හායි හූයි බබි ආච්චිගෙ බයිසිකලේ!

සුනන්ද දේශප්‍රිය

“හායි හූයි බබි ආච්චිගෙ බයිසිකල් එක!
කෙල්ලො කොල්ලො වටකරගෙන ගැහුව බෙල් එක”

අපේ දෙවැනි පරම්පරාව ඒ පද දන්නේ නැතිව ඇති. අපේ කාලයේ නම් බයිලා බජව්වක අනිවාර්යයෙන්ම ‘හායි හූයි බබි ආච්චිගේ බයිසිකලේ’ ගැයුණි.
එකල බයසිකලය ගැන ගුවන්විදුලියේ වාදනය වූ තවත් ජනප්‍රිය ගීයක් විය:
බයිසිකලේ, බයිසිකලේ
දුප්පත් අපගේ බයිසිකලේ//
අව්වේ වැස්සේ වෙනසක් නොතකා
මහ මඟ පැදයන බයිසිකලේ//
දුප්පත් පොහොසත් භේදය නොතකා
හැමට පිහිට වෙයි සියලු කලේ//
බයිසිකලය, පාපැදිය බවට වූ අතරවාරයේම එය ගීතයෙන්ද ඉවත්ව ගියේය. අභාග්‍යයක තරම කොතරම්ද කියන්නේ නම් බයිසිකල අද පාරෙන්ද නැතිව යන තත්ත්වයක් ඇතිව තිබේ.
මේ වනාහී සෞඛ්‍යමය පැත්තෙන්ද, පාරිසාරික විනෝදය පැත්තෙන්ද, ඛේදවාචකයකි. වත්මන් වෛද්‍ය විද්‍යාත්මක නිරීක්ෂණයන් පෙන්වා දෙන එක් බියකරු අනාවැකියක් නම් නූතන ලෝකයෙහි ප්‍රථම වතාවට මිනිසාගේ පරමායුෂ අඩුවීමේ අවදානමක් පවතින බවයි. ඊට හේතුව ‘බෝ නොවන රෝග’ ව්‍යාප්තියයි. හෘද රෝගද මේ අතර ප්‍රමුඛත්වයක් ගනී. ඊට හේතුවක් නම් වත්මන් මානවයා අවශ්‍ය තරම් ශාරීරික අභ්‍යාස නොකිරීමයි. බයිසිකල් සංස්කෘතිය විනෝදය, ගමනාගමනය සපයන අතරම සමාජයක් කායිකව නිරෝගීව තැබීමට උපකාරී වෙයි. පැපැදි ගමන් දරුවන්ගේද, වැඩිහිටියන්ගේද, විනෝදයටද අවස්ථාවකි.
නූතන ලෝකයෙහි බොහෝ දියණූ රටවල පැපැදි සඳහා සුපිරි මාර්ග ඉදිකෙරෙමින් පවතී. චීනයෙහි පවා පාපැදි ගමනාගමනය සඳහා අහස් සුපිරි මාර්ග ගොඩ නගා තිබේ.
සමහරවිට අද ලංකාවේ පාපැදි පරදවා ත්‍රීවීල් තිබෙනවා නම් එය පුදුමයට කරුණක් නොවිය යුතුය. මන්දයත් බයිසිකලයක් පැද යාමට පාරක් තොටක් අද නැති නිසා ය. පාපැදියක් නැති වුවත් යතුරු පැදියක් තිබීම අද සමාජ වටිනාකමක් ලබාගත හැකි ක්‍රමයකි.
බයිසිකල් සංස්කෘතිය නැතිව යමින් තිබෙන්නේ ත්‍රීවීල් හෝ යතුරු පැදි නිසා හෝ නොවේ. අපේ ආණ්ඩුවලට එම සංස්කෘතියේ වටිනාකම නොතේරෙන නිසාය. වඩාත් නිවැරදිව කියන්නේ නම් මහජනයාගේ හිත සුව පිණිස නොව සිය දේශපාලන පංතියේ ගරාණාව බලයට එන කොයි කාගෙත් දේශපාලන ජාවාරම වී තිබෙන නිසාය. මහජනයාගේ මුදලින් සුපිරි වාහනද, සුපිරි නිවාසද යනාදී සුපිරි ජීවිත ගත කරන මෙරට දේශපාලන පන්තියේ දරුවන්ද සුපිරි වාහන වලින් මෙරට හෝ එතෙර සුපිරි පාසල්වලටම යැවෙන බැවින් පාසල් දරුවන් සඳහා බයිසිකල් සංස්කෘතියක් ගැන ඔවුන් කුමට සිතන්නද?
රනිල් වික්‍රමසිංහ කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන නම් බයිසිකල් සංස්කෘතියේ කොටස්කරුවකුව සිටින්නට ඇත. අහෝ! එනමුත් ඔහුගේ මූලිකත්වයෙන් පොළොන්නරුව පුරාම පිළිසකර කැරෙන පාරවලවත් පාපැදි මංතීරු නැත. රාජපක්ෂ සමයෙහි මෙරට ඉදිකළ පාරවලද පාපැදි මංතීරු නැත. මෙම පාරවල් වැඩි හරියක් පිළිසකර හෝ ගොඩනගන ලද්දේ චීන සමාගම් විසිනි. ඔවුන් පැමිණෙන්නට ඇත්තේ බයිසිකල් ලක්ෂ 90ක් තිබෙන බිජිං වැනි නගර කෙරෙනි. චීනයෙහි බයිසිකලයෙන් නොගන්නා වැඩක් නැත. පාපැදි මංතීරු එරට සුලභය. එනමුත් මෙරට චීන්නු හැදූ පාරවලවත් අපට පැද යන්නට පාපැදි මංතීරු නැත. කොළඹ නගරය අලංකාර කිරීමට තාප්ප කැඩූ ගෝඨාභයවත් පාපැදි මංතීරු ගැන උනන්දුවක් දක්වා නැත. ශ්‍රී ලංකාවේ හෝටල් ආශ්‍රයෙන් හෝ පැපැදි මංතීරු සහිත උද්‍යාන නැත.
සෑම නිවසකම වාගේ එක් කාරයක් හෝ තිබෙන බටහිර සමජයන්හි බයිසිකල් දෙක තුනක් නිවෙසක තිබීම සාමාන්‍යයකි. වෙනසකින් තොරව, බයිසිකල් පැදීමට නොදන්නා දරුවකු හෝ වැඩිහිටියකු මේ සමාජයන්හි නැති තරම්ය. ශීත ඍතුවෙහි හැර නොමිලයේ හෝ අඩු මිල වාර ප්‍රවේශ පත්‍ර අනුව පාවිච්චි කළ හැකි බයිසිකල් සෑම නගරයකම තැන තැන රඳවා තිබේ. පාපැදි සඳහාම ඇරුණු මංතීරු නැති ගමක්, නගරයක් නැති තරම්ය. විවේකය සඳහා සති අන්තයේ බැහැර යන බොහෝ පවුල් පාපැදි දෙක තුනක් කාරය පිටුපස රඳවා ගෙන යති.
අප කුඩා කල පමණක් නොව තරුණ කලද බයිසිකලය සෑම නිවසකම අත්‍යවශ්‍ය අංගයක්ව තිබුණි. මා සිරගෙදරින් නිදහස්ව පැමිණ ගෙදර ගතකළ මාස කිහිපය තුළ අම්බලන්ගොඩ පනියන්දූව පාසලේ මුල්ගුරුතුමා වූ තාත්තා පාසල අවසන්වූ පසු රැගෙන ඒමට මම බයිසිකලයෙන් ගියෙමි. ඔහු බයිකලයේ පොල්ලේ තියාගෙන පැද ආවේ මා ය. අප පාසල් යන අවධියෙහි යහළුවන් සමග අම්බලන්ගොඩ සිට ඇල්පිටිය හරහා පිටිගල කඳු නැගීමට අපි බයිසිකල්වලින් ගියෙමු.
තාත්තා කොමියුනිස්ට් පක්ෂයේ කැපී පෙනෙන ක්‍රියාධරයකුද වූ නිසා හැමදාම වාගේ අප පදිංචිව සිටි අම්බලන්ගොඩ හිරේවත්තේ ගෙදරට පක්ෂයේ උනන්දුමත් පිරිස් එක්වූහ. ඒ හැමදෙනාම ආවේ බයිසිකල් වලිනි. අයියාත් මමත් ඒවායින් බයිසිකල් දෙකක් රැගෙන පොල්ලට යටින් කකුල් දා පැද යන්නට පුරුදුව සිටියෙමු.
දරු දැරියන් පොදි ගැසී බයිසිකල්වලින් පාසල් එනු මා දුටුවේ පසුකලෙක ජවිපෙ පූර්ණකාලීනයකු ලෙස රටපුරා යන්නට පටන්ගත් විටය. ඒ අම්පාර, පොළොන්නරුව, අනුරාධපුරය, හම්බන්තොට වැනි පෙදෙස්හි දීය. එකල වියළි කලාපයෙහි ජවිපෙ දේශපාලන කටයුතු කළ සෑම සහෝදරයකුටම වාගේ බසිකලයක් ලබාදීම පිණිස බයිසිකල් හොරකම් කිරීම පක්ෂයේ වගකීමක් බවට පත්ව තිබුණි.
ඊටත් පසු කලෙක උතුරු නැගෙනහිර ඊටත් වඩා බයිසිකල් සංස්කෘතියක් දුටුවෙමි. 1995න් පසු යාපනයේ තතු සොයා ගිය ගමනකදී මාධ්‍යවේදී නිමලරාජන් හැතැක්ම ගණන් මා රැගෙන ගියේ හරියට තිරිංගවත් නොතිබූ බයිසිකලයකිනි. එකල මහරැයෙහි වුව යාපනයේ එළියක් නැති බයිසිකල් ගමනාගමනය සාමාන්‍ය දෙයක් විය. ඒ කොතෙක්ද යත් එල්ටීටීඊ පිස්තෝල හමුදාව පාවිච්චි කළේද බයිසිකල්ය.
එහෙත් අද මෙරට පාපැදි සංස්කෘතියක් නැති තරම්ය. අප සතුවූ පාපැදි සංස්කෘතියවත් රැක ගැනීමට අප කනගාටුදායක ලෙස අසමත්ව ඇත්තේමු. සෑම අවසානයකම අසන්නට ලැබෙන අයවැය විවාදයෙහිදී වාහන මිල අඩු වැඩි කිරීම් ගැන අසන්නට ලැබෙන මුත් පාපැදි මිල ගැන කවදාක හෝ අසා තිබේද? පොක්ස්වාගන් සිහින මාලිගා තනනු මිස පාපැදි නිෂ්පාදනයට බදු සහන දෙනු අසා තිබේද?
මහජන සේවය සඳහා කැපවූ ආණ්ඩුවක් කළයුත්තේ ලෙහෙසියෙන්ම පිළිසකර කැරෙන මාවත්හි පාපැදි මංතීරු හඳුන්වා දී පාපැදි බදුවලින් නිදහස් කර විවිධාකාර වර්ණයන්ගෙන් සහ හැඩයන්ගෙන් යුත් පාපැදි මෙරටට හඳුන්වාදීමයි. විදුලි බලයෙන් (බැටරියකින්) ක්‍රියා කරන පාපැදි අඩු මිලට හඳුන්වා දීමද තවත් පියවරක් විය හැකිව තිබුණි. තරුණ පරපුර සිය මාදිලි ලෙස සලකන ක්‍රීඩා තාරකා පාපැදි පැද යනු පෙන්වීම ක්‍රම මගින් යළි බයිසිකල් සංස්කෘතිය ඇති කිරීමට මඟ පැදිය හැකිව තිබුණි. පාපැදි නතර කිරීමට ආවරණ සහිත ස්ථාන පිහිටුවීම තවත් පියවරකි. දරුවන්ට පාපැදි පැද යාහැකි උද්‍යාන ගමක් නගරයක් පාසා පිහිටුවීම එතරම් දුෂ්කර දෙයක් නොවේ.
මා මේ සටහන ලියන්නේ අපේ රට කන දේශපාලනඥයින් විසින් මෙවැනි අදහස් උදහස් ක්‍රියාවට නැංවීමට උනන්දු වනු ඇතැයි යන අදහසින් නොවේ. 1994 වසරෙහි සිට පත්වූ සෑම ගමනාගමන ඇමතිවරයකුම අමතා පොදු ප්‍රවාහනය ගැන මවිසින් ලිපි ලියා තිබේ. ඉන් බොහෝ දෙනකු එම ලිපි කියවා මා අමතා එම අදහස් වටිනා බව ද කියා තිබේ. එනමුත් වෙල්ගම සහ සිරිපාලගෙන් පසු මම එම ලිවීම් අතහැර දැමුවෙමි. තවමත් මගේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගය බස්ය.
මෙම රට හදන්නට නොහැකි බවට මගේ බොහෝ සගයින්ද, ඥාතීන්ද දරන මතය කරා අප වැනි පිරිස්ද ළඟාවන්නේ මෙවැනි අදේශපාලනික මහජන සේවාවක්වත් කරගන්නට අපට හයියක් නැති නිසාය. මෙරට හැම වර්ණයකම වාගේ දේශපාලනඥයින් සිතා සිටින්නේ ඔවුන් සියල්ල දත් කෙරුමන්ය කියාය. කනගාටුවට කරුණ නම් ඔවුන් බහුතරයක් ළිං මැඬියන් වීමයි. ඔවුන් සිතා සිටින්නේ කෑම, බීම හා ලෑම ජීවිතයයි කියාය.
ආණ්ඩු පමණක් නොව අපේ සිවිල් සමාජයට තනි තනි පුරවැසියන්ට ද මෙවැනි කරුණු කාරණා ගැන උනන්දුවක් නැත. මේ වනාහී එක් අතෙකට ශිෂ්ටාචාරය පිළිබඳ ප්‍රශ්නයක්ද වෙයි.
මෙරට දේශපාලනයේ සුසමාදර්ශී වෙනසකින් සහ සමෝධාන මහජන සේවා පිළිවෙතකින් තොරව මෙවැනි යහපත් දේ මෙරට සිදු නොවනු ඇත. එවැනි සුසමාදර්ශී වෙනසක් පෙනෙන මානයකවත් නැති ශ්‍රී ලංකාව නරාවළක් බවට පත්වීමට ඉරණම් ලබා ඇත්නම් අප කුමක් කරන්නද?