ගොළු හදවත විවර කරගන්න බැරිවුණා – ප්‍රවීණ ගායන ශිල්පී පෝල් පෙරේරා

විමලනාත් වීරරත්න

මම නම් බයිලා රජෙක් නෙමෙයි. ඒත් මට බයිලා රජෙක් ඉන්නවා. ඒ තමයි එම්.එස්. මම එම්.එස්ගෙ කැමතිම සිංදුව ‘අශෝක මල් මාල ගොතාලා. ඒකෙ අන්තිම පදේ එන්නේ ඔබ කවුරුද කියන්න මාලා කියලයි. මමත් මාලා ඔබ ගැනම සිතාලා, අහසේ රන් මාලිගා මවාලා කියලා සිංදුවක් හදවා ගත්තා. ඒ සිංදුව මට ලියලා දුන්නේ ප්‍රියා පීරිස්. මං එම්.එස්ට කැමති එයා බයිලාවලින් සාමාන්‍ය මිනිස්සුන්ට කිට්ටු වුණු නිසයි.

පෝල් ප්‍රනාන්දුත්, ගැයුවේ ගොළු හදවත විවර කරන්න, හිතේ නොඉඳ තද කරන් මට කියන්න කියාය. ඊළඟට මගෙ පාලු කුඹුර උඹ හින්දම වපුරනවා යනුවෙනුත් කීවේය. ඉන් නොනැවතුණු ඔහු පාන්දරින් පාන් මාමා පාන් ගේනවා, ආවේ වන බඹරෙක් වාගේ වැනි ගීත ගැයුවේය. ඒවා සරල ගී ප්‍රියකරන රසිකයාට සමීප ගායනා ලෙස කැපී පෙනුණි.
ඇත්තටම පෝල් අමුතු මිනිහෙකි. ඔහු දේවල් අල්ලාගෙන සිටිනවාට වඩා අත්හැර දමන්නට එකඟ වී සිටින වග පෙනුණි. පෝල් 1969න් පටන් ගෙන වසර 40කට අධික කාලයක් සිංදු කිව්වේය. එහෙත් පෝල් අපට මුණ ගැසුණේ ඔහුගේ පරිවාරයේ කිසිවක් නැති මිනිසකු ලෙසිනි. පෝල්ගේ වැඩිමහලු සොහොයුරෝ අදත් සිය මලනුවන් බලා කියා ගනිති.
මම කසාද බැන්දේ නැහැ. ඒ නිසා මට හුඟක් පිළිවෙළක් ඇති ජීවිතයක් තිබුණෙත් නැහැ. සල්ලි හම්බ කළා. කෑවා, බිව්වා. සහෝදරයන්ට පුළුවන් විදියට උදව් කළා. යාළුවන්ටත් සැලකුවා. ජීවිතේ ගත කරන්න තියෙන්නේ එක ක්‍රමයක් විතරයි කියලා මම හිතන්නේ නැහැ. ලොකු අනාගත බලාපොරොත්තුවලින් ජීවිතේ ගෙවන්න පුළුවන්.

පෝල් උපන්නේ 1951දී කටුබැද්ද කුඩුවාමුල්ලේදීය. වේල්ස් කුමාර විද්‍යාලයට ගිය පෝල් ගීත ගායනයට පෙළඹෙන්නේ කොහොමද?

ඉස්කෝලෙදි ඩෙස්ක් එකට ගගහ තමයි මුලින්ම සිංදු කියන්න පටන් ගත්තේ. ටික දවසක් යනකොට මට හොඳ හඬක් තියෙනවා කියලා කොල්ලො කියන්න පටන් ගත්තා. ඉතිං මම නිකම්ම ඉස්කෝලේ ගායකයා වුණා. දවසක් ගමේ තිබුණු පොඩි සංගීත සංදර්ශනයකදී මම එම්.එස්.ගෙ අශෝකමල් මාල නෙළාලා කිව්වා. ඒක අහගෙන හිටපු ප්‍රියා පීරිස් කියන මහත්මයා තමයි මට සූරිය තැටියකට සිංදු කියන්න අවස්ථාව අරන් දුන්නේ. ඒකට මාලා, ඔබ ගැනම සිතාලා සිංදුව හදලා දුන්නෙත් එතුමායි. ඒ 1969දී. සුපුන් සඳ පායාලා නෑ, පාන්දරින් පාන් මාමා වගේ සිංදු හදලා දීලා පෝල් ප්‍රනාන්දු කියලා ගායකෙයක් හැදුවේ ඔහු.

පෝල් පවුලේ බාලයාය. ඔහුට වැඩිහිටි සහෝදරයෝ සිව්දෙනෙක් සිටිති. තාත්තා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ සේවකයෙකි. පෝල්ගේ කලා කටයුතුවලට ඒ සියල්ලෝ මහත් දිරියක් වූහ. සැබැවින්ම පෝල් කුඩුවාමුල්ලේ ප්‍රනාන්දු පවුලට පමණක් නොව මොරටුවෙන් පටන් ගෙන මෙරට හතර දිග්භාගයේ වසන සියලු ප්‍රනාන්දුලාට අඬහැරයක් වූයේය. ඒ
පෙර කාලේ කුළුබඩු වෙළෙඳාමෙ උනන්දු
පුරුතුගීසි නැව් ගණනින් උනා සේන්දු
ලංකාවට ඇවිත් ජොලියේ කිය කිය සින්දු
ලංකාවෙන් තුන් කාලයක් වුණා ෆර්නෑන්ඩු
ඒයි ෆර්නෑන්ඩු ෆර්නෑන්ඩු මමත් ෆර්නෑන්ඩු ගීතයෙනි.
ප්‍රියා පීරිස්, රවී රණසිංහ, සුවින්ටන් ඩී. ප්‍රනාන්දු, හේමසිරි හල්පිට වගේ තවත් හුඟක් අය මට සිංදු ලිව්වා. කැසට් පටිත් 10-12ක් කළා. මුල් කාලෙ එම්.එස්.අයියා, සී.ටී. වගේ අය සංදර්ශනවලට බස් එකේ අපිත් එක්කමයි ගියේ. ඒක හරිම විනෝදජනක කාලයක්. සුපර් ස්ටාර්ස් සංගීත කණ්ඩායම උඩටම ආපු කාලෙ අපි සුපර් ස්ටාර්ස් බස් එකේ ගියා. පස්සේ කාලෙක සුපර් ස්ටාර්ස් බැහැලා සියැක් උඩට ආවම සියැක් බස් එකේ ගියා. ගායකයො හැටියට අපිට ඒ කවුරුත් ඕනෑ. ඒගොල්ලන්ටත් එහෙමයි.
80 දශකය වනවිට පෝල් සංදර්ශන වේදිකාවේ ජනප්‍රිය බයිලා ගායකයන් කිහිපදෙනාගෙන් කෙනෙකි. එගොඩ ගොඬේ මල් නෙලනා මල් එතනෝ, ගොළු හදවත විවර කරන්න, මාලා ඔබ ගැනම සිතාලා, සුපුන් සඳ පායලා නෑ වැනි ගීත එවකදී රසිකයෝ එක පැහැර වැලඳ ගත්හ. පෝල් කීවේ අසූවෙන් මෙපිට එසේ වුවත් 70 ආණ්ඩුව පැවති කාලයේ පෝල් ඇතුළු බයිලා ගායකයන් හොම්බෙන් ගිය බවයි.

ඇත්තටම 70-75 වගේ කාලේ ගුවන් විදුලියේ අපේ බයිලාවලට තැනක් ලැබුණේම නැහැ. අපිට සංදර්ශනත් අඩුවුණා. අපිට ප්ලේන්ටියක් ගහන්න සල්ලි නැති කාලයක් ඒක. හැබැයි ඒ කාලේ අමරදේව, වික්ටර් වැනි ප්‍රධාන ගායකයෝ ඉහළටම මතුවුණා. ඒක ප්‍රබුද්ධ ගීවලට ඉඩ ලැබුණු සමයක් කියලම ලේබල් කරන්න මම කැමති නැහැ. ප්‍රබුද්ධත්වය ඕනෑ. සාමාන්‍ය රසිකයාට රසයත් ඕනෑ. අපේ ගායනාවල ඇඟ නැටවෙන රිද්මයක් තිබුණා. ඒක රසිකයෝ වැලඳ ගත්තා. වේග රිද්මය ලෝකේ කොහේවත් ප්‍රතික්ෂේප කරන එකකුත් නෙමෙයි. ඒත් ලංකාවේ බයිලා පිටු දැකපු යුගයක් ඒක. අපේ බයිලාකාරයන්ගෙන් කෙළින් කටින් හිටියෙ ඇන්ටන් ජෝන්ස් විතරයි. මොකද ඇන්ටන් අයියා බැංකුවෙ රස්සාව කළානේ. අපි වගේ සිංදු කියලම ජීවිතේ ගැටගහ ගත්තු බයිලාකාරයෝ අනාථ වුණා.

පෝල් ඇතුළු ගායකයෝ මෙම ආවේගය සමහන් කරගත්තේ 77දී. එක්සත් ජාතික පක්ෂයට වැඩ කිරීමෙන්. ඔවුහු එජාප මැතිවරණ වේදිකාවල බයිලා ගැයූහ. අවසානයේදී ඒ කාටත් රැකියා ලැබුණි. පෝල්ට ලැබුණේ පිඟන් සංස්ථාවය. උදේ වැඩට යන පෝල් සවස සංදර්ශන වේදිකාවේ ගී ගැයුවේය.
ඒ කාලේ වෙද්දී සංදර්ශන වේදිකාවටත් අපි නැතුව බැරිවුණා. රසිකයෝ ජෝතිට, මිල්ටන්ට, ඇන්ටන් අයියට, මට ස්ටේජ් එකෙන් බහින්න දෙන්නේ නැති යුගයක් තිබුණා. අපිත් ඉතින් හොඳට දාලා නට නටා සිංදු කියන්න බලාගෙනම තමයි යන්නේ. කොහොමටත් සිංදු හතරක් පහක් කියනවම තමයි. ඒ දවස්වල ටී.එම්. විතරයි බීලා ස්ටේජ් නගින්නේ නැත්තේ. අනික් හැමෝම හොඳට ගහලා එන්නේ. ඇත්තටම අපි පුදුමාකාර විනෝදජනක ජීවිතයක් ගෙව්වේ.

බයිලා ගායනාවලදී ගායිකාවන්ගේ දායකත්වය සාපේක්ෂව අඩුයි. එසේ වූයේ මන්දා. පෝල්ට ඒ ගැන තිබුණේ මෙබඳු මතකයකි.
“මුල්ම කාලේ බයිලාවලට ගායිකාවෝ සම්බන්ධ වුණේම නැහැ. එම්.එස්. අයියා නෙළුම් මලේ පෙති කැඩුවේ විමලා අතපත්තු එක්ක. මම ආවේ වන බඹරෙක් වාගේ. කිව්වේ අනුලා ප්‍රනාන්දු එක්ක. ඒ වගේ කලාතුරකින් තමයි ගායිකාවෝ බයිලාවලට සම්බන්ධ වුණේ.
චන්ද්‍රා දේවාදිත්‍ය පෝල්ට අපූරු බයිලා ගීයක් ලියා දුන්නේය. ඒ මෙසේය.
දෙමාපියන් කියන නිසා හිතුණා බඳින්න
මනාලියන් කීප දෙනෙක් ගියා බලන්න
තාමත් බැරිවුණා එකක් සෙට්කර ගන්න
හොඳ කෙනෙක් හොයලා කසාදයක් බඳින්න
පෝල් මාලා ගැන හිතුවේත්, ගොළු හදවත විවර කරගන්න බැලුවේත් ඊටත් පෙරය. පාළු කුඹුර නුඹ හින්දම වපුරනවා කීවේත් නිසි කාලයේදීය. එහෙත් කල වයස ඉකුත්වීමට පෙර පෝල් විවාහයක නම් නොබැඳුණේය. ඒ ගැන පෝල් කීවේ මෙවැනි කතාවකි. මම ඒ කාලේ රට පුරා ඉන්න කෙල්ලො එවපු ලියුම් තාම තියනවා මොරටුවෙ එවුන් තමයි වැඩියෙම එව්වේ.

දැන් එවන්නේ නැද්ද? අන්තිමට මම ඇසීමි.

“දැන් ලියුම් එවන්න උන්ට පිස්සු නැහැ.” පෝල් කීවේ හඬ නගා සිනාසෙමිනි.