නොහළ යුතු යශෝධරා

“බෞද්ධයන් විසින් කළ යුතු දේ හා හළ යුතු දේ ”

“අංක 5 – තල්පේ වැල්ලෙතොට පරමශ්‍රීනිකේතන සුධර්මාරාමයේ නිකුත් කරන ලද අත් පත්‍රිකාවකි. කොළඹ බම්බලපිටියේ වජිරාරාමයේ අතිගරු මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචිතය.
එහි 3වන පිටුවේ හළ යුතු දේ යටතේ මෙසේ සඳහන් ය.

සිනමාශාලා හා සමාජ ශාලා: අද රටේ විශේෂයෙන් නගරබද පවත්නා අපරාධ මංකොල්ලකෑම්, මංපැහැරුම්, මිනීමැරුම්, ප්‍රේම බන්ධන සියදිවි නසා ගැනීම් ආදී නින්දිත සිද්ධීන් සියයට අනූවක් පමණ සිදුවන්නේ සිනමා ශාලා, සමාජ ශාලා නිසා නොවේදැයි සලකා බලා බෞද්ධයන් විසින් සමාජ ශාලා හා සිනමා ශාලා වර්ජනය කිරීමට තරයේ සිතට ගනිත්වා.”

1965 මැයි 14 දින ප්‍රසිද්ධ කරන ලද ධර්ම අත් පත්‍රිකාවක උපුටනයකි. එය නැවතත් 2010 මැයි 27 වන දින මුද්‍රණය විය.

ශ්‍රී ලංකාව වේගයෙන් වෙනස් විය. ඒ වෙනස් වීම තුළ ශ්‍රී ලාංකීය භික්ෂූන් වහන්සේලා චිත්‍රපට නිෂ්පාදන කර්මානයට එක්වූ සේක. අතීතයේ සිනමා ශාලා වර්ජනය කළ යුතු යැයි හිමිවරුන් දේශනා කළ ද වර්තමානයේ එම දේශනා වෙනස් කර චිත්‍රපට නරඹන ලෙස ධර්ම දේශනා කළ සේක. භික්ෂූන් වහන්සේලා ගේ ආශිර්වාදය හා උපදේශකත්වය උපරිමයෙන් ලැබෙමින් චිත්‍රපටයක් බිහිවූ යේ මේ වටපිටාවේ ය. එය නමින් “බිම්බා දේවි නම් වූ යශෝධරා” වන්නේ ය. එය සුනිල් ආරියරත්න මහාචාර්යවරයාගේ නිර්මාණයකි. බෞද්ධාගමික පොත් පත් වල තිබූ කල්ප ගණනාවක් (සාරා ශංඛ කල්ප ලක්ෂයක්) එපිට දීපංකර බුදු සමයේ ක්‍රිස්තු පූර්ව කෝටි ගණනක ඉතිහාසය තවම වෙනස් නොවී ඒ අයුරින්ම තිරයේ දිස්වේ. ඒ වෙනස් නොවූ ඉතිහාස කතා පොත රූප හරහා චිත්‍රණය කිරීමක් ලෙස යශෝධරා චිත්‍රපටය හැඳින්විය හැක. එහි රූප පෙරහැර ඇරඹෙන්නේ තරුණ යශෝධරා භික්ෂුණිය ගේ පරිනිර්වාණය සඳහා අවසර පැතීමට භික්ෂූණීන් වහන්සේලා වැඩම කරනා පෙරහැරකින්ය. එය ඈත රූපයකින් අවසන් වේ. එයින් ඡේදනය වන්නේ වසර කෝටි ගණනාවක් පසුපසට ය. එනම් දීපංකර බුදු සමයටය. ඒ සඳහා රූපයෙන් වර්ණ ඉවත් කර අතීත රූප පෙළක් ලෙස පෙළ ගස්වා ඇත. එහෙත් ඇඳුම් ආයිත්තම් හා සංගීතය අතීතයට ගෙන නොයාමට අධ්‍යක්ෂවරයා කටයුතු කර තිබේ. ඔහු වර්තමානයේ ය. සංසාරගත අතීත කතාවක් සේ සැලකෙන යශෝධරා හා සිද්ධාර්ථ ගේ පෙර ආත්ම කතාව දෙබස් වලින් තිරයේ දිස්වේ. නැවතත් පෙන්වන නූතන යශෝධරා ගේ කතාව ඇයගේ ජීවිතය කියවීමකට වඩා බුද්ධාගම් පොත කියවීමක් ලෙස චිත්‍රපටයේ දිග හැරේ. ඉන් බැහැරට යනවා නම් සිද්ධාර්ථට ගිහි ජීවිතය එපා වීමට සතර පෙර නිමිති වලට අමතරව උත්තරා නම් කුල කාන්තාවගේ කුෂ්ඨ රෝගය බලපා ඇති බව නිර්මාණකරු ගෙනහැර පෙන්වා ඇත. තවද දෙවිදත් භික්ෂු රංගනය ද ඔහු ප්‍රබලව පෙන්වීමට නව මුහුණුවරකින් ඉදිරිපත් කරයි. එය පැරණි වාණිජ යැයි හඳුන්වන සිනමා පටයක දුෂ්ඨයකුගේ රංගනයට සමාන වන සේ ගොඩ නගා ඇත. එය අප අසා ඇති බෞද්ධ කතාන්දරයට නව අර්ථකතනයක් දී ඇති බව හැඟේ. එහි දී උපදේශක භික්ෂු මණ්ඩලයෙන් ඒ සඳහා ආශිර්වාදය ලැබෙන්නට ඇත.

යශෝධරා චරිතයට වඩා වැඩි ඉඩ කඩක් තිරයේ වෙන් කර ඇත්තේ සිද්ධාර්ථ චරිතයට ය. එහෙයින් සිද්ධාර්ථයන්ට විවාහ ජීවිතයට ඇතුලත් වීම වෙනුවෙන් මනාලියන් තේරීම දක්වා විශාල රූප පෙළක් පෙන්වීමට සිදුව තිබුණි. යශෝධරා ගේ පරම්පරාගත බැඳීම ප්‍රේක්ෂකයාට අවබෝධයක් ඇතැයි හේතුකොට ගෙන ඇගේ ජීවිත විවරණයක් අනවශ්‍ය යැයි අධ්‍යක්ෂවරයා සිතන්නට ඇත. චිත්‍රපටයේ කන්ථක අශ්වයා ද ප්‍රධාන භූමිකාවට පණ පොවන්නේ ය. සිද්ධාර්ථට සතර පෙර නිමිති දැකීම ප්‍රබල සාධකයක් සේ ඉතිහාස කතාවේ කියැවේ. සිද්ධාර්ථව භික්ෂුව වෙත රැගෙන යන ප්‍රධාන වාහකයා වන්නේ අශ්වයා ය. ඌ (එතුමා) ද පෙර භාවයේ පතාගෙන පැමිණීමක් සේ පෙන්වයි. ප්‍රධාන චරිත ද්විත්වය සඳහා පල්ලවි සුභාෂ් හා ඒ චෞද්රි භාරත ශිල්පීහු දෙපළ රංගනයේ යෙදෙති. වර්ණවත් ඇඳුම් ආයිත්තම් වලින් ඔවුහු සන්නද්ධව සිටිති. චරිත ගොඩනැගීමකින් තොරව චරිත හඳුන්වා දීමක් චිත්‍රපටය පුරාවට ඇත. එය චිත්‍රපටය ගමන් කරන ආඛ්‍යාන රටාව සමග පෑහේ. එය තවත් තීව්ර කිරීමට කාව්‍යකාරයකු යොදා ගැනීමට අධ්‍යක්ෂවරයා එඩිතර වී ඇත. චිත්‍රපටයේ වාසනාවට චිත්‍රපටය නිපදවීමට වසර සිය ගණනකර පෙර යශෝධරාවත හා නරසිහ ගාථා නිර්මාණය වී තිබිණි. එහෙත් නරසිහ ගාථාවන්ගෙන් ඉදිරිපත් කරන බුදුන්ගේ රුව චිත්‍රණය කරන යශෝධරාවන්ගෙන් බුදුරුවට අමතරව භික්ෂු පෙරහැරම ඇඳීමට අධ්‍යක්ෂවරයා ගේ නිර්මාණ ශක්තිය පිළිබිඹු කරන්නක් යැයි සිතේ . එය නව අර්ථ ගැන්වීමක් විය හැක. එහෙත් එය ග්‍රහණය කර ගැනීමට ප්‍රේක්ෂකයා අකමැතිවීම ප්‍රේක්ෂක දුර්වලතාවයක් සේ සලකමි.

යශෝධරා චරිතය අල්ප වූ දර්ශන තල කිහිපයකින් විචිත්‍ර කිරීමට කැමරා ශිල්පියා සමත්ව ඇත. ඉහල කෝණයකින් ගත් රූප රාමු වැඩි ප්‍රමාණයක් තිබුණ ද අනවශ්‍ය ස්ථාන සඳහා ඒවා යොදා තිබීම හේතුවෙන් බුදුන් ද කුඩා කර තිබිණි.

මෙහි දී සාකච්ඡා කළ යුතු වැදගත් මාතෘකාවක් වෙයි. ඒ නම් වාණිජ සිනමාව: සිනමා කර්මාන්තයක් ලෙස පැවතිය යුතු ය යන්නයි. අතීතයේ වාණිජ සිනමාව හැඳින්වූයේ පෙර හිමිනම සඳහන් කළ පරිදි සමාජද්‍රෝහි කටයුත්තක් ලෙස ය. එහි ප්‍රේම ජවනිකා තිබිණි. එම ප්‍රේම ජවනිකා සඳහා ගීත ගායනා තිබුණි. ප්‍රේමය දිනා ගැනීම වෙනුවෙන් පැවති අරගලයන් හි සටන් ජවනිකා ද මත්පැන් දුම්වැටි ජවනිකා ද ඒ අතර තිබුණි. ඒ අතර අංගුලිමාල වැනි චිත්‍රපට ද නොතිබුනා නොවේ ය.

එහෙයින් එදා වාණිජ සිනමාව විචාරකයින් හැඳින්වූයේ වට්ටෝරු සිනමාව ලෙස ය. මෙහිදී ප්‍රවීණ සිනමා විචාරකයෙක් වූ ජයවිලාල් විලේගොඩ මහතාගේ සඳහනක් මතක් කළ යුතු ය. චිත්‍රපටයක් අගය කළ යුත්තේ එහි තාක්ෂණික තත්ත්වය මත හා අරමුණු අනුව බව ඔහුගේ මතය යි. කලාත්මක චිත්‍රපටයක් විචාරයට භාජනය කිරීමේ දී වෙනස් වචන හා න්‍යායන් භාවිතා කළ යුතු ය යන තර්කය ඔහු හෙළා දැක්කේ ය. ඔහුට ලෙස්ටර් ගේ චිත්‍රපටයත් තම්පෝ ගේ චිත්‍රපටයත් ද එක මවකගේ දරුවන් සේ දැක තිබුණි. බිම්බා නම් යශෝධරා ද සිනමා කර්මාන්තයේ තවත් එක් දරුවෙක් ය. එකම සිනමා ශාලාවේ යශෝධරා සමග රයිගමයයි ගම්පලයයි පෙන්වන්නේ ද ඒ නිසා ය. සිනමාවේ වාණිජත්වය ලැජ්ජාවට පත්විය යුතු පැත්තක් නොවේ ය. සිනමාව හළ යුතු දෙයක් සේ සැලකූ භික්ෂූන් වහන්සේ ලා සිනමාවට පිරිත් පැන් ඉසිද්දී සිනමාවේ වාණිජත්වය ද ඒ සමගම වෙනස් වීම පුදුමයක් නොවන්නේ ය. අද වාණිජ සිනමාවට පැරණි වට්ටෝරු අවලංගු ය. අලුත් වට්ටෝරු සැකසිය යුතු ය. අද වට්ටෝරුවට ඉතිහාස කතාවක් වීම අත්‍යවශ්‍ය ම වලංගු භාවයකි. එය තවත් වාණිජත්වය සාරවත් කිරීමට නම් බුදු දහම ඇඳා ගත යුතු ම ය. දන්නා අසා ඇති කියවා ඇති දෙය ඒ අයුරින් ම තිරයේ පෙන්විය යුතුය. අතීතයේ වෙසක් පොසොන් උත්සවය වෙනුවෙන් ප්‍රදර්ශනය කරන ලද තොරණ වැඩි වේලාවක් සිටගෙන බලා සිටීමට වර්තමානයේ අපහසු ය. වර්තමානයේ මිනිසුන් ගත කරන්නේ සුඛෝපබෝගි ජීවිතය. එහෙයින් වල වැසිකිලියට යාමට අමාරු ජනතාවකට සිටගෙන තොරණ බලන්නට නොහැකි ය. එනිසා වර්තමානයේ සෙනග පොර කන්නේ දන්සැල් වටා ය. තොරණ වේලෙයි. ඒ නිසා වාඩි වී නැරඹීමට තොරණ ප්‍රදර්ශනය කළ යුතුය. එදා විදුලි බුබුළු දස දහස් ගනන් තිබූ තොරණ හා සමාන විදුලි බුබුලින් අලෝකමත් ත්‍රීවීල්, ටිපර් රථ, බස් රථ පමණක් නොව කුඩා මෝටර් සයිකල් ද වැහි වැහැලා ය. එහෙයින් රඟහල් තොරණ සඳහා විදුලි බුබුළු අවශ්‍ය වන්නේ නැත. ඩිජිටල් තොරණවල මල් වැසි වස්සනා සේ තිරයේ මල් වැසි වැසීම ප්‍රතික්ෂේප කළ නොහැක. පසුගිය කාලයේ සමහර චිත්‍රපට නැරඹීමට ගිය ප්‍රේක්ෂකයින්ට සිදුවුයේ අකරතැබ්බයන්ටය. තවම සෙනග මදි; අද චිත්‍රපටය පෙන්වන්න විදිහක් නැ; අඩු ගානේ 13 දෙනෙක් වත් ඉන්න ඕනෑ; ප්‍රේක්ෂකයා ආපසු හැරී ගිය අවස්ථා චිත්‍රපට ශාලාවට ඇවිත් නරඹන ප්‍රේක්ෂකයින් අත් විඳ ඇත. එහෙයින් අඩු තරමේ සෙනසුරාදා ඉරිදා දිනයන් හී වත් ශාලා පිරෙනු දැකීම භාග්‍යයකි. එහෙයින් යශෝධරා නම් වූ චිත්‍රපටය නැරඹීම පාපකර්මයක් සේ නොසලකමි. එහෙයින් මා ඇතුලු කිසිවෙක් එයට ගරහන්නේ නැත. විවේචනය කර පාප කර්මයට හවුල් වන්නේද නැත.

තුමිඳු දොඩන්තැන්න දක්ෂ නළුවෙකි. එහෙත් ඔහු පාප කර්මයක් මෙම තිරය තුළට වී සිදු කරයි. ඔහු මේ චිත්‍රපටයේ නොයෙක් තැන් වලට පැමිණ කවි ගායනා නොකළ යුතුව තිබුණි. ඔහුගේ හඬට ගීත එක්කළ ගායකයා ද ඊට වගකිව යුතුය. අධ්‍යක්ෂවරයා ද ඔවුන් පාලනය කිරීමට අපොහොසත් වීම තුමිඳුලාගේ මුරන්ඩුවීමක් සේ පෙනේ.

එමෙන්ම ඊට සංගීතය එක්කළ ප්‍රවීණ සංගීතවේදියා ද (ආචාර්ය රෝහණ වීරසිංහ) ඊට වගකිව යුතුය. මේ සියල්ල එකතු වී යශෝධරා චිත්‍රපටයට කළ අසාධාරණය වෙනුවෙන් වහ වහා ප්‍රේක්ෂකයා සිනමා ශාලාව වෙත පිය නැගිය යුතුය.

අතීතයේ වාණිජ සිනමාව අත්පත් කරගෙන සිටි වට්ටෝරු චිත්‍රපට අධ්‍යක්ෂකයින් යැයි හංවඩු ගැසූ අධ්‍යක්ෂවරු විශ්වාස කළ දෙයක් තිබුණි. එනම් සිනමාව යනු මිනිසුන්ගෙන් ඈත්වුණු සිනමාවක් නොවිය යුතුය යන්නයි. ඒ වාණිජවාදී තැනීමට අනුව යශෝධරා වැනි චිත්‍රපට ඇතිවිය යුතුය. මෙය ලංකාවට නව්‍ය වු අත්දැකීමක් පමණක් ම නොවේ.