ශ්‍රී ලංකා ක්‍රිකට් පළුදු වන ලකුණු

Colombo : Sri Lanka's newly appointed cricket head coach Chandika Hathurusingha speaks during a media briefing in Colombo, Sri Lanka, Wednesday, Dec. 20, 2017.AP/PTI(AP12_20_2017_000166B)

රජිඳු කාශ්‍යප

පන්දුව පළුදු කිරීමේ චෝදලාභීන් බොහෝ වෙති. දිනේෂ් චන්දිමාල් ට ප්‍රථම ආසන්න කාලයේ මේ චෝදනාවට ලක් වෙමින් දඬුවම් ලැබුවේ ඕස්ටේ්‍රලියානු ජාතිකයන් වූ ස්ටීව් ස්මිත් සහ ඬේවිඞ් වෝර්නර් ය. එහෙත් සැබෑ ලෙසින් ම ඔවුන් දෙදෙනා කර තිබුණේ එම ක්‍රියාව සැලසුම් කිරීමයි. පන්දුව පළුදු කිරීමේ ක්‍රියාවෙහි නිරතව ඇත්තේ ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක කැමරන් බ්‍රැන්ක්‍රොෆ්ට් ය. චෝදනා ලත් සැණින් ඔහු එය පිළිගන්නේ ය.

ස්මිත් සහ වෝර්නර් දෙදෙනා පැවැසුවේ තමන් එම ක්‍රියාව දැන සිටි බවත් එය හිතාමතාම සංවිධානය කළ සැලසුමක් බවත් ය. තමන්ගේ ක්‍රියාවෙන් ලත් අවමානය හමුවේ කඳුළු සලමින් පැවසුවේ ඒ සම්බන්ධයෙන් තමන් කනගාටු වන බවකි. එහෙත් ඔවුන්ට අයිසීසීයෙන් හෝ ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ද ගැලවීමක් නොතිබුණි.
අයිසීසී ය ඔවුන්ගේ නීති ප්‍රතිපාදන යටතේ උපරිම දඬුවම් ලබා දුන් අතර ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ද ඔවුන් ට එරෙහි ව මාස දොළහක ක්‍රීඩා තහනමක් පනවන ලද්දේ නායකත්වයෙන් සහ උප නායකත්වයෙන් ද ඉවත් කරමිනි.

මේ ක්‍රියාව හේතුවෙන් ඔවුන් දෙදෙනාට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ද ඉවත්වීමට සිදුවිය. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග වෙන්දේසියේදී ස්මිත් රාජස්ථාන රෝයල් ක්‍රිකට් ක්‍රීඩා සමාජයට ද වෝර්නර් සන්රයිස් හයිද්‍රාබාද් ක්‍රිකට් ක්‍රීඩා සමාජයට ද විකිණී තිබුණි. එහෙත් එම කණ්ඩායම් පාලනාධිකාරීහු මෙම චෝදනා ලද සැණින් එම ගිවිසුම් වහා ම අහිමි කිරීමට කටයුතු කළ හ.

මීට පෙර චන්දිමාල් සිදුකළ ආකාරයට පන්දුවේ යම් රසකාරකයක් අතුල්ලා පන්දුව පළුදු කළ බවට චෝදනාවක් දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක ෆාෆ් ඩුප්ලෙසස්ට ද එල්ල වුණි. ඔහු ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තීරණය අභියෝගයකට ලක් කළ අතර ස්වාධීන පරීක්ෂක මණ්ඩලයක් ඉදිරියේ කළ පරීක්ෂණයක දී ඔහු වැරදිකරු බවට පත් වූවේ ය. ඔහුට ද උපරිම දඬුවම් දීමට අයිසීසී ය සේ ම එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ද කටයුතු කළේ ය.

ඔවුන්ට එල්ල වූයේ එක් චෝදනාවකි. එහෙත් චන්දිමාල් ට පන්දුව පළුදු කිරීමේ චෝදනාවට අමතර ව කණ්ඩායම් ක්‍රීඩකයන් පැය දෙකකට ආසන්න කාලයක් පිටියට පිවිසීම වැළැක්වීම සම්බන්ධයෙන් ද චෝදනාවක් එල්ල වෙන්නේ ය. මෙය බරපතළ තත්ත්වයකි. මේ ප්‍රශ්නයට සෘජුව ම කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සේ ම කළමනාකරු අසංක ගුරුසිංහ ද මැදිහත් වූහ. දැන් පරීක්ෂණය මේ තිදෙනා ම සම්බන්ධයෙනි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පැවසෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා, පුහුණුකරු සේ ම කළමනාකරු ද ක්‍රීඩාවේ ජීව ගුණයට හානිදායක ලෙසින් කටයුතු කළ බවයි. මේ තත්ත්වය අවම කර ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වයට තිබුණත් ඔවුන් ඒ දේ හී නිරත නොවෙමින් ඔවුන් ද ඊට සම්බන්ධවීමය බරපතළ ගැටලු ව වී ඇත්තේ.

පිටියේ විනිසුරුවන්ගේ තීරණ සම්බන්ධයෙන් කුමන චෝදනාවක් තිබුණත් ක්‍රීඩකයන් ලෙසින් කළ යුතුව තිබුණේ ඔවුන්ට අවනත ව කටයුතු කිරීම ය. ඔවුන්ට එරෙහි ව යම් චෝදනාවක් වෙත් නම් දිනය අවසානයේ විනිසුරුවන් සම්බන්ධයෙන් ලබා දෙන වාර්තාවේ එය සටහන් කිරීම ය. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය එය දැන නොසිටියේ ද එසේත් නැත්නම් එය නොසලකා හැරියේ ද යන ප්‍රශ්නයකි මේ ගැන ඇත්තේ.

කළමනාකාරීත්වයේ වගකීම වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් නීති – රීති අනුව කටයුතු කිරීම සේ ම ඒ හා සම්බන්ධව ක්‍රීඩකයන්ට උපදෙස් ලබාදෙමින් ගැටුම් අවම කරගැනීමේ ක්‍රියාවලියක නිරතවීමය. එහෙත් ශ්‍රී ලංකා කළමනාකාරීත්වයෙන් එවැන්නක් සිදු වූ බවක් පෙනෙන්නට නැත.

වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් සේ ම සුවිශේෂී වරප්‍රසාදලත් කළමනාකාරීත්වයකින් මෙවැනි තත්ත්වයක් කිසිසේත් ම බලාපොරොත්තු විය නොහැකි ය. මෙය බරපතළ ගණයේ වරදකි. නරක පූර්වාදර්ශයකි. එබැවින් එකී ක්‍රියාවට එරෙහි ව මෙරට ක්‍රිකට් බලධාරීන්ට ද වගකීමක් තිබේ. ඒ ලොවක් ඉදිරියේ හැල්ලු වූ අපේ ක්‍රිකට් ක්‍රීඩාවට වැටුණු මේ කළු පැල්ලම සිතා මතා සැලසුම් කළ එකක් නොව එක් අයෙක්ගේ දෙදෙනෙක්ගේ වුවමනාව මත සිදුවූවක් බැව් ලෝකයට ඒත්තු ගැන්වීම ය. එතැනින් නොනැවතී මෙරටින් ද අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර වැරදිකරුවන්ට දඬුවම් කිරීම ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානයට යොමු විය යුතු තවත් කරුණක් වන්නේ විනය කඩකිරීමක් සම්බන්ධයෙන් චෝදනාලත් ජෙෆ්රි වැන්ඩර්සේ තරගාවලිය අතරතුරදී මෙරට ට ගෙන්වීමයි. චෝදනාව ආ විගසින් මෙරට ට ගෙන්වූවද ඔහු කෙරෙහි මෙතෙක් කළ කිසිදු පරීක්ෂණයක් නැත. ඔහුත් සමග තමන් නවාතැන් ගෙන සිට හෝටලයෙන් රාත්‍රී කාලයේ දී තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම පිටව ගොස් ඇති බවකි එරට ආරංචිය. වැන්ඩර්සේ ට චෝදනා එල්ල වෙන්නේ පසු දා උදෑසන වන තෙක් ම හෝටල් කාමරයට නොපැමිණීම ය. අනෙකුත් ක්‍රීඩකයන් එදින රාත්‍රියේ ම හෝටල් කාමර වෙත පැමිණ තිබේ.

ඔවුන් මේ ගොස් ඇත්තේ සාමාන්‍ය ගමනක් ද? අනෙක් ක්‍රීඩකයන් හෝටල් කාමර වෙත පැමිණිය ද ඔවුන් පැමිණියේ කුමන වේලාවක, කුමන ආකාරයෙන් දැයි කළමනාකාරීත්වය දන්නේ ද? ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් මේ දක්වා ම නැත. රාත්‍රී සංචාරයට එක් වූ අනෙකුත් ක්‍රීඩකයන් කණ්ඩායම සමග සිටි අතර රැයක් පුරා කාමරයට නොපැමිණි වැන්ඩර්සේට දුන් දඬුවම සංචාරය අතරමග අහිමි කිරීම ය.

ඒ අනුව බලන කළ දඬුවම් කර ඇත්තේ වැරදිකරුවන්ට නොව මෙරට ක්‍රිකට් පෙට්ටගමේ ඇති බූදලයට ය. තරගාවලිය ආරම්භයේ දී ම ලහිරු ගමගේ ආබාධිත තත්ත්වයක් හේතුවෙනුත්, ඇන්ජලෝ මැතිව්ස් තම පෞද්ගලික හේතුවක් මතත් මෙරට ට පැමිණියහ. ඒ සියලුම දෙනාට එකී වියදම් දරනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ය. ආබාධිත තැනැත්තාටත්, පෞද්ගලික හේතුවක් තිබූ තැනැත්තාටත් සහ විනය විරෝධීව හැසිරෙන තැනැත්තාටත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් බෙදා ඇත්තේ එක ම හැන්දෙනි.
ආබාධිත තැනැත්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත් වීම සාධාරණ ය. එය කළ යුත්තකි. එහෙත් තම පෞද්ගලික හේතුවක් මත තරගාවලියක් අතරමග නතර කරන්නෙක්ටත් ඊටත් වඩා විනය විරෝධීව හැසිරුණ තැනැත්තෙක්ට සංචාරය අහිමි කරවීමේ දීත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත් වීම මීට වඩා හාත්පසින් ම වෙනස් විය යුතු නොවේද? මොවුන් එක ම ගණයේ ලා සැලකීම පනින රිලවුන්ටත් ඉනිමන් බැදීමක් සේ අප දකිමු.