රාවය

ඔවුන්ට සමුදී තමන්ගේ වැඩක් බලාගන්න

ඔවුන්ට සමුදී  තමන්ගේ වැඩක් බලාගන්න

ලංකාවේ ජනාධිපතිවරයා මෙරට පාලනතන්ත්‍රය හා ජන ජීවිතය එකිනෙකින් වියුක්තව දකින බවක් පෙනෙයි. ඒ බව ප්‍රකට වූයේ ඉකුත් සතිඅන්ත පුවත්පතකට ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් තුළිනි. ජනපති එහිදී ජනතාවට මෙසේ කියයි.
“මේ පක්ෂ දෙකේ බල පෙරළිය දිහා බලාගෙන ඉන්න එපා. රටේ ජනතාව තම තමන්ගේ තියන වැඩක් කරගත්තම එච්චරයි. හවසට රූපවාහිනිය දිහා බලාගෙන සිද්ධ වෙන රණ්ඩු දිහා බලාගෙන ඉන්න එක නෙමෙයි ජනතාව කළයුත්තේ. තමන්ගේ ජීවන වෘත්තියද කරගෙන දරුවොත් එක්ක නිදහසේ සන්තෝෂයෙන් ඉන්න එකයි. එහෙම නැතුව දේශපාලන බලපොරය දිහා බලාගෙන ඉන්න එක නෙමෙයි.”
ජනපතිගේ එම කතාවෙන් මතුකරන එක් කාරණයක් වන්නේ පාලකයන් කෙතරම් අඬ දබර කරගත්තත්, නොහික්මුණු ලෙස හැසිරුණත් ජනතාව ඒවා ගණන් නොගත යුතුය යන්නයි. ජනපති කියන අඬ දබරය සිදුවන්නේ අල්ලපු ගෙදර නම් ඒ ගෙදර බත ඉදෙනතුරු ඔහේ මරාගත්තාවේ කියා මෙහා ගෙදර නිවැසියන්ට නිසොල්මනේ සිටිය හැකිය. එහෙත් මේ අඬ දබරය සිදුවන්නේ රටේ ජනපතිත් අගමැතිත් අතරය. ඒ දෙදෙනා අල්ලපු ගෙදර ඇඹේනියටත්, වල්ලභයාටත් සමාන කළ නොහැකිය. රටේ නායක දෙපළ හා අනුගාමිකයෝ අඬ දබර කරගන්නා විට ඇස කන පියාගෙන නොසිටිය හැක්කේ ඔවුන් ඒ ඒ තනතුරුවලට ගියේ රට හදන්නට වන නිසාය. දරු මල්ලන්ගේ වැඩක් බලාගෙන රටවැසියන්ට නොසිටිය හැක්කේ සංතෝෂයෙන් ජීවත්වීම නම් වූ කාරණයට රාජ්‍ය පාලනයේ යථා හෝ අයථා තත්ත්වය ඍජුවම බලපාන නිසාය. ජනපතිට මේ සරල සමීකරණය නොතේරීම කනගාටුදායකය.
ජනතාවට ගෙදර වැඩක් කරගෙන සිටීමට ඍජුවම බලපාන සාධකය වන්නේ ආර්ථිකයයි. බදුවලින් නහය දක්වාම වැසීයමින් තිබෙන සමාජයක් සන්තෝෂයෙන් සිටින්නේ කෙසේද? රට තිබෙන්නේ ණය උගුලකය. රුපියල දිනෙන් දින අවප්‍රමාණය වෙයි. රටෙහි හරි හමන් නිෂ්පාදනයක් සිදුනොවෙයි. රටත් ජනතාවත් දිනෙන් දිනම දුගීභාවයට ගමන් කරයි. පක්ෂ දෙකේම පල්හොරු රට උලා කති. ලක්ෂ දහයක් පවා ඒ සමහරුන්ට පොල් ලෙල්ලකි. ජනපති ජනතාවට කියන්නේ මැති ඇමතිවරුන්ගේ ලක්ෂ දහයේ පොල් ලෙලි පාවෙවී යන හැටි බලා සන්තෝෂයෙන් කල් ගෙවන්නද? මේ තරම් මුග්ධ ඉල්ලීමක් තවත් තිබිය හැකිද? රටෙහි ජනයාගෙන් දහතුන් ලක්ෂයකට ආසන්න පිරිසක් සිටින්නේ දරිද්‍රතා රේඛාවෙන් පහළය. ඔවුන්ගේ දෛනික ආදායම රු. 150/-ටත් අඩුය. දේශපාලනඥයන්ගේ බලපොරය දෙස බලා හිඳීමෙන් දරිද්‍රතා ප්‍රශ්නය නොවිසඳෙන බව සැබෑවකි. එහෙත් මේ නින්දාසහගත, ජනතා විරෝධී වැඩසටහන් හා බලකාමී ක්‍රියාපිළිවෙත ගැන ජනතාව එළැඹි සිහියෙන් කටයුතු කළ යුතුය.
වසර තුනහමාරක් තිස්සේ ජනතා පොරොන්දු ඉටුනොකිරීම ගැන ජනපතිට නිදහසට කියන්නට කප්පරක් කරුණු ඇත. ඉකුත් ආණ්ඩුවේ දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැන ඉහත සම්මුඛ සාකච්ඡාවේදී ඇසූ ප්‍රශ්නයකට ජනපති පිළිතුරු දී තිබුණේ පොලිසිය මගේ අතේ නෑ, පොලිසිය භාර දේශපාලන පක්ෂය මේ තත්ත්වයට වගකිව යුතුයි යනුවෙනි. බරපතළම කාරණය වන්නේ විධායක ජනාධිපතිවරයෙක් එවැනි වගකීම් විරහිත පිළිතුරක් දීමය. සංඝ සමාජය ඉල්ලීමක් කළහොත් ඕනෑම වැරදිසහගත පියවරක් ගැනීමට ජනපති, පෙළඹෙයි. මහා සංඝ රත්නය කී නිසා අත්අඩංගුවට පත්වීමට ආසන්නව සිටි ගෝඨාභය කෙරෙහි ජනපති ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන්ම අනවශ්‍ය බව මහා සංඝ රත්නය කී විට ජනපති එම වැඩසටහන සම්පූර්ණයෙන්ම පස්සට ගත්තේය. දැන් ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉවත් වීම නිසා දෙමුහුන් අධිකරණය, අතුරුදන්වූවන්ගේ කාර්යාලය අනවශ්‍ය බව කියා බොරදියේ මාළු බාන්නන් ජනපතිට ඇම දමන්නට පුළුවන. ජනපති ඒ ඇමටත් හසුවන්නට ඉඩ ඇත. ඔහු නුදුරු දිනක මහා සංඝ රත්නයේ ඉල්ලීම පිට ඥානසාර හිමිට ජනාධිපති සමාවක් පිරිනැමුවහොත් එයද පුදුමයට කරුණක් නොවනු ඇත. විධායක ජනාධිපති කෙනෙක් සිටියදී පඳුරකට පයින් ගැසූවිට විසිවන තරමට තවත් ජනාධිපතිලා රටෙහි බිහිවෙමින් සිටින්නේ වත්මන් ජනපති මොන ප්‍රශ්නයේදීත් කණිපින්දම් ගහන මේ බරපතළ ව්‍යාකූල තත්ත්වය තුළය. ජනපති වචන අතිවිශාල සංඛ්‍යාවක් ප්‍රකාශ කරන්නකු වුවත් ඒ වචනවල තිරසාර බවක් නැතිවීම ඔහුගේ මෙන්ම රටේත් අභාග්‍යයකි. රටේ එක ප්‍රශ්නයක්වත් නොවිසඳී තිබියදී, ඒ ප්‍රශ්න විසඳීමට පොරොන්දු දුන් දේශපාලනඥයන් දෙස නොබලා තමන්ගේ වැඩක් බලාගන්නා ලෙස ජනතාවට කීමද ජනපති තවදුරටත් හෑල්ලුවට ලක්වන කතාවකි.
ඇත්තටම ජනතාව මෙතැන් සිටවත් තමන්ගේ වැඩක් බලාගන්නවා නම් අගනේය. ඒ රට අගාධයට ඇදගෙන යන මේ සියල්ලන්ටම දේශපාලන වශයෙන් සමුදෙමිනි.