අධ්‍යාපනයේ බොල් වී වපුරන ජාතික අධ්‍යාපන ආයතනය

නිමල් අබේසිංහ

පාසල් විෂය නිර්දේශය සැකසීම සහ සංශෝධනය පැවරෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනයටයි.ඉහළම ශාස්ත්‍රීය ප්‍රමිතියකින් යුතුවත් පාසල් පද්ධතියට උචිත ආකාරයෙනුත් එය සැකසීම ආයතනය සතු වගකීම වේ. එබැවින් ජාතික අධ්‍යාපන ආයතනයේ විෂය මාලා සම්පාදකයකු සතුව සිය විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සේම විෂයමාලා සංවර්ධනයෙහිද පරිචයක් අත්‍යවශ්‍යයෙන් තිබිය යුතුවේ. එයට අමතරව ගුරු භූමිකාවේ යෙදෙමින් ළත් පරිපූර්ණ අත්දැකීම් සමුදායක් ද අවශයම වේ. ඒ ගුරුවරුන් පුහුණු කිරීම, ගුරු උපදේශකයින් පුහුණු කිරිම සඳහා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ගැන ප්‍රායෝගික අත්දැකීම් ඔහු සතුව තිබිය යුතු නිසාවෙනි.

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂය නිර්දේශය

එසේ නොවූ විට සම්පාදනය වන විෂයමාලා හෝ සංශෝධනය වන විෂයමාලා ප්‍රතිඵලදායක ඒවා වන්නේ නැත.මේ සඳහා හොඳම උදාහරණය වන්නේ උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයයි. 2008 වසරේදී පාසල් විෂයමාලාවට අභිනවයෙන් හඳුන්වා දුන් මෙම විෂය නිර්දේශය පාසල් සිසු සිසුවියන් අතර වේගයෙන් ජනප්‍රිය වූවකි. ඒනිසා මේ ඇසුරින් ටියුෂන් කඩද පොත් ලියන්නෝද බුරුතු පිටින් බිහි වූහ.
අතිශය ජනප්‍රිය වූ මේ විෂය නිර්දේශයට කණ කොකා හඩන්නේ ජාතික අධ්‍යපන ආයතනයේ පාලකයින්ගේ අමනෝඥ ක්‍රියාකලාපයන් හේතුවෙනි. විෂය නිර්දේශයන් වසර කිහිපයකින් පසුව සංශෝධනය කිරීම අධ්‍යාපන ප්‍රතිපත්තියක් බැවින් 2016 වසර සඳහා විෂය නිර්දේශය සංශෝධනය පවරනු ලබන්නේ රුවනි ගුණසේකර නමැති නිලධාරිණියකටය. ඒ එවකට සිටි අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අබේරත්න බණ්ඩාරගේ පාලන සමයේදීය. පාසල් අධ්‍යාපනයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා රුවනි ගුණවර්ධන ජාතික අධ්‍යාපන ආයතනයට බඳවාගෙන ඇත්තේද සාවi ආකාරයෙනි. ඇය විෂය නිර්දේශය සංශෝධනය සඳහා සහභාගීකරවාගෙන ඇත්තේ මහාචාර්ය ආරියරත්න ඇතුගල, මහාචාර්ය සමන්ත හේරත් හා ආචාර්ය එඞ්වින් ආරියදාස ය.මේ පිරිස විසින් ගුරුවරුන් කිහිපදෙනකු ද සහභාගී කරගෙන සකස් කළ විෂය නිර්දේශය අච්චාරුවක් වූ අතර එය ගුරුභවතුන්ගේ සේම මාධ්‍යයේද දැඩි විරෝධතා නිසා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අත්හිටුවනු ලැබීය.
දැන් 2018 වර්ෂයේදී ද විෂය නිර්දේශයක් සකස්කර තිබේ. ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජනය වී ඇත්තේ එම්.ආර්. ඩබ්ලිව් මද්දුම, පී.ටී.එම්. රත්නායක සහ ආචාර්ය වාවින්නේ පඤ්ඤානන්ද හිමියන්ය. මේ පිරිසට සන්නිවේදන විෂය ක්ෂේත්‍රය පිළිබඳ කොපමණ ප්‍රාමාණික දැනුමක් තිබේද? යන්න සොයා බැලිය යුතුය. ඒ ගැන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සොයා බැලුවේද යන්නත් සෙවිය යුතුය.ඒ සඳහා පහත කරුණු සැලකිල්ලට ගත යුතු වේ.

ටාබාටයිලර් ආකෘතිය

විෂය නිර්දේශ සම්පාදනයේදී ලොව ජනප්‍රියම ආකෘතිය වන්නේ ටාබාටයිලර් ආකෘතියය. ටාබාටයිලර් ආකෘතියේ පියවරයන් අටකි.
1. විෂය නිර්දේශයේ ඉලක්ක සැකසීම.
2. විෂය නිර්දේශයේ අවශ්‍යතාව පැහැදිලි කර ගැනීම.
3. විෂය නිර්දේශයේ අරමුණු ගොඩනැංවීම.
4. අන්තර්ගතය තෝරා ගැනීම.
5. අන්තර්ගතය සංවිධානය කිරීම.
6. ඉගෙනුම් අත්දැකීම් තේරීම.
7. ඉගෙනුම් අත්දැකීම් සංවිධානය කිරීම.
8. ඇගයුම
මෙහිදී ඇගයුම අසාර්ථක නම් නැවත විෂය නිර්දේශයේ අරමුණු වෙත ගොස් ඒවා විමර්ශනය කරමින් නැවත මුල සිට ක්‍රියාපිළිවෙත ආරම්භ කළ යුතු වේ. ටාබාටයිලර් ආකෘතිය තුළ තිබෙන්නේ විෂය නිර්දේශයක් ශාස්ත්‍රීය වශයෙන් අවංකවත් සැඟවුණු පෞද්ගලික අරමුණු ඉටුකර නොගැනීමේ අපේක්ෂාවත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කළ යුතුය යන ගුණාංගයන්ය. එනිසා විෂය දැනුම පිළිබඳව ප්‍රාමාණික විශ්වවිiාල ආචාර්ය, මහාචාර්යවරුන් සිටියත්, පාසල් අධ්‍යාපනයේ අරමුණු හා ඉලක්ක පිළිබඳ දැනුමින් යුතු නිලධාරීන් ජාතික අධ්‍යාපන ආයතනය තුළ සිටිය යුත්තේ ද ඔවුන් මේ විෂය නිර්දේශ සම්පාදනයේදි මැදිහත් විය යුත්තේ ද එහෙයිනි. වත්මන් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාට අවශ්‍ය වන්නේ සාර්ථක කළමනාකරුවකු වීමට බව ඔහුම කියයි. එවැන්නෙක් විෂය පිළිබඳ ප්‍රාමාණිකයින් සේම පාසල් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයන් පිළිබඳ මනා පරිචයක් ඇත්තා වූද අධ්‍යාපනඥයින්ගේ අදහස් වලටද කන්දිය යුතුය. එහෙත් ජාතික අධ්‍යාපන ආතනයේ අධ්‍යාපනඥයින්ට පාසල් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයන් ගැන පරිචයක් තිබිය යුතුය යන්න ඇමතිවරයාට වැදගත් නැත. එනිසා මේ විෂය නිර්දේශය පිළිබඳ ප්‍රතිපාර්ශ්වයන් ඉදිරිපත් කරන ප්‍රතිතර්ක ප්‍රතික්ෂේප කරන ආස්ථානයක ඇමතිවරයා සිටී.

අපයෝජකයින්

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය හා සන්නිවේදනය විෂය නිර්දේශය (2018) සම්පාදක මණ්ඩලය දෙස බැලුවහොත් එහි අනිවාර්යයෙන්ම නොසිටිය යුතු පුද්ගලයින් දෙදෙනක් සිටිති. ඒ කථිකාචාර්ය සේනානි හරිස්චන්ද්‍ර සහ මහාචාර්ය ආරියරත්න ඇතුගලය. මින් කථිකාචාර්ය සේනානි හරිස්චන්ද්‍ර සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය අ.පො.ස (සා.පෙ) ප්‍රශ්නපත්‍ර සම්පාදක මණ්ඩලය නියෝජනය කර ඉන් ඉවත් කළ පුද්ගලයෙකි. කිසියම් අයකු එවැනි තනතුරකින් විභාග කොමසාරිස්වරයා විසින් ඉවත් කරනුයේද ඔහු විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමට නුසුදුස්සකු වන බැවිනි. එවන් අයෙකු නැවත එම විෂයෙම උසස් පෙළ විෂය නිර්දේශය සම්පාදනයට සහභාගී කරවා ගැනීමම අචාරධර්මවලට පටහැනිය. මහාචාර්ය ආරියරත්න ඇතුගල මෙහිලා නුසුදුස්සෙකු වනුයේ 2017 දී ප්‍රතික්ෂේප කළ විෂය නිර්දේශයේ සම්පාදක මණ්ඩලයේ සිටි අයකු නිසාය. විශාල ප්‍රයත්නයක් දරා එම විෂය නිර්දේශය අවලංගු කර ගැනීමට ගුරුභවතුන් අරගලයක නියැලෙද්දීත් මහාචාර්ය ආරියරත්න ඇතුගල ඇතුළු පිරිස ජනාධිපතිවරයාට පවා ලිපි යවමින් උත්සාහ කළේ එම අංගවිකල විෂය නිර්දේශය අනුමත කරවා ගන්නටය.
මෙයට අමතරව මහාචාර්ය අතුගල එම අවලංගු කළ විෂය නිර්දේශය සකසමින් සිටි අවධියේදී විෂය නිර්දේශය ආවරණය වන පරිදි පොත් තුනක් ප්‍රකාශයට පත්කර තිබේ. එය විශ්වවිiාල මහාචාර්යවරයකුට කිසිසේත් ගැලපෙන්නක් නොවේ. එම ග්‍රන්ථ වනුයේ සන්නිවේදන සංකල්ප හා මාධ්‍ය සාක්ෂරතාව, මහජන මතය හා මාධ්‍ය සංස්කෘතිය, සන්නිවේදන න්‍යාය හා ආකෘති යන ග්‍රන්ථ ත්‍රිත්වයය. මින් තෙවන ග්‍රන්ථය නැවත මුද්‍රණයකි. ඔහු 2016 වසරේදීම මෙම ග්‍රන්ථ ප්‍රකාශයට පත් කර ඇත්තේ කිසියම් යටි අදහසක් ඇතිව බව පෙනෙයි. එමෙන්ම විෂය නිර්දේශයේ ඇති මාතෘකාම පොත්වල මාතෘකාවලට යොදාගෙන තිබීමෙන්ම එය කුමක් දැයි සිතාගත හැකිය.
මහාචාර්ය ආරියරත්න ඇතුගල නව විෂය නිර්දේශ සම්පාදක මණ්ඩලයට ඇතුළත් කර ගැනීමම සදාචාර විරෝධීය. ඔවුන් විසින් කලින් සම්පාදනය කළ විෂය නිර්දේශය අවලංගු කර තිබීයදීත් නැවතත් ඔහු ජාතික අධ්‍යාපන ආයතනය විසින් කැඳවා ගන්නේ ඇයිද යන්න ගැටලුවකි. එය ආචාරධාර්මිකවද වරදකි. අනෙක් අතින් එවැන්නක් සිදුව තිබියදීත් මහාචාර්ය ඇතුගල එයට සහභාගී වීම තුළින් පවා පෙනෙන්නේ ඔහුට විලිසංගයක් නැතිබව නොවේද? අනෙක් අතින් ඔහු විෂය නිර්දේශ සැකසුම් මණ්ඩලයට රිංගා ඇත්තේ මේ පොත් අලෙවි කරගැනීමට රුකුලක් පාදාගනු පිණිස විය යුතුය. නොඑසේ නම් ඔහු කළ යුතුව තිබුණේ තමන්ට ලැබුණු ආරාධනය ප්‍රතික්ෂේප කිරීමය.

නව විෂය නිර්දේශයේ දෝෂ

මාධ්‍ය අධ්‍යයනයේ ඉතිහාසය හා විකාශනය උසස් පෙළ පන්තියේදි ඉගන ගත යුතු යැයි සිතන නව විෂය නිර්දේශ සම්පාදකයෝ සන්නිවේදන කුසලතා නිපුණතා සහ සහජීවනය සඳහා සන්නිවේදනය යන පාඩම් අත්හැර දමති. මේ විෂයයික කරුණු ප්‍රායෝගික ඒවාය. එමෙන්ම වත්මන් සමාජයට ප්‍රවේශවන පුරවැසියන් ලෙස දරුවන් මේවා ගැන දැනගෙන සිටිය යුතුය. එහෙත් මේ පාඩම් ඉවත් කිරීම තුළින් පෙනෙන්නේ ඒවා නූතන ලොවට අවශ්‍ය නොවන බවය. අත්‍යයවශ්‍ය වන්නේ ඉතිහාසයත් විකාශනයත් ඉගෙන ගැනීමය. ඊළඟ වැදගත් පාඩමක් වන්නේ සංවර්ධන සන්නිවේදනයය. නව නිර්දේශය තුළ එය ඉවත් කර ඒ වෙනුවට සන්නිවේදන සමීක්ෂණ නම් පාඩමකට එය ලඝු කර ඇත. සන්නිවේදන අධ්‍යයනයේදී යුනෙස්කෝ නිර්ණායකයන් කිසිසේත් නොසලකා හැරිය නොහේ. සන්නිවේදන අධ්‍යයනයේදී මාධ්‍ය සාක්ෂරතාව යුනෙස්කෝව දැඩිව අවධාරණය කරන්නකි. මේ විෂය සම්පාදකයෝ කලින් තිබූ ඒ පාඩම වෙනුවට මාධ්‍ය සාක්ෂරතාව හා මාධ්‍ය විචාරය යනුවෙන් එක් පාඩමකට පමණක් ලඝු කර තිබේ. 2008 විෂය නිර්දේශයේ උක්ත පාඩම් දෙක සඳහා කාලච්ඡේද 90 ක් තිබී ඇති අතර දැන් එය කාලච්ඡේද 76 දක්වා අඩු කර තිබේ.
සාමාන්‍යයෙන් පොදු ශාස්ත්‍රීය ප්‍රමීතීන් අනුව 12 ශ්‍රේණිය හා 13 ශ්‍රේණිය සඳහා සමාන කාලච්ඡේද බෙදීම සම්ප්‍රදායයි. ඒ අනුව 12 ශ්‍රේණියේදී කාලච්ඡේද 300ක් හා 13 ට 300ක් ලෙස කාලච්ඡේද බෙදේ. නව සම්පාදක මණ්ඩලය එය 12 සඳහා 330ක් ද 13 සඳහා 270ක් ද වශයෙන් විකෘති කර තිබේ. මෙයින් පෙනෙන්නේ විශේෂයෙන්ම ජාතික අධ්‍යාපන ආයතන නියෝජනය කළ පිරිසට එවැනි ප්‍රමිතීන් ගැන ඇති අනවබෝධයය. 2008 විෂය නිර්දේශය හා 2018 අවලංගු කළ විෂය නිර්දේශයත් 2018 නව විෂය නිර්දේශයත් සමඟ සසඳත් දී පෙනෙන්නේ නව විෂය නිර්දේශයන් නව ලොවට ඔබින අයුරින් වෙනස් වී නොමැති බවය. එමෙන්ම එම විෂය උසස් පෙළ මට්ටම අභිබවා ගොස් විශ්වවිiාල මට්ටමේ විෂය නිර්දේශයකට සමාන වන බවයි. එලෙසම එයට ගාම්භීර භාවයක් ආරෝපනය කර ඇති බවක් ද ප්‍රදර්ශනය වේ.

දක්ෂ අධ්‍යාපනඥයින් සිටි අවධියක්

ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භයේදී සුවිශේෂ ගති ලක්ෂණ ප්‍රදර්ශනය කරන්නට සමත් වූ ආයතනයක් බව අවිවාදිතය. එයට හේතුව වූයේ ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවන විට ඊට කලින් තිබූ විෂයමාලා මධ්‍යස්ථානයේ අධ්‍යාපනඥයින් ජාතික අධ්‍යාපන ආයතනයට සම්බන්ධ කරගැනීම නිසාය. එකල පැවති විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානයට (1968 දී) පැමිණි බි්‍රතාන්‍ය ජාතික මාහාචාර්යවරයකු වන ජේ.ඇස්.කාර් (J.S.KARR) එම ආයතනය ගැන පවසා ඇති දෙයකින් එය කොතරම් විශිෂ්ට ආයතනයක් ද යන්න පැහැදිලි කරගත හැකිය.
“විෂයමාලා සංවර්ධනයේ දී සෑම පාර්ශ්වයකම අන්තර් ක්‍රියාකාරීත්වය හා ඒවා සැලකිල්ලට ගැනීම හඳුනා ගැනීම සම්බන්ධයෙන් උත්සාහයන් ගන්නා ලොව වෙනත් රටක් ගැන මම නොදනිමි.” මේ ඔහු විසින් කර ඇති ප්‍රකාශයේ සංක්ෂිප්ත සිංහල අරුතය.
චූදිතයින් යවන සංචිතය
අදවන විට ජාතික අධ්‍යාපන ආයතනය දේශපාලන හිතවතුන්ට රැකියා ලබා දෙන ස්ථානයක් බවටත් අධ්‍යාපන අමාත්‍යංශයේ චෝදනා ලබන නිලධාරීන් මාරුකර යවන සංචිතයක් බවටත් පත් වී හමාරය. මේ හේතු නිසාම වර්තමානය වන විට ජාතික අධ්‍යාපන ආයතනය තුළ සිටින අධ්‍යාපනඥයින් සෑහෙන පිරිසක් ඊට නුසුදුස්සන්ය. මේ බව ලියුම්කරු මෙන්ම වත්මන් අධ්‍යාපන ඇමතිවරයා විසින් පත්කළ මහාචාර්ය එපිටවත්තගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවද පෙන්වා දී තිබුණත් වත්මන් පාලනාධිකාරිය ඒ වෙනුවෙන් ගත් පියවරක් නැත. මේ හේතුව නිසා අධ්‍යාපනයේ සරු බිජුවට වැපිරිය යුතු ආයතනයක් වන ජාතික අධ්‍යාපන ආයතනයෙන් වැපිරෙන්නේ බොල් වී බිජුවටය. බාහිරින් පැමිණෙන ආචාර්ය මහාචාර්යවරුන් මෙහෙයවා ගන්නට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනඥයින් අසමත් වීම එයට හේතුවය. මෙය අධ්‍යාපන ඇමතිවරයාට වටහාගත නොහැකි වීම තවත් අභාග්‍යයකි.

ආචාර ධර්ම උල්ලංඝණයන්

පිරිපුන් විෂය නිර්දේශ ගුරු අත්පොත් සම්පාදනය නොවුණත් ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරුන්ගේ සමහරෙක් පොත් ප්‍රකාශයට පත් කරමින් සිය වෙළෙඳ අරමුණු සාක්ෂාත් කරගනිති.ඒ සඳහා ආසන්නම උදාහරණය ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය ආනන්ද මද්දුමගේ විසින් ප්‍රකාශයට පත් කර ඇති උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය විෂය ග්‍රන්ථයයි. එහි පසුවදන ලියා ඇත්තේ තත් විෂයේ උසස් පෙළ විභාග ප්‍රශ්න සම්පාදක මණ්ඩලයේ ප්‍රධානි මහාචාර්ය ගාමිනි අල්විස්ය. ඒ ගැන ලියුම්කරු අධ්‍යාපන ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළ බැවින් මේ වන විට පරීක්ෂණයක් පැවැත්වේ.එසේ තිබියදීත් ආනන්ද මද්දුමගේ තමන් කළ අපයෝජන සාධාරණීකරණය කර ගැනීමේ උත්සාහයක යෙදේ. ඊට උදාහරණ සපයන්නේ සිළුමිණ පුවත්පතේ පළවූ ලිපියකි. ජුනි 17 දින පළවූ එම ලිපිය ලියා ඇත්තේ සුභාෂිණි ජයරත්න නම් මාධ්‍යවේදිනියකි.මෙහිදි මාධ්‍යවේදිනියට ආනන්ද මද්දුමගේ ලබා දී ඇති පිළිතුරු වලින්ම ඔහුගේ නිරුවත හෙළිවේ.
“උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය ප්‍රශ්න පත්‍ර හදන්නේ මේ මහාචාර්යවරයා කියා ඔය කියනතුරු මා දැන සිටියේ නෑ. ඒත් අපි නොදන්නා රහසිගත දේවල් සමාජය දන්නවා එහෙම වෙන්නේ කොහොමද?”
එසේ පවසන ආනන්ද මද්දුමගේ එම ලිපියේම මෙසේ ද කියයි.
“ විභාග දෙපාර්තමේන්තුව මේ මහාචාර්යවරයා ව්‍යාපාර අධ්‍යයනය විෂයට පත් කළේ හදිසියේ. එතුමාට සූදානම් වෙන්න කාලයක් පවා තිබුණේ නැහැ.”
ආනන්ද මද්දුමගේ තමන් කළ ශාස්ත්‍රීය අපයෝජනයෙන් කොතරම් ගැලවෙන්නට උත්සාහ කළද ඔහුගේ මුව ඊට ඉඩ නොදෙන බව මෙයින් හොඳින්ම පැහැදිලිය. උක්ත ලිපියේ ලියුම් කාරිණිය ආනන්ද මද්දුමගේ ප්‍රවීණ ආචාර්යවරයකු බව සඳහන් කර තිබුණද අප දන්නා ආනන්ද මද්දුමගේ පාසලක ගුරුවරයකු වශයෙන් නම් කටයුතු කර නැත. සාත්තු නායකයා නිසි පරිදි තම ගැල් පෙළ මෙහෙයවන්නේ නැතිනම් අනෙක් ගැල් අයාලේ යෑම වලකාගත නොහේ. ජාතික අධ්‍යාපන ආයතනය තුළ සිදුවෙමින් පවතින්නේද එයමය. එනම් අධ්‍යක්ෂ ජනරාල්වරියගේ අකර්යක්ෂමතාව ඊට හොඳම උදාහරණයක් වන්නේ බටහිර සංගීත විෂය සඳහා කථිකාචාර්යවරයකු බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට එම විෂය පිළිබඳ ප්‍රාමාණිකයකු පත් නොකර භික්ෂුවක ඇතුළු වෙනත් විෂය අධ්‍යක්ෂකවරුන් පත්කර තිබීමය. මෙයම අධ්‍යක්ෂ ජනරාල්වරියගේ හැඳිමිටේ නුවණ මැනීමට ප්‍රමාණවත්ය.