ඥානසාර හිමි ජම්පරය සහ බුදුදහම

ටිරන් කුමාර බංගගමආරච්චි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හයමසක් බන්ධනාගාරයේය. එය දැනට තීන්දුවය. ජනපති මැදිහත්වීමෙන් හෝ උන්වහන්සේ ඉක්මනින් නිදහස් වනු නියතය. එයට හේතුව ඥානසාර හිමි බන්ධනාගාරගත කිරීමත් සමග ඒකරාශී වූ සංඝ සමූහය නිසාවෙනි. මේ සංඝ ඉල්ලීම දිනෙන් දින ප්‍රබල පණිවුඩයක් නිකුත් කරමින් සිටිති. එහි යටි අරමුණ නම් සංඝයාට අත තැබීම ආණ්ඩුවට අකැප බවය. ආණ්ඩුවේ ප්‍රධාන උත්සව වර්ජනය කරන තැනට මේ තග තල්ලු වී ඇත. භික්ෂු සමාජය මෙරට ප්‍රබලය. කොයි දේශපාලකයා වුව මල්වත්තේ නායක හිමිවරුන් ළඟ දණ වැටී ආ යුතුය. එයින් නොනැවතී හතර අත සිටින නායක හිමිවරු ළඟ එලෙසම සුවච කීකරු විය යුතුය. ඉතිහාසයේ සිට උපුටමින් රට බේරාගත්තේ සංඝයා මැදිහත්වීමෙන් බව පවසමින් ඒ දිගුව එලෙසම කාලාන්තරයක් ඉදිරියට ඇදෙති. කොයි දේශපාලකයාත් එය එලෙසින්ම රැක ගනිති. ඒ සිංහල බෞද්ධ ලකුණ පපුවේ කොටා ගැනීම පිණිසය. හැම නායකයකුම කැමති පච්චය එයය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මේ මොහොතේ එයට වඩා කැමතිම පුද්ගලයාය. ඒ නිසා සංඝයා වෙනුවෙන් ව්‍යාජ දිවි පුදන්නට ඔහු ලෑස්තිය. ඒ වෙන කිසිවක් නිසා නොව අර ‘පච්චය’ සලකුණු කරගන්නටය. එබැවින් ඥානසාර හිමියන් ඔහුගේ අණින් නිදහස්වීමට ඇති ඉඩ බොහෝ වෙත්. කම් නැත. දේශපාලන සෙල්ලම් එසේමය. එයාකාරමය.

ජම්පරය

ඥානසාර හිමි බන්ධනාගාර ගතවීමත් සමග කතාබහ ඇදුණේ උන්වහන්සේ ජම්පරය ඇඳීම ප්‍රතික්ෂේප කළ බවත් පසුව එය ඇඳි බවත්ය. එයත් සමග සංඝ ප්‍රබලයන්ද කිපී ඥානසාර හිමියන් ජම්පරය නොයැඳිය යුතු තැනට කතාබහ තල්ලු වූහ. භික්ෂුවකගේ සිවුර ගැලවිය හැක්කේ භික්ෂු ප්‍රබලයන්ට බව ඒ කතාබහේ අවසාන අරුත වූහ. සැබැවින් මේ භික්ෂූන් පිස්සු නටන කල මේ සිවුරට වන හානිය මේ නායකාදීන් දුටුවේ නැත්ද? එවිට සිවුර ගලවා ශාසනය රැකගත යුතු යැයි මොවුනට කල්පනාවක් නොවීද? ඥානසාර හිමියන් බන්ධනාගාර ගතවීමට සම්පූර්ණයෙන් වගකිවයුත්තේ මේ නායක හිමිවරුන්ය. භික්ෂූන් වැරදි මග යන්නේ නම් මුලින්ම ඔවුහු යහමගට ගතයුත්තේ නායක හිමිවරුන්ය. ඥානසාර හිමි පසුගිය කාලවකවානුවේ ඇති තරම් පිස්සු නැටූහ. එහෙත් ඒ හිමි වැරදි බව කියා දැඩි විනය නීති පමුණුවා රැක ගැනීමේ වුවමනාවක් නායක හිමිවරුන්ට නොවූහ. ඔවුහු එය දුටුවේ රට ජාතිය වෙනුවෙන් කරන පාරමිතාවක් ලෙසය. එහෙයින් මේ බන්ධනාගාර ගතවීමද ඒ පාරමිතාවේම බලයක් බව කිව මනාය.
ඥානසාර හිමි යනු දේශපාලන වුවමනාවක්ය. දේශපාලන ඉත්තෙක්ය. බේරුවල ගින්න මෙන්ම තෙල්දෙණිය ගින්න ඇවිලෙන කල උන්වහන්සේ එතැනය. ගෝඨාභය රාජපක්ෂගේ මෙන්ම මෛත්‍රීපාල සිරිසේනගේද වුවමනාවකි. ඒ භික්ෂුව ඉටුකරනුයේ දේශපාලන වුවමනාවකි. එය පිරිසකට අශෝභන මෙන්ම තවත් පිරිසකට ප්‍රියජනකය. එමෙන්ම ප්‍රියජනක පිරිස වැඩිය. එයද කිව යුතුය. ඒ නිසාම ඒ නාඩගම්වලට ලොකු ඉල්ලුමක් තිබුණි. නායක හිමිවරුද නිහඬව වසනුයේ මේ නියෝජනය හරහා තමන්ගේම කොටසක්ද නියෝජනය වන නිසාවෙනි. අමාරුවෙන් වුව තේරුම් ගතයුත්තේ එයය. ඥානසාර හිමි ජම්පරය ඇඳීම හිත් රිදෙන කාරියක් වන්නේ එබැවිනි. ඥානසාර හිමියන් හය මසකට බන්ධනාගාර ගත කළේ සිරකරුවන්ට බණ දෙසන්නට නොවේ. සිරගෙදර තුළ වැරදිකරුවා වැරදිකරුවාමය. එය සිවුර ලාද කෝට්ලාද වෙනසක් නැත. සිවුරට ගරු කිරීම සිවුර වැලේ තිබුණාද බෞද්ධයෝ ඉටු කරති. එහෙත් පිස්සු නටන සිවුරලාගත් අමන භික්ෂූන්ට ගරු නොකරන්නද බෞද්ධයෝ දනිති. භික්ෂුව සමාජයෙන් රැකෙනු විනා සමාජය භික්ෂුව නිසා රැකෙන කෙප්පය දැන් පාවිච්චි කිරීමත් ඵලරහිතය. ඥානසාර හිමි ගියේ සිරගෙදරට විනා පන්සලකට නොවේ. වවුලගේ මඟුල් ගෙදර ගියා නම් වවුලට ඕනෑ ආකාරයට සිටිය යුතු සේ ම බන්ධනාගාර ගත වූවා නම් ජම්පරය ඇඳිය යුතුමය. ජම්පරය ඇඳීම අකැප නම් නායක හිමිවරු කතිකා කළයුත්තේ භික්ෂුව බන්ධනාගාරගත නොවන්නට විනය හදාගන්නේ කෙසේද, ක්‍රියා කරන්නේ කෙසේද විමසීමය. භික්ෂුවක් අධිකරණයෙන් වරදකරු වී බන්ධනාගාර ගතවන්නේ නම් බන්ධනාගාරයෙන් ජම්පරය අන්දවනවා සේ ම පන්සලෙන් සිවුර ගලවන තැනට නීති නොහදා නායක හිමිවරු කරනුයේ මොන තක්කඩිකම කළද භික්ෂුවක් නම් එය රැකීමට ක්‍රියා කිරීමය. මේ රැකිල්ලෙන් විනාශ වී ඇත්තේ බෞද්ධකමය. මේ රටේ ඇති අන් ආගම්වලට සාපේක්ෂව ශීඝ්‍ර විනාශයට වඳභාවයට යනුයේ බෞද්ධ ආගමය. එය භික්ෂුව නිසා වන දෙයක් මිස ගිහියන් නිසා නොවන දෙයක් බවද දැන සිටීම වටිනේය. සිරකරුවා මනුෂ්‍යයන් සේ ම සිරකරුවා සිරකරුවෙක්මය. භික්ෂුවද? කවුද කින්ද මන්ද ඊට අයත් නැත. සිරගෙදරදී නිල ඇඳුම ජම්පරය නම් එය ඇඳිය යුතුමය. සිරගෙදර ඇඳුම එය වුවත් එය සිරගෙදරට පොදු වූවකි. එබැවින් එය ඇන්දද නොඇන්දද සාමාන්‍ය සමාජයට අදාළ නැතිය. නායක හිමිවරු මේ ව්‍යාජ තැන එල්ලෙනුයේ ඥානසාර හිමි වෙනුවෙන් නොව දේශපාලන වුවමනාවක් වෙනුවෙනි. මේ ආණ්ඩුව භික්ෂූන්ට නොසලකා හරිනවා යැයි ජන මනස හදන්නටය.

මුලට යෑම

මෙරට ඉතිහාසය දෙස බලන කල ජම්පරය ඇඳි පළමු භික්ෂුව ඥානසාර හිමි නොවන බව පැහැදිලිය. එහි පළමු නම බණ්ඩාරනායක ඝාතනය කළ සෝමාරාම හිමියන්ය. උන්වහන්සේ මෙන්ම බණ්ඩාරනායක ඝාතනයට වැරදිකරු වූ බුද්ධ රක්ඛිත හිමියන්ද සිරගෙදර ජම්පරය ඇඳ කල් ගෙවීය. කොයි ආගමේ නායකයකු වුව සිරගත වූ කල ලෝගුලා සිටිය නොහැකිය. ජම්පරය ඇඳිය යුතුය. සිරගෙදර යාමට සුදුසුකම් සපුරා ගන්නේ නම් ඒ ඇඳුම ඇඳීමට මැලිවිය යුතු නැත.
ඥානසාර හිමි සිරගත වූයේ චෝදනා දෙකකට වැරදිකරුවීමෙනි. ඉන් එක නඩුවක පැමිණිලිකාරියකට අධිකරණ භූමිය තුළදී බැණ වැදී තර්ජනය කිරීමය. දෙක වින්දිත පැමිණිලිකාරියට තර්ජනය කොට බියගැන්වීමය. මේ වින්දිතයන් සමග ඥානසාර හිමිට ඇති ප්‍රශ්නයක් නැත. එහෙත් ඥානසාර හිමි බලෙන් ප්‍රශ්නයක් දාගත්හ. එසේ නම් එයට දඬුවම් විඳීම සාධාරණය. නීතිය කාටත් පොදුවිය යුතුය. ඕනෑම තීන්දුවක දෙපැත්තක් ඇත. පිරිසක් එය පිළිගන්නා විට තවත් පිරිසක් එය ප්‍රතික්ෂේප කරති. එහෙව් තත්ත්වය ඥානසාර හිමිට පක්ෂව ඇති පිරිසද ඔහුගේ දේශපාලනය පිළිගන්නා පිරිසද විශාල වෙති. එහෙත් වැරදි කළ විට සහ දඬුවම් ලැබීමද ඒ සමාන්තරව පිළිගැනීමට මේ මහත්වරු මැලිවෙති.
ඥානසාර හිමි මේ කළ මුල් වරද නොවේ. ඒ හිමිට විරුද්ධව පෙර වැරදිද තිබේ. සිවිල් නීති කඩකිරීම මත චෝදනා කිහිපයක්ම උන්වහන්සේට එල්ල වී තිබිණි. මේ සියලු අවස්ථාවල නායක හිමිවරුන් ක්‍රියා කළේ එය අනුමත කරන ස්වරූපයෙනි. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව මීට පෙර නිවේදනය කළේ ඥානසාර හිමියන්ගේ ‘හැසිරීම’ අනුමත නොකළත් උන්වහන්සේ දරන අදහස් සමග සපුරා එකඟ බවය. එයින්ම පැහැදිලි වන්නේ නායක හිමිවරුන්ට කළ නොහැකි දේ ඥානසාර හිමි කරන බවය.

භික්ෂුව අනතුරේ

දිනෙන් දින භික්ෂුව අනතුරේ වැටෙන බවත් බුද්ධාගම පිරිහෙන බවත් කිව යුතුය. අන් ආගමික නායකයන් ප්‍රමුඛතාව දී ඇත්තේ තම ආගමටය. එහෙත් බෞද්ධ නායකයන් කරනුයේ තමන් අන් අයට වඩා උසස් බව පවසමින් ආගම පසෙකලා දේශපාලනය කිරීමය. භික්ෂු සමාජයම දේශපාලනික වූ කල ගිහි මැදිහත්වීමද දේශපාලනිකම වී ඇත. භක්තිය වෙනුවට අභක්තිය කරළියට පැමිණ ඇත. කෝට්ටේ රජමහා විහාරයේ නායක හිමිවරු කපා කොටා ඝාතනය කරන තැනට පහුගිය ආණ්ඩු සමයේදී සිදුවිය. ඒ සමානව කතරගම කිරිවෙහෙරේ නායක හිමිට වෙඩි තබන තැනට තල්ලු වී ඇත. කෝට්ටේදී පැරණි කඩුවක් සෙවූ බව කතාව විය. කතරගම කිරිවෙහෙරේ නම් දේවාල ප්‍රශ්නයක්ය. දේවාල යනු දේවාලයට ලැබෙන මුදල ගැන ප්‍රශ්නයක්ය. මේ සියල්ල අතහරින්නැයි ගිහියාට වදාරණ අයහ.
රටේ වැදගත් ප්‍රශ්න කිසිවකට නායක භික්ෂූන් වහන්සේලා කතා කරන්නේ නැත. එහෙත් දේශපාලකයන් දිනපතා උන්වහන්සේලා බැහැ දකින්නට යති. එහි අදහස අනුශාසනා ලබාගැනීම නම් මේ විකාර ක්‍රමයට අනුශාසනා දුන් අයද වගකිව යුතුය. ඉතා සිල්වත් භික්ෂූන් එදා විසූහයි සඳහන්ය. එහෙත් අද එය නොමළ ගෙයකින් අබැටක් සොයා ගන්නවාට වඩා අපහසු වී ඇත. දේශපාලකයන් මෙන්ම මාධ්‍යයට නිතර දේවේලේ මුහුණු පෙන්නන භික්ෂුවත් දේශපාලකයන් තරමටම අප්පිරියාසහගත වී ඇත. ඒ භික්ෂූහු දේශපාලකයන්ට වඩා දේශපාලනය කරති.
හෙට දවසේ ඥානසාර හිමි එළියට එනවිට මහා වීරවරයකු විය හැකිය. තත්ත්වය එබඳුය. හිරේ යෑමත් අද වීරකමකි. අප කියනුයේ ඥානසාර හිමි පසෙක තබා බෞද්ධාගම බේරාගැනීමට මහ නායක හිමිවරු කටයුතු කළ යුතුය. එහෙත් දේශපාලකයන්ට කතා කරනවාට එහා දෙයක් ඒ හිමිවරුන්ට නැත. ඥානසාර හිමි නොව බෞද්ධාගමම මේ වනවිට හිරේ විලංගුවේ වැටී ඇත. එය බේරා ගන්නට කටයුතු නොකොට වැඩකට නැති වැඩ වෙනුවෙන් භික්ෂූන් වෙහෙසීම අවැඩක් නොවේද මේ බුදුන් වදාළ දහමද?