බටහිර කළඹන අනවසර සංක්‍රමණික කුණාටුව

එස්. නන්දලාල්

සිය රටේ වසනු නොහැකි තැන වෙනත් රටක රැකවරණය පතා යන පුද්ගලයන් හැඳින්වීමට ඉංග්‍රීසියේ වචන කිහිපයක් ම යෙදෙයි. එකක් නම් අප කවුරුත් දන්නා සරණාගතයා (refugee)  යන වදනයි. උන්හිටි තැන් අහිමි වූ තැනැත්තාල පිහිට පතා යන්නා යනු එහි සාමාන්‍ය අරුතයි. asyilum seeker  යනු තවත් ඉංග්‍රීසි පදයකි. asyilum  යනු රැකවරණය ලබාගත හැකි ස්ථානයයි හෙවත් ශරණස්ථානයයි. ඒ අනුව asyilum seeker  යනු ශරණස්ථාන පතා යන්නාය. මෙලෙස අනවසරයෙන් රටකට ඇතු`ඵවන පුද්ගලයන් හැඳින්වීමට අනීතික සංක්‍රමණිකයා (illegal immigrant) යන පදය භාවිත කෙරේ. මේ අනුව සරණාගතයන් යනු වෙනත් රටක ශරණස්ථාන පතා යන අනවසර සංක්‍රමණිකයන් ය. සිය රට තුළම උන්හිටි තැන් අහිමිවූවන් හැඳින්වීමේදී යෙදෙන්නේ සරණාගත යන වදන නොව අවතැන් වූ තැනැත්තා යන්න ය.
මේ වනවිට අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපය සරණාගත ප්‍රශ්නය නිසා හෙම්බත් වී සිටිනා සෙයක් දක්නා ලැබේ. ප්‍රංශ ජනාධිපතිවරයා පවසන්නේ දැන් මෙය හුදෙක් මානුෂික ප්‍රශ්නය ඉක්මවා ගිය ඔඩු දුවන දේශපාලනික ගැටලුවක් බවයි. ඒ නිසා ඒ රටවල් ශරනායනය පතා එන්නවුන්ට නොයෙක් ආකාර හිංසා පමුණුවන බව ප්‍රකට ය. ඒ රටවල් පමණක් නොවේ. උතුරු අප්‍රිකාවේ ඇල්ජීරියාව ද ඒ තත්ත්වයේ ලා සැලකිය යුතු බව පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළේ ය. පසුගිය මාස 14ක කාලය තුළ ඇල්ජීරියාව අනවසර සංක්‍රමණිකයන් 13ල000ක් සහරා කාන්තාරයේ අතරමං කර දමන ලද බව දැන් අනාවරණය වී තිබේ.
අමෙරිකාවට එන අනවසර සංක්‍රමණිකයන්ට එරට බලධාරීන් නොයෙකුත් තාඩන පීඩන එල්ල කරන බව පසුගිය සති කිහිපය පුරා මාධ්‍ය විසින් වාර්තා කරන ලදි. මාපියන් ව්‍යාජ අපරාධ චෝදනාවලට හසු කිරීම, ඒ අනුව සිරගත වන අයගේ දරුවන් වන බාලයන් දුරස්ත පෙදෙස්වල එතරම් පහසුකමින් නොයුත් ළමා සුරැකුම් මධ්‍යස්ථානවල ගාල් කිරීම වැනි චෝදනා එරටට එල්ල විය. මේ තත්ත්වය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ දී පවා දෝෂ දර්ශනයට ලක් වූ අතර අමෙරිකානු පුරවැසියන්ගේ ද විරෝධය ඊට එල්ල විණි. අවසානයේ ඒ පිළිවෙත අත්හැර දමන්නට ට්‍රම්ප් පරිපාලනයට සිදු විය.
මේ සිද්ධියද ඇතු`ඵව පසුගිය මාසය පුරාවට ම සරණාගතයන් පිළිබඳ විවිධ මාතෘකා ඔස්සේ මාධ්‍යවල පුවත් පළ වී තිබිණි. ඒ සෑම පුවතක්ම කියවනවිට සිතට පිවිසුණු කරුණු කිහිපයක් තිබිණි. ඉන් පළමුවැන්න නම් මේ වනවිට සරණාගත ප්‍රශ්නය අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, යුරෝපයේ රටවල් මෙන් ම ඇල්ජීරියාව වැනි අප්‍රිකානු රාජ්‍යයන්ට ද දැඩිව බලපා ඇති බවයි. එසේ ම එක්සත් ජාතීන්ට එයින් බරපතළ අභියෝග කිහිපයකට ම මුහුණ දෙන්නට සිදුව ඇති බව ද පැහැදිලි ය. අනෙක් පසින් මේ අනවසර සංක්‍රමණිකයන් – විශේෂයෙන් ම මුහුදු මගින් එන්නවුන් – මුහුණ දෙන ජීවිත අවදානමයි. එසේ ම සරණාගත කඳවුරුවල දී ඔවුන්ට එල්ල වන දැඩි හිංසනයයි. ඇතැමුන්ට ජලය ලබා ගැනීම පවා අතිදුෂ්කර බව පැවසෙයි. ඊට අමතරව පුරුෂයන්ට පහරදීම් ස්ත්‍රීන්ට සහ ළමුන්ට ලිංගික හිංසා කිරීම් ද වාර්තා අතර වෙයි.
නිරීක්‍ෂිත තවත් විශේෂ කාරණයක් නම් සිය මව්බිම හැර පියා වෙනත් රටකට පැන ගන්නට උත්සාහ දරන්නන්ගෙන් බහුතරය ඉස්ලාම් ලබ්ධිකයන් වීමයි. ඔවුන් ස්ථාපනය වන්නට උත්සාහ කරන්නේ ඉස්ලාම් ලබ්ධිය රාජ්‍යාගම කැරගත් රටවල නොව වෙනත් ආගම් අදහන රටවල ය. එහෙත් මුස්ලිමුන් වන රොහිංයා සරණාගතයන් මීට වෙනස් ය. ඔවුන්ගේ අපේක්‍ෂාව තවත් ඉස්ලාම් රටක් වන බංග්ලාදේශයට පැන ගැනීමයි. ඊට හේතුව සමහරවිට ඔවුන්ට පීඩනය එල්ල වනුයේ මියැන්මාර් බෞද්ධයන්ගෙන් නිසා විය හැකි ය.
එසේ ම අමෙරිකාවට එන සංක්‍රමණිකයන් ද බහුතරය එන්නේ මුස්ලිම්රටවලින් නොව යාබද රාජ්‍යවලිනි.
මියැන්මාරය පාලනය කරන අවුන් සාන් සූ-කීට පිරිනමන ලද සාමය සඳහා පිරිනැමුණු නෝබල් ත්‍යාගය ආපසු කැඳවන්නට ය කියා ලොව පුරා මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින බලගතු පුද්ගලයන් සහ සංවිධාන විසින් නෝබල් කමිටුවෙන් කලකට පෙර ඉල්ලා සිටින ලදි. රොහිංයා සරණාගතයන්ට එරට හමුදා සහ පොලිස් මෙන් ම සිවිල් ආරක්‍ෂක සංවිධානවල ක්‍රියාධරයන් සලකන තුච්ඡ ආකාරයත් රාජ්‍ය නායිකාව ලෙස ඇය ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමත් නිසා ය ඒ.
මේ අතර අමෙරිකා ජනාධිපතිවරයා විසින් ඉරානය, ඉරාකය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව සහ යේමනය යන මුස්ලිම් රටවලින් පැමිණෙන සංක්‍රමණිකයන්ට සීමා පැනවීම සඳහා නිකුත් කළ අංක 13769 දරන විධායක නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කිරීමද පසුගියදා සිදුවිය. ඒ නියෝගය රටේ සාමාන්‍ය නීතියට මතු නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා පටහැනි බවට ප්‍රාන්ත අධිකරණ කිහිපයකින් දුන් තීන්දු එමගින් අලංගු වනු ඇත. මෙය ට්‍රම්ප් ජනාධිපතිවරයා ලද විශාල ජයග්‍රහණයක් බව මාධ්‍ය වාර්තා කැර තිබිණි. සංක්‍රමණිකයන්ගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන මේ නියෝගයට එරෙහිව නිහඬ විරෝධතා දැක්වූ බව සඳහන් ය.
පසුගිය ජුනි 23 සෙනසුරාදා ජර්මනියේ සිට ඉතාලි වෙරළ දක්වා සරණාගතයන් 239ක් රැගත් ලයිෆ්ලයින් නමැති මගී ප්‍රවාහන නැවට සිය රටේ වරායකට පිවිසෙන්නට ඉතාලිය අවසර දුන්නේ නැත. පසුව එය යුරෝපා සංගමයේ ඉල්ලීම පරිදි මෝල්ටාව විසින් භාර ගන්නා ලදි. ඊට සති දෙකකට පමණ පෙර සරණාගතයන් 629 රැගෙන ආ ඇක්වේරියස් නමැති එබඳුම නෞකාව ද ඉතාලිය විසින් භාර නොගන්නා ලදි. මේ කාරණය සම්බන්ධයෙන් ඉතාලිය සිටින්නේ කෝපයෙන් බව පැවසේ. මන්දයත් ජර්මනිය සහ ප්‍රංශය වැනි රටවල් ඒ රටවලට කඩා පාත්වන සරණාගත ප්‍රවාහය සිය රටට හරවා එවන බැවිනි.
යුරෝපයට පැමිණෙන මේ සරණාගත බහුතරය එන්නේ සිරියාවෙනි. ඊළඟට ලෙබනනයෙනි. අරාබි වසන්තය (Arab Spring) යනුවෙන් හැඳින්වෙන අරාබිකරයේ වූ නැගී සිටීම් සහ කැරලි කෝලාහල නිසා ඒ රටවල ජන ජීවිත සපුරාම උඩු යටිකුරු වූ අතර ජන ජීවිතය අඩාල විය. මේනිසා රැකවරණ සොයා පලා යන්නන් ශීඝ්‍රයෙන් වැඩි විය. එහෙත් මොවුන් එසේ පලා යන්නේ සිය මානව හිමිකම් උල්ලංඝනය වීම් නිසා නොව ආර්ථික පිළිසරණ සොයා බව ද පැවසේ. යාබද රාජ්‍යවලින් අමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වන බහුතරය එසේ බව ජනාධිපති ට්‍රම්ප් කියයි. ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශයෙන් ද සෑහෙන පිරිසක් යුරෝපාකරයට අනවසරයෙන් සංක්‍රමණය වෙති.
මෙලෙස ආර්ථික පිළිසරණ සොයා එන්නවුන් භාර ගැනීම යුරෝපා රටවලට වාසිදායක විය. මන්දයත් ඔවුන්ගෙන් අඩු මිලට ශ්‍රමය ලබා ගත හැකි බැවිනි. එහෙත් ඒ සමග ත්‍රස්තයන් ද පැමිණීම නිසා එය තුවාලයක් බවට පත් විය. දැන් එය ඒ රටවල සමාජ දේහයේ පැසවමින් තිබෙයි.
ඉහත සඳහන් සිද්ධිවල දී සරණාගතයන්ට දැඩි පීඩා විඳින්නට සිදුව තිබිණි. මුහුදේ ම දින කිහිපයක් රැඳී සිටින නැවකට ආහාර සහ ජලය හිඟ වන බව අමුතුවෙන් කියන්නට දෙයක් නොමැත. මේ නැව්වල ගැබ්බර ස්ත්‍රීන් මෙන් ම අතදරුවන් ද සිටින බව වාර්තාවේ. ඔවුන් ගැන මානුෂීය වශයෙන් බැලීම එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමට පැවරී ඇත. එහෙත් ඒ කොමිසමට විධාන කිරීමේ බලයක් නොමැති බව සියල්ලෝම දනිති.
මුහුදු මගින් එන සරණාගතයන් එසේ එන්නේ මරණය පෙනි පෙනී ය. මුහුදු ගමනේ දී මරණයට පත්වන මිනිසුන් පිළිබඳ දර්ශන අන්තර්ජාතික මාධ්‍යවල නොපෙන්වන දවසක් නැති තරම් ය.
අනවසර සංක්‍රමණිකයන්ට අදාළව තවත් අවුල්සහගත කරුණු තිබේ. ඉන්දියානුවන් ලක්ෂ හතරක් පමණ අමෙරිකා එක්සත් ජනපදය තුළ සංක්‍රමණික තත්ත්වයෙන් හිඳිමින් උසස් අධ්‍යාපනය ලබන බවත් අමෙරිකා රජය විසින් සංක්‍රමණිකයන්ට එරෙහිව ගෙනයන ක්‍රියාමාර්ග නිසා ඔවුන්ට සිය අධ්‍යාපන කටයුතු අත්හැර දමා ආපසු එන්නට සිදුවිය හැකි බවත් ඒ පුවතේ සඳහන් ය. එබඳු සංක්‍රමණිකයන් විසින් විරෝධතා ව්‍යාපාරවල යෙදෙනු පසුගිය සතියේ දැකගත හැකි විය.
ශ්‍රී ලංකාවෙන් ද අනවසර ලෙස සංක්‍රමණය වූ සෑහෙන පිරිසක් අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ ස්කැන්ඩිනේවියන් රටවල පුරවැසිභාවය ලබා ගත් බව පසුගිය සමයේ ප්‍රචලිත විය. ඔවුන් බොහෝ දෙනා එලෙස ගියේ දේශපාලන අනාථයන් ලෙස ය. ඒ අතරින් සමහරෙක් ඒ රටවල ස්ථිර පුරවැසිභාවය ලබා ගත් අතර ඇතැම්හු ද්විත්ව පුරවැසියන් ය. ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදයේ, කැනඩාවේ නගරවලත් ලන්ඩන් සහ ජිනීවා වැනි නගරවලත් විරෝධතා ව්‍යාපාරවල නිරත වන්නේ මේ අතරින් දෙමළ ඩයස්පෝරාව ලෙස හැඳින්වෙන අයවලුන් ය.
අනවසර සංක්‍රමණිකයන්ගේ ප්‍රශ්නය මේ වනවිට අමෙරිකානු රටවලට සහ යුරෝපයට දරා ගත හැකි මට්ටම ඉක්මවා තිබෙන බව පැහැදිලි ය. එහෙත් තවමත් ඇතැම් රටවල මිනිස්සු ජීවිත අවදානම පවා නොතකා ස්වර්ගය කරා යන්නාක් මෙන් සිය ජන්ම භූමිවලින් පිටත් ව යති. ඒ යන රට නරකයක් වුවත් සිය රටට වඩා හොඳ බව සමහරවිට ඔවුන් සිතනවා ඇත.