රාවය

මම පිස්සෙක් වගේ පොත් කියවපු මේමන්වරයෙක් – ප්‍රවීණ කිවියර මේමන් කවී.

මම පිස්සෙක් වගේ පොත් කියවපු මේමන්වරයෙක් – ප්‍රවීණ කිවියර මේමන් කවී.

සංවාදය -ප්‍රියන්ත ලියනගේ / ඡායා – රවීන්ද්‍ර පුෂ්පකුමාර

ඔහු කවියෙක්, විචාරකයෙක් සහ සිංහල, දෙමළ වාර්ගික සුහදත්වයට සාහිත්‍යයෙන් කිසියම් මෙහෙයක් ඉටු කළ හැකි යැයි සිතන මානව හිතවාදියෙකි. දෙමළ භාෂාවෙන් ලේඛනයේ නියළෙන ඔහු මේමන්වරයෙකි. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තය පරපුරේ නිජබිම වුව ද අද වෙද්දී ඔවුන් ලොව පුරා පැතිරී සිටින බව මේමන් පවසයි. මේමන්වරු ව්‍යාපාරික ප්‍රජාවකි. මේ වෙද්දී ලොව පුරා මේමන්වරු ලක්ෂ දහයක් පමණ විසිරී සිටින බව මේමන් කවි පවසයි. ලංකාවේද මේමන්වරු දසදහසක් පමණ සිටින බව ඔහුගේ අදහසයි. මේමන් කවි ඉපදී ඇත්තේ ලංකාවේය. ඔහුගේ පියා රෙදිපිළි කර්මාන්තයත් සමඟ මෙරටට පැමිණ ඇත්තේ 1947 වසරේය. සිංහල සමාජයේ බහුතරයක් නොදන්නා මෙම මේමන්වරයා රාවය පාඨකයන් වෙනුවෙන් පසුගිය දිනෙක අපි මුණ ගැසුණෙමු. මේ එම කතා බහේ සංක්ෂිප්තයයි.

ඔබ දෙමළ භාෂාවෙන් ලියන කවියෙක්. ඒත් සිංහල සමාජයේ බොහෝ දෙනෙකුට ඔබ සහ මේ නම ටිකක් අමුතුයි. ආගන්තුකයි. ඒ නිසා අපි ඉතිහාසයෙන්ම පටන් ගනිමුද?

අපේ මුල් තියෙන්නෙ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ. මම ඉපදුනේ මට්ටක්කුලියේ වුණත් මගේ අම්මයි තාත්තයි මෙහාට ආවේ ගුජරාට්වල ඉඳන්. අපේ භාෂාව තමයි මේමන් භාෂාව කියන්නෙ. ඒක හරියට හින්දි භාෂාව වගේ. ඒත් මේමන් භාෂාවට තමන්ගේම කියල ලිඛිත හෝඩියක් නෑ. ඒත් ලංකාවෙදි හරි ලෝකෙ වෙන කොයි රටකදි හරි අපේ කට්ටියව අපි හඳුන්වා ගන්නේ මේමන්වරුන් සහ මේමන් සමාජය කියලයි. මේමන් කවි කියන්නෙ මගේ ඇත්තම නම නෙමෙයි. ඒක මං ලියද්දි පාවිච්චි කරන මගේ පෙට් නේම් එක. මගේ ඇත්ත නම අබ්දුල් රසාක්. අපි මෙහෙ එනකොට මේ අවට වැඩිපුර හිටියෙ දෙමළ භාෂාව කතා කරන අය. ඉතින් අපේ තාත්තත් මාව දැම්මෙ දෙමළ ඉස්කෝලෙකට. දැන් මගේ භාෂාව ආගම ඉස්ලාම්, භාෂාව දෙමළ. ඒ නිසා මම ලියන්නෙත් දෙමළ භාෂාවෙන්. ඒවට මම අබ්දුල් කියන මගේ නම දැම්මොත් දෙමළ භාෂාවෙන් ලියන මුස්ලිම් අයත් ඉන්න නිසා මට ඕන වුණා මං දෙමළ භාෂාවෙන් ලියන මේමන්වරයෙක් කියන එක සමාජයට දෙන්න. ඒකයි මං ලියද්දි මේ නම පාවිච්චි කරන්නෙ. අබ්දුල් රසාක් මේමන් කවි වෙන්නෙ එහෙමයි.

ඔබ කිව්වනෙ 1947 දි ලංකාවට නිදහස ලැබෙන්නත් කලින් තමයි ඔබේ අම්මයි තාත්තයි ලංකාවට ඇවිල්ල තියෙන්නෙ කියලා. ඒ අය මොනව කරන්නද මෙහෙ ඇවිල්ල තියෙන්නෙ?

අපේ මිනිස්සු ප්‍රධාන වශයෙන්ම කළේ ව්‍යාපාර. ප්‍රධාන වශයෙන් කළේ රෙදි බිස්නස්. ඒගොල්ලො තමන්ගෙ ව්‍යාපාරත් එක්ක ලෝකෙ පුරාම තැනින් තැනට ගියා. අප්‍රිකාවේ, ආසියාවේ, ඇමරිකාවේ මේ වගේ ලෝකෙ පුරාම පැතිරිලා ගිහින් තිබුණා. අපේ තාත්තලත් රෙදි ව්‍යාපාරෙත් එක්ක තමයි මෙහාට ඇවිත් තිබුණෙ. ඒ 1947 වුණාට අපේ තාත්තලගෙ මුතුන්මිත්තො මෙහාට ඇවිල්ල දැනට අවුරුදු සීයකටත් වැඩියිලු. ඒ අයගේ සම්බන්ධය පිට තමයි අපේ තාත්තලත් මෙහාට ඇවිල්ල තියෙන්නෙ. මේ ආකාරයට වෙළෙඳ ප්‍රජාවක් විදියට තමයි අපේ අය ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙලා තියෙන්නෙ. ලංකාවට ආපු අපේ කට්ටිය ඉස්සර හම්බන්තොට, කරුණෑගල, ගාල්ල වගේ පළාත්වලත් ව්‍යාප්ත වෙලා හිටියත් දැන් හැමෝම වගේ කොළඹට කේන්ද්‍රගත වෙලයි ඉන්නේ.

දැන් ඔබ ලියන්නෙ දෙමළ භාෂාවෙන්. ඔබ කිව්ව ඔබේ භාෂාවට හෝඩියක් නෑ කියල. එතකොට ලෝකෙ පුරා පැතිරුණු අනෙක් අය ගනුදෙනු කරන්නෙ කොහොමද?

මෙහෙ ඉපදුණු මාව මෙහෙ මං ඉන්න පරිසරයේ බහුතර ප්‍රජාව වුණු දෙමළ, මුස්ලිම් ප්‍රජාව ඉගෙන ගන්න දෙමළ මාධ්‍ය ඉස්කෝලෙකට මගෙ තාත්ත දැම්ම. සමහරවිට අපේ ආගම ඉස්ලාම් වුණු එකත් බහුතර ඉස්ලාම් ප්‍රජාව ලංකාවෙදි භාවිතා කරන්නෙ දෙමළ භාෂාව වීමත් ඇතැම්විට ඒකට එක හේතුවක් වෙන්න ඇති. මං මැදපෙරදිග හිටියනම් මුස්ලිම්වරුන්ගෙ භාෂාව වුණු ඇරබික්වලින් මං කතා කරයි. සමහරවිට අපි සිංහල බහුතරයක් වෙසෙන පළාතක හිටියනම් මම සිංහල කතා කරන මේමන්වරයෙක් වේවි. අනෙක් රටවල ජීවත් වෙන අපේ ජනතාවත් ඒ රටවල්වල ඒ ඒ ප්‍රදේශවල බහුතර ජනතාවගේ භාෂාව භාවිතා කරනවා ඇති. අපිට ලිඛිත හෝඩියක් නැති එක අපේ සන්නිවේදනයට බාධාවක් නෙමෙයි. මේමන්ල අපි එකතු වුණාම අපි කතා කරන්නෙ මේමන් භාෂාවෙන්. ලෝකෙත් එක්ක සම්මිශ්‍රණය වෙන්න අපිට භාෂාව කොහොමටවත් බාධාවක් නෙමෙයි.

ඔබේ පාසල් කාලේ ගැන මතක් කළොත්?

මෙහෙ වෙසෙන බහුතර ප්‍රජාව දෙමළ නිසා අපේ තාත්ත මාව මුලින් ම ඇතුළත් කළේ ආමර්වීදියේ ශාන්ත සෙබස්තියන් දෙමළ විද්‍යාලයට. ඒකෙ වසර කීපයක් ඉගෙන ගෙන ඒකෙන් අයින්වෙලා කොටහේනේ දෙමළ මැදිමහ විදුහලට යනවා. ඔය අතරෙදි අපේ තාත්තගෙ ව්‍යාපාරික කටයුතු අඩාල වෙනවා. ඒ හින්දා තාත්තා අපිවත් අරන් නුවර මහයියාවට යනවා. අපි අවුරුදු දෙකක් මහියියාවෙ ඉන්නවා. ඒ අවුරුදු දෙකේ මං ගියේ මහයියාවෙ බදූර්දීන් මුස්ලිම් විද්‍යාලයට. අවුරුදු දෙකකින් තාත්තට නුවර ජීවිතය එපා වෙනවා. ඒ නිසා අපි ආයෙත් කොළඹ එනවා. එතන ඉඳන් මං ආයෙත් මගෙ පරණ පාසල වෙච්චි කොටහේනේ දෙමළ මැදිමහ විදුහලේ. ඔය විදියටයි මගෙ පාසල් සමය ගෙවුණෙ. මේකත් කියන්න ඕනෙ මේමන්වරු වැඩිපුරම උනන්දුව දැක්කුවෙ ව්‍යාපාරවලට මිසක් අධ්‍යාපනයට නෙමෙයි. ඒගොල්ලො අධ්‍යාපනය සැලකුවේ ව්‍යාපාරික වැඩවලට ප්‍රමාණවත් තරමට ඉගෙන ගත්තහම ඇති වගේ අදහසකින්.

මෙවැනි ව්‍යාපාර පරිසරයක හැදුණු වඩුණු අබ්දුල් රසාක් කොහොමද මේමන් කවී කියන කවියා සහ විචාරකයා බවට පත් වෙන්නෙ?

ඉස්කෝලෙ ගිහින් අකුරු ලියන්න, කියවන්න ඉගෙන ගත්තට පස්සෙ මට කියවීමට ඇති වුණේ පුදුම ආශාවක්. ඒ කාලෙමයි මං හිතා ගත්තෙ මාත් කවදහරි දවසක ලේඛකයෙක් වෙවා කියලා. ඒ ආශාව නිසාම මං ඉගෙනගත්තු දෙමළ භාෂාවෙන් ලියවිලා තිබුණු පොත් පත්තර මං එක දිගට කියවන්න පුරුදු වුණා. මං කළේ ඉස්කෝලෙ වැඩ ඉක්මනින් කරල දාල පිස්සෙක් වගේ පොත් කියවපු එක. මේ කියවීමට තිබුණු ආශාව නිසාම ඒ කාලෙ මං මට්ටක්කුලියෙ තිබුණු පුස්තකාලයටත් බැඳිලයි හිටියෙ. මේක දැක්කම අපේ තාත්ත බය වුණා කොල්ල කියවල නරක් වෙයි කියලා. එයාට ඕනෙ වුණේ මාව පූර්ණකාලීන ව්‍යාපාරිකයෙක් කරන්න. ඒත් මං ඒකට කැමති වෙන්නෙ නෑ. ඒ කාලෙ මං වැඩිපුරම කියවන්න ඇබ්බැහි වෙලා හිටියෙ රහස් පරීක්ෂක කතා. මේක දැකපු අපේ රෙදි කර්මාන්තශාලාවෙ හිටපු සිත්තරා තමයි මාව ජීවිතය ගැන ගැඹුරින් විවරණය කරල තිබුණු කෙටිකතා, නවකතා කියවන පැත්තට යොමු කරන්නෙ. ඔහු ඉන්දියාවෙන් අපේ කර්මාන්තශාලාවෙ වැඩට ඇවිත් හිටිය එස්.ජී. සේකර් කියල කෙනෙක්. පස්සෙ එයා ඉන්දියාවට ගියා. දැන් එයා ජීවතුන් අතර නෑ. එයා පස්සෙ ඉන්දියාවෙදි මියයනවා. මට බලපාපු අනෙක් ප්‍රධානම කෙනා තමයි මට දෙමළ භාෂාව උගන්වපු අෂ්රොෆ් ගුරුතුමා. ඔහු නාට්‍යකරුවෙක්. මගෙ සාහිත්‍ය කලා රුචිය දියුණු කර ගැනීමට ඔවුන්ගෙ ආභාසය හා ඇසුර තමයි මට බලපෑවේ. ප්‍රධාන වශයෙන්ම මේ කියවීමේ හුරුව තමයි මාව ලේඛකයෙක් කළේ. මේමන්වරු ව්‍යාපාරිකයො මිසක් කලාකාරයො හරි සාහිත්‍යකාරයො හරි වෙලා තිබුණෙ නෑ. ඒ හින්ද මං කල්පනා කරනව මේමන්වරු කියල ජාතියක් ලෝකෙ ඉන්නව කියල කියන්න මේමන් කවි කියන නම උපයෝගී කරගෙන ලේඛනයේ යෙදෙන්න. ඒත් එක්කම මේකත් කිව්වොත් හොඳයි කියල මට හිතෙනව. මගේ කුසලතාවට මගේ අධ්‍යාපනයෙන් කිසිම තල්ලුවක් ලැබුණෙ නෑ. ඒ හින්ද සාහිත්‍ය කලාවෙ දිගටම නිරත වුණත් මම අධ්‍යාපනයෙන් මඟදි නතර වෙනවා.

අපි මේමන් කවී ගැන කවියෙක් විදිහට අහල තිබුණත් තවමත් අපේ රටේ බහුතරයක් සිංහල කවියොවත් ඔබගෙ කවි කියවල නෑ. ඒකට ප්‍රධානම හේතුව මං හිතන විදිහට මේ භාෂා ප්‍රශ්නය. ඔබ කවි ලියන්න පටන් ගන්නෙ කොයි කාලෙද, ප්‍රකාශන හැටියට ඔබගෙ කෘති මුද්‍රණය වෙලා එහෙම තියෙනවද?

මගේ මතකෙ හැටියට මගේ කවියක් පත්තරේක පළවෙන්නෙ 1974දි. ඒකෙ මාතෘකාව ‘මගේ හුස්ම පොද දෙමළ බසයි’. මේ කවිය පත්තරේ පළවුණාට පස්සෙ මේක දැකපු දෙමළ සමාජයේ ජනප්‍රිය සාහිත්‍ය සඟරාවක් වුණු ‘මල්ලිකෛ’ සගරාවෙ සංස්කාරක ඩොමිනික් ජීවා මහත්තය ඒක අගයල ලිපියක් ලියල තිබුණා. ඩොමිනික් ජීව කියන්නෙ දෙමළ සාහිත්‍ය ලෝකෙ ඉන්න ජනප්‍රිය චරිතයක්. ඒ නිසා ඔහුගෙ ඒ ඇගයීම මාව ගොඩාක් දිරිමත් කළා.
අනිත් කාරණේ ඔබ ඇහුවනේ මං කවිපොත් පළකරල තියෙනවද කියලා. ඔව්. මං මේ වෙද්දි කවි පොත් හයක් පළ කරල තියෙනවා.

ඔබේ කවි ගැන උනන්දුවක් දක්වන අයට ඒව නම් වශයෙන් කිව්වොත් හොඳයි කියල මට හිතෙනවා. ඒ හින්ද මතකනම් ඒවා නම් වශයෙන් කියමුද?

1976 පළවෙන මගේ මුල්ම කවි පොතේ නම ‘යුගයේ සංගීතය’ ඊට පස්සේ මං කරන කවි පොතේ නම ‘හිරෝෂීමා වීරයෝ’ ඒක මං පළ කරන්නෙ 1982දි. ආයෙත් 1984 මං ‘යාන්ත්‍රික සූර්යයා’ කියල කවි පොතක් පළ කරනවා. මගේ ‘අදින් හෙටට’ කවි පොත පළවෙන්නෙ 1990දි. ඒ අවුරුද්දේ හොඳම දෙමළ කවි පොත විදිහට රාජ්‍ය සම්මානෙ හම්බවෙන්නෙත් ඒ පොතට. ආයිත් මම 1999දි ‘නැවත ජීවත් වීම පිණිස’ කියලා තව කවි පොතක් කරනවා. මගේ අන්තිම කවි පොත ‘නුඹට එරෙහි භීෂණ’ පළවෙන්නෙ 2002දි. ඔය විදියට මම දැනට කවි පොත් හයක් කරල තියෙනවා.ඊට අමතරව ‘පාඨකයෙකුගේ සටහන්’ සහ ‘භාෂා මායිමෙන් ඔබ්බට කියලා’ තව විචාර ග්‍රන්ථ දෙකකුත් පළ කරලා තියෙනවා. මං දන්න තරමින් ‘භාෂා මායිමෙන් ඔබ්බට’ තමයි සිංහල කෙටි කතා හා නවකතා ගැන දෙමළ ලේඛකයෙක් අතින් විචාරයට ලක්වෙලා තියෙන එකම අවස්ථාව මේක.

අපි දන්නා ඩොමිනික් ජීවා දෙමළ සමාජයේ සිටින වාමාංශිකයෙක්. මේ වාමාංශික ඇසුර ඔබේ ජීවිතයට කොහොමද බලපෑවෙ?

ඉතාම ප්‍රගතිශීලී විදිහට. ඒ කාලෙ ඔහු වාමවාදී දෙමළ ලේඛකයන් එකතු කරගෙන ප්‍රගතිශීලී ලේඛක සංගමය කියල එකක් පිහිටුවාගෙන තිබුණා. ඔහුගේ ආරාධනයෙන් මමත් එහි සාමාජිකයෙක් වෙනවා. වාමාංශිකයො තුළ තමයි සමානාත්මතාව තියෙන්නෙ. සමාජ සාධාරණත්වය වෙනුවෙන් වෙහෙසෙන්නෙ ඔවුන්. පටු ජාතිවාදයට විරුද්ධව පුළුල් මිනිසත්කම පිළිබඳ දැක්මක් තියෙන්නෙ ඔවුන් ළඟ. මං වාමවාදී ලේඛකයෙක් වෙන්න මට හුඟාක් බලපෑවෙ ඩොමිනික්ගෙ ඇසුර. ඔහුගෙ ආරාධනයෙන් ප්‍රගතිශීලී ලේඛක සංගමයට බැඳුණා. මම පසුකාලීනව ඒකෙ කොළඹ සංගමයේ ලේකම් බවටත් පත් වෙනවා.

දෙමළ භාෂාවෙන් ලේඛනයේ යෙදෙන යෙදෙන ඔබේ කෘති වෙනත් භාෂාවන්ගෙනුත් පළ වී තිබෙනවාද?

සිංහල භාෂාවට අමතරව ඉංග්‍රීසි සහ රුසියන් භාෂාවලට පරිවර්තනය වූ මගෙ අතැම් නිර්මාණ තියෙනවා.

ලේඛකයෙක් විතරක් නෙවෙයි තවත් සමාජ සංවිධාන රැසකට ඔබ සම්බන්ධයි නේද?

මම දැනට සිංහල දෙමළ ලේඛක එකමුතුවෙ සාමාජිකයෙක්. ඊට අමතරව ලංකා ලේඛක සංවිධානය, තුරාවයි විශ්වනාදන් සම්මාන ප්‍රදාන කමිටුව, ගොඩගේ සාහිත්‍ය කමිටුව, අල්හාජ් හෂීම් ඕමාර්ගේ ‘පුලවරර් පූනා’ සංවිධානය වගේ සංවිධානවලට සම්බන්ධව මම දැනට කටයුතු කරනව.

ඔබ විවාහකයෙක්. ඔබේ බිරිඳත් මේමන් ජාතික කාන්තාවක්ද?

නෑ. ඇය මුස්ලිම් ජාතික කාන්තාවක්. අපේ තාත්තල නම් ඒකට එතරම් කැමැති වුණේ නෑ. මොකද අපේ අය කැමැති අපි අපේ ජාතියේම කාන්තාවක් විවාහ කර ගන්නවාට. මං බැන්දේ 1976දී. කසාද බඳිනකොට මට අවුරුදු 19යි. ඇයට අවුරුදු 17යි. ඇය මට්ටක්කුලිය අපේ රෙදි කම්හල කිට්ටුව පදිංචි වෙලා හිටියෙ. අපි යාළුවෙලා තමයි බැන්දෙ. මගේ ගෙදරින් වගේම ඇගේ ගෙදර අයත් මේමන්වරයෙක් කසාඳ බඳිනවට කැමැති වුණේ නෑ. ඒත් අපි දෙන්න එක මතේකම හිටියා. ඉතින් අපි ජයගත්තා. ඇය ෆරීනා. අද මගේ බිරිඳ.

ජාතීන් අතර සංහිඳියාවක් ඇති කිරීමේ කාර්යයේදී සාහිත්‍යකරුවාගේ කාර්යභාර්ය ගැන මේමන් මහත්තයා දකින්නෙ කොහොමද?

මේ සඳහා සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම් හා ප්‍රශ්න හඳුනා ගන්නෙ නැතුව මිනිස්සු අතර සමගියක් හෝ සංහිඳියාවක් හදන්න බෑ. සාහිත්‍යකරුවන්ට තමයි ඒ කාර්යය ඉතාම හොඳින් කරන්න පුළුවන්. මොකද සාහිත්‍ය නිර්මාණවලින් තමයි ජාතින්ගේ සංස්කෘතික අපේක්ෂාවන් හා චර්යා රටා වගේ දේවල් හොඳටම පිළිඹිබු කරන්න පුළුවන්. මේව පිළිබඳ ලියවුණු සාහිත්‍ය කෘති පරිවර්තනය කර සිංහල දෙමළ අය අතර ප්‍රචලිත කිරීමෙන් ඔවුන් අතර තියෙන වැරදි වැටහීම් අඩු කරන්න පුළුවන් වගේම ඔවුන් එකිනෙකා අතර අවබෝධය පුළුල් කරන්නත් පුළුවන්. ඒත් ඒකට රජය පැත්තෙන් උදව්වක් ලැබෙන්නෙම නැති තරම්. වාසුදේව නානායක්කාර මහත්තය ජාතික ඒකාබද්ධතා ඇමතිවරයා වෙලා ඉන්න කාලේ මේකට යම් උනන්දුවක් දැක්කුවත් ඒවා ප්‍රමාණවත් මදි. ඒ අය හැම තිස්සෙම හිතන්නෙ සාහිත්‍යයට කලාවට මොනවද කරන්න පුළුවන්. මේකට දේශපාලන විසඳුමක් තමයි අවශ්‍ය කිය කිය සාකච්ඡා තිය තිය ඉන්න එක. ඒත් කවුරුවත් ඒ සාකච්ඡාවලට එක මේසයකට එන්නේ නෑ. එක් අවස්ථාවක සාහිත්‍යකාරයො එකතු කරන්න කියලා ලියුම් එවල තිබුණා. ඒ එවද්දිත් දෙමළ රයිටර් කෙනෙකුට ලියුම එවල තිබුණෙ සිංහලෙන්. ඒ වෙලාවෙ මං ගිහින් කිව්වා මහත්තයො මේක එවල තියෙන්නේ සිංහලෙන්නේ. ඒ මනුස්සයා මේක කියව ගන්නේ කොහොමද මේක දෙමළ භාෂාවෙන් එවන්න කියලා. ඒ වෙලාවෙ ඔහු කිව්වෙ අපිට පරිවර්තකයො නෑ කියලා. මං ඒ පාර කිව්වා මං ගාව සිංහල-ටැමිල් දෙමළ-ටැමිල්, ඉංග්‍රීසි-ටැමිල්, මේ ඕන එකක් හොඳට කරන්න පුළුවන් පරිවර්තකයො හතළිහක් ඉන්නවා. ඒ අය ගන්න. ස්ථීරව නැත්නම් තාවකාලිකව හරි බඳව ගන්න කියලා. නමුත් වැඩක් වුණේ නෑ. අධිකාරීන්ට මේ ගැන ඕනෑ කමක් නෑ. ඒ අය දේශපාලන කතා සාප්පු දදා කල් මරමින් ඉන්න එකයි කරන්නේ.

ජාතීන්ගේ අන්‍යොන්‍ය සහජීවනයට සාහිත්‍යය ප්‍රබල පිටුබලයක් කියල හිතන ඔබ ඇතුළු පිරිස මේ වෙනුවෙන් වුණු මැදිහත්වීම කවරාකාරද?

ශ්‍රී ලංකා ප්‍රගතිශීලී ලේඛක සංගමය ජාතීන් අතර සමගිය හා සංහිඳියාව ඇති කිරීමට සාහිත්‍යය යොදාගත හැකියි යන අදහසේ මුල ඉඳලම හිටියා. එ අනුව කරුණු 10ක් ඇතුළත් ජාතික සැලැස්මක් රජයට ඉදිරිපත් කළා. භාෂා දෙකෙන්නම සාහිත්‍ය කෘති පරිවර්තනය කළ යුතුයි යන කරුණද මේ සැලැස්මට ඇතුළත් වුණා. අපේ සංගමය රජයට ඉදිරිපත් කරපු යෝජනාවලියේ ඇතැම් කරුණු රජයේ දේශපාලන යෝජනාවලියටද ඇතුළත් වී තිබුණා. 1979දි අපේ සංගමය සිංහල හ දෙමළ ලේඛකයින්ගේ සමුළුවක් පැවත්වූවා. අපේ සංගමයේ සමාජිකයෙක් වුණු ඩොමිනික් ජීවා ඔහුගෙ සංස්කාරකත්වයෙන් පැවැති මල්ලිකෛ සගරාවේ සිංහල ලේඛකයන්ගේ කෙටිකතා පරිවර්තනය කරලා වරින් වර ඒ සඟරාවේ පළ කෙරුවා. පස්සේ ඒවා එකතු කරලා සිංහල කෙටිකතා නමින් තමිල්නාඩුවේදී ග්‍රන්ථයක් ලෙස පළකෙරුවා. ඒක තමයි මෙතෙක් කාලෙකට සිංහල පොතක් තමිල්නාඩුවේ පලවෙච්ච එකම අවස්ථාව.
මීට අමතරව සිංහල පොත් ප්‍රකාශකයොත් දෙමළ ලේඛකයන්ගෙ පොත් ප්‍රකාශයට පත් කළා. ගොඩගේ සහ එම්.ඩී. ගුණසේන වගේ ආයතන මෙවැනි සත්කාරවල යෙදුනා. පරාක්‍රම කොඩිතුවක්කු එම්.එච්.එම්. සම්ස් දෙන්නා මේ කාර්යන්ට ගොඩාක් මැදිහත් වුණා. ගොඩගේ සමාගම මේ කාර්යයට අදත් පුළුල් දායකත්වයක් දෙනවා. එය අප ගත් ජයග්‍රහණයක්.
සිංහල – දෙමළ සාහිත්‍ය කෘති පරිවර්තනයට ශක්‍යතා දක්වන මේ වෙද්දි ඔබ හඳුනාගත් ලේඛකයො කවුද ඉන්නෙ.
සිංහල භාෂාවෙන් දෙමළ භාෂාවට පරිවර්තනය කරන භාෂා පරිවර්තකයො බොහෝ පිරිසක් අපි අතර ඉන්නවා. නමුත් දෙමළ භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට හැකියාව තිබෙන පරිවර්තකයන්ගේ අඩුවක් පහුගිය කාලයේ තිබුණා. එහෙත් මෑත කාලයේ ඒ අඩුව පිරවීමට සමත් සිංහල දෙමළ භාෂා දෙකෙන්ම කටයුතු කරන්න පරිවර්තන කාර්යයේ යෙදෙන්න පුළුවන් අය දැන් අප අතර ඉන්නවා. උපාලි ලීලාරත්න, මඩුලුගිරියේ විජේරත්න, හේමචන්ද්‍ර පතිරණ, සරත් ආනන්ද, ස්වාමිනාදන් විමල්, ඒ.සී.එම්. කරාමත්, මොහොම්මදු රසාක්, රවී රත්නවේල්, නූරල් අයින්, නජ්මුල් හුසෙයින්, දික්වැල්ලේ කමාල් වැනි අය අද අප අතර සිටිනවා.

බොහෝවිට අප දකින්නේ සිංහල ලේඛකයො වෙනමත් දෙමළ ලේඛකයො වෙනමත් සංවිධානය වීම් හා එක්රැස්වීම්. මේ තත්වය වෙනස් විය යුතුයි කියලා ඔබට හිතෙන්නෙ නැද්ද?

අනිවාර්යෙන්ම වෙනස් විය යුතුයි. ඒක මට හැමතිස්සෙම වගේ අවබෝධ වුණු දෙයක්. දෙමළ ලේඛකයෝ වැල්ලවත්තේ පොත් එළිදැක්වීම් කරනව. ඒවාට සිංහල ලේඛකයො එන්නෙ නෑ. සිංහල අය කොළඹ ජාතික පුස්තකාලෙ හරි මහවැලි කේන්ද්‍රයේ හරි පොත් එළිදැක්වීම් කෙරෙනවා. ඒවට දෙමළ ලේඛකයො එන්නෙ නෑ. මේ දෙගොල්ල එකට එකතු කරන්න වැඩ පිළිවෙළක් තියෙන්න ඕනෙ. එකපාරක් ලංකා පත්තරෙන් මේ සිංහල දෙමළ ද්වි මාධ්‍යයෙන්ම කලා උළෙලක් පැවැත්තුවා. අපි අදුරගන්නෙත් එහෙමනේ. ඒවා හරි වැදගත්. දැනට සිංහල හා දෙමළ ලේඛක සංවිධානය, ලංකා ලේඛකයන්ගේ ජාතික සංවිධානය වැනි සංවිධාන තියෙනවා. සිංහල දෙමළ ලේඛකයන් හඳුන්වා දීම, භාෂා දෙකෙන්ම සාහිත්‍ය කෘති පිළිබඳ අදහස් උදහස් හුවමාරු කරගැනීම ඒවායේදී යම් ප්‍රමාණයකට සිද්ධ වෙනවා. ගොඩගේ සමාගම සිංහල හා දෙමළ කෘති පරිවර්තනය කර මුද්‍රණය කිරීමේ ක්‍රියාවලියක නිරත වෙනවා. ඉන් නොනැවතී ඔවුන් මෙතෙක් සිංහල ලේඛකයන්ට විතරක් දෙමින් හිටිය ගොඩගේ සාහිත්‍ය සම්මානය දැන් දෙමළ ලේඛකයන්ටත් දෙනවා එය අතිශයින් අගේ කළ යුත්තක්.

ඔබ වාර්ගික සුහදත්වය වෙනුවෙන් සාහිත්‍යය යොදාගත යුතු යැයි කියන මතේ තදින් සිටින්නෙක්. මේ වෙනුවෙන් මොකක්ද කළ යුත්තේ.

දේශපාලකයන්ට තියෙන්නෙ බල උවමනාවන් මිසක් ප්‍රශ්නය විසඳීමේ අවංක වුවමනාවක් ඔවුන්ට නෑ. ඔවුන් දේශපාලන විසඳුම් දේශපාලන විසඳුම් කියල කිව්වට අඩුම තරමින් ප්‍රශ්නය විසඳන්න තියා කතා කරන්නවත් එක මේසෙකට ගෙන්න ගන්න අමාරුයි. ඒත් සාහිත්‍යකරුවන් ඊට වඩා මේ ප්‍රශ්නය ගැන සංවේදියි. ඔවුන්ට පුළුවන් මේ සංස්කෘතික ඈත් වීම් භාෂමය ඈත් වීම් සහ හුදෙකලා වීම් සාහිත්‍ය්‍ය උපයෝගී කරගෙන ළංකරන්න. ඒකට දෙමළ සාහිත්‍ය සිංහල මිනිස්සු අතරට අරන් යන්න ඕනෙ වගේ දෙමළ මිනිස්සු අතරට සිංහල සාහිත්‍යය අරන් යන්න කටයුතු කළ යුතුයි. ඒත් මේ පරිවර්තන කාර්යයට දේශපාලකයින්ගෙන් උදව්වක් නෑ. ඒක තමයි අපිට තියෙන ලොකුම විවේචනය සහ ලොකුම ප්‍රශ්නයත්. මොකද සාමාන්‍ය මිනිහගෙ ප්‍රශ්න ඔවුන්ගෙ හද ගැහෙනා රාවය හොඳින්ම දන්නෙ සාහිත්‍යකාරයො. දේශපාලකයො බලන්නෙ බලය ගැන. නමුත් සාහිත්‍යකාරයො බලන්නෙ ජනතාවගේ යහපත සහ ඔවුන්ගේ පැවැත්ම ගැන. විරසක වෙලා ඉන්න, ඈත්වෙලා ඉන්න ජනතාව ළං කරන්න වැඩි ශාක්‍යතාවක් දේශපාලකයන්ට වැඩිය සාහිත්‍යයට තියෙනවා. ප්‍රශ්නයේ දේශපාලන ගැටලුව විසඳන්න අවංකව උත්සාහ දරන දේශපාලකයන් ඉන්නවානම් ඔවුන්ටත් මේ ජාතීන්ගේ සාහිත්‍යයික ළං වීම හොඳ තල්ලුවක් වේවි. ඒත් ඔවුන් ඉන්නෙ සාහිත්‍යකාරයන්ට මොනවද කරන්න පුළුවන් කියන පටු තැනක.