ආත්ම ප්‍රකාශනවාදී සිනමාවේ වස්තුව නම් ස්ව මතකයයි – සංජීව පුෂ්පකුමාර

රසික ගුණවර්ධන

සංජීව පුෂ්පකුමාර දේශපාලන වාරණය නිසා ලංකාවේ තිරගත වීමට නොලැබුණු “ඉගිල්ලෙන මාළුවෝ” චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ය. ඔහුගේ දෙවැනි චිත්‍රපටිය ”දැවෙන විහඟුන්” ජුනි විසිනව වනදා සිට තිරගත වීමට නියමිතය. දැවෙන විහඟුන් චිත්‍රපටය ටොකියෝ ෆිල්ම් නෙක්ස්ට් සම්මාන උළෙලේ දෙවන ස්ථානය හිමි කර ගත් අතර ජීනීවා චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයට පාත්‍ර වූයේය. ලොස් ඇන්ජලීස් සිනමා උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් දැවෙන විහඟුන් රොටර්ඩෑම් සිනමා සම්මාන උළෙලේ විශේෂ ඇගයීමට ද පාත්‍ර විය. මේ එම චිත්‍රපටය පිළිබඳව අධ්‍යක්ෂවරයා සමග කළ පිළිසඳරකි.

“දැවෙන විහඟුන් ” චිත්‍රපටියේ තේමාව කුමක්ද?

දැවෙන විහඟුන් නැගෙනහිර පළාතේ දුෂ්කර ගම්මානයක පවුලක් වටා ගෙතෙන කතාවක්. 1989 භීෂණ යුගය අවසන් කාලයේදී එක්තරා නන්නාඳුනන අවි ගත් කණ්ඩායමක් දරුවන් අට දෙනෙක් ඉන්න පියෙක් ඝාතනය කරනවා. ඒ ඝාතනයෙන් පස්සේ කුසුම් කියන තිස් හත් හැවිරිදි මවට සහ පහළොස් හැවිරිදි ඇගේ දියණියට තමන්ගේ පවුල නඩත්තු කිරීම සඳහා කරන්ඩ සිදුවන අප්‍රතිහත දහිරිය පිළිබඳ කතාව තමයි දැවෙන විහඟුන් චිත්‍රපටියෙ දි නිරූපණය කරන්නේ.

ඔබේ මුල් චිත්‍රපටයට වගේම මේ දෙවැනි චිත්‍රපටයටත් යුද්ධය සහ ගැටුම් තේමා කරගන්නවා. ඒ සඳහා බලපෑ හේතු මොනවාද?

මම සිනමාකරුවෙක් වෙන්ඩ බලපෑවෙ අශෝක හඳගමගෙ ”මේ මගේ සඳයි” චිත්‍රපටියත්, ප්‍රසන්න විතානගේගෙ ”පවුරු වළලු” සහ ”පුරහඳ කළුවර” කියන චිත්‍රපටි දැකීම. ඒ චිත්‍රපටි දෙක දැක්කම පස්සේ මට කිසියම් විදිහක පෙළඹවීමක් වුණා කියන්ඩ පුලුවන්. මට හිතුන මටත් මෙවැනි කතා කොච්චර තියනවද ලෝකය සමඟ බෙදාගන්ඩ කියන එක. එතකොට මම චිත්‍රපටිකරුවෙක් වෙන්ඩ තීරණය කළේම මගේ ජීවිතයේ මම අත්දැකපු අත්දැකීම් සහ ප්‍රස්තුතයන් ලෝකය සමඟ බෙදා ගන්ඩ.
මම මෑත කාලයේ කොළඹ ජීවත් වුණාට මගේ ගම කන්තලේ සහ ත්‍රිකුණාමලය අතර තියන තඹලගමුවෙ ඉඳන් ඇතුලට ගියහම තියන උල්පත්ගම කියන ඉතාම දුෂ්කර , මායිම් ගමානයක්. එතකොට මගේ මුළු ජීවිත කාලයම ගෙවිල තියෙන්නෙ වාර්ගික ගැටුම් වලට ඝෘජුවව මුහුණ දුන්න පුද්ගලයෙක් විදිහට.
එල්.ටී.ටී. එකත් එක්ක මට තියන ලොකුම ගැටුම ඒගොල්ලන්ගෙ අරමුණ නෙවෙයි. ඒ ගොල්ලො ඉතාම දුප්පත් අහිංසක මිනිස්සු , කිසිම ආකාරයකින් අරගලයට සම්බන්ධ නැති මිනිස්සු ඝාතනය කරපු එක.
මගේ ඉස්කෝලේ ප්‍රින්සිපල්, මගේ මාමා, මගේ නෑදෑයෝ මැරුණා. ඒ අය කිසිම ආකාරයකට එල්.ටී.ටී.යට විරුද්ධව හෝ දෙමළ ජනතාවට විරුද්ධව සටන් කරපු අය නෙවෙයි. මම කොහොමත් මනුෂ්‍ය ඝාතන සහිත අරඟල වලට විරුද්ධයි.
අර මායිම් ගමේ ඉඳගෙන මම උතුරු නැගෙනහිර ජනවාර්ගික අරගලයත්, ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ අරගලයත් මගේ ජීවිත කාලෙට මම අත්දැක්ක. එතකොට මගේ අතීත මතකයෙන් සහ මාව පාරන සංසිද්ධීන් වලින් ඈත් වෙන්ඩ පුලුවන්කමක් මට නෑ.

ඉන් අදහස් වන්නේ චිත්‍රපටි දෙකටම පෞද්ගලික අත්දැකීම් වැඩිපුර බලපෑවා කියන එකද?

ඔව් ඇත්තටම. ඕනෑම ආත්ම ප්‍රකාශනවාදී සිනමාකරුවෙක්ගේ මූලිකම වස්තුව තමයි තමන්ගේ මතකය. හැම ආත්මීය ප්‍රකාශන සිනමාකරුවෙක්ම ගනුදෙනු කරන්නේ තමන්ගේ අතීත මතකය එක්ක. එතකොට ඒ අතීත ස්මරණය තමයි එයාගේ නිර්මාණ ගබඩාව වෙන්නේ.
හැඟීම් තමයි ප්‍රධානම ගාමක බලවේගය වෙන්නේ. මතකය තමයි මාව අවුලුවාලන්නේ. හැබැයි මතකය පමණක් වැදගත් නෑ සිනමා කෘතියකට. හැඟීම් අවශ්‍යයි. ඒ හැඟීම් කියන්නෙ මගේ වේදනාව තුළින් මතුවෙන දේ.
මගේ හැම චිත්‍රපටියකම මගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ වෙන ඝෘජු හා වක්‍ර සිද්ධීන් තියනව. ඒ කියන්නෙ අපේ සිනමා කෘතිය වඩා පෞද්ගලික වෙන තරමට ඒ චිත්‍රපටියට ලැබෙන විශ්වීය ගුණය විශාලයි. ඒ නිසා මම හැම වෙලාවකම උත්සාහ කරනවා මගේ අත්දැකීම් වලට අවංක වෙන්ඩ. එතනදි මම එක්කෝ පිරිමි වේශයකින් නැත්තං කාන්තා වේශයකින් මගේ ආත්මය ඒ චිත්‍රපටි වලට එකතු කරනවා. ඒක මගේ සැනසීමට කරන දෙයක්.

ඔබ දේශපාලන නිසා බැටකාපු සිනමාකරුවෙක්. ඔබ ඔබේ දෙවැනි සිනමා නිර්මාණයට එද්දි ඒ දේශපාලන ලේබලය ඔබට බලපෑමක් කළාද?

ඔව්. අදටත් ඒ බලපෑම් අවතාර විදිහට තියනවා. උදාහරණයක් විදිහට අපිව පිළිගන්න අපේ මිත්‍රයො පවා අපිත් එක්ක හිනා වෙලා ඊට යටින් හිතනවා මූ ඩයස්පෝරාවේ, මූ ඩයස්පෝරාවේන් සල්ලි අරන් තමයි ෆිල්ම් කරන්නෙ කියලා.
උදාහරණයක් විදිහට මහින්ද රාජපක්ෂගේ දේශපාලනය දෘෂ්ඨිමය විදිහට ප්‍රතික්ෂේප කරන අය. මහින්ද ආණ්ඩුව සංජීව පුෂ්පකුමාර ඩයස්පෝරාකාරයෙක් කියලා ගහපු ලේබලය පිළිගන්නවා. ඒක හරි උත්ප්‍රාසාත්මකයි.
මගේ චිත්‍රපටි තහනම් කිරීම නිසා මටත් වඩා පීඩාවට පත් වුණේ මගේ නළු නිළියෝ, මගේ නෑදෑයෝ, මගේ සහෝදර සහෝදරියෝ, මගේ අම්මා, මගේ මල්ලිලා හමුදාවට සම්බන්ධයි. ඒ අය ගොඩක් පීඩාවට පත් වුණා.
මට කිසිම වෙලාවක හමුදාව සමඟ ප්‍රශ්නයක් නෑ. මට තියෙන්නේ ඒ ආයතන එක්ක ප්‍රශ්නයක්. ඒ පාලක ආයතන නියෝජනය කරන්නේ කිසියම් දෘෂ්ඨිවාදයක්.
මගේ දෙවැනි චිත්‍රපටියට නළු නිළියන්ට කථා කරද්දි පවා ලොකු ප්‍රශ්න ආවා. ඒ ගොල්ලො හිතනවා අපි කෝටි ගානක් පිට රටින් අරගෙන මම එයාලට සොච්චමක් දීලා වැඬේ කරගන්ඩ හදනවා කියලා. අර මහින්ද ආණ්ඩුව ගොඩ නගපු දෘෂ්ඨිවාදය තමයි ඒකට හේතුව.
ඉතාම අවාසනාවන්ත සිද්ධිය තමයි, මම මේ චිත්‍රපටිය රූප ගත කරන්ඩ දවසකට කලින් මට සී.අයි.ඩී. යෙන් කැඳවීමක් ලැබෙනවා. කොළඹට ඇවිල්ල කට උත්තරයක් දෙන්ඩ කියලා. එතකොට මම සී.අයි.ඩී. එකට කීව මම මේ වෙලාවෙ ෆිල්ම් එකේ වැඩ පටන් ගන්ඩ හදන්නෙ . මගේ දවස් දහ අටේ වැඩ ටික ඉවර වුණ ගමන් ඇවිල්ල කට උත්තරයක් දෙන්නම් කියලා. ඒ වෙලාවෙ සී.අයි.ඩී. එක නම්‍යශීලී වෙලා මට අවස්ථාව දුන්නා. සමහර විට කවුරු හරි සී.අයි.ඩී. යට කියන්ඩ ඇති සංජීව තවත් දේශද්‍රෝහී චිත්‍රපටියක් කරන්ඩ යනවා කියලා.

ඔය පසුබිමත් එක්ක ත්‍රිකුණාමලයේ රූපගත කිරීම් කොහොමද සිද්ධ වුනේ ?

මගේ ඉස්සරහට සමහර අය ඇවිල්ල හිනා වෙනවා. හිනා වුණාට මම දන්නවා මේ අය පස්සේ ගිහිල්ලා කියනවා මේක එල්.ටී.ටී.ඊ එකට කඬේ යන්ඩ හදන ෆිල්ම් එකක් කියලා. ඒ විතරක් නෙවෙයි, ඒ අය අපේ ගම ඇතුලේ විශාල ප්‍රචාරක් ගෙනිච්චා. එතකොට හැම කෙනාම ඒ දේවල් විශ්වාස කරන්ඩ පටන් ගත්තා. අපේ ගෙදරට එන යන අය පවා විශ්වාස කරණව මූ එල්.ටී.ටී.ඊ එකට කත් ඇදලා සල්ලි හොයනවා කියලා.
මගේ අර පළමුවැනි අත්දැකීමත් එක්ක මට මේ සැරේ හරියට ප්‍රශ්න ආවා. ඒ පරිසරය ගොඩ නැගුවේ රාජපක්ෂ දේශපාලනය. ඒ කම්පනය සහ පීඩාව මේ චිත්‍රපටිය රූපගත කරන හැම වෙලාවකම තිබ්බා. මම අර මුලින් කීවා වගේ මගේ නිර්මාණ වලට ඇත්ත සිදුවීම් පාදක වෙන නිසා අපි චිත්‍ර පටියේ චරිත ගමේදි දකිනවා. මේ රූපගතකිරීම් තිබුණේ අපේ ගමේ සහ අපේ ගෙදර ආශ්‍රිතව. මම සමහර නළු නිළියන්ට පෙන්නල තියනවා ඔයාගේ චරිතය මෙයාට සම්බන්ධයි කියලා. ගයේෂට, කෞෂල්‍යට මගේ පළමුවැනි චිත්‍රපටියෙදි මම ඒ ගොල්ලන්ගේ චරිත ගමේදි පෙන්නලා තියනවා.

ඇයි ඔබ පීඩාවට පත්වෙමින් තවදුරටත් ඒ ස්වරූපයේම ෆිල්ම් කරන්නේ ?

මේක තමයි මගේ චාරිකාව. මේක තමයි මගේ ජීවන සංතෘප්තිය. මම වෙන කිසි දෙයක් කරන්නේ නෑ. මම වෙළෙඳ දැන්වීම හදලා නෑ. මම ටෙලි නාට්‍ය හදන්ඩ ගිහිල්ල නෑ. එතකොට මම මගේ මුළු ජීවිත කාලෙම කැප කරලා තියෙන්නේ සිනමාව සඳහා. මට ඒකෙන් ලැබෙන තෘප්තිය වැදගත්.
ඔබ දන්නේ නෑ බර්ග්මාන් මිනිස්සුන්ට කොහොමද සැලකුවෙ කියලා. බර්ග්මාන් ගැන මිනිස්සු මොනවද කීවේ කියලා. හැබැයි ඔබ දන්නවා ‘සයිලන්ට් ලයිට්’, ‘ක්‍රයිස් ඇන්ඞ් විල්ස්ෆර්’ , ‘වින්ටර් ලයිට්’ වගේ විශිෂ්ට සිනමාපට කළා කියලා. ඔබ දන්නෑ රොබට් බෙන්සන් මොනවද කරලා තියෙන්නෙ කියලා. ඔබ දන්නේ ‘මෑන් ස්කේප්’ කළා කියලා. ඔබ දන්නේ නෑ තර්කොවුස්කි කොහොමද මිනිස්සුන්ට සැලැකුවේ කියලා. මිනිස්සු ඔහුට මොකද කීවේ කියලා. අපි දන්න දේවල් තිබ්බට ඒ දන්න දේවල් නොවේ සම්පූර්ණ ප්‍රපංචය. අපි දන්නේ ‘නොස්ටැල්ජියා’ කරා, ‘සැක්‍රිෆයිස’ කරා එච්චරයි. එච්චර දුර යන්ඩ ඕනේ නෑ. අපි දන්නේ නෑ ලෙස්ටර් පීරිස්ට ඒ කාලේ මිනිස්සු මොකද කීවේ කියලා. ඒත් අද ලෙස්ටර් පීරිස් ගැන කතා කරද්දි කතා කරන්නේ ඔහු කරපු චිත්‍රපට විසි ගණන ගැන. ‘ගොළු හදවත’, ‘ගම්පෙරළිය’, ‘රේඛාව’ ඕවා තමයි කතා වෙන්නේ. මටත් වැදගත් වෙන්නේ මං මැරිච්ච දවසක මිනිස්සු අන්න එහෙම කියනවා නම්. සංජීව ඉගිල්ලෙන මාළුවො කළා. දැවෙන විහඟුන් කළා. මට වැදගත් අනාගතයේ මිනිස්සු මම කරපු චිත්‍රපටි ගැන කියනවා නම්. මිනිස්සුන්ට අනාගතයේ වැදගත් වෙන්නේ අපි කරලා තියන දේවල්.

අන්තර්ජාතිය සම්මාන හිමිවෙච්ච ”දැවෙන විහඟුන්” චිත්‍රපටියට ලංකාවේදි ලැබෙන ප්‍රතිචාරය කොහොමද?

ලංකාවේ සිනමා උළෙලවල් වලින් මගෙන් චිත්‍රපටිය ඉල්ලුවේ නෑ. එහෙම ඉදිරිපත් කරන්න අභිලාෂයකුත් නෑ. හැබැයි අනෝමා රාජකරුණා යාපනේ අන්තර්ජාතික සිනමා උළෙලෙදි මගේ චිත්‍රපටිය සිනමා උළලේ අවසාන චිත්‍රපටිය විදිහට පෙන්නුවා.

ඇයි ලංකාවේදි දැවෙන විහඟුන් පිළිගැනීමට මැලි වෙන්නෙ ?

ප්‍රියන්ත ලියනගේ මහත්තයා මගේ චිත්‍රපටියට ලියලා තියන ලිපියක තියනවා ‘පිටස්තරයගේ පැමිණීම පිළිගැනීමට සූදානම් පිරිස ඉතා අල්පයි කියලා’ එතන ඔබේ ප්‍රශ්නෙට උත්තරේ තියනවා.

ලංකාවෙ ප්‍රේක්ෂක ඉඩෝරයට ‘දැවෙන විහඟුන්’ මල් වැස්සක් වෙයිද?

මම හිතනවා එහෙම වෙයි කියලා. මේක මම යාපනේ පෙන්නපු වෙලාවේ සමහර අම්මලා කඳුලු සලමින් බැලුවේ. සමහර අම්මලා ඇවිල්ලා මාව වැළඳගත්තා. ඒ විතරක් නෙවෙයි මම චිත්‍රපටිය පිටරට පෙන්නලා කාන්තාවෝ ඇවිල්ලා මාව බදාගෙන අඬපු වෙලාවල් ගොඩක් තිබ්බා. සමහර අය කීව මේ චිත්‍රපටිය හරිම ප්‍රබලයි, හරිම සෞන්දර්යාත්මකයි කියලා. ඒ නිසාම මම විශ්වාස කරනවා ලංකාවේ ප්‍රේක්ෂකයොත් මේ චිත්‍රපටිය බලයි කියලා.

චිත්‍රපටියේ ශිල්පිනියක් වන අනෝමා ජිනාදරී ඔබට චෝදනාවක් කරනව ඔබ විදේශයන්හි සම්මාන සඳහා ඉදිරිපත් කරපු සිනමාපටය ලංකාවේ නොපෙන්වා ඔබට අවශ්‍ය ලෙස සංස්කරණය කරපු සිනමාපටයකුයි ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට උත්සහ කරන්නේ කියලා ?

මම අනෝමා ජනාදරී මහත්මියට යෝජනා කරනවා ඉස්සල්ලම මේ චිත්‍රපටිය බලන්ඩ, ඊට පස්සේ අපිට පුලුවන් සාකච්ඡා කරන්න.

අවශේෂ නිළියක් ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගන්නවා යැයි ඇය තවත් චෝදනාවක් කරනවා.

අපි දැවෙන විහඟුන් චිත්‍රපටියේ ප්‍රචාරණ කටයුතු සිද්ද කරන්නේ චිත්‍රපටියට උචිතම විදිහට. අධ්‍යක්ෂකවරයෙක් විදිහට මට චිත්‍රපටියට දායක වන හැම නළුවෙක්ම නිළියක්ම ප්‍රධාන චරිතයක්, අවශේෂයි අප්‍රධානයි කියලා දෙයක් මට නෑ. මොකද ඒ හැම නළුවෙක්ම නිළියක්ම තමන්ගේ ආත්මය ඒ චරිත වෙනුවෙන් කැපකරනවා.