රාවය

මගේ විසිල් එක මම ම ගහගන්න ඕනෙද? – උපුල් සේනාධිරිගේ

මගේ විසිල් එක මම ම ගහගන්න ඕනෙද? – උපුල් සේනාධිරිගේ

කවි බස
දිනී ජයසේකර

ඇරිස්ටෝටල්ගේ නිර්වචනයට අනුව “කිසියම් ප්‍රබල වින්දනයක් අන්තර්ගතවන හෝ සම්ප්‍රේෂණය කෙරෙන ගද්‍යයක් හෝ පද්‍යයක් වේවා එය කාව්‍යයකි.” මෙය ඔබේ අදහස අනුව සත්‍යයද?

ඇත්තටම මේ මනෝභාවයන් උපදින්නේ කෙනෙකුට තියෙන චක්‍රීය පරිසරයත් එක්ක.අපි හිතමු මම රැකියාවක් කරනව කියල. එතනදි අපි ගැටෙන සමාජ ස්ථරයන් දෙකක් තියෙනවානේ. එකක් පවුල තුල ගැටෙන ස්ථරයන්. දෙවෙනි එක මම සමාජයත් එක්ක ගැටෙන ස්ථරයන්. ඒ කියන්නේ වෘත්තයක පරිධිය සහ වෘත්තාකාර ස්වභාවය තුල ගැටෙන ආකාරය. එතකොට ඒ තුල උපදින දේවල් කිහිපයක් තියෙනවානේ. ඒ මනෝභාවයක් විටෙක අතිශය විරෝධාකල්පනික වෙන්න පුළුවන්. දෙවෙනි එක, තමා වටේම උපදින මනෝභාවයන් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට අපේ රටේ අපි කොච්චර මහන්සි උනත් ඒකෙන් යම් ප්‍රමාණයක බදු ගෙවන්න ඕනේ හම්බ කරන මුදල් වලින්. එතනදි මම කියන්න උත්සහ කරන්නේ මේ සමාජෙ තියෙන සියළුම චලනයන් තමන්ට බලපානවනේ. එකක් අභ්‍යන්තරික වශයෙන් ගෘහයක් තුල තමන්ට මුහුණ දීමට සිදු වන අත්දැකීම්. සහ දෙවෙනුව සමාජ ස්ථරයන් හා තිබෙන අවිශ්වාසනීයත්වය. සිවිල් නීතිය පිළිබදව විශ්වාසයක් නැති කම. ආගමික ආයතන පිළිබදව තිබෙන විශ්වාසය කඩාගෙන වැටීම. එහිදී මේ සියලුම දේවල් හේතුකොටගෙන ඇති වෙන මනෝභාවයන් හුදෙක් පුද්ගල භාවයන්ම නොවේ. මේ සමාජ ප්‍රක්ෂේපණයන් ඔස්සේ කෙනෙකුට ලැබෙන මනෝභාවයන්. මම හිතන්නේ ඇරිස්ටෝටල් මේ කතාව කියන්නෙ ක්‍රි.පූ. 500දි විතර. එතකොට ඒ වකවානුව වෙද්දි තිබුන රාජ්‍ය ආණ්ඩු වල ස්වභාවයයි අද මේ පවතින ක්‍රමයයි ගොඩක් වෙනස්. ඒ කාල සීමාවල රජු විසිනුයි රට පාලනය කරන්නේ. එතකොට අද වන විට ඊට හාත්පසින්ම වෙනස් සමාජ ක්‍රමයක්. එහිදී අද තත්වය ග්‍රහණය කරගන්නේ කෙසේද කියන එකයි අපි සොයා බැලිය යුත්තේ. එතකොට මම හිතනවා මේකෙ ටිකක් දාර්ශනික වගේම එක්තරා දේශපාලනික ස්වරූපයක් තියෙනවා කියලා.

කවියේ සාම්ප්‍රදායික භාෂාවට අනුව කවියාට අවශ්‍ය පරිදි භාෂාව හසුරවා ගැනීමේ නිදහස කවියාට ඇතැයි කියා ඔබ සිතනවාද?

පටන් ගැන්මේදී ඒ කියන්නේ සංස්කෘත කවීන්ගේ සිට කාලිදාස, භරතමුණි දක්වා ඉදිරියටම කවිය ගමන් කරනවානේ. එහිදී විවිධ විදියට කවිය එක එක තලයන් තුල ගැටි ගැටී ඉදිරියටම එනවා. එක කාලෙක තිබුණු කවිය අලංකාරය ගැන. අලංකාරිකයො කවිය පිළිබදව දක්වපු අදහස්. අද නූතනත්වයට එනකොට මේ අලංකාරික පිළිබද සමහර කවීන් ඒ සම්බන්ධව වැඩි විශ්වාසයක් නැහැ. එයාල වැඩි හරියක් රූපක සම්බන්ධවයි විශ්වාස කරන්නේ. ඒ සියල්ලමත් එක්ක කවිය ලොකු තලයක් තුල ගමන් කරද්දි අපේ භාෂාව පිළිබද විවිධ වූ අර්ථකථන ඉදිරිපත් කරනවා. මොකද භාෂාව කියන්නෙ එකම තැන පල් වෙන දෙයක් නෙවේ. හරිම ජංගමශීලීය. අද කවියො භාෂාව කවිය අනුයුක්තව උපයෝගී කරගන්නකොට කවියො තමන්ට ආවේනික වූ භාෂා ශෛලියක් පාවිච්චි කරනවා. ඉතිං අද ඇත්තටම කවියන්ට ලොකු නිදහසක් තියෙනවා මේ භාෂාව තුල කවිය නිර්මාණය කර ගැනීම සඳහා. භාෂාව පරිණාමය තුල නිර්මාණය වු වචන තමුන්ට රිසි පරිදි රූපක තුල පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. ඉතිං මම හිතනවා අර මුලික සිද්ධාන්ත වලට ගරු කරමින් කවියාට පුලුවන් කවිය රචනා කරන්න. ඒ නිදහස නැති වෙලා නැහැ.

සාර්ථක කවියෙක් විය හැක්කේ කුමනාකාරයටද?

අපි තවම සාර්ථකත්වයට ළඟාවෙලා නැහැ කියල මම හිතනවා. එක දෙයක් තමා ඇත්තටම මමත් විශ්වාස කරනවා කවිය තුල රූපක හරියාකාරව යොදා රචනය කළ යුතුයි කියලා. භාෂාව පිළිබද සම්පූර්ණයෙන් ඒ කියන්නෙ අලංකාරයේ ඉඳල නූතනයේ කවීන් කිහිපදෙනෙක් බටහිර කවිය කියන එක අපිට හඳුන්වා දීලා තියෙනවා. විශේෂයෙන්ම මෙහිදී මේ සියලුම කාව්‍ය අභ්‍යාස සියල්ලම මතු කර ගත යුතුයි කවියෙක් වුණහම. මොකද ඕනම දේකට අභ්‍යාසය කියන දේ වැදගත්. කවියටත් එහෙමයි. ගොඩක් නූතන කවීන් අභ්‍යාස නොකර කවි රචනයට පෙළඹෙනවා. කවිය කියන්නෙ අකුරු එක්ක ගලපපු වචන ගොඩක් නොවිය යුතුයි. අනෙක් කාරණාව කවිය තුල මෙතෙක් ගෙනා යම් යම් සම්ප්‍රදායන් තියෙනවානේ. අපි කියමු ජපන් කවිය කියලා. හයිකු වෙන්න පුළුවන් , චීන කවිය වෙන්න පුළුවන්, වකා වෙන්න පුළුවන් මේ හැම එකකම වින්‍යාසය කවියෙක් වුනාම හදාරන්න පුළුවන්නම් තමයි හොඳ. නැතිනම් එක පාරට අපි රැඩිකල් කවියෙක් විදියට ලියන්න ගියොත් අපි අමාරුවෙ වැටෙනවා. එතනදි නිකන් මගේ විසිල් එක මමම ගහ ගන්නව වගේ. අඩුම වශයෙන් කවි පොත් සියයක්වත් කියවිය යුතුයි. මොකද අපි මුලින් ලියන කවියයි තව අවුරුදු කිහිපයකින් ලියන කවියයි අතර ලොකු වෙනසක් තියෙනවා. එතනදි කවි අභ්‍යාස වෙලා තියෙන්නේ. සාර්ථක කවියකට අභ්‍යාස අවශ්‍යයි.

කවියෙක් විදියට ඔබගෙ එක අතකට රයිෆලයක් දෙනවා. අනෙක් අතට පෑනක් දෙනවා. ඊටපස්සෙ කියනවා ඔබ හිතෙන විදියට ඒක හසුරවන්න කියලා. ඔබ කොහොමද මෙය හසුරවන්නේ?

කවියො වුණහම කකා බිබී තැන් තැන් වලට ගාල් වෙවී සාන්දෘෂ්ඨික වාදියො වගේ පොරවල් වෙන්න යනවට වැඩිය කවියො කියන අය ශක්තිමත්ව සිටිය යුතුයි. අර්නස්ට් හෙමින්වේ වගේ කෙනෙක් ගත්තාම ඇත්තටම ඔහු තුවක්කුවක් පාවිච්චි කරපු දඩයම් කරන්න දන්න ගොංපොර වලට කැමති කෙනෙක්. නමුත් අපේ කවියෙක් ගත්තාම හරි අහිංසකයි. ඔහු හැම දෙයක්ම උපේක්ෂාවෙන් දරන් ඉන්නවා. ඔහු විරෝධාකල්පනික නැහැ. ඇත්තටම එතනදි කවියො ඕනවට වැඩිය භාවාතිශ තත්වයට ඇදගෙන යන්න හොද නැහැ. භාවාතිශ තත්වය තමයි අපිව හැම විටම රවට්ටන්නේ. ඒ වගේම කවියා කියන්නේ නිහඩ ආධ්‍යාත්මික වශයෙන් බොහොම තැන්පත් චරිතයක් වෙන්න වුවමනාවක් නැහැ ඇත්තටම. ඒ වගේම මම මෙතනදි රයිෆලය කියන එකෙන් අදහස් කරන්නේ මතවාදීවමය ශක්තිමත් විය යුතුයි කියන කාරණාව. නැතුව මේ අනිවාර්යෙන් කවියෙක් තුවක්කුවක් පාවිච්චි කළ යුතුයි කියන දේ නෙවෙයි. ඒ අනුව මම හිතන්නෙ කවියෙක් වුණාම රයිෆල් එකක් අවශ්‍යය තැනට රයිෆල් එක අතට ගත යුතුයි. පෑනක් අවශ්‍යය තැනට පෑන අතට ගත යුතුයි. මේ දෙකම එක සමානව දරාගෙන ඉදීමේ හැකියාව තියෙනවානම් ඒකත් හොදයි.