සරසවි පියසමර: විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙහි සාකල්‍යවාදී හරය නැවත සොයා ගැනීම

ලියනගේ අමරකීර්ති
මහාචාර්ය
සිංහල අධ්‍යයනාංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

(පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය වාර්ෂික පර්යේෂෙණ සමුළුවේ ආරම්භක උත්සවයේදී ජූනි මස 8 වැනිදා පැවැත් වූ මුඛ්‍ය දේශනය ඇසුරිණි)
යම් කිසි නිල කටයුත්තකට මා හමුවීමට පැමිණි ශිෂ්‍යයෙකු තමා “අරූ එකේ” ඉන්නා බව කීවේය. “අරූ එක” යනු අරුණාචලම් නේවාසිකාගාරයයි. එම නේවාසිකාගාරය නම් කරනු ලැබ ඇත්තේ පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ නමිනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටිය අසලම ඇති ඒ නේවාසිකාගරය සෑම පීඨකටම පාහේ පහසුවෙන් යා හැකි ලෙස පිහිටා ඇත. එය පැරණිම නේවාසිකාගාරවලින් එකකි. තමන් “අරූ එකේ ඉන්නා” බව කියන බොහෝ දෙනෙක් ඒ “අරූ” කවුදැයි නොදනිති. “අරූ” යනු සිංහල කටවහරේ එන සර්වනාමයක් යැයි සිතන අයද ඉන්නට පුළුවන. ඒ අරූ ගැන සංවාදය සිදු වූයේ මෙම දේශනය පිණිස ලංකා විශ්වවිද්‍යාලයේ ආරම්භය ගැන කියවමින් සිටින විටය. “අරූ” ගැන මට සිහි කළ “මූ” කවුදැයි නොකියා මා “අරූ” සම්බන්ධ ගවේෂණය කරන්නේ සියලු “මූලාගේ” අවබෝධය පිණිසය.

ලංකාවේ විශ්වවිද්‍යාලයක් පිහිටුවිය යුත්තේ මන්ද යන කාරණය එකල සාකච්ඡාවට ලක් වූයේ කෙසේද යන්න ඒ මුල් සාකච්ඡා වෙතටම ගොස් වටහා ගන්නට මට අවශ්‍ය විය. පොන්නම්බලම් හැඳින්වෙන්නේ ලංකා විශ්වවිද්‍යාලයේ පියා ලෙසටය. එහෙයින් මෙම දේශනය ඒ පීතෘවරයාද ලංකාවේ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමේලා අනෙක් පීතෘවරුන් සහ මාතෘවරුන් විශ්වවිද්‍යාලය නම් අධ්‍යාපන ආයතනය වටහාගත් ආකාරය වෙත අවධානය යොමු කරන තැතකි. එහෙත් මා මෙම දේශනයේදී අප විශ්වවිද්‍යාලයේ නිර්මාතෘද කීර්තිධර ප්‍රථම උපකුලපතිවරයාද වන ශ්‍රීමත් අයිවර් ජෙනිංන්ස් ගැන කිසිවක් නොකියමි. ඔහු විශ්වවිද්‍යාලය යනු කුමක්ද යන්න ගැන දැරූ විශිෂ්ට අදහස් ඉතා ප්‍රකටය. ඒවා ගැන මෑතකදීද ලියවිණ; කියවිණ. අපි අයිවර් ජෙනිංන්ස් මැතිඳුන්ටත් පෙර ලංකා විශ්වවිද්‍යාලය ගැන අදහස ගොඩනැගූ පීතෘවරයෙකු අනුස්මරණය කරමු.(ලංකා විශ්වවිද්‍යාලය ගොඩනැගීම පිළිබඳ මුල් කාලීන සාකච්ඡා සියල්ලටම පාහේ සහභාගී වී ඇත්තෝ පුරුෂයෝය. ඒනිසා ලංකා විශ්වවිද්‍යාලයේ “පීතෘවරුන්” යන යෙදුම මෙම දේශනයේ නිතර යෙදීම ඓතිහාසික වශයෙන්ද වැරදි නොවේ)

සාරගර්භ පොතක්

මෙවන් පර්යේෂණයකදී ඉතා ප්‍රයෝජනවත් පොතක් මෑතකදී පළ විය. පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපතිවරයෙකුව සිට මෑතකදී විශ්‍රාම ගිය ඒ. ටී. අල්විස් මහතා විසින් ඒ පොත සම්පාදනය කෙරිණි. ලංකා විශ්වවිද්‍යාලයේ ආරම්භයට සහ විකාශනයට අදාළ සියලුම ලිපිලේඛන, රැස්වීම් වාර්තා, පාර්ලිමේන්තු විවාද පිටු දෙදහස් පන්සියයක් වන මේ ග්‍රන්ථයෙහි සංග්‍රහ වේ. මේ වූකලි අල්විස් මහතාට සම්මාන උපාධියක් පිදිය යුතු තරම් වන ශාස්ත්‍රීය ව්‍යායාමයකි. පොතපත ගැන ලාලසාවෙන් යුතු පුස්තකාලයාධිපතිවරුන් එන්න එන්නම දුර්ලභ වන මෙකල අල්විස් මහතා සපයා ඇති ආදර්ශය ආනුභාව සම්පන්නය. මෙම රචනය පිණිස මූලික වශයෙන් මූලාශ්‍ර කර ගැනෙන්නේ අල්විස් මහතාගේ එම මහාර්ඝ ග්‍රන්ථයයි. (Alwis, A. T. Peradeniya: The Founding of a University. University of Peradeniya Publication, 2013. )  අර ශිෂ්‍යයා හුදු නමක් ලෙස නොසැලකිලිවත් සැහැල්ලුවකින් ඉසිරූ “අරූ” යන නම හිමි පොන්නම්බලම් අරුණාචලම් යනු ලංකාවේ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම පිණිස ගෙන ගිය ව්‍යාපාරයේ පීතෘවරයාය. ඒ නිසා ඔහු ලංකා විශ්වවිද්‍යාලයේම පීතෘවරයා යැයි කීමද වරදක් නැත. ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම පිණිස පැවැති පළමු රැස්වීම 1906 වර්ෂයේ ජනාවාරි 19 වැනි සිකුරාදා පැවැත්විණි. ආනන්ද කුමාරස්වාමි, ඩබ්ලිව්. එෆ්. ගුණවර්ධන මුදලිතුමා ඇතුළු ප්‍රකට උගතුන්ගේ අත්සනින් යුතු ලිපියකින් කැඳවන ලද ඒ සභාව අමතමින් අරුණාචලම් දේශනයක් කළේය. ඒ දේශනය විශ්වවිද්‍යාලය යනු කුමක්ද යන ප්‍රශ්නය සලකා බලන අද දවසේ නැවතත් අපගේ අවධානයට ලක් විය යුතුය. ඒ. ටී. අල්විස් මහතා සම්පාදනය කළ මහා ග්‍රන්ථයේ මුලින්ම එන්නේ අරුණාචලම්ගේ දේශනයෙහි පිටපතයි.

විශ්වවිද්‍යාලය සහ මානව ශාස්ත්‍ර අධ්‍යාපනය

මීට අවුරුදු එකසිය දොළහකට පෙර කොළඹ පිටකොටුවේ පුස්තකාල ශාලාවක පැවැත්වුණු අරුණාචලම්ගේ දේශනය වෙත අප පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට නැවත යන්නේ කවර පසුබිමකද යන ප්‍රශ්නයද සිහිකරගත මනාය. ලෝකය පුරාම පාහේ විශ්වවිද්‍යාලය යන සංකල්පයත්, විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යාපනයක් තර්ජනයට ලක්ව තිබේ. සාහිත්‍ය කලා උගන්වන ආචාර්යවරයෙකු ලෙස මෙම අභියෝගයට මුහුණ දෙන විවිධාකාර ක්‍රම පරිකල්පනය කරන්නට සිදු වේ.
ලෝකයේ සෑම තැනකම පාහේ මානව ශාස්ත්‍ර විෂයයන් තර්ජනයට ලක් වී තිබේ. එනම් සාහිත්‍යය, දර්ශනය, ඉතිහාසය, භාෂා අධ්‍යයනය වැනි විෂයයන් උගන්වන්නේ මොනවාටද යන ප්‍රශ්නය නිතර අසනු ලැබේ. (මෙම කාරණය මවිසින් පරිවර්තනය කරන ලද කලාව කුමකටද? ඉතා හොඳින් සාකච්ඡා වේ.) ස්වාභාවික විද්‍යා විෂයයනුත්, වෛද්‍ය-ඉංජිනේරු වැනි වෘත්තීය විෂයනුත් උගත යුතු බව ස්වභාවිකවම මෙන් පිළිගැනේ. ඒ නිසා ඒවා උගන්වන්නේ කුමක් පිණිසද යන ප්‍රශ්නය අසනු නොලැබේ. මානව ශාස්ත්‍ර විෂයවල තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. ඒවා ඉගැන්වීමෙන් රටට ලැබෙන්නේ මොනවාද යන ප්‍රශ්නය නිතර අසනු ලැබෙන අතර ඒ විෂයයන් ඉගැන්වීමේ පහසුකම් වර්ධනය කළ යුතුය වැනි අදහසක් කවදාවත් ඇති නොවේ. ආර්ථික වර්ධනය ඉලක්ක කරගත් අධ්‍යාපනය අපගේ විශ්වවිද්‍යාලවලද රජ කරන අදහසයි.
මේ අදහස නිසා මානව ශෘස්ත්‍ර විෂයයන් අධ්‍යාපනයෙහි කොටසක් සේ වර්ධනය වීමද ඇණහිටියි. මානව ශාස්ත්‍ර විෂයයන් මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ වැදගත් කොටසක් යැයි ඒත්තු ගිය ඇතැම් ආචාර්යවරු ඒ කාරණය අනෙක් අයටද ඒත්තු ගැන්වීමෙහිලා බුද්ධිමය අරගලයක යෙදෙති. සාමාජයෙන් එන අර පීඩනයට මුහුණ දීමේ ශක්තිය නැති අය හීනමානයකින් මෙන් සැඟවී සිටිති. තමන්ගේ සේවා කාලය අවසන් වී විශ්‍රාම ගොස් සැඟවී ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව මෙනි. තවත් අය ජාතික විභාග සමත් කරවීම පිණිස පෞද්ගලික ටියුටරි පවත්වා අමතර මුදල් උපයති. ක්‍රමයෙන් වුවත් වේගයෙන් ගරා වැටෙන පාසැල් පද්ධතිය මෙවන් පිරිස්වල පැවැත්මට දායක වේ. එසේම මෙවන් පිරිස් ටියුෂන් පද්ධතිය වර්ධනය කරමින් පාසැල් පද්ධතියෙහි පරිහාණියට පෙරලා දායක වෙති.

එහෙත් මානව ශාස්ත්‍ර විෂයයන්ගේ චිරපැවැත්ම සහ මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ වර්ධනයට ඒවාගේ අත්‍යවශ්‍යතාව වෙනුවෙන් අරගල කරන පිරිසක් බිහි විය යුතුය. ඒ අරගලය අධ්‍යාපනයේ ආරක්ෂාව සඳහා වන අරගලය තුළම පිහිටුවා ගැනීමටද සිදු වේ.

එපමණක් නොව විශ්වවිද්‍යාලය පිළිබඳ සම්භාව්‍ය අදහස නැවත ගවේෂණය කොට අපගේ විශ්වවිද්‍යාලවල ආරම්භක පීතෘවරුන් සහ මාතෘවරුන් එවන් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමෙන් අපේක්ෂා කළේ කුමක්ද යන්න නැවත සොයා ගැනීමත්, එමගින් විශ්වවිද්‍යාලයේ නියම හරය පිළිබඳ අදහස පෘථුල කරගැනීමත් අවශ්‍ය වේ. අපගේ විශ්වවිද්‍යාලයේ ආරම්භක පීතෘවරයෙකු වන අරුණාචලම් විශ්වවිද්‍යාලය යන්නෙන් කුමක් අදහස් කළේද යන්න සොයා යන්නේ යටකී අරමුණ ඇතිවය. ඒ සොයා යාමේ අරමුණ “අරූ එකේ” ශිෂ්‍ය මානවකයන්ට “අරූ කවුදැ”යි කියාදීමේ අරමුණ සමග බැඳී තිබීම එක අතකින් දෛවෝපගතය.
මීට අවුරුදු එකසිය දොළහකට පෙර අරුණාචලම් සිය දේශනය ආරම්භ කරන්නේ යටත්විජිත ආණ්ඩුවත්, ක්‍රිස්තියානු සහ බෞද්ධ ආයතනයත් ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය නැංවීමට කළ දේවල් අගය කරමිනි. එහෙත් ඒ වන විට බි්‍රතාන්‍ය පාලනය අවුරුදු සීයක් තරම් පැවතියද ලංකාවේ වැඩිහිටි පිරිමින්ගේ සාක්ෂරතාව 35%ක් පමණකියි සිහිපත් කරන්නට අරුණාචලම් නොපැකිලෙයි. ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය විය යුතු යැයි ඔහු තර්ක කරයි. (ලංකාවේ බි්‍රතාන්‍ය පාලනයේ මුල් දශක කිහිපයේම අධ්‍යාපනය පිළිබඳ එතරම් අවධානයක් යොමු කර නැති බව පෙනේ. 1796 දී බි්‍රතාන්‍යයන් ලංකාවට එන විට බෞද්ධ අධ්‍යාපනයද මහ නුවර රාජධානිය ආශ්‍රිත ප්‍රදේශයට පමණක් සීමා වී පැවති බවද කියවේ. ලන්දේසීන් ආරම්භ කළ මිෂනාරි පාසැල්ද ඉතා කුඩා මුහුදු බඩ ප්‍රදේශයකට පමණක් සීමා වී තිබේ. සුමතිපාල, කේ. එච්. එම්. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය: 1796-1965. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තන මේන්තුව, 1993.)

උපයෝගීතා තර්කනයෙන් ඔබ්බට

යටත් විජිතවාදීන් අධ්‍යාපනය සැලකූයේ ඉතා උපයෝගීතා අර්ථයකින් බව ප්‍රකට කරුණකි. යටත්විජිත පාලනය පහසුකර ගැනීමට අවශ්‍ය කීකරු සේම කාර්යක්ෂම සේවක පිරිසක් ඇති කර ගැනීම අධ්‍යාපනයෙහි අරමුණ වූ බව මැකෝලේ ආදිපාදවරයා වැනි අයගේ ප්‍රකාශවලිනුත් යටත්විජිත අධ්‍යාපනය ගැන විවිධ විචාරවලිනුත් පැහැදිලි වේ. (බි්‍රතාන්‍යයන් යටතේ විවිධ ක්‍රිස්තියානි මිෂනාරි ආයතන විසින් පවත්වාගෙන යන ලද පාසැල්වලට යටත්විජිත ආණ්ඩුවේ ආධාර ලැබුණු අතර ඒ අධ්‍යාපනයෙහි මූලික අරමුණ වී ඇත්තේ ක්‍රිස්තියානි ආගම ස්වදේශිකයන් අතර පැතිරවීම බව බි්‍රතාන්‍ය මිෂනාරිවරුනුත්, ජේම්ස්ද අල්විස් වැනි දේශීය උගතුනුත් කළ ප්‍රකාශවලින් පෙනේ(සුමතිපාල, 1993.)
එහෙත් මනුෂ්‍ය විඥානය යනු එසේ හුදෙක් උපයෝගීතා අර්ථයකින් පමණක් අල්ලා මෙල්ල කරගත හැක්කක් නොවේ. අධ්‍යාපනය චින්තනයද ප්‍රබෝධ කරයි. මනුෂ්‍යයා යනු තර්කඥානය ඇත්තෙකි. ඒ නිසා කිසිම යටත්විජිතයක සපුරා දමනය වුණු සේවක පිරිසක් හෙවත් රොබෝවරුන් වැනි සේවක පිරිසක් ඇති කර ගැනීමට ඉඩ ලැබුණේ නැත. නියම අධ්‍යාපනය මනුෂ්‍ය විමුක්තිකාමය දල්වාලයි. අරුණාචලම් සිය කතාවේදී උපුටා දක්වවන යටත්විජිතභාර රාජ්‍ය ලේකම්ගේ ප්‍රකාශයකින් කියවෙන්නේ මෙවැන්නකි: රටක සෑම දරුවෙකුටම තම ජීවිතය කැටයම් කර හැඩගස්වා ගැනීමට අවශ්‍ය ආයුධ සැපයීම ජාතික කාර්යයකි. මේ සැපයෙන්නේ අධ්‍යාපනයෙනි. ඒ වූකලි අධ්‍යාපනය ගැන හුදෙක් උපයෝගීතාවාදී ආකල්පයක් නොවේ.

අනෙක, සෑම තැනකම පාහේ යටත්විජිත අධ්‍යාපනයට ස්වදේශිකයෝද දායක වූහ. යටත්විජිත අධ්‍යාපනය හුදෙක් බලෙන් පැටවීමක් නොව සංවාදයක ඵලයකි. එසේම සරණංකර සංඝරාජ හිමි වැනි අය සෑම යටත්විජිතයකම සිටියහ. ඔවුහු යටත්විජිත අධ්‍යාපනයට සමාන්තරව හෝ විකල්ප වශයෙන් ස්වදේශික අධ්‍යාපන පුනරුදයකටද දායක වූහ. ලංකා විශ්වවිද්‍යාලයේ ආරම්භය ගැන බොහෝ ලිපි ලේඛනවලින් පෙනෙන්නේ අපගේ විශ්වවිද්‍යාලය ඇති කර ගැනීමෙහිදී පැවති සංවාාදාත්මක ස්වරූපයයි. එය මූලික වශයෙන් යටත්විජිත අධ්‍යාපනයක් බව ඇත්තය. එහෙත් එය හුදෙක් යටත් විජිතවාදියාගේ උපයෝගීතා තර්කනයට යටත් වූවක් නොවේ.
අපි නැවතත් අරුණාචලම් වෙත යමු. ජාතික ප්‍රගතිය උදෙසා ප්‍රාථමික අධ්‍යාපනය අත්‍යවශ්‍ය යැයි කියන ඔහු ඒ අධ්‍යාපනයහෙි උපරිතලය ලෙස විශ්වවිද්‍යාල අධ්‍යාපනය පැවතිය යුතු බව පෙන්වා දෙයි. දැනුම පිළිබඳ පිපාසයකින් යුතු තරුණ පරම්පරාවක් බිහිවීමත්, ඔවුන් ලෝක ප්‍රගතිය වෙත දායක විය යුතු අන්දමත් ගැන අරුණාචලම් කතා කරන්නේ හුදෙක් උපයෝගීතා අර්ථයකින් නොවේ. එපමණක් නොව එවකට ලෝකයේ විශිෂ්ටතම විශ්වවිද්‍යාල සංස්කෘතියක් ඇති රටක් ලෙස අරුණාචලම් නිදර්ශනයට ගන්නේ කිසිම යටත්විජිතයක් නොතිබුණු යුරෝපීය රටක් වන ජර්මනියයි. චීනය සහ ජපානය වැනි ආසියාතික රටවලින් ජර්මනියේ විශ්වවිද්‍යාලවලට ගොස් දැනුමින් සන්නද්ධ වන තරුණයන් ගැනද එම දේශනයේදී අරුණාචලම් කතා කරයි. ඔහුගේ දේශනයෙහි මුල් කොටසම වැය වන්නේ දැනුම පිළිබඳ ලාලසාවෙන් යුතු වූද බුද්ධිමය වර්ධනය වෙත කැපවූවාවූද සමාජයක් ගැන චිත්‍රණයක් ඉදිරිපත් කරන්නටය. එවක ස්විට්ලර්ලන්තයේ රාජ්‍යතාන්ත්‍රිකයෙකුගේ කියුමක් යොදා ගනිමින් අරුණාචලම් සිය දේශනයේ පෙලඹවීමේ බලය වැඩි කරයි. මේ ඒ කියුමයි: “අපගේ දරුවන් වැඩිදෙනෙකු උපදින්නේ දුප්පතුන් ලෙස වුවද අප ඔවුන් අමනෝඥ මුග්ධයන් ලෙස හැදී වැඩෙන්නට ඉඩ නොලැබෙන සේ අප ඔවුන් රැක බලා ගනිමු.” ‘දුප්පත් ජනතාවක් වන ලංකාවේ අපද’ එම ප්‍රකාශය සිතට ගතයුතු බව අරුණාචලම් කියා සිටියි.
ලංකාවට නූතන අධ්‍යාපනයද, විශ්වවිද්‍යාලයද අවශ්‍ය නැතැයිද ඒවා නොමැතිව ශ්‍රේෂ්ඨ මිනිසුන් බිහිකර ඇතැයිද තර්ක කළ ඇතැම් ස්වදේශිකවාදී අදහස්වලට අභියෝග කරන අරුණාචලම් නූතන ලෝක පුරවැසියන් සේ සාර්ථකවන්නටත්, ලෝක සාමය සඳහාත් අධ්‍යාපනයෙහි වැදගත්කම අවධාරණය කරයි. එහෙත් හුදෙක් රැකියාවක් පිණිසම නොව ජීවන මාර්ගයක් හෙවත් ජීවන විධියක් ලෙස තමා උසස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින බව ඔහු සිය ආරම්භක දේශනයේදීම තර්ක කිරීම සිත්ගන්නාසුලුය. ඔහු එහිදී අපගේ අවධානයට ලක් කරන්නේ ජීවන වටිනාකම් හා සම්බන්ධ අධ්‍යාපනයයි. ස්ත්‍රීන් සහ පුරුෂයන්ගේ චරිත සංවර්ධනය කරන, ආධ්‍යාත්මය පොහොසත් කරන අධ්‍යාපනයක් ගැන ඔහු කතා කරයි.

එසේම නූතන දැනුම සහ තාක්ෂණය අනවශ්‍ය යැයි කියන ස්වදේශිකවාදීන්ට පිළිතුරු ලෙස අරුණාචලම් තවත් අර්ථවත් නිරීක්ෂණ කිහිපයක් කරයි: නූතන තාක්ෂණය අත්හැර දැමීමෙන් අපට සෙසු ලෝකය ගමන් කරන වේගයට ළං විය නොහැකිය. ඒ නිසා ඒ තාක්ෂණික දැනුම ලැබෙන පිළිගත් අධ්‍යාපන විධික්‍රම සියලු දෙනාට අත්පත් කරගත හැකි දෙයක් බවට පත් කළ යුතුය. “දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට” එකී අධ්‍යාපන අවස්ථා විශේෂයෙන් අත්පත් කර දිය යුතු යැයි තර්ක කරන ඔහු “අපේ හොඳම ශිෂ්‍යයන්” සිටින්නේ දුප්පතුන් අතර යැයිද කියයි. අධ්‍යාපනය සියලු දෙනාට සමාන අවස්ථා ඇති කරන බවද එසේ කළ යුතු බවද අරුණාචලම් විශ්වාස කළේය. කුල ක්‍රමයද ආගමද විසින් තීරණය කෙරුණු අධ්‍යාපනය බිඳ වැටී ඇති නිසා, කුලය විසින් හෝ ආගම විසින් පනවන ලද “වගකීම” පිළිබඳ අදහස බිඳ වැටී තිබෙන බවත්, ස්ත්‍රීන් “අයිතිය” පිළිබඳ අදහස වටහා ගනිමින් සිටින බවත් පෙන්වා දෙන ඔහු එවන් අවස්ථාවක නූතන සංස්කෘතිය ගොඩනැගීම පිණිස අධ්‍යාපනය අවශ්‍යය යන කාරණය ඔහු ඉඟි කරන බව පෙනේ.
දැනුමින් යුතු, තර්ක ශක්තියෙන් සන්නද්ධ, කැපවීමෙන් සහ ධෛර්යෙන් යුතු මනුෂ්‍යයන්ගේ දීප්තිමත්ම ආභරණය වන සිවිල් ගුණධර්මවලින් ආවේශයට පත් පිරිසක් බිහිකර ගැනීම විශ්වවිද්‍යාලයේ අරමුණ විය යුතු බව අරුණාචලම්ගේ අදහස විය. සිවිල් ගුණධර්ම යැයි මා සිංහලට නගන්නේ චමඉකසජ ඩසරඑමැ යනුවෙන් ඔහු හඳුන්වන දේය. ඒවා මොනවාදැයි ඔහු ඒ දේශනයේදී නිශ්චිතව නොකියතත් මනුෂ්‍ය ජීවිතය ගැන මැතිව් ආර්නල්ඞ් වැනි අය එංගලන්තයේදී ඉදිරිපත් කළ අදහස් අරුණාචලම්ට බලපා ඇති බව පැහැදිලිව පෙනේ. හුදෙක් ධනය ඉපයීම අධ්‍යාපනයෙහි හරය නොවේ. අරුණාචලම් එය කෙළින්ම කියයි. ප්‍රඥාවන්ත සිතිවිලි සහ යහපත් හැඟීම්වලින් යුතු මුදු මොලොක් සංස්කෘතිකවත්භාවය උදෙසා අධ්‍යාපනය ලැබිය යුතු බව ඔහු කියයි. එසේම චිත්තප්‍රීතිය සහ වගකීම පිළිබඳ අදහසින් යුතු පුරවැසි ජීවිතයක් ලංකාවෙහි ගොඩනැගීමට විශ්වවිද්‍යාලයක් අවශ්‍ය බව ඔහු වක් මගින්ද සෘජු වචනයෙන්ද පෙන්නා දෙයි. මනස වගා කිරීම හා සම්බන්ධ ඉපැරණි ග්‍රීක අදහස ඔහු අපට සිහි කරයි. මිනිස් මනස යනු අදහසින්, දැනුමින්, වින්දන ශක්තියෙන් භාවමය සුපුෂ්පිතතාවෙන් යුතු උද්‍යානයක් බවට වගා කළ යුත්තකි. එය ග්‍රීසියට පමණක් නොව බොහෝ ශිෂ්ටාචාර වෙත දිවෙන පැරණි අදහසකි. එය අමතක වී ඇත්තේ ධනවාදී උපයෝගීතාවෙන් යුතු නූතන අධ්‍යාපන කර්මාන්තයටය.

අපගේ විශ්වවිද්‍යාලය

අලුතින් ආරම්භ කරන්නට යන විශ්වවිද්‍යාලයේ වියදම් කවුරු දැරිය යුතුද යන ප්‍රශ්නය එවක නැගී තිබුණ නිසාදෝ අරුණාචලම් ඒ ගැනද කතා කරයි. එකල යටත් විජිත බාර රාජ්‍ය ලේකම් ජෝශෆ් චැම්බර්ලේන්ගේ කියුමක් උපුටා දක්වන අරුණාචලම් මෙසේ කියයි: “උසස් අධ්‍යාපනය පිණිස ආයෝජනය කරන මුදල් යනු ජාතික ආයෝජන අතරින් හොඳම ආයෝජනයයි.”

අලංකාරික ශක්තියෙන් පොහොසත්, පෙලඹවීමේ බලයෙන් උණුසුම්, පොන්නම්බලම් අරුණාචලම්ගේ එම දේශනය අවසන උද්යෝගී අත්පොළසන් නැගී තිබේ. ඒ පිටකොටුවේ පුස්තකාල ශාලාවේදීය. ඒ අත්පොළසන් නාදය දැන් මැකී ගොස්ය. එහෙත් ඒ උද්යෝග කර කථාවෙන් ඇරඹුණු ගමන ලංකා විශ්වවිද්‍යාලය බිහි කළේය. ඒ ගමනේ අවසානය වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලය හැත්තෑපස් වෙනි සංවත්සරය නොබෝදා(2017) සැමරුවේය. එහෙත් ඒ වන විට අරුණාචලම් නමින් නම් කොට ඇති නේවාසිකාගාරයේ සිටින ශිෂ්‍යයන් බොහෝ දෙනෙකුට අරුණාචලම්ගේ දේශනය ඉංග්‍රීසියෙන්ම කියවා වටහා ගැනීමට හැකියාවක් නැති ඓතිහාසික අවස්ථවක් එළඹ තිබේ. අපගේ අධ්‍යාපනයෙහි අරමුණු පිළිබඳ අපගේ විශ්වවිද්‍යාලයේ ආරම්භක පියවරුන් සතුව තිබූ දෘෂ්ටියෙහි ඇතැම් අංග අප ආ දිගු ගමන තුළදී මග හැරීගොස් ඇති බව එම කරුණින්ද පෙනේ. අරුණාචලම් වැනි අය අපේක්ෂා කළේ දියුණු ද්වීභාෂිකත්වයක් සහිත උගතුන් බිහි කිරීමට බව ලංකා විශ්වවිද්‍යාලයේ ආරම්භය පිළිබඳ සිදු වූ බොහෝ සංවාදවලින් පෙනෙන බැවිනි. අරුණාචලම් එදා අපේක්ෂා කළ මානව හරය පශ්චාත් යටත් විජිත ශ්‍රි ලාංකිකයා තුළ ස්ථාපිත කරන්නට අපගේ අධ්‍යාපනයට හැකිවීද යන්න නැවත සලකා බැලිය යුතුය. විනාශකාරී දූෂිත දේශපාලකයන් රැළක්, සියලු ජනවර්ගවලට අයත් ජාතිවාදී දේශපාලන කණ්ඩායම්, සියලු දෘෂ්ටිවාදවලට අයත් සීමාන්තික පිරිස් අප රට ලේ ගංගාවක් බවට පත් කළහ. ලංකා විශ්වවිද්‍යාලයේ ආරම්භක පීතෘවරුන් මෙවන් යථාර්ථයක් අපේක්ෂා කළේද යන්න අපට පැහැදිලි නැත. එහෙත් සිවිල් ගුණධර්මවලින් යුතු පුරවැසියෙකු නිර්මාණය කිරීම අධ්‍යාපනයෙහි අරමුණ සේ ඔවුන් දුටු බව පෙනේ. අරුණාචලම් සිය දේශනයෙහි එක් තැනක මෙසේ කියයි: ‘බොහෝ විට අපගේ ජීවන අපේක්ෂා වන්නේ වෘත්තීය, සාර්ථකත්වය, මුදල් ඉපයීම, සුඛෝපභෝගී ජීවිතය යනාදියයි. සංස්කෘතිකවත්භාවය, මුදුමොලොක්භාවය යනාදිය නොවැදගත් දේ සේ සලකනු ලබයි. ප්‍රඥාවන්ත සිතුවිලි සහ නිවැරදි හැඟීම් සමග නිරන්තරයෙන් ජීවත්වීම යනු ප්‍රීතිය සහ වගකීම යන මනුෂ්‍ය ජීවිතයට වඩා වැදගත් වන දේ පිණිස දායක වන කාරණාය යන්න අපි වටහා නොගනිමු.’
මෙහිදී අර්ථවත් පුරවැසි ජීවිතයක් පිළිබඳ අධ්‍යාපනයෙහි අර්ථය සහ වැදගත්කම වෙත අරුණාචලම් එළඹෙන ආකාරය අපගේ අවධානයට ලක් විය යුතුය. විශ්වවිද්‍යාලය ආරම්භ කරන්නට පැවති පළමු රැස්වීමේදීම අධ්‍යාපනයේ අරමුණු හැටියට ඔහු ඉදිරිපත් කරන්නේ හුදෙක් ආර්ථික අරමුණු හෝ වෙන යම් උපයෝගිතා අරමුණු නොවේ. සංස්කෘතිකවත් මානව ජීවිතය, වගකීමෙන් යුතු පුරවැසි ජීවිතය යනාදිය අධ්‍යාපනයෙහි අරමුණු ලෙස ඔහු හඳුනාගත් බව අපට පැහැදිලිව පෙනේ.

1906 වර්ෂයේ ජනවාරි 19 වැනිදා ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම පිළිබඳ පළමු සාකච්ඡාව කැඳ වන ලිපියට එවකට ලෝ ප්‍රකට විද්වතෙකු වූ ආචාර්ය ආනන්ද කුමාරස්වාමිද අත්සන් කර තිබුණද ඔහුට ඒ රැස්වීමට සහභාගි වන්නට ඉඩ ලැබුණේ නැත. එම වර්ෂයේ ජනවාරි 01 වැනිදා ඔහු මහ නුවර සිට ඒ රැස්වීමට ලිපියක් ලිව්වේය. ඡේද තුනකින් යුතු එම කෙටි ලිපිය තුළ අනාගත ලංකා විශ්විවිද්‍යාලය කෙසේ විය යුතුද යන්න ගැන ඔහුගේ අදහස ප්‍රකාශ කළේය. ඔහු මෙසේ කීවේය: “දැනට අපට සුදුසු යැයි කල්පනා කෙරෙන උසස් අධ්‍යාපනය යනු පෙරදිග සංස්කෘතිය, සංගීතය, කලාව සහ භාෂා නොසලකා හරින අධ්‍යාපනයකි. ඒ වූකලි හුදෙක් බටහිර සංස්කෘතිය මත පමණක් පදනම් වූ, බටහිර භාෂාවක් ඔස්සේ ලබා දෙන අධ්‍යාපනයකි.” ඔහු තර්කය අඩංගු ඡේදය අවසන් කරන්නේ එවැනි ආකෘතියක විශ්වවිද්‍යාලයක් නැතිවීම වඩා හොඳ බව කියමිනි. ඉක්බිතිව ඔහු ලංකාව වෙනුවෙන් අපේක්ෂා කරන විශ්වවිද්‍යාලය කුමක්ද යන්න සැකෙවින් විස්තර කරයි. “ලංකා විශ්වවිද්‍යාල ස්වාධීන, නේවාසික විශ්වවිද්‍යාලයක් වේ නම්, පෙරදිග සේම බටහිර සංස්කෘතිය අත්පත් කරගන්නට ශිෂ්‍යයෙකුට ඒ විශ්වවිද්‍යාලය තුළ ඉඩ ඇති නම් අප හැකි ඉක්මනින් ඒ විශ්වවිද්‍යාලය ලබා ගනිමු.”
අපට අවශ්‍ය නැත්තේ කවරාකාරයේ විශ්වවිද්‍යාලයක්ද යන්න ආචාර්ය කුමාරස්වාමි නැවතත් අවධාරණය කරමින් සිය කෙටි ලිපිය අවසන් කරයි: ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් දැනට කරගෙන යන ආකාරයේ ඒකාකාරී විභාග පැවැත්වීමේ ආකෘතියෙන් යුතු විශ්වවිද්‍යාලයක් අපට ලැබෙන්නේ නම්, ප්‍රාචීන භාෂා අධ්‍යයනට වඩා ඉහළ සැලකීමක් ග්‍රීක සහ ලතින් වැනි භාෂා සම්භාව්‍ය කේන්ද්‍රකරගත් සම්භාව්‍ය අධ්‍යයනයට ලැබෙන්නේ නම්, අපගේ විශ්වවිද්‍යාලයෙන් ලැබෙන වාසිය සැකසහිත වන අතර එවැනි විශ්වවිද්‍යාලයක් පිහිටුවීම ගැන කණගාටුවීමටද අපට සිදුවනු ඇත.

හුදෙක් යටත් විජිත පාලකයන් අප මත පටවන ඕනෑම වර්ගයේ විශ්වවිද්‍යාලයක් බාර ගැනීමට සූදානම් නැති, විශ්වවිද්‍යාලය යන්න කවරක් විය යුතුද යන්න ගැන පළල් අවබෝධයකින් යුතු පිරිසක් ආරම්භයේ සිටම ලංකාවේ විශ්වවිද්‍යාල ව්‍යාපාරය තුළ හෝ ඒ වටා සිටි බව පෙනෙන අවස්ථා අපමණය. නිදර්ශනයක් මෙසේය. ලංකාවේ විශ්වවිද්‍යාලය කවර ස්වභාවයක් ගත යුතුද යන්න පිළිබඳ සිය අදහස් විමසා ලියන ලද ලිපියකට පිළිතුරු ලියමින් එවකට මදුරාසි ක්‍රිස්තියානි කොලීජියේ විදුහල්පතිවරයා වූ ආචාර්ය විලියම් මිලර් පියතුමා එවූ ලිපියක ඔහු මෙසේ කියයි: ලංකාව තමන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන අධ්‍යාපනයක් සංකල්ප කර ගත යුතුය. එය ඉන්දියාවේ විශ්වවිද්‍යාල අනුකරණය කරන්නක් නොවිය යුත්තේ ඉන්දියාවේ බොහෝ කටයුතු ලංකාවේ බොහෝ දේවලට වඩා බෙහෙවින් වෙනස් බැවිනි. ලංකාව බි්‍රතාන්‍යයේ විශ්වවිද්‍යාල අනුකරණය කළ යුත්තේ අරිටත් වඩා අඩුවෙනි. ඉතා වැදගත් රටක් වන ලංකාවට ඊටම ආවේනික වූ සුවිශේෂ ප්‍රමුඛතා තිබේ. කවදා හෝ ඇති වන තමන්ගේම අවශ්‍යතාවලට සරිලන අධ්‍යාපනයක් සහ අධ්‍යාපන පහසුකම් පද්ධතියක් ඇති කර ගත යුතුය.

එවකට බටහිර සහ පෙරදිග වර්ධනය වී පැවති ඥානයෙහි මනා මිශ්‍රණයකින් සැදුණු අධ්‍යාපනයක් ලබා දෙන විශ්වවිද්‍යාලයක් ලංකාවෙහි ගොඩනැගීම සම්බන්ධයෙන් යටත්විජිතවාදීන් එකහෙළා එකඟ වූයේ යැයි කීම ඒ ඉතිහාසය පිළිබඳ ඉතා රොමෑන්තික විස්තර කිරීමකි. යටත් විජිත ආණ්ඩුව විශ්වවිද්‍යාලය මගින් යටත්විජිත ව්‍යාපෘතිය ඉදිරියට යා යුතු යැයි විශ්වාස කළ බවට නොයෙක් සාක්ෂි ඇත. විශ්වවිද්‍යාලය තුළ බටහිර දැනුම සහ බටහිර සංස්කෘතිය ප්‍රධානත්වය ගත යුතු බව විශ්වාස කෙරුණු බව ඉතා පැහැදිලිය. එහෙත් මෙම දේශනයේදී මගේ අවධානය යොමු වන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඒ ආරම්භක පියවරුන් විසින් සංකල්ප ගත කෙරුණු සැටි නැවත සිහිපත් කිරීම කෙරෙහිය. එහිදීත්, පොන්නම්බලම් අරුණාචලම් ලංකා විශ්වවිද්‍යාල ව්‍යාපාරය තුළ මතු කළ විශ්වවිද්‍යාලය නම් සංකල්පය වෙත අපි වැඩි අවධානයක් යොමු කරමු.