ආයෙත් මහමූකලානට යන්න බැහැ – ප්‍රවීණ කිවියර නන්දන වීරසිංහ

සංවාදය – විමලනාත් වීරරත්න
ඡායා – රසික ගුණවර්ධන

නන්දන වීරසිංහ කවියාගේ නවතම කාව්‍ය සංග්‍රහය වන ‘ක්ෂණ නියාම’ ජූනි 28 ප.ව. 3.00ට මහවැලි කේන්ද්‍රයේදී එළි දකී. මහා කාශ්‍යප, ථේර ගාථාහි එන තාලපට, බුදුන් වටහා නොගත් පුක්කුසාථි ආදී බුද්ධකාලීන චරිත ක්ෂණ නියාම අරුත් මත්තෙහි වෙසෙති. සකලවිධ බෙදීම් ඒකත්වයක් තුළ විනිශ්චයකට බඳුන් කැරෙන කවි මඟකට පිළිපන් නන්දන 2011දී පළ කළ ‘සහස් රැස් යට’ කෘතියෙහි ප්‍රතිරාවයක් ලෙසද නව කෘතිය දක්වයි. මෙහි දෙසුම ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහ විසිනි.

නන්දන දකුණේ මිනිහෙක්. දකුණේ මිනිහා පිළිබඳ බලපවත්වන සමාජ මතයෙහි හොඳ නරක දෙකම තියනවා. ඔබ තුළ වෙසෙන දකුණේ මිනිහා කොහොම කෙනෙක්ද?

මට වයස 10-11 වනතුරුම තිබුණේ ගාලු ගඟබඩපත්තුව සහ හිනිඳුම ප්‍රදේශය අතර සැරිසැරීමක්. මේ සැරිසැරීම කළේ අම්මා එක්ක. ඒ ගමන්වලදී මම උරාගත්තේ පරිසරයේ අත්විඳීම් සමුදායයි. ඊළඟට මගේ මුතුන් මිත්තන්ගේ නෑසියන්ගේ චර්යාවන් මට බලපෑවා. ඒ හැරුණාම හුදෙක් දකුණේ මිනිහෙක් කියලා කියන සංස්කෘතියක් හෝ බුද්ධි විෂයක බලපෑමක් මට නැහැ. මම දකුණේ නොව මුළු රටේම හා මුළු ලෝකයේම මිනිහෙක්. දකුණෙන් ජීවිතේට පුංචි සංඥාවක් ගත්තු එක විතරයි වුණේ. ඕෂෝ විශ්වවිද්‍යාලයේ උගන්වනකොට කෙනෙක් අහනවා ඔබටත් රට බේරගන්න යුද්ධයට යාමට සිදුවුණොත් යනවද කියලා. මගේ කිවහැකි තනි රටක් නෑ, මම මුළු මහත් ලෝකයේම මනුස්සයෙක් කියලයි ඔහු උත්තර දෙන්නේ. මිනිහෙක් තුළ ප්‍රාදේශීයවාදයේ ශේෂයන් තිබිය හැකියි. ඒත් නිරවශේෂයෙන් ඉන් ඈත්විය යුතුයි කියලයි මම හිතන්නේ.

නන්දනට ලියන්න ඕනෑ කියලා මුලින්ම හිතුණේ කොහොමද?

එවකට උසස් පෙළ කරමින් සිටි මගේ සොහොයුරිය පාසල් පුස්තකාලයෙන් පොත් ගේනවා. සිරි ගුණසිංහගෙ මස් ලේ නැති ඇට, මාර යුද්ධය, අභිනික්මන, ජී.බී. සේනානායකගේ පළිගැනීම, ඩබ්ලිව්.ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහගේ පොත් මම මුලින්ම දැක්කේ ඇගේ පාඩම් මේසය මතදී. මම මස් ලේ නැති ඇට කියන පොත අරන් පෙරළලා බලනකොට සිව්පදයෙන් තොර ඒ කුඩා ආකෘතිය මුල්වරට දකිනවා. හැම කවියකටම හිස් අවකාශයක් ඉතුරු කරලා තිබුණා. කුඩාවට දිස්වුණු ඒ කවිය ගැන මට ඇල්මක් ඇතිවුණා. මුලින්ම ඒවා දිහා බලාගෙන ඒ වගේ අදහස් ටිකක් තමයි පෙළගස්සන්න උත්සාහ කළේ. මේක දුර යන වැඩක් කියලා හිතලා නෙවෙයි ඇත්තටම ඒ වගේ කුරුටුගෑම් කළේ. ඔය 1967දී විතර. එතකොට මට දහතුනයි.

සාමාන්‍යයෙන් ගෙදරදි නන්දනයි තාත්තයි අතර තිබුණු සමාජ සම්බන්ධය කොහොම එකක්ද?

ඔහු මාපලගම ඉඩම් හිමි වැවිලිකරුවෙක්. ඔහුගේ පියාට ගමෙන් භාගයක් අයිතිව තිබුණා. අපේ සීයා ගිං ගඟබඩපත්තුවේ උක් වගා කළා. ඔහු ගාල්ලේ මහමෝදර ඉඳලා පරණ තානායම් ගොඩැල්ල කියන ප්‍රදේශයට ඇවිත් තියෙන්නේ උක් වගාවටයි. උක් අඹරන යන්ත්‍ර සූත්‍ර එන්න කලින් සීයා අපේ ගෙවත්තෙ කම්හලක් පවත්වාගෙන ගියා. ඒකෙ රෝලර් කරකැවෙන්නේ හරකුන්ගෙන්. උක්දඬු රෝලට ඇතුළු කළාම ඇඹරිලා, තැලිලා, පොඩිවෙලා යුෂ අනික් පැත්තෙන් තඹ හට්ටියකට එකතු වෙනවා. ඒවා සීනි හදන්න ගාල්ලට යවනවා. ඒත් සීයගෙන් තාත්තට අයිති වුණාට පස්සේ අපේ ව්‍යාපාර බලාගෙන ඉන්දැද්දී වැටුණා. තාත්තා මහන්සි නොවී විවේකයෙන් ඉන්න කැමති කෙනෙක්. ඔහු අන්තිමට ඉඩකඩම් ටිකත් වික්කා. මාගේ කාලය එනකොට අපිට උක් ගහක්වත් නැහැ. මගේ දෙවැනි කවි පොතේ වලව්වට වැසි ඇවිත් කියලා මම ලියන්නේ ඒ වැටීම ගැන. තාත්තට කරන්න බැරිවුණු ව්‍යාපාර උස්සලා ගන්න කියලා නෑදෑයෝ මට බල කළා. ඒත් මමත් එක් අතකින් තාත්තගේම පුතා. ඒවා කරන්න මම බැහැ කිව්වා. මම කවි ලිව්වා.

දිනාගන්න හිතන කිසිම දෙයක සැපයක් නැතැයි කියන ස්ථාවරයේ ඔබේ මව සිටි බව ඇය ගැන ඔබ පළමු කාව්‍ය සංග්‍රහයේදීම ලියා තිබෙන දේවලවලින් විශද වෙනවා. මව ඔබේ ලිවීම්වලට බලපෑවද?

අපේ අම්මට සම්භාව්‍ය සාහිත්‍යයේ එන කවි සහ ජන කවි සිය ගාණක් කට පාඩම්. අපේ ගෙදර ඉඳලා අපේ මවගේ ගම වන හිනිදුම යන වෙලාවල්වලට ඇය සෙමින් මේ කවි ගයමින් තමයි මාත් එක්ක යන්නේ. ඇගේ පියාට කියන්නේ හිනිදුම ලුවිස් අප්පුහාමි මහ බදුවත්තේ කොන්දොස්තර කියලයි. ඔහු ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරයේ හිටිය කෙනෙක්. අපේ අම්මටවත්, තාත්තටවත් වස්තුව පසුපස හඹා යන ගති ලක්ෂණ තිබුණේ නැහැ. මටත් ඒ මූලය තමයි අදටත් බලපාලා තියෙන්නේ. සමහරවිට ආර්ථිකමය වශයෙන් දියුණුවට පත්වන්න තිබුණු මාර්ග මම අත්හැරලා තියෙනවා. මම වසර 13-14ක් නුවර ප්‍රධාන පාසල් දෙකකින් ඉගෙන ගත්තා. ඒත් නුවර ජීවිතය මගේ නිර්මාණවලට ආවෙම නැහැ. වයස 10-11 වනතුරු අම්මාගේ ඇසුරේ ඇගේ හැඟීම් දැනීම් ඔස්සේ විඳගත් දේවල් තමයි මගේ නිර්මාණවල එක් පාදමක් වුණේ. මට මුලින්ම ලැබුණු රැකියාවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ. ඒ ගිං ගඟ ව්‍යාපාරයේ වැඩ පරීක්ෂකයකු විදියට.

ඔබ මුලින්ම සම්පාදනය කරන කාව්‍ය සංග්‍රහය ගිං ගඟේ විලාපය කෘතියයි. විලාපයට හේතුව ගිං ගඟ ව්‍යාපාරය නිසා ඇතිවූ පරිසරයේ භෞතික වෙනස්වීම්වල අතුරුඵලද?

හුඟාක් දුරට. උඩහා සිට පහළට ජලය ගලා එනවිට, එම ජල ගැලීම් පාලනය කිරීමටයි ගිං ගඟ යෝජනා ක්‍රමය ආවේ. ඒ කියන්නේ පහත්බිම් යටවීම වැළැක්වීමට. බද්දේගම සිට ගිංතොට දක්වා ගඟ දෙපස වැටි බැන්දා. ඒ වැටි අතර ගඟ මෙල්ල වෙලා ගියා. වැඩි වතුර පොම්පාගාරවලින් උරා ගත්තා. ඒත් සමස්ත ක්‍රියාවලිය අසාර්ථකයි. ගංවතුර පාලනයට මේක උදව් වුණේ නැහැ. අදත් ඒ පළාත් යටවෙනවා. මේකෙ වැඩ කරපු ගමේ හා පිට පළාත්වල අනියම් කම්කරුවන්ට ඒ වෙලාවෙ කීයක් හරි අතට ලැබුණට. ඔවුන් පසුව අනියම් සේවය නිසාම අනාථ වුණා. යෝජනා ක්‍රමයේ කෘෂිකර්මයට සුළු වශයෙන් උදව් වෙන්න ඇති. මේ ගැන ලොකු විවේචනයක් තමයි මට තිබුණේ.

එහි එන ප්‍රකට කවියක් තමයි ‘දුම්මල ගලට ගිය අම්මා’, ‘ලෝබ නැතුව ඔය ගල දුම්මල දුන්නේ, අම්මා පෙරළුවත් තරහක් නෑ හිතුණේ.’ පසුකාලීනව පැමිණි වෙනස්වීම් හා සංවර්ධනය ඒ විදියට උපේක්ෂාවෙන් පිළිගන්න ඔබ මැලිවුණාද?

ඒ අදහස මම මුළුමනින් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. කව්වලින් එහෙම පේනවා ඇති. මේක මගේ මුල්ම කවි පොත. ලෝක දෘෂ්ටිය පරිපාකයට පත්වෙලා නැහැ. මම ලියපු ගිං ගඟේ විලාපය කවියෙහි වුණත් ගැඹුරු ප්‍රත්‍යාවේක්ෂණයක් නැති බව පේනවා. සාමාන්‍ය ජීවිතයට ආශා කරන මනුස්සයෙක් දුම්මල ගලේ ඉන්නවා තමයි. ඒ වගේ මගේ පැරණි කවි පාදක කරගෙන සමහරු මට අද විවේචනයක් කරනවනේ ඔරිජිනල් එක නැති කරගත්තා කියලා. ඒත් ඒ කියන මූලයන් අලුත් කවිවලත් තියනවා. ස්වරූපය, කාව්‍ය මාර්ගය වෙනස්. එච්චරයි.

කිරි සුවඳැති රාත්‍රිය (90) ලියන කොට ඔබ එමඟින් එක්තරා දේශපාලනයක නියැලෙන බවක් පේනවා.

ඔය කියන කාලේ මම හිතාගෙන හිටියා කවිය සමාජ මෙහෙවර උදෙසා පාදක කරගත යුතුයි කියලා. මහවැලි ඉඩම්, දියවර දීම වැනි කටයුතුවලදී අසාධාරණකම් වෙනකොට වෛරයේ බිජු රැකුම කවියේදී ‘හදවත් වෛරයේ බිජු උණුසුම් කරන, නිසි කල දමා ගසනට ලොහො ගුලි ලෙසින කියා මම ලියනවා. ඒ සමාජීය ස්පර්ශය නැතිකර ගත්තා කියන එකයි මට පසුව එල්ල වූ චෝදනාව. මම ඒක හිස නමා පිළිගන්නවා. රසිකයන්ට ඒ විවේචනයට අයිතිය තිබිය යුතුයි. කොහොමටත් නිම් ඉම් එක පැහැර සොයා ගත් කවියකට වඩා නොමග ගොස් යළි හරි පාර සොයාගෙන එන කවියකට මම කැමතියි. ඒ නොමග තුළ අත්දැකීම් රැසයි.

පෙණ ගොබය යට, අලුත් උළුගෙයි, පළමු රාත්‍රිය වැනි කවිවලදී සමාජ වෙනසක් කළ යුතුය කියන කවියකු අපට මුණගස්වනවා.

ඒවා ඇත්තටම හුදු ආවේගයට ලියවු දේවල් නෙවෙයි. ඒ මොහොතේ මනා කොට තිබුණු අවබෝධයෙන්, ප්‍රමාණයට ලියූ දේවල්. ගිනි වැදුණු කැලෑමල් කවියේදී ‘වැවේ වැඩ කරන නෑඹුල අතක් මත් හිසක කෙස් අතර මුලාවන’ යනුවෙන් ලියවෙන්නේ අවංක හැඟීමෙන්ම තමයි. ගමේ නැගණිය ගැබිනියක්. එහෙත් නුදුරු වාඩිය පාළුයි. ඇය ගැබිනියක් කළ වාඩියේ සිටි නගරවාසී පුද්ගලයා යන්න ගිහින්. අලුත් වැව් ඉවුර නොහැදුණා නම්, රන් වළල්ලක් වගේ යසරුවට, එහෙම නම් මෙහෙම වින්නැහියක් ගමට වෙන්නේ නැහැ කියලා මගේ ප්‍රමාණයට මට හිතුණා. ඒ වෙලාවෙ ඒක පරම සත්‍යයක්ම තමයි.

ගිං ගඟේ විලාපයේදී දුක කියනවා. කිරි සුවඳැති රාත්‍රියේදී දුක නැති කිරීමේ මාර්ගයක් සොයනවා කිව්වොත් හරිද?

මම ගිං ගඟේ විලාපය කෘතිය පිළිගන්වන්නෙ ගිං ගඟ ව්‍යාපාරයේ වැඩ කළ අනියම් කම්කරුවන්ට. ඔවුන් වැඩ ඉවර වෙච්ච බොහෝ සැඳෑවල මා සමග දිගු සංලාපයන්ට එක්වෙනවා. ඒ කාලේ දවසක් මම ටිකක් හඳ පායලා තිබුණු පූර්ව රාත්‍රියක මූණ කට හෝදගන්න තෙලිකඩ කියන ඉසව්වෙන් ගිං ගඟට බැස්සා. මම වතුර දෝතක් ගන්න පහත් වෙනකොට ගිං ගඟ ව්‍යාපාරේ වැඩ කළ පැරණි ගම්වැසියෙක් කිව්වා හරියටම ඔන්න ඔතනට තමයි කමලබන්ධු මහත්තයගෙ ඔළුව පාවෙලා ආවේ කියලා. ඒ කියතකින් ශරීරය ඉරා දැමීමට භාජනය වෙද්දිත් කිසිම තොරතුරක් නොකියා මියගිය සටන්කාමියෙක්. පසුකලෙක ඔහු ගැන බක්මහේ කටහඬ කියා කවියක් ලියවුණෙත් කිරි සුවඳැති රාත්‍රියටමයි. ‘අවියෙන් වනසන්ට බෑ උතුම් අරමුණු. මරණය සුන්දරයි, සත්‍යය වෙත නැමුණු කියලා ලියවෙන්නේ කමලබන්ධු වෙනුවෙන්. සමාජ අසාධාරණයට එරෙහිව නැගී සිටිය යුතුයි කියන මතයේ ඒ දිනවල අවංකවම අපි සිටියා.

කොළඹ කවිය නන්දනට ලොකු බලපෑමක් වුණාද?

ඔව්. මීමන ප්‍රේමතිලක සංස්කරණය කළ නවීන පද්‍ය රචනා කෘතිය කියවපු ළමයි අපි. එහි පෙරවදන පවා කවියට අප බැඳ තැබුවා. මම නිදහස් කවියට ළැදි කෙනෙක් වුවත් අන්‍ය රීතියකටත් ගරු කරන්න ඉගෙන ගන්නේ කොළඹ කවියේ තිබුණු හෘදයාංගම බව නිසයි. මගේ ගෞරවනීයම කවියා කුමාරගම. ඔහුගේ කවියේ දැක්වෙන හෘදයාංගමභාවය මහා ප්‍රාදූර්භූතයක්. ඊළඟට අපේ අම්මා තාලයට ගයන කවි මට හරියට දැනුණා. ඇය විවිධ රිද්මාකාර කවි කිව්වා.

වක් වක් කොට උස ඇති
ගැඹුරු ගංගා දේවින්ට
දුර හැර අපි ධර්මෙට ආවෙද
රොක් රොක් කර අපි නරයෝ
ගොඩනගන්ට
සක් සක්වලට පින්දෙමි හැම
දෙවියන්ට.

මේවායේ ග්‍රාමීය ජන මූලයක් තියෙනවා. මම ඉස්සර ඉඳන් කඳුවලට හරි ආසක්තයි. අම්මා කියනවා අපේ ගේ වටේ තිබුණු කඳු පන්තිවලට අරක් ගත් දේවතාවුන් හිටියා කියලා. මං ඒ නිසා පොඩි කාලේ මේ කඳුවලට නැගලා බලනවා. ඈ එසේ පරිකල්පනයෙන් කියන දේවල් තිබුණා. මහා කතරක වුණත් නිලන වැසි මාලා දකින්න මට ඇගේ පරිකල්පනය ඔස්සේ අදත් පුළුවන්.

ඔබ ‘මහත් සඳ පිණි බිඳෙක’ කෘතියේ සිට උක්ත කාව්‍ය මාර්ගය අතහරිනවා. ඒ වෙනස සිද්ධවෙන්නේ කොහොමද?

සීගිරි කවිය මෙන්ම තවත් උසස් කවි ඇසුරු කළ පෙරහුරුවක් මට තිබුණා. ක්‍රි.ව. මුල ජපන් සාම්ප්‍රදායික කාව්‍ය මාර්ගයක් තිබුණා. ඒවා වකා හෝ තංකා යන නමින් හැඳින්වුණා. ඒක ජපන් හයිකු කවියේ ප්‍රභවයට මූලික වුණු කාව්‍ය මාර්ගයක්. කිසියම් අත්දැකීමකට සමීපව බැලීමයි එහිදී කෙරෙන්නේ. අවශ්‍ය දේවල් තිබුණට එම කවිය සවිස්තරාත්මක නැහැ. මෙබඳු කවි සමූහයක් මට ලැබෙන්නේ ජපානයේ ඉන්න මිතුරකු මගිනුයි. hundred verses from old Japan  තමයි එම එකතුවේ නම. ක්‍රි.ව. 400-1200 දක්වා කවීන් සිය දෙනකුගේ එකතුවක්. මේවා කියවන විට අපේ අත්දැකීම් තව සංක්ෂිප්ත කළ හැකි බව මට තේරුණා. ඒක තමයි මගේ කාව්‍ය මාර්ගයේ වෙනස ලෙස සමහරු හඳුන්වන්න ගත්තේ.

ඒ කියන්නේ ඔබේ කවියත් ක්‍රමයෙන් උගතුන්ගේ වැඩක් විතරක් වුණාද?

කොහොමටත් අපි අනුදුටු නිදහස් කවියේ බුද්ධිවාදී ලක්ෂණ තමයි තිබුණේ. ජීබීගේ දෙවියන් මැරීම, නිශ්ශබ්දතාව වගේ කවි ගත්තත් වස්තු විෂය විදාරණය කරන කවි බස විදග්ධයි. සිදුවිය යුත්තේ බුද්ධිවාදී කවියක් කාව්‍යෝචිත බසත් එකම ධාතුවක් බවට පත්වීමයි. ඇමරිකානු කිවිඳියක් මෙවැනි කවියක් ලියනවා. ඇය හෝටල් අංගණයක තනා තිබුණු රණහංසයකු දුටුවිටයි ඒක ලියන්නේ.

ගෙවී යන ගිමන් කල
අංගණයේ රණහසගෙ
මළ බැඳුණු ගාත්

මෙහි බුද්ධිවාදී කියුම් නැහැ. ස්වර්ණ හංසයකුගේ පිළිරුවක් තියනවා. ගාත්වල මළ බැඳිලා. හැම දෙයක්ම අභාවයට යන බවයි මේ කියන්නේ. ස්වර්ණ වුණත් හංසයාට මළකඩවලින් බේරෙන්න බැහැ. වචන පෙනී ඉන්නේ චිත්ත රූප විදියට. ඒවා විසඳාගන්න කොට පොදු ධර්මතාව හෙළිවෙනවා. කවි බස කිසියම් ස්පර්ශයක් පමණයි. එතකොට ස්පර්ශයෙන් ලබාගන්න පෑරීමක් තමයි කවිය.

ඔබ දියුණු කාව්‍ය මාර්ගයක් තෝරා ගනිද්දී හා බුද්ධිවාදී වෙද්දී කිරි සුවඳැති රාත්‍රියේදී මතු කළ පෙණ ගොබය යට ප්‍රශ්නය තාම ඉතුරුයි. විසඳිලා නැහැ. ඒකට දැන් මැදිහත් වෙන්න ඕනෙ නැද්ද? නැත්නම් වෙන ස්වරූපයකින් මැදිහත් වෙනවද?

මැදිහත් නොවී සිටිනවා නම් ඒකට අපිට සමාවක් නැතිවෙනවා. ලෝක සංසිද්ධීන් දැන් අපිට විමසා බලන්න වෙන්නේ සමස්තයක් ලෙසයි. ඒවා වර්ග කරන්න බැහැ. මේ මහා සිදුවීම් චක්‍රය මැද අපි ඉන්න ඕනෙ චක්‍ර නාභියේ. මොකද නාභිය භ්‍රමණයට අහුවෙන්නේ නැහැ. මේක චීන කිවි ලීපෝගේ කියමනක්. සමාජ සිදුවීම්වලට අංශුවක් වෙමින් මේකෙම ප්‍රශ්න තමා අපතින් අනුනාද විය යුත්තේ. ඒ පුළුල් අරුත අතහැරලා රසිකයා පසුපස හැල්මේ ගිහින් දුම්මල ගල ඉමේ මහ මූකලානට ආයේ යන්න බැහැ. එහෙම වුණොත් ඒක ආපසු ගමන් යෑමක් බව අමතක නොකළ යුතුයි.