රැකියා වෙළෙඳපොළ හා තාක්ෂණික විප්ලවය

ප්‍රභාෂ්වර

1945 සිට 2007 දක්වා වන කාලය අතරතුර, උසස් පෙළ පමණක් සමත් ඇමරිකානුවකුට වුව රජයේ හෝ පෞද්ගලික සමාගමක ලිපිකාර හෝ කණිෂ්ඨ විධායක මට්ටමේ රැකියාවක් සොයාගැනීම එතරම් දුෂ්කර කටයුත්තක් නොවීය. ප්‍රායෝගිකව එතරම් දක්ෂයකු නොවූවද, තම පිටුපසින් මූලික උපාධියක් තිබුණි නම් එකල අයදුම්කරුට/ අයදුම්කාරියට අනිවාර්යයෙන්ම රැකියාව ලැබුණි.අනෙක් අතට මෙම වකවානුවේදී ඇමරිකාවේ වෘත්තීය සමිති බෙහෙවින්ම ශක්තිමත් තත්ත්වයක පසුවුණු නිසා වැඩ බැරි අයකුට වුවද සමිති සාමාජිකත්වය ලබා ගැනීම ඔස්සේ වෘත්තීය සමිති කේවල් කරමින් හාම්පුතා වෙතින් දිනා ගන්නා වැටුප් හා දීමනා කිසිදු අවුලකින් තොරව තම සාක්කුවට දමා ගැනීමේ වරප්‍රසාදය නිතැතින්ම හිමි විය. දෛනිකව පැය 8 ක් හා සතියකට දින 5ක් සේවය කිරීම මඟින් තමන්ගේම කියා නිවසක් සාදා ගැනීමට මෙන්ම දරුවන් දෙතුන්දෙනෙක් අපහසුවකින් තොරව නඩත්තු කර ගැනීමට ද ඇමරිකානු ශ්‍රමිකයකුට පුළුවන්කම ලැබුණි. බොහෝවිට වෘත්තීය සමිතිය විසින් අත්සන් කළ සාමුහික ගිවිසුම් හරහා සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ද, විශ්‍රාම වැටුප් ක්‍රමයක් ද සේවකයා වෙත පිරිනැමුණි. හාම්පුතා විසින් වරින් වර සංවිධානය කරනු ලබන සේවක පුහුණු වැඩසටහන්වලට සහභාගී වීම හැර තමන් විසින් අමුතුවෙන් වර්ධනය කරගත යුතු කුසලතාවක් එකල තිබූ ඒකාකාරී රැකියා සඳහා අවශ්‍ය නොවන බැව් ඇමරිකානු ශ්‍රමිකයෝ දැන සිටියහ. 1970 දශකයේ දී වෘත්තීය සමිතිවල විරෝධතාවන් තඹයකට මායිම් නොකළ ආණ්ඩුව, එරට රාජ්‍ය ආයතන සියල්ලම පාහේ පෞද්ගලිකකරණය කළ අතර දැවැන්ත පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම මත කම්කරු නීතිය නිදහස් වෙළෙඳපොළට ගැලපෙන පරිදි ලිහිල් කරනු ලැබීය. රිපබ්ලිකන් පක්ෂය බලයට පත් වූ හැම වකවානුවකම, වෘත්තීය සමිති දුර්වල කිරීම සඳහා සිය උපරිම ශක්තිය අති සාර්ථක ලෙස යෙදවූ බව ඇමරිකාවේ හාවර්ඞ් සරසවියේ ආර්ථිකවිද්‍යා මහාචාර්ය රිචඞ් ෆ්‍රීමන් පවසයි. ඇමරිකානු ශ්‍රම වෙළෙඳපොළ තුළ ලැබී තිබුණු රැකියා සුරක්ෂිතභාවයට කණ කොකා හැඬීය.

ගෝලීයකරණයේ බලපෑම

කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ගෝඞ්න් හැන්සන්ට අනුව 2000 දශකය මුල් භාගයේ දී ඇමරිකාවේ පාවහන්, ඇඟලුම්, ගෘහ භාණ්ඩ සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිශ්පාදන සමාගම් ලාභ ශ්‍රමය සොයාගෙන චීනය බලා ගිය හෙයින්, මෙකී කර්මාන්ත ආශ්‍රිතව තිබූ රැකියා ලක්ෂ ගණනක් අමරිකානු ශ්‍රමිකයින් හට අහිමිව ගියේය. ඇමරිකානු ශ්‍රම වෙළෙඳපොළ තුළ සිදුවූ මේ අනපේක්ෂිත වෙනස් වීම් නිසා සාමාන්‍ය නිපුණතාවකින් යුතු ශ්‍රමිකයකු හට ඉහළ වැටුප් ලබා ගැනීම සඳහා එතෙක් විවරව තිබූ සියලු අවස්ථා වාෂ්ප වී යාම නොවැලැක්විය හැකි විය. ඒ අනුව වත්මන් ඇමරිකාව තුළ ඉහළ වැටුප් ඉපයිය හැක්කේ සීඝ්‍රයෙන් වෙනස් වන අධි තාක්ෂණයට අනුකූලව නොකඩවා තම සේවා නිපුණතාවන් මුවහත් කරගැනීමට(කැපවෙමින්) කටයුතු කරන ශ්‍රමිකයින් හට පමණි. ගල් පර තැනින් තැන ඇති, සැඩ පහර ඉතා සැර ගංගාවක් මැද ඩිංගි බෝට්ටුවක් නොපෙරළී පැද යාමට නම්, පදවන්නා දියවැලේ වේගයට වඩා වැඩි වේගයකින් හබල් ගෑ යුතුය. අප කැමති වුවත්, නැතත්, අනාගත ශ්‍රමිකයා මෙම බෝට්ටු පදවන්නා මෙන්ම සීඝ්‍රයෙන් හබල් ගැසීමේ නිපුණතාව ප්‍රගුණ කිරීම අත්‍යවශ්‍යය.මක් නිසාද යත් දියුණු බහු ජාතික සමාගමකට අන්තර්ජාලය ඔස්සේ ලොව ඕනෑම තැනක සිටින නිපුණතා සහිත ශ්‍රමිකයකුගෙන් වැඩ කරවා ගැනීමට හැකි තරම් අද තාක්ෂණය දියුණු වී ඇති හෙයිනි. ඇමරිකාවේ සිලිකොන්වැලි පුරවරයට යන අධිවේගී මාර්ගයේ තිබෙන ඩිජිටල් දැන්වීම් පුවරුවක මෙසේ සඳහන් විය. “ඔබ දැනට නියැලෙන රැකියාවේ රාජකාරීන් පහසුවෙන් සිදු කිරීමේ හැකියාව ඇති පුද්ගලයින් මිලියනයක් පමණ ලොව තුළ සිටී යැයි කිවහොත් ඔබට දැනෙන හැඟීම කුමක්ද?” මීට වසර විස්සකට හෝ තිහකට පෙර ඉහත ප්‍රශ්නය විහිළුවක් යැයි යමෙකුට හැඟුණත් සේවා බාහිරකරණය නම් සංකල්පය බෙහෙවින් ප්‍රචලිත වූ වත්මනෙහි එය යථාර්ථයක් බවට පත්ව තිබේ.

නවීන සමාජ ගිවිසුම

හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ ආර්ථික උපදේශකවරයා ලෙස කටයුතු කළ බයිරොන් ඔගස්ටේ, ඔපචුනිට් ඇට් වර්ක්(opportunity@work) නමැති ලාභ නොලබන ආයතනය ස්ථාපිත කරන ලද්දේ නවීන ශ්‍රම වෙළෙඳපොළට අවශ්‍ය තාක්ෂණ නිපුණතා ඇමරිකානු ශ්‍රමිකයින් හට නොමිලේ තිළිණ කිරීමේ අරමුණු ඇතිවය. යම් රැකියාවක සාර්ථකව නියැලීමේ ප්‍රායෝගික හැකියාව ඊට අයදුම් කරන ශ්‍රමිකයා සතුව ඇත්නම් අධ්‍යාපන සහතිකය මතම නොඑල්ලී අදාළ අයදුම්කරුට එය පිරිනමන්නැයි බයිරොන් ඔගස්ටේ තම දේශයේ සියලු හාම්පුතුන්ගෙන් ප්‍රසිද්ධියේම ඉල්ලා සිටියේය. මෘදු කුසලතාවන්හි අඩුපාඩු ඇති අයදුම්කරුවන්හට රැකියාව කරන අතරතුර ඒවා උගෙනීමේ අවස්ථාව තම ආයතනය විසින් සාර්ථකව තිළිණ කරන බව හෙතෙම අවධාරණය කළේය. එළඹෙන දශකය තුළ හරිහමන් රැකියාවක් නැති ඇමරිකානුවන් මිලියනයකට ඉහළ අදායම් සහිත රස්සා පිළිගැන්වීමට තම අධ්‍යාපනික වැඩසටහනට හැකි වේ යැයි ඔහු දැඩිව විශ්වාස කරයි. Code-cademy  හරහා කේතනයද, Khan Academy  හරහා අනෙක් සියලු නිපුණතා ද (ජංගම දුරකතන, ටැබ් හා පරිගණක මගින්) ඇමරිකාවේ යෞවන යෞවනියන්ට සහ සුළු රැකියා නියුක්තිකයන්ට ඉගැන්වීමෙන්, රටේ ශ්‍රම බලකායේ වාර්ෂික අදායම ඩොලර් බිලියන 20කින් ඉහළ නැංවීමට opportunity@work අපේක්ෂා කරයි. ඇමරිකවේ බොස්ටන් සරසවියේ අර්ථ ශාස්ත්‍රඥ ජේමිස් බෙසන්, මිනිස් ශ්‍රමය හා යාන්ත්‍රීකරණය ගැන සිය අදහස් දක්වන්නේ මේ අයුරිනි.
“යම් කර්මාන්තයක් 100% ක්ම යාන්ත්‍රීකරණය වීම සහ 98% ක් යාන්ත්‍රීකරණය වීම අතර විශාල වෙනසක් තිබෙන බව බහුතරයකට වැටහෙන්නේ නැහැ. 1900 දශකය අග භාගයේදී මෝටර් රථය ලොවට හඳුන්වා දීමත් සමග ගමනාගමනය සඳහා එතෙක් යොදාගත් අශ්වයින් හා අශ්ව කරත්ත, කර්මාන්තයක් වශයෙන් අභාවයට ගියා. ඊට අනුබද්ධ රැකියාවක් වූ කස නිශ්පාදනය ද සම්පූර්ණයෙන්ම නැති වුණා. ඇගලුම් කර්මාන්තය යාන්ත්‍රිකරණය වීමට පෙර සියලුම ඇඳුම් නිමා වූයේ මනුෂ්‍ය දෑත් වලිනුයි. එකල බොහෝ විට එක පුද්ගලයෙක් සතුව තිබුණේ එක් ඇඳුම් කට්ටලයකුයි. මන්ද අතින් මැසීම හේතුවෙන් නිෂ්පාදනය සිදුවුණේ ඉතා මන්දගාමීවයි.19 වන සියවසේ දී ඇඟළුම් කර්මාන්තය 98% කින් යාන්ත්‍රීකරණය වුණා. ඊට අවශ්‍ය වූ මිනිස් ශ්‍රමයේ ප්‍රතිශතය 2% දක්වා අඩු වුණා. එහෙත් නිශ්පාදන ධාරිතාව විශාල වශයෙන් ඉහළ ගොස් ඇඟලුම් හා අනෙකුත් රෙදි නිපැයුම්වල මිල බෙහෙවින් පහළ වැටුණු නිසා ඒවාට ඇති ඉල්ලුම විසි තිස් ගුණයකින් ඉහළ ගියා. මෙතෙක් එක ඇඳුම් කට්ටලයක් පමණක් පාවිච්චි කළ අය, තම පාවිච්චිය සඳහා කමිස, කලිසම් යනාදිය තොග වශයෙන් මිලට ගත්තා.දොර රෙදි, ජනෙල් රෙදි, පාපිසි හා ගෘහ භාණ්ඩ ආවරණය කරන රෙදි යනාදිය යාන්ත්‍රිකරණය නිසා වැඩි වැඩියෙන් නිශ්පාදනය වුණා. අතින් වියන අයගේ රැකියා ලක්ෂ ගණනක් අහිමි වුවත්, ඇඟලුම් යන්ත්‍ර නිපදවන්නන් හා ඒවා අලුත්වැඩියා කරන්නන් වැනි ශ්‍රමිකයින්ගේ රැකියා දශලක්ෂ ගණනින් ජනනය වුණා. අතින් මැහුම් ගෙතුම් කළ අයව, ඇඟළුම් යන්ත්‍ර ක්‍රියාකරුවන් ලෙස වැඩ කරන්නට අවශ්‍ය නිපුණතාව අකමැත්තෙන් වුව ලබා ගන්නට සිදු වුණා.”

තාක්‍ෂණයේ අභියෝගය

ඔක්ස්ෆර්ඞ් සරසවිය විසින් සිදුකළ 2017 පර්යේෂණයට අනුව ඉදිරි වසර දෙක ඇතුළත ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර සහ රොබෝ තාක්ෂණය නිසා ඇමරිකාවේ ගොඩනැගිලි ක්ෂේත්‍රයෙහි මිනිස්රැකියා 70% කින් ද, ප්‍රවාහන ක්ෂේත්‍රයේ මනුෂ්‍ය රැකියා අවස්ථාවන් 97%කින් ද හැකිලී යාම නොවැලැක්විය හැකිය. මොවුන්ට අධි තාක්ෂණ දැනුම හා මෘදු කුසලතා පිරිහීම හරහා අදට වඩා ඉහළ නිපුණතාවයෙන් යුත් රැකියාවන් සඳහා මේ අයව යොමු කළ හැකිය. දැවැන්ත ගෝලීය සමාගම් වුවද සීඝ්‍රයෙන් වෙනස් වන තාක්ෂණයට අනුව තම ව්‍යාපාරික මොඩලය වෙනස් නොකළහොත් ඔවුන් ඩයිනොසරයන් මෙන් වඳවී යනු ඇත. මර්ස්ක් නැව් සමාගමට, ලොව විවිධ සාගර හරහා භාණ්ඩ එහා මෙහා ගෙන යන තම නෞකා කන්ටේනර් ලක්ෂ දෙක සඳහා කුඩා ප්‍රමාණයේ සංවේදක ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟුණේ 2013 වසරේදීය. තෙතමනය, උෂ්ණත්වය අතුළු නැවක යම් ස්ථානයක සිදුවන කාර්මික හෝ වෙනත් දෝශයක් වහාම පාලක මැදිරියට ස්වයංක්‍රීයව දැන්විය හැකි සංවේදක මොවුන්ට අවැසි විය. සන්නිවේදනයට පමණක් සීමා වී සිටි ඒ.ටී.ඇන්ඞ් ටී සමාගම, මරස්ක් නෞකාවලට අවශ්‍ය සංවේදකය ඔවුන්ගේ ඉංජිනේරු කණ්ඩායමක් ලවා නිර්මාණය කර දීමට ඉදිරිපත් වූයේ නාවික ක්ෂේත්‍රයේ ඉංජිනේරු වෘත්තිකයින්ව පුදුමයට පත් කරමිණි. සපත්තු පෙට්ටියකින් අඩක් වැනි කුඩා ප්‍රමාණයෙන් යුතු අති දියුණු සංවේදකයක් නිර්මාණය කළ ඔවුහු මෙකී මර්ස්ග් කොන්ත්‍රාත්තුව ඔස්සේ පමණක් ඩොලර් මිලියන ගණනක ලාභයක් ඒ.ටී.ඇන්ඞ් ටී වෙත ලබා දුන්හ. අද ඒ.ටී.ඇන්ඞ් ටී, “ව්‍යාපාර විසඳුම්” ගෝලීය මට්ටමෙන් පිරිනමණ තාක්ෂණ සමාගමක් බවට පත්ව ඇත්තේ එක ක්ෂේත්‍රයකට පමණක් කොටු වී සිටීම ඔවුන් ප්‍රතික්ෂේප කළ නිසාය. උඩාසිටි, කොසෙරා වැනි ඔන්ලයින් තාක්ෂණ උපාධි පිරිනමන විශ්වවිද්‍යාල සමඟ අනුබද්ධ වී තම සේවක සේවිකාවන්ට ඕනෑම තැනක සිට සිය අධ්‍යන කටයුතුවල (ජංගම දුරකතනයෙන් හෝ ටැබ් එකෙන්) නිරත වීමේ අවස්ථාව පිරිනැමූ නිසා ඒ.ටී.ඇන්ඞ් ටී සමාගමට ඉහත කී ව්‍යාපාරික අභියෝග පහසුවෙන් ජයගැනීමට හැකි විය. අධි තාක්ෂණික සේවක පුහුණුව වෙනුවෙන් එහි කළමනාකාරීත්වය වාර්ෂිකව ඇමරිකන් ඩොලර් මිලියන 250ක් වැය කරනු ලබයි.

කොල්කොමි සරසවිය

ඇමරිකාවේ සැන්ඩියාගෝ නුවර පිහිටි කොල්කොම් සරසවිය, වර්‍ග අඩි මිලියනයකින් යුත් සිය ගොඩනැගිලි සියල්ලෙහි ස්මාර්ට් සංවේදක සවි කර තිබේ. දොර, ජනෙල්, කනු, වැසිකිලි, කුණු දමන භාජන, විදුලිබල පද්ධතිය, බිත්ති, පයිප්ප, යන මෙකී නොකී සියලු ස්ථානයන් හී සවිකොට ඇති සංවේදක විසින් යම් තැනක හටගන්නා ඕනෑම දෝශයක්, මධ්‍යම පාලක මැදිරියේ පරිගණකය වෙත සැනෙකින් දන්වා සිටිනු ලබයි. ජල බටයක් වුව සිදුරු වී ඇත්නම් එව අලුත්වැඩියා කළ යුතු ක්‍රමවේදය, අනුපිළිවෙළින් පයිප්ප වෑද්දුම්කරුගේ ටැබ් යන්ත්‍රය වෙත කෘත්‍රිම බුද්ධිය ඔස්සේ එවනු ලැබේ. දෝශව තිබෙන තැන නිවරදිව පෙන්වන හෙයින් අනවශ්‍ය තැන්වලින් බිත්ති හෝ පොළොව කැඩීම මෙතනදි කිසිසේත් සිදු නොවේ. මෙම බුහුටි තාක්ෂණය ලොව විවිධ සමාගම්වලට අලෙවි කොට අද කොල්කොමි සරසවිය ඉහළ ලාභයක් උපයයි. කොල්කොම්හි සේවය කරන පයිප්ප වෑද්දුම්කරුවන්, මේසන්ලා සහ වඩුවන් ටැබ් යන්ත්‍ර අතැති තාක්ෂණඥයින් බවට පත් කිරීමට (වන තාක්ෂණය හරහා) තමාට හැකි වී යැයි එහි අධ්‍යක්ෂ අශෝක් ටිෂිර්නෙහි පවසයි. ඇමරිකාවේ මිසෝර්හි පිහිටි  Launchcode නමැති ලාභ නොලබන ආයතනය, අතමිට හිඟ නුපුහුණු ශ්‍රමිකයන් හට හොඳ සමාගම්වල ආධුනිකයන් ලෙස සේවය කිරීමට අවස්ථාව ලබා දී එමඟින් ඔවුනගේ තාක්ෂණ දැනුම ඉහළ නංවා දෙයි. වසර ගණනාවක් පැරණි පෙළ පොත් කට පාඩම් කිරීම වෙනුවට, අධි තාක්ෂණ ලෝකයේ ප්‍රායෝගිකව වැඩ කරන හැටි අපේ දූ දරුවන්ටද නොපමාව කියා දිය යුතුය.