රාවය

රොනල්ඩො, මෙසීලා හමුවේ අරුණලා අමතක නොකරමු

රොනල්ඩො, මෙසීලා හමුවේ අරුණලා අමතක නොකරමු

ඒ. වික්‍රමසූරිය

මේ දිනවල ක්‍රීඩා උමතුව සම්පූර්ණයෙන්ම ගාල්වී ඇත්තේ පාපන්දුව වෙතටය. පාපන්දුවට ඇලෙන ඇස් සෙසු ක්‍රීඩා සියල්ල නිලංකාර කර ඇත. පාපන්දු ලෝක කුසලානයට අමතකව යා දිය නොහැකි මෑත මතකයක්, කතාබහක් අප සන්තකයේය. එය පෙට්ටගමක දමා අගුලු ලනු වෙනුවට පිට්ටනියක තබා ඔප මට්ටම් කළ යුතු සම්පත්ය.
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලකදී මෙරට ලද ඉහළම ජයග්‍රහණය මෙවර ලැබීය. 1988 මුල්වරට පැවැත්වෙන මෙම තරගාවලියේදී තරගාවලිය මෙන්ම ශ්‍රී ලංකාවද කෝඩුකාරයන්ම වූයේය. එහෙත් එතැන් සිට දහඅට වන වරටත් මෙම ක්‍රීඩා උළෙල පැවැත්වෙන විට ලංකාව ඒ තුළ බලපුළුවන්කාරයෙකි. ජවසම්පන්නයෙකි. යටගියාව පිරික්සන කල ආසියානු ක්‍රීඩා උළෙලින් ශ්‍රී ලංකාව ලබා තිබුණේ රන්පදක්කම් හතකි. ඉන් තුනක්ම අයත් මෙවර තරගාවලියටය. මීට පෙර තරගාවලි දාහත තුළම ලබා ඇති රන් පදක්කම් ගණන හතරකි. එසේ නම් මෙවර පිම්ම සුළුපටුද? ජයග්‍රහණයත් සමග එවවිට මල් මාලා දමා පිළිගැනීමත් ඉන්පසු මුදල් ත්‍යාග පිරිනැමීමත් මියගිය පසු හත් දවස තුන් මාසය සමරනු පන්නයේම වැඩක් වී ඇත. ඉන්පසු හා හූව එයින්ම අහවරය. මෙවරත් එය එසේම විය නොහැකිද? මේ නිහඬකම එයට පාර කැපීමක් නොවේද?
අරුණ දර්ශන, මීටර් 400 රන් පදක්කමත් 4 × 400 සඳහා ලබන රන් පදක්කමත් ඇරුණු කොට ඉතිරි රන් පදක්කම හිමිවනුයේ පාරමී වසන්තිටය. ඒ මීටර් 3000 බාධක දිවීමටය. මෙය ඒ දිනවල ඇති පදම් කතා කළමුත් දැන් එය යටයමින් පවතී. මේ යටයෑමත් සමග මුළුගැන්වෙනුයේ හදිසියේ මතුවූ සුපිරි දක්ෂතාය. මෙය ඇතැම්විට විශාල ලෙස වර්ධනයකට ලක් නොකළහොත් ලප් තැනම ලොප් විය හැකිය.
මේ ජයග්‍රහණය අතරද මීටර් 400 ඉසව්ව මෙන්ම 4 × 400 රන් පදක්කම් දෙකකට හිමිකම් කියන අරුණ දර්ශන රැකගත යුතුම මහඟු සම්පතකි. එදා සුගත් තිලකරත්න හරහා දුටු ජවය අපි අද අරුණ හරහා දකිමු. සුගත්ට එදා යා නොහැකි වූ කඩඉම, ඉලක්කය සපුරාලීමට අරුණට ලොකු තල්ලුවක් දිය යුතුව ඇත. ඔහුට විදෙස් පුහුණුව ලබාදිය යුතුව ඇත. ඔහු මෙවර ඊට තමන් සුදුසු බව මනාව පෙන්වීය. ඔහු මෙවර මීටර් 400 තරගය නිම කරනු ලැබුවේ තත්පර 45.79කටය. මෙය මෙතැනින් ඉදිරියට ගෙනයෑමට නම් ඔහුගේ පුහුණුකරු සමගින්ම ඉදිරි පියවර තැබිය යුතුය. ඔහු කොළඹට ගෙනවිත් ජාතික පුහුණුකරුවන් අතට පත්විය යුතුය. ගුරු ගෝල සබඳතා ප්‍රබල විය හැකිමුත් මේ ක්‍රීඩකයාගේ අනාගතය වෙනුවෙන් ඒ පරිත්‍යාගය කිරීම පුහුණුකරුගේ වුව වගකීමකි. සුසන්තිකා ඔලිම්පික් පදක්කමක් දක්වා ගියේ විදෙස් පුහුණුව නිසාය. ඇය ඇමරිකාවේ නේවාසිකව ටෝනි කැම්බෙල්ගෙන් පුහුණුව නොලබන්නට ඇයට ඔලිම්පික් පදක්කමක් නොලැබෙන්නට ඉඩ තිබුණි.
එබැවින් අරුණ වුව මෙරටින් එපිටට රැගෙන ගොස් හෝ පුහුණු කරන තැනට මෙරට පරිපාලනය තල්ලු විය යුතුය. මන්ද අපට ගොඩක් සම්පත් නැත. ඇත්තේ එකක් දෙකක් පමණි. එය රැකගැනීමට මුදල් වෙන් කිරීම අවැඩක් නොවේ.
මීට පෙර මෙම තරගාවලියේ රන් පදක්කම් දිනූ චරිත අතර සුසන්තිකා සහ දර්ශා වූහ. එසේ නම් ඒ හරහා ඒ දෙපළ ගිය දුර බොහෝය. එසේ නම් මෙවර තරගාවලියේදී රන් පදක්කම් දිනූ අය පමණක් නොව රිදී, ලෝකඩ පදක්කම් දිනූ අයද එක සංචිතයකට ගෙන ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කරන ක්‍රමවේදයකට වහාම තල්ලු විය යුතුය.
ක්‍රීඩා ඇමතිවරයාගේ එකම කාර්යය මලල ක්‍රීඩාව නොවූවත් මේ සම්පත් රැකගැනීම ඔහුගේ එක කාර්යයක් ලෙස අපි දකිමු. වත්මන් ඇමතිවරයා වැඩ ඇල්ලුවා විතරය. ඔහුට වටිනා මැණික් කැට ටිකක් හමුවී ඇත. එබැවින් ඒවා ඔප මට්ටම් කොට හැඩගැන්වීම ඔහුගේ වගකීමක්ම වේ. එයින් පලායෑම පාපයක් බව ඔහු මතක තබාගත යුතුය.
ෆයිසර් මුස්තාපා ක්‍රීඩා ඇමති ලෙස අඩුම තරමේ මේ ආණ්ඩුවේ ආයු කාලය අවසන් වනතුරු හෝ සිටිතැයි අපගේ ප්‍රාර්ථනයය. යහපාලනයෙන් ක්‍රීඩාවට අමුතු සෙතක් නොවීය. ඔවුන්ට ආණ්ඩුව ගැන කල්පනා කරනවා විනා රටට වැඩක් කරන්නට කාලයක් නැතිය.
තරගාවලියක් නොවන්නට මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටිනවාද දන්නේ ස්වල්පයකි. එම සංගමය වුව ඒ අයගේ සැලසුම්වල ප්‍රතිඵල ලෙස මේ ක්‍රීඩකයන් මතුකර ගත්තා යැයි අපි නොසිතමු. එහෙත් දැන් ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට ගෙනයෑමේ භාරධුර වගකීමෙන් ඔවුන්ට කර ඇරිය නොහැකිය. නිසි සැලැස්මක් ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් කළයුත්තේ ඔවුන්ය.
ජයග්‍රහණයක් ලද විට උදම් ඇණීමත්, ඉන්පසු මල්මාලා දමා පිළිගැනීමත් ටික කලකින් ඒ සියල්ල අමතක වීමත් සාමාන්‍යය. මෙවර නොවිය යුත්තේ එයය. මන්ද මේ සම්පත් අප ලද්දේ කාලාන්තරයකට පසුව බැවිනි. එළැඹෙන ආසියානු ක්‍රීඩා උළෙල විශාල ඉලක්කයකි. එහි දක්ෂතා දිගු ගමනකට මාවත එලනු නියතය. ඊට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපවීම කොතෙක්ද ඊට වඩා දහස් ගුණයක වගකීමක් මලල ක්‍රීඩා සංගමයට සහ ක්‍රීඩා අමාත්‍යාංශය සතුව පවතී. පාපන්දු තරග නරඹන අතරතුර අමතකවන්නේ මෙයය. රොනල්ඩෝ, මෙසී, නේමාර්ලා අපට අමතක කරනුයේ අරුණ, පසිඳු, පබසර, රවිශ්ක සහ පාරමිලාය. මේ අතරට තව අයද සිටිති. මේ නම්ද අමතක නොකළ යුතුය. ඒවා රිදී, ලෝකඩ වුව රන් කළ නොහැකි දේ නොවේ. එසේ නම් අප කොතෙක් කතා කළද මෙතැනින් එහාට මේ ක්‍රීඩා සම්පත් රැගෙන යෑම මලල ක්‍රීඩා සංගමයේ මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීමකි. ඒ වගකීම ඉටුකිරීම ඒ අයගේ යුතුකමකි. ඔවුන් සිටින්නේම ඒ සඳහාය. ඒ නිසා ඔවුන්ට ඉන් මගහැර යා නොහැකිය. ඒ මගහැරීම යනු මේ සම්පත් අතහැරීම බව කිවමනාය. එය එසේ නොවිය යුතුමය.