අර්ජුන නැගිටලා

ටිරන් කුමාර බංගගමආරච්චි

මේ දිනවල ක්‍රිකට්වල කතාකාරයා වී ඇත්තේ අර්ජුන රණතුංගය. ඔහුට ඉඩක් ලද සැණින් ලකුණක් දමාගැනීමට දක්ෂය. ඔහුගේ ක්‍රිකට් භාවිතාවේ තිබුණේද එක දමාගැනීමේ හපන්කමකි. එහෙත් මේ දිනවල ඔහු තදට බැණ වදිනුයේ තිලංගටය. ඔහු කවදත් බැණ වැදුණේ ඔහුටය. එනම් තිලංග සිටින තාක් කල් අර්ජුනට තබා කාටවත් ක්‍රිකට් පරිපාලනයට ආ නොහැකි බව අර්ජුන දනියි. එමෙන්ම අනෙක් අයට තිලංග ළඟ වැඳ වැටී හෝ තනතුරක් ලබා ගත්තද එවැනි දීනකමක් අර්ජුනට කිසිදා කළ නොහැකි බවද ඔහු දනී. එබැවින් ඔහු තුන්තිස් පැයේ බලා සිටිනුයේ තිලංග මේ ගේම් එකෙන් එහා මෙහා වන තුරුය. එය ලේසි පහසු නැත. තිලංග සැමදා කරනුයේ දේශපාලන තක්කඩිකමකි. ඒ තක්කඩි සෙල්ලම ඔහුට සූදුවකි. ක්‍රීඩා ඇමතිවරු බොහොමයක් ඔහු බන්ධනය කරගත්තේ ආ සැණින්ය. ඉන්පසු ඒ ඇමතිවරු ක්‍රිකට් ඇමතිවරුය. දයාසිරි ජයසේකර තිලංගගේ මාධ්‍ය දැනුම් දෙන්නා තරමට දුරදිග ගියේය.
මේ දිනවල නැවතත් තිලංග පිට්ටනියෙන් එපිට තබා ඇත. මේ තාවකාලිකවය. හැමවරම ක්‍රිකට් නිලවරණයේදී තිලංගට ප්‍රශ්න පත්තරයක් ලැබෙන අතර අවසානයේ ඔහු එයට සාර්ථක උත්තර බැඳ ඇත. හැමදාම වන සෙල්ලම මෙවරත් සිදුව ඇත. මේ අල්ල පනල්ලේ අර්ජුනට කළ හැකි එකම දේ අතුරු කමිටුවක් ඉල්ලා සිටීමය. අතුරු කමිටුවකින් තොරව ක්‍රිකට් පුටුවෙහි වාඩිවීමට ඔහුට නොහැකි බව ඔහු දනී.
අර්ජුන රණතුංග නොබෝදා මාධ්‍යයට කියනුයේ මේ සූදුකාරයාට අවශ්‍ය ක්‍රිකට් පමණක් බවය. ඔහු දේශපාලනය කරනුයේද ක්‍රිකට් පුටුව නිසාම බවය. එය සැබෑවක්ය. එහෙත් අර්ජුන නොකියන දේද කිව යුතුය. එම ලෙඬේ ඒ ලෙසම අර්ජුනටද ඇති බවය. අර්ජුනට අවැසි එකම දේද ක්‍රිකට් පුටුවය. ඔහු දේශපාලනය කරනුයේ ක්‍රිකට් නිසාමය. තිලංගගේ ක්‍රිකට් පුටුවට ඇති ආශාව කෑදරකම කොතෙක්ද? අර්ජුනටත් ඒ බඩජාරිකමම ඇතිය.
ෆයිසර් මුස්තාපා පත් කළ ක්‍රිකට් කමිටුවේ සාමාජිකයන් එය ප්‍රතික්ෂේප කිරීම අර්ජුනට ප්‍රීතිය උතුරා යන්නකි. ඔහු ඒ නිර්භීත ක්‍රීඩකයන් අගය කොට තිබුණි. මේ මොහොතේ කවුරු ක්‍රිකට් ප්‍රතික්ෂේප කරයිද එය අර්ජුනට මරුය. කවුරු හෝ බාර ගතහොත් එවිට ඔහු අහවරය. දැන් අර්ජුනට ඇති එකම ආශාව, කැමත්ත අතුරු කමිටුවක් හරහා ඔහු බලයට ඒමය. ඔහුගේ විශ්වාසය, ඇදහිල්ල ඔහු තරම් ක්‍රිකට් ගැන දන්නා කෙනෙක් මෙරට නැති බවය. ඔහුද ඔය පුටුවේ කලක් සිටි බවත් ඔහුට ලොකු කෙංගෙඩියක් කළ නොහැකි වූ බවත් දන්නෝ දනිති. ඔහුගේ සහෝදරයා නිශාන්ත රණතුංග ක්‍රිකට් හපකළමුත් අර්ජුන ඒ ගැන වචනයක් නොදොඩන්නේය. ඔහුට ඔහුගේ සහෝදරයන් හොඳය. මේ හැම මහත්වරුන්ගේම ඇත්තේ කසඩ තියරිය. අර්ජුන නියම මහත්මයෙක් වී නම් මුලින් විවේචනය කරන්නට තිබුණේ නිශාන්තවය. ඔහුට අනුව නිශාන්ත සුදනාය. කොහොමත් රණතුංගලා සුදනෝය.
මේ හරහා අපි තිලංග හොඳ යැයි නොකියමු. ඔහු අංක එකේ විනාශකාරයාය. සූදුකාරයාය. මේ ක්‍රිකට් විනාශයට ඔහු ඍජුවම වගකිවයුත්තේය. ඔහු ගෙනැවිත් ඒ පුටුවේ ඉන්දවා මේ තැනට ක්‍රිකට් ඇද දැමූ රණතුංගලාද ක්‍රිකට් විනාශයේ කොටස්කරුවෝ වෙති. ලෝක කුසලානය පෙන්නා සියලු පව් සෝදාගත නොහැකිය.
ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති අර්ජුන වනවාද? කවුරු වනවාද? අපට කම් නැත. අප කියනුයේ මේ කාගෙ කාගේත් හැටි අපට රහසක් නොවන බවය. මේ කාට කාටත් කළ හැකි තරමත් අප දන්නා බවය. මන්ද මේ සැම කෝඩුකාරයන් නොවේ. මේ පුටුවේම කරක් ගසන අයය. පුටුව කාට වුව පිටිය ක්‍රීඩකයන්ටය. සාර්ථකත්වය ඇත්තේ ඔවුන් අතේය. පරිපාලන වෙනස්ම වන්නේ නම් එය තව සාර්ථක වනු නියතය. මේ විනාශකාරයන් කිසිවකු නැති අතුරු කමිටුවක් නම් එය මේ මොහොතේ හොඳය.