ඥානසාර හිමි හා ගෝනවල සුනිල් සමග පැරදවිය යුතු දැක්ම

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම අධිකරණයේ ලැබුණ බරපතළ වැඩ සහිත අවුරුද්දක සිර දඬුවම(මාස 6 කින් ගෙවීයන පරිදි), කතරගම කිරි වෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමිට වෙහෙර මළුවේ දී වෙඩි තැබීම එක් එක් ක්‍රියාදාමයන්හි ප්‍රතිඵල ලෙස ගතහොත් බෞද්ධ ධර්මයට හෝ එහි භික්ෂූන්ට සෘජුව ම අදාළ වන්නේ නැත. එහෙත් අවසාන ප්‍රතිඵලය වූයේ එක් බෞද්ධ හිමිනමක් සිරගත වීමත්, තවත් බෞද්ධ හිමිනමකට වෙඩි ප්‍රහාරයකට ලක්වන්නට සිදුවීමත්ය.

කිරි වෙහෙරේ හිමි හා ගෝඨාභය

කිරි වෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය වූ සැණින් ම සමාජ මාධ්‍ය ජාලා(විශේෂයෙන් ෆේස් බුක්) හරහා හා කටින් කට ඇතැමුන් පැතිර වූයේ, මෙය ගෝඨාභය රාජපක්ෂගේ වැඩක් බවය. කතරගම මැණික් ගඟ අසබඩ ගෝඨාභයගේ නිවස පිළිබඳ යළි හෙළිදරව් කෙරෙමින් පැවති අතර එම තොරතුරු ලබාදීම නිසා කිරි වෙහෙර හිමියන්ට වෙඩි තබන්නට ඇතැයි යන්න, සිදුකළ ප්‍රචාරයන්හි හරය විය. එසේ ප්‍රචාරය කළ පිරිසට හා එය විශ්වාස කරන්නට පෙළඹී සිටි පිරිසට ‘පුර්ව විශ්චයන්‘ විනා කිසිදු ‘සාක්ෂියක්‘ තිබුණේ නැත.
ඊළඟට ඥානසාර හිමියන්ට අධිකරණයෙන් දඬුවම් නියම කැරිණි. එය ඇතැමුන්ට ප්‍රීතිජනක පුවතක් විය. ඒ සමගම උන් වහන්සේට අධිකරණයෙන් නොදුන් දඬුවමක් වන භික්ෂුත්වය අහිමි කිරීමට ද ඇතැම්හු සිය උත්සාහය ආරම්භ කළහ.ඕනෑම ආගමික සංවිධානයක සාමාජිකයකු රටේ නීතියට යටත් වියයුතු වුවත් එම ආගමික සංවිධානයේ සාමාජිකයන් පූජකත්වයෙන් නෙරපා හැරීමේ අවසන් තීන්දුව අධිකරණයට ගත නොහැකි අතර ඒ ඒ ආගමික සංවිධානයන්හි විනය රීති අනුව විවිධ හේතු සලකා බලා(අධිකරණ තීන්දු ද ඇතුළුව) ඒ අවසන් තීන්දුව ගනු ලබන්නේ එම ආගමික සංස්ථාව විසින් මය.

ඥානසාර හිමිගේ පැටිකිරිය

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ආගමික වත්පිළිවෙත් පමණක් කරගෙන සිටි භික්ෂුවක් නොවේ. සක්‍රීය ලෙස රටේ දේශපාලනයට නරක බලපෑම් කළ භික්ෂුවකි. ජාතික හෙළ උරුමයට සම්බන්ධව දේශපාලනය කළ උන්වහන්සේ පසුව ඉන් වෙන්ව එජාපයට සහාය දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. පසුව රාජපක්ෂ පාලන සමයේ බොදුබල සේනා සංවිධානය පිහිටුවාගෙන, ඒ ආණ්ඩුවේ, විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂගේ පූර්ණ අනුග්‍රහය ලබමින් විවිධ ස්ථානවලට(රාජ්‍ය ආයතනවලට පවා) කඩා වැදී රටේ නීතියට උඩින් සිට කටයුතු කළහ. ඥානසාර හිමියන්ගේ වචන භාවිතය ඇතුළු ක්‍රියාකාරිත්වය නිසා වෙනත් ජන කොටස්, ආගමිකයන්(විශේෂයෙන් මුස්ලිම්වරුන්) අනේකවිධ සිත් පීඩාවන්ට පත් වූ අතර ආගමික සහජීවනයට උත්සාහ කළ වෙනත් භික්ෂුන්ට පවා දැඩි දෝෂාරෝපණ එල්ල කළහ. මෙම ක්‍රියාකාරිත්වය එකල ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ ආදී දැඩි ජාතිකවාදී පක්ෂවල මෙන්ම වෙනත් භික්ෂු සංවිධානවල පවා විවේචනයට බඳුන් වන තරමට අන්තවාදයේ අන්තයට ම ගමන් කරමින් තිබිණි. ඒ සමග ම මෙරට සිංහල බෞද්ධ බහුතරයේ බහුතරය සිටින්නේ තමන් සමග බව මුලා වී ‘බොදු ජන පෙරමුණ‘ නමින් දේශපාලන පක්ෂයක් ද පිහිටුවාගෙන රටේ දේශපාලන බලය ඇල්ලීමට ද සූදානම් වී සිටියහ.
රාජපක්ෂ ආණ්ඩුව බිඳ වැටුණු පසු බොහෝ සේ බෙලහීන වී ගිය බොදුබල සේනා සංවිධානයට, රටේ නීතිය තිබෙන්නේ තමන්ට යටින් නොව උඩින් බව පෙනෙන්නට පටන් ගත්තේය. වර්තමාන ආණ්ඩුව සමග ද කිසියම් ආකාරයක ගනුදෙනුවකට යාමට ඥානසාර හිමියන් උත්සාහ නොකළා යැයි කිව නොහැකිය. එහෙත් එය සිතූ තරම් සාර්ථක ප්‍රතිඵල අත්කර නොගත්තේය.

සන්ධ්‍යා හා රංග

ගලගොඩ අත්තේ හිමිට සිර දඬුවම් නියම වූ සිද්ධිය වූයේ අධිකරණ පරිශ්‍රයේ සිටි සන්ධ්‍යා එක්නැළිගොඩට තර්ජනය කිරීමය.මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ ඇසෙමින් පැවති 2015 ජනවාරි 25 උසාවියට පැමිණි ඥානසාර හිමියෝ ප්‍රගීත්ගේ බිරිඳ වන සන්ධ්‍යා දෙස හැරී ‘තෝ දැනගනින්, තොගේ මිනිහා කොටියා. තෝ ගිහින් හිඟා කාපිය’ යනුවෙන් තර්ජනාත්මක ස්වරූපයෙන් බැණ වදිමින් ප්‍රකාශයක් ද කළහ.මේ පිළිබඳ සන්ධ්‍යා පොලිසියට පැමිණිලි කළාය.
මේ, 2015 ජනවාරි 25 හෝමාගම අධිකරණයේ වූ අනපේක්ෂිත සිද්ධියේ කොටසක් පමණි. ප්‍රගීත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවන් වූ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිස එදින යළි රිමාන්ඞ් බන්ධනාගාර ගතකළ විට උසාවියේ සිටි ඥානසාර හිමි පළමුව කළේ විනිශ්චය ආසනය අභියසට පැමිණ සැකකරුවන් රණ විරුවන් බවත්, ඔවුන්ට ඇප ලබාදිය යුතු බවත් පවසමින් දීර්ඝ කතාවක් කිරීමය. සන්ධ්‍යා දෙසට හැරී බැණ වැදුනේ ඉන් අනතුරුවය. අධිකරණ කටයුතුවලට බාධා කළ මෙම සිද්ධිය අධිකරණයට කළ අපහාසයක් බව පවසමින් එම අවස්ථාවේ හෝමාගම මහේස්ත්‍රාත්වරයා වූ රංග දිසානායක ද අභියාචනාධිකරණයේ පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එහි විභාගය තවමත් අවසන් වී නොමැත. එහි තීන්දුවට මුහුණ දීමට ද ඥානසාර හිමිට සිදුවනු ඇත.

දින 7 ක් සිවුර ගැලවීම

සිවුර ගැලවීමට තමන් කොතරම් අකැමැති වුවත් සිරගත වූ වහාම බන්ධනාගාර නීතිරීති අනුව සිර ඇඳුම(ජම්පරය) ඇඳ ගැනීමට ඥානසාර හිමිට ද සිදුවිය. එසේ සිවුර ගැලවූ සැණින් භික්ෂුත්වය අහිමි වන්නේ නැත. බුද්ධ දේශනා අනුව එසේ භික්ෂුත්වය අහිමි වීමේ පාරාජිකා තත්ත්වයන් 4 ක් සඳහන් වේ. ලිංගික සේවනය, මනුෂ්‍ය ජීවිතයක් නැසීම, සොරකම මෙන්ම මාර්ග ඵල ධ්‍යාන වැනි ආගමික වශයෙන් උත්තරීතර තත්ත්වයන් ලබා ඇතැයි බොරු කීම, ඊට අයත්ය. දින 6 ක් චීවරය නොමැතිව සිටීමෙන් භික්ෂුත්වය අහිමි වන බවට ද කතාවක් පැතිර යමින් පවතී. දඬුවම නියම වූයේ ජූනි 14 බ්‍රහස්පතින් දා වන නිසා පසුගිය බ්‍රහස්පතින් දා(ජූනි 21) ගෙවී යාමෙන් පසු එම දින 7 සම්පූර්ණ වේ. දඬුවමට එරෙහිව ඉදිරිපත්ව ඇති අභියාචනය පසුගිය අඟහරුවාදා (ජූනි 19) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ සලකා බැලීමට නියමිතව තිබුණත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොපැමිණීම නිසා එය ජූනි 22 සිකුරාදා ට කල් තැබිණි. යම් හෙයකින් එදිනට ඇප හිමි වුවත් ඒ වනවිට සිවුර ගලවා දින 7 ක් සම්පූර්ණ වී අවසන්ය. එහෙත් මේ දින 7 කතාවට පදනම් කරගෙන ඇත්තේ බුදුන් සමයේ උන් වහන්සේගේ දේශනයකි. සොරුන්ගේ පහරදීම් නිසා ආත්මාරක්ෂාව උදෙසා දින 6ක් සිවුර නොඇඳ සිටීමට භික්ෂූන්ට එහිදී අවසර ලැබිණි.
මේ අනුව ස්ව කැමැත්තෙන් සිවුර ඉවත් නොකර සිර ගෙදර නීති රීති පිළිපැදිය යුතු නිසා ජම්පරය හැඳ බන්ධනාගාරයේ දින 6 ක් නොව මාස 6 ක් සිටියත් ඥානසාර හිමිගේ භික්ෂුත්වය අහිමි කිරීමට අදාළ සංඝ සභාව කටයුතු කරනු ඇතැයි කිසිසේත් ම සිතිය නොහැක.

රාජ්‍ය නොවන සංවිධාන 18

මේ අතර ජයවික්‍රම පෙරේරා බුද්ධශාසන අමාත්‍යවරයා පවසා ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන 18 ක් ඥානසාර හිමියන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ බලපෑම් කරමින් සිටින බවයි. ප්‍රබල දේශපාලනඥයන් කීපදෙනෙක් ද මේ පිටුපස සිටින බව තවත් චෝදනාවකින් කියැවුණි. ඒවා කුමනාකාරයේ බලපෑම් දැයි දැනට පැහැදිලි නැතත් ඥානසාර හිමිගේ භික්ෂුත්වය අහිමි කිරීම පිළිබඳ හෝ ජනපති සමාව පිළිබඳ එසේ බලපෑම් කරමින් සිටින බවට අනුමාන කළ හැකිය.
ඥානසාර හිමි යනු මේ අනුචිත ක්‍රියාකාරිත්වයේ එක් ප්‍රකාශනයක්(ප්‍රතිඵලයක්) පමණක් වන අතර හේතුව ලෙස සැලකිය නොහැක. ජාතික හා ආගමික සංහිඳියාව උදෙසා, අන්‍යොන්‍ය විශ්වාසය ගොඩනැගීම උදෙසා ආගම්/ජන කොටස් අනවශ්‍ය ව්‍යාප්ත කිරීම් හා සීමා කිරීම් නැවැත්වීම උදෙසා කළ යුත්තේ ඒවායේ ප්‍රකාශන සේ, සමාජගත වන පුද්ගලයන් විනාශ කිරීම ද ?
මේ නිසා කිරිවෙහෙර හිමියන්ට වෙඩි තැබීම පිටුපස ඉන්නේ ගෝඨාභය බව මෙන්ම අධිකරණයෙන් දුන් සිර දඬුවමට අදාළ නොවන ඥානසාර හිමිගේ භික්ෂුත්වය අහිමි කිරීමට බලපෑම් කිරීම ගෝඨාභයගේ හෝ ඥානසාර හිමිගේ රූපයෙන් එළි දකින මතවාදය පරාජය කිරීමක් ලෙස සැලකිය හැකි ද ? ගෝඨාභයගේ හෝ ඥානසාර හිමිගේ හෝ වෙනත් ඕනෑම ක්‍රියාකාරිත්වයක් පිටුපස , රටක් ලෙස ගොඩ නැගීමට බාධා කරන අනුචිත දැක්මක් ඇත්නම් එම මතවාද සමග නොනවතින බුද්ධිවාදී අරගලයකින් තොරව රටට ම යහපත් දර්ශනයක් ගොඩනගා ගත හැකිද? භෞතික වශයෙන් කරන විනාශ කිරීම් තුළින් ඒවායේ මතවාදය පරාජය නොවන බව මෙරට ඉතිහාසයේ ඕනෑ තරම් සාක්ෂි තිබේ.

ගෝනවල සුනිල්

අනෙක් පැත්තෙන් අධිකරණය ඥානසාර හිමියන්ව බරපතළ වැඩ ඇතිව මාස 6 ක් සිරගෙට යැවීම සහ එහිදී ජම්පරය ඇඳීම රටේ නීතිය අනුව සිදු වූයේ නම් ‘ජනාධිපති සමාව ‘ ද රටේ ව්‍යවස්ථාවේ ම කොටසක් බව පිළිගත යුතුය. විධායක ජනාධිපතිවරයා එම බලය විවිධ අවස්ථාවන් හි භාවිතයට ගෙන ඇති අතර එය සුවිශාල අවභාවිතයකට ලක් වූයේ ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේ ‘ගෝනවල සුනිල් ‘ නමැති අපරාධකරුට සමාව දීමත් සමගය. 80 දශකයේ මුල් භාගයේ වෛද්‍ය පෝල් නමැති ප්‍රභූවරයාගේ 14 හැවිරිදි රූමත් දියණිය දූෂණය කිරීම නිසා වසර 15 ක සිර දඬුවමක් සුනිල් පෙරේරා හෙවත් ගෝනවල සුනිල්ට නියම වූ අතර එය අභියාචනාධිකරණයෙන් ද තහවුරු කෙරිණි. එකල පැවති එජාප ආණ්ඩුවේ සුරතලෙකු වූ ගෝනවල සුනිල්ට ජනපති ජේ ආර්, ජනාධිපති සමාව දුන්නා පමණක් නොව, මුළු දිවයිනට ම බලපාන සාම විනිසුරු පදවියක් ද ග්‍රාමෝදය මණ්ඩලයක සභාපති පදවියක් ද හිමිකර දුන්නේය.

ජනපති සමාව හා ආණ්ඩුවේ ඉරණම

ඥානසාර හිමිගේ සිද්ධියේ දී බොදුබල සේනා, පවසන්නේ තම සංවිධානය ජනාධිපති සමාව ඉල්ලන්නේ නැති වුවත් ලබා දුන්නොත් පිළිගන්නා බවය. එහෙත් ඔවුන් කිව යුතුව තිබුණේ ජනාධිපති සමාව අවශ්‍ය නොවන බවය. ඔවුන් පෙනී සිටි දේ වෙනුවෙන් ඕනෑම දඬුවමක් විඳීමට කැමති බව කියූ ඔවුන්ගේ ‘වීර කතාව‘ මෙතැන දී ඔවුන් ම නිශේදනය කරගන්නේ ඒ අයුරිණි.
පවත්නා තත්ත්වය අනුව මෙහිදී ජනාධිපතිවරයා ක්‍රියා කරනු ඇත්තේ ජනාධිපති සමාව දීමට වඩා නොදී සිටීමටය. එහෙත් මෛත්‍රිපාල ජනාධිපතිවරයා හා වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව ඉතිහාසගත වනු ඇත්තේ ශ්‍රී ලංකික ජනතාව බෙදා වෙන්වන මතවාද පරාජය කිරීමට ලැබූ අවස්ථාව එළිපිට අවභාවිත කළ ආණ්ඩුවක් ලෙසය.