රාවය

වගා හානි කිරීමට විසඳුම වන සතුන් මැරීමද?

වගා හානි කිරීමට විසඳුම වන සතුන් මැරීමද?

රසික ගුණවර්ධන

ජුනි 10 රාවයෙහි පළ කළ ‘අලි 80, පවුල් 60, අස්වැන්නෙන් 3/4ක් සතුන්ට’ යන හිසින් යුත් ලිපිය මතකද? ලංකාවේ ඉහළ යන ජනගහනයට සාපේක්ෂව ආහාර භූමි ප්‍රමාණය වැඩිවන්නේ නැත. අප දන්නා පරිදි අලින්, රිලවුන්, මොණරුන්, ඌරන්, දඬු ලේනුන් ආදී සතුන්ගෙන් වගාවන්ට සිදුවන්නා වූ හානිය සුළුපටු නොවේ. එය අප පැවසූ ආකාරයට අනුව වගාවෙන් 4/3 ක්ම වෙන් වනුයේ සතුන් සඳහාය. ඒ අනුව ගොවියාට ඉතිරි වනුයේ වගාවෙන් 4/1 කි. මෙවැනි කරුණු කාරණා මත බොහෝ ගොවීහු ද, ඊට සමානව බොහෝ සිවිල් සංවිධාන නියෝජිතයෝද, ඇතැම්විට රජයද දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ මේ ගැටුම විසඳීමට ඇති එකම හා පහසුම මග නම් සතුන් මරා දැමීම සහ විශේෂයෙන් අලින් වැනි සතුන් පිටරටට විකුණා දැමීම බවයි.
මේ කාරණා පිළිබඳව පරිසරවේදීන් දරන මතය කුමක් ද? අපි ඔවුන්ගෙන් විමසීමක් කළෙමු.

සත්තු මරන්ඩ කියන්නේ විෂය දන්නෙ නැති අය – පරිසරවේදී සජීව චාමිකර

මූලිකවම අපි බලන්ඩ ඕනෙ ඇයි මේ ප්‍රශ්නෙ ඇති වුණේ කියන එක. මේක මිනිස්සු විසින්ම හදාගත්ත ප්‍රශ්නයක්. කැළෑ එළිකරලා සත්තුන්ගෙ වාසස්ථානවලට මිනිස්සු ගිහිල්ලා සත්තු එක්ක ගැටුම් හදා ගත්තා. ප්‍රශ්නෙ දරුණුම තැනට ආවහම උත්තර හොයන එකයි දැන් කරන්නේ.
මේ ප්‍රශ්නෙදි ඉස්සෙල්ලම කරන්ඩ ඕනෙ වාණිජ වගාවන් සඳහා ඉඩම් ලබාදීම නතර කරන එක. මම මෙතනදි වාණිජ වගාවන් කියල අදහස් කරන්නේ, බඩ ඉරිඟු, උක්, ඩෝල් වගේ සමාගම්වලින් වගා කරන විවිධ කෙසෙල් ප්‍රභේද වගේ දේවල්. දැන් බඩ ඉරිඟු හදන ඉඩම්වල ඉස්සර කළේ හේන් කරන එක. එතකොට හේන කාලෙකට වගා කරලා ඉතුරු කාලේ සත්තුන්ට අතැරල දානවා. හැබැයි දැන් එහෙම නෑ, ඒ ඉඩම්වල වර්ෂය පුරාවටම වගා කරනවා. ඉතින් මේ හේතූන් නිසා සත්තු ගම්වදිනවා. නැත්තන් වගා භූමිවලට කඩා වදිනවා.
තව දෙයක් තමයි පරිසර පද්ධති ඒකාබද්ධ කරන වැඩපිළිවෙළකට යන එක. මොකද දැන් පරිසර පද්ධති වෙන් වෙන් වශයෙන් තියෙන්නේ. පරිසර පද්ධති තියන ප්‍රමාණයත් එක්ක ගත්තහම මේ විදිහට වෙන් වෙන් වශයෙන් පරිසර පද්ධතීන් පිහිටල තියන එකම එක අතකින් මිනිස්-සත්ව ගැටුමට හේතුවක් වෙනවා. ඒ වගේම දැව කර්මාන්තය සඳහා භාවිත කරන ඉඩම් වනාන්තර සඳහා නැවත ලබාගැනීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි. තේක්ක, පයිනස් වගේ වගාවන් සඳහා විශාල වශයෙන් වනාන්තර එළිකිරීම් සිද්ධ වෙනවා.
දැන් ඔය සත්තු මරන්ඩ කතා කරන කට්ටිය දන්නවද වනජීවී කළමනාකරණය කියන විෂය, පරිසර පද්ධති කළමනාකරණ විෂය. මොකවත් දන්නෙ නෑ. බොරුවට සත්තු මරන්ඩ ඕනෙ කියල කෑගහනවා. අනික් එක තමයි, සත්තු මැරුවට ප්‍රශ්නෙ විසඳෙනව නම් කමක් නෑ කියමුකෝ. ඒත් එහෙම වෙනවද? සත්තු මැරුණා කියල ජල ප්‍රශ්නෙට උත්තරේ හම්බවෙනවද? වකුගඩු රෝගයට පිළියම් ලැබෙනවද? මොකවත් නෑ. නිකම්ම සත්තු ටික නැතිවෙලා යන එක විතරයි වෙන්නේ.
මුලින්ම ප්‍රශ්නෙ ඇතිවෙන්ඩ හේතුවෙලා තියන සාධක හොයාගෙන ඒවට පිළියම් සපයන එකයි කරන්ඩ ඕනෙ. ඒ හරහා හඳුනාගන්නා දීර්ඝකාලීන විසඳුම් හරහා තමයි අපිට මේ ප්‍රශ්නෙට උත්තර හොයන්ඩ පුළුවන්. නොදන්න අය නොදන්න දේවල් කරන්ඩ යන එකයි මෙතන ප්‍රශ්නේ. සත්තු මරල එක රැයකින් මේවට උත්තර හොයන්ඩ බෑ. බුද්ධිමත් වගේම විද්‍යාත්මක ක්‍රමවේදයක් එක්ක මේවට විසඳුම් හොයන්ඩ ඕනෙ.

මිනිස්සු සහ පරිසරය ගැන ප්‍රායෝගික විසඳුමක් ඕනෑ – පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්

1882 දි 70% තිබ්බ ලංකාවේ වනාන්තර ප්‍රතිශතය දැන් වෙද්දි 15% වෙනකන් අඩුවෙලා තියනවා. එහෙම උනේ සත්තුන්ට ඉන්ඩ තිබ්බ කැළෑ වල මිනිස්සු පදිංචි උන නිසා. ඉතින් ඒ ඉඩම්වල තමයි, සත්ව – මිනිස් ගැටුම් ඇතිවෙමින් තියෙන්නේ. ඒක දැන් වෙලා ඉවරයි. දැන් ඒකට කරන්ඩ දෙයක් නෑ.
සත්ව – මිනිස් ගැටුමේ ප්‍රධානම දෙයක්නේ අලි මිනිස් ගැටුම. අපි මේ අලි මිනිස් ගැටුම පාලනය කරන්ඩ යෝජනා කරල තියනවා. කැළෑ අලිමංකඩවල් හරහා යා කරන වැඩපිළිවෙළක්. හේතුව තමා අලි සාමාන්‍යයෙන් කිලෝ මීටර 15ක් විතර දවසකට ඇවිදිනවා තමන්ගේ කෑම හොයා ගන්ඩ. ඒ අතරේ ගම්මාන තිබ්බොත් ඒ ගම්මානවලටත් ගොඩ වදිනවා.
විල්පත්තු ජාතික වනෝද්‍යානයයි අනුරාධපුරේ තියන අනිත් කැළෑයි කිලෝමීටරයක විතර පළල පටි කෑල්ලකින් යා කළොත් එහෙම මේගොල්ලන්ට ගැටලුවක් නැතුව කැළෑවකින් තවත් කැළෑවකට යන්ඩ පුළුවන්. හැබැයි දැන් කැළෑවක ඉඳලා තවත් කැළෑවකට යන්නේ ගම්මාන හරහා. එතකොට තමයි අලි මිනිස් ගැටුම ඇතිවෙන්නේ. අනිත් කාරණේ තමයි දැනට පාවිච්චි කරන විදුලි වැටවල් එච්චර සාර්ථක වැඩපිළිවෙළක් නෙවේ. ඒවා නඩත්තු කිරීම පහසු නෑ. ඒ හින්දා කෙන්යාව වගේ රටවල්වල පාවිච්චි කරනවා මී මැසි පාලනය. වනාන්තර මායිම්වල මීමැසි මැස්සො ඉද්දි අලි ඇතුළු වෙන්නේ නෑ. මොකද මී මැස්සන්ගෙන් නිකුත් වෙන ශුද්‍ර තරංගවලට අලි කැමති නෑ. ඒ වගේම මී මැසි කර්මාන්තය හොඳ ව්‍යාපාරික කටයුත්තක්. අපිට මී මැස්සෝ හදන්ඩ බැරිනම් පුළුවන්නෙ, ඒ ශුද්‍ර තරංග නිකුත් කරන මැෂින් හදන්ඩ.
අලි විකුණන එක නෙවේ සාර්ථක වැඬේ. මේ ගොල්ලන්ට අලි විකුණන ප්ලෑන් එකක් තිබ්බා. 2006 ජාතික අලෙවි කළමනාකරණ ප්‍රතිපත්තියක් හැදුවෙ ඒකට. ඒකෙ තියෙන්නේ අලි කිලෝමීටර පනහෙ පනහෙ කෑලි වලට කොටු කරල ඒවයින් පිටට පණින අලි ප්‍රචණ්ඩ අලි කියල කොටු කරල පෞද්ගලික අයිතියට පැවරීමක්. ඒ කියන්නේ අලි විකුණන අදහස අද ඊයෙ උඩින් පාත්වුණු එකක් නෙවෙයි. සැලසුමක් විදිහට දීගුකාලීනව ආපු එකක්.
රිලව් පයින එක අලුත් උවදුරක්. අපි ඒකට අලුත් ක්‍රමවේදයක් තාක්ෂණයත් එකතු කරගෙන උත්තර හොයන්ඩ ඕනෙ. මොකද මරල දානව කියන ඒක සාර්ථක විසඳුම නෙවෙයි. කෘෂිකර්ම අමාත්‍යාංශය තියෙන්නේ මේවට පරීක්ෂණ කරන්ඩ තමයි.
ලංකාවෙ විතරක් නෙවෙයි, ලෝකයේ අනිත් රටවලත් මේ සත්තුන්ගේ ප්‍රශ්නෙ තියෙනවා. උදාහරණයක් විදිහට යුරෝපයේ ගත්තොත් නරින්ගෙ සහ මිනිස්සුන්ගෙ ගැටුම්, කොංගො වගේ ගත්තොත් කිඹුල්ලුන්ගේ සහ මිනිස්සුන්ගේ ගැටුම්, ඉන්දියාව ගත්තොත් රිලා සහ මිනිස් ගැටුම් වගේ සත්ව ගැටුම් ලෝකය පුරාම තියනව. මොකද දිගින් දිගටම සත්තුන්ගේ භූමිය මිනිසුන් ආක්‍රමණය කිරීම නිසා.
දැන් අපිට කරන්ඩ තියන මූලිකම දේ තමයි කැළෑ ආරක්ෂා කරගන්න එක සහ Kandyan Forest Garden නමින් හඳුන්වන ක්‍රමයට අනුගත වෙන එක. Kandyan Forest Garden කියන්නේ කැළෑවයි පලතුරුයි එකට වවන එක. මේක ඉතා හොඳ විසඳුමක් විදිහට පෙන්නන්ඩ පුළුවන්. සත්තු ගොඩක් ගම් වදින්නේ කැළෑවල ආහාර නැතිකම නිසා. ඉතින් සත්තුන්ට කැළෑවලම ආහාර ලබාදීම සිදු කළොත් සත්තු ගම් වදින එක ගොඩක් අඩු කරගන්ඩ පුළුවන්. කෙනකුට කියන්ඩ පුළුවන් මේක අවුරුදු දහයක් දොළහක් යන වැඩක් කියලා, ඔව් මේකට අවුරුදු දහයක් දොළහක් යයි. ඒත් මේක සාර්ථක ප්‍රතිඵලදායී වැඩක්. මේ වැඬේ බලධාරීන්ට විතරක් නෙවෙයි මිනිස්සුන්ටත් කරන්ඩ පුළුවන් වැඩක්. මිනිස්සුත් මේ වෙනුවෙන් උවමනාවෙන් මැදිහත් වෙන්ඩ ඕනෙ. නැතුව මිනිස්සු කෑගගහ විතරක් හිටියට ප්‍රශ්න විසඳගන්ඩ බෑ. මිනිස්සු සත්තු ටික මරල දානව කියන විකල්පයෙන් එහා දෙයක් හිතන්නෙ නෑනේ. එහෙම නෙවේ වන සතුනුත් ආරක්ෂා වෙන මිනිස්සුත් ආරක්ෂා වෙන සාර්ථක වැඩ පිළිවෙළකට අපි යන්ඩ ඕනෙ.
ඒ වගේම තමයි ලංකාවෙ තියන කැළෑවලට සාපේක්ෂව සිටින සතුන් ප්‍රමාණය වැඩියි, ඉන්න සත්තු ප්‍රමාණය කැළෑවලට දරාගන්ඩ බෑ කියන (මතය මේ ආණ්ඩුව විසින් පතුරුවපු මතයක්. අලි විකුණන්ඩ ඕනෙ අයගේ අදහසක් තමයි මේක. අනිත් පැත්තෙන් බලපුවහම වනාන්තර ප්‍රමාණය අඩු වෙන්ඩත් හේතුව මිනිස්සුමනේ. හැබැයි වනාන්තර වලට සාපේක්ෂව සත්තු ප්‍රමාණය අඩුයි කියන එක ගත්තොත් ඒකෙ සත්‍යතාවක් නෑ. වනාන්තර වලට අවශ්‍ය සත්තු ප්‍රමාණය වනාන්තරවල ඉන්නවා. වැඩි අය ස්වභාවිකවම නැතිවෙලා යනවා. ඒක ජීව විද්‍යාත්මක කාරණාවක්. හැබැයි දැනට එහෙම ඉතුරු වෙලා ඉන්න සත්තු ටික ගත්තොත් ඒ සත්තු ටික ලෝකෙටම සුවිශේෂී වෙනවා. මේ සත්තු ටික රැකගන්ඩ නම් අපි කරන්ඩ ඕනෙ සත්තු ටික විකුණන එක හරි, මරන එක හරි, ඒකට තියරි හදන එක හරි නෙවේ. ඔවුන්ව ආරක්ෂා කරන්ඩ වැඩපිළිවෙළක් හදන එක. මේ කිසිම දේකට කවදාවත් නිසි ක්‍රමවේදයක් හැදුණෙ නෑ. හැබැයි සත්තු මරන්ඩ නිසි ක්‍රමවේද හැදෙමින් පවතිනවා.
අනිත් දේ තමයි මිනිස්සුන්ට පරිසරය ගැන ලොකු අවබෝධයක් නැති එක. වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නේ එදිනෙදා තමන්ගේ ගොවිතැන පවත්වාගෙන යන්ඩ, ගොවිතැන ආරක්ෂා කරගන්ඩ සත්තු ටික මරල හරි වැඬේ කරගන්ඩ ඕනෙ කියන එක. මේක විවිධ අය විවිධ විදිහට විග්‍රහ කරනවා. අර කියමනක් තියෙන්නේ “ප්‍රශ්නය තමන්ගෙ වෙනකන් පිළිතුර දාර්ශනිකයි.” කියලා. ඒක තමයි මෙතන වෙන්නේ. ඉතින් අපි කරන්ඩ ඕනෙ මිනිස්සු සහ පරිසරය අතර බැඳීමක් ඇති කරන එක. ඒකට පරිසර අමාත්‍යාංශය NGO එක්ක එකතු වෙලා බිම් මට්ටමේ වැඩවලට යොමු වෙන්ඩ ඕනෙ. අපි ප්‍රායෝගික තලයට එනකන් මේකට හරි විසඳුමක් හොයා ගන්න එක අමාරුයි.

අපි ඉන්නෙ මැද තැනක – පරිසරවේදී ආනන්ද සාගර හිමි.

සතුන් මරන මතයේ අපි නෑ. ඇත්තට මේ ප්‍රශ්න එකින් එක ගත්තහම මේ හැම එකකටම උත්තර තියනවා. අපි අලි ප්‍රශ්නෙ ගනිමු. එතනදි වගකිවයුත්තන් නිවැරදි තීරණ ගැනීමක් තියනවද කියන ප්‍රශ්නෙ එනවා. දැන් සිංහරාජෙ ඉන්න අලි දෙන්න හොරොව්පතානට ගිහිල්ල දාන්ඩ හදනවා. මේකට ඒ ප්‍රදේශවල ජනතාව පවා විරුද්ධයි. හැබැයි නොයෙක් ජාවාරම්කාරයො සහ සිංහරාජය එළිපෙහෙළි කරමින් දැවැන්ත විනාශයක් කරන මිනිස්සු ඒකට කැමැතියි.
ඒක එක ප්‍රශ්නයක්. දැන් වල් ඌරු ප්‍රශ්නෙ ගතහොත් අපේ ගම්වල ඉස්සර වල් ඌරු ප්‍රශ්නයක් තිබුණෙ නෑ. වල් ඌරා කියන සතා සාමාන්‍ය සමාජයේ දඩයම් කරගෙන ආහාරයට ගන්නවා. අපි දැකල තියෙන්නේ වල් ඌරගෙන් ඉතාමත්ම අඩු වශයෙන් තමයි වගාවලට හානි සිද්ධ වෙන්නේ ඊට අදාළව ගොඩාක් උපාය මාර්ග පැරණි ගොවියා පාවිච්චි කළා. ඒ සතාව මරන්ඩම ගියේ නෑ.
ඉන්දියාව රිලව් හින්දා ගොඩක් පීඩා විඳපු රටක්. ඉතින් ඉන්දියාව ඒකට රාජ්‍ය මට්ටමින් ක්‍රියාමාර්ග ගත්තා. රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන එකතු වෙලා ක්‍රමවත් වැඩපිළිවෙළකට ගියා. රිලවුන් නැවත ඇතිවීම පාලනය කළා. අද ලංකාවෙ සුනඛයන් වෙනුවෙන් මේ වඳ සැත්කම් කරගෙන යනවා. ඒ නිසා එවැනි ක්‍රමවේද සමාජ ක්‍රමය දියුණු වෙනකොට ගහකොළ කැපෙනකොට ඊට අදාළ උපාය උපක්‍රම දියුණු සමාජයක හැදෙනවා. ඒ හැදෙන සමාජ ක්‍රමයට අදාළ වන උපදේශන සේවා සහ ඊට අදාළ වන වැඩපිළිවෙළක් රාජ්‍ය මට්ටමින් නොමැතිකම තමා මේ ප්‍රශ්න මිනිස්සු අතරට ගිහිල්ලා උග්‍ර ප්‍රශ්න බවට පරිවර්තනය වෙන්ඩ හේතු වෙන්නේ. පාලකයො සහ නිලධාරීන් ඉතාම අකාර්යක්ෂමයි.
තමන්ගෙ වගාවට වඳුරො ඇවිල්ල හානි කරනවා කියල ගොවියො ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම්ට කීවහම ප්‍රාදේශීය ලේකම් එකේ අය මූණට මූණ බලා ගන්නවා මොකක්ද ගන්න පිළියම කියලා. ඒකට ප්‍රායෝගික මට්ටමේ වැඩ පිළිවෙළක් ඔවුන්ට පුරුදු පුහුණු කරලා නෑ. ඒ නිසා ඊට අදාළ වෙන රාජ්‍ය අංශය සවිමත්ව හුරු කරනව විනා, පරිසරයට බැණ බැණ සාප දිදී ඉන්න බෑ. පරිසරයෙන් විනිර්මුක්තව අපි ඉල්ලන දියුණුව දෙන්ඩ බෑ. පරිසරය ඊට එරෙහි වෙනවා. ඒ එරෙහි උන ඒවට තමයි දැන් උත්තර බඳින්ඩ වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට මහින්ද රාජපක්ෂ යුගයේ අපි කොච්චර කෑගැහුවත් හැදුවා හයිවේ එකක්, එයාල හිතුව මේක පෙන්නලා සුර ලෝකෙ යන්ඩ. හැබැයි අද මිනිස්සුන්ට අපායට යන්ඩ වෙලා තියනවා. අද මේ ආණ්ඩුව මධ්‍යම අධිවේගයෙන් කරන්නේ ඒක. එක එක්කෙනාගෙ සාක්කුවලට සල්ලි දාගන්ඩ උපාය උපක්‍රම පාවිච්චි කරලා පරිසර ක්‍රමවේද පැත්තකට දාල ගන්න ක්‍රමවේදවලින් වෙන්නේ මිනිස්සු කබලෙන් ළිපට වැටෙන එක.
වනාන්තර භූමි ආහාර අවශ්‍යතා සඳහා යොදා ගැනීමට යාම තුළ ම තියනව මේ අලි මිනිස් ගැටුම කියන එක. ඒකම තමයි රිලව් ගැටුම කියන්නේ. ඒ වන සත්තු මිනිස්සුත් එක්ක තමන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන් කරනවා. අපි අපේ ආහාර අවශ්‍යතාවන්ට සතුන්ගේ නිජභූමි පාවිච්චි කරනවා නම් ඒකට විධිමත් සැලසුම් හා ක්‍රමවේද අවශ්‍යයි. අපි දන්නවා මොහෙන්දජාරෝ හරප්පා සංස්කෘතීන් වලදී ඒකට ගැළපෙන සමාජීය ඇවතුම් පැවතුම් භාවිත කළා. අපි පෝට් සිටි එක හදනකොට අපේ ඔළුවට එන්ඩ ඕනෙ ඒකෙ මෙන්න මෙච්චර මිනිස්සු ගාණක් පදිංචි වෙනවා, මෙන්න මෙච්චර මළ අපද්‍රව්‍ය තියනවා, මෙන්න මෙච්චර කසළ ප්‍රමාණයක් තියනවා, මෙන්න මෙච්චර ආහාර අවශ්‍යතාවක් තියනවා කියන එක. ඒකට වැඩපිළිවෙළක් හැදෙන්ඩ ඕනෙ. අන්න ඒ වගේ ක්‍රමවත් වැඩපිළිවෙළක් නැති අවුල තමයි දැන් මේ බලපාල තියෙන්නේ. ඒක තමයි පරිසරවේදියෝ විදිහට අපි මැද තැනක ඉඳලා කතා කරන්නේ. ඒකට වැඩපිළිවෙළක් හදන්ඩ කියලා.
ඒ වගේම දැන් ඉන්න සතුන් ගාණත් එක්ක බලද්දි තියන වනාන්තර ප්‍රමාණය අඩුයි. ලංකාවෙ දැනට තියන වන වැස්ම වැඩි කරන්ඩ ඕනෙ. නැත්තම් ලංකාවෙ මිනිස්සුන්ට ජීවත් වීමේ පරිසර පද්ධතියක් නැතිවෙනවා. අද මහනුවර ජීවත් වෙන්ඩ බැරිතරමට වායු දූෂණය සිද්ධ වෙලා තියනවා. ඒ වගේම මේ යන විදිහට යාපනේ තව අවුරුදු පනහකින් තනිකරම මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ බැරි ශුෂ්ක දේශගුණයක් ඇති වෙනවා. ඒ නිසා වහ වහා අණපනත් ගෙනල්ලා පරිසරය ආරක්ෂා කරගන්ඩ වැඩපිළිවෙළක් සකස් වෙන්ඩ ඕනෙ. ලෝකය අද වෙද්දි ඒ දේ කරනවා.