රාවය

ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රශ්න පත්තරයක්

ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රශ්න පත්තරයක්

වික්ටර් අයිවන්

රට තිබෙන්නේ ලොකු කඩා වැටීමකට හසුවූ තත්ත්වයකය. ඒ අනුව කාලසටහනකට අනුව රටේ දේවල් සිදුවනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකිය. එහෙත් තාමත් මහජනයා පමණක් නොව උගතුන් පවා සිතන බව පෙනෙන්නේ හුරුපුරුදු පරණ ක්‍රමයටම දේවල් සිදුවනු ඇති බවය. රටේ ඇතිවී තිබෙන කඩා වැටීම ඔවුන්ට මුළු එකක් වශයෙන් පෙනෙන්නේ නැත. පෙනෙන්නේ වෙන් වෙන් වශයෙනි. කඩා වැටීම් අතර තිබෙන අන්තර් සම්බන්ධය ඔවුන්ට නොපෙනෙනවා විය යුතුය. දේශපාලන හා ආයතන ක්‍රමය අතර තිබෙන අන්තර් සම්බන්ධයද ඔවුන්ට පෙනෙන්නේ නැත.
දේශපාලන හා ආයතන ක්‍රමයේ ඇතිවී තිබෙන කඩා වැටීම හා එය ඇති කරන්නට යන ප්‍රතිඵල තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැති අතර ඔවුන්ගේ උනන්දුවට වඩාත්ම හේතුවී තිබෙන්නේ 2019 අවසානයේ පැවැත්විය යුතුව තිබෙන ජනාධිපතිවරණය ගැනය. ඊළඟ ජනාධිපතිවරණයේදී බලයට පත්වනු ඇත්තේ කව්ද යන ප්‍රශ්නය ඔවුන්ගේ උනන්දුවට හේතුවී තිබෙන ලොකුම ප්‍රශ්නය වී තිබෙන්නේ යැයි කිව හැකිය. යහපාලන ආණ්ඩුව නැවත පූට්ටු කළ නොහැකි ලෙස දෙපළු වී තිබියදීත් ආණ්ඩුවේ හිතවතුන් මෛත්‍රී හා රනිල් අතර ඇති කරගත යුතු සමඟියක් ගැන සිහින දකිති.
ක්‍රමයේ ඇතිවී තිබෙන කඩා වැටීම ඇති කරමින් තිබෙන අර්බුදය විසින් දේශපාලන කාලසටහන වෙනස් කළ හැකිය. එය නෛසර්ගිකව සිදුවිය හැකිවා සේ ම මහජනයා විසින්ද සිදුකළ හැකිය. ජනාධිපතිවරණයක් පැවැත්වුවද සමහරවිට ජයග්‍රාහකයාට පාවිච්චි කළ ඡන්දවලින් සියයට 50කට වැඩි ඡන්දයක් ලබාගත නොහැකි තත්ත්වයක් ඇතිවිය හැකිය. එසේම ජනාධිපතිවරණයේදී පාවිච්චි කෙරෙන ඡන්ද සංඛ්‍යාව සියයට 50කට වඩා අඩුවිය හැකි තත්ත්වයක්ද ඇතිවිය හැකිය. ඒ දෙකෙන් කුමක් සිදුවුවද වියහැක්කේ ලොකු ව්‍යවස්ථා අර්බුදයකි. අනෙක් අතට ඒ කිසිවක් සිදු නොවී නව ජනාධිපතිවරයකු පත්වුවද රට තිබෙන්නේ එම ජනාධිපතිවරයාට පාලනය කළ නොහැකි අවුල්සහගත තත්ත්වයකය. ඒ නිසා අන් සියලු දේට ප්‍රථම ආයතන ක්‍රමයේ ඇතිවී තිබෙන කුණුවීම ජයගැනීම වැදගත්ය. ඒ සඳහා සමාජය හා රාජ්‍ය ප්‍රතිනිර්මාණය කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් රටට අවශ්‍යය. එය සංවිධානාත්මක හා ජාලගතවූ මහජනයාගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ සිදුවිය යුතුව තිබෙන දෙයක් නූතන ජාතිය ගොඩනගා ගැනීම හා රාජ්‍ය ප්‍රතිනිර්මාණය කිරීම එම ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය යුතුය.
මේ ලිපියෙන් අපේක්ෂා කරන්නේ ජනාධිපතිවරණයක් පැවැත්වේ නම් එම ජනාධිපති අපේක්ෂකයන් සඳහා ප්‍රශ්නාවලියක් සකස් කිරීමය. එය පරිපූර්ණ ප්‍රශ්න පත්‍රයක් ලෙස නොසැලකිය යුතුය. එම ප්‍රශ්නාවලිය වැඩි දියුණු කරගැනීම සඳහා පාඨකයන්ටද දායක විය හැකිය. ඒ මගින් ප්‍රශ්නාවලිය වඩා හොඳින් සංවර්ධනය කරගත හැකිය.
ප්‍රශ්නාවලියෙන් අපේක්ෂා කරන්නේ ජනාධිපති අපේක්ෂකයන් ලෙස තරග කරන්නට බලාපොරොත්තුවන්නන් පමණක් නොව මහජනයාද එම නිශ්චිත ප්‍රශ්නවලට අභිමුඛ කිරීම මගින් රටේ පවතින යථාර්ථය තේරුම් ගැනීමට හේතුවන ලෙස බුද්ධිමය වශයෙන් අවධි කිරීමක් සිදුකිරීමය. ජනාධිපතිවරණයට තරග කිරීමට අපේක්ෂාවක් නැති එහෙත් රාජ්‍ය පාලකයා විය හැකිනම් රටේ ප්‍රශ්න විසඳීමේ ඇත්ත හැකියාවක් තමන්ට ඇතැයි විශ්වාස කරන අයටද තමන් ජනාධිපතිවරණයට තරග නොකරන්නකු බව ප්‍රකාශ කරමින් මෙම ප්‍රශ්නාවලියට උත්තර සැපයිය හැකිය. සමහරවිට එවැන්නන් අතර වඩා හොඳ දක්ෂයෝ සිටිය හැකිය. රටේ අර්බුදය හා ඒවාට දෙන විසඳුම් පිළිබඳව මෙහි නගා ඇති ප්‍රශ්නවලදී ප්‍රශ්න ඉදිරිපත් කර ඇත්තේ සංකේතාත්මක වැදගත්කමක් ඇති තෝරාගත් අංශ කිහිපයක් සඳහා පමණය. මෙම අභ්‍යාසයේ අරමුණ ජනාධිපතිවරණයට තරග කරන්නට අපේක්ෂා කරන අය වඩා හොඳින් තේරුම් ගැනීමට මහජනයාට අවස්ථාවක් ලබාදීමය.

1. ජාතික අර්බුදය

(අ) සමාජයේ පවත්නා වර්ග, කුල, ආගම් භේද තුනී කොට සමාජය ඒකාග්‍ර කිරීමට හේතුවන ලෙස ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම. ඒ නිසා වර්ග, කුල, ආගම් භේද පදනම් වූ ප්‍රචණ්ඩ ගැටුම් ඇතිවීම, ඒ නිසා සමාජයේ පැවති බෙදීම් වර්ධනය වීම, ලංකාවේ ජාතික අර්බුදය කෙරෙහි බලපා තිබෙන ලොකුම සාධකය ලෙස සැලකිය හැකිය. දැන් රටේ ලේ හැලෙන ප්‍රචණ්ඩ ගැටුම් නොපැවතියත් සැබෑ සමාජයක් හෝ සැබෑ සමාජ ඒකාග්‍රතාවන් ඇතිවී නැත. එම තත්ත්වය ඔබ දකින්නේ කෙසේද? ඔබ එම මූලික ප්‍රශ්නය විසඳීමට ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන ප්‍රතිසංස්කරණවල මූලධර්ම මොනවාද?
(ආ) රටේ සිංහල තරුණ කැරලි දෙකක්ද දිග්ගැස්සුණු තරුණ දෙමළ කැරැල්ලක්ද ඇතිවිය. මේ කැරලිවලදී කැරලිකරුවන් සේ ම කැරලි මර්දනය කරන්නන්ද උපරිම මට්ටමේ කෲරත්වයක් සමාජය මත මුදා හළහ. විශේෂයෙන් ජේවීපී දෙවැනි කැරැල්ලේදී හා එල්ටීටීඊ කැරැල්ලේදී මියගිය හා අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව විශාලය. අතුරුදන්වූවන් පිළිබඳ ප්‍රශ්නය අතුරුදන්වූවන්ගේ පවුල් කෙරෙහි බලපා තිබෙන උද්වේගකර සමාජ ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකි අතර එම කැරලි විසින් රටට දායාද කර තිබෙන වෙනත් සමාජ ප්‍රශ්න රැසක්ද ඇත්තේය. එම ප්‍රශ්න ඔබ දකින්නේ කවර ආකාරයටද? ඒවා විසඳීමට අපේක්ෂා කරන මූලධර්ම මොනවාද?

2. නීතියේ පාලනයක් නැතිකම

නීතියේ පාලනයක් නැතිකම රටේ තිබෙන අවුල් උග්‍ර කිරීමට බලපා තිබෙන වැදගත් ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැකිය. නීතිය ක්‍රියාත්මක කරවන හා නීතිය පසිඳලන ආයතන තිබෙන්නේ අන්ත දූෂිත හා අකාර්යක්ෂම තත්ත්වයකය. ව්‍යවස්ථා සභා ක්‍රමයක් යටතේ තිබෙන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය ඊට විසඳුමක් වී නැත. අපරාධ නඩු පැවරීම්වලදී දඬුවම් ලබන්නන්ගේ අනුපාතිකය සියයට 4ක් තරම් පහළ මට්ටමක පවතී. නඩු ප්‍රමාදයද ලංකාවේ අධිකරණ ක්‍රමයේ තිබෙන ලොකු ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. නීතිය මත පාලනය පිළිබඳ සංකල්පය ඔබ පිළිගන්නේද? පිළිගන්නේ නම් නීතිය මත පාලනයක් ඇති කිරීම සඳහා ක්‍රියාත්මක කරන්නට අපේක්ෂා කරන ප්‍රතිසංස්කරණවල මූලධර්ම මොනවාද?

3. රාජ්‍ය සේවය

(අ) රටේ තිබෙන්නේ රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන තරම් විශාල රාජ්‍ය සේවයකි. රාජ්‍ය සේවයේ සේවා නියුක්තිය 1117808කි. ලංකාවේ ජනගහනයෙන් හැම පුද්ගලයන් 18 දෙනකුටම එක් අයෙක් රජයේ සේවකයෙකි. රජයේ සේවකයන්ගේ ශ්‍රම ඵලදායකත්වය ඉතා පහත් මට්ටමක පවතින අතර කාර්යක්ෂමතාව පවතින්නේද ඉතාමත් පහත් මට්ටමකය. රාජ්‍ය සේවක වැටුප් බිල රටේ අයවැය ලේඛනයට ඇතිකර තිබෙන බර අතිවිශාලය. මේ තත්ත්වය ඔබ දකින්නේ කවර ආකාරයකටද? ඵලදායී හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා ඔබ යෝජනා කරන ප්‍රතිසංස්කරණවල මූලධර්ම මොනවාද?
(ආ) රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ක්‍රමය හදා තිබෙන්නේ සියලු සේවා එකට ගැටගසන ක්‍රමයකටය. ඒ තුළ ලොකු විසමතා තිබෙන අතර කිසියම් සේවයක් සඳහා ඇති කරන වෙනස්කමක් අන් සියලු සේවා සඳහාද බලපායි. එම ක්‍රමය කිසියම් සේවාවක ඇතිවන සාධාරණ වැටුප් ප්‍රශ්නයක් පවා විසඳිය නොහැකි තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ. දැන් කාලයක් තිස්සේ වැටුප් වැඩිවීම් සිදුවන්නේ අධිකරණයේ විනිසුරුවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පමණය. නීති සම්පාදකයා ලෙස ක්‍රියාකරන ව්‍යවස්ථාදායකයට ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරුන් සඳහා වැටුප් වැඩිවීමක් අවශ්‍ය වූ විට අධිකරණයේ විනිසුරුවරුන්ට වැටුප් වැඩිවීමක් ලබාදී ටික කලක් යන්නට ඉඩ හැර අධිකරණයේ විනිසුරුවරුන්ට සාපේක්ෂව තමන්ට ලැබෙන වැටුපද වැඩිකර ගනී. මේ ක්‍රමය ගැන ඔබේ විග්‍රහය කුමක්ද? මෙම අශෝභන ක්‍රමය වෙනස් කිරීම කුමන මූලධර්ම මත සිදුකරන්නට බලාපොරොත්තු වන්නේද?

6. අධ්‍යාපනය

රටේ අධ්‍යාපන ක්‍රමය තිබෙන්නේ පසුගාමී තත්ත්වයකය. පාසල් ක්‍රමයේ ලොකු විසමතා තිබෙනවා සේ ම උගන්වන ක්‍රම හා උගන්වන දේවල් තිබෙන්නේද යල් පැනගිය තත්ත්වයකය. ළමුන් කරුණු සොයා ඉගෙන ගන්නා ක්‍රමයක් වෙනුවට තිබෙන්නේ කටපාඩමට බර තබන ලද ක්‍රමයකි. ද්විභාෂා අධ්‍යාපනයක් වෙනුවට තිබෙන්නේ ඒක භාෂා අධ්‍යාපන ක්‍රමයකි. පාසලෙන් ලබන අධ්‍යාපනයෙන් පමණක් විභාග සමත් විය නොහැකි නිසා ටියුෂන් අධ්‍යාපනයට ලොකු වියදමක් දරන්නට මාපියන්ට සිදුවී තිබේ. අධ්‍යාපන ලෝකය හා රැකියා ලෝකය අතරද ගැළපීමක් නැත. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන ඔබ දරන අදහස් මොනවාද? අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා යොදා ගන්නා මූලධර්ම මොනවාද?

තරග කිරීම

(අ) ඔබ තරග කරන්නට යන්නේ කලක් තිස්සේ ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වී සිටි දේශපාලන පක්ෂයක නායකයා හෝ ක්‍රියාකාරී පුද්ගලයකු වශයෙන් එම පක්ෂයේ අපේක්ෂකයා වශයෙන්ද?
(ආ) නැතිනම් තරග කිරීමට තමන්ගේම දේශපාලන පක්ෂයක් නැති නිසා ලියාපදිංචි කළ තමන්ට මීට පෙර ලොකු සම්බන්ධයක් නැති ලියාපදිංචි ලේඛනයේ තිබෙන මහජන පිළිගැනීමක් නැති දේශපාලන පක්ෂයක නියෝජිතයකු වශයෙන්ද?
(ඇ) එසේත් නොවේ නම් තරග කිරීමට තිබෙන අයිතිය ලබාගන්නේ කවර ආකාරයකටද?

අරමුදල් හා වියදම්

(අ) වර්තමාන මිල ගණන් අනුව ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයකුට දරන්නට සිදුවන වියදම පිළිබඳව ඔබේ ඇස්තමේන්තුව කුමක්ද?
(ආ) එම වියදමෙන් කොපමණ පංගුවක් ඔබේ පුද්ගලික මුදලින් දරන්නේද?
(ඇ) ජනාධිපතිවරණය සඳහා යන වියදම මුළුමනින් හෝ කිසියම් පංගුවක් අනුන්ගෙන් ලබාගැනීමට බලාපොරොත්තු වේ නම් එය ලබාගැනීමට බලාපොරොත්තුවන්නේ කවර ආකාරවලටද?
(ඈ) ජනාධිපතිවරණ වියදමට පරිත්‍යාග ලබාදෙන අය අතර රුපියල් මිලියන සිය ගණනින් ලබාදෙන පරිත්‍යාග වේ නම් ඔබ ඒවා භාරගන්නේද?
(ඉ) ඔබට ලොකුවට මුදල් පරිත්‍යාග කරන අය කළු සල්ලිකාරයන් හෝ අයථා ලෙස ධනය උපයාගත් අය ලෙස පෙනේ නම් ඔබට ලැබෙන එවැනි මුදල් පරිත්‍යාග සම්බන්ධයෙන් ඔබ අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්ද?
(ඊ) සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයකු තෝරා ගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණයකදී රාජ්‍ය නායකත්වය සඳහා තරග බිමට එන අපේක්ෂකයාට මහා පරිමාණයෙන් මුදලින් ආධාර කරන්නන් එසේ කරන්නේ ලබාදෙන ලද ලොකු මුදලට සරිලන ලොකු ප්‍රතිලාභ ලැබීමේ අපේක්ෂාවෙනි. එහිදී ලොකුවට මුදල් ආධාර ලබාගන්නා අපේක්ෂකයා සිය ජයග්‍රහණයෙන් පසු ලොකුවට මුදල් ආධාර ලබා දුන් අය නොසලකා ක්‍රියාකරන ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් ඒ නිසා ඇතිවන ගැටුමෙන් දෙදෙනාගෙන් කෙනකු මුළුමනින් විනාශ වන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනය කෙරෙහිද බලපෑවේ එවැනි සිද්ධියකි. බණ්ඩාරනායක 56 මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබාගන්නේ ප්‍රධාන ප්‍රභවයන් තුනකිනි. ඉන් එක් අයෙක් වූයේ ලංකාවට මානව හිමිකම් විෂය හඳුන්වා දුන් එස්. නඬේසන්ය. අනෙක් ප්‍රධාන පුද්ගලයන් දෙදෙනා වූයේ එකල කැලණිය විහාරයේ අධිපතිව සිටි මාපිටිගම බුද්ධ රක්ඛිත හිමි හා බණ්ඩාරනායක ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරියක් වූ විමලා විජේවර්ධනගෙනි. බුද්ධ රක්ඛිත හිමි බණ්ඩාරනායකට මුදල් දී තිබුණේ ලංකාවට සහල් ආනයනය කෙරෙන ඒකාධිකාරී අයිතිය තමන් වෙත ලබාගැනීම සඳහාය. බණ්ඩාරනායක එය දැන සිටියේය. ඍජු ලෙස හෝ අනියම් ලෙස එයට එකඟ වී තිබූ බවද පෙනේ. බණ්ඩාරනායක ඒ පොරොන්දුව ඉටුකරනු ඇතැයි විශ්වාස කළ බුද්ධ රක්ඛිත හිමි එක්සත් රාජධානියට ගොස් නැව් සමාගමක් සමග ඒ සඳහා වන ගිවිසුමක්ද ඇති කරගෙන තිබුණි. එහෙත් බණ්ඩාරනායක බලයට පත්වීමෙන් පසු එම පොරොන්දුව ඉටු නොකර කට්ටි පැන්නේය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ එම භික්ෂුව දියත් කරන ලද කුමන්ත්‍රණයකින් බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කිරීමය. එය නිදහසින් පසු ලංකාවේ සිදුවූ ප්‍රථම දේශපාලන ඝාතනය විය. බණ්ඩාරනායක අගමැතිවරයාටද මාක්ස්ට සේ ම තමන්ගේ විප්ලවය සඳහා කාරක බලවේගයක් සිටියේය. ඔහු එය හැඳින්වූයේ පංච මහා බලවේගය ලෙසය. එම පංච මහා බලවේගය සමන්විත වූයේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන බලවේග පහෙනි. බණ්ඩාරනායක ඝාතනය කිරීම සඳහා බුද්ධ රක්ඛිත තෝරාගත් සෝමාරාම නමැති භික්ෂුව, ආයුර්වේද වෛද්‍යවරයකුද, ගුරුවරයකුද ගොවි පසුබිමකින් පැවත එන කෙනකු හා වැටුප් ලබන්නකු වශයෙන් කම්කරුවකු ද විය. මෙම ඛේදජනක සිද්ධියෙන් පසු ලංකාවේ කිසිම රාජ්‍ය නායකයකු තමන්ගේ බරපැන ඉසිලූ ධනවතාට ද්‍රෝහී වී නැත. දැන් බර පැන උසුලන්නන්ගේ භූමිකාව සංවිධානාත්මක මාෆියාවක් දක්වා වර්ධනය වී තිබෙන්නේ යැයිද කිව හැකිය. ඔබ එම මාෆියාව සමග ගනුදෙනු කරන්න යන්නේ කෙසේද?
(ඌ) ලංකාවේ ජනාධිපති අපේක්ෂකයන් රීතියක් වශයෙන් තමන්ට ලැබෙන මුදල් සඳහා මුදල් ලබාගත්තවුන්ට කුවිතාන්සි දෙන්නේ නැත. එම මුදල් පුද්ගලිකව තමන් ළඟ තබා ගන්නවා මිස පක්ෂ අරමුදලට බැර කරන්නේද නැත. ඒ අර්ථයෙන් ලංකාවේ ජනාධිපතිකමට පත් සියලු ජනාධිපතිවරුන් කළු සල්ලිවලින් බලයට පත්වූ ජනාධිපතිවරුන් ලෙස සැලකිය හැකිය. ඔබ ගමන් කරන්න බලාපොරොත්තුවන්නේ ඒ මාර්ගයේමද? නැතිනම් ගමන් කරන්නට අපේක්ෂා කරන්නේ වෙනස් මාර්ගයක් නම් එය කුමක්ද?
(එ) ඔබ ජනාධිපතිවරණයට තරග කරන්නේ කිසිම කෙනකුගෙන් මුදල් ලබාගැනීමකින් තොරව තමන්ගේම මුදලින් නම් හා ඔබ ඒ හැකියාව ඇති තරමේ ධනවතකු වේ නම් ඔබ ජනාධිපතිවරණයට තරග කරන්නේ ඔබට තිබෙන ධන බලයෙන් සියලුදෙනා මිලදී ගෙන ජනාධිපතිවරයකුට හිමි බලයෙන් තවදුරටත් ධනය උපයා ගැනීමේ පවිටු අරමුණින් යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එය එසේ නොවන බව ඔබට සනාථ කළ හැකිවනු ඇත්තේ ඔබ තමන්ට තිබෙන ධනයෙන් සැලකිය යුතු පංගුවක් පොදු යහපත සඳහා වැය කර තිබෙන බව සනාථ කළ හැක්කේ නම් පමණය. ඒ ගැන ඔබට කියන්නට තිබෙන්නේ කුමක්ද?
(ඒ) 1977ට පෙර පැවති මැතිවරණ නීති අනුව මැතිවරණවලට තරග කරන අපේක්ෂකයෝ මැතිවරණය සඳහා තමන්ට ලැබුණු ආධාර හා ඒවා වියදම් කරන ලද ආකාරය විස්තර කරන වාර්තාවක් මැතිවරණයට පසුව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට භාරදීමට නීතියෙන් බැඳී සිටියෝය. එවැනි ක්‍රමයක් දැන් ක්‍රියාත්මක වන්නේ නැතත්, ඔබට ලැබුණු ආධාර හා වියදම් පිළිබඳ වාර්තාවක් මහජනයාගේ දැනගැනීම සඳහා මැතිවරණයෙන් පසු ප්‍රසිද්ධ කළ හැකිය. එවැනි ක්‍රමයක් අනුගමනය කිරීමට ඔබ සූදානම්ද?

ජයග්‍රහණයෙන් පසු පාලනය

(අ) ඔබ ජනාධිපතිවරණය ජයගන්නේ සාම්ප්‍රදායික පක්ෂ දෙකෙන් එකක නියෝජිතයකු වශයෙන් නම් 19 වැනි සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තෙක් ඔබට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිය. පාර්ලිමේන්තු මැතිවරණයකට යන තෙක් ඔබට පාර්ලිමේන්තුවේ බහුතර බලයට හිමිකම් කියන්නට ලැබෙන්නේ නැත. ඔබ ඇමති මණ්ඩලයක් ගොඩනගා ගන්නේ කෙසේද?
(ආ) ඔබ ජයග්‍රහණය ලබන්නේ පාර්ලිමේන්තු නියෝජනයක් තිබෙන පක්ෂයක නියෝජිතයකු වශයෙන් නොවේ නම් ඊළඟ මැතිවරණය තෙක් ඔබට රට පාලනය කරන්නට සිදුවනු ඇත්තේ තමන්ගේ මන්ත්‍රී කණ්ඩායමක් නැතිවය. අනෙක් අතට පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර බලයක් ලබාගැනීම සඳහා පක්ෂයක් අලුතෙන් හදාගෙන හොඳ අපේක්ෂක පිරිසක්ද හයමාසයක් තරම් කෙටි කාලසීමාවක් තුළ සොයා ගැනීමේ දුෂ්කර උත්සාහයක නිරතවීමට සිදුවන්නේය. ඒ උත්සාහයේදී පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාගැනීමට ඔබ අසමත් වෙතොත් පාර්ලිමේන්තු බහුතරයක් නැතිකමේ ප්‍රශ්නයට මුහුණදෙන්නේ කෙසේද? පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති පාලකයකුට සාර්ථක පාලනයක් පවත්වාගෙන යෑමේ හැකියාවක් තිබේද? ඒ ගැන ඔබට කියන්න තියෙන දේ කුමක්ද?
(ඇ) ඊළඟ ජනාධිපතිවරණයෙන් තේරී පත්වන ජනාධිපතිවරයකුට රට පාලනය කිරීමට සිදුවනු ඇත්තේ දූෂිත නිලධර තන්ත්‍රයත්, දූෂිත ව්‍යවස්ථාදායකයත් හා දූෂිත අධිකරණයත් සමගය. එහිදී ජයග්‍රාහී ජනාධිපතිවරයාට තෝරාගැනීමට තිබෙන්නේ මාර්ග දෙකකි. පළමු මාර්ගය වන්නේ අනෙක් සියලු ජනාධිපතිවරුන් මෙන් හොඳට කුණුවී තිබෙන රාජ්‍යයේ එම බල මණ්ඩල තුන සමග සහයෝගයෙන් ක්‍රියාකරන තත්ත්වයකට යෑමය. එවිට ජනාධිපතිවරයාද කුණුවූ තත්ත්වයකට පත්වන්නේය. කුණුවූ තත්ත්වය තිබෙන බලමණ්ඩල තුනේ ගැඹුරු වෙනසක් ඇති කිරීම තෝරා ගැනීමට තිබෙන දෙවැනි මාර්ගයයි. එහෙත් එය සරල පහසු දෙයක් නොවේ.
මෙම බල මණ්ඩල තුන දැන් තිබෙන්නේ බාහිරින් එල්ල වන ලොකු සමාජ බලපෑමකින් තොරව අභ්‍යන්තරයෙන් එල්ල වන බලපෑමෙන් පමණක් වෙනස් කළ නොහැකි තරමට කුණුවූ තත්ත්වයකය. ඒ බව නොසලකා ගැඹුරු වෙනසක් ඇති කරන්නට වෙර දරන ජනාධිපතිවරයකු වේ නම් එම දූෂිත බල මණ්ඩල තුන එකට එකතු වී ජනාධිපතිවරයා වටකොට ඔහු හිරකොට විනාශ කරනු නොවැළැක්විය හැකිය. ඔබ එහිදී තෝරා ගන්නට යන්නේ කුමන මගක්ද?
(ඈ) ජනාධිපතිවරණයට තරග කරන ඔබ ඔබේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම සකස්කර ගන්නේ කාගෙන්ද? ඔවුන් කවුද? ඔවුන් අතර දූෂිත ඉතිහාසයකට හිමිකම් කියන අය සිටී නම් ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන්නට බලාපොරොත්තු වන ප්‍රතිපත්තිය කුමක්ද? ඔබ ඔබේ ප්‍රධාන කණ්ඩායමට පුද්ගලයන් තෝරා ගැනීමේදී යොදා ගැනීමට අපේක්ෂා කරන මූලධර්ම මොනවාද?
යහපාලන ආණ්ඩුවේ නිල කාලය වේගයෙන් අවසන්වෙමින් තිබෙන අතර රට තිබෙන්නේ පාලනයක් පවත්වාගෙන යා නොහැකි අවුල්සහගත තත්ත්වයකය. ආණ්ඩුවේ අදූරදර්ශී ප්‍රතිපත්ති මහජනයා කෙරෙහි බලවත් පීඩනයක් ඇතිකර තිබෙන අතර ඒ නිසාම විවිධ මහජන විරෝධතා ව්‍යාපාර නොකඩවා කරළියට එන බවක්ද පෙනෙන්නට තිබේ. පොලිසිය හා විරෝධතාකරුවන් අතර ඇතිවිය හැකි ගැටුම් රටේ තිබෙන අවුල්සහගත අරාජක තත්ත්වය උග්‍ර කිරීමට හේතුවිය හැකිය.
උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේ සිරදඬුවම් ලබා සිටින ඥානසාර හිමිගේ ප්‍රශ්නය මෙන්ම, ඒ හා සමාන චෝදනාවක් එල්ල වී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පිළිබඳ ප්‍රශ්නයද උද්වේගකර ප්‍රශ්න ඇති කිරීමට හේතුවිය හැකිය.
ආණ්ඩුව තිබෙන්නේ බෙලහීන බවට පත්ව තිබෙන තත්ත්වයකය. ප්‍රධාන විරුද්ධ පක්ෂය ලෙස සැලකිය හැකි මහින්ද පිල රට පුරා පවත්වන ලද පළාත් පාලන ඡන්දයෙන් ලොකු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් වුවත් ජයග්‍රාහී විකල්පය බවට පත්වීමට තවමත් සමත් වී නැත. දැන් තිබෙන්නේ ආණ්ඩුවට සීමාවූ අර්බුදයක් නොව පොදුවේ ක්‍රමයට අදාළ අර්බුදයකි. නැව තිබෙන්නේ සුක්කානම හසුරුවන කප්පිත්තා ඉවත් කොට අලුත් කප්පිත්තකු යොදාගෙන නැව පදවාගෙන යා නොහැකි තත්ත්වයකය. හරි විදියට නම් මේ මොහොතේ රට සිතිය යුතුව තිබෙන්නේ ඊළඟ කප්පිත්තා ගැන නොව නැව ගැනය.