පත් කිරීමෙන් නොනැවතී ඔවුන් ආත්ම ගෞරවය අහිමි කරගත් ජනතාවක් බවට පත්කිරීමටද හේතුවී තිබේ. මේ ක්‍රමය නිසා සමහරවිට එක පවුලක ණයගැතිභාවය රුපියල් ලක්ෂ තුන හතරක් වන තරමට ඉහළ දැමීමට හේතුවී තිබේ. තමන් හසුවී තිබෙන ණය උගුලෙන් බේරීම සඳහා විවිධ සමාගම්වලින් තව තව ණය ගන්නට ඔවුන්ට සිදුවී තිබෙන අතර, ග්‍රාමීය ගොවි පවුල් දවසකට එක ආහාර වේලක් පමණක් ආහාරයට ගන්නා ජනතාවක් බවට පත් කිරීමට හේතුවී තිබේ.
වන සතුන්ගෙන් කෘෂිකර්මයට සිදුවන හානි පිළිබඳ ප්‍රශ්නය හා මයික්‍රො ක්‍රෙඩිට් ණය ප්‍රශ්නය ග්‍රාමීය සමාජයේ පුපුරනසුලු තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකිය. දැනටමත් උතුරේ ඇතැම් ප්‍රදේශවල ජනතාව මයික්‍රො ක්‍රෙඩිට් සමාගම් පවත්වා ගෙන යන ණය කොල්ලයට එරෙහිව පෙළපාළි යන තත්ත්වයකට පත්ව තිබෙන අතර එවැනි තත්ත්වයක් වියළි කලාපීය ප්‍රදේශවලද ඇතිවිය හැකිය.
පොදුවේ ගත්විට ගම්වල පවතින අවාසනාවන්ත තත්ත්වය ගැන හා විශේෂ වශයෙන් මයික්‍රො ක්‍රෙඩිට් සමාගම් කරමින් තිබෙන දැවැන්ත විනාශය ගැන හෝ පොදුවේ ගත්විට ගම්වල ඇතිවී තිබෙන අතිවිශාල පරිහානිය ගැන ආණ්ඩුවට යථා අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්නට නැත. වන සතුන් කරන හානිය ගැන කිසියම් ප්‍රමාණයක අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්නට ඇතත්, ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට අවශ්‍ය කරන ආත්ම විශ්වාසය නම් ආණ්ඩුවට තිබෙන බවක් පෙනෙන්නට නැත.
මොණර ගහණය හා වල් ඌරු ගහණය වෙනදා පාලනය කළේ නරින්ය. නරි මොණර පැටවුන් හා වල් ඌරු පැටවුන් ආහාරයට ගත්හ. මොණරුන් හා වල් ඌරන් පැටවුන් හදන තරමට උන්ට ජීවත්වීමට ඉඩ ලැබුණේ නැත. එම පැටවුන්ගෙන් වැඩි පංගුවක් උන් ආහාරයට ගත්තේය. දැන් නරියා මොන හේතුවක් නිසා හෝ අතුරුදන්වෙමින් සිටින සත්ත්ව විශේෂයක් බවට පත්වී තිබේ. මොණර හා වල් ඌරු ගහණයේ වේගවත් ව්‍යාප්තියට නරියාගේ අතුරුදන්වීමද වැදගත් සාධකයක් ලෙස බලපා තිබේ. වන සතුන් කෘෂිකර්මයට කරන හානිය ගැන ආණ්ඩුවට යම් තරමක අවබෝධයක් ඇතත් එහි තරම නොසලකා ඔවුන්ගේ වර්ධනයට ඉඩදී තවදුරටත් බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් විය හැකිව තිබෙන විනාශය අතිවිශාලය.
නිදහසේ වන සතුන්ට බෝවන්නට ඉඩ හරින ප්‍රතිපත්තියක් ඇති කළ හැකි ප්‍රතිඵලය ගැන හරි වැටහීමක් ලබාදෙන මෙම උපුටා දැක්වීම මාර්ටින් වික්‍රමසිංහගේය.
“ඇත්තු ඉතා සෙමින් බෝවන සත්ව වර්ගයකි. එහෙත් ඇතකුගෙන් හා ඇත්තිනියකගෙන් බෝවන ඇතුන්ගේ සංඛ්‍යාව අවුරුදු හත්සිය පනහකදී පහළොස් ලක්ෂයක් වන්නේ යැයි චාල්ස් ඩාවින් කීය. මැස්සන් ජෝඩුවකින් දෙසතියකින් බෝවන මැස්සන්ගේ සංඛ්‍යාව විසි දහසකි. ඒ විසිදහසෙන් තවත් දෙසතියකදී බෝවන ගණන විසි කෝටියකැයි කීවේ ඩාවින්ගේ කාලයෙහිම විසූ ජීව විද්‍යාඥයකු වූ සර් ඇල්ෆ්‍රඞ් රසල් වොල්ස් විසිනි.”