රාවය

සාධාරණ පරීක්ෂණයක් නොකර දූෂණ චෝදනා එල්ල කළාට වැඩක් නෑ චමල් රාජපක්ෂ

සාධාරණ පරීක්ෂණයක් නොකර දූෂණ චෝදනා එල්ල කළාට වැඩක් නෑ චමල් රාජපක්ෂ

නිමල් අබේසිංහ

රාජපක්ෂ පවුලට බරපතළ ආකාරයේ දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. ඔබ ඒවා ප්‍රතික්ෂේප කරනවාද?

ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි.ඒ ආයතන වලින් පරීක්ෂණ පවත්වලා ඒ අවශ්‍ය සාක්ෂි හදාගෙන ලිඛිත සාක්ෂි, අනෙක් සාක්ෂි සියල්ලම සකස් කරගෙන චෝදනා පත්‍රයක් හැටියට ඒවා උසාවියට ඉදිරිපත් කිරීම තමයි කරන්න ඕනේ. ඉස්සර කෙරුණේ එහෙමයි. ඒත් අද මම හිතන්නේ නෑ, රාජපක්ෂ පවුලට විතරක් කියන එක. අද රටේ රජයේ සේවකයින් 700කට විතර මානසික වධදීලා තියෙනවා. ප්‍රශ්න කිරීම් හරහා සහ තර්ජනය කිරීම් මඟින්. මම දන්නවා සමහර අය ඒ හින්දා බලවත් මානසික අසහනයකට පත් වෙලා හිටපු බවත්. ඒක නෙවෙයි. ඒ මොනවා තිබුණත් ඒවාට පරීක්ෂණයක් කරන්න ඕනේනෙ. පරීක්ෂණ සාමාන්‍යයෙන් කරන්නේ රහසිගතව. පුළුවන් තරම් තොරතුරු හොයලා ඒවා දාලා තමයි චෝදනා පත්‍රයක් හදන්නේ. ඒවා එහෙම නෙවෙයි සිද්ධ වෙන්නේ. බැපූ බැල්මට හැමතැනම පේන්න තිබෙන්නේ මොකක්හරි ප්‍රකාශ කළොත් තරහින් බවයි පේන්නේ.
ඒක කරන අයට භාර දීලා නිදහසේ කරන්න ඉඩ දෙන්න ඕනේ. එහෙත් තීන්දු දෙන්නෙත් රජයේ ඇමතිවරුනේ. පරීක්ෂණ පවත්වන්නෙත් ඇමතිවරු. ඒවා ගැන තොරතුරු කියන්නෙත් මැති ඇමතිවරු. ඒවාට චෝදනා පත්‍රය හදලා තීන්දු දෙන්නෙත් මැති ඇමතිවරු. ඒකේන්ම පේනවා තමන්ගේ ක්‍රෝධය. ඒවා ඒ අංශ වලට කරන්න ඇරලා මැති ඇමතිවරු තමන්ගේ වැඩ ටික කළා නම්, අදාළ අංශ ඒ ටික කරාවී. එතකොට ඇඟිලි ගැසීම් වලින් තොරව ඒ වැඬේ හරියට කෙරෙනවා.
අද ඕනෙම කෙනෙකුට පේන්නේ කලින් තීන්දු ප්‍රකාශයට පත් කරනකොට පේන්නේ ස්වාධීනව මධ්‍යස්ථව කරුණු විශ්ලේෂණය කරලා නිදහස්ව මේ පරීක්ෂණ කරන්න පුළුවන් වාතාවරණයක් නැති බවයි. මේ අය කරන විවිධ ප්‍රකාශ නිසා අධිකරණයටත්, විනිසුරුවන්ටත් සාධාරණයක් ඉෂ්ට කරන්න ඔලුව හැදෙනවද කියන එකත් ප්‍රශ්නයක් වෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව තිබුණු නඩුවෙදී විනිශ්චය කටයුතුවලින් විනිසුරුවන් හතර දෙනකුම ඉවත් වුණේ මේ කාරණය නිසා කියලද ඔබ කියන්නේ?

මම දන්නේ නෑ ඒක. මම කියන්නේ මගේ ස්වාධීන මතය. අනිත් අයගේ ඔලුවේ තිබෙන දෙවල් ගැන මම දන්නේ නෑ. මමත් මගේ වෘත්තීය ආරම්භ කළේ පොලිස් පරීක්ෂකවරයෙක් විදිහට. මම දන්නවා වැඩ කෙරෙන හැටි. මේ වගේ දේවල් විමර්ශනය කරන හැටි. සියලු කරුණු එකතු කරගෙන ඒවත් එක්ක චෝදනා පත්‍රය හදලා තමයි උසාවියට ඉදිරිපත් කරන්න ඕනේ. අපිට දක්ෂ පොලිසියක් තියනවා. මේ අයට ස්වාධීනව බලපෑමකින් තොරව වැඩ කරන්න ඉඩ දෙන්න ඕනේ. දැන් එහෙම නෑනේ. පරීක්ෂණ පවත්වන්නේ, සාක්ෂි සටහන් කරන්නේ, විතරක් නොවෙයි නඩු තීන්දුව දීලා ඉවර කරන්නෙත් දේශපාලනඥයෝ. ඒක නිසා මේක වෛරයක් බව පේනවා. ඒක ජනතාව අතරටත් යනවා. අපි හිතමුකො මෙහෙම, මහින්ද රාජපක්ෂ මහත්තයට බනිනකොට එයාගේ අනුගාමිකයින්ට රිදෙනවා. ඒ අයටත් ගමේ ඉන්න විරුද්ධ පාක්ෂිකයින් එක්ක තරහක් වෛරයක් ඇති කර ගන්නවා. මේවායින් තමයි ඡන්දයකින් පස්සේ ගෙවල් ගිනිතියන්න, කෝලහල ඇති කරන්න පෙළඹෙන්නේ.ඒවා නෙවෙයි ආණ්ඩුව කරන්න ඕනේ. රට දියුණු කරන අපේ රටේ අපනයනය දියුණු කරන වැඩපිළිවෙළකුයි.
රටට නිදහස ලැබිලා අවුරුදු හැත්තෑවක් විතර ගතවෙලත් එහෙම දේශපාලන සංස්කෘතියක් අපේ රටේ බිහිවෙලා නෑනේ.ඒ කියන්නේ ඒක හීනයක් විතරයි කියන එකනේ.
එහෙම නෑ තමයි. රටේ තිබෙන ප්‍රශ්න එකක්. බලයේ ඉන්න අයගේ වැඩපිළිවෙළ එක්කනේ එහෙම වෙන්නේ.

ඔබ කියන විදිහට මේකට විසඳුමක් ලෙසට සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකළොත් හරියාවිද?

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන ඉස්සරලම සාකච්ඡාවක් ඇති වෙන්න ඕනනේ. සියලුදෙනා එකතුවෙලා රටේ තිබෙන ප්‍රශ්න හඳුනාගෙන සියලු දේ ගැන සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේ වැඩපිළිවෙළක් සාකච්ඡා කර ගත්තොත් ඒක ජනතාවට ඉදිරිපත් කරන්න පුළුවන්.

මේකට මුල් වෙන්න ඕනේ කව්ද?

කෙරෙන්න ඕනේ නම් එක්කෝ ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් විපක්ෂයේ ඉන්න නායකයෙක් මැදිහත් වෙන්න ඕනේ. එහෙම එකඟතාවකට එන්න ඕනේ. දැන් සහජීවනය ගැන කතා කරනවානේ අපි. අර හමුදා නිලධාරියෙක් තමන්ගේ සේවා කාලයේදි උතුරේ ජනතාවට කොච්චර සමීප වුණා ද ජනතාවගේ හරිම ප්‍රශ්නය හඳුනාගෙන විසඳුම් දෙන්න ක්‍රියාකරපු ආකාරය ගැන පැහැදීමක් ඇතිවනේ දෙමළ අය හැසිරුණේ. සිංහල ජාතියට විරුද්ධව අවුරුදු තිහක් යුද්ධ කළා. මිනීමරාගත්තා කියන චෝදනාව තිබුණට මේ සිද්ධියෙන් පෙනෙන්නේ මිනිසුන් අතර එහෙම වෙලා නැති බවනේ. වෛරයක් ක්‍රෝධයක් තිබිලා නෑ. යම් අසාධාරණයක් වෙනුවෙන් සටන් කළාට.

ඉදිරි ජනාධිපතිවරණය ගැන රටේ විශාල උනන්දුවක් තිබෙනවා වගේම කතාබහකුත් තිබෙනවා. මෙහිදී අනාගත ජනාධිපති අපේක්ෂකයින් විදිහට ඔබතුමාගේ පක්ෂයෙන් ගෝඨාභය හා බැසිල් රාජපක්ෂ කියන නම් ඉදිරියට ඇවිත් තිබෙනවා. මේ දෙන්නම ඇමරිකාවේ පුරවැසිභාවය හිමි අය යම් විදියකින් මේ අයගේ ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කරන්න බැරි වුණොත් ඒ වගේම ඔබ පක්ෂයේ ඇතැම් අය මේ දෙන්නා වෙනුවෙන් වෙනම පෙනී සිටිනවා. එහෙම වුණොත් ඔබ ජනාධිපති අපේක්ෂකයා විදිහට යනවද?

යෝජනා වෙන්න ඉස්සරලා සලකා බලන්න ඔනේ කවුද සුදුස්සා කියලා. අද තියන තත්ත්වන යටතේ මේ වගකීම භාර අරගෙන කරන්න හැකි කාටද කියලා හිතන්න වෙනවා. පක්ෂයක් හැටියට එක්කෙනෙක් කියන මතය නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. මෙතනදි නායකත්වය දරන ආශිර්වාද කරන පිරිසක් ඉන්නවා. ඉතිං නම් පහක් හයක් තියනවා නම් ඒ අයගේ හැකියාවන් දක්ෂතාවන් ගැන සාකච්ඡා කරලා තමයි තෝරගන්න ඕනේ. මටත් කියන්න ඇහැකි කාගේ හරි නමක්. එහෙම නොවෙයිනේ. අපි බලන්න ඕනේ එක එක්කෙනාගේ දක්ෂකම්, හැකියාවන්. මමත් බලන්නේ කවුද සුදුස්සා කියලා. මගේ නම යෝජනා වුණත් මම යෝජනා කරනවා ඒ සුදුස්සාගේ නම. බල තණ්හාව නැත්නම් තනතුරු තණ්හාව එක්ක මේක කරන්න බැහැ. ඒ නිසා අද රටේ තියන තත්ත්වය බලලා හොඳ අවංක විනයගරුක පුදගලයෙක් ජනාධිපති කමට පත් කරන්න ඕනේ.