පරිපාලන සේවයේ නිලධාරීහු ඇමතිවරු ගොනාට අන්දති

ටිරන් කුමාර බංගගමආරච්චි

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා ශ්‍රේණි අනුව විශේෂ දීමනාවක් ලබාදීම සඳහා ගෙනා කැබිනට් පත්‍රිකාව මේ වනවිට යට ගොස් ඇතත්, ඉවත් කර ගෙන නැති බව සිහි තබාගත යුතුය. මේ කූට ලියවිල්ල කෙසේ හෝ අනුමත කරගැනීමට මේ කාබාසිනි නිලධාරි පිරිස කෙසේ හෝ උත්සාහ කරනවා නියතය. එයට අනුමැතිය දෙනවාද යන්න ජනතා ඡන්දයෙන් ආ දේශපාලකයන් තදට සිතිය යුතුව ඇත. මේ සැම සුපිරි වරප්‍රසාද සියල්ල භුක්ති විඳිමින් තව තවත් දීමනා ලබා ගන්නටවත් සැරසෙනුයේ රටේ සුබ සිද්ධිය සඳහාද? මේ ආකාරයෙන් අතළොස්සක් මහජන මුදල් කොල්ලෑම අනුමත කළ යුතුද? හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විහාර භූමියක සිට කියනුයේ මේ පරිපාලන සේවයේ දීමනාව රජය වහාම ලබාදිය යුතු බවය. රාජපක්ෂ මහතා පරිපාලන සේවයට බෙහෙවින් ආදරය කරන බව ඔහුගේ පාලන කාලයෙන් මනාව පැහැදිලිය. අදටත් පරිපාලන නිලධාරීන් සේවය කරනුයේ ඔහුටමය. මේ ආණ්ඩුව පෙරළා රාජපක්ෂලා ගෙන ඒමට යටි කූට්ටු වැඩ සියල්ල කරනුයේ මේ පරිපාලන සේවයේ බොහෝ අයය. ඒ ඔවුන් වඩා ස්වයංපෝෂිත වූ යුගය නම් රාජපක්ෂ යුගය වන බැවිනි. කෙසේ වෙතත් මෙම කැබිනට් පත්‍රිකාව විසිකොට දැමිය යුතුය. නැතහොත් එය රටේ ලොකු ආරාවුලක් දක්වා තල්ලු වනවා නියතය. මොවුන් මේ යටි කූට්ටු ක්‍රියාමාර්ග මීට පෙරද ගෙන තම මඩිය තර කර ගෙන ඇත. මේ කරනුයේ ඒ සිහිකැඳවීමය. එය සිහිකරනුයේ මෙවර ඔවුන්ගේ ගුණ්ඩුවට හසුනොවන්නටය. වංචනික ගෙවීම
මෙම ක්‍රියාව මොවුන් සිදුකරගෙන ඇත්තේද කැබිනට් මණ්ඩලය නොමග යවමිනි. ඒ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට උසස්වීම් පෙරදාතම් කොට වැටුප් සහ විශ්‍රාම වැටුප් වංචනික ලෙස ලබාගැනීමය. ඒ සඳහා ඔවුන් භාවිත කරන උප්පරවැට්ටිය නම් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ෂ පන්තියට උසස්වීමේදී සිදුවී ඇති විසමතාව නිවැරදි කිරීම යන මාතෘකාව යටතේය. මේ උගුලට එදා රාජ්‍ය පරිපාලන, පළාත් පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරියද හසුවී ඇත. ඔහු 2015-06-10 දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරනුයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට 1980 සිට 1992 දක්වා බඳවා ගත් නිලධාරීන් සම්බන්ධව සිදුවී ඇතැයි කියන විසමතාවක් නිවැරදි කිරීම සඳහා යනුවෙනි. එනයින් බලන කල විසමතාව ඇති කිරීමට වත්මන් කතානායකද හවුල් වී ඇත. මෙහිදී අප
කිවයුත්තේ මේ අමාත්‍ය මණ්ඩල සංදේශවලට අත්සන් කරනු ලබන්නේ අදාළ අමාත්‍යවරයා වුවත් එය පිළියෙළ කොට ඉදිරිපත් කරනු ලබන්නේ අමාත්‍යාංශ ලේකම්වරයා බවය. මේ පරිපාලන සේවයේ නඩයමය. එබැවින් ඔවුන් හැමවිට ක්‍රියාකරනුයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට පමණක් වාසිවන විදිහටමය. කොටින්ම ඔවුන්ගේ මඩිය තරකර ගන්නටය.

සංදේශයට හේතු

1992 ජනවාරි 29 වැනි දින රාජ්‍ය පරිපාලන, පළාත් සභා, ස්වදේශ කටයුතු අමාත්‍ය පෙස්ටස් පෙරේරා විසින් ඉදිරිපත් කරනු ලැබූ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ සඳහා අදාළ කරගෙන ඇත. මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් ඒ වනවිට පළාත් පාලන සේවය ලෙස
හඳුන්වනු ලැබූ සේවය අහෝසි කොට එම සේවයට අයත් පළාත් පාලන වෛද්‍ය සේවය යන සේවාවන්වලට අයත් නිලධාරීන් ඒ වනවිට ක්‍රියාත්මකව පැවති දීප ව්‍යාප්ත සේවාවන්වලට අන්තර්ග්‍රහණය කරනු ලැබීය. මේ සඳහා 1992 මාර්තු මස 04 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණි. මෙම අන්තර්ග්‍රහණය සිදු කරන අවස්ථාව වනවිට, වසර 11ක සේවා කාලයක් සම්පූර්ණ කළ පළාත් පාලන සේවයේ නිලධාරීන් දීප ව්‍යාප්ත සේවාවන්වල පළමු පන්තියට අන්තර්ග්‍රහණය කරන ලද අතර මේ හේතුව මත ඒ වනවිට දීප ව්‍යාප්තව අදාළ නිලධාරීන් පළමු පන්තියට උසස් කර තිබුණේ සේවා කාලය වසර 11 ඉක්මවූ අවස්ථාවලදී බැවින්, එම අන්තර්ග්‍රහණයේදී දීප ව්‍යාප්ත සේවාවන්වල නිලධාරීන්ට අසාධාරණයක් සිදුවිය. ශ්‍රී ලංකා පරිපාලන සේවයට සහ ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයට මෙලෙස අන්තර්ග්‍රහණය කළ නිලධාරීන් හේතු කොටගෙන ඇතිවූ විෂමතාව නිවැරදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය එම නිලධාරීන්ගේ උසස්වීම් වසර 11 සිට ලැබූ සේ පෙරදාතම් කරන ලද අතර, එම විෂමතාව ඉන්පසු අවසන් විය. ඒ අනුව 1979 දක්වා බඳවා ගත් නිලධාරීන්ට එම ගැළපීම සිදුකර තිබුණි.

අමාත්‍යවරයා ඇන්දීම

2015දී සිදුවන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන් සිය විෂය භාර අමාත්‍යවරයාව නොමග යවා අප මුලින් කතා කළ අමාත්‍ය මණ්ඩල සංදේශය නිකුත්
කිරීමය. පළාත් පාලන සේවයේ නිලධාරීන් අන්තර්ග්‍රහණය කිරීම නිසා සිදුවූ විෂමතාව අවසන් වී තිබුණද එය 1980 සිට 1992 දක්වා බඳවා ගත් නිලධාරීන්ටද බලපාන බව සඳහන් කොට, එම නිලධාරීන්ගේ පළමු පන්තියට උසස්වීම් දිනය වසර 11ක් වන සේ පෙරදාතම් කොට එය සේවයේ යෙදී සිටින අයවලුන්ට පමණක් නොව විශ්‍රාම ගිය අයටද බලපැවැත්වෙන ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ඇමතිවරයා මගින් සංදේශය ඉදිරිපත් කිරීමය. මේ අනුව 1980-1992 දක්වා බඳවා ගත් සියලු නිලධාරීන්ට බලපාන ලෙස මෙම උසස්වීම් ක්‍රමය සඳහා අනුමැතිය ඉල්ලා ඇත. පළාත් පාලන සේවා අන්තර්ග්‍රහණයේදී, සේවාවන් හතරක් ඊට අදාළ වී තිබුණද, ශ්‍රී ලංකා පරිපාලන සේවය පමණක් ඉලක්ක කොට ඉදිරිපත් කළ මෙම අමාත්‍ය මණ්ඩල සංදේශයට 2015 අගෝස්තු 05 දින අනුමැතිය හිමිවන අතර, එහි විධි විධාන ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් 2015-08-15 දිනැති අංක 75රැ10රැ CAB1/COM (තාව)III දරන ලිපිය නිකුත් කෙරේ. එම චක්‍රලේඛය අනුව 2015-08-05 දින සිට අදාළ නිලධාරීන්ට වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම් සිදු කෙරේ. මේ සමග සෙසු සේවා කැළඹීමට ලක්විය. පරිපාලන සේවය පමණක් විශේෂිත වීම එයට හේතුවිය. ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමයද ඒ ගැන විමර්ශනයක් මතු කළේය. ඒ පිළිබඳව 2017-01-31 දින වර්තමාන රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයටත් ඉදිරිපත් කරන ලදි. ඒ පිළිබඳ නිරීක්ෂණ ලබාගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගෙ න් සමන්විත කමිටුවකට යොමු කර තිබූ අතර එම කමිටුවෙන් 2016-06-18 දින අංක PMO/01/AIS යටතේ වාර්තාව නිකුත් කරන ලදි. එම වාර්තාවේ සඳහන් කරුණු අනුව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට වසර 11කින් පළමු පන්තියට උසස්වීම් පෙරදාතම් කොට වැටුප් සහ දීමනා ගෙවීම නීති විරෝධී ගෙවීමක් බව සනාථ කර ඇත.

කමිටු නිරීක්ෂණ

මෙහිදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා මනාව ක්‍රියාකර ඇති බව ඇගැයිය යුතුය. පරිපාලන සේවයේ අය ඔහු නයාට අඳු ගාණට ඇද වැටී ඇත. ඒ මේ මගඩිය හසුකර ගැනීම නිසාය. අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ වාර්තාවේ නිරීක්ෂණවල ඉතා පැහැදිලිවම 1980-1995 කාලය තුළ එකී සේවාවන්ට බැඳුණු නිලධාරීන්ට බලපෑමක් නොමැති බව සඳහන්ය. ඊට අමතරව එම නිරීක්ෂණ මගින් පෙන්වා දෙනුයේ පළාත් පාලන සේවයේ නිලධාරීන් අන්තර්ග්‍රහණය කිරීමේදී ඇතිවූ විෂමතාවක් ඉවත් කිරීමක් නොවන අතර 1980-1992 දක්වා කාලය තුළ බඳවා ගත් නිලධාරීන්ට එවකට පැවති ශ්‍රීලපසේ ව්‍යවස්ථාව අනුව ෂ වන පන්තියට ලබාදී තිබූ උසස්වීම් වෙනුවට වසර 11ක් සම්පූර්ණ වන දින සිට ක්‍රියාත්මක වන පරිදි උසස්වීම් පෙරදාතම් කිරීම වේ. ලෙස සඳහන්ය. එම වාර්තාවේ දීර්ඝ විස්තරයක් සඳහන් අතර එහි ඉතා පැහැදිලිව මෙසේ සඳහන් වේ. එනම් එකම කාරණය සම්බන්ධයෙන් වූ අමාත්‍ය මණ්ඩල සංදේශ දෙකක් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ස්ථාවරය එක සමාන නොවන බව පෙනී යයි. තවද ඇමුණුම – 7 වාර්තාව ඉදිරිපත් කරන අවස්ථාවේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව ශ්‍රී ලංකා පරිපාලන සේවයට සමාන්තර අනෙකුත් සේවාවන් පිළිබඳව සලකා බැලීමකින් තොරව නිරීක්ෂණ ඉදිරිපත් කර ඇති බවය.

හොර වැඬේ හොරටම

දැන් ප්‍රශ්නය වන්නේ මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යොමු කළ වාර්තාව 2016-0608 දින සිට ලබාදී ඇතත් ඉන් දෙවසරක් ගතවී ඇතත්, තවමත් ඉහත ගෙවීම් ඒ ආකාරයටම නීති විරෝධී ලෙස ගෙවමින් පැවතීමය. මෙය නීති විරෝධී බව පෙන්වා දී තිබියදීත්, මුදල් ගෙවනුයේ ඇයි? මේ ගැන ගැටලු පැන නැගි අවස්ථාවේ අග්‍රාමාත්‍ය ලේකම්වරයාගෙ න් සමන්විත කමිටුවක් යොමු කළේ කුමටද? එම කමිටු වාර්තාව ඉවත් කොට වරදම දිගටම සිදුකර ගෙන යෑමට අනුබල දෙන්නේ කවුද? මේ තත්ත්වය වෙනස් කළ යුතු නැද්ද? නව කැබිනට් පත්‍රිකාවද මෙවැනිම වංචනික එකකි. රටේ සංවර්ධනයට කෙසේ වෙතත් පරිපාලන සේවයේ සුළු පිරිස එවැනි වංචනික වැඩවලට නම් රුසියන් බව පැහැදිලිය. මේ තත්ත්වයන් දිගින් දිගටම පවත්වාගෙන යාමෙන් පරිපාලන සේවයේ සුළුතරය තරවනමුත් සමස්ත ජනතාවටම හෙනහුරා පාත්වන බව කිව යුතුය. අවසානයේ නැවත සිහිකරනුයේ මේ මගඩි චක්‍රලේඛ සදන්නේද මේ නිලධාරීන්ම වන බවය. මුකුත් නොදන්නා ඇමතිවරු ඒවාට අත්සන් තබති. අලුතින් දීමට යන දීමනා සේ ම මේ ගෙවන ගෙවීම්ද නතර කළ යුතුය. ඒ සියල්ල නීති විරෝධීය. රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිවරයා දංගෙඩියට හිස තබනවාද නැද්ද යන්න ඉදිරියේදී පෙනෙනු ඇත.