රාවය

නිර්මාණශීලි ගුරු පෞරුෂය ගොඩ නැඟීමේ වගකීම ඇත්තේ කාටද?

නිර්මාණශීලි ගුරු පෞරුෂය ගොඩ නැඟීමේ වගකීම ඇත්තේ කාටද?

ආචාර්ය ප්‍රභාත් ඒකනායක
ඡ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, අධ්‍යාපන විද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කමල් සිරිවර්ධන මහතා විසින් ඵලදායිතා හා වෘත්තීයවේදී ගුරු පෞරුෂයක් උදෙසා ගත යුතු හා ගත හැකි අතිශය ප්‍රායෝගික ක්‍රියාමාර්ග රාශියක් පසුගිය රාවය කලාපයේ යෝජනා කොට තිබුණි ඒවා අනාදිමත් කාලයක සිට විද්වතුන් විසින් අවධාරිත කරුණු වන අතර ඒවායේ වැදගත්කම පිළිබඳව විවාදයක් පැවතිය නොහැකිය හුදෙක් පුද්ගල කේන්ද්‍රීය විවේචනයෙන් තොරව වර්තමාන ගුරු භූමිකාවේ පවතින අඩු ලුහුඬුකම් සමස්ත ක්‍රමයේ පවතින ගැටලුවක් බව සිය වෘත්තීය අත්දැකීමෙන් ඒ මහතා පෙන්වා දී තිබේ මේ ලිපියෙන් මා උත්සාහ කරන්නේ එසේ සිරිවර්ධන මහතා විසින් පෙන්වා දෙන කරණු සනාථ කරන අතරම ඵලදායි ගුරු වෘත්තිකභාවය පිළිබඳව අවධානය යොමු කළ යුතු තවත් වැදගත් ක්‍ෂේත්‍ර කිහිපයක් වෙත අවධානය යොමු කිරීම ය මාගේ වෘත්තිය ජීවිතය තුළ ලැබූ අත්දැකීම් ද ඒ සඳහා පදනම් කොට ගනිමි
අප පටන් ගත යුත්තේ විවෘත මනසකිනි වර්තමාන ගුරු පරපුර දෙස විවෘත මනසකින් බලන්නේ නම් ඔචුන් අතරෙන් බහුතරය සුවිශේෂ කුසලතා හා ගුණධර්මවලින් පෝෂිත පිරිසක් බවට ඕනෑ තරම් ප්‍රායෝගික උදාහරණ තිබේ අධ්‍යාපන විද්‍යාපීඨ වලින් හෝ වේවා විශ්වවිද්‍යාල වලින් බිහිවන උපාධිධාරීන් අතරින් ගුරු වෘත්තියට ප්‍රවේශ වන්නන් හෝ වේවා ගත් විට ඔවුන් රටේ පවතින අධ්‍යාපන ක්‍රමය අනුව බිහිවූ සුවිශේෂ කුසලතා සහිත හා කැපවීම් කළ පිරිසක් බව පෙනේ රටේ දරුවන් වෙනුවෙන් අති දුෂ්කර ප්‍රදේශවල අවම පහසුකම් යටතේ තම තරුණ දිවිය කැප කරන්නෝ වෙති. කුසගින්නේ පාසල් එන දරුවන්ට තම ආහාර වේල ලබාදෙන තම වැටුපෙන් දරුවන්ගේ ඇඳුම් හා පොත්පත් ලබාදෙන ආදරණීයව ගුරු සේවයේ යෙදෙන්නෝද විරල නැත එය ඔවුන් ලැබූ ශික්ෂණයේ නියම ස්වභාවයයි සුළුතරයක් එසේ නොවී පෞද්ගලික අභිලාෂයන් පෙරදැරිව කටයුතු කරන බව ඇත්තකි එය මානව ස්වභාවයයි මෙම සුළු පිරිස පදනම් කොටගෙන හා ප්‍රශ්නයේ යථා ස්වභාවය තේරුම් නොගෙන ගුරුවරයා කෙරෙහි වෛරී ස්වභාවයෙන් ඔවුනට අවලාද නැගීමේ ස්ථාවරයක අප සිටින්නේ නම් නිසි විසඳුමට බොහෝ දුරින් අප සිටින බව කිව යුතුය. ප්‍රායෝගික යථාර්ථය නම් ශ්‍රී ලංකාව තුළ පහළ මට්ටමේ ගුරු කාර්ය සාධනයට බලපාන හේතු රාශියක් තිබෙන බචය ඒවායින් මූලිකම කරුණු ලෙස
■ ගුරු සේවයට බඳවා ගැනීම් පටිපාටියේ පවතින අවිධිමත් බව,
■ ගුරු පුහුණු වැඩ සටහන්වල පවතින අවිධිමත් බව,
■ ආකල්පමය හා පෞරුෂමය ගැටලු ආදිය දැක්විය හැකිය
ඉහත සඳහන් කරන ලද කරුණු පිළිබඳව නිසි අධ්‍යයනයකින් හා පිළියම් යෙදීමකින් තොරව වර්තමාන ගුරුවරයා යාන්ත්‍රික සත්වයකුට සමානකොට අතීතයේ සිටි ගුරුවරයා දේවත්වයෙන් ඇදහීම අතීතකාමීන්ගේ හුදු ස්වයං වින්දනයක් විනා ගැටලුවේ නියම ස්වභාවය පිළිබඳ සංවේදී වීමක් නොවේ ඉහත සඳහන් කරන ලද මූලික කරුණුවල බරපතළ බව තහවුරු වන එක් උදාහරණය බැගින්වත් සපයා එකී ගැටලු විසඳීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමට කැමැත්තෙමි
මා දන්නා එක්තරා භික්ෂුන් වහන්සේ නමකට උතුරු මැද පළාත් සභාවෙන් නැටුම් ගුරුවරයකු ලෙස පත්වීම් ලිපියක් එවන ලද්දේ ඉතා මෑතකදීය පසුව එය නිවැරදි කෙරුණද තොගයට ගුරු සේවයට බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය මත රැකියා ලබාදීමේ ජනප්‍රිය ක්‍රමය ලෙස පාසල් වලට ගුරුවරුන් පත් කිරීමේ දේශපාලන ව්‍යාපෘතිය මේ ඛේදවාචකයේ පෙර ගමන්කරුවා බව පෙනේ එබැවින් බඳවාගැනීමේ අදූරදර්ශී හා අඥාන ක්‍රමවේදයෙන් මිදෙනතාක් ගුරු වෘත්තිය අභියෝගයට ලක්වීම නොවැළැක්විය හැකිය දේශපාලන බල ව්‍යාපෘති අධ්‍යාපනයේ අවගමනයට බලපා ඇති ආකාරය පිළිබඳව තවත් කප්පරක් තරම් උදාහරණ සාක්ෂි සහිතව අපේ පාසල් පද්ධතියෙන් සොයා ඉදිරිපත් කළ හැකිය
ගුරු පුහුණු වැඩසටහන් වලද පවතින්නේ අතිශය ඛේදනීය තත්ත්වයකි අධ්‍යාපන විද්‍යාපීඨ ක්‍රමය ගුරුවරුන් පුහුණු කිරීමේ ප්‍රශස්තම ක්‍රමය බව අවිවාදිතය එයද වර්තමානයේ බොහෝ අභියෝගයන්ට ලක්ව ඇති අතර ඒවායේද විෂයමාලා නවීකරණය වීමක් හෝ අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් පුහුණු කිරීමේ ක්‍රමවත් භාවයක්ද නැත
රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් ක්‍රියාත්මක කරනු ලබන පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවන් හැදෑරීමද අධ්‍යාපන අමාත්‍යාංශයේ හා පළාත් අධ්‍යාපන අංශවල බලධාරීන් විසින් මන්දෝත්සාහී කොට තිබේ මූලිකවම එම පාඨමාලා සඳහා ගාස්තු ගුරුවරයා විසින් පෞද්ගලිකව දැරිය යුතු අතර අතීතයේදී මෙන් පාඨමාලාව සම්පූර්ණ කළ පසු එම ගාස්තුවෙන් කොටසක් හෝ ගෙවීම දැන් සම්පූර්ණයෙන් අත් හිටුවා තිබේ
“තොපි පුළුවන්නම් පුහුණු වෙයව්” වැනි අමනෝඥ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන පාලකයන් ගමන් බිමන් යන එක වාහනයක වටිනාකමෙන් ගුරුවරුන් සිය ගණනක් පුහුණු කළ හැකි බව පමණක් සඳහන් කිරීමට කැමැත්තෙමි.
එසේම පශ්චාත් උපාධි ලබා ගන්නා ගුරුවරු සම්බන්ධයෙන් ද විධිමත් බවක් පද්ධතියේ දක්නට නොමැති අතර ඔවුන් දෙස ඊර්ෂ්‍යා පරවස අන්තගාමී හැඟීමෙන් කටයුතු කරන නිලධාරි මාෆියාවක් ක්‍රියාත්මක වන බව සාක්ෂි සහිතව පෙන්වාදිය හැකිය. කලාප අධ්‍යාපන කාර්යාලවල සේවය කරන ගුරු උපදේශකයන්ගේ තත්ත්වයද ඉතා කනගාටුදායකය. දක්ෂයන් කිහිපදෙනකු සිටියද බහුතරය නිසි පුහුණුවකින් තොර හිතවත්කම් මත සිදු කළ බඳවාගැනීම් බව පෙනේ. මහනුවර එක් අධ්‍යාපන කලාපයක උපදේශනය සඳහා බඳවාගෙන තිබෙන ගුරු උපදේශකවරයා කලින් ඔහු සේවය කළ පාසලේ කිසිදු ඉගැන්වීමක නිරත නොවී නොයෙක් විෂමාචාරයන් සිදුකළ බවට චෝදනා ලැබූවෙකි.
ලංකාවේ බොහෝ රැකියා සඳහා යම් පිළිගත හැකි ස්ථානමාරු ක්‍රමවේදයක් පැවතුණද ගුරු සේවයේ ස්ථාන මාරුලබාදීම පවතින්නේ අතිශය විසු`ඵ සහගත හා අක්‍රමවත් ආකාරයකය වසර හතක් නුවරඑළිය අධ්‍යාපන කලාපයේ දුෂ්කර පාසලක සේවයේ යෙදුන ගුරුවරයකුට මහනුවර අධ්‍යාපන කලාපයේ දුෂ්කර පාසලකට නැවත මාරුවීමක් ලබා දුන්නේ පසුගිය මාසයේය. මෑතකදී ජනප්‍රිය පාසල්වල සිදු වූ ගුරුමාරු විහි`ඵවද මේ හා සමානය. එසේම මා ජීවත්වන මහනුවර නගරයේ මෙන්ම රටේ අනෙකුත් නගර රාශියකම ජනප්‍රිය පාසල්වල විදුහල්පතිවරුන්ට දේශපාලන හිතවත්කම් මත එම පත්වීම් ලබා දී ඇති අතර ප්‍රාදේශීය පාසල්ද ප්‍රාදේශීය දේශපාලකයන්ගේ අවකෙළි සඳහා තෝතැනි වී තිබේ මේ විලම්භීත තත්ත්වයෙන් පාසල් මුදවා ගන්නා තුරු ගුරු භූමිකාව දෙපයින් සිටුවීම හුදු කථාවට පමණක් සීමාවනු ඇත එබැවින් වික්ටර් අයිවන් මහතා යෝජනා කොට ඇති පරිදි පාසල් වර්ගීකරණයත්, ගුරු ස්ථානමාරු ප්‍රතිපත්තියක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන තුරු ගුරුවරයාට ඇඟිල්ල දිගු කිරීමේ සාධාරණ බවක් ඇතැයි මම නොසිතමි ඒ සඳහා වික්ටර් අයිවන් මහතාගේ ‘මට පෙනෙන හැටි’ (2010) කෘතියෙන් ලබා දෙන ආදර්ශය අගනේය
ගුරුවරුන් සතු ආකල්පමය හා පෞරුෂමය ගැටලුවද ඔවුනගේ වෘත්තිකභාවය අභියෝගයට ලක්වීමේ හේතුවක් ලෙස කියැවේ සමාජයේ සෙසු වෘත්තීන් වන වෛද්‍ය ඉංජිනේරු, නීතිඥ, බැංකු වැනි ක්‍ෂේත්‍රවල සේවයේ නියුතු පිරිස් ඉහළ වෘත්තීමය අභිලාෂයකින් කටයුතු කරන අතර ගුරුවරු එසේ නොවන බව එල්ලවන මූලික චෝදනාවයි එහෙත් ඉහත සඳහන් කළ ආකාරයේ ඉහළ අභිමානයෙන් යුතු වෘත්තිකයින් නිර්මාණය කිරීමට දායක වූ ගුරුවරයාට සමාජය විසින් නිසි කෘතවේදී බව ලබා දී ඇති ද යන්න මෙහිදී පෙරළා ඇසිය යුතු ප්‍රශ්නයයි සෙසු වෘත්තීන්ට සාපේක්ෂව ඉතා පහළ වැටුපක් ලබමින්ද තම දරුවන් රැක බලා ගැනීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිකමින්ද තම සේවා අවශ්‍යතා සඳහා මානසික හා මූල්‍යමය මතු නොව ලිංගික සූරාකෑම්වලට ලක්වෙමින්ද අතිශය අන්තීකරණයට ලක්වූ ගුරුවරයකුගෙන් ඉහළ වෘත්තීක ඵලදායී බවක් බලාපොරොත්තු වීම සිහි මොළය ඇති කෙනකුට කළ හැකිද යන්න සදාචාරමය ප්‍රශ්නයකි.
මගේ කිරි අම්මා (අත්තම්මා- ඇය අනුරාධපුරයේ ගැමි කාන්තාවකි) කුඩා කල මල්ලී සමග මම දබර කර ගන්නා විට වැඩිමලා වූ මගෙන් නිතර ඇය ඇසූ ප්‍රශ්නයක් මට මෙහිදී සිහි වේ පුතේ උඹට උකුණු පුකක් තරම්වත් මොළයක් නැද්ද ඔය පොඩි එකාට රණ්ඩු කරන්නේ? එකල කිරි අම්මා මට පෙනුණේ මට එරෙහිව මල්ලීගේ පැත්ත ගන්නා මගේ තරහකාරියක ලෙසිනි. පුක යන්න ග්‍රාම්‍ය වචනයක් බවද එයට පශ්චාත් භාගය හෝ අධෝ මාර්ගය වඩා සුදුසු ශාස්ත්‍රීය වචන බවද දැන් මම දනිමි. මගේ කිරි අම්මා නිවැරදි බව ද දැන් මම දනිමි එබැවින් ගුරුවරයාගේ වෘත්තිකභාවයේ ගුණාත්මක බව විමසන බලධාරිණි එකල මගේ කිරි අම්මා මගෙන් ඇසූ පැනය ඔබ වෙත යොමු කිරීමට කැමැත්තෙමි ගුරුවරයාට අවශ්‍ය මූලික ශක්තිය ලබා නොදී ඔබ කරන රංගනය මොණර නැටුමක් පමණක් බව අවසන් වශයෙන් සඳහන් කරමි.